පිළිවෙතින් පෙළ ගැසීම හෙවත් ප‍්‍රතිපත්ති පූජාව නිවැරදිව දැන ගැනීම අද මුළු මහත් බෞද්ධ සමාජයටම වැදගත් දෙයකි.

පරමාය පූජාය, පටිපත්ති පූජාය

වශයෙන් මේ ප‍්‍රතිපත්ති පූජාව උතුම් ම පූජාවක් ලෙසයි බුදු පියාණන් වහන්සේ දේශනා කර තියෙන්නේ. එහෙත්  සැම දෙනාටම සමාන ප‍්‍රතිපත්ති රටාවක් බුදු දහමේ පෙන්වා තියෙනවද යන්න ධර්මානුකූලව සොයා බැලිය යුතුයි. ‘‘ඒවං උපසංහරති’’ යනුවෙන් සඳහන් කර ඇති පරිදි උපමාවක් ගෙන සසඳා බැලීමෙන් මෙය අවබෝධ කරගැනීම වඩාත් පහසු වෙනවා. මනුෂ්‍ය සමාජයේ පැවැත්ම උදෙසා ආහාර පද්ධති සකස් වෙලා තියෙන්නේ එක්තරා ක‍්‍රමවේදයක් අනුවයි. සියලූ දෙනාට එකම ආහාරයකින් යැපෙන්න පුළුවන් කමක් නෑ. වයස් ප‍්‍රමාණයන් අනුව එය වෙනස් විය යුතුයි. බත්, අල-බතල වැනි බර ආහාරත්, ලූණු මිරිස් වැනි කටුක ආහාරත් සියලූ දෙනාට ම ගැලපෙන්නේ නෑ. එසේම මව් කිරි සහ ළදරු ආහාර සැම දෙනාටම ගැලපෙන්නෙත් නෑ. ළදරු කිරි ආහාර වුනත් සෑම වයස්වල දරුවන්ට ම එ්කාකාරව ගැලපෙන්නේ නෑ. මේ අනුව ළදරු වියේ පටන් ළමා, ගැටවර, තරුණ, මැදි සහ මහලූ යන විවිධ වයස් කාණ්ඩවලට අනුව මේ ආහාර පද්ධති වෙනස් වෙනවා. තරුණයාට ළදරු ආහාර දුන්නොත් මන්ද පෝෂණය හැදෙනවා. එසේම ළදරුවාට බර ආහාර දුන්නොත් අජීර්ණ වෙනවා. බෞද්ධ සමාජය පෝෂණය කළ යුත්තේ මේ ආකාරයෙන්මයි. බුදුපියාණන් වහන්සේ ලෝක සත්ත්වයින්ට ධර්මාවබෝධය ලබා දුන්නෙත් මේ පිළිවෙලටමයි. බෞද්ධ සමාජයත් මේ ආකාරයෙන්ම ළදරු, ළමා, ගැටවර, තරුණ, මැදි, මහලූ වශයෙන් සකස් වෙලා තියෙනවා.

ලෙඩ-රෝග, නඩු-හබ, මිල-මුදල් හිඟකම, ගේ-දොර ඉඩකඩම් ප‍්‍රශ්ණ ආදී විවිධ අසහනයන්ට පත් වූ කෙනෙකු මේවාට පිළිතුරු හොයන්න පටන් ගන්නවා. මේවායින් සහනයක් ලබන්න කරනු ලබන දෙයකින් සමහර විට අසහනය තවත් වැඩි වෙනවා. මෙසේ කෙලවරක් නැති ප‍්‍රශ්ණවලින් පෙලෙන නුවණැති කෙනෙකු, මේවා සැම දෙනාටම පොදු දේවල් බව අවබෝධ කරගන්නවා. මේවායින් මිදෙන්න ක‍්‍රමයක් සොයාගෙන යන ඔහුට මේ සඳහා බුදු දහම තුළින් පිළිසරණක් ලබාගන්න පුළුවන්ය යන අදහස කෙනෙකුගෙන් ලැබෙනවා. මේ අනුව බෞද්ධ සිද්ධස්ථානයකට යන ඔහුට එතැන පවතින යම් ශාන්ත භාවයක් නිසා චිත්ත ප‍්‍රසාද මාත‍්‍රයක් ඇතිවෙනවා. කෙනෙකු මෙතැනට පත්වීම බෞද්ධත්වය නැමති මවගේ කුසයේ කළල බීජයක් හටගත්තා වගෙයි. මීළඟට ඔහු එතැන ඉන්න පිරිස ඇසුරට පත්වෙලා ක‍්‍රම ක‍්‍රමයෙන් බොදු වත් පිළිවෙත් ඉගෙන ගන්නවා. එය හරියට මවු කුසයේ කළල බීජයක් වැඩෙනවා වගෙයි. එ් සමග බුදු පියාණන්  වහන්සේ  පිළිබඳවත්, උන්වහන්සේගේ අනන්ත ගුණ පිළිබඳවත් ඔහු ඉගෙන ගන්නවා. එසේම බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන් අපාය වැනි නොපෙනෙන ලෝක ගැනත්, එවැනි ලෝකවල ඉපදීමට හේතු වන්නා වූ ලෝභ, ද්වේශ, මෝහ යන පාප ක‍්‍රියාවන් ගැනත් ඔහු දැන ගන්නවා. පෙර තමන් ද මහා අසහනකාරී දුක් ගොඩක පැටලිලා හිටියේ මේ ලෝභ, ද්වේශ, මෝහ නිසා බව තම අත්දැකීම් තුලින්ම විමසා බලනවා. මේ අවබෝධය ලැබුණේ බුදුපියාණන් වහන්සේගේ ධර්මය තුලින්මයි කියල ඔහුට දැන් උන්වහන්සේ කෙරෙහි මහා චිත්ත ප‍්‍රසාදයක් ඇති වෙනවා. මෙතැනට පත්වුනාම බෞද්ධ මාතාවගේ දරුවා බිහිවුනා වගෙයි. මේ ළදරුවාට දිය යුත්තේ මව් කිරි වැනි ළදරු ආහාරයකි. චතුරාර්ය සත්‍යය, ත‍්‍රිලක්ෂණය වැනි බර ආහාර මේ ළදරුවාට ප‍්‍රත්‍ය වෙන්නේ නෑ. දිරවන්නේ නෑ.

බුදු පියාණන් වහන්සේ දේශනා කළ ශ‍්‍රී සද් ධර්මය ශ‍්‍රවණය කරලා ලෝභ, ද්වේශ, මෝහ යන වැරදි ක‍්‍රියාවන් අබෞද්ධයින්ගේ ක‍්‍රියාවන් යයි දැකලා, ඒවා අත් හැරෙන තැනට සිත පිහිටෙව්වමයි බෞද්ධත්වය ඇරඹෙන්නේ. ඔහු කල්‍යාණ මිත‍්‍ර සේවනයෙන් ධර්මය ශ‍්‍රවණය කරලා ලෝභකමේ ආදීනව දකින්න පටන් ගන්නවා.

මම මේ ලෝකෙ ඉපදුනේ මොනවා අරගෙනද? මම, මගෙ කියලා අල්ලාගෙන ඉන්න දේපල, මිල මුදල් කෙසේ ලැබුණ දේවල්ද? වටිනවා කියලා අල්ලාගෙන හංගාගෙන බුක්ති විඳින්නෙ කාහට අයත් දේවල්ද? ඒවා බුක්ති විඳිම සාධාරණද? ලෝකෙ සම්පත් කියලා යමක් පරිහරණය කරනවා නම් ඒවා මනුෂ්‍යයින්ගේ සහ සතුන්ගේ පොදු බුක්තියටම අයත් දේවල් නේද? විවිධාකාර නීති රීතිවලින් අප ඒවා අයිතිකරගෙන කොටුකරගෙන ඉඳීම සාධාරණද?

ආදී වශයෙන් ඒවායේ ආදීනව දකිනවා.

එහෙත් මේ ක‍්‍රමවේදය හෙවත් සම්මතය මට වෙනස් කළ නොහැකියි. ඒ නිසා මට අයිති කොටස පමණක් බුක්ති විඳිමින් ලෝකෙට අයිති දේවල් පරිත්‍යාග කර මා නිදහස් වෙනවා

කියලා ඔහු කල්පනා කරනවා. ‘‘දිනේ කදරියන් දානේන’’ කෑදරයා දානයෙන් දිනනවා කිව්වෙ ඒකයි. එවිට මගේ දේපල, මගේ මුදල් කියලා ගත්ත උද්දාමය නැතුව යනවා. මා නිදහස් වීමේ ක‍්‍රමවේදය බුදුපියාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. එබැවින් මට දන් දීලා සතුටු වෙන්න පුළුවන් කියා ඔහු දකිනවා. හැම තැනින්ම ප‍්‍රශංසාව ලැබෙනවා. හේතු ඵලය එතැනම පෙනෙන්න ගන්නවා.

තව කෙනෙක් සමග තරහවෙලා, ගහ බැනගැනීම, කෙනෙකුට හිංගි හිංසා කිරීම, හොඳ දේවල් නොවන බවත් ඔහු දකිනවා. ඉපදීමේ පටන් මරණය දක්වාම අපට අන් අයගේ සහයෝගය අවශ්‍යයි. අන් අයගෙන් පෝෂණය වන කයක් අපට ලැබිලා තියෙන්නේ. මව් කිරෙන් පෝෂණය වෙන්න බැරි වුනාම ලැබුණ ළදරු පිටි ගෙදරට ආවේ තිරිසන් සතෙකුගේ පටන් දහස් ගණනකගේ සම්බන්ධයෙනුයි. අන්‍යොන්‍ය සම්බන්ධයකින් තොරව කිසි කෙනෙකුට ජීවත් වෙන්න බෑ. එසේ අන්‍යොන්‍ය සම්බන්ධයකින් පෝෂණය වුන මේ ශරීරයෙන් අන්‍යයන්ට හිංසා කිරීම මහා අපරාධයක් කියලා ඔහු වටහා ගන්නවා. අපරාධය යන වචනය හැදිලා තියෙන්නේ  අපර + අර්ධය = අපරාර්ධය යන ආකාරයෙනුයි. අපර අර්ධය කියන්නේ භාගයයි. අපර අර්ධය නිසා පසුව ලැබෙන භාගය පර අර්ධයයි.     පර + අර්ධය =පරාදයයි. අපර අර්ධයක් කළ හේතුවට ඵලය වශයෙනුයි පරාදයක් ලැබෙන්නේ. පූර්ව අර්ධය කරල තිබුනේ ලෝභ, ද්වේශ, මෝහ යන හේතුවකිනුයි. කෙනෙකු ලෙඩ වෙලා, දුක් කරදර වෙලා, වාසස්ථාන නැති වෙලා පරාදයක් ලැබිල තියෙන්නේ ලෝභ, ද්වේශ, මෝහ හේතු කරගෙන අපරාධයක් කරල තිබුන නිසයි. අඥාන කම, නොදන්නා කම, අබෞද්ධ කම යන කරුණු මත කරනු ලබන ලෝභ, ද්වේශ, මෝහ වැඩපිළිවෙල ඉවත් කිරීමයි මේ සඳහා කළ යුතු වන්නේ, කියන අවබෝධය ලැබුනම බෞද්ධ සමාජයේ බෞද්ධ ළදරුවා වැඩුනු බෞද්ධ දරුවකු බවට පත් වෙනවා.

මේ අනුව අලෝභ, අද්වේශ, අමෝහ වැඩ පිළිවෙල සාධාරණ යුක්ති සහගත දෙයක් ලෙස ඔහුට අවබෝධ වෙනවා. බෞද්ධත්වයට පත්වෙන්නේ මේ ආකාරයෙනුයි. එසේ නොමැතිව නමස්කාරය කියවලා, තිසරණය සහ පන්සිල් සමාදන් කළා කියලා බෞද්ධ වෙන්නේ නෑ. බුදු පියාණන් වහන්සේ එදා විවිධාකාර දෘෂ්ඨිවල එල්බගෙන සිටි මිනිසුන් බෞද්ධත්ත්වයට පත් කළේ යථාවබෝධය ලබා දීලයි. සම්මත බෞද්ධකම වෙනුවට පරමාර්ථ වශයෙන් බෞද්ධත්ත්වය ලැබිය යුත්තේ මේ ආකාරයෙනුයි.

ලෝභ, ද්වේශ, මෝහ යන කරුණු හේතු කොට ගෙන දස අකුසල් සිදු කරන දොරටු තුනක් තියෙනවා.

කාය ද්වාරයෙන් – ප‍්‍රාණඝාත, අදත්තාදාන, කාමමිච්ඡුාචාර, වචී ද්වාරයෙන් – මුසාවාද, කේලාම් කීම, පරුෂ වචන, සම්පප‍්‍රලාප, මනෝ ද්වාරයෙන් – ලෝභ, ද්වේශ සහ මෝහ හෙවත් මිත්‍යා දෘෂ්ඨි. මේ දස අකුසලයෙන් පහක් අත් හැරලා පන්සිල් පද පහ පමණක් සමාදන් වෙලා බෞද්ධ වෙන්න බෑ. මේ දහයෙන්ම ආරක්ෂා විය යුතුයි. අද පන්සිල් පද පහ වරද්දාගෙනයි ඉන්නේ. මේ දස අකුසලය එකක් පස් ආකාරයකින් වශයෙන් පනස් ආකාරයකින් ආරක්ෂා විය යුතුයි. සතුන් මරන්නෙ නැතුව, හොරකම් කරන්නෙ නැතුව, කාමයෙහි වරදවා හැසිරෙන්නෙ නැතුව, බොරු කියන්නෙ නැතුව, මත්ජාති බොන්නෙ නැතුව හිටියට පන්සිල් රකින්න බෑ.

මේ සඳහා දස අකුසලය තුළ තියෙන පන්සිල් දැනගත යුතුයි. ඊට පෙර සීලය කියන්නේ කුමක්ද යන්න දැනගැනීම අවශ්‍යයි. කිං සීලං? පහාණ සීලං, වේරමණී සීලං, චේතනා සීලං,  සංවර සීලං, අවිතික්කම සීලංති. මේ තමයි බෞද්ධයාගේ පන්සිල්. කෙසේ වෙතත් පන්සිල් කියන්නේ මොනවාද, පංච දුශ්චරිත කියන්නේ මොනවාද යන්න පැහැදිළිව වෙන්කර දැනගත යුතුයි.

පහාන සීලං – ප‍්‍රාණ ඝාතය සහ සත්ත්ව හිංසාව, දූෂ්‍ය මානසිකත්ත්‍වයකින් සිදු කරනු ලබන්නා වූ ද්වේශ සහගත අසාධාරණ පාප ක‍්‍රියාවක් බව අවබෝධ වුනාම, දෙව් ලොවක් තිබුණත් නැතත්, අපායක් තිබුණත් නැතත්, ඒ ප‍්‍රාණඝාතය සහ සත්ත්ව හිංසාව යළි කවදාවත් නොකරන තත්ත්වයට අදහස පහවෙලා යනවා. එවිට පහාණ සීලය ඇති වෙනවා. මෙය රකින සීලයක් නෙවෙයි. සංවරයෙන් රැකෙන සීලයකි.

වේරමණී සීලය – මින් පසු ප‍්‍රාණඝාතයක් හෝ සත්ත්ව හිංසාවක් කිරීම සඳහා දඬු මුගුරු ආයුධ ආදියක් පරිහරණය නොකිරීමටත්, රමණය නොකිරීමටත් අදහසක් ඇති වෙනවා. එය ප‍්‍රාණඝාතය පිළිබඳ වේරමණී සීලයයි.

චේතනා සීලය – දැන් ඔහුට ප‍්‍රාණඝාතයක් සිදු කිරීම පිළිබඳ කිසිම චේතනාවක් පහළ වීම සිදු නොවෙයි. එය චේතනා සීලයයි.

සංවර සීලය – ප‍්‍රාණඝාත සහ සත්ත්ව හිංසාව කිරීම සඳහා පෙර තිබූ කායික සහ වාචසික අසංවරය දැන් ඔහු තුළ හට නොගනියි. එය සංවර සීලයයි.

අවිතික්කම සීලය – ප‍්‍රාණඝාතයක් නොකිරීම, ප‍්‍රඥාවෙන් ගත් තීරණයක් නිසා එය යළි කිසි කලෙකත් කැඞීමට හේතුවක් නැත. එබැවින් එය අවිතික්කම සීලයයි.

ප‍්‍රාණඝාතයෙන් වෙන් විය හැක්කේ මේ ආකාරයෙන් පන්සිල් ආරක්ෂා කළොත් පමණයි.

මීළඟ අකුසලය අදත්තාදානයයි. දැනට සමාදන් වන පන්සිල්වලත් දෙවෙනි කරුණ අදත්තාදානයයි. නුදුන් දේ ගැනීම, අන්සතු දේ බලහත්කාරයෙන් හෝ වංචාකර ගැනීම හෙවත් තමා සතු කරගැනීම අදත්තාදානයයි. ලෝභය මුල් කරගෙනයි මේ පාපකර්මය සිදුවන්නේ. යථාර්ථය අවබෝධ කරගත් විට මෙය අයුක්තියක් අසාධාරණයක් යන ප‍්‍රඥාවේ තීරණය මත අන්සතු දේ ගැනීම පිළිබඳ අදහස පහවෙලා යනවා. මෙසේ ඔහු අදත්තාදානය පිළිබඳ පහාන සීලයට පත්වෙනවා. මෙවැනි ක‍්‍රියාවක් සඳහා පෙර යම් උපක‍්‍රමයක් සිදු කළා නම්, යමක් පරිහරණය කළා නම් එ් සියලූ දේ රමණය කිරීමෙන් වෙන්වීම අදත්තාදානය පිළිබඳ වේරමණී සීලයයි. නුදුන් දෙයක් ගැනීම සඳහා යම් අසාධාරණයක් කිරීමේ පාප චේතනාවක් මින් මතු ඔහු තුළ පහළ වීමක් නොසිදුවෙයි. මේ අදත්තාදානය පිළිබඳ චේතනා සීලයයි. කිසියම් කායික හෝ මානසික අසංවරයක් මත හොරකමක් සඳහා යොමු වුනා නම් දැන් එය සිදුවෙන්නේ නෑ. එසේ සංවරත්වයට පත් වීම සංවර සීලයයි. මෙය ප‍්‍රඥාවෙන් ගත් තීරණයක් නිසා යළි එම තීරණය වෙනස් වීමට ඉඩක් නෑ. එය අදත්තාදානය පිළිබඳ අවිතික්කම සීලයයි.

මේ කරුණු පිළිබඳව පටිසම්භිධා මග්ගප‍්‍රකරණය, නෙත්තිප‍්‍රකරණය, පෙටකෝපදේශය යන පැරණි අටුවා පොත්වල පැහැදිලිව විස්තර කර ඇත. ඉහත විස්තර කරන ලද ආකාරයෙන් කාම මිච්ඡාචාරය, මුසාවාදය, … යන සියලූ දස අකුසලයන් පිළිබඳව ම පන්සිල් දැනගත යුතුයි. මෙසේ විග‍්‍රහ කරන ලද්දේ බෞද්ධයාගේ නිත්‍ය සීලය වන පංච සීලය පිළිබඳවයි.

බුද්ධ ජයන්තිය මුල් කරගෙන පිළිවෙතින් පෙල ගැසෙන්නට නම් මෙසේ නිවැරදිව පන්සිල් අවබෝධ කර ගත යුතුයි. කෙනෙක් ධර්මාවබෝධය තුළින් මේ තත්ත්වයට පත්වීම නිසා ඔහු තුළ තිබූ දුශ්චරිත මානසිකත්වය පහවී ගියානම් සතර අපාගත වීමට තිබූ හේතු නැතිවී යනවා. බෞද්ධ සමාජය තුළ ළදරුවා දැන් වැඩිවියට පත් ළමයෙකුගේ තත්ත්වයට පත් වෙනවා.

තවම මේ බොදු දරුවා දාන කතා, සීල කතා පමණයි අහල තියෙන්නේ. දැන් ඔහු අලෝභ, අද්වේශ, අමෝහ සහගතව දන් දීම, සිල් රැුකීම, බණ ඇසීම ආදී දස කුසලය වැඞීම පටන්ගෙන තියෙනවා. මීළඟට ඔහුට ස්වර්ගය පිළිබඳව අහන්න ලැබෙනවා. මේ අනුව දස පුණ්‍ය ක‍්‍රියාවල ඔහු නිරත වෙනවා. අලෝභ, අද්වේශ, අමෝහ ක‍්‍රියා තුළින් සුගතිගාමී වන ආකාරයත් ඔහු අවබෝධ කරගන්නවා. පෙරට වඩා දෙමව්පියන්ට, නෑදෑ හිතවතුන්ට සහ සමාජයට තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් ඔහුගෙන් දැන් ඉටුවෙනවා. ඔහු දැන් ඉන්නේ සුගති ගුණයේය. ලෝකයේ සියලූ දෙනා මේ අවබෝධය නොලබන නිසා මේවා කරගෙන යාම දුෂ්කරයි. මාර පාක්ෂිකයන්ගෙන් බාධා එනවා. ගින්දර අතරින් පුළුන් ගෙනියනවා වගේ දෙයක්. එ් පුළුන් තෙත් කරගත හොත් ගෙනියන්න පුළුවන්. මේ සඳහා කරුණාවෙන්, මෛත‍්‍රියෙන් යුත් මෙත් භාවනාව වැඩිය යුතුයි. එවිට ලෝභ, ද්වේශ, මෝහ සහගතව කටයුතු කරන පිරිස් අතර බෞද්ධත්වයෙන් කටයුතු කරගෙන යාමට පුළුවන්.

මේ ආකාරයෙන් කටයුතු කිරීමට ඉවසීම පුරුදු කරලා තියෙන්න  ඕන. කෙනෙක් බණින විටෙක ඉවසාගෙන සිටිය හොත් එ් බැණීමේ වේදනාව තමන්ට දැනෙන්න පටන් ගන්නවා. එයට ප‍්‍රතිචාරයක් දැක්වූවානම් එ්ක දැනෙන්නේ නෑ. කෙනෙකු පහර දුන් විටෙක පෙරලා ඔහුට පහර දුන්නොත් කෙනෙකුට පහර දීමේ අපරාධය ඔහුට දැනෙන්නෙ නැතුව යනවා. එවැනි අවස්ථාවක ඉවසා සිටියහොත් පහර කෑමේ වේදනාව දැනෙන්න පටන් ගන්නවා. ‘‘එවැනි දෙයක් මම නම් කිසිවෙකුට කරන්නේ නෑ’’ යන තීරණය එනවා. මෙතැනට පත් වුනා නම් ‘‘සමන’’ හෙවත් ‘‘ශ‍්‍රමණ’’ වෙනවා. යමක් සමනය කරන්නේ මේ ආකාරයෙනුයි. තපස් රැකීම කියන්නෙත් මේ ආකාරයෙන් තැවීමයි.

මෙවැනි ලෝකයක් තුළ මම මොන ආකාරයේ යහපතක් කළත් ලෝකෙ කියන්නේ කුණු ගොඩක් නේද කියා එහි ආදීනව දැකලා ලෝභයෙන්, ද්වේශයෙන් පිරුණු ලෝකෙක මොන සැනසිල්ලක්ද කියලා නිස්සරණයට බැහැලා ලෝකයෙන් මිදී ලබන සැනසුම ගැන හිත යොමු කරනවා. බෞද්ධ දරුවා දැන් තරුණ බවට පත්වීමට ආසන්නයි. ලෝකය ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයන්ගෙන් පිරී තියෙන බවත් ඔහු දකිනවා.

ලෝකය පිළිබඳව ඔහුට දැන් ගැඹුරු දහමක් අවශ්‍ය වෙලාවයි. සත්පුරුෂ සංසේවනයකින් ජරා, මරණ හටගැනීමට හේතුව ජාති පහළ වීමයි කියලා පටිච්ච සමුප්පාදය තුළින් දුක හටගැනීමට හේතුව අසන්නට ලැබෙනවා. ජාති ගොඩනගමින් සිටින තාක් මේ දුක විඳින්න වෙනවා. හේතුවක් නැතුව මේ ජාති හටගන්නේ නෑ. ජාතියට අනුකූල භවයක් නිසයි ජාති හටගන්නේ. වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධයන් හතරක සම්පිණ්ඩනය වීමෙනුයි භවයක් හැදෙන්නේ. පැවැත්ම හොඳයි කියන බව හටගත්තේ පැවැත්මට අයිති ලෝක ධර්මතාවයන් හොඳයි, ප‍්‍රියයි, මනාපයි යනුවෙන් උපාදාන කරගත් හේතුව නිසයි. ලෝකයේ පැවැත්ම හොඳයි කියලා ඒකට තණ්හා කිරීම නිසයි උපාදාන හටගත්තේ. මේ පැවැත්මේ පවතින ප‍්‍රිය ස්වභාවයත් මධුර ස්වභාවයත් නිසා එහි ආදීනව වැහිලා තණ්හාව හටගත්තා. ඒ තණ්හාව හටගැනීමට හේතු වුනේ සුඛ වේදනාවයි. එ් වේදනාව හටගැනීමට හේතුවුනේ පෙර භවයේ හදාගත් ගත සිත ඇසුරු කරගෙන එ්වා ස්පර්ශ කිරීම නිසයි. ඒ ස්පර්ශය හටගත්තේ ඇස, කන, නාසය, දිව, කය, මන කියන ආයතන සළායතන කරගෙන ඒවා අයස්ථාන කරගත් නිසයි. මේ සළායතන හටගත්තේ පෙර භවයෙන් හදාගත් ගත සිත හෙවත් නාම රූප ප‍්‍රත්‍ය කරගෙනයි. එ් නාම රූප හටගත්තේ විඤ්ඤාණය නිසයි. ඒ විඤ්ඤාණය හටගත්තේ සිත, කය, වචනය මුල්කරගෙන ගොඩනගා ගත් සංඛාර නිසයි. එ් සංඛාර ගොඩ නැගුනෙ අවිද්‍යාව නිසයි.

මේ අනුව දුක පවතින්නේ අවිද්‍යාව නිසා, ප‍්‍රිය මනාප භාවයෙන් ලෝකය තුළ අල්ලාගන්නා සියලූ ජාතිවල බවත්, ඒ දුකට හේතුව ඡුන්දරාගයෙන් එ් ලෝකය වටිනවා යයි අල්ලා ගැනීම බවත්, ඒවායේ ආදීනව තුළින් අසාරත්වය දැක ඒ ඡන්දරාගය නිරෝධ කළ හැකි බවත්, ඒ සඳහා මාර්ගය අරි අටඟි මග බවත්, චතුරාර්ය සත්‍යය තුළින් ඔහුට පහදා දෙන අවස්ථාව උදාවෙලයි තියෙන්නේ. මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් විට ඒ බෞද්ධ දරුවා සෝතාපන්න වී තරුණ බවට පත්වෙනවා. දැන් ඔහු පරප‍්‍රත්‍ය රහිතයි. නිවන් දැකීමට නැවත ධර්මය ශ‍්‍රවණය කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ. නමුත් ලැබෙනවා නම් ඉතා හොඳයි, අප‍්‍රමාදීව ඉතිරි ඵල ලබන්න පුළුවන්.

2600 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් සමාජයට අවබෝධ කළ යුතු වන්නේ, මේ ආකාරයෙන් අනුපූර්ව ශික්ෂා තුළින් අනුපූර්ව පිළිවෙතට බැස නිවන් දකින මාර්ගයයි. මෙසේ ක‍්‍රියාත්මක වුව හොත් බුද්ධ ශාසනය බොහෝ කාලයක් බැබලීමට හේතු වෙනවා.

ඇල්. අමරසිංහ
පිළියන්දල