මාර සේනාවන් සමග කළ සංවාදවලින් සහ මාර උගුල්වලින් ජය ලැබූ හැටි…..

මාර සේනාවන් සමග කළ සංවාදවලින් සහ මාර උගුල්වලින් ජය ලැබූ හැටි…..

පසුගිය කලාපයෙන් – තුන් ලොව සියළු සතුන්ගේ තොරතුරු සටහන් වූ ගුප්ත ලොව පොත් ගුල් හතර විවෘත වෙයි! එතැන් සිට…

දැන් මගේ මනසට නැගෙන්නේ කෙනෙකුගේ පිහිටක් නොලබා ස්ව උත්සාහයෙන්ම මග අනුගමනය කරන්නේ කොහොමද කියලයි. මින් ඉදිරියට ලෝකයට සෙතක් සලසන අභිඤ්ඥා වැනි බලයක් නගන්නේ කෙබඳු ගුරු උපදෙසකින්ද? කාගෙන් උපදෙස් ගන්නද? මෙහෙම හිතමින් ඉන්නකොට “පුතා” කියන හඬක් ඉහළින් ඇහුණා. මේ හඬ මට හොඳට මතකයි. එ්, ඉඳුරාන ගමේ දේවාල භූමියේ සිදු වූ ගුප්ත ලොව මහෝත්සවයේදී උපදෙස් දුන් නීලවර්ණ දේවතාවුන්ගේ හඬයි. එ් හඬට මම හිත යොමු කළා. දැන් දේවතාවා මගෙන් මෙහෙම අහනවා. (ඇසෙන්නේ ඉහළින් එන හඬ පමණයි)

“ඔබට පෙනෙනවද කුඩා කල පටන් ඉදිරිපස ඈතින් පෙනෙන ආලෝකය?” මම ඔව් කියා හිතින් පිළිතුරු දුන්නා. කුටියට ගිහින් සිහි කරන්නැයි දේවතාවා නැවතත් කිව්වා. එකල විවේකී සමාධිය සඳහා මා සාදාගෙන තිබූ කුටියක් තිබුණා. මම එ්කට ගිහින් එරමිනිය ගොතාගෙන වාඩිවෙලා පෙර පටන් ඉදිරියේ ඈත පෙනෙන ආලෝකය සිහි කළා. මේ ආලෝකය උදේට පායන සූර්යා වගේ. දැන් ඉතා පැහැදිලිව එ් ආලෝකය සූර්ය මණ්ඩලයක් විදිහට පේනවා. හිත නිශ්චලව පවතිනකොට මේ ආලෝකය (සූර්යා වැනි) නිශ්චලව තියෙනවා. දැන් දේවතා හඬ නැවත ඇහෙනවා. “පුතා ඔය එළිය දකුණු රවුමට කරකවන්න.” මමත් එහෙම හිතනකොට එසේම එළිය දකුණු පසට කැරකෙන්න වුනා. එ් කියන්නේ හිතින් කරකවන්න පුළුවන්. මම වේගයෙන් කැරකෙව්වා. දැන් යලිත් දේවතා හඬ ඇහෙනවා. “පුතා නවත්වා වමට කරකවන්න.” මමත් එහෙම කළා. හිතූ විට නවත්වා එසේ කරකවන්න පුළුවන් බව මටම දැනුණා. නැවතත් දේවතා හඬ මෙහෙමු ඇසුනා. “පුතා නවත්වන්න. දිගටි හැඩයට කරකවන්න.” මමත් එහෙම කළා. “නවත්වන්න යළි එසේම දකුණට කරකවන්න.” මම එ් ආකාරයටත් කැරකෙව්වා. “දැන් මැදට ගෙන නිශ්චලව නවත්වන්න.” මමත් එහෙම කළා. මේ විදිහට පහත ආකාරයෙන් දේවතාවා කියන ආකාරයට මම කටයුතු කළා.

දේවතාවා: දැන් සුදු පාට ආලෝකය කහ පාට කරන්න – මම එහෙම වෙන්න කියල හිතනකොට කහ පාට වුණා.
දේවතාවා: සුදු පාට කරන්න – මම සුදු පාට කළා.
දේවතාවා: රතු පාට කරන්න – මම රතු පාට කළා.
දේවතාවා: නිල් පාට කරන්න – මම නිල් පාට කළා.
දේවතාවා: නැවත සුදු කරන්න – මම නැවත සුදු කළා.
දේවතාවා: මෙතැන් පටන් ඉතා ඉක්මනින් කෙරෙන ලෙස නිල් කරන්න, රතු කරන්න, කහ කරන්න, දුඹුරු කරන්න, දැන් සුදු පාට කර නිශ්චල කරන්න. (මේ වර්ණ ගැන එදා කියපු ආකාරය පෙන්නුවා මිසක් එ් අනුපිළිවෙලම නෙමෙයි)

මේ විදිහට දේවතාවා කියන කියන විදිහට මමත් එසේම කළා. කිසිම අපහසුවක් නෑ.

දේවතාවා: පුතා දැන් අඹ ගසක් මවන්න – මම හිතනකොටම තලය මතම චිත‍්‍රයක් ඇන්ද වගේ අඹ ගසක් මැවුනා.
දේවතාවා: දැන් අතුරුදන් කරන්න – මම අතුරුදන් කළ විට සුදු තලය නැවත පෙනුනා.
දේවතාවා: යළි අඹ ගස මවන්න – මම යළිත් අඹ ගස මැව්වා… පොළොවක පිහිටි ස්වභාවික අඹ ගසක් වගේම තලය තුලින් මැවී පෙනුනා.
දේවතාවා: දැන් හාවෙක් මවන්න – මම හිතනකොටම මැවිල පෙනුනා.
දේවතාවා: දැන් අතුරුදන් කරන්න – මම හිතනකොටම අතුරුදන් වෙලා අඹ ගස සහිත සුදු තලය ඉතිරිව පෙනුණා.
දේවතාවා: මුවෙක් මවන්න – මම හිතනකොටම මැවිල පෙනුනා
දේවතාවා: අතුරුදන් කරන්න – මම හිතනකොටම අතුරුදන් වුනා.
දේවතාවා: දැන් කොටියෙක් මවන්න – මම හිතනකොටම මැවී පෙනුනා.
දේවතාවා: දැන් අතුරුදන් කරන්න – මම හිතන කොටම අතුරුදන් වුණා.

දැන් මේක හොඳට පුරුදු අභ්‍යාසයක් වගේ වුණා. හිතන හිතන දේ මැවිල පේන්නත්, අතුරුදන් කරන්නත් පුළුවන් බව මටම වැටහුණා. දැන් නැවතත්, දේවතාවා: පුතා දැන් ඔබට උගන්වපු හොඳට රූපය මතක තියෙන ජීවත්ව සිටින ගුරුවරයෙක් මවන්න.

මම පාසල් වියේදී සාහිත්‍ය උගන්වපු සේනාධීර කියන ගුරුතුමා සිහිකර මැවෙන්න හිතනකොටම මැවිල පෙනුනා. දැන් පේන්නේ හිතනකොට මැවෙනවා නෙමෙයි හිතින් මවනවා කියන එකයි.

දේවතාවා: පුතා දැන් හොඳට හිතල බලන්න. ඔය ගුරුතුමා මියගිය කෙනෙක්ද නෙවෙයි. ඔබ මනසින් මවා ගත් ඔබේම මානසික රූපයක්. එසේ නැත්නම් ඔබේ මනසමයි. දැන් ඔබේ ගුරුවරයා, සංවර කරගත් ඔබේම මනසයි. ගුරුවරයෙක් සමග කතා කර ප‍්‍රශ්න විසඳන ලෙස කටයුතු කරගන්න. එකවිටම සියළු පිළිතුරු හරියන්නෙ නෑ. ප‍්‍රගුණ වී සැකසුන විට පිරිසිදු සත්‍ය පිළිතුරු ලැබේවි. ඔබේම පිරිසිදු මනස ඔබට විපතක් වන දෙයක් නොකරයි.

එයින් පසු මේ අවවාද දුන් හඬ අතුරුදන් වුණා. දැන් මට ගුරුවරයෙක් ඉන්නවා. එ් මගේ මනසමයි. නමුත් තනිවීමක් දැනෙන්නෙ නෑ. අහගන්න ගුරුවරයෙක් ඉන්න ලෙසටම දැනෙනවා. දැන් ගුරුතුමා මවනකොටම සිනාමුසු මුහුණකින් මා දෙස බලා ඉන්නවා. ඔහු හරියට ජීවමාන කෙනෙක් වගෙයි. අත පය, ඇඟ, මුහුණ, කතා කරන කොට තොල් ක‍්‍රියාත්මක වීම… මේ ආදී සියල්ලම ජීවමාන කෙනෙකුගේ වගෙයි. සුළු සමාධියකදී මවාගෙන අදහස් හුවමාරු කරගන්නත් පුළුවන්. අසනීප ඇති කෙනෙක් ගැන කියා, මේ අසනීපය කුමක්ද කියා ප‍්‍රශ්න කළාම ආතුරයාගේම ශරීර කොටසක් ජීවමාන කෙනෙක් ලෙස මවා පෙන්වනවා. තියෙන රෝගාබාධය හැඟීම් සංඥා ක‍්‍රමයකින් විස්තර කර පෙන්වනවා. ශරීරය ඇතුළත රෝගයක් නම් සැත්කමක් කළා සේ, බඩ පපුව…. ආදිය විවෘත කර අසනීපයේ ස්වභාවය, හැදුණු හැටි…. ආදිය වගේම ඊට අවශ්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමයත් පෙන්වනවා. තෙල් වර්ග, කසාය වර්ග වගේම දැනට ඇති බෙහත් වර්ග සුදුසුනම් එ්වාත්, පරිහරණය කරන පිළිවෙලත් පෙන්වනවා.

එක අවස්ථාවක රක්තවාතය මුල්කරගෙන හැදෙන තුවාල, අර්ශස් ආදියට වගේම උමතු බවටත් ප‍්‍රතිකාර කරන තෙලක් සකස් කරන හැටි කියා දුන්නා. මේ තෙල සිඳිනකොට ඊට රත්රන් කැබැල්ලක් දැමිය යුතු වුනා. රත්රන්වල ස්වභාවය පෙන්වන්න උපක‍්‍රමයකුත් පෙන්නුවා. එනම් කැරට් අලයක් පෙන්වා ඇඟිලි දෙකක් දෙපාරක් පෙන්වීමයි. මේ පෙන්නුවේ කැරට් 22 රත්රන් කැබැල්ලක් දමන්න කියන එකයි. වචනයෙන් කිව්වත් තොල් පොපියන ආකාරය පේනවා මිසක් කටහඬ ඇහෙන්නෙ නෑ.

දිනක් මම ගුරුතුමා මවාගෙන, කටහඬ ඇහෙන්න සලස්වන ක‍්‍රමයක් නැද්දැයි සිතින්ම ඇසුවා. හැකි බව දැනුම් දී මැටි මල් බඳුනක් මවා පෙන්වා (මල් දමා නැති) එය අතින් පොඩි කරන බවත්, හොඳට කන් යොමුකර හඬ අසන ලෙසත් සංඥා හැඟීමට යොමුකර දැන්නුවා. මමත් ඉතා අවධානයෙන් එ් දෙස බලා සිටියා. ගුරුතුමා ටිකෙන් ටික මැටි මල් බඳුන තද කරන ආකාරය බලා සිටින මට, “දැන් පොඩිවෙයි දැන් පොඩිවෙයි” කියා දැනෙන්න වුණා. මල් බඳුන පොඩි වෙලා කැබලි වී ගියා. එ්ත් ඇසට පෙනුනා මිසක් කිසිම හඬක් ඇහුනෙ නෑ. ගුරුතුමා නැවතත් එබඳුම මැටි මල් බඳුනක් අරගෙන නැවතත් සවන් දීගෙන සිටින ලෙස හඟවා පෙර සේම තද කළා. එ්කත් බිඳී කෑලි විසි වෙලා ගියා. එ්ත් පෙනුනා මිසක් කිසිම හඬක් ඇහුනෙ නෑ.

ගුරුතුමා නැවතත් එබඳුම මල් පෝච්චියක් අරගෙන එසේම සවන් දෙන ලෙසත්, තදින් අවධානය යොමු කරන ලෙසත් හඟවා මැටි මල් බඳුන දෝතින් කිටි කිටි ගා තද කරන ආකාරය පෙන්වමින් එසේ තද කරන කොට, “දැන් බිඳෙයි දැන් බිඳෙයි” යනුවෙන් මට දැනෙනවාත් සමගම “බොඃ” යන හඬක් නඟමින් බිඳී ගියා. ගුරුතුමා හිනා වෙලා අඟල් හයක පමණ යකඩ ඇණයක් මට පෙන්වා, සිමෙන්ති දමා ඇති බිමක සිටින ආකාරය පෙන්වා, පෙර සේම හොඳින් සවන් දෙන ලෙස හඟවා අවධානයට යොමු වන පරිදි යකඩ ඇණය බිමට අතහැරියා. එ්ක රබර් ඇණයක් වගේ උඩ විසිවෙලා ටික දුරක් ගිහින් නිසල වුණා. නැවතත් ඇණය අරගෙන යකඩ ඇණයක් බව පෙන්වමින් සවන් දෙන්නැයි හඟවා පෙර සේම බිම දැම්මා. එවිටත් පෙර සේම උඩ විසි වෙලා ටික දුරක් ගිහින් නතර වුණා. නැවතත් ඇණය අරගෙන යකඩ ඇණයක් බව පෙන්වා, පෙර සේම හොඳට අවධානයෙන් සවන් යොමු කරන ලෙස හඟවා බිම අතහැරියා. එවිට කන් දෙකේ හිර වූ යමක් බුරුල් වූවා සේ වෙනසක් දැනෙමින් “ටාං ටාං” යන හඬින් ඇණය බිම දිගේ විසිවෙලා ගියා. එවෙලේම කටහඬ හොඳට ඇහෙන්න වුණා. ඉන්පසු කතා හඬ සහ ක‍්‍රියාව ජීවමාන ලොවක කෙනෙකුගේ මෙන් වුණා.

තවද කරදරයක් ආපදාවක් හෝ වෙනත් අවශ්‍යතාවයක් බාහිරින් ආවොත් එ් බව බලා ඉඳල දැනුම් දෙන්න ළමා වයස පසු කළ මට්ටමේ කෙනෙක්ද, පිටුපස කර මට්ටමින් ඉහළින් සිටින සේ මැවුණා. ඔහු “අයියෙ” කියා කතා කරල විවිධ කාරණා දැනුම් දෙනවා. කටහඬ පුරුදු නිසා කෙනෙකුට බෙහෙතක් වැනි දෙයක් ලියන කොට සමහර වෙලාවට අමනුෂ්‍යයෙක් දුර ඉඳගෙන අමතර ඖෂධයක නමක් කියනවා. එතකොටම අර පිටුපසින් මැවුණ රුව සහිත පුද්ගලයා “අයියෙ ඕක ලියන්න එපා අන්න අර අමනුෂ්‍යයා ඕක කිව්වේ…” ආදී ලෙස කියනවා. කවුරු හෝ ආවොත් විවිධ කාරණාත් දැනුම් දෙනවා. යොමු කරල බලනකොට මටත් එ්වා එ් ආකාරයටම පේනවා. ගුප්ත ලොවක එක්කෙනාම විවිධ වේශයෙන්, පුද්ගලත්වයෙන් පෙනෙන ක‍්‍රමවේදයක් තමයි මේ විදිහට ගොඩනැගුනේ.

බුදු දහමේ අභිඤ්ඥා බල ගැන පෙන්වනකොට මනෝමය සෘද්ධි, සෘද්ධිවිධ… ආදී ඥාණ පහළ කරන ක‍්‍රමවේදයක් තියෙනවා. එකෙක්ව බොහෝ වේ, බෝහෝව එකෙක් වේ කියා පෙන්වපු ක‍්‍රමවේදයක් තියෙනවා. මේක මනෝමය සෘද්ධි, අභිඤ්ඥාවේ මට්ටමට වැඩුණු ක‍්‍රමයක්. එ් ගුරුවරුත්, සහායකයොත් මනෝ පුද්ගලයන් ලෙසයි මට හැඟෙන්නේ. මේ අවස්ථාව උදා වූ පසු මනස සංසුන්ව යථා තත්ත්වයට ගන්න, පාලනය කරන්න විශාල උත්සාහයක් ගන්න වුණා. විවිධ කටහඬ, අමනුෂ්‍ය කතා, විවිධ ශබ්ද, එකිනෙකාගේ විවිධ ඉල්ලීම්, කොලොප්පම්, ගරු කිරීම්, රැවටීමට උත්සාහ කිරීම්, බියගැන්වීම්…. මේ ආදී නොයෙක් දේ දැනෙන්න ඇහෙන්න පටන් ගත්තා. ඉතා ඉවසිල්ලෙන් මෙළොව ප‍්‍රකෘති ස්වභාවය තුළ මනා සිහියෙන් ඉඳගෙන ඉහත කී බලවේග පාලනය කරගත්තා.

එසේම පයින් ගමන් කරනකොට, අතින් යමක් කරනකොට, අත පය ඇඟ වටකරගෙන කාන්දම් වලලූ අඩි එකහමාරක් දෙකක් දුරට විහිදෙන සේ දැනෙන්නට වුණ අතර, ස්වභාවිකව ක‍්‍රියා කරන සිතෙන් අතපය ක‍්‍රියා කරවනකොට එ් කාන්දමත් එ් සිත්වලට අනුව ක‍්‍රියා කරන්න පටන් ගත් නිසා සමතුලිත පාලනයට හුරු වෙන්න දින 20 කට වඩා ගත වූ බව මතකයි. මනා සිහි කල්පනවා තිබුණත්, ආවේශ වූවෙකුගේ ස්වභාවයක් ශරීරයේ ක‍්‍රියාත්මක වුණා. “මේ මොකක්ද? දෙවියෙකුගේ භූතයෙකුගේ වැඩක්ද?” මම මෙහෙම හිතනකොට, “නෑ එ් මගේ මනස” යන පිළිතුර මා තුළින්ම නැගෙන්න වුණා. මා තුළම සිදුවන දෙය හැර මෙබඳු අත්දැකීමක් ලබපු තවත් කෙනෙක් ගැන දැනගන්න නැති නිසාත්, මේ සියලූ දේ මා විසින්ම සිහි කල්පනාවෙන් ගන්නා නිගමනවලින් පාලනය කරගත යුතු නිසාත්, මේ කාලය මනසට නිතර ව්‍යාකූල බවක් නැගුන නිසාත්, කෙනෙකුට නොදැනෙන්න පාලනය කරගත්තේ බොහෝ ආයාසයෙන්. මේ ස්වභාවය නොපෙන්වා, ලෝක සම්මත පියවි ස්වභාවයෙන් ඉන්න කොච්චර උත්සාහ කළත්, ගුප්ත ලෝකයේ පිරිස් අතර අදහස් හුවමාරුවට හිත පිහිටියේ නිරායාසයෙන්මයි. මව හා සහෝදර සහෝදරියන් ඇතුළු සමහර පිරිස් මෙය භූත දෝෂයක් වැනි ආබාධයක් කියා, එ් පිළිබඳව නොයෙක් කටයුතු කරන්න නිතර යෝජනා කළත්, මම එ් අයට කිව්වේ, මට එහෙම දෝෂයක් නෑ, මගේ පාඩුවේ ඉන්න දීල ඔය අයගේ වැඩක් බලාගන්න කියලයි.

මාර බලවේග කියන්නේ කෙලෙස් කියල සමහර පිරිස් හිතාගෙන හිටියත්, මගේ අත්දැකීම් අනුව මෙකල මට සිහිවෙන්නේ මීට පෙර කලාපයක විස්තර කළ පරිදි චින්තා සූත‍්‍රයේදී (සං:නි: (5 – 2) 306 පිටුව) බුදුපියාණන් වහන්සේ දේශනා කරපු අදහසයි. සුරාසුර යුද්ධයකදී අසුරයන් පැරදිලා, කෙටි මගකින් අසුර ලෝකයට යන්න සුමාගාවා කියන පොකුණට ඇවිත් නෙලූඹු දැලි තුළින්, අසුර සිවුරඟ සෙනග බැස අසුර පුරයට යන ආකාරය දැකපු මිනිහෙක්, “සිදු නොවිය හැකි දෙයක් මම දැක්කා අනේ මට පිස්සු හැදෙන්න එනව වගේ” යැයි තවත් මනුෂ්‍යයන්ට කිව්වම, “උඹට නම් පිස්සුම තමා නැත්නම් එ්ක වෙන්න පුළුවන් දෙයක්දැයි” කියා හිනා වූ බවත් එයින් පෙන්වා තියෙනවා. මෙහිදී මෙය සිදු වූ ආකාරය බොරුවක් නොවන බවත්, අචින්ත්‍ය වූ (විග‍්‍රහ කරල නිම කළ නොහැකි වූ) ලෝක විෂය ගැන තර්ක වාද නොකරන ලෙසත්, බුදුපියාණන් වහන්සේ දේශනා කරල තියෙනවා.

මා අත්දැකපු මාර සටනත් පෙන්වා දෙන්නේ, පංචේන්ද්‍රිය ගෝචර මානසිකත්වයක පිහිටා තර්කවාදයෙන් තීරණය නොකර, ගුප්ත ලොවක ස්වභාවයත් එ්වා භෞතික ලෝකයේ තියෙන සටන්වලට වඩා වෙනස් බවත් තේරුම් කරල දෙන්නයි.

මේ කියන මුල් දින කිහිපය තුළ රාත‍්‍රී කාලයේදී මට නින්දක් තිබුණෙත් නෑ. ගුප්ත ලෝකයේ විවිධ පිරිස් ලෝක ප‍්‍රශ්න වගේම ගැඹුරු දහම් පිළිබඳ ප‍්‍රශ්නත් මගෙන් අහල යනවා. නමුත් එ්වා බොහොම කෙටි පිළිතුරු දෙන ප‍්‍රශ්න. ඇඳේ නිදාගෙන හිටියත් එ් පිරිස් සමග හිතින් කතා කරන කොට මස් ලේ කයේ ඇඟිලි අංග චලනය කරමින් එ් මේ අතට කැරකෙන්න පටන් ගත්තා. එකල මම නිදාගෙන හිටියේ සාලයේ ඇඳක. ගිහි කල භාර්යාව සහ දරුවා ඊට බඹ දෙකක් පමණ දුරින් පැදුරක නිදාගෙන හිටියා. රාත‍්‍රී කාලයේ නිදාගෙන සිටින ඇයට ඇඟේ යමක් විටින් විට තැන තැන වදින ආකාරයක් දැනුනත්, බලනකොට එහෙම කිසිවක් තිබිලත් නෑ. මගේ ඇඟිලි එ් මේ අත කැරකෙන හැටිත්, එවිටම ඇඟිලිවලින් විහිදෙන යම් දෙයක් එසේ වදින හැටිත්, කටින් යමක් නොකිව්වත් මොනවා හෝ කියන ආකාරයත් දැනී භාර්යාව මට කතා කර, “මොනවද ඔය ඇඟිලි කරකවමින් කියන්නේ” කියා අහපු වාරත් තිබුනා. එ් වෙලාවට “මොකුත් නෑ මං ඇහැරල හිටියෙ” කියන මෙහෙම පිළිතුරක් තමයි මගේ කටින් පිටවුනේ.

ටික දිනක් යද්දී ක‍්‍රමයෙන් තත්ත්වය බරපතල වුණා. ගුප්ත ලෝකයේ කතා කරන පිරිස් අතර බනින කොලොප්පම් කරන අයත්, විවිධ අපහාස කරන අයත් වැඩි වෙන්න වුණා. රාත‍්‍රියේ වගේම දවල්ටත් ගුප්ත ලෝකයේ පිරිස් මට හොඳටම පේනවා. දැන් වම් පැත්තේ ඉහළ අහසේ මට පාක්‍ෂික විශාල පිරිසක් ඉන්නවා. එ් වගේම දකුණු පැත්තේ ඉහළ අහසේ මට විරුද්ධ පාක්‍ෂික විශාල පිරිසක්. මේ පිරිස් කෝටි ගණනින්ද හිතා ගන්න බෑ. හරියට රජෙක් වටකර සිටින යුධ සේනාවක් වගෙයි. (නිල ඇඳුම් නොවන විවිධ ඇඳුම් ඇඳගත්) එ් පිරිසේ නියෝජිතයන් හතර පස් දෙනෙක් මා ළඟට ඇවිත් හිටියා. අර විශාල පිරිස මා පීඩනයට පත් කර පරාජය කරන අදහසින් මගෙන් විවිධ ප‍්‍රශ්න අහනවා. දැන් රැකවරණයට උදව්වට කිසිවෙකුත් මා ළඟ නෑ. හිතා බලා පිළිතුරු දිය යුත්තේත් මා විසින්මයි. ඔවුන් කතා කරන්නෙත් සිංහල බසින්මයි. උඹ, ඇයි බොල, ඇයි යකෝ, තෝ… ආදී මේ වගේ වචනවලින් තමයි ඔවුන් මාව අමතන්නේ. බුදුපියාණන් වහන්සේට කියන්නේ බුදුන් කියන එකා, ඌ, එ්කා… ආදී වචනවලින්. “එ්ක බණ කියනව කියල මිනිස්සු රැවැට්ටුව. මූටත් එ්කව හොඳා. මොනවද බොල ලෝකෙම එ්ව කාල, ලෝකෙම රහ විඳල, ලෝකෙන්ම සුවය ලබල, ලෝකෙ අනිච්චයි කියන්නෙ? තොපි ගුණමකුවොනෙ. කියාපිය බොරුද කියල” මේ විදිහට ළඟ ඉන්න දූතයො මගෙන් අහනව. එ්ත් සමගම විශාල පිරිසක් ඔල්වරසං දෙමින් අපහාස කරමින්, “දීපිය උත්තර! ඕවද තොපේ බණ” කියමින් මට හිනා වෙනවා.

මේ විදිහට කෑ ගහනකොට ඔවුන්ගෙන් කැකෑරී ගිය ශක්ති විශේෂයක් මා කරා එල්ල වෙන සේ ශරීරය වට වී ගියා. හදවතේ ලේ දැවෙන්න වගේ වුණා. මේ වෙලාවෙදි, “මේ උත්තරේ දෙන්න” කියල කියන්නවත් කවුරුවත් නෑ. වම් පස ඉහළින් ඈත හිටපු දේවතා පිරිස් ගල් ගැහිල බලා ඉන්නවා. මගේ හිතට බිය නැතිකර ප‍්‍රති උත්තර දෙන්න තියෙන එකම දේ අවබෝධයෙන් ගෙතී එන දහම් අදහස පමණයි. මම එ් අයගෙන් මෙහෙම ඇහුවා. ඔබලා හොඳයි කියන ලෝකය නරක් වෙන්නෙ නැද්ද? හොඳයි කියන එ්වා වැනසෙන්නෙ නැද්ද? ඔබල උසස් ජය බලාපොරොත්තුවන ලෝකය පෙනි පෙනී පරාජය වෙන්නෙ නැද්ද? ඔබල සැප විඳිනවයි කියල සතුටු වන ලෝකය මෙහෙම එකක් නෙමෙයිද කියල ඇහුවොත් එ්ව හොඳයි කියනවද? හොඳයි කිව්වොත් බොරු කිව්ව වෙනවා. නරකයි කිව්වොත් ඔබල කිව්ව අදහසට විරුද්ධ දේ ඔබලම කිව්වා වෙනවා. එහෙම නෙමෙයිද?

දැන් එ් ප‍්‍රශ්නවලට මම මෙහෙම උත්තර දෙනකොට එ් අය ඔළුව කහනවා. මම හිතෙන් හිතන දේ හැම දෙනාටම ඇහෙනවා. එ් අය හිතන දේත් එහෙමම මට ඇහෙනවා. එ් අයත්, “හරි වැඩේ අපට වෙච්ච දෙයක්!” කියන මෙහෙම අදහසක් නගල බිම බලා ගත්තා. දැන් මහා පිරිස ගල් ගැහිල වගේ බලා ඉන්නවා. වම් පැත්තේ උඩ ඈත ඉන්න දේවතා පිරිස සුදු කොඩි වනමින්, “බුදුන්ගේ පැත්තට ජයයි ඔබලට පරාජයයි” කියල ප‍්‍රීති ඝෝෂා නැගුවා. මේ විදිහට ප‍්‍රශ්න ඇසීම හා විසඳීම දින ගණනක් සිද්ධ වුණා. කිසිම තැනක එ් අය නගපු ප‍්‍රශ්නවලට උත්තර දෙන්න බැරිවුනේ නෑ. මොන විදිහට කරකවල ඇහුවත් ධර්මානුකූල පිළිතුරක් එනවා. එ් පිළිතුරුවල පරස්පර හොයාගන්නත් නෑ.

ඇතා පිට හිටපු නීල වර්ණ රජ්ජුරුවෝ, (ගිරිමේඛලා නම් ඇතා පිට නැගී ආ වසවර්ති මාරයා) ළඟට එන්නෙ නැතිව පිරිස මගෙන් ප‍්‍රශ්න අහනකොට තම පිරිසගේ දක්‍ෂතාවය කියා හිතමින් සතුටු වෙනවා හිනා වෙනවා. එ්කනම් මාරක හිනාවක්ම තමයි. එ් මුළු පිරිසගේම හිනා හඬ යටපත් කරමින් අහස ගොරවන හඬක් සේ ඇහුණා. නමුත් දිනෙන් දින ධර්මයට ජය, මරුට පරාජය යන අදහස ජයග‍්‍රහණය ලෙස ඔප් නැංවුණා. මේ විදිහට ක‍්‍රමයෙන් උග‍්‍ර වෙච්ච සටන දින හතක් පමණ පැවතුණා. නින්ද අහලකවත් නෑ. නිදාගන්න හැදුවට නින්ද යන්නෙත් නෑ. සමහර වෙලාවට මෙහෙම නින්ද නොගියොත් ලොකු විනාශයක් වෙයි කියලත් හිතුණා. එ්ත් මොනව කරන්නද ලෝකෙ අනාතමයි. උත්තරයත් එ්කම වුණා.

හැබැයි මේ මාර පිරිසගේ එක්තරා හොඳක් තිබුණා. කරුණු සහිතව යමක් වටහා දෙනකොට එ් අය සාවදානව අහගෙන ඉන්නවා. පිළිගන්න පුළුවන් පිළිතුරක් ලැබුණොත් ඊට විරුද්ධව බොරුවට කරුණු පෙන්වා පුප්පන්නෙ නෑ. පරාජය බාරගෙන වෙන ප‍්‍රශ්ණයක් නගනවා. හැබැයි පරාජය බාර ගත්තත්, සත්‍යය අපි පිළිගන්නවා කියන අදහස හෝ ගරුත්වයක් හෝ නෑ. මේ විදිහට ගිහින් අවසානයේදී “තෝත් තොපේ බුදුන් වගේ අහන අහන එකට පිළිතුරු දෙනවා. කියාපිය මම ගෞතම කියල…. කියාපිය… ඉතින් කියාපිය….” ආදී වශයෙන් මහා බලවේගයක් මා වෙත යොමු කළා. ඔවුන්ගේ එ් මෙහෙයවීමේ බලය කොච්චරද කියනව නම් එ් බලයෙන්ම “මම ගෞතම” කියන වචනයත් මගේ කටින් පිටවුණා. එතකොටම විශාල පිරිසක් “අන්න තෝ තොගේ නායකයාට අපහාස කළා. තෝ සමාන වෙන්න හැදුවා. නීචයා….” කියා කෑමොර දෙන්න පටන් ගත්තා. කොහොම හරි මම පිළිතුරු දෙන මොහොතේ එ් අය හැමෝම නිහඬ වෙනවා. “මා ලවා ඔබලාම කියෙව්වා මිසක්, මම මගේ අදහසින් නොකියපු දෙයක් අරගෙන ඔබලා මා වරදකරු කරන්නේ කොහොමද?” මේ තමයි මගේ පිළිතුර. එතකොට හැමෝම නිහඬ වුණා.

දැන් මට තදබල වෙහෙසකුත් දැනෙනවා. මෙලොව අන් අය කතා කළත් මට එ් ගැන කිසිදු අවධානයක් නෑ. මම ඇඳක උඩු අතට හාන්සි වුණා. දැන් අර නියෝජිත පිරිස අමුතුම කාරණාවක් පෙන්වමින් මෙහෙම කියනවා. “මෝඩය වගේ මුලා නොවී දැන්වත් අපි කියන දේ අහපන්. උඹ හිතාගෙන ඉන්නෙ කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම කියන ඔය හතරදෙනා බුදුවරු කියලද? උන් හතරදෙනාම දැන් ඉන්නේ අපායෙ මහා ගිනි ගොඩක් උඩ. එ් අය පෙන්වන්නම් හොඳට බලාපන්” මෙහෙම කියල මනස යට පැත්තට යොමුවන ලෙස එ් දර්ශනය මවල පෙන්නුවා. පුදුමයක්! මහා ගිනි ජාලාවක් මැද සිංහාසන හතරක ඉතා නිශ්චලව වැඩ ඉන්නා බුදුවරු හතර නමක්. එ් දසුන දකින මට ඇතිවූ අදහස නම්, “ආශ්චර්යයකි. බුදුවරු ගින්නෙන් දැවිය නොහැක. ගින්නෙන් කම්පා නොවේ. ගිනි උන්වහන්සේලා ළඟ සිසිල් වේ.” යන්නයි.

මේ අදහස එනකොට මර රජාගෙන් හඬක් නිකුත් වුණා. “ඕකව හදන්න බෑ…. ඕකව හදන්න බෑ…. ඕක උන්ගෙම එකෙක්…. බෙල්ලෙන් අල්ලල උන් ළඟටම තල්ලූ කරපං….” මරුන් අතර හිටපු මට දැන් කරකියා ගන්න දෙයකුත් නෑ. පිළිසරණට බුදුවරයෙක් හෝ සංඝයා වහන්සේලාවත් නෑ. සත්‍යය, ධර්මයේ ප‍්‍රතිඵලය යමක් නම් එය පිළිගනිමි, වෙන දෙයක් වෙයි. මේ අදහස එනවාත් සමගම, තෝත් එතෙන්ටම පල කියා කවුරුන් හෝ කෙනෙක් මගේ බෙල්ලට අත තියල පහතට තල්ලූ කළා. මා නිදා සිටි ලෙස හරහටම පහතට ඇදී යන්න වුණා. මගේ අදහස අකම්ප්‍යයි. නිශ්චලයි. උඩුකුරුව සිටියත් යට දෙසත් හොඳට පේනවා. දැන් ගින්නට ඉතා ළඟයි. මුනිවරු හතරදෙනාටත් ඇත්තේ තවත් බඹ පහක පමණ දුරක්. එ්ත් සමගම කිරිගරු`ඩ වැනි මහා ගල් තලාවක් එ් අතරින් මැවුණා. මම රබර් බෝලයක් වදින්නා සේ එ් පර්වතයේ වැදී කුෂන් කළ යමක එරී ආපසු විසිවෙන්නා සේ උඩට ඇදෙන්න වුණා. මගේ ශරීරය ඇඳ උඩ. යළිත් ශරීරයට ඇතුල් වුණා. දැන් මට බාධක ජයගත් ජයග‍්‍රාහී විලාසයක් දැනෙනවා. මාර පිරිසත් ළඟටම වටවෙලා ඉන්නවා. ඔවුන්ගෙන් නියෝජිතයෙක් පැමිණ මෙහෙම කිව්වා. “උත්තමය අපි පරාදයි. මින් පසු අපෙන් කරදරයක් නෑ. හිතූ සේ යහපත කරන්න. අපට යන්න අවසරයි.”

මේ හඬත් සමගම බුරුල්වන අතට කැරකැවී දුරස් වන ලෙස මහා සුළඟක් ආපසු යන්නා සේ වැටහුණා (මෙච්චර වෙලා තිබුණු මහා බාධකයක් ඉවත් වුණා සේ දැනුණා). සියළු සෙනග එ් සමගම ගියා ගියාමයි. එ් ආකාරයෙන් කවුරුවත් අද වන තුරුත් ආවෙ නෑ. විශාල ජයග‍්‍රාහී නිදහසක් ලබා යලි උපත ලැබූ ලෙස ඇඳෙන් නැගිට සිටි මා, දැන් සේරම ප‍්‍රශ්න ඉවරයි කියා, දින ගණනකින් අතු නොගා තිබූ මිදුල අමදිමින් ප‍්‍රකෘති මනසින් කටයුතු ආරම්භ කළා.

දැන් ගතට ප‍්‍රබෝධය දැනෙනවා. විරුද්ධ පාක්‍ෂික බලවේග අහලකවත් නෑ. ශරීරය වටකර අඩි එකහමාරක් දෙකක් දුරට තිබූ කාන්දම් වලලූ ස්වභාවයක් තිබුණා. එ්වා සිතිවිලි අනුව ක‍්‍රියා කරනවා. අත කරකවා එ් කිරණ කැටි කළාම වොලිබෝලයක් තරමේ කාන්දම් බෝලයක් අතට එන්න පටන් ගත්තා. අවශ්‍යනම් එ්ක කෙනෙකුගේ ආරක්‍ෂාවට ශරීරය වටා පිහිටවන්නත් පුළුවන්. කලින් හිටපු බුද්ධ ප‍්‍රසාද දේවතා පිරිසත් ළඟින්ම ගැවසෙමින් හිටියා. එ්ත් සමගම උදව් උපකාර ලබාගන්න ළං වෙන පිරිසකුත් හිටියා. එ් අය තම තමන්ගේ දේවත්වය සහ බලපුළුවන්කාරකම් ගැනත් කියා පාන්න පටන් ගත්තා. එබඳු කෙනෙක් ඇවිත් තමා දේවතාවෙක් බවත්, අවශ්‍ය නම් බැංකුවේ ඇති මුදල් වුනත් ගෙනත් දෙන්න පුළුවන් බවත්, නමුත් අසාධාරණ වැඩ නොකරන නිසා එසේ නොකරන බවත් කියා සිටියා. දේවතාවන්ගෙන් මම මොනව කරගන්නද? නමුත් මේ කියපු කියමන ගැන පරීක්‍ෂණයක්ද කළ යුතුයි. මේ නිසා මම ඔහුට මෙහෙම කිව්වා. “මම රුපියල් පහක් අල්මාරිය උඩ තබනවා. එ්ක ගෙනිහින් බුලත්විට වෙළෙන්දෙකුගේ මුදල් වෙත තබා බුලත් විටක් ගෙනත් දැන් පෙන්වන්න. (එ් කාලයේ බුලත් විටක මිල රුපියල් පහයි). එතකොට වෙළෙන්දාටත් ලාභයක්. ඔබේ හැකියාව ඔප්පුකරන්නත් එ්ක වැදගත්. එය දැන්ම කර පෙන්වන්න.” මම මෙහෙම කියල වටපිට බලනවත් සමග ඔහු අතුරුදන් වුණා. නැවතත් ආවෙ නෑ.

තවත් දිනක් එබඳුම තවත් කෙනෙක් ඇවිත් තමා දේවතාවෙක් බවත්, දුර තියෙන ඕනෑම දෙයක්, සැඟවුණු රහසක් බලා කියන්න දක්‍ෂ බවත්, තමාට උදව් කරන්න පුළුවන් බවත් පවසා සිටියා. මම ඔහුට ප‍්‍රසංසා කර මෙහෙම කිව්වා. “එතරම් ලොකු දෙයක් මට අවශ්‍ය නෑ. දැන් වත්ත පහළ ලිඳ ලඟ කවුරුන් හෝ නාන ශබ්දයක් ඇහෙනවා. එ් කවුද කියල හරියටම කියන්න. මම දැන්ම එතැනට ගිහින් බලනවා. ඔබේ සත්‍යතාවය එයින්ම තහවුරු කරගන්න පුළුවන්.” මම ඔහුට දැනුම් දුන්නේ මෙච්චරයි. වටපිට බැලූ ඔහු කොහේ ගියාද කියලවත් හොයාගන්න බැරිවුණා. නැවත උදව් ගැන කතා කරන්න ආවෙත් නෑ.

මාර සටන් නැවතුනත් මේවත් මාර උගුල්. එච්චර විතරක් නෙවෙයි, පංච කාමයන්ගේ නොහොඹිනා දුශ්චරිත අවස්ථා මුණගස්වා දෙමින් හිතවතුන් විදිහට ළං වෙන්නත්, විවිධ ලාභ කීර්ති ප‍්‍රසංසා, තත්ත්ව තානාන්තරවලට මග පාදමින් එ්වාට අවස්ථාත් සලසා දෙමින් පොළඹවා ගන්නත් නොයෙක් උපක‍්‍රම යොදන්න උත්සාහ කළා. විවිධ ස්ත‍්‍රීන් වසඟ කරදීම, නිධන් පෙන්වා ධනයට මත්කරවීම, ලොව රාජ්‍ය බලය අත්පත් කරදී ප‍්‍රධානීන් කරන ලෙස තානාන්තර මුලාව ඇතිකිරීම… ආදිය මේ දෙවනි මාර පාක්‍ෂික ක‍්‍රමවේදය මගින් මීළඟට ක‍්‍රියා කරන්න උත්සාහ කළා.

මේ අනුව පළමුවෙන්ම මේ මාර පාක්‍ෂිකයෝ හිංගි හිංසා (ප‍්‍රාණඝාත) කරන්න උත්සාහ කරනවා. එ්කෙන් බැරිනම් දෙවනුව අදත්තාදානයන්ගෙන් සම්පත් නැති කරලා මනස විපරීත කරන්න උත්සාහ කරනවා. එ්ත් බැරිනම් තුන්වනුව කාම චාරයෙන් මත් කරවන්න උත්සාහ කරනවා. එ්කෙනුත් බැරිනම් හතරවනුව විවිධ මුසාවාදයන්ගෙන් රවටන්න උත්සාහ කරනවා. එ් ක‍්‍රමයටත් බැරිවෙනකොට පස්වනුව තත්ත්ව තානාන්තර එවලා, එ්වායින් මත් කරලා වසඟ කරගන්න බලනවා. මේ ක‍්‍රම පහෙන්ම බැරිනම් මේ පහම එකට එවනවා. ඉතින් මනා සිහියෙන් ඉඳගෙන මේවට මුහුණ දෙන්න ඕන. ලාභ, කීර්ති, ප‍්‍රසංසා, තත්ත්ව තානාන්තර කියන මේවා අනිච්ච, දුක්ඛ, අනත්ත බවත්, මේවායේ ගන්න හරයක් නැති බව වැටහෙන නිසාත්, මේවගේ කරුණු ඉදිරිපත් කර මාර පාක්‍ෂිකයන්ට ජය ගන්න බෑ.

(ඉතිරි කොටස ලබන කලාපයෙන්)

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.

2 thoughts on “මාර සේනාවන් සමග කළ සංවාදවලින් සහ මාර උගුල්වලින් ජය ලැබූ හැටි…..

  1. Pingback: තුන් ලොව සියළු සතුන්ගේ තොරතුරු සටහන් වූ ගුප්ත ලොව පොත් ගුල් හතර විවෘත වෙයි! | හෙළ බොදු පියුම

  2. Nilakshi

    ඔබ වහසේගේ ධර්ම සාකච්ජා ශ්‍රවණය කරන විටත් බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව වැටහෙනවා, විග්‍රහ කරන කරුණු පිළිබඳවත් මේ නම් සත්‍ය ධර්මයමයි යනුවෙන් පැහැදෙනවා. ඔබ වහන්සේ ලැබූ මෙම ගුප්ත අත්දැකීම් විශ්වාස කරන්නට ඒ පැහැදීම ම සෑහේ. ඔබ වැනි ස්වාමීන් වහන්සේ නමකගෙන් ධර්මය අසන්නට අප බොහෝ පින් කර ඇති බව සිතමි.
    ඔබ වහන්සේ නිදුක් නිරෝගීව සුවසේ වෙසෙත්වා.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *