ලෝක සත්ත්වයා නොදකින සසර දුක. . . නිවැරදි බොදු ඇසින් පැහැදිලිව දැක ගනිමු

සසර දුක පිළිබඳව බොහෝ දෙනා හිතන්න පුරුදුව ඉන්නේ මරණයෙන් පසුව අපට විඳීමට ඇති දුකක් වශයෙනුයි. නමුත් සසර දුක අතීතයේත්, වර්තමානයේත්, අද පටන් මරණය දක්වාත්, ඉන්පසු ලබන්නා වූ සියලූ අත්බැවු පුරාවටත් විහිදී ගිය දුකක් බව තේරුම් ගත යුතුයි. එසේ නම් ළදරු වයසේදීත්, ළමා වයසේදීත්, තරුණ මහලූ වයස්වලදීත් සසර දුක එකසේ දැකිය යුතුයි. මේ සියලූ වයස්වලදී ජාති දුක, ජරා දුක, මරණ දුක දැනෙන්නේ කෙසේද?

මෙම සිද්ධිය තේරුම් ගැනීමට නම් ජාති ධර්ම, ජරා ධර්ම හා මරණ ධර්ම මොනවාද යන්න තේරුම් ගත යුතුයි. මේ සඳහා මජ්:නි:(1),397 පිටුවෙහි එන අරිය පර්යේෂණ සූත‍්‍රයේ ජාති ධර්ම, ජරා ධර්ම හා මරණ ධර්ම විග‍්‍රහ වී ඇති ආකාරය විමසා බලමු.

මහණෙනි, කුමක් ජාති ධර්මයෝයි කියන්නේද? පුත‍්‍ර ධාරාවෝ ජාති ධර්මයෝයි, දැසි දස්හු ජාති ධර්මයෝයි, එළු බැටලූවෝ ජාති ධර්මයෝයි, කුකුලන් හා ඌරන් ජාති ධර්මයෝයි, ඇත් ගව අස් වෙළඹ ජාති ධර්මයෝයි, රන් රිදී ජාති ධර්මයෝයි. මහණෙනි, මේ පංචකාම ගුණ උපදීහු ජාති ධර්මයෝයි. මෙහි තෘෂ්ණාවෙන් බැඳුනා වූ, මුසපත් වූ, බැසගත්තා වූ මේ ලෝ වැසි තෙමේ ජාතිය ස්වභාව කොට ඇත්තේ ජාති ධර්මයක් ම සොයයි. මහණෙනි, කුමක් ජරා ධර්ම කියන්නේ ද? පුත‍්‍ර භාර්යාවෝ ජරා ධර්මයෝයි, දැසි දස්හු ජරා ධර්මයෝයි, එළු බැටලූවෝ ජරා ධර්මයෝයි, …. ජරාව ස්වභාව කොට ඇත්තේ ජරා ධර්මයක් ම සොයයි.

ඉහත කී ජාති ධර්ම විස්තර කරන ආකාරයටම ජරා ධර්ම, ව්‍යාධි ධර්ම, මරණ ධර්ම, ශෝක ධර්ම, සංක්ලේෂ (කෙලෙසුන් වැඩෙන ධර්ම) ධර්ම ද විස්තර කර තියෙනවා. එසේ නම් ජාති ධර්ම වශයෙන් විස්තර කර ඇත්තේ තමන් ඇසුරු කරන සියලූ ජීවී ජාතීන් වන නෑදෑ හිතවතුන් මෙන්ම ඌරන්, කුකුලන්, බල්ලන්, පූසන් ආදී සතුන් ද ඇතුලත්වයි. එසේම අජීවී ජාති වන රන් රිදී මුතු මැණික් ආදී ජාතිත් ඇතුලත් වෙනවා. මේවායින් තමයි ජාති දුක අපට ගෙන දෙන්නේ. මේ සියලූ ජීවී හා අජීවී ජාති, ජාති නොවන්නේ ද? අපගේ නිවසෙහි අපි ඇසුරු කරන සියලූ ජාති සමග අප බැඳී සිටියොත් ඒ ඒ ජාති විනාශයට පත්වන විට, නැති වී යන විට අපි දුකට පත් වෙනවා. අප ආශ‍්‍රිතව කොතෙක් ජාති තිබුණත් ඒ ඒ ජාති සමග අප බැඳී නොතිබුණොත් ඒවා විනාශ වී යන විට අපි දුකට පත් වෙන්නෙ නෑ.

අවුරුදු 3-4 ත් වයස ළමයෙකුට ජාති දුක දැනෙන ආකාරය දැන් සොයා බලමු. මේ වයසේ ළමයෙකුට අලුත් බෝනික්කෙක් ලබා දුන් පසු ඔහු ඒ බෝනික්කාගේ විවිධ ලක්‍ෂණ සමග බැඳෙනවා. බෝනික්කාට ආශා කරනවා. ටික දවසකින් බෝනික්කා කිලිටි වෙමින් ජරාවට පත්වන විට, ක‍්‍රියා විරහිත වන විට ළමයා දුකට පත් වෙනවා. මේ ආකාරයට බෝනික්කා තුළින් ජරා, ව්‍යාධි, මරණ (ක‍්‍රියා විරහිත වීම) ආදී දුක් ළමයාට විඳින්නට සිදුවෙනවා. මේ ආකාරයට ම අවුරුදු 15 ක් පමණ වයස ළමයෙකුට ලබා දෙන අලූත් බයිසිකලයක් ගැන සිතන්න. එය ක‍්‍රියා විරහිත වුනොත්, ජරාවට පත් වුනොත්, ළමයා මහත් වූ ශෝකයට පත්වන බව දකින්න පුළුවන්. ගෙදර ඇති කරන පූසෙක්, බල්ලෙක් (සත්තු ජාති) ලෙඩ වූ විට, මරණයට පත් වූ විට උන් සමග ඇසුරු කළ ගෙදර සියල්ලන්ටම ජරා දුක, මරණ දුක නොදැනෙන්නේ ද? ගෙදර තමා සතු රන් රිදී මුතු මැණික් (අජීවී ජාති) සමග අපි කොතරම් බැඳී සිටිනවාද? ඒ ජාතිවලට යම් විනාශයක් වුනොත් ඒ ජාති ඇසුරු කළ සියලූ දෙනාම මහත් වූ දුකකට පත් නොවන්නේ ද?

ජීවී හෝ අජීවී හෝ යම් ජාති වේ නම් ඒවා ඇසුරු කරමින් ඒවා හා බැඳී පවතින්නේ නම් ඒ තුළින් ජරා, මරණ, ශෝක, පරිදේව ආදී දුක් උපදවන බව තේරුම් ගත යුතුයි. ජාති දුක යන්න යමෙකු උපදින අවස්ථාවේදී ඇතිවන දුක වශයෙන් පමණක් තේරුම් ගැනීම කෙතරම් පටු ද යන්න දැන් පැහැදිලි විය යුතුයි. දරුවකු ප‍්‍රසූතියේ දී ඇතිවන දුකට පමණක් ජාති දුක සීමා කළොත් ඕපපාතික සතුන්ට (දෙවියන්, බඹුන්, සංසේජද… ආදී සතුන්) ජාති දුක ඇතිවන බවක් තේරුම් ගන්න බැරි වෙනවා.

මේ ආකාරයටම මරණ දුකත් යමෙකු මරණයට පත්වන අවස්ථාවේදී ඇතිවන දුකට පමණක් සීමා කළ නොහැකි බව තේරුම් ගත යුතුයි. අවසාන මොහොතේ, එනම් කයේ මරණ මොහොතේ ඇතිවන වේදනාව ගැන පමණක් සිතුවොත් එය එතරම් සැලකිය යුතු දෙයක් නොවන්නට පුළුවන්. අවුරුදු 80 ක් ජීවත් වූ මිනිසෙක් එක මොහොතක මරණයට පත්වන විට ඇතිවන මරණ දුක පිළිබඳව එතරම් බියක් ඇති නොකර ගනිමින් මරණ දුක අවතක්සේරු කළ හැකියි. සමහරු වැඩි වේදනාවක් නොවිඳම මොහොතකින් මරණයට පත්වන බව අපි දැකල තියෙනවා.

ජාති ධර්ම, ජරා ධර්ම, මරණ ධර්ම ඇසුරු කිරීමෙන් ලබන්නා වූ දුක ජීවිත පුරාවටම විහිදී ඇති බව තේරුම් ගත යුත්තක්. ජාති, ජරා, මරණ දුක් පිළිබඳව පුලුල් අවබෝධයක් ලබාගත් පසු ඉතිරි දුක් පිළිබඳව තේරුම් ගැනීමට උත්සාහ කරමු.

ශෝක වශයෙන් ගැනෙන්නේ සිතට දැනෙන කණස්සලූ ස්වභාවය හා දුක් ස්වභාවයයි. මෙය තේරුම් ගන්න අපහසු නෑ. උදාහරණයක් වශයෙන් තමා ඇළුම් කරන පවුලේ අයෙකුගේ වියෝවක්, වෙන් වීමක් සිදුවූ විට සිතට දැනෙන දුක ශෝකයයි. තමා ඇලූම් කරන දේ ජීවිතය පුරාවට තමන් සමග තියා ගැනීම කාගේත් ඉච්ඡාවයි, කැමැත්තයි. මෙම ඉච්ඡාව නොලැබීමෙන් සිතට ශෝකය (සුවය ක්ෂය වීම) දැනෙනවා.

පරිදේව කියන්නේ ශෝකයේම තවත් ගැඹුරුට යාමක් වැනියි. එනම් ශෝකයට පත් වෙමින් හඬා වැළපෙමින් විලාප නගන අවස්ථාවයි. මෙසේ විලාප නගමින් බිම පෙරලි පෙරලී කෑමොර දෙන අය සමහර මල ගෙවල්වලදී දකින්න පුළුවන්.

දුක්ඛ – සසර සියලූ දුක් ගොඩෙහි නැවත දුක්ඛ වශයෙන් අනු කාණ්ඩයක් දක්වන්නේ විශේෂ දුකක් හැඟවීමටයි. මෙම දුක්ඛ ස්වභාවය ඇඟට දැනෙන සිරුරට දැනෙන දුකයි. එනම් භෞතික ශරීරයේ තුවාලයක් වූ විට හෝ රෝගී අවස්ථාවක සිරුරට දැනෙන දුකයි.

දෝමනස්ස යනු සිතේ ඇතිවන ගැටීම් ස්වභාවයයි. මෙය ද සිිතට ඇතිවන දුකක් වුවත් ශෝකයෙන් වෙන් කර හඳුනාගත යුතුයි. “දෝ+මනස්ස” යන්නෙහි තේරුම දෙවෙනි මනස ආශ‍්‍රය (දෝ+මන+අස්ස) යන්නයි. පළමු මනස ඇලීමයි. තමන් ඇලී බැඳී සිටින යම් දෙයක් තමාගෙන් අන් අයෙකු උදුරා ගන්නා විට මේ ගැටීම් ස්වභාවය ඇතිවෙනවා. මෙය මනසේ තරහා ස්වභාවයත් සමගම උපදින්නා වූ තත්ත්වයක්. ශෝකය ඇතිවන විට මෙවැනි තරහා ස්වභාවයක් ඇති වෙන්නෙ නෑ. දෝමනස්ස කියන්නේ සිතේ ඇතිවන තරහා ස්වභාවය සමග එන වේදනාවක්.

උපායාස කියන්නේ බොහෝ දෙනෙක් හරි හැටි තේරුම් නොගත් දුකක්. එය දැඩි ශෝකය වශයෙන් සමහර තැන්වල විස්තර වී තිබුණත් දෝශ සහිතයි. උපායාස යනු ජීවත් වීම, පැවැත්ම සඳහා දරන උත්සාහයයි, ආයාසයයි. සත්ත්වයෙකු උපන් මොහොතේ පටන් මරණය දක්වා ම උත්සාහ කරන්නේ ජීවත් වීමටයි. තමන්ගේ ඉච්ඡුාව (කැමැත්ත* ජීවිතය කොතෙක් හෝ දුරට පත්වාගෙන යාමටයි. නමුත් සෑම අත්බැවකම මේ ආයාසය, උත්සාහය කඩා වැටී තියෙනවා. එය අනිච්ඡු වූ මරණයෙන් ම කෙළවර වෙනවා. සියලූ ලෝක සත්ත්වයන් උපන් දා සිට ජීවත් වීමට දැක්වූ උත්සාහය අසාර්ථක වී මරණයට පත් වෙනවා.

ළදරුවෙකු බඩගින්නට අඬන්නේ ජීවත් වීමට උත්සාහ කරන නිසයි. යමෙකු ඉතා සුළු අසනීපයකදී වුවත් බෙහෙත් හොයන්නේ ජීවත් වීමට කරන උත්සාහය නිසයි. සතුරන්ගෙන් ගැලවීමට දුවන්නේ ජීවත් වීමට කරන ආයාසය නිසයි. අප ආහාර රැස් කරන්නේත්, මුදල් හොයන්නේත් ජීවත් වීමට කරන ආයාසය නිසයි. එක සතෙකු තවත් එකෙකු මරා ගැනීම සඳහා පසු පස එළවන්නේ තමා ජීවත් වීම සඳහා කරන ආයාසය නිසයි. උගෙන් බේරීමට අනෙකා පලා යන්නේත් සැඟවෙන්නේත් තමා ජීවත් වීමට කරන උත්සාහය නිසයි. මේ විදිහට මුළු ජීවිතය පුරාම ජීවත් වීමට උත්සාහ කරනවා. මෙය ආයාසයෙන් කළ යුත්තක්. නමුත් සියල්ලෝම එම උත්සාහයෙන් පරාජය වී අවසානයේ මරණයෙන් කෙළවර වෙනවා. මෙයද අනිච්ඡුතාවය මොනවට පැහැදිලි කරන අවස්ථාවක්.

මේ සාකච්ඡා කළේ දුක වශයෙන්ම ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි දුකේ දුකයි. දැන් සැප මුවාවෙන් අප වෙත එන දුක් ගැන සාකච්ඡා කරමු.

සැප වශයෙන් ගත් හැඟීම තුළ දුක උපදවන හැටිත්, දුක ආශ‍්‍රයෙන් සැප ලැබීම පිළිබඳවත් දේශනා කළ සූත‍්‍රයකින් සැප ආශ‍්‍රිත දුක පිළිබඳව දැනගනිමු. (මජ්:1, 712 පිටුව, චුල්ල වේදල්ල සූත‍්‍රයේ දුක සැප පිළිබඳව මෙසේ විග‍්‍රහ කර ඇත.)

සුක්ඛ විපාකයෙන් සුඛ වේදනාවේ ස්ථිතිය සුඛවේ, විපරිනාමය දුක්ඛවේ. දුක්ඛ වේදනාවේ ස්ථිතිය දුක්ඛ වේ, විපරිනාමය සුඛවේ.

මෙයින් අදහස් කරන්නේ සුඛ වේදනාව දිගටම පවත්නේ නම් (ස්ථිතිය) එය සැපක් බවත්, එම සුඛ වේදනාව විපරිනාමයට (කැමති සේ නැති පරිනාමය) පත්වන්නේ නම්, නැතිවී යන්නේ නම් එය දුකක් බවත්ය. දුක්ඛ වේදනාව දිගටම පවතින්නේ නම්, එය දුකක් බවත්, දුක්ඛ වේදනාව කෙළවර වන්නේ නම් එය සැපක් බවත් ය.

සත්ත්වයාගේ ඉච්ඡාත්වය (කැමැත්ත) සුඛ වේදනාව දිගටම පැවැත්වීමටයි. නමුත් එය එසේ සිදු නොවන විට එනම්, කැමති පරිදි සුඛය දිගටම පවත්වන්නට බැරි වන විට එය දුකක් වෙනවා. මෙහිදී ප‍්‍රකාශ වන්නේ සුඛයේ අනිච්ඡුතාවයයි.

දුක් වේදනාව දිගටම පැවැත්වීමට කිසිවෙකුත් කැමති නෑ. සත්ත්වයාගේ ඉච්ඡුතාවය වන්නේ දුක කෙළවර කරගැනීමයි. එසේ නොවී දුක දිගටම පවතින්නේ නම් එය මහා දුකක්. කැමති පරිදි දුක කෙළවර කරගැනීමට නොහැකි වීම දුක් වේදනාවන්ගේ අනිච්ඡ ලක්‍ෂණයයි.

බුදුපියාණන් වහන්සේ දේශනා කළේ ලෝක ආස්වාද නැති බව නොවෙයි, එම ආස්වාද සොයා යෑමේදී සත්ත්වයා දුකට පත්වන බවයි. ආස්වාදයේ ආදීනවය එයයි. ආස්වාදය ආස්වාදය වශයෙන් දකින ලෙසත්, ආස්වාදයේ ආදීනව දුක් ලෙස දකින ලෙසත් උන්වහන්සේ දේශනා කළා.

ආස්වාදය සොයා යන සත්ත්වයා දුකට පත්වන හැටි උදාහරණයක් ගෙන බලමු. ජලාශයක මාළු බාන අවස්ථාවක් ගැන සිතන්න. මෙහිදී මාළු බාන්නාගේ උත්සාහය කුඩා මාළුවෙකු හෝ පනුවෙකු බිලී කොක්කක අමුණා ඒ මගින් ලොකු මාළුවෙකු අල්ලා ගැනීමයි. කොක්කේ ඇමිණූ ඇම ලොකු මාළුවෙකුට ආස්වාදය ගෙන දෙන ආහාරයක් නිසා ඌ එම ඇම ආස්වාදය පිණිස ගිල දමනවා. ඌ ලබන ආස්වාදය වන්නේ එම ඇම ගිලීමෙන් මොහොතකට ලබන රසාස්වාදයයි. ඒ ආස්වාදය විඳීමට ගිය මාළුවාට මරණය හෝ ඒ සමාන දුකකට ගොදුරු වීමට සිදුවන බව පැහැදිලියි.

අද සමාජයේ තරුණ පිරිස් අතර ආස්වාදය සොයා නිමක් නැතිව ඒ පසුපස යන යුවලක් ගැන සිතන්න. තමා බලාපොරොත්තු වන පරිදි සිතූ දේ තමා සතු කරගැනීමට නොහැකි වූ විට එකෙක් තම සිරුරට ගිනි තබා ගන්නා හෝ දුම්රියට ගෙල තබා ගන්නා අවස්ථා අප දැක තියෙනවා. ආස්වාදය දිගටම පවත්වාගෙන යාමට නොහැකි වීම නිසා ඇතිවන දුකෙහි විශාලත්වය මෙයින් තේරුම් ගන්න පුළුවන්. සිරුර ගිනි ගෙන දැවෙන මහත් වූ වේදනාවට වඩා ආස්වාදය ආශ‍්‍රිතව ජනිත වූ වේදනාව ප‍්‍රබල බව මින් නොපෙනෙන්නේද? දුම්රියට හසුවී තම සිරුර කැබලිවලට කැඞී බිඳී යාමේ වේදනාවට වඩා වැඩි වේදනාවක් ආස්වාදය නැති වීමේදී ඇති වූ බව මෙයින් තේරුම් ගත නොහැකිද?

යම් දුකක් ඇති වන්නේ නම් එයට හේතුව අනිච්ඡ වූ යමක් සමග බැඳීමට යාම බව “යද නිච්ඡුං තං දුක්ඛං” යන්නෙන් අපි මුලදී තේරුම් ගත්තා. ආස්වාදය ආශ‍්‍රයෙන් එහි ආදීනව වශයෙන් දුක ඇතිවීමට නම් ආස්වාදය අනිච්ඡ ලක්‍ෂණයෙන් යුක්ත විය යුතු බව තේරුම් ගත යුතුයි.

ආස්වාදය අනිච්ඡ වන ආකාරය දෙස බලමු. ආස්වාදය අපට කැමති (ඉච්ඡ සේ) පරිදි දිගටම පවත්වා ගෙන යන්න බෑ. අවශ්‍ය ඕනෑම වෙලාවක ලඟා කර ගන්නත් බෑ. අපි ආස්වාද විඳීමට බලාපොරොත්තු වන්නේ අනිච්ඡ වූ බාහිර ලෝකය සමග එකතු වෙමින්. ඒ සඳහා පාවිච්චි කරන්නේ අනිච්ඡ වූ ඇස, කන, නාසය, දිව, ශරීරය, මන යන ඉන්ද්‍රියන්. ආස්වාදය විඳින්නේ රාගිකව හෝ මෝහයෙන් බැඳීම තුළයි. මෙසේ රාග, මෝහ ගොඩනගා ගැනීම තුළින් අනන්ත දුක් ඇති සසර තව තවත් දික් කර ගන්නවා. එයද අපේ ඉච්ඡතාවය නොවෙයි. සසර දිග් ගැසීම නිවන් දැකීමට බලාපොරොත්තු වන අයගේ ඉච්ඡාව නොවෙයි. එවන් අයට සසර දුකට වැටීමට සිදුවීමත් අනිච්ඡතාවයක්.

මෙය “ඛයට්ඨේන අනිච්ඡා” වශයෙන් හැඳින් වෙනවා. ඛය පැත්ත වශයෙන් අප තේරුම් ගත යුත්තේ පහත් පැත්තයි. සසර දික් වීම පහත් පැත්තයි. යම් ක‍්‍රියාවලියකින් ආස්වාදයක් විඳීමට යාමෙන් අපේ සසර දික් වන ක‍්‍රියාවලියකට වැටේ නම් එය පහත් පැත්තට හෙවත් ඛය පැත්තට වැටීම වශයෙන් තේරුම් ගත යුතුයි. මෙය ආස්වාදයේ බරපතලම ආදීනවයයි.

අපි එදිනෙදා ආස්වාද ලබාගන්න ගිහින් විඳින්න සිදුවන දුක් ගැහැට ආස්වාදය නිසා විඳින්න සිදුවන ආදීනව වශයෙන් තේරුම් ගත යුතුයි. ආස්වාද, ආදීනව, නිස්සරණ ගැන ඉදිරියේදී කථා කරමු.

නුගේගොඩ වින්සර් රෝහලේ සභාපති
වෛද්‍ය ආර්. පී. වීරසිංහ
MBBS/DFM/MCGP/MPFAM

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.

One thought on “ලෝක සත්ත්වයා නොදකින සසර දුක. . . නිවැරදි බොදු ඇසින් පැහැදිලිව දැක ගනිමු

  1. Pingback: සම්මා දිට්ඨියට පත්වීම | හෙළ බොදු පියුම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *