නාමරූප ප‍්‍රත්‍යයෙන් සලායතන හටගන්නා හැටි සැඟව ගිය දහම් ඇසින්

පසුගිය කලාපයෙන් අපි සාකච්ඡා කළා විඤ්ඤාණ පච්චයා නාමරූපං කියන කාරණය පිළිබඳව. නාම රූප කියන්නෙ මොනවද කියලත් සාකච්ඡා කළා. නාමරූප විඤ්ඤාණ ප‍්‍රත්‍යයෙන් ඇතිවන හැටි සාකච්ඡා කළා. රූප (රූ + ඔප් =රූප – රවුම් ගැසීම හෙවත් භ‍්‍රමණ චක‍්‍රය ඔප් නැංවීම) කියන්නේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි සහ එ්වා ආශ‍්‍රිතව හැදෙන රූප වශයෙන් විග‍්‍රහ කළා. නාම කියන්නේ ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා හෙවත් සංඛාර, මනසිකාර වශයෙන් අපි සාකච්ඡා කළා. මේ ලිපියෙන් බලාපොරොත්තු 1 වෙන්නේ මේ නාම රූපවලින්, නාම රූප ප‍්‍රත්‍ය කරගනිමින්, ෂඞ් ආයතන හෙවත් සලායතන ඇතිවෙන්නෙ කොහොමද කියන එක සාකච්ඡා කරන්න.

එහෙනම් ඉන්ද්‍රිය ආයතන බවට පත්වන ක‍්‍රමය අපි විග‍්‍රහ කරගනිමු. විඤ්ඤාණ ප‍්‍රත්‍යයෙන් නාමරූප හටගන්නා ආකාරය පිළිබඳව බොහෝ අය උත්සාහ කරන්නේ, මේ අනිච්ච වූ සංඛත වූ විඤ්ඤාණය ඊළඟ අත්බැව කරා ගෙනිහින් එතැනදී මව් කුසක් තුළ නාම රූප ඇතිවන හැටි විස්තර කරන්නයි. ගුවන් විදුලියේ, රූපවාහිනියේ අපි අහන බොහෝ බණ දහම්වල විඤ්ඤාණ ප‍්‍රත්‍යයෙන් නාමරූප ඇතිවන හැටි විස්තර කරන්න උත්සාහ කරන්නේ, විඤ්ඤාණය මේ මරණින් පසු ඉවත්ව ගිහින් වෙනත් කළලයකට ඇතුල් වෙලා එ් කළලය තුළ නාම රූප හැදෙන හැටි පෙන්වන්නයි. ඇත්තටම මේක කණගාටු දායක සිද්ධියක්. මේ පටිච්ච සමුප්පාදය හරියට තේරුම් ගන්න නොහැකි වීම නිසා ඇති වෙච්ච ප‍්‍රශ්නයක්.

“ඉදප් පච්චයතා පටිච්ච සමුප්පාදය” (එ් එ් මොහොතේම එ්කට ප‍්‍රත්‍ය වන දෙය සෙවීම) කියල ආයාචනා සූත‍්‍රයෙන් (සං:නි: (1) 248 පිටුව) බුදුපියාණන් වහන්සේ බුදුවෙලා පළමුවෙන්ම ධර්ම ගාම්භීරත්වය මෙනෙහි කරපු අවස්ථාවේ දේශනා කළා. මේ ලෝක සත්ත්වයාට මා විසින් අවබෝධ කරගත්තා වූ මේ ගැඹුරු වූ ඉදප් පච්චයතා පටිච්ච සමුප්පාදය කෙසේනම් තේරුම් ගන්න පුළුවන් වෙයිද? බුදුපියාණන් වහන්සේට මේ වගේ චිත්ත පරිවිතර්කයක් (සිතිවිලි මාලාවක්) ඇතිවුණා. ඉදප් පච්චයතා පටිච්ච සමුප්පාදය ගැඹුරු බව උන්වහන්සේම තේරුම් ගත්තා. මේ මේ අවස්ථාවෙදීම ජාති හැදෙමින්, එ් එ් ජාතිවලට අනුරූප වූ දුක් කොටස් අපි විඳින බව විස්තර කරන අවස්ථාවක් තමයි මේකෙන් විග‍්‍රහ වෙන්නේ. අපි අවිද්‍යාව මගින් එවෙලෙට එවෙලෙට එ් එ් මොහොතේ සංඛාර ගොඩනගමින්, එ් එ් මොහොතේ විඤ්ඤාණ නිර්මාණය කරමින්, පටිච්ච සමුප්පාදයේ ඉතිරි කොටස් ටික සම්පූර්ණ කරමින්, එ් එ් මොහොතේ රාග ජාතිකයෙක්, ද්වේශ ජාතිකයෙක් බිහි කරමින්, එ් අදාල වූ රාග ජාතිකයාට හෝ ද්වේශ ජාතිකයාට උරුම වූ දුක් ටික එ් එ් මොහොතේ විඳින බව අපේ බොහෝ දෙනා දන්නෙ නෑ. මෙන්න මේ ක‍්‍රියාවලියයි ඉදප් පච්චයතා පටිච්ච සමුප්පාදය ලෙස විස්තර කරන්නේ.

මරණින් පසු ඊළඟ අත්බවයේ විඤ්ඤාණය තවත් මව් කුසකට ගිහින් නාම රූප හදනව කියන එ් සම්බන්ධතාවය වෙනම සිද්ධියක්. යම් අවස්ථාවක අපි රූපයක් දැක්කයි කියල හිතමු. එ් දැකපු රූපයට පටිච්ච වීමෙන් විඤ්ඤාණයක් ගොඩ නගමින් පටිච්ච සමුප්පාදයේ ඉතුරු පියවරවල් ටික සම්පූර්ණ කරමින් එ් මොහොතේම ජාතියක් බවට පත්වෙන බව හුඟක් අයට තේරුම් ගන්න අපහසු වෙලා තියෙනවා. නමුත් අමාරුවෙන් හෝ මේක තේරුම් ගත යුතුයි. එ් එ් මොහොතේ ජාති බවට පත්වෙමින් දුක් විඳින බව තේරුම් නොගත්තු අයට එ් මොහොතේ නිවන් දකින්න ලැබෙන්නෙ නෑ. නිවන කියන එක එ් මොහොතේ (මේ මොහොතේම) අපි ලැබිය යුතු දෙයක්. එ්ක මරණින් පස්සෙ ලබන දෙයක් නෙමෙයි.

එහෙනම් ජාති නිරෝධය මේ මොහොතේම සිදුවිය යුතු දෙයක්. දැන් අපි නැවත මාතෘකාවට බැස්සොත් විඤ්ඤාණ ප‍්‍රත්‍යයෙන් නාම රූප හැදෙන හැටි අපි විස්තර කළා. මේ නාම රූපවලින්, නාම රූප ප‍්‍රත්‍යයෙන් සලායතන හැදෙන හැටි දැනගනිමු. සලායතන කිව්වෙ ආයතන හයක් කියන එකයි. චක්ඛායතනය, සෝතායතනය, ඝානායතනය, ජිව්හායතනය, කායායතනය, මනායතනය මේ හයයි. එහෙනම් අපි නුවණින් කල්පනා කරල තේරුම් ගත යුතු තත්ත්වයක් තමයි, මේ ආයතන කියන්නෙත් අපේ ඉන්ද්‍රිය කියන්නෙත් එකමද කියල.
පටිච්ච සමුප්පාද චක‍්‍ර විවිධාකාරයි. විඤ්ඤාණ සහ නාම රූප විග‍්‍රහ කරනකොට චුතිය, පටිසන්ධිය ආදී චිත්තක්‍ෂණයක් ඇසුරු කර විග‍්‍රහ කරන සූක්‍ෂම පටිච්ච සමුප්පාදයක් තියෙනවා. එ් පටිච්ච සමුප්පාදය එක එක චිත්තක්‍ෂණයක් තුළමයි සිද්ධ වෙන්නේ. එනම් හතර ආකාර වූ පටිච්ච සමුප්පාද, අවස්ථා හතරකදී හතර වතාවක් එක චිත්තක්‍ෂණයක සිද්ධ වෙනවා. මේ කාරණය බුදුපියාණන් වහන්සේගේ අනාවරණඥානයට මිසක් අන් අයට ගෝචර වෙන්නෙ නෑ. සහජාත, සම්පයුත්ත, අඤ්ඤමඤ්ඤ, හේතු ආදී ප‍්‍රත්‍ය සමූහයකින් යුතුවයි එ් චක‍්‍ර ක්‍රියාත්මක වෙන්නේ.

අපට දැනගන්න පුළුවන් වන්නේ ස්කන්ධ වශයෙන් උපනිශ‍්‍රය ප‍්‍රත්‍යයෙන් ප‍්‍රත්‍ය වන පටිච්ච සමුප්පාදයයි. කුඩා චිත්තක්‍ෂණ කෝටි ප‍්‍රකෝටි ගණනක මතක සම්පිණ්ඩනය වෙලා සැකසෙන, උපනිශ‍්‍රය ප‍්‍රත්‍යයෙන් ප‍්‍රත්‍ය වෙලා ගොඩනැගෙන අවිද්‍යා ස්කන්ධ, සංඛාර ස්කන්ධ, විඤ්ඤාණ ස්කන්ධ, නාම රූප ස්කන්ධ, සලායතන ස්කන්ධ ආදී ලෙස ස්කන්ධ හෙවත් ගොඩවල් එකක් ලෙස සම්මත කරගත් සම්මතයන්්ගෙන් ගොඩනැගුන පටිච්ච සමුප්පාදයක් තමයි අපට ගෝචර වෙන්නේ.

අතීත ස්කන්ධයෝ ගෙවිල කෙළවර වුනත්, එ් ස්කන්ධ අතීත මනසිකාරයෙන් අරගෙන පොදිකර සම්මත නම් තබාගෙන අතීත හේතු ලෙස අවිද්‍යා, සංඛාර, තණ්හා, උපාදාන, භව යන පහක් උපනිශ‍්‍රයෙන් වර්තමාන වූ විඤ්ඤාණ, නාම රූප, සලායතන, ස්පර්ශ, වේදනා යන ඵල පහක්ද, එ්වා උපනිශ‍්‍රය කරගෙන ගොඩනගන අවිද්‍යා, සංඛාර, තණ්හා, උපාදාන, කර්ම භව යන ස්කන්ධයන් පහක උපනිශ‍්‍රය ලබා, වර්තමාන හේතු පහක් ගොඩනැගී එ්වා උපනිශ‍්‍රය කරගෙන, අනාගත ඵල ස්කන්ධ වශයෙන් මතු අත්බැවකට විඤ්ඤාණ, නාම රූප, සලායතන, ස්පර්ශ, වේදනා යන ස්කන්ධ පහක් ගොඩනැගෙන ක‍්‍රමයයි ශ‍්‍රාවක නුවණට ගෝචර වෙන්නේ. මේ පටිච්ච සමුප්පාදයේ අතීත හේතු පහ ගෙවිල අවසන් වෙලා එ්වා උපනිශ‍්‍රය ප‍්‍රත්‍යයෙන් ප‍්‍රත්‍ය ලබාගෙනයි වර්තමාන ඵල ස්කන්ධ පහ පහළ වන්නේ.

එ් නිසා මේ ස්කන්ධයන්ගේ උපනිශ‍්‍රය පටිච්ච සමුප්පාදය, චිත්තක්‍ෂණයක සම්පයුත්ත පටිච්ච සමුප්පාදයට ගලපන්න බෑ. මේවා ගැන වැඩි විස්තර පසුව විග‍්‍රහ කරල දැනගන්න පුළුවන්. මේ අනුව ඉදිරියට ඉන්ද්‍රිය සහ ආයතනවල වෙනස සොයාගත යුතුයි.

රහතන් වහන්සේ නමක් ආයතන නිරෝධ කරනවා (නිර් + උදා =උදා වෙන්නෙ නෑ). අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධයි. සංඛාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධයි. විඤ්ඤාණ නිරෝධයෙන් නාම රූප නිරෝධයි. නාමරූප නිරෝධයෙන් සලායතන නිරෝධයි. එහෙනම් රහතන් වහන්සේ අවිද්‍යාව නිරෝධ කළාම උන්වහන්සේට සලායතන නෑ. සලායතන කියන්නේ ඉන්ද්‍රියයි කියල හිතුවොත් රහතන් වහන්සේට ඉන්ද්‍රිය නැද්ද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස නැද්ද? මේ සියල්ලම රහතන් වහන්සේටත් තියෙනවා. එහෙනම් සලායතන නිරෝධයි කියල කිව්වම රහතන් වහන්සේගේ මොනවද නිරෝධ වුනේ? අන්න දැන් අපිට පේනව ඉන්ද්‍රිය කියන්නෙ එකක්, ආයතන කියන්නෙ තව එකක් කියල.

මේ සිද්ධිය අපි උදාහරණයක් අරගෙන තේරුම් ගන්න බලමු. යම් කිසි ස්ථානයකට අපි ආයතනය කියල නම යෙදුවොත් එ්ක කොයි ආකාරයටද යෙදෙන්නෙ කියල බලමු. අපි හිතමු අපට ගොඩනැගිල්ලක් තියෙනව කියල. මේ ගොඩනැගිල්ල බැංකුවක් සඳහා පාවිච්චි කළොත් මේකට අපි බැංකු ආයතනය කියල නම යොදනවා. එ් ගොඩනැගිල්ලෙන් බැංකුව අයින් කරල අධ්‍යාපන වැඩසටහන් සඳහා පාවිච්චි කළොත් අපි මේකට අධ්‍යාපන ආයතනය කියල කියනවා. අධ්‍යාපන වැඩසටහන් අයින් කරල වෛද්‍ය ක‍්‍රියාකාරකම්වලට මේ ගොඩනැගිල්ල පාවිච්චි කළොත් අපි දැන් එ්කට වෛද්‍ය ආයතනය කියල කියනවා. හැබැයි ගොඩනැගිල්ල එකමයි. මොනවටද මුලින්ම පාවිච්චි කළේ, බැංකු වැඩකටයුතුවලට. එතකොට එ්ක බැංකු ආයතනයක්. අධ්‍යාපන කටයුතුවලට පාවිච්චි කළොත් අධ්‍යාපන ආයතනය කියල කියනවා. වෛද්‍ය කටයුතු සඳහා පාවිච්චි කළ වෙලාවට අපි එ්කට වෛද්‍ය ආයතනය කියල කියනවා. එහෙනම් ආයතනය කියන නම යෙදුනේ, මේ ගොඩනැගිල්ල පාවිච්චි කරපු කාර්ය අනුව, එ් කාර්ය විග‍්‍රහ කරන්නයි. මෙන්න මේ ආකාරයෙන් අපේ ඉන්ද්‍රියන් ආයතන වන හැටි බලමු.
ඇසෙන් රූප දැකල, මේ රූප රාගිකව, ද්වේශිකව හෝ මෝහයෙන් යුතුව ගැනීමට ඇහැ පාවිච්චි කළොත් අන්න එතකොට ඇස රාගායතනයක් වෙනවා, ද්වේශ ආයතනයක් වෙනවා. එහෙනම් ඇස රාග ආයතනයක් වුනේ රාගිකව ඇස පාවිච්චි කළ නිසයි. ද්වේශ ආයතනයක් වුනේ ද්වේශයෙන් යුතුව ඇස පාවිච්චි කළ නිසයි. දැන් අපිට පේනව ඇස ද්වේශයෙන් යුතුව පාවිච්චි නොකළොත්, රාගයෙන් පාවිච්චි නොකළොත්, රූපයක් දැක්කට රාගයක් හෝ ද්වේශයක් පැන නොනැගුනොත්, එතැන ඇස ඇස විතරයි කියල. ඇස රාග හෝ ද්වේශ ආයතනයක් බවට පත් වුනේ නෑ. රාගක්‍ෂය, ද්වේශක්‍ෂය, මෝහක්‍ෂය කළ රහතන් වහන්සේ රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් ඇස පාවිච්චි කරන්නෙ නෑ. එ් නිසයි අපි කිව්වෙ උන්වහන්සේ මේ ඇස මුල්කරගෙන ගොඩනැගුන චක්ඛායතනය නිරෝධ කළා කියල. චක්ඛු ආයතනය නිරෝධ කළාම උන්වහන්සේට ඉතුරු වෙන්නෙ චක්ඛු ඉන්ද්‍රිය පමණයි. එහෙනම් අරිහත්වයට පත් නොවූ අයට චක්ඛු ඉන්ද්‍රියද, චක්ඛායතනයද තියෙන්නේ? මේ දෙකේ සම්මිශ‍්‍රණයක් තමයි ඔවුන් තුළ තියෙන්නේ.

අපි උදාහරණයක් අරගෙන බලමු. දැන් අපි දුම්රියෙන් ගමනක් යනවා කියල හිතන්න. මේ ගමන යද්දී දුම්රිය කවුළුවෙන් එළිය බලනකොට අපට ගෙවල් දිගටම පෙනේවි. මේ පෙනෙන හැම ගෙයකටම අපි රාගයෙන් පටිච්ච (කැමැත්තෙන් බැඳීම) වෙනවද? අන්න පළවෙනි ගේ දැක්කා, දෙවෙනි ගේ දැක්කා, තුන්වෙනි ගේත් දැක්කා… මෙන්න මෙහෙම ගෙවල් පෙලක් දකිනකොට අපි එ් සියළුම ගෙවල් හඳුනා ගන්නවා. ගෙයක් බව හඳුනා ගන්නවා. මෙහෙම යනකොට හතරවෙනි ගෙදර විශේෂිත ලක්‍ෂණයක් තිබුණොත් පමණක් එ් ගේ සමග රාගිකව පටිච්ච වෙනවා, රාගිකව බැඳෙනවා. අන්න එ් අවස්ථාවෙදි පමණයි ඇස රාගිකව පාවිච්චි කළේ. මෙන්න මේ ඇස රාගිකව පාවිච්චි කරපු මොහොත. ලස්සන ගෙයක් දැකල මේ ගේ නම් හරිම ලස්සනයි, මේ වගේ ගෙයක් මටත් ඇත්නම්… ආදී වශයෙන් රාගිකව බැඳීමක් ඇති වුනොත්, එ් ගෙයි ස්වරූපය පිළිබඳව ඇසින් අපි රාගිකව දැක්කා. එ් වෙලාවෙ අපි ඇස රාගිකව පාවිච්චි කළා. එහෙනම් එ් ගේ දැක්කේ රාගයට උපනිශ‍්‍රය කරගත් ඇසකින්. අන්න එ් වෙලාවේ අපේ චක්ඛු ඉන්ද්‍රිය චක්ඛායතනයක් බවට පත් වුනා. ඊට පෙර ගෙවල් තුනක් දැක්්කා. එ් එක ගෙයක් සමගවත් අපි රාගිකව බැඳුනෙ නෑ. රාගයෙන් ඇස පාවිච්චි කළේ නෑ. එහෙනම් එ් අවස්ථාවලදී අපි ඉන්ද්‍රියක් වශයෙන් ඇහැ පාවිච්චි කළා පමණයි.

එහෙනම් රහතන් වහන්සේ මේ ලස්සන ගෙයක් දැකපු වෙලාවෙවත්, ඇහැ ආයතනයක් බවට පත් නොකර ඉන්නවා. උන්වහන්සේ ඉතාමත් රමණීය ගෙයක් දැක්කත් එ් ගේ සමග පටිච්ච වෙන්නෙ නෑ. රාගයෙන් බැඳෙන්නෙ නෑ. එහෙනම් උන්වහන්සේ තුළ චක්ඛායතනය එ් මොහොතේ උදා වෙන්නෙ නෑ. නිර් උදාවෙනවා, එහෙනම් නිරෝධ වෙනවා. චක්ඛායතන නිරෝධයි කිව්වෙ එ්කටයි. චක්ඛු තියෙනවා, චක්ඛායතනය නිරෝධයි, චක්ඛායතනය උදා වෙන්නෙ නෑ.

අරිහත්වයට පත් නොවූ අය තුළ තමයි මන වඩන යමක් දැක්කොත් ඇස චක්ඛායතනයක් බවට පත් කර ගන්නෙ, රාගයෙන් එ් දැකපු දේත් එක්ක බැඳෙන්නේ. රාගිකව හෝ ද්වේශිකව හෝ ඇහැ පාවිච්චි කළා නම්, අන්න එ් වෙලාවේ ඇහැ චක්ඛායතනයක් බවට පත් වෙනවා. එහෙනම් චක්ඛායතනයක් උදා වුණා. චක්ඛායතනය නිරෝධ කරනවා කියන්නේ රාග, ද්වේශ, මෝහ නිරෝධ කිරීම තුළින් ඇස ආයතනයක් බවට පත්නොවීමයි, උදා නොවීමයි. එ්කයි නිරෝධ කරනවා කියන්නෙ. මෙන්න මේ විදිහට ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධර්ම එක්කත් අපි රාගිකව බැඳුනොත් අනිත් ආයතන ගැනත් තේරුම් ගත යුත්තේ එ් ආකාරයෙන්මයි.

ඇස කියන මේ ඉන්ද්‍රිය එක දිගට පවතින වස්තුවක්ද? මේක ෙසෙලවලින් නිර්මාණය වෙලා තියෙන්නෙ. මේ සෛල හැදිල තියෙන්නෙ අණුවලින්. එහෙම නැත්නම් පරමාණුවලින්. අණු හැදිල තියෙන්නෙ පරමාණුවලින්. පරමාණු හැදිල තියෙන්නෙ ශුද්ධාෂ්ඨක ආශ‍්‍රිතව. එහෙනම් මේ සෛලයක් තවත් කෝටි ගණනක පුංචි කෑලිවලට කඩල තමයි අන්තිමට ශුද්ධාෂ්ඨක තත්ත්වයට පත් වෙන්නෙ. අපි කවුරුත් දන්නව මේ ඇසේ පටක එක දිගට පවතින එ්කාකාරී දෙයක් නොවන බව. බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනව, කෙනෙක් එක පුද්ගලයෙකුට අත තියල ඇල්ලූවොත්, නැවත දෙවනි සැරේ අල්ලනකොට අහුවෙන්නෙ ඉස්සෙල්ල අල්ලපු එක්කෙනා නෙමෙයි කියල. මෙහෙම කියන්න හේතු වෙන්නේ මේ ශරීරයේ තියෙන සෑම පටකයක්ම, සෑම සෛලයක්ම එක එක අවස්ථාවලදී ගොඩනැගෙමින් බිඳෙමින් යන ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් නිසයි. මේ සියළුම ෙසෙල එක විට බිඳිල නැවත ඇතිවෙනවා නෙමෙයි. රූපය පෙන පිඬුවකට උපමා කළේ එ් නිසයි.

සෛල තුළත් ෙසෙල ගොඩනැගී ඇති අනිත් පුංචි පුංචි අංශු හෙවත් එ් අණු හෝ පරමාණුත් බිඳෙමින් ගොඩනැගෙමින් නැවත නැවත මේ ව්‍යූහය පවත්වාගෙන යනවා. එහෙනම් දැන් තිබිච්ච පටක ටික නෙමෙයි ඊලඟ මොහොතෙ ඇහේ තියෙන්නෙ. එහෙනම් මේ පටක බිඳවැටෙමින් ගොඩනැගෙමින් යන ක‍්‍රියාවලියක් තමයි මේ චක්ඛු ඉන්ද්‍රිය කියන්නෙ.
මේ විදිහට එ් එ් මොහොතේ ඇති වෙච්ච නාම රූප, කායික සතර මහා භූතයන් සමග එක් වී අලූතින් පටක ගොඩනැගීමේදී ප‍්‍රත්‍ය වෙනවා. මේක එක ප‍්‍රත්‍යයක්. තවත් බොහෝ ප‍්‍රත්‍ය තියෙන්න පුළුවන්. එහෙනම් එ් අවස්ථාවේ තමන්ගේ විඤ්ඤාණයෙන් නිපදවෙන එ් අවස්ථාවේ නාම රූප තමයි මේ පටක ගොඩනැගීම සඳහා ආධාර වෙන්නේ. බිඳවැටෙමින් ගොඩනැගෙමින්, බිඳවැටෙමින් ගොඩනැගෙමින් යන පටක පද්ධතියේ මේ බිඳවැටීමත් ගොඩනැගීමත් යන ක‍්‍රියාවලියට එ් එ් මොහොතේ ඇතිවන විඤ්ඤාණවලින් හටගන්නා වූ නාම රූප අනුගත වෙනවා. එහෙනම් පටක නිර්මාණයේදී මේ නාමරූප අනුගත වෙනවා.

එහෙනම් සතුටින් සාමයෙන් හිටපු පුද්ගලයෙකුට එකවිටම මහා තරහක් එන වැඩක් සිද්ධ වුනොත්, එ් මොහොතේ ද්වේශ විඤ්ඤාණයෙන් ගොඩනගන ලද, ද්වේශ සහගත නාම රූපවලින් මෙන්න මේ පටක ගොඩනැගීමට ආධාර වෙනවා. තව මොහොතකින් එ් විඤ්ඤාණය ඉවත් වෙලා නැවත සතුටු සිතක් ඇතිවුනොත්, අර ද්වේශ සහගත භාවය අඩංගු වූ නාම රූපවලින් ගොඩනැගුනු පටක නැවත විනාශ වෙලා සතුටු සගහත වූ විඤ්ඤාණයකින් හටගත් සතුටු සහගත වූ නාම රූපවලින් නැවත ඉන්ද්‍රියන් ගොඩනැගෙනවා. මේ ගොඩනැගීමේ ක‍්‍රියාවලියේදී, එ් එ් අවස්ථාවලදී හටගත් විඤ්ඤාණවලට අනුරූපව නාම රූප ගොඩනැගෙනවා. එ් නාම රූප එ් එ් අවස්ථාවේදී ඉන්ද්‍රියන් ගොඩනැගීම සඳහා ප‍්‍රත්‍ය වෙනවා. ඇතිවන්නා වූ අදහසේ රාගික හෝ ද්වේශික බව අනුව ඉන්ද්‍රිය සංයුතිය වෙනස් වන බව මේ ආකාරයෙන් තේරුම් ගත යුතුයි. හදිසියේ තරහක් ඇති වුනොත් ඇස් රතු වන හැටි, හෘද ස්පන්දනය වැඩි වන හැටි, ඇඟ වෙව්ලන හැටි ඉහත සිද්ධාන්ත අනුව තේරුම් ගන්න පුළුවන්.

මෙතෙක් අපි සාකච්ඡා කරපු විස්තර අනුව විඤ්ඤාණ ප‍්‍රත්‍යයෙන් නාම රූප වශයෙන් හැදෙන ශුද්ධාෂ්ඨකවලින් එක කොටසක් බාහිර ලෝකයට නිකුත් වෙමින් අපිට අදාල පින් පව්, මතක සටහන් ආදිය සියල්ල විඤ්ඤාණ තලය වෙත නිකුත් වෙන බව අපි තේරුම් ගත්තා. එ් ශුද්ධාෂ්ඨකවලින් තව කොටසක් තමයි මේ ශරීරයේ එක් එක් ඉන්ද්‍රියන්ගේ බිඳවැටෙන ගොඩනැගෙන පටකවල ක‍්‍රියාකාරීත්වයට සහභාගී වෙන්නේ. එ් එ් අවස්ථාවේ ඇතිවෙච්ච රාගික හෝ ද්වේශික හෝ විඤ්ඤාණයක් මත ගොඩනැගෙන රාගිකභාවය හෝ ද්වේශිකභාවය අනුගත වෙච්ච නාමරූප විසින් අලූතින් ඉන්ද්‍රිය පද්ධතිය බිඳවැටෙන ගොඩනැගෙන ක‍්‍රියාවලියට අනුගත වෙමින් ආයතන නිර්මාණය වන බව දැන් තේරුම් ගත යුතුයි.
එහෙනම් විඤ්ඤාණ ප‍්‍රත්‍යයෙන් ගොඩනැගෙන නාම රූප, ක‍්‍රම දෙකකට සකස් වෙනවා. එකක් බාහිර ලෝකයට නිකුත් වෙමින්, අපිට අදාල විපාක විඳීමට අවශ්‍ය පරිදි ධර්මායතනයේ පිහිටනවා. මේ ශුද්ධාෂ්ඨකවලින් තව කොටසක් තමයි ඉන්ද්‍රියන්ගේ බිඳවැටෙන පටක නැවත ගොඩනැගීමට එ් එ් මොහොතේ සහභාගි වෙන්නේ. එ් අනුව තමයි රාගය ඇති වෙච්ච වෙලාවට ඉන්ද්‍රියෝ රාගායතන බවට පත්වෙන්නේ, ද්වේශය ඇතිවෙච්ච වෙලාවට ද්වේශ ආයතන බවට පත්වෙන්නේ. මේ ආකාරයෙන් රාග ආයතන, ද්වේශ ආයතන ගොඩනැගෙන හැටි තේරුම් ගත යුතුයි. ඉන්ද්‍රිය හය මගින් ආයතන හයක් බවට පත්වෙන හැටි දැන් පැහැදිලියි.
මෙසේ අභ්‍යන්තර නාම කියන්නේ වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන ස්කන්ධ හතරයි. ඊට අනුගත වෙලා ක‍්‍රියා කරන සතර මහා භූත සහ උපාදාය රූපවලින් හැදිච්ච මේ කය අභ්‍යන්තර රූපයි.

බාහිර රූප කියන්නේ හිත කය නෙවෙයි. කර්ම, ඍතු – ආහාර යන හේතූන්ගෙන් හටගත් යම් සංඛත ධර්මයක් වේ නම් එ්වා සතර මහා භූතයන්ගෙන් හටගත් නිර්මාණයන්. මේවා ආකාර, ලිංග, නිමිති ස්වභාවය අනුවත්, උද්දේස, ප‍්‍රඥප්ති ලෙසත් තබාගත් නාම පද නිසයි හඳුනාගන්නා කතා ව්‍යවහාරයක් ඇති වී තියෙන්නේ. එ්ව තමයි බාහිර රූප සම්බන්ධ නාම ධර්ම. එ් බාහිර රූපත් කර්ම මූලිකව ගොඩනැගුණු ඍතු ආහාර රූපයන්ගේ හේතුඵල ධර්ම නිසා මේ සියලූ අභ්‍යන්තර බාහිර නාම රූපවලට මූල හේතුව විඤ්ඤාණයි. මේ විදිහටයි විඤ්ඤාණ පච්චයා නාම රූපං යන්න සිද්ධ වන්නේ. මීළඟ කලාපයෙන් සලායතන පච්චයා ඵස්සෝ කියන ක‍්‍රියාවලිය සලකා බලමු.

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණ දහම් කරුණු ඇසුරින් සකස් කළේ :
නුගේගොඩ වින්සර් රෝහලේ සභාපති 
වෛද්‍ය ආර්. පී. වීරසිංහ

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *