භෞතික ලෝකයෙන් ඔබ්බට ගිය ගුප්ත ලොව අත්දැකීම්වලින් බිඳක්

පසුගිය කලාපයෙන් –  සත්‍යය සොයා ගැනීමට පර්යේෂණ කරමින් භෞතිකවාදියෙකු ලෙසත් රඟපෑවා… එතැන් සිට…

මා පස්වැනි පන්තියේ ඉගෙන ගන්න කාලයේ සිදුවෙච්ච විශේෂ අත්දැකීමක් මෙසේය. අපේ සීයා ගම් ප‍්‍රධානියෙක්. ඒ කියන්නේ ආරච්චි මහත්මයෙක්. තේජස් පුද්ගලයෙක් වගේම ගරු කටයුතු බෞද්ධ පින්වතෙක්. ගමේ පන්සල එතුමාගේ පුරෝගාමීත්වයෙන් එතුමාට හිමි ඉඩමක් නිදහස් කර සාදා තිබුණු එකක්. අද මා වැඩ සිටින අරිය චින්තාශ‍්‍රම බෞද්ධ විහාරස්ථානය සාදා තිබෙන්නෙත් එතුමාට හිමි වෙච්ච පාරම්පරික ඉඩමකයි. මෙම ස්ථානය සකස් කර ඒ කාලයේත් පන්සලක් බවට පත් කර ජූජා කරන බලාපොරොත්තුවෙන්, තට්ටු තුනක මහල් මන්දිරයක් හදන්න අත්තිවාරම් දමා දන් ගේ සඳහා ශාලාවක්ද ඉදිකර, පාර දෙපස නා වැටියක් මෙන්ම බෝධීන් වහන්සේ නමක්ද රෝපණය කර ඉදිරි කටයුතු කරගෙන යන අතරතුර සීයා අභාවප්ප‍්‍රාප්ත වූ නිසා සියලූ කටයුතු අතරමග නැවතුණා.

ඒ වන විට එතුමන් විසින් නුවර පළාතේ පූජනීය ස්ථානයකින් ධාතූන් වහන්සේලා වැඩමවා පුද සත්කාර කරමින් තිබුණා. සීයාගේ අභාවයෙන් පසු කිසිවෙක් ඒ ධාතූන් වහන්සේලා බැලීමට කරඬුව විවෘත කර තිබුණෙ නෑ. සීයාගේ බිරිඳ හෙවත් ආච්චි අම්මාගෙන් මේ පිලිබඳව විස්තර අහගෙන වෙසක් පෝය දින පසුවී ඊළඟ උදයේ ධාතූන් වහන්සේලා බැලීමට මා කටයුතු කළා. සමන් පිච්ච මල් පීරිසියක් පූජා කර බුදුන් වැඳ ධාතු කරඬුව විවෘත කළා. ඉතා කුඩා මුං පියල්ලක් පමණ ධාතූන් වහන්සේ නමක් හා සුනු සහල් කඩක් තරම් කුඩා ධාතූන් වහන්සේ නමක් පීරිසියක් මතට කරඬුවෙන් වැඩම කළා. මෙය මා එදින ඇස් දෙකින් දැකපු සිද්ධියක්. මුං ඇටයක් තරම් ප‍්‍රමාණයට වටේටම රැස් විහිදෙමින් සුදු පාට කුඩා ධාතූන් වහන්සේ දිස්වන්නට වුනා. පහන් එලිය වගේ බාහිර ආලෝකයක් වැටීමෙන් සිදුවන වෙනසක් දැයි දැන ගැනීමට ඒ පැත්ත අතින් වසමින් පරීක්ෂා කළත් ඒ රැස් එසේම දිස්වුනා. මේ අවස්ථාවේදී සමන් පිච්ච මලක් අරගෙන මලට වඩිත්වායි කියමින් මාගේ වැඩිමහල් සොයුරා මල ළං කළා පමණයි, ධාතූන් වහන්සේ එසේම රැස් විහිදුවමින් මලේ කෙමියේ වැඩ සිටියා.

මෙය දුටු මාගේ චිත්ත ප‍්‍රසාදය නිම්හිම් නැති වුනා. එදා මලට වැඩියේ ඒ ධාතූන් වහන්සේ පමණයි. නැවතත් කරඬුවට වැඩමවා තැන්පත් කර බුදුන් වැඳ අපි පාසල් ගියා. මේ සිද්ධිය පසු දවසක මා විසින් ළමයි පිරිසකට කියන විට එක ළමයෙක් කීවේ, මල වතුරෙන් දෝවනය කර සුනු සහල් කැබැල්ලක් මලට ගාවා බලන ලෙසත්, ඒ ඇට කැබැල්ලත් ඒ විදියටම ඇලෙන්න පුළුවන් බවත්, එහෙම වුනොත්  ඕක ප‍්‍රාතිහාර්යක් කියා එක පාරටම හිතන්නේ කොහොමද කියායි.

මේ කාරණය පරීක්‍ෂා කර බලන්න මා ඊළඟ පෝය දින සමන් පිච්ච මල් පූජාකර

උතුම් බුදුපියාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වැඩ සිටියි නම් මා ආරාධනා කරන තුරු මලට නොවඞීවා

කියා පැය කාලකටත් වැඩි වේලාවක් ධාතූන් වහන්සේ මල් පෙත්තට ගන්න උත්සාහ කළා. නමුත් කෙසේවත් මලට වැඩියෙ නෑ. ඉන්පසු ඒ සැකය නැති බවද බවසා

උතුම් ධාතූන් වහන්සේලා නම් දැන් මලට වඩිත්වා යි

ආරාධනා කර මල ළං කළේ එක වතාවක් පමණයි. “ටික්” යන ශබ්දයක් යන්තමට ඇසුනා. ධාතූන් වහන්සේ මලේ කෙමියේ මැද වැඩ සිටියා.

දැන් චිත්ත ප‍්‍රසාදය අසීමිතයි. ඒ ධාතූන් වහන්සේ කරඬුවට වැඩමවා මුං පියල්ලක් තරම් වූ ධාතූන් වහන්සේ මලට ගන්නට උත්සාහ කළා. නමුත් වැඩියෙ නෑ. අතින් අල්ලන්නට කෙසේවත් නොසිතුනේ ගෞරවය වැඩි නිසයි. ධාතූන් වහන්සේ කෙසේ කරඬුවට වැඩමවම් දැයි ශෝක සංවේගයක් පහල වුනා. ඒත් සමගම එම ධාතූන් වහන්සේ එම මලේ පෙත්ත අගට වැඩියා. මල් පෙත්ත වකුටු වී ධාතූන් වහන්සේ පිළිගත්තා. මවටද අඬගසා එදා  නොවැඩි ධාතූන් වහන්සේ අද මලට වැඩියා යැයි කියා පෙන්වා සාදු කියා කරඬුවට වැඩමෙව්වා.

මේ දැහැමි පරීක්ෂණය කරන්න පෙර හාල් ඇට කැබැල්ලක් ද මලට ළංකර ගාවා බැලූවිට මලේ ඇලූන නිසයි, “මා ආරාධනා කරන තුරු මලට නොවඞීවා” යි ලෙස කියා ඉහත පරීක්ෂණය සිද්ධ කළේ. එදා මට ඇතිවුණ චිත්ත ප‍්‍රසාදය මෙබඳු අදහසක් ඇති කළා.

බුදුපියාණන් වහන්සේගේ අස්ථි ධාතු බිඳක් වන මේ ධාතූන් වහන්සේ මා වෙත බුද්ධ ප‍්‍රාතිහාර්ය දෙකක් පා වදාළා. එනම් රශ්මි කදම්බයක් විහිදීම හා සමන් පිච්ච මලට සෘද්ධියෙන් වැඞීමයි. මේ උත්තම ප‍්‍රාතිහාර්ය මා උදෙසා වූ හෙයින් මාගේ ජීවිතය බුදු සව්වනට පූජා කරමි. මේ ප‍්‍රතිපත්තියෙන් බුදුපියාණන් වහන්සේට පූජා වේවා

යන්න ඒඅදහසයි.

මේ කරුණු කාරණ මෙසේ පෙන්වන්නේ කිසිම ලාභයක්, කීර්තියක්, ප‍්‍රශංසාවක් ලබන්නට නොව සැදැහැවත් බොදුනුවන්ට බුදුපියාණන් කෙරෙහි යම් චිත්ත ප‍්‍රසාද මාත‍්‍රයක් පහළ වී නම් ඒ පින්වතුනට චිරාත් කාලයක් හිතසුව පිණිස වේවා, නිවනට හේතු වාසනා වේවා යන පරම පවිත‍්‍ර චේතනාවෙනි.

තවත්  වැදගත්  සිදුවීම්: අතීතංශඤාණය, අනාගතංශඤාණය කියන්නේ අභිඤ්ඤා පාදක චතුර්ථ ධ්‍යානය පාදක කරගෙන වැඞීමෙන්, හේතු වාසනා ඇති අයට පහළවන ඤාණ කොටසක්. මේ කියන්න බලාපොරොත්තු වන්නේ එබඳු ඤාණයක් ගැන නොවෙයි. සමහර පින්වතුන්ට අතීතයේ සිදු වූ දේවල්, අනාගතයේ සිදුවන්න තිබෙන දේවල් පිළිබඳව ක්‍ෂණිකව වැටහීමක් ඇති වී එබඳු දේවල් අරමුණු වී සාමාන්‍ය දැනීම් මට්ටම පිහිටනවා. මේ කියන්නේ අතීත අනාගත සියලූ දේ දකින නුවණක් ගැන නොවෙයි. කුඩා කළ මා හට අත්දකින්න ලැබුණු එබඳු අවස්ථා කිහිපයක් මෙසේ දක්වන්නේ, භෞතිකව දැනෙන සිතක ස්වභාවය ඉක්ම වූ ගුප්ත බලයක් බොහෝ අයගේ සිත්වල සැඟ වී ඇති අයුරු පෙන්වා දෙන්නයි.

මට අවුරුදු 10 ක් පමණ වයස කුඩා කාලයේදී එක් දිනක හවස 7 ට පමණ ක්‍ෂණික මනෝ රූපයක් නැගී යමක් වැටහී ගියා. එනම් අපේ ගෙදර තිබූ කුස්සි කාමර දෙකෙන්, ලොකු වලං අසුරා තිබූ අටුවක් සහිත පැරණි කුස්සිය රාත‍්‍රී 10 ට පමණ වන විට කඩා වැටී සියලූ වලං පොඩි වී යන හැටි මැවී පෙනුණා.

අද ? කුස්සිය කඩා වැටෙනවා, වලං ටික ඉවත් කරගත්තොත් හොඳයි

කියා මම මවට කීවා. මව එය ගණන් ගත්තෙ නෑ. ඒ කාලයේ අපි රාත‍්‍රී 8 පමණ වන විට නිදා ගන්න සිරිතක් තමයි තිබුණේ. අපි නිදාගෙන ඉන්න අතරේ ? 10 ට පමණ මහ හඬක් නගමින් කුස්සිය කඩා වැටී සියලූම වලං බිඳී ගියා.

තවත් දිනක වඳ බැස ගිය ගොබ හිරවී තිබුණ කෙසෙල් ගසක් කපා ඉවත් කරන්න හදන වෙලාවක, කඳ මැද කෙසෙල් මුහය ඇදී ඇති හැටි මනෝමය ලෙස පෙනෙන්න තිබුණා. ඒ ගැන මා පැවසූ විට, “එහෙනම් වඳ ගෑණුත් ළමයි වදයි” කියා මව මගේ කීමට හිනා වුනා. මම කෝටු කෑල්ලක් ගෙන කුඩා කෙසෙල් මුහය ඇතුලත පෙනෙන තැන පිටතින් ඉරක් ඇඳ මෙතනින් කපන්න එතකොට මුහේ හරි මැදින් කැපෙනවා කියා කීවා. එසේ කැපූවිට කෙසෙල් මුහය හරි මැදින් කැපී ගිහින් පෙනෙන්න තිබුණා.

තවත් දිනක අපේ වත්තේ පොල් කැඞීම පිණිස උණ ලීයකට කෙකි තලයක් බැඳ එය ගසකට හේත්තු කර තිබුණා. සතියක් පමණ ඒක ඒ විදියට තිබුණා. දිනක් කවුරුන් හෝ මේ තලය ලිහාගෙන යන හැටි මනෝ රූපයක් විදිහට මට පෙනුනා. ඒ බව මවට කීවත් මව ගණන් ගත්තෙ නෑ. පහුවදා උදේ බලන විට කියපු විදිහටම තලය කවුරුන් හෝ ලිහාගෙන ගිහින් තිබුණා.

තවත් දිනක් උදේ 10 ට පමණ, කලාතුරකින් පැමිණෙන නෑදෑ පිරිසක් වත්තට ඇතුලූ වන පාලමක් ළඟ එන හැටි පෙනුනා. පාලම තියෙන්නේ ගෙදරට නොපෙනෙන, හඬ නොඇසෙන දුරින්. පුටුවක ඉඳගෙන සිටි මා අම්මාට කීවේ උඳුගොඩ අක්කල එනවා කියලයි. දොඩවන්නේ නැතුව හිටපං කියා මව පවසා ගත වූයේ විනාඩි 10 ක් පමණයි. ඒ පිරිස ගෙට ගොඩ වැදුනා.

මට අවුරුදු 17 ක් පමණ වන කාලේ අපේ මාමා කෙනෙක් නැති වුනා. අපේ ගෙදර ඉඳන් සැතපුම් 25 ක් පමණ දුරින් පිහිටි කොස්ගම කියන ගමේ තමයි මළගෙදර තිබුණේ. මව සමග මළගෙදර යන විට, මිනිය ආදාහනයට ගෙනියන්නේ කොයි පැත්තටද කියා මව මගෙන් ඇසුවා. මළ ගෙදර පසුකර පාර දිගේ තව දුරටත් ගොස් හමුවන වත්තක ආදාහනය සූදානම් කරන බව මම පැවසූ විට, ඒ පැත්තට තැනක් නෑ ගෙනියන්න තියෙන්නේ පාරේ අනික් පැත්තටයි කියා මව හිනා වුනා. එතකොටම නැවතත් මළ ගෙදර දසුනක් පෙනුණා. ගොක් කොළ තීරු මදුවැල් ඇද එල්ලා පාර දෙපස සරසා, මා පෙර කියපු පැත්තට එසේ සකස් කර ඇති බව නැවතත් මවට කිව්වා. මළගෙදර යන විට ඒ දර්ශනය එසේම සිදුවී තිබුනා.

සිතක සැඟවුන මෙබඳු දැනීම් ඉස්මතු වෙලා එබඳු අත්දැකීම් ලැබූ මෙන්ම ලබන පිවතුන්ද තවත් බොහෝ ඉන්න පුළුවන්. මේ කරුණු මේ විදියට පෙන්වන්නේ උඩින් මත්තෙන් තියෙන දැනීම් ඉක්මවා ගිය ගුප්ත බලයක් හිතක ඇති බව පෙන්වීමටත්, ඒ ගුප්ත බලය මතුකර ගත්විට පෙර විසූ කඳ පිළිවෙල, චුතූපපාත ඤාණයෙන් සත්වයන්ගේ සසර ගමන දැකීම… ආදිය පිළිබඳව සැක දුරු කරගෙන සසර ස්වභාවය වටහා ගන්න උපකාරයක්ද වන නිසයි.

ගුප්ත ලෝකයේ විවිධ අත්දැකීම් දැක ඇති බොහෝ අය විවිධ වූ ගුප්ත දේවල් ප‍්‍රකාශ කරනවා. සමහරුන් තමා කෙරෙහි අවධානය යොමුකර ගැනීමේ ආසාවෙන් බොරුත් ගොතා කියනවා. ලාභ, කීර්ති, ප‍්‍රශංසා සඳහාත් එහෙම කරනවා. නමුත් ඒ මෙබඳු පිරිසගෙන් සියයට සියයක්ම නොවෙයි. තමා දුටු දේවල් වගේම මනසට ගලාගෙන එන දේවල් ද එසේම ප‍්‍රකාශ කරන අවංක අයත් මේ අතර ඉන්නවා. එම පිරිස තේරුම් ගන්නට නම්, කලක් ඇසුරු කර එම කිව් කරුණු කලින් කලට ඇසීමේදී ගොතා කියපු බොරු දේවල් නම් ඒවායේ බොහෝ පරස්පරතාවයන් දකින්න පුළුවන්. උගත් යැයි සම්මත සමහර උදවිය, මෙබඳු ගුප්ත දේවල් කතා කරන අය මානසික රෝගීන් ලෙසත් හැඳින්වීමට පෙළඹෙනවා. මේ සම්බන්ධයෙන් සත්‍යය තේරුම් ගැනීමට වටිනා බුද්ධ දේශනාවක් සං.නි. 5 (2), 306 පිටුවේ එන චින්තා සූත‍්‍රයේ දැක්වෙනවා.

ලෝකය පිළිබඳව විවිධ මුලා දෘෂ්ඨි තුළින් සිතිවිලි සිතමින් “සුමාගවා” නම් පොකුණ තෙර සිටි එක්තරා මිනිසෙක් මහා සිව් රඟ සෙනගක් නෙළුඹු දැලි තුළින් පොකුණ තුළට බසින අයුරු දැක, ඇස් අදහාගත නොහැකි මේ සිද්ධිය තේරුම් ගත නොහැකිව, මහත් වූ සිතිවිලි සහිතව භය වී තමාට පිස්සු හැදෙන්න එන බවත් කියමින් පැන දිවූ හැටිත්, ඒ ඒ මනුෂ්‍යයන් මේ පිළිබඳව අසා “උඹට නම් පිස්සු තමයි” කියමින් තීරණ දුන් හැටිත් මේ සූත‍්‍රයෙන් කියවෙනවා.

නමුත් බුදු පියාණන් වහන්සේ ඒ කරුණ විග‍්‍රහ කරමින් දේශනා කළේ, ඒ සිදුවීම එසේම සිදුවූ සත්‍ය  සිදුවීමක් බවයි. පෙර සුර අසුර යුද්ධයක් තිබුණා. එහිදී අසුරයෝ දෙවියන්ට පැරදුනා. බිය වූ අසුරයෝ දෙවියන් මුලා කරවමින් පොකුණ තුළින් වූ කෙටි මගකින් අසුර පුරයට ගියා. ඒ මිනිසා දැක ඇත්තේ මේ සිදුවීමයි. බුදු පියාණන් වහන්සේ දේශණා කළේ, මෙබඳු ලෝක ගැන නොදැන විනිශ්චය කරන්න නොගොස්, වටහා ගත හැකි චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න කියලයි.

බුද්ධ දේශනාවක් වූ මේ චින්තා සූත‍්‍රය මෙසේ පෙන්වා සිටියේ මා විසින් ද අත්දුටු මේ ගුප්ත ලෝක ස්වභාවය පිස්සුවක් යැයි එකවර ප‍්‍රතික්ෂේප නොකර විමසුමට ලක්කර ,

උපන්නා මළා, සියල්ල ඉවරයි, පින් පව් හෝ දෙව් ලොව, පේ‍්‍රත භූත ලොව, අපාය යන මේවා බොරු

යයි සමහර පිරිස් බැස සිටින භෞතිකවාදී අදහස්වලට එකපාර නොබැස විමසා බලා, යම් විශ්වාසයක් ඇතිවුනොත් තමාටත් සමාජයටත් එ් පින්වතුන්ගෙන් යහපතක් සුචරිතයක් උදාවී සෙත සැලසී, බුදු දහම සහ කර්ම ඵල අදහන දහමක් කෙරෙහි නැඹුරු වීමෙන් සිදුවන යහපත පිළිබඳ වටිනාකම දකින නිසයි.

මා 1969 වර්ෂයේ පටන් 1971 අපේ‍්‍රල් දක්වා තුල්හිරිය පෙහෙකම්හලේ ඉංජිනේරු සංස්ථාවේ සේවය කළත් එකල ඇති වූ ජේ.වී.පී. කැරලි නිසා වැඩපල තාවකාලිකව වසා දැම්මා. ඉන්පසු සේවයට නැවත කැඳවීමක් නොවූ නිසා දෙමව්පියන් මුල් කර පවුලේ අය පෝෂණය කිරීමට කළ යුතු දැහැමි රැකියාවක් විදියට ගොවිතැන තෝරාගෙන ගෙවත්තේම කෙසෙල් වගාව, එළවලූ වගාව, පාලූවට තිබූ කුඩා කුඹුරක් යළි ප‍්‍රතිසංස්කරණය කොට වගා කිරීම ආදී කටයුතුවල නියැලූණා.

උදේම තේකක් බී වගා පරිසරය වටේ ගොස් වල්පැල ආදිය ද නෙලා නැවත නිවසට එන්නේ උදේ 9 ට පමණයි. හුදකලාව එම කටයුතුවල යෙදුණ මා දහම් කරුණක් සිතෙන් ආවර්ජනය කරමින් විමසමින්, එ් අවස්ථාවල බාහිර කෙනෙක් සාමාන්‍ය වේගයෙන් කතා කලත් නොඇසෙන සමාධි ස්වභාවයක් මෙන්ම එ් කරන කටයුතු සහ දහම් සංකල්පනාව හැර වෙනත් අරමුණක නොඇලෙන සැනසුමක් ද භුක්ති වින්දේ නිරායාසයෙන්මයි. මේ අතර උදේ ආහාරය මව විසින් සකස් කළ පසු ආහාර ගැනීමට අයියා විසින් මට කතා කරන්න ක‍්‍රමයක් සකස් කර තිබුණා. ලොකු පොල්කටු දෙකක් එකට වේගයෙන් කීප වරක් තට්ටු කිරීමෙන් තමයි එ් බව මට දැනුම් දුන්නේ. ඒ හඬ ඇසෙන කොට තමයි අවධානය බාහිරට යොමු වන්නේ.

නවීන පන්නයට බෙහෙත් පෝර යොදා ගොවිතැන් වගා කටයුතු දක්ෂ ලෙස කරගෙන යමින් අමු මිරිස් වගාවක් ද කළා. කොල කොඬ කරන කෘමීන් මර්ධනයට බෙහෙත් නොගැසුවොත් අස්වැන්න ගන්න බැරි තත්ත්වයක් අත්දැක තිබුණු නිසා කුඩා සතුන් බෝවෙන්න පෙරාතුවම කෘමිනාශක බෙහෙත් වගාවට යොදන්න පුරුදු වී සිටියා. කොල අතු කැබැල්ලකින් මේ බෙහෙත් දියරය ඉසීම, මිරිස් කැඞීමෙන් පසු සතියකට වරක් සිදු කළා. ඒ කාලයේ බර කිරුවේ රාත්තල්වලින්. මිරිස් ගස් හැටක කොටුවෙන් සතියකට රාත්තල් 75 බැගින් හය මාසයක් අස්වැන්න නෙලුවා.

මේ අතර එක දිනක් බෙහෙත් දියර ඉසිමින් සිටින විට නිල මැස්සෙක් කුඩා බෙහෙත් බිඳු තුනක් පමණ උරන හැටි මා බලා සිටියා. බෙහෙත් ඉසීම නවතා ඌට ඊලඟට සිදුවන්නේ කුමක්දැයි බලා සිටි මට දකින්න ලැබුණේ, මැස්සා බිවු බෙහෙත ආපසු වමාරා සෙමෙන් පියඹා ගිය ආකාරයයි. මමත් ඌ පසුපසම ගියා. බඹ දෙකක් පමණ හෙමින් පියඹා ගිය මැස්සා බිම පතිත වුනා. උගේ කකුල් උඩ අතට හැරී වකුටු වී ගියා. ඌ මළා යැයි සිතූ මම සංවේගයෙන් ඌ දෙස බලා සිටියා. නැවතත් ඌ වේගයෙන් තටු ගසා දඟලන්න වුණා. “අනේ මූ විඳින දුකක්! මූ මළා නම් ඒකත් එකයි” කියා සිතමින් ඌ මැරෙනකල් මා බලා සිටියා. පැය භාගයක් පමණ  පණ ඇදීමෙන් පසු මැස්සා මිය ගියා. බෙහෙත් බඳුන බිමට හැලූ මා “මින්පසු කිසි දිනක බෙහෙත් නොගසමි. ලබන්න හැකි ආදායමක් ඇත්නම් ලබමි” යි හිතා කල්පනාවේ නියැලෙමින් එදින කිසි වැඩක් නොකර කාමරයට වී විවේක ගත්තා. කෙනෙක් සමග කතා කරන්නටත් හිතක් නෑ. සත්ත්ව හිංසාවක් නොකර ජීවත් වෙන්න මගක් නැත්දැයි කල්පනා කරමින් එම දවස් කීපය ගෙවා දැම්මා. මිරිස් අස්වැන්න එයින්ම නැවතුණා.

මොනවා කරන්නද? සත්ව හිංසාවක් හෝ අසාධාරණයක් නැතිව ජීවත් වෙන්න රැකියාවක් නොමැතිනම් වෙන දෙයක් වුනාවේ, කෙසේ හෝ එබන්දක් ලැබුණොත් ඒ රැකියාව කරමි

යි සිතා රාත‍්‍රී බොහෝ වේලාවක් යන තුරු මෙත් භාවනාව වැඩුවා.

මා කුඩා කල සිටම කිසිම දේශපාලන පක්‍ෂයක් බදාගෙන කැපී පෙනෙන වැඩද නොකළ නිසා රැකියාවක් සඳහා මැති ඇමතිවරුන් හමුවීමටද මගක් තිබුණෙ නෑ. නමුත් එදින රාත‍්‍රියේ සිතා නොසිටි දෙයක් සිදුවී තිබුණා. සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමිය විසින් පේසාලේ තෙල් ලිං හාරන වැඩපිළිවෙලක් දියත් කර ඇති බවත්, එහි වැඩට යාමට සේවකයන් අකමැති වුනත් මන්ත‍්‍රීවරුන් මගින් සේවකයන් ගණනක් කෙසේ හෝ යවන්න අණකර සිටීම නිසා රුවන්වැල්ල මන්ත‍්‍රී අතාවුද සෙනෙවිරත්න මහතාගෙන් ගෝණගල්දෙනිය සමිතියේ ලේඛම්තුමාට හතර දෙනෙක් කෙසේ හෝ යවන ලෙස නියෝග කර තිබීමත් තමයි ඒ සිදුවීම. අපි මෙච්චර වැඩ කළේ  ඕවට යන්න නෙවෙයි කියා පළාතේ පිරිස එය ප‍්‍රතික්‍ෂෙප කරපු නිසා රාත‍්‍රී 3.30 ට පමණ සමිති නිලධාරීතුමා මා හමුවීමට පැමිණ කෙසේ හෝ මේ ඉල්ලීම පිළිගෙන හෙට මන්ත‍්‍රීතුමා හමුවෙන්න යන ලෙස ඉල්ලීමක් කළා. රැුකියාවක් ලෙස මොන දේ ලැබුණත් හොඳ යැයි සිතූ මා ඊට කැමති වුනා. ඊළඟ දිනදී මන්ත‍්‍රීතුමාව හමුවුණා.

මේ රැකියාවට යන්න සතියක් ඇතුලත ලියුමක් එයි. දුකයි කරදරයි කියා ආපසු එන්න බෑ  ඕං.

මෙසේ කියූ මන්ත‍්‍රීතුමා අපේ ලිපිනයන් හා අයදුම්පත් පුරවා බාර ගත්තා. මා සමග තවත් දෙන්නෙක් ඊට සහභාගි වුනා.

සතියක් ගතවුනා. ලිපියක් ලැබුණෙ නෑ. නැවත මන්ත‍්‍රීතුමා හමුවූ විට කීවේ ඒ රැකියාව අවලංගු කර පූගොඩ පෙහෙකම්හලේ සේවයට අපගේ ඉල්ලූම්පත් බාරදුන් බවයි. සතියක් යන්න පෙර ලිපියක් ලැබී පූගොඩ පෙහෙකම්හලේ රැුකියාවට ගියා. මේ අතර සමිතියේ පාක්‍ෂිකයන් අතර ලොකු කලබලයක් ද වුනා. ඒ අයට ඒ රැකියා නොදී අපට දීම ගැනයි ඒ කලබලය. නමුත් අපට ඒක ප‍්‍රශ්නයක් වුනේ නෑ. කිසිම සත්ව හිංසාවක්, හොර මැර වංචාවක් නැතිව දැහැමි රැකියාවක් කරගන්න එදා මේ විදිහට මට අවස්ථාව උදා වුනා.

රැකියාව කරන සුළු කාලයකදී වියන යන්ත‍්‍ර ක‍්‍රියාකරවන්නෙක් ලෙස තනතුර ලබා සාර්ථක නිෂ්පාදනයක් ද දෙමින් ප‍්‍රශංසා ලිපිද ලබමින් එම රැුකියාව කරගෙන ගියා. ක‍්‍රමානුකූලව යන්ත‍්‍ර සකස්කරගත් විට පැය අටක සේවයේදී යන්ත‍්‍ර වටා සක්මන් කරමිනුයි සේවය කරන්න තිබුණේ. යන්ත‍්‍රවල ශබ්දය නිසා හඬ නගා යමක් කීවත් බාහිර අයට ඇහෙන්නෙ නෑ. නිස්කලංකව තනිවම තම කාර්යයේ යෙදීම ස්වභාවයෙන්ම ලැබී තිබුණ නිසා මේ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගෙන කර්මස්ථානයක් වඩමින් සක්මන් භාවනාව කරන්න පටන් ගත්තා.

දුක්ඛප් පත්තා ච නිද්දුක්ඛා
භයප් පත්තා ච නිබ්බයා
සෝකප් පත්තාච නිස්සෝකා
හොන්තු සබ්බේ පි පානිනෝ

තේ බීමට පැය කාලක් සහ ආහාර ගැනීමට පැය භාගයක් විවේකය හැර අන් සෑම අවස්ථාවකම පැය ගණන් එක දිගට මේ භාවනාව කළා.

(මීලඟ කොටස ලබන කලාපයෙන්….)

සටහන – නීතිඥ චන්දන සිරිවර්ධන

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.