පසුගිය කලාපයෙන් – බුදුන් වහන්සේ දේශනා කොට වදාළ ආර්ය මෛත‍්‍රිය හා සම මෙත… අද එතැන් සිට…

මිත‍්‍ර ධර්මය කියන්නේ මිතුරෙකු විසින් මිතුරෙකුට කළ යුතු යහපත කිරීමයි. ග‍්‍රීෂ්මයෙන් පීඩිත වෙලා දාහ සහගතව එන කෙනෙකුට ජලයට අයිස් කැටයක් දමා දුන්නොත් ඒ වෙලාවේ ඇති සිසිල් බව නිසා ඔහුට එය ආස්වාද සහිතව දැනෙනවා. ඒ ජලය පානය කර ඔහු කායික මානසික සැනසීමක්ද ලබන බව පේනවා. මේ මිතුරෙක් තම මිතුරෙකුට සැලකූ ආකාරයයි කියා සිතන්න. ඒ මොහොතේ අත් දැකීමෙනුත් යහපත් බවක් පෙනෙන්න තිබුණා. අයිස් කැට ඉදිරි කාලයේදීත් දාහය නිවාගන්න හොඳ උපක‍්‍රමයක් යැයි සිතා, දැන් යහලූවා තවත් අයිස් කැට ඉල්ලා සිටිනවා. තම හිතවත් මිතුරා ප‍්‍රියමනාප නිසා ඔහුගේ සුවය පතා අයිස්   කැට පාර්සලයක්ම තම මිතුරාට දෙනවා. දාහයක්, උෂ්ණ- යක් ඇති විට අයිස් කැට පරිහරණ-යෙන් සිසිලක් ඇතිවන බව මේ මිතුරන් දෙන්නාම දන්නා නමුත්, ඉන් එහාට අයිස්වලට වෙන දේ මේ දෙන්නාම නොදනී නම්, එක් කෙනෙක් ලබාගෙන සතුටු වෙනවා, අනෙකා දීමෙන් සතුටු වෙනවා.

අයිස්වලට වෙන දේ දන්නා අපිට මෙවැනි ක‍්‍රියාවක් දකින්න ලැබුණා නම්, මෝඩයින් දෙන්නෙකුගේ මෝඩ සිතිවිල්ලකින්, මෝඩ කතාවකින්, මෝඩ වූ ක‍්‍රියාවක් සිදුකරන බව අපි පවසනවා. එම ක‍්‍රියාව දකින අපටත් ඒ මොහොතේ දාහයට උෂ්ණයට හේතුවක් තිබුණා නම් අපිත් ඒ අයිස් ජලය පානය කරනවා. නමුත් ඉන් එහාට අර වගේ මෝඩ වැඩකට හිත නොතබන බවත් අපි දන්නවා. අයිස් කැටයේ ස්වභාවය පැය කීපයකදී ක‍්‍රමයෙන් දියවීම බව අපි දන්නා නිසා මිතුරන් දෙන්නාගෙන් අයිස් කැට රැගෙන ගිය මිතුරාට අත්වන ඉරණමත් අපි දන්නවා. අයිස් කැට රැගෙන යන මිතුරා තම හිතවත් මිතුරාටත් ප‍්‍රශංසා කරමින් ඔහු හොඳ කෙනෙකියි සතුටු වෙමින් තම නිවෙසට ගිහින් අයිස් පාර්සලය ප‍්‍රවේසම් කර තබා ගන්නවා. මිතුරෙකුට සැලකීම ගැන අනෙක් මිතුරාටත් සතුටක් ඇති වෙනවා. අයිස් යනු බාහිර පරිසරය තුළ ස්වභාවයෙන්ම දියවන වස්තුවක් බව දැන ගත්තාම තමා දුන් දානයේ තරමත්, ලැබූ මිතුරාට තමාගේ රැවටීමේ තරමත්, එතෙක් තිබූ සතුට නම්, නොදැනීම නිසා තිබූ මුලාවේ ප‍්‍රතිඵලයක් බවත් වැටහෙන්න පටන් ගන්නවා.

දියවෙන අයිස් කැට වැනි සම්පත්වල නිසි තතු මෙනෙහි කරන බෞද්ධයාට, නිදුක් බව ලබා සිටින මේ පැවැත්ම නැවත දුක එනවිට දියවී කෙළවර වන බවත්, නිරෝගී බව ලැබුවත් එය නැවත රෝගයෙන් කෙළවර වන බවත්, සුවපත්වීම නැවත දාහයට පත්වීමෙන් කෙළවර වන බවත්, නිර්භය බව නැවත බියපත්වීමෙන් කෙළවර වන බවත් වැටහෙනවා. පැවැත්මට ගිජුවූවන්ගේ වෛර නැති බව නැවත වෛරයෙන් කෙළවර වන බවත්, සැපවත් බව දුකින් කෙළවර වන බවත්, මේ ආදී වශයෙන් ලෞකික ආශාවන්ට ගිජු වී ඒවා සොයමින් සැරිසරන සත්ත්වයන්ට ඒවා ලැබීමෙන් වන සතුටක් සැනසීමක් ඇත්නම් ඒවා ඒකාන්තයෙන්ම වැනසීම උරුමකරගෙන ගෙවී යාම, දුර්වල වීම, විකෘති වීම, විපරිනාමික වීම (කැමැත්තට පටහැනිව පරිණාමය වීම) සහිත දේවල් බවත් හොඳින් වැටහෙනවා.

මේ කය මොහොතක් හෝ නිරෝගී බවෙන් යුතු යැයි සිතීම පවා මෝඩ වැඩක්, මෝඩ සිතිවිල්ලක් බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙනවා. මනා නුවණින් කල්පනා කළොත් එහි සත්‍යතාවය වටහා  ගන්න පුළුවන්. එම නිසා මේ   බුද්ධ භාසිතයත්  1 හොඳින් සිතා බලන්න.

ඛුද්දක නිකාය-පටිසම්භිදා මග්ගප්පකරණ (2) – 227 පිටුව – විදර්ශනා කථාවලින්,

පංචස්කන්ධය දුක් සේ දකින්නේ අනුලෝම ක්‍ෂාන්තිය ලබයි.

පංචස්කන්ධ නිරෝධය සුව සේ දකින්නේ සම්‍යක්ත්ව නියාමයට පැමිණේ.

පංචස්කන්ධය රෝග සේ දකින්නේ අනුලෝම ක්‍ෂාන්තිය ලබයි.

පංචස්කන්ධ නිරෝධය නිරෝග සේ දකින්නේ සම්‍යක්ත්ව නියාමයට පැමිණේ.

පංචස්කන්ධය භය සේ දකින්නේ අනුලෝම ක්‍ෂාන්තිය ලබයි.

පංචස්කන්ධ නිරෝධය නිර්භය සේ දකින්නේ සම්‍යක්ත්ව නියාමයට පැමිණේ.

පංචස්කන්ධය ශෝක සේ දකින්නේ අනුලෝම ක්‍ෂාන්තිය ලබයි.

පංචස්කන්ධ නිරෝධය නිස්සෝක සේ දකින්නේ සම්‍යක්ත්ව නියාමයට පැමිණේ.

මේ බුද්ධ වචනය මෙසේ තිබෙද්දී නිදුක් බව, සුවපත් බව, දුකින් මිදීම ආදියෙන් ලොවට ආසිරි පැතීමේදී, මෙත් වැඞීමේදී සාමාන්‍ය ලෝකයා සිතන ලෙස අදහස් නොගෙන ආර්ය විනය අනුව අදහස් ගනිමින් මෙත් වැඩිය යුතුයි.

ආර්ය විනයේ මෙත් වැඞීම මොන වගේ මිත‍්‍රත්වයක්   පිලිබිඹු කරන්නේද  යන්නත්, එය බාහිර ලෝකයාගේ මෙත් වැඞීමේ හෙවත් මිත‍්‍රත්වය වැඞීමේ අදහසට වඩා කෙසේ වෙනස් වෙන්නේද යන්නත් සලකා බැලිය යුතුයි. යමෙකුට නිදුක් බව පතන බාහිර   පින්වතුන් (සාසනයෙන් බැහැර) එක භවයක විඳින දුක් වේදනා නොඑන අදහසකුත්, එසේම දුක් නැති සුව ජීවිතයකුත් සිහියට ගෙන එවැනි මිත‍්‍ර දහමක් වඩනවා. නිරෝගී වෙත්වා යනුවෙන් ආසිරි පතන විට රෝගයක් නැතිව ගෙවන ජීවිතයක් ගැන සිහියට නගනවා. සුවපත් වෙත්වා යනුවෙන් මිත‍්‍ර දහම පතුරුවන විට සුවයෙන් සැනසීමෙන් ජීවිතය ගත කරන්නට ලැබේවා යන සිතක් පහළ කරනවා.

මහණෙනි, යටත් පිරිසෙයින් කැඳ උගුරක් බොන තරම් වෙලාවක්වත් මම භවය හොඳ යයි වර්ණනා නොකරමි

යි යන බුදු වදන ගැන දැන් කල්පනා කරල බලන්න. ඉහත සඳහන් භවයේ පැතීම් වශයෙන් විඳින නිදුක් බවත්, නිරෝගී බවත්, සුවපත් බවත් ලබන්න හිත තබා ආසිරි පැතීම කෙසේ  නම් අනුමත කරන්නද? පැවැත්මක සුව දකින කෙනෙක් කෙසේ නම් නිවන් දකින්නද? තමාට කෙබඳු කුසලයක් වැඩෙයිද?

මහණෙනි, මේ භවයේ කොතන හෝ සදා සුවයක් ඇත්නම් මම එතන නොහොඳ යැයි නොකියමි. එබන්දක් නැති නිසාම නිවන පනවමි

යි යන බුදු වදන සිහිකරල බලන්න. ඒ අනුව භව පැවැත්ම අලලා ලෝකයාට හොඳ යැයි පතන බුදු වදනක් නම් ආර්ය පැතුම් අතර නෑ.

දුක් නැතිව, රෝග නැතිව, සුව සහගතව කොතෙක් ජිවත්වෙන්න පැතුවත් එබඳු ආස්වාද ජනක පැතුමක හෝ ජීවිත පැවැත්මක වටිනාකමක් ආර්ය ගුණ ඇති අය, සත්‍ය ඤාණ ඇති අය නම් දකින්නෙ නෑ. එසේ සිටියත් එය අනිච්ඡ බව (කැමති සේ නැති බව) දකිනවා, සහනයක් නොව දුකක්ම බව දකිනවා. නිස්සාර වූ, කැමති සේ නොපවත්නා වූවක්ම බව දකිනවා. වෙනත් සැනසුමක් දකින්නෙ නෑ. වටිනා දෙයක් දුන්නා නම්, පැතුවා නම් ඒක ලෝකයාට කරන ලොකුම යහපතක්. නොවටිනා අනිච්ඡවූ, දුක්ඛ වූ, අනත්ථ වූවක් ලැබෙන්න පැතීම, එහි සත්වයා පිහිටුවීම, මිත්‍යා දෘෂ්ටියෙන් මිදීමට හෝ ආර්ය සම්මා දිට්ඨියට පත්වීමට හේතු වෙන්නෙ නෑ. එබන්දකින් නිවන් දකින්නත් බෑ. එය ලෞකික වූ පැවැත්මෙහි ඇලීමට හේතු වෙනවා. ඇලීමට හේතුවන පැතුමින් යුක්ත වී නොඇලීමටත් පතනවා නම් ඒකත් විහිළුවක්. එසේම එය අනන්ත සත්ත්වයන්ට පතුරවන අප‍්‍රමාණ මෙත් සිතක් නොව ලෞකික මෙත් දහමක්.

සංසාරය දුකයි කියා වටහාගෙන ඒ සංසාර දුක කිසිම සත්වයකුට නොවේවා කියා පැතීම, සිතින් කරන සම්‍යක් දෘෂ්ඨික වූ කුසලයක්. වචනයෙන්, සසර දුකයි කියා පෙන්වන්න කරුණු වටහා දෙමින්, මිදීමේ අගය කියා දීමත් වචනයෙන් වඩන සම්‍යක් දෘෂ්ඨියෙන් නැගෙන සත්‍ය වචනයක්, මෙත් වැඞීමක්.   තමාත් ආදර්ශවත්ව සසර දුක දැන   අත්හරින, නොඇලෙන, මිදෙන ලෙස කටයුතු කරමින් අන්‍යයනුත් අනුලෝම කටයුතු දහම්වල යෙදවීම ක‍්‍රියාවෙන් කෙරෙන සම්‍යක් දෘෂ්ඨික මෙත්තා සහගත ක‍්‍රියාවලියක්.

සංසාරය රෝග ආකරයක් යැයි දැන, දාහයක් යැයි දැන, සැනසීම නැති තැනක් යැයි දැන, බිය සහිත යැයි දැන, වෛර සහිත යැයි දැන, නින්දා අපහාස සහිත යැයි දැන, සසර වසන තුරු පැවැත්ම තුළ එසේ නොලබා සිටීමට ප‍්‍රයත්න දැරීම මහා මුලාවක් යැයි දැන, ලෝකය සියලූ අයුරින්ම අත් හැරීම, නොඇල්ම, මිදීම යන මෙයින් මතු හටගැන්වීමක් නැති නිසා ඉහත කී දුක් ඇතුළු සියලූ දුකින් මිදීම නිවන බව දැනගෙන, එසේ සියලු ලෝ සතුන්ට නිවනම වේවා යි පැතීම, අදහස් කිරීම ආර්ය සම්මා දිට්ඨි සහිත සිතින් කරන කුසලයක්. විග‍්‍රහ කර දෙමින් කරුණු පෙන්වා නිවනෙහි සැනසීම, වචනයෙන් කරන දේශනාදියෙන් පෙන්වා ලෝකයා සම්‍යක් දෘෂ්ඨි ගැන්වීම ආර්ය සම්මා දිට්ඨියෙන් වැඩෙන වාචසික මෙත්තා සහගත කුසලයක්.

මෙසේ ආදර්ශමත්ව තමාත් කටයුතු  කරමින්  අත්හරිමින්, නොඇලෙමින්, මිදෙමින් ක‍්‍රියාකර ලෝකයාද අත්හැර වීමට, නොඇලවීමට, මිදවීමට ක‍්‍රියා කරවන්නේ නම්, එය සම්‍යක් දෘෂ්ටියෙන් නැගෙන මෙත්තා සහගත ක‍්‍රියාවලියක්, කුසල ක‍්‍රියාවක්. මේ මග මෙසේ අනන්ත සත්වයන් කෙරෙහි පතුරුවන්නේ නම්, ලෝ සතට නිවන් සැනසීම වේවා යන හැඟීමෙන් කරුණු දක්වන්නේ නම්, අනන්ත අප‍්‍රමාණ වු දුක්, රෝග, භය, ශෝක ආදිය දුරුවීමට හිතුවා වෙනවා, කීවා වෙනවා,  කටයුතු කළා වෙනවා. පැවැත්මට මොහොතක්වත් හිත නොබැඳෙන මේ ක‍්‍රමය විද්‍යමාන කළේ නම්, ලෝකයාට බුද්ධ මාර්ගයම පමුණුවා තමාත් ඊට මහා කුසල වාසනාව ලැබූ උතුමෙක් වෙනවා, මිතුරෙක් තවත් මිතුරෙකුට දෙන වටිනාම වස්තුව වූ ආර්ය මිත‍්‍ර දහම දෙන කෙනෙක් වෙනවා. ඒකාන්ත කල්‍යාණ මිත‍්‍රයෙක්ද වෙනවා.

මේ විදියට නිවන් පතා ලෝක සත්වයන්ට ආසිරි පතන විට සිදුවන්නේ කුමක්ද? පළමුව තමාට සංසාරය දුකක් ලෙස, රෝගයක් ලෙස, දාහයක් ලෙස, භයක් ලෙස… ආදී වශයෙන් ආදීනව සහිතව වැටහෙනවා. නිවන සංසිඳීම් සුවයක් ලෙස, රෝගයන්ගේ සංසිඳීමක් ලෙස දුකෙහි, භයෙහි, දාහයෙහි… ආදී නොයෙකුත් ආදීනවයන්ගේ සංසිඳීමක් ලෙස ආනිසංස වශයෙන් වැටහෙනවා. ආදීනව වැටහෙන විට අල්ලා ගත් දේ අත්හරින්න සිතෙනවා, අත් හැරෙනවා. නොඇලෙන්න   සිතෙනවා, නොඇලෙනවා. මිදෙන්න සිතෙනවා, මිදෙනවා. එවිට මතු හට නොගැන්මට හේතු වී නිරෝධය සිදුවන නිසා හට ගැන්මේ ඵලය නිරෝධ වෙනවා. නිවන් ප‍්‍රත්‍යක්‍ෂ වෙනවා.

ලෝකයේ ආදීනව යම් තරමක් බරපතල ලෙස වැටහේද, ඒ තරමටම අන්‍යයන්ට ආදීනවයෙන් මිදීමට පතුරුවන චිත්ත කිරණ මාලාව බලවත් වෙනවා. මිදීමේ, නිවනේ ආනිසංස යම් තාක් බලවත් ලෙස වැටහේද ඒ තරමටම සෙත් කිරණ බලවත් වී ආශිර්වාද ලෙස පැතිරෙනවා.

කිසිම තැනක වටිනා දෙයක් නොදකින නිසා ඇලීම් නැති සිත් ස්වභාවය පවිත‍්‍ර වෙනවා. එවිට හතුරු මිතුරු ලෙස ඇති ලෝක සම්මත භේදය නැති වෙනවා. භේද නැත්තේ පොදුවේ සිතනවා. සැමටම විසම ගති නැති නිසා සමගුණ ඇතිව කල්‍යාණ වූ ශාසන මිත‍්‍රත්වය පතුරුවනවා. මෙයින් විහිදෙන කිරණමාලාවන් ලෝ සතුන් කෙරෙහි ධර්ම බලය ලෙස ක‍්‍රියා කරනවා. යම් විටෙක සත්වයෙක් දහම් මගට යොමු වන්න සියුම් වූ හෝ උත්සාහයක් දරයිද, එවිට තමා කෙරෙහිත් පතුරුවා ඇති ආර්ය කල්‍යාණ මිත‍්‍රධර්ම ශක්තිය ඇදී ඇවිත් බලාපොරොත්තුව සාර්ථකව ඉටුකර ගන්න වාසනාව පෑදෙනවා. එය කල්‍යාණ මිත‍්‍ර වූ ආර්ය උතුමන් නිසා තමාට ලැබෙන සංඝ සරණයක් වෙනවා.

පටිච්ච සමුප්පාදය අනුව

මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඤ්ඤාණං

යන මූලධර්මය ක‍්‍රියාත්මක වෙලා ආර්ය ගුණයන්ට නැමී සිටින මනෝ විඤ්ඤාණය පහළ වීමට වාසනාව ලබනවා. එයින් සිත්, ආර්ය ගුණයට හැඩ ගැසෙනවා. මෙත් ගුණය ප‍්‍රගුණ කළ ආර්ය උතුමන් ඉදිරියේ මේ ශාන්ති කිරණ ශක්තිය බලවත්ව ඇති නිසා දකින දර්ශන මාත‍්‍රයේදීම ගුණයෙහි පැහැදී සිටිනවා. දේශණා කරන විට වචනයට නැගීමෙන් බලවත් වූ මෙත් කිරණ දහරා ප‍්‍රබලව ගලා යනවා. අවනත වූ සිත් ඇති ශ‍්‍රාවකයන්ට ඒ හේතුවෙන් ආර්ය වූ ඤාණ හටගන්නා ශක්තිය ප‍්‍රබලව ලැබෙන නිසා උන්වහන්සේලා ඉදිරියේ නිවී සැනසී යන සිත් පහළ වෙනවා. අන්‍යයන්ට නිවන් අවබෝධ කිරීමට මේ ලැබෙන රුකුල අති මහත් වෙනවා.

ආර්ය වූ මෙත් කිරණින් මෙබඳු මහත්ඵල මහානිසංස ලැබෙනවා වගේම එහි අනෙත් පැත්ත ගත්තොත් යමෙක් පහළ කරන උද්වේගය, ශෝකය, වෛරය, මිත්‍යා දෘෂ්ඨිගත පෙළඹවීම් ආදියේදීත් ඇසුරු කරන අයට ඒ විෂ කිරණ ගලා යනවා. නොයෙකුත් සංවිධාන මගින් කරන උද්ඝෝෂණවලදී ඒවාට ගරු කරන සාමාජිකයන් ඒ ඒ ප‍්‍රධානීන් ඉදිරියේදී එතරම්  ප‍්‍රබල  ලෙස  උද්යෝගයට පත්වන්නේත් මේ කිරණ බලය නිසයි. ගෙදර දී වේලක්වත් බඩගින්නේ ඉන්න බැරි අය උපවාසවල යෙදී මිය යන තුරුම ඉන්නෙත්, එලියට බහින්න බයෙන් සිටින අය වේදිකාවල ගිනි තබාගෙන මිය යන්නෙත්, හමුදා ආදියේ සොල්දාදුවන් මරණයට බිය නැතිව මිය යද්දී ඉදිරියට ඇදෙන්නෙත් ඒ ඒ ප‍්‍රධානීන්ගේ හදවත්වලින් විහිදෙන මේ කිරණ බල ශක්තිය අනුව තම සිත් දැඩිව නැගෙන නිසයි.

මේ හේතුව නොදැන නමුත් තම නායකයා අත් අඩංගුවට ගෙන ඔහුගේ හිත දුර්වල කළොත් දහස් ගණනක සාමාජික පිරිසත් නිරායාසයෙන්ම අධෛර්යමත්ව පරාජිත වන්නෙත් මේ නිසයි. සටන් කළේත්   නායකයා   නොව සොල්දාදුවන්මයි. සොල්දාදුවන් දහසක් සිටී නම් ඉන් සියයක් මිය ගියත් කිසිම අධෛර්යමත් වීමක් නොවන්නෙත්, සටනේ නායකයා සටන් නොකළත් නායකයා අධෛර්යමත් වූ විට පසු බසින්නෙත් මේ නිසයි.

රජු දැහැමි වන විට රටවැසියන් දැහැමි වන බවත්, රජු අධාර්මික වීමෙන් රට වැසියන් අධාර්මික වන බවත්, බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙනවා. රජුද පුරෝහිත බමුණන්ට හිස නමා ඔවුන්ගේ උපදෙස් ලබන අවස්ථාවකදී පුරෝහිත බමුණන් අධාර්මිකවීම රටක රජු හා මුලූ රටවැසියාම අධාර්මික වීමටත් හේතුවන බව පෙන්වා ඇත්තේ මේ නිසයි. යම් දිනක මේ ලක්දිව ද පුරෝහිත ගුණ දරණ පින්වත් නායකයන් මුදුන් මල්කඩක් වන් ශ්‍රේෂ්ඨ ආර්ය ගුණ ධර්ම තේරුම් ගෙන අග‍්‍ර වූ ගුණ දරයි නම් ලක්දිව සාමය සමාදානය ඇති වී අර්ය ගුණය නැවත පෙර සේම නැගීමට ප‍්‍රධාන කරුණ වන බව බුද්ධ භාසිතය අනුව වටහා ගන්න පුළුවන්.

මෙකල ඇත්තේ නිවන් අවබෝධ කරන්න හේතු සම්පත් ඇති උතුමන්ගේ දුර්ලභ වීමක් නිසා සිදුවන සාසන පරිහානියක් නොව, නියම බොදු මග වැසීයාමේ අඩුපාඩුව නිසා සිදුවන සාසන පරිහානියක් බව, පින්වතුන් නිර්මල දහම් මග සොයා යෑමට ඇති උනන්දුවත් එහෙත් ඒ පමණටම එය හමු නොවීමත් යන කාරණාවලින් තේරුම් ගන්න පුළුවන්. නමුත් එසේ වැසී ගිය බොදු මග නැවතත් කෙමෙන් කෙමෙන් මතුවන බව හේතු ඵල සහිතවම පෙන්වා දෙන්නත් පුළුවන්. මේ කරුණු නුවණින් විමසා බලා නැණවතුන් යහමග ගෙන මෙත් සිත් වඩත්වා!

(ඉතිරි කොටස මීළඟ කලාපයෙන්)

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණ දහම් කරුණු ඇසුරින් සකස් කළේ :
නීතිඥ චන්දන සිරිවර්ධන