උත්තරීතර සම්මා සම්බුද්ධත්වය අවබෝධ කර ගැනීමට පාරමිතා පුරන මහා බෝධිසත්වයන් වහන්සේලා ශ‍්‍රී මුඛ විවරණ ලැබු තැන් පටන්, සාරාසංඛ්‍ය, අටාසංඛ්‍ය, සොළොසාසංඛ්‍ය වශයෙන් කල්ප ලක්ෂ ගණනක් මුලූල්ලේ කෙලෙස් පෙරා දමමින් මනස පිරිසිදු කොට ඔප මට්ටම් කර ගැනීම සඳහා වඩනු ලබන පිළිවෙත් මාලාව දස පාරමිතා ලෙස ධර්මයේ සඳහන් වෙනවා.

මේ දස පාරමිතා අතරින් එක් පාරමිතාවක් පාරමිතාය, උප පාරමිතාය, පරමාර්ථ පාරමිතාය වශයෙන් තුන් ආකාර වී සමතිස් පාරමිතා සකස් වෙනවා. පුත‍්‍රදාරාදීන් සහ බාහිර වස්තු පරිත්‍යාග කිරීම දාන පාරමිතාව ලෙසත්, තම ශරීරයේ ලේ, මස්, ඇස්, හිස්, ආදී අවයවයන් පරිත්‍යාග කිරීම දාන උප පාරමිතාව ලෙසත්, ජීවිතය පරිත්‍යාග කිරීම දාන පරමාර්ථ පාරමිතාව ලෙසත් විග‍්‍රහ වී තියෙනවා.

අප මහ බෝසතුන් වහන්සේගේ දාන පාරමිතාව වර්ණනා කරමින් ලියන ලද එක්තරා ගාථාවක් මෙසේය.

සෝ සාගරේ ජලධිකං රුදිරං අදාසි
භූමිං පරාජීය සමසං මදාසි දානං
මේරුප්පමාණ මධිකඤ්ච සමෝලි සීසං
ඛෙ තාරකාධිකතරං නයනං අදාසි

අදහස :     බෝසතුන් වහන්සේ

සාගරයෙහි ජලයට වඩා ලේ දන් දුන් සේක. මහ පොළව පරදවා මස් දන් දුන් සේක. මහ මෙරට ද වඩා ඔටුණු සහිත හිස් දන් දුන් සේක. අහසේ තරුවලට වඩා ඇස් දන් දුන් සේක.

බෞද්ධ  සාහිත්‍යයට  අයත් ලෝකෝපකාරයේ දැක්වෙන පහත සඳහන් කවියේ අදහසත් එයට සමානයි.

සමුදුර මෙර පොළෝ – තරු ද ලේ හිස් මසැස් දන් දුන් – නොසිරි වන කල ලොව – බුදු බව පතනුවෝ ළ තර වෙත්

අදහස :

බෝසතුන් වහන්සේ පෙරුම් පුරන කල්හි දන් පිණිස දුන් ලේ, මස්, හිස්, ඇස් ප‍්‍රමාණයෙන් මුහුදෙහි දියට ද, මහා මේරු පර්වතයේ උසට ද, මහ පොළොවෙහි පසට ද සමාන නොවන හෙයින් බුදු බව පතනුවෝ දැඩි සිත් ඇත්තෝ වෙති

විශේෂයෙන් ම පාරමිතා පුරන බෝසතුන් වහන්සේලාගේ දාන පාරමිතාව බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වෙන්නේ මේ ආකාරයටයි. එහෙත් මේ පිළිබඳව ගැඹුරින් දැකිය යුතු තවත් පැත්තකුත් තියෙනවා. පාරමිතා බලය උපරිමව වැඩුණු විට සුදුසු අවස්ථාවකදී ඇස්, හිස්, මස්, ලේ පමණක් නොව තම ජීවිතය වුනත් පරිත්‍යාග කිරීම උන්වහන්සේලාගේ ගති ලක්ෂණයක්. කිසිවෙකුට තම හිසෙන් ප‍්‍රයෝජනයක් වේ නම් එය ගලවා දීමටත්, තමාගේ ලේ  අවශ්‍ය වේ නම් මුලූමනින්ම ලේ ලබා දීමටත්, තම අඟ පසඟ අවශ්‍ය වේ නම් ඒවා ගලවා දීමටත් උන්වහන්සේලා කැමැති වෙනවා.

එහෙත්, මෙම පාරමිතාවන්හි ගැඹුරු වූ ලෝකෝත්තර අරුත නිවැරදිව දැකිය හැකි වන්නේ ප‍්‍රඥාව වැඩුණු මනසකින් පමණයි.

සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් පහළ වී සත්‍යාවබෝධය ලබා දෙන තෙක්, අවිද්‍යා අන්ධකාරයෙන් වැසුණු ලෝකයක, මෝහයෙන් මුලා වූ ලෝක සත්ත්වයින් ක‍්‍රියා කරන්නේ දෑස් නොපෙනෙන අන්ධයින් ලෙසයි. බුදුපියාණන් වහන්සේ දේශණා කර ඇත්තේ එවැනි අය “අන්ධො බාලො පෘතජ්ජනා” හෙවත් අන්ධ වූ බාල වූ පෘතජ්ජනයන් ලෙසයි. සමාජයක් තුළ හොඳ නරක නොදැන, කළ යුතු දේ නොකළ යුතු දේ නොදැන, අනුවණින් කටයුතු කරන අය අන්ධයින් ලෙසටයි සැලකුවේ.

මග හොඳට තිබේ නම් – යන්ට දෑසත් පෙනේ නම් – කිම බැදිවල යන්නේ – මං මුලා වූ කෙනෙක් සේ

ලෝක සම්මත මස් ලේවලින් සැදුණු ඇස් නොපෙනෙන අය පමණක් නොවෙයි, නිවැරදිව මග පෙන්වා තිබියදීත් මං මුලා වූවන් සේ කටයුතු කරන උදවියත්  සමාජයේ අන්ධයින් ලෙස හඳුන්වනවා. පෘතජ්ජන ලෝක සත්ත්වයින් අතර වැඩි දෙනෙක් මෙවැනි අය වෙනවා. ගුණධර්ම, හොඳ නරක නොවැටහෙන නිසා ඔවුන් ක‍්‍රියා කරන්නේ ආත්ම ලාභය සඳහාමයි. මෙසේ ගුණධර්ම නොදැන අන්ධයින් සේ කටයුතු කරන අනන්ත ලෝක සත්ත්වයින්ට නුවණ නමැති ඇස් ලබා දී, ඔවුන් පාප ධර්මයන්ගෙන් මුදවාගෙන යහමගට යොමු කර, ඔවුන්ට සැනසීම ලබාදීමයි, පාරමිතා පුරන බෝධිසත්වයන් වහන්සේලා සිදු කළ ඇස් දන්දීම.

කල්ප කාලාන්තරයක් තුළ අනන්ත ලෝක සත්ත්‍වයින් ගේ ඇස් පාදා දීමෙන් පූර්ණ වූ මේ පාරමිතා ශක්තිය හේතු කොට ගෙන, බුද්ධත්වයට පත්වන අවස්ථාවේ ධර්ම චක්ඛුසය පහළ වී, සර්වඥතාඤාණය ලබා ගැනීමට උන් වහන්සේට වාසනාව පහළ වුනා. මේ උත්තරීතර අදහස යටපත් වී පසුකාලීනව අහසේ තරුවලටත් වඩා ඇස් ගලවා දුන් බවට සාහිත්‍ය පොත පතෙහි සඳහන් ලෞකික වර්ණනාවලින් ඉස්මතු වී තියෙනවා.

පාරමිතා පූර්ණ කරන මහ බෝසතුන් වහන්සේ නමක් තම හිස ගලවා දන්දීම දාන පරමාර්ථ පාරමිතාවක්. කිසියම් කෙනෙකු යමක් තේරුම් නොගෙන වැඩ කටයුතු අවුල් කරගෙන සිටින අවස්ථාවක, බොහෝ අය අහනවා “ඔලූවක් තියෙන කෙනෙක් මෙහෙම වැඩ කරනවාද?” කියලා. මේ ආකාරයෙන් අහන්නේ ඒ තැනැත්තාට මස් ලේවලින් සැදුනු ඔලූවක් (හිසක්) නැති නිසා නොවෙයි, ඔහු යම් යම් කටයුතු සිදුකරන ආකාරය අනුවයි. අනන්ත අප‍්‍රමාණ වූ ලෝක සත්වයින්ට යමක් නිවැරදිව සිදුකරන ආකාරය පැහැදිලි කර දී ඔලූවක් ඇතිව වැඩ කරන පිළිවෙල පාරමිතා පුරන බෝසතුන් වහන්සේලා ඔවුනට අවබෝධ කර දෙනවා. ලෝක සත්ත්වයින්ගේ හිස් පෑදෙන තෙක් “මහ මෙර” පිරෙන්නෙ නෑ. මහ මෙර කියන්නේ මහ මිහිරියාවයි. ඔවුන් නිරතුරුවම පංචකාම ආස්වාදයන් පසුපස හඹායන්නේ ඒ මිහිරියාව නිසයි. මෙසේ පංචකාමයන් පසුපස යමින් මුලාවී කටයුතු කරන ලෝක සත්වයින්ට ඒවායේ ආදීනවත්, ඒවායින් වෙන්වීමෙන් ලැබෙන ආනිසංසත් පෙන්වා දී ඔවුන් මුදවා ගන්නවා. එදාට මහමෙර පිරෙනවා. මහ බෝසතුන් වහන්සේලා මහ මෙර පිරෙන තෙක් හිස් දන් දී පාරමිතා පිරුවේ මේ ආකාරයෙනුයි. අප මහ බෝසතාණන්   වහන්සේ සර්වඥතාඤාණය පහළ කරගෙන උත්තරීතර ලොවුතුරා බුද්ධත්වයට පත්වීමට මේ පාරමිතා බලය හේතු වුනා.

සාරධර්ම පිරිහී ගිය ලෝකය තුළ තම අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම සඳහා ආත්මාර්ථකාමීව කට්ටකමින් සහ අසාධාරණයෙන් ක‍්‍රියා කිරීම ඇතමුන්ගේ ස්වභාවයයි. මෙවැනි කටයුතු ඇට්ටර සහ කට්ට ක‍්‍රියාවන් ලෙසත් හඳුන්වනවා. කිසියම් ශාරීරික හේතුවක් මත කෙනෙකුගේ ශරීරයේ මස් දියවී ඇටකටු (ඇට – ඇට්ටරයා, කටු – කට්ටයා) පෑදුනු විටෙක, ඔහුගේ ශරීරය ඇට්ටර ස්වභාවයක් ගන්නවා. මේ අනුව සාරධර්ම නමැති මාංශ දිය වී පිරිහී ගිය කෙනෙකු ක‍්‍රියා කරන ආකාරය අනුව ඔහු හැඳින්වීමටත්, “ඇට්ටර” සහ “කට්ට” යන වචන යොදා ගැනීමේ සම්මත ක‍්‍රියා පිළිවෙතක් තියෙනවා. ඇට්ටරකමින් සහ කට්ටකමින් අන්‍යයන් මුලා කරමින් ක‍්‍රියා කරන  අයට ඒවායේ ආදීනව පහදා දෙමින් එවැනි ක‍්‍රියා අත් හැරෙන ආකාරයට බෝසතුන් වහන්සේලා ධර්මය දේශනා කරනවා. එවැනි අනන්ත ලෝක සත්ත්වයන්ට සාරධර්ම නමැති මාංශයෙන් පෝෂණය කිරීමෙන් සිදුකළ අප‍්‍රමාණ යහපත තුළින් උන්වහන්සේලාගේ මස් දන්දීමේ දාන උප පාරමිතා පූර්ණය වුනා.

පාරමිතා පුරන මහ බෝසතුන් වහන්සේ නමක් තම ශරීරයේ ලේ දන්දීමත් දාන උප පාරමිතාවක් ලෙසයි සඳහන් වන්නේ. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මානය, පළිගැනීම වැනි පහත් දුශ්චරිත පාප ක‍්‍රියාවන් වර්ධනය වී, මිනිසුන් අතර සාමය සමාදානය පහ වී යාම ඒ සමාජය භේදභින්න වීමට හේතු වෙනවා. මේ අතර වස විස දීම, අණ වින කොඩිවින කිරීම වැනි ගුප්ත වැඩ පිළිවෙල මගින් ද පළිගැනීම් ක‍්‍රියාත්මක වීමට පටන් ගන්නවා. එවිට එකිනෙකා අතර ළයාන්විත බවක් නෑ. ළයාන්විතව කටයුතු කරන පවුලක සහෝදර සහෝදරියන් සහලේ අය ලෙසයි හඳුන්වන්නේ. එහෙත් ඉහත පාප ක‍්‍රියාවන් නිසා සිදුවන විනාශයත්, ඒවායේ ආදීනවත්, සමගිව සමාදානව ක‍්‍රියාකිරීමේ යහපතත්, එහි අගයත් පෙන්වා දෙමින් බෝසතුන් වහන්සේලා ධර්මය දේශනා කරනවා. මෙසේ ළයාන්විතව කටයුතු කිරීමේ මාර්ගය පෙන්වා දෙමින් ලෝක සත්ත්වයින්ට සිදු කරනු ලබන අප‍්‍රමාණ යහපත තුළින් උන්වහන්සේලා ළය හෙවත් ලේ දන්දීමේ පාරමිතාව පූරණය කරනවා. ලේ දන්දීමේ යථාර්ථය වන්නේ ගුණධර්ම තුළින් සමාජයට යහපත සිදු කිරීමයි.

දාන පාරමිතා පුරන මහ බෝසතුන් වහන්සේලා හෝ වෙනත් කෙනෙක් තම අඹුවන් දන්දීම කිසියම් සමාජයක් තුළ සදාචාර සම්පන්න ක‍්‍රියාවක් නොවන බව යථාර්ථවත්ව බලන විට පෙනී යන කරුණක්.

සම්මත සමාජ සිරිත් – විරිත් යටතේ එකිනෙකාට පිළිසරණක් වෙමින්, ජීවිතාන්තය තෙක් සහයෝගයෙන් කටයුතු කිරීමට ගිවිස ගනිමින්, අතපැන් වත් කිරීම ආදියෙන් ආශිර්වාද ලබමින්, විවාහ වී අඹු සැමියන් බවට පත්වන යුවලක් එතැන් පටන් ජීවිතය ගෙන යන සදාචාරවත් ක‍්‍රම රටාවක් සෑම යහපත් සමාජයකම තියෙනවා. අඹ කියන්නේ හිතවත් කමටයි. ස්වාමියාට කිසියම් දුකක් කරදරයක් පැමිණි විටෙක ඔහුට ඇප උපස්ථාන කරමින් හිතවත්ව කටයුතු කරන නිසා භාර්යාවට අඹුව යන නම ව්‍යවහාරයට පත්වී තියෙනවා. අඹ යහලූවෝ යන වචනවල අඹ යන්නෙන් කියවෙන්නේ හිතවත් කමයි. නැතහොත් අන්‍යෝන්‍ය ළබැඳියාවයි. එකිනෙකාට දුකක් කරදරයක් වූ විට සමගියෙන් සමාදානයෙන් අඹ යහලූවන් සේ හිතවත්කමින් ක‍්‍රියා කිරීමේ වැදගත්කමත්, ඒ සඳහා මාර්ගයත් පෙන්වා දීම අඹු දන්දීමේ බෝධිසත්ත්ව පාරමිතා ගුණයයි.

දරුවන් දන්දීම යනු දරුවන් වහල්කමට දීමක් නොවෙයි. එය සදාචාරවත් සමාජයකට ගැලපෙන යහපත් දෙයක් ද නොවෙයි. මෙහි ආර්ය අර්ථය වැහිලයි තියෙන්නේ. සාලිය සහ කෘෂ්ණජිනා යන දරුවන් දෙදෙනා දන්දීම වෙස්සන්තර ජාතක කථාවේ සඳහන් වන කරුණක්. මෙහි දරුවන් ලෙස සඳහන් වන්නේ කවරෙක්ද? ලෝක සත්ත්වයින් මේ පැවැත්ම තුළ යහපත සොයා කටයුතු කිරීමේදී යම් ධර්මයක් දැරිය යුතුද, දරන හෙයින් ධර්මය දරුවන් ලෙස හඳුන්වන්න පුළුවන්. ලෞකික පැවැත්මට මෙන්ම සුගතිගාමී වීමටත් හේතු වන සුචරිත දහම් හේතු ඵල සහිතව විග‍්‍රහ කර දෙමින්, ලෝක සත්ත්වයාට ඔවුන් දැරිය යුතු දේ පිළිබඳව අවබෝධය ලබාදීම, පාරමිතා පුරන මහ බෝසතුන් වහන්සේලාගේ දරු දන්දීමයි. සාලිය යන වචනයෙන් පෙන්වා දෙන්නේ      සහ+ ලෙස හෙවත් එක පවුලේ සොහොයුරන් ලෙස ජීවත් වීමේ ආදර්ශයයි. කිසියම් සමාජයක ජීවත්වන අයට සහෝදර සහෝදරියන් සේ කටයුතු කරන්න පුළුවන් නම් එය කොච්චර යහපතක් වෙන්න පුළුවන්ද? මෙවැනි ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළ කෙනෙකුගෙන් තවත් අයෙකුට අවැඩක්, ආසාධාරණයක්, දුශ්චරිතයක් සිදු වෙන්නෙ නෑ. එවැනි සමාජයක් ගොඩනැගීම සඳහා පුරුදු කළ යුතු උතුම් ගුණය සාලිය (සහ + ලේ) ගති ලක්ෂණයක්.

කෘෂ්ණ බව හෙවත් කලූධර්ම ලෙස හඳුන්වන දස අකුසලය ජය ගැනීමට යම් මාර්ගයක් අනුගමනය කරන්නේ නම් කෘෂ්ණ ජිනා වෙනවා. සහ ලේ දරුවන් ලෙස සමගියෙන් සමාදානයෙන් ජීවත් වීමටත්, දස අකුසලයෙන් වෙන්වී කලූ ධර්ම යටපත් කොට කෘෂ්ණ බව ජය ගැනීමටත් අව්‍යශ ධර්මය ලෝක සත්ත්වයින්ට දීම සාලිය සහ කෘෂ්ණජිනා යන දරුවන් දන්දීමයි.

බුදුවීමට පාරමිතා පුරන මහ බෝසතුන් වහන්සේලා ලෝක සත්ත්‍වයින්ට දෙන්නේ ඔවුනට යහපත් ලෙසත්, සුචරිතවත් ලෙසත් ජීවිත ගතකිරීමට අවශ්‍ය මෙවන් ආදර්ශමත් ධර්ම මාර්ගයක්.

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණ දහම් කරුණු ඇසුරින් සකස් කළේ :

ඇල්. අමරසිංහ
(විශ‍්‍රාමික ලංකා බැංකු ජ්‍යෙෂ්ඨ කළමනාකරු)
පිළියන්දල.