පසුගිය කලාපයෙන් – මාර සේනාවන් සමග කළ සංවාදවලින් සහ මාර උගුල්වලින් ජය ලැබූ හැටි….. එතැන් සිට…

කෙනෙක්ගේ ශරීරයට අතවත් නොතබා ලෙඩ රෝග ආදියත්, ඊට හේතුවත්,  ප්‍රතිකර්මත් පෙන්වා දෙන ගුප්ත ක්‍රමවේද නිසාම ලංකාවේ විවිධ ප්‍රදේශවලින් සෙනග එන්න පටන් ගත්තා. මේ කටයුතු ආරම්භ කරපු මුල් කාලයේ තවත් වටිනා ශාන්ති ක්‍රමයකටත් ක්‍රමවේදයක් මතු වුනා. දිනක් රාත්‍රී නින්දේදී සිය ගණනක පිරිසක් වෙත සෙත් කවි ශාන්තියක් කරමින්, අත අනුකූලව කරකවමින් පිරිසට විශාල සෙත් කිරණ ධාරාවක් යවන ආකාරය හීනෙන් දැක්කා. පැය කාලකට වැඩි වෙලාවක් එසේ කළ ලෙසයි වැටහුනේ. ඒ කවි ඉතා ශාන්තයි. අක්‍ෂර, ගණ, එලිසම, එලිවැට… ආදී සියල්ලෙන් පූර්ණ වූ ලෝවැඩ සඟරාව, බුදුගුණ අලංකාරය… ආදී පොත්වල තියෙන කවි වගෙයි , හෙළ බසට ආවේනික පදමාලාවන්ගෙන් හැදී ගලාගෙන එන ස්වභාවයේ ඒවායි. එ්වා හිත හිතා පද ගොතමින් කියපු කවි නෙවෙයි. ඒ මොහොතේ රාත්‍රී නින්දෙන් අවිදි වූ මා හට, ‘‘මා කෙසේ කවි කීවේද? කවි හදා හෝ කියා පුරුද්දක් නැති මට එබඳු කවියක් හිතෙන් හදාගෙන පොතක ලියන්නත් පැය කාලක් වත් ගතවෙයි’’ කියා හිතුනා. මුත් මේ හීනෙන් කරපු විශේෂ ශාන්තිය ප්‍රකෘතියෙන් ගන්න පුළුවන් දැයි, ඊළඟ දවසේ සමාධි ක්‍රමයෙන් බලන්න හිතාගෙන නැවතත් නින්දට ගියා.

එළිවුන දවස විශේෂ දිනයක් වුනා. ගෙදර තිබිච්ච සුළු සුළු කටයුතු ඉවර කර උදේ අටට පමණ කුටියට ගිහින් ගුරුතුමා මවා රාත්‍රියේ සිදු වූ සිද්ධිය පවසා ඒ කාව්‍යමය සෙත් කිරීම ප්‍රකෘති පියවි ස්වභාවයෙන් ගන්න පුළුවන් දැයි ඇසුවා. එසේ හැකි බව පැවසූ ගුරුතුමා, පෑනක් සහ පොතක් රැගෙන කුටියට එන්න කියා දැන්නුවා. ඉන්පසු පොත පෙරලාගෙන ගෙයක් හදන හැටි කියා මාතෘකාව ලියන්න කිව්වා. ගුරුතුමා පදෙන් පදය කියනකොට ලියා ගන්නැයි පැවසුවා. මමත් ඒ කවි, පදයෙන් පදය අසමින් ලිව්වා. කවි 23 කින් ඒ කවි පන්තිය ලිව්ව ලෙසයි මතක. ඒ කවි කියා දුන් ආකාරය සිහි කරන කොට, මේ මගේ මනසේ නිපැයුමක්දැයි සිතීමත් පුදුම සහගත වුනා. ඉන්පසු කිව්වේ, දැන් ලිව්වා ඇති ගෙදර ගිහින් වතුර බෝතල් තුනක් අල්ලන ජෝගුවට පුරවා ගත් වතුර ජෝගුවක් සහ වතුර බෝතලයක් අල්ලන ලොකු වීදුරුවකට පිරෙන්න වතුර එකක් රැගෙන එන ලෙසයි.

ඉන්පසු පළමුවෙන්ම මෙහෙම උපදෙස් දුන්නා. ‘‘දැන් කවි පදයක් මනසට එවනවා. ඒක කටින් පිටවෙන්න සිතන්න. කවි පදය පිටවෙනකොට දැඩි වෙහෙසක් සහ පිපාසයක් දැනෙයි. බය නැතිව වතුර බොන්න.’’ මෙහෙම කියල දැන් කවි පදය එන්න මනස සැකසෙන්න හිතන්නැයි කිව්වා. ක්‍රමයෙන් හිස තදවෙන්නට වුනා. පැල මදයක් (පැලපී) තරම් ප්‍රමාණයෙන් මොළය හිරවෙමින් කුඩා වෙන ආකාරයත් දැනෙන්න වුනා. ඒක ටෙනිස් බෝලයක් තරම් ලෙසත්, දොඹ ගෙඩියක් තරමට කුඩා වූ ලෙසත්, ජිල් බෝලයක් පමණ, කෝපි ගෙඩියක් පමණ, අබ ඇටයක් පමණ ආදී ලෙසින් හිර වෙමින් කුඩා වෙන ආකාරය දැනෙන්න වුනා. ඊළඟට ඉඳිකටු තුඩක් තරම් කුඩා වී නැති වී, හිස් කබල හා හිසකෙස් ආදියත් නොදැනී හිස් මුදුන  අහසට විවෘත වුනා වගේ දැනුනා. දැන් තදවීම උපරිම ලෙසට තවමත් දැනෙනවා. ‘‘ඔන්න කවි පදය කටින් පිටවෙන්න එවනවා’’ කියන හඬත් සමගම කවි පදයක් කටින් පිටවුනා. ඒත් සමගම හිර කරපු දෙයක් සම්පූර්ණයෙන් අතහැර නිදහස් කළා සේ වැටහුණා. උගුර කට වේලී ගියා. මම වතුර වීදුරු තුන් කාලක් පමණ බීගෙන ගියා. නැවතත් ජෝගුවෙන් වීදුරුවට වතුර පුරවා තැබුවා. ‘‘හා ලැහැස්ති වෙන්න දෙවනි පදය එවන්න’’ යැයි ගුරුතුමා දැනුම් දුන්නා.

පෙර පරිදිම ඔළුව, මොළය හිරවෙන්න පටන් ගත්තා. කලින් වගේම කුඩා වී ගිහින් හිස් මුදුන අහසට විවෘත වුනා වගේ දැනුනා. ඔන්න දෙවනි පදය එවනවා යැයි ගුරුතුමාගේ හඬත් සමගම දෙවනි පදය පිටවුනා. කලින් වගේම වතුර පිපාසය දැනෙන්න වුනා. වතුර බී නැවතත් ජෝගුවෙන් වීදුරුව පුරවා තැබුවා. තුන්වැනි පදය එවන්න යලි සැරසෙන ලෙස ගුරුතුමාගෙන් අණ ලැබුණා. ඒකත් එ් විදිහටම පිටවුනා. මේ විදිහට විනාඩි පහක් පමණ යනකොට වතුර වීදුරු හතරම බී අවසන් වුනා. දැන් මනස අහස වගේ නිදහස්. කිසිම වෙහෙසක් දැනෙන්නෙ නෑ. හිතෙන හිතෙන දේ කවියට නැගී පිටවෙන්නේ නිරායාසයෙන්. ඉතා වේගයෙන් කියන්න හිතුවොත් වේගයෙන් ගලාගෙන එනවා. අකුරු පද හඬ නැගීමේදී තොල කට දිව හසුරුවන්න යම් තරමක් වේගයෙන් පුළුවන්ද, ඒ තරමට වැඩි ඉක්මනින් මනස කාව්‍යමය බලයෙන් ක්‍රියාත්මක වෙන්න වුනා. මට මතක හැටියට මේ සිද්ධිය සිද්ධ වුනේ 1986 වසරේදී පමණ. එදා ඉඳන් අද වෙනතුරු ඒ හැකියාවේ අඩු වැඩියක් නෑ. කවි කියල ප්‍රගුණ වීම නිසා කියල වෙනසකුත් නෑ. මේවා එකම රටාවක කවි නෙවෙයි. විවිධ මාදිලියේ ක්‍රම රටාවන්ට නැගී එන කවි. ශාන්ත භාවයට පත් කරන්න, නටවන්න, ගෙන්වන්න, පළවා හරින්න, බෙර පද විලාසයට, හේවිසි පද විලාසයට ගැයෙන සතර පද විලාසයෙන් හෝ නිසඳැස් ක්‍රමයටත් ගැයීමේ හැකියාව ඒ මොහොතේ පටන්ම ඇති වුනා. පිපාසය දැනීමේදී බීපු වතුර බෝතල් හතරක් බඩේ ඇති බවවත් දැනුනෙ නෑ. ඒවා මුත්‍රා ලෙසටත් ගියේ නෑ.

ගුරුතුමාගෙන් අහනකොට කිව්වේ, මොළයේ අක්‍රීයව තිබිච්ච සෛල විශාල ප්‍රමාණයක් වහගෙන තිබුණ අපද්‍රව්‍ය පිටකිරීමට රසායනික සංයුතියක් හැදී කිරණක් බවට පත්වෙලා විසිර ගිය බවයි. එදිනම හවස අවට පවුල්වල කුඩා ළමයින් හත් අටදෙනෙක් එකතු කරගෙන පුංචි ආදර්ශ කතාවක් ගුරුතුමාගේ දැනුම්දීම අනුව මේ ක්‍රමයටම කළා. ඒවා ළමයි අහගෙන හිටියේ ඉතා සතුටින්. හොඳට තේරෙන නිසඳැස් කවිවලින් නාට්‍යයක රඟ දක්වන ආකාරයට අත්, ඇඟ, හිස… ආදී කායික අංගත් අනුකූලව චලනය කරමින් මනා සිහියෙන් ඒ රංගනය කළා. මේ පහතින් පෙන්වන්නේ ඒ කවි පන්තියම නෙවෙයි, ඒ  අදහස ගැබ්වෙලා තියෙන කවි රටාවයි. මොකද කතා කරපු දෙයක් ඒ අකුරු හා ඒ පදවලින්ම ඒ විදිහටම නැවතත් කියන්න බැරි වගේ, මේ කවි කීමත් එසේමයි. පාඩම් කරගත්තු කවි නම් ඒ විදිහටම කියන්න පුළුවන්. ඒත් මේ කවි ඒ වගේ නෙවෙයි. මේ තමයි පටිභාන කාව්‍ය රටාව.

දේශක –
ඔන්න පුතුනි එක දවසක්
පුංචි ළමයි කට්ටියකුත්
සෙල්ලම් කරනට කියලා
ගියා නොවෑ පිට්ටනියට

පුංචි ළමයි එකතු වෙලා
දෙපිලක් විලසට බෙදිලා
නායකයන් තෝරාගෙන
දෙපිල හැදුනෙ මෙන්න මෙහෙම

දෙන්න දෙන්න වෙන්ව ගොසින්
එකෙක් අතේ ගල් කැටයක්
අනික අතේ තණකොලයක්
හංගාගෙන දෙන්න ඇවිත්
නිලද ගලද? නිලද ගලද?

නිල කිව් අය එක පිලකට
ගල කිව් අය එක පිලකට
මෙහෙම බෙදිල දෙපිල හැදිල
බෝල ගහන්නයි හදන්නෙ

පළමු පිලට පිත්ත දුන්න
දෙවැනි පිලට බෝලෙ දුන්න
එකෙක් ගහපු බෝල පාර
හරිම සැරයි හරිම සැරයි

අල්ල ගන්න බැරුව ගියා
බෝලෙ කැලෑවටම ගියා

ළමයි:-
හොයමු හොයමු බෝලෙ හොයමු

දේශක:-
සේරම දැන් බෝලෙ හොයයි
බෝලෙ දැක්ක එක ළමයෙක්
ගන්නට නැමුනා විතරයි
මෙන්න බොලේ පුදුම වැඩක්
පිහාටුවක් දඟලනවා

බලා ඉන්න පුදුම වැඩේ
මේ බලපන් පුදුම වැඩක්
එහෙට නැමිල මෙහෙට නැමිල
දඟල දඟල නැගිටිනවා

පළමු ළමයා:-
කෝ බලන්න කෝ බලන්න
පිහාටුවක් කොහොමද බං
ඔය විදිහට දඟලන්නේ
භූතයෙක්ගෙ වැඩක්  ඕක
භූතයෙක්ගෙ වැඩක්  ඕක

ඔක්කොම ළමයි:-
දුවමු දුවමු පැනල දුවමු
අපි අල්ලන්නත් බැරි නෑ

දේශක:-
මෙහෙම කියපු පුංචි ළමයි
පස්ස නොබල ගෙදර දිව්ව
මෙහෙම කියපු පුංචි ළමයි
පස්ස නොබල ගෙදර දිව්ව

පළමු ළමයා:-
අම්මෙ අම්මෙ හරි වැඩේනෙ
පිහාටුවක් දඟලනවා
භූතයෙක්ගෙ ආවේසෙන්
පිහාටුවක් දඟලනවා

මව (සුද්දි):-
කොහෙද පුතේ? කොහෙද පුතෙ

ළමයා:-
බෝල ගහන පිට්ටනියේ
එහා කැලේ එහා කැලේ

මව (සුද්දි):-
උඹ කොහෙවත් යන්න එපා
ගෙදර හිටින් ගෙදර හිටින්
මම පොඩියක් පොඩි වැඩකට
උඩහ ගෙදර පැත්තෙ යනව

ජොසී:-
කොහෙද බොලන් හති දාගෙන
ජර මරේට මේ දුවන්නෙ

සුද්දි:-
හරි වැඬේනෙ ජොසී අක්කෙ
කා හටවත් කියනු එපා
භූතයෙක්ගෙ ආවේසෙන්
කුරුල්ලෙකුගෙ අත් තටුවක්
පිට්ටනියේ උඩ පැන පැන
ආවේසෙන් දඟලනවලූ

ජොසී:-
මොනව යකෝ පුදුම වැඩක්
කවුද  ඕක උඹට කිව්වෙ?

සුද්දි:-
වෙන කවුරුත් නොවෙයි බොලන්
මගේ පුතා මගේ පුතා
ඌ උස්සන් යයි කියලා
ඒක බයේ ගෙදර දිව්ව

ජොසී:-
බය නැතුවයැ පොඩි එකානෙ
බය නැතුවයැ පොඩි එකානෙ
විග විගහට ගෙදර ගිහින්
පොඩි එකාව බලාගනින්
මට යන්නට පොඩි ගමනක්
තියෙන හින්ද මං යනවා

ආරංචිය පැතිර යන්ට
ඉස්සෙල්ලම යන්ට  ඕනැ
රොසලින් අක්කට කියන්ට
ඉක්මනටම යන්ට  ඕනැ

රොසලින්:-
කොහෙද ජොසී මේ දුවන්නෙ
හති දාගෙන ජර මරේට?

ජොසී:-
ඇයි රොසලින් දන්නෙ නැද්ද
පුදුම වැඩක් පුදුම වැඩක්

රොසලින්:-
මොකක්ද බං පුදුම වැඩේ
මටත් අහන්නට කියපන්

ජොසී:-
මැරුණ කුරුල්ලෙක් ඇවිදින්
භූතයෙකුගෙ ආවේසෙන්
පිට්ටනියේ උඩ පැන පැන
කැරකි කැරකි දඟලනවලූ

රොසලින්:-
කවුද  ඕක උඹට කිව්වෙ
කවුද  ඕක උඹට කිව්වෙ?

ජොසී:-
කවුරු කිවත් උඹට මොකද
වැඩේ ඇත්ත වැඩේ ඇත්ත

රොසලින්:-
අනේ අපොයි පුදුම
ලෝකෙට මේ මොකද වෙන්නෙ
හිතා ගන්ට බැරි දේවල්
කලි යුගයට සිද්ධ වෙන්නෙ
කවුද අතන අර ඉන්නේ
ජේන් අක්ක ජේන් අක්ක
ආරංචිය එන්ට කලින්
යන්ට  ඕනැ මෙය කියන්න

ජේන් අක්කෙ ඔහොම හිටින්
ජේන් අක්කෙ ඔහොම හිටින්

ජේන්:-
ඇයි රොසලින් හඬ තලන්නෙ
කරදරයක් වත් වෙලාද?

රොසලින්:-
දන්නෙ නැද්ද ජේන් අක්කෙ
පිට්ටනියේ හරි වැඩක්නෙ
උකුස්සො දෙන්නෙක් මැරිලා
වේලිලාලූ කර වෙලාලූ
භූතාවේශයක් ඇවිත්
දෙන්න කොටා ගන්නවාලූ

ජේන්:-
සද්දෙ ටිකක් මටත් ඇහුන
උඹට කියන්නටයි හිටියෙ
කඩේ පැත්තෙ යන්න හින්ද
ඉක්මන් කර මම යනවා

මේ ටිකටත් ආරංචිය
කඩ මන්ඩියෙ පැතිරිල ඇති
මමයි මේක දැක්කෙ කියල
ආරංචිය පතුරවන්න

අනේ අපොයි මෙහෙම දෙයක්
කවද දකින්නද මේවා
මෙහෙම දෙයක් දැක ගන්නත්
පිනක් තියෙන්නට  ඕනෑ

අතන ඉන්නෙ ලොකු සෙනග
එකිනෙකාගෙ කසුකුසුවක්
ආරංචිය හොයා ගන්න
බැරුව වගෙයි බැරුව වගෙයි

දේශක:-
ගමේ සැවොම එකතු වෙලා
කප් හිටවන්නට හදනව
භූත දෝසෙ හැර දමන්න
දේව පිහිට ලබාගන්න

පිරිසත් වට පිට බලනව
කවුද වටෙන් එන්නෙ කියල

පිරිස:-
ඔළුව ටිකක් කරකව කව
ජේන් අක්ක නේද එන්නෙ
කලක හිටන් දේවාලේ
කපුකම ඇය නොවැ කරන්නෙ

ජේන්:-
නර පැටවුනි මෙහෙට වරෙව්
නර පැටවුනි මෙහෙට වරෙව්
උකුස්සො හත් දෙනෙක් මරල
වේල වේල හිටපු යකුන්
ආවේසෙන් උන් අරගෙන
පිට්ටනියේ උඩ පනිනව
යකුන් මෙල්ල කර යවන්න
දේවාලෙට වරෙව් යන්න

දේශක:-
තවත් වැඩක් මේ වෙලාවෙ
මේ විදහට සිද්ධ වුනා

පිරිස:-
කවුද කෙනෙක් මෙහෙ එනවා
බස්තමකුත් අතේ අරන්
රැවුල දිගට වවල ඉන්නෙ
නෙත් දෙක නම් හරි තේජස්
ගාම්භීර මහ කටහඬ
පෙර අපෙ මුල් ගුරුතුමානෙ
ගරු කළ යුතු උතුම් අයට
වැඳලා ගරු කරල හිටිමු

ගුරුතුමා:-
සුවපත් වේවා සැම දෙන
සුවපත් වේවා සැම දෙන
මොකද මෙතන සියලූ දෙනා
එකතු වෙලා මේ කරන්නෙ

පිරිස:-
අනේ අපේ ගුරු උතුමනි
භූත දෝසෙ ගමට ඇවිත්
අපි වැනසෙන්නට ඉස්සර
දේව පිහිට ලබා ගන්න
දෙවියන් හට බාර වෙන්න
ජේන් මෑණි අඬගසනව

ගුරුතුමා:-
මොකක් කිව්ව ජේන් මෑණි
කවුරුද ඒ ජේන් මෑණි

ජේන්:-
මං මං මං මහත්තයෝ
ජෙජ්.. ජෙජ්.. ජෙජ්.. ජේන් නෝන

ගුරුතුමා:-
ජේන් නෝන මට මතකයි
ඒ කාලේ පුංචි කෙල්ල
දාංගලේ වැඩි හින්දා
කෝටු පාර දෙකක් දුන්න

ඊට පස්සෙ කලබල නෑ
හොඳට අකුරු ඉගෙන ගත්ත
මොකක්ද ඔය භූත දෝසෙ
කවුරුද ඒ ලෙස කියන්නෙ

පිරිස:-
ජේන් අක්ක ආවේසෙන්
දෙයියො කිව්ව ලෙස කියනව
උකුස්සො හත් දෙනෙක් මරල
වේල වේල හිටපු යකුන්
ආවේසෙන් උන් අරගෙන
පිට්ටනියේ උඩ පනිනව
දේව සාපයක් හින්දම
භූත දෝසයක් හැදිලලූ

ගුරුතුමා:-
ජේන් නෝනො මෙහෙට වරෙං
මොන දෙයියොද උඹට කිව්වෙ
පුංචි කාලෙ කෝටු පාර
මතක් කරල දැන් කියපන්

ජේන්:-
අනේ අනේ මහත්තයෝ
දෙද්.. දෙද්.. දෙද්.. දෙයියො නෙවෙයි
රොසලින් අක්කයි කීවේ
බොරු කීවට කමා වෙන්න

ගුරුතුමා:-
බොරු කියන්න පුරුදු අයගෙ
කටත් කෙටේරියක් වගේ
ලෝ සදහම් වනසවන්නෙ
කෙටේරියක් වගේ කටයි
ඉස්කෝලෙදි කියා දුන්න
ජේන් උඹට මතක නැද්ද?

රොසලින් ඔය උඹට කිව්ව
දේම නෙවෙයි උඹ කියන්නෙ
හාත් පසින් වෙනස් දෙයක්
ගොතල තමයි උඹ කියන්නෙ
මාත් සමග යන්ට වරෙව්
ඔප්පු කරල පෙන්වන්නම්

කෝ රොසලින් කෝ රොසලින්
වරෙන් වරෙන් මෙහෙට වරෙන්
ජේන්ගෙ කන කොනේ තියල
උඹ මොකක්ද ඇයට කිව්වෙ?

රොසලින්:-
මාගෙන් වරදක් වී නම්
මහත්තයෝ කමා වෙන්න
මැරිලා වේලී කරවුණු
මහා උකුස්සෝ දෙන්නෙක්
භුතාවේශයක් නිසා
ඔවුන් කොටා ගන්නවාලූ
ඔය ටිකමයි මම කිව්වේ
ඔය ටිකමයි මම කිව්වේ

ගුරුතුමා:-
මුලදිම මං කිව්ව නේද
හාත් පසින් ගොතපු දෙයක්
මේ රොසලින් කිව්ව කියල
ජේන් නෝන ගොතපු බොරුව

(ජේන් මුහුණ සඟවා ගනිමින් පාපොච්චාරණය කරයි)

තැනක් ගන්න යයි හිතලා
බොරුවක් ගොතලා කීවම
ලැජ්ජා වෙන්නට වෙනවා
නැණවතුන්ගෙ ගැරහුම් මැද

ගුරුතුමා:-
දැන් රොසලින් උඹ කියපන්
කවුද  ඕක උඹට කිව්වෙ?

රොසලින්:-
ජොසී අක්ක ජොසී අක්ක
එයා තමයි මෙමට කිව්වෙ

ගුරුතුමා:-
බොරු කියන්නෙ ඇයි රොසලින්
ඒක පාපයක් කියලා
ඉගැන්නුවා මතක නැද්ද
සිහි කරපන් සිහි කරපන්
ඔප්පු කරල පෙන්නන්නම්
කොහෙද ජොසී කොහෙද ජොසී

පිරිස:-
අන්න අන්න ජොසී අක්ක
වට පිට බල බල දුවනව

ගුරුතුමා:-
මෙහෙට වරෙන් මෙහෙට වරෙන්
කොහේද උඹ ඔය දුවන්නෙ
කියපන් දැන් වෙච්ච හදිය
කොහොමද රොසලින්ට කිව්වෙ?

ජොසී:-
අනේ අනේ මහත්තයෝ
වරදක් නම් කමා වෙන්න
මැරුණ කුරුල්ලෙක් ඇවිදින්
භූතයෙකුගෙ ආවේසෙන්
පිට්ටනියේ උඩ පැන පැන
නටන බවයි මං කිව්වේ

ගුරුතුමා:-
ඔය ටික මං කියල නැද්ද
අල්ලේ පැලවෙන මහ බොරු
කියන්න හොඳ නෑ රොසලින්
ඉගැන්නුවා මතක නැද්ද
සමාජයෙන් කොන් වෙන හැටි
ඇකිලී ඉන්නට වෙන හැටි

රොසලින්:-
ඇත්ත තමයි වරද මගෙයි
ගුරුන් වදන් අත්දුටුවයි
මින් පසු නම් කිසිම දිනක
මම බොරුවක් නැහැ කියන්නෙ

ගුරුතුමා:-
ඇත්ත තවම අහලක නෑ
ඇත්ත තවම අහලක නෑ
කවුද ජොසී උඹට කිව්වෙ
කිව්ව කෙනා මට කියපන්

ජොසී:-
කමා වෙන්න මහත්තයෝ
මාගෙන් වරදක් වුනි නම්
සුද්දි ඇවිත් ලහි ලහියේ
මා හට මෙය කියා ගියා

ගුරුතුමා:-
ඇත්ත එකක් උඹ අනිකක්
කිව්ව නේද බොරුම ගොඩක්
ඔප්පු කරල පෙන්වන්නම්
සුද්දි හොයාගෙන වරෙල්ල

පිරිස:-
අන්න අන්න සුද්දි යනව
පැනල දුවන්නට හදනව
මෙහෙට වරෙන් මෙහෙට වරෙන්
උත්තර දීලා පලයන්

ගුරුතුමා:-
මෙහෙට වරෙන් මෙහෙට වරෙන්
මේකිද මේ සුද්දි කෙල්ල
කට රතු පොඩි පුංචි එකී
ඒ කාලේ මට මතකයි
අතේ තිබෙන කෝටු කෙටිය
දැක්ක ගමන් අඬ අඬ විත්
බොරු කියන්නෙ නෑ මම නම්
කිය කිය වැඳගෙන ඉන්නව
මතක් කළේ උගන්නපුව
දැන් කියපන් වෙච්ච හරිය

සුද්දි:-
අනේ අනේ මහත්තයෝ
ගුරු ගුණයට ගරු කරනව
වරදක් මාගෙන් වී නම්
කමා කරනු මැන මා හට

වියලී ගිය කුරුල්ලෙකුගෙ
තටුවක් වෙත පණ ඇවිදින්
භූතයෙකුගෙ ආවේසෙන්
පිට්ටනියේ උඩ පැන පැන
දඟලනවා කියල තමයි
ජොසී අක්කට මම කීවේ

ගුරුතුමා:-
ජොසී කිව්ව බොරු සේරම
මේ මොහොතෙම ඔප්පු වුනා
බොරු කීමෙන් විශ්වාසය
තැබිය නොහැකි කෙනෙක් වුනා

ජොසී:-
ඇත්ත තමයි ගුරුන් වදන්
බොරුවෙ දෝසෙ මම දුටුවා
මින් පසු නම් කිසි දවසක
බොරු නොකියමි කට අටවා

ගුරුතුමා:-
සුද්දී දැන් උඹ කියපන්
කවුද  ඕක උඹට කිව්වෙ
බොරුව නැතිව තතු කියපන්
ඇත්ත නැහැනෙ තවම ආවෙ

සුද්දි:-
සමා වෙන්න ගුරු සාමිනි
පුතා තමයි මට කීවේ
කිව්ව ගමන් දුවගෙන විත්
ජොසලින් අක්කට කීවේ

ගුරුතුමා:-
කිව්ව ගමන් මට පෙනෙනව
ඇත්ත සත්ත නැහැනෙ මෙතන
පොඩි එකාගෙ කටේ නැහැනෙ
බොරුව සමග ගොතපු වචන
දොස් කියන්නෙ නෑ කිසි විට
පොඩි එකාගෙ බසට ඉතින්
එක්ක එන්න පොඩි පුතාව
සත්ත හොයමු බසින් ඉතින

දේශක:-
පොඩි එකාද පිටි පස්සේ
මුල්ලක හැංගිල උන්නේ
ගුරු සීයේ මං මෙතනයි
කියමින් එතැනට එන්නේ

ගුරුතුමා:-
හිස අතගා පුංචි පුතුගෙ
පුත මට ඇත්තම කියන්න
ඔයා දැක්කෙ කොහොම දේද
දුටු විලසට මට කියන්න

දරුවා:-
අපි ඔක්කොම එකතු වෙලා
සෙල්ලම් කරනට කියලා
සෙල්ලම් පිට්ටනියෙ ඉඳල
දෙපිල බෙදිල බෝල ගැහුව

මමයි ඉතින් බෝලෙ යැව්වෙ
පිත්තෙ වැදුන බෝල පාර
සැර වැඩිවී උඩින් ගිහින්
කැලේ දෙසට වීසි වුනා

බෝලෙ ගන්න ගොස් බැලූවම
පිහාටුවක් දඟලනවා
ඒ පැත්තට මේ පැත්තට
වැනි වැනි එය නැගිටිනවා

භූතයෙකුගෙ වැඩක් කියල
බය හිතිලා ගෙදර දුවල
අම්ම එක්ක එය කිව්වා

මට ගෙට වී ඉන්න කියල
ඉක්මනටම කොහෙද ගිහින්
බයෙන් වාගෙ ගෙදර ආව
මටත් හුඟක් බය හිතුනා

ගුරුතුමා:-
ඇත්ත සත්ත කොහොම වුනත්
පුතා කීවෙ දැක්ක දෙයයි
සුද්දි අම්ම කට ගැහුවට
භූතයන්ට හරිම බයයි
ඇත්ත නැත්ත නොදැක්ක අය
භූතයන්ගෙ වැඩ කියලා
නොයෙක් දේට රැවටෙනවා
සොයා බලා තීරණයක්
නොගන්න එක ලොකුම වරද
පුතා එන්න මාත් එක්ක
බලනෙමු අපි ඇත්ත නැත්ත
අනිත් අයත් එන්නකො දැන්
භූතයාගෙ හැටි බලන්න

(සැවොම පිට්ටනියට යයි)
හොඳයි පුතා දැන් කියන්න
කොහෙද පිහාටුව නටන්නෙ?

දරුවා:-
අන්න අතන අන්න අතන
බයයි බයයි යන්ට බයයි

ගුරුතුමා:-
මං යන්නම් ඉස්සෙල්ලා
පුතා එන්න මගෙ පස්සෙන්

දරුවා:-
අර තියෙන්නෙ අර තියෙන්නෙ
දැන් නම් දඟලන්නෙ නැහැනෙ

ගුරුතුමා:-
බිමට එබිල හොඳට බලමු
මොකද මෙතන වුනේ කියල
හහ් හහ් හා…. හහ් හහ් හා….
බය වෙන්නට එපා පුතේ
පුංචි පුතා මෙහෙට එන්න
මේ බලන්න කූඹි හිලක්
පිහාටුවේ මුල බලන්න

කුරුල්ලෙකුට කපුටො කොටල
පිහාටුවක් බිමට වැටිල
පිහාටුවේ මුල් කොටසේ
පුංචි පහේ මස් පොඩියක්
කූඹි ගුලට ඒක ඇදන්
මස් ටික කඩ කඩ කනකොට
එහෙට වැනුනි මෙහෙට වැනුනි
නැගිටින ලෙස වගේ පෙනුනි
ඒක කාල දැන් ඉවරයි

පිහාටුවත් පැත්ත වැටිල
තේරුම් ගන්නට බැරුවම
ඕව තමයි භූත දෝස
මීට පස්සෙ කිසි දවසක
බය වී දුවනට හොඳ නෑ
හේතුවකින් හැදෙන ඵලය
නොම දතහොත් මිස දිටුවෙක්
හේතුව හොයලා බැලූවම
දුටු මොහොතෙම සම්දිටු වෙයි
පුතුනි අපේ බුදු දහමත්

මුල් කාලෙදි ඔහොම තමයි
ලෝකෙ දකින ලකුණු තුනයි
අවබෝධෙට සිව් කරුණයි
මේ ටික විස්තර කරන්නෙ
සත්තිස් බෝ පැකි දහමයි (පැකි – පාක්‍ෂික)
මේ ටික දැන ගත්ත දාට
සම් දිටු වෙයි නිවන් දකියි

මේ තමයි එදා කුඩා ළමයින්ට රඟ දක්වා පෙන්වපු කතාව අද නිසඳැස් කවියට ගෙතුණු ආකාරය. මේ වගේ කතා ගෙතිල එනකොට ඊළඟට ගෙතිල එන්නෙ මොකක්ද කියල මම දන්නෙ නෑ. මමත් ඒ මොහොතේ ගෙතිල එනකොට ඒකෙ රසය විඳිනවා. නැත්නම් ඒකෙන් එන දහම් පණිවුඩය දැනගන්නවා.

(ඉතිරි කොටස ලබන කලාපයෙන්)

සටහන – නීතිඥ චන්දන සිරිවර්ධන