බුද්ධ දේශනාව අනුව මරණානුස්සතිය වැඩිය යුත්තේ කෙසේද?

මාර උගුල්වලින් මිදී ලෝකෝත්තර මග වැඞීමට උපකාරී වන ආරක්ෂා හතරෙන් සිව්වැනි ආරක්ෂාව වූ මරණානුස්සතිය ගැනයි මේ විග‍්‍රහ කරන්නේ.

ජීවිතය අනියතය, මරණය නියතය. මොහොතින් මොහොතද මිය යනවා. උපන් සියල්ලෝම මිය යනවා. බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා ද, චක‍්‍රවර්තී රජවරු ඇතුලූ සියලූ රජවරුද, සිටුවරුද, නැණවතුන්ද, බලවතුන්ද ආදී සියල්ලෝම මිය යනවා. ඉතින් මා වැන්නවුන් ගැන කවර කතාද?

මේ තමයි  අද තියෙන එක්තරා මරණානුස්සති භාවනාවක්.

අනුන්ද මැරෙන නිසා තමාගේ මරණය සිදුවීම ගැන ගණන් නොගන්නා හැටි මෙයින් පේනවා. අනුන්ට හෙණ ගහනවානම් තමන්ට ගසන හෙණයත් ඉවසන්න පුළුවන්. ඒ, අනුන්ටත් හෙණ ගහන නිසයි. එහෙත් ප‍්‍රශ්ණය වන්නේ අනුන් බේරී තමාට පමණක් හෙණය වැදුනොත්ය. එතකොට නම් ඉවසන්න බෑ. මේ වගේ තමයි සමාජයේ සියලුදෙනා මැරෙන නිසා තමන්ටත් මරණය එම ප‍්‍රශ්නයක් නොවෙයි. නමුත් අනෙක් අය හැර තමා පමණක් මරණයට පත් වෙනවා නම් ඒක ඉවසන්න බෑ. මේ වගේ, මිනිසුන් යමක් දෙස සංසන්දනාත්මකව බලන්න පුරුදු වෙලා ඉන්නවා මිසක් එහි යථාර්ථය තේරුම් ගන්න උත්සාහ කරන්නෙ නෑ. කෙසේ වෙතත් සමහරෙක් මේ විදියටත් භාවනාව කරගෙන යනවා. එහෙත් මරණ භය නම් ඉවත්ව ඇති බවක් පේන්න නෑ. මිනීමරුවෙක් තමාව මරන්න එනවා දැක්කොත් වඩපු හැම භාවනාවක්ම කෙළවර කරල පැනල දුවනවා. මෙහෙම කියන්නේ අපහාසයකට නොවෙයි. හිතේ වැඞීම කොතෙක් දුරට සාර්ථක වී ඇත්දැයි සිතා ගන්නටයි.

මේ ටිකම භාවනා කරන තවත් කෙනෙක් ලෝකයේ ඉන්නවා. ඔහු නම් බෞද්ධයෙක් නොවෙයි. එහෙත් භාවනාව බොහොම තදින් කා වැදී බැලූ බැල්මටනම් ප‍්‍රතිඵලත් එලිපිටම දිස්වෙනවා. ඒ තමයි ගමේ චන්ඩියා. ඔහුගේ භාවනාව මෙසේය.

ඕනෑම චන්ඩියෙක් ඉන්නව නම් වරෙව්. උපන්නොත් මැරෙනවා. මම බය නෑ මැරෙන්න. ජීවත්වෙන්න ආපු එකෙක් ලෝකෙ නෑ. මම දැන් මැරෙන්න පුළුවන්. මම මැරෙන්න භය නෑ

මෙහෙමත් කියනවා. මරන්න ආවත් දුවන්නෙ නෑ. මේ සමහරෙක්, කෙනෙකුට බැන වදින ආකාරයයි. එතකොට කෙනෙක් සැඩ ගතියෙන් මරණානුස්සතිය වඩල තියෙනවා. කෙනෙක් මුදු මොලොක් බවින් වඩල තියෙනවා. ලෝකයා වඩන මරණානුස්සතිය මෙහෙම වුනත්, ආර්යන්ගේ මරණානුස්සතිය නම් මීට හාත්පසින්ම වෙනස්.

එය අනුන් මිය ගිය නිසා තමන්ද මිය ගියාට ප‍්‍රශ්ණයක් නෑ ලෙස සහනය සොයන භාවනාවක් නම් නොවෙයි. තමා කරා එන මරණය සිහි කර ඊට පෙර අප‍්‍රමාදව නිවන් අවබෝධකර ගැනීමට පිළිවෙත් පුරන්න නොපසුබටව උත්සාහ කරන්නේ නම් ඒ තමයි ආර්ය වූ මරණානුස්සතිය. මේ කියන මරණානුස්සතිය බුද්ධ ශාසනයෙන් පිට ලබන්න බෑ.

අං:නි:5, 302 පිටුව, පඨම මරණ සති සූත‍්‍රය. දිනක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතා, මහණෙනි මෙහි මරණ සතිය වඩන භික්‍ෂූන් ඇත්දැයි විමසුවා.

මෙහිදී එක්තරා භික්‍ෂුවක්, ස්වාමීනි, මම මරණ සතිය වඩමියි පිළිතුරු දුන්නා. මහණ, කෙසේ නම් ඔබ මරණ සතිය වඩත්දැයි බුදු පියාණන් ඇසූ විට, මම එක ? දවාලක් ජීවත් වන්නෙමි නම් යෙහෙක, භාග්‍යවතුන් වහන්සේගේ සාසනය මෙනෙහි කරන්නේ නම් මා විසින් එ්කාන්තයෙන්ම ආත්ම හිත වූ (නිවන පිණිස) මහණ කිස (මහණ කටයුතු) කරන ලද්දෙම් වෙමියි, මෙසේ මරණ සතිය වඩමියි පිළිතුරු දුන්නා.

තවත් භික්‍ෂූන් වහන්සේ නමක් ද තමනුත් මරණ සතිය වඩන බව කියා, බුදු පියාණන් වහන්සේ ඒ කෙසේදැයි ඇසූ විට, ස්වාමීනි, මම එක දහවලක් ජීවත් වන්නෙමි නම් යෙහෙක, ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේගේ සාසනය මහණ කිස බොහෝ කොට කරන ලදිමියි සිතමින් මෙසේ මරණ සතිය වඩමියි ප‍්‍රකාශ කළා.

තවත් භික්‍ෂූන් වහන්සේ නමක්, ස්වාමීනි, මමත් මරණ සතිය වඩමි. එක් අඩ දහවලක් ජීවත් වන්නේ නම් යෙහෙක, භාග්‍යවතුන් වහන්සේගේ සාසනය මහණ කිස කළෙමියි සතුටුව මරණ සතිය වඩමියි ප‍්‍රකාශ කළා.

තවත් භික්‍ෂු- වක් එක බත් පතක් වළඳන තරම් කාලයක් නිමිති කර ඉහත කී විදිහටම ප‍්‍රකාශ කළා.

තව භික්‍ෂුවක් එක බත් පිඬක් අනා ගිලින තරම් වේලාවක් ද, තවත් භික්‍ෂුවක් හුස්මක් ගෙන පහත හෙලන තරම් වෙලාවක් ද ජීවත් වුවත් යෙහෙකැයි කියා ඒමොහොතද භාග්‍ය- වතුන් වහන්සේගේ සසුන කරමියි, මහණ දම් පූර්ණ කරමියි මෙසේ මරණ සතිය වඩන බව ප‍්‍රකාශ කළා.

ඒ සියල්ල මරණ සතිය බවට අනුමත කළ බුදුරජාණන් වහන්සේ මේ අය අතරින් යටත් පිරිසෙයින් බත් පිඬක් ගිලින තරම් වේලාවක්වත් ජීවිතය විශ්වාස නැතැයි මෙනෙහි කර ප‍්‍රතිපත්ති පූර්ණයට වෙර වඩන භික්ෂුවත්, හුස්මක් උඩට ගෙන පහතට හෙලන තරම් වේලාවක්වත් ජීවිතය විශ්වාස නැතැයි සිහි කර අප‍්‍රමාදව පිළිවෙත් පුරණ භික්‍ෂුවත් යන දෙදෙනා අප‍්‍රමාද විහාරීව යහපත් සේ මරණ සතිය වඩත් යැයි දේශනා කළා.

මේ අනුව අනුන්ගේ මරණ හා සංසන්දනය  කරමින්,  තමාත් ඒකාන්තයෙන්ම මැරෙන බව සිහි කරමින් සිටියාට එය මරණ සතිය නොවන බවත්, තමාගේ මරණය කොයි මොහොතේ එයිද කියා කිව නොහැකි බව සිතමින්, ප‍්‍රතිපත්ති පූර්ණයට උත්සාහ කරන උතුමන්ම නියම මරණ සතිය වඩන අය බවත් සිහි කළ යුතුයි. එයම නියම මරණ සතියයි කියා නුවණින් තේරුම්ගෙන ප‍්‍රතිපත්ති පුරා නිවන් දැකීමට උත්සාහ කළ යුතුයි. හේතු වාසනා ඇති යමෙක් මෙසේ බුද්ධානුස්සති, මෙත්- තානුස්සති,  අසුභා- නුස්සති,  මරණා- නුස්සති යන මාර්ග ආරක්ෂක සේනා හතර තේරුම් ගෙන මග වඩන්නේ නම් උතුම් නිවන් ඵලය මේ භවයේදීම ලැබීමට හේතු ලබනවා. මේ චතුර් ආරක්ෂාව පෙරටුකොටගෙන මාර සේනාව සමග යුද්ධ වැදුනු රජෙකුට හෙවත් බෞද්ධයෙකුට සිව්රඟ සෙනගක්  මෙන් ජයග‍්‍රහණය  ලබා දෙනවා. මෙසේ නිරවුල්ව වටහාගෙන මග වඩා උතුම් නිවන් සාක්ෂාත් කර ගනිත්වා.

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණු දහම් කරුණු ඇසුරින් සකස් කළේ :

නීතිඥ චන්දන සිරිවර්ධන

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *