රන්වන් ආලෝක ධාරාවකින් මගේ ශරීරය නැහැවී ගියා

මම පුංචි කාලේ ඉඳලාම මේ ධර්මයට ලැදි වෙලා ධර්මය විමර්ශනය කරන කෙනෙක්. ඉතාම කුඩා කාලේ පටන්මයි මට මේ වුවමනාව ඇති වුණේ. ඒක මොකක්ද කියන්න දන්නේ නෑ. සමහරවිට සසරේ හේතුවක් වෙන්න ඇති. මොකද ඒතරම් කුඩා කාලයේදී දරුවන්ගේ හිතට එන අදහස් ඔය වගේ දේවල් නෙමෙයිනේ. සෙල්ලමටනේ හිත යන්නේ. ඒත් මට වුවමනාව තිබුණේ බුදුන් දේශණා කළ ධර්මය මොනවගේ එකක් ද කියලා සොයා බලන්නට අවශ්‍යයි කියන දේයි.
ඒ හින්දා මම ඔය වෙනත් අය වගේ නවකතා කෙටිකතා කියවන්නට යොමු වුණේ නැහැ. බණ පොත් ම තමයි කියවන්නට යොමු වුණේ. උදේ ඉඳං රෑ වෙනකල් මම කළේ මගේ පාසල් වැඩත් අතපහු කරගෙන ධර්මය ගැන කියවාපු එකයි. ඒක මට විශාල ආස්වාදයක් සැනසිල්ලක් වුණා.
ඔහොම පටන් ගත්තු ගමන ක‍්‍රමයෙන් විකාශනය වෙලා ඉදිරියට ගියා. ඉන් පස්සෙ මට වැටහුණා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවැරදි ධර්මය සොයා ගත යුතුයි කියලා. එදා පටන්ම මගේ උත්සාහය වුණේ අන්න ඒකයි. අවසේස භෞතික විෂයන් ගැන මගේ ඒ හැටි උනන්දුවක් තිබුණෙ නෑ. මම ඔය විදිහට භාවනාවට යොමු වුණා. ඒ යොමු වෙන්නට යෙදුණු විදිහත් අපූරුයි. මම ඉස්කෝලේ පහේ පන්තියේ වගේ ඉන්න කාලේ මට ඉහළ පන්තියක උගෙන ගනිමින් හිටි අපේ අයියා කෙනෙක් පොතක තිබුණු කවි පදයක් කියනවා ඇහුණා. ඒ තමයි,

“පිනකින් උතුම් පින නම් භාවනාම ය.”

ඔන්න මට හිතුණා එහෙනං මේ භාවනාව ගැන හොයන්නට අවශ්‍යයි කියලා. එතන හිටන් මම ඒ ගැන උනන්දු වුණා. අනාපානාසති භාවනාව ගැන මම අහලා තිබුණා. හුස්ම ඉහළට ගැනීම පහළ හෙළීම ඒ ගැන මම උනන්දු වුණා. මේ මම කියන්නට යන්නේ මගේ අත්දැකීමක් ගැනයි. නැතුව මම මේ අමුතු අමුතු දේවල් එහෙම කියනවා නෙමෙයි. මොකද පුද්ගලයෙකුට තමුන්ගේ අත්දැකීමක් ගැන කියන්නට ප‍්‍රශ්නයක් නැහැනේ.

අද මේ පන්සල තියන භූමියේ ම තමයි අපේ පරම්පරා මහ ගෙදර පිහිටලා තිබුණේ. ඉතිං ඒ දවස්වල මම මහ රෑට හැමෝම නිදා ගත්තට පස්සේ තමයි භාවනා කරන්නේ. මොකද මම කැමති වුණේ නෑ අනිත් කවුරුවත් මේක දැනගන්නවට.

ඉතිං මම නිදාගෙන ඉන්න ඇඳ උඩ එරමිණිය ගොතාගෙන වාඩි වෙලා භාවනා කරන්න පටන් ගත්තා. නමුත් මුල් දවස්වල ඒ තරම් අමුත්තක් නො තිබුණාට, දවස් කීපයක් ගත වෙන කොට මට පැහැදිලි වෙනසක් දැනුණා. හැබැයි මම ඒ වෙනකොටත් භාවනාව කියන්නේ මොකක්ද කියලාවත් කාගෙන්වත් අහලා හෝ දැනගෙන තිබුණෙ නෑ. ඒත් මට එක දවසක් අමුත්තක් දැනෙන්නට පටන් ගත්තා. ඒක විශාල ශාන්තියක්. ආලෝකවත් වායු ධාරාවක් ඇතුල්වන පිටවන විදිහට දැනුණා. මගේ මුළු ශරීරයම සැහැල්ලූ වෙලා දැනුණා.

ඒක මට හිතාගන්නටත් බැරි පුදුම ශාන්තියක්. ඒ මානසිකත්වය හරිම ශාන්තයි. ශරීරය සැහැල්ලූයි. හරියට සඳ එළිය වගේ සැහැල්ලූයි. මෙන්න මේ විදිහට මම ඉතාම නිදහස් මානසිකත්වයකට ආවා.

මගේ මුහුණත මට ම තේරෙන්නේ හඳ එළිය පායලා ඒ මැද පිපුණ මලක් වගේ. මුළු ශරීරයම හොඳටම සැහැල්ලූ වෙලා. අර මගේ මුහුණේ තිබුණු හඳ එළිය වගේ ආලෝකය මගේ මුළු ශරීරය පුරාම ගමන් කරන්න පටන් ගත්තා. එතකොට අමුතු හැඟීමක් ආවා. ඒ හැඟීම එනකොට මුළු ශරීරයම රන්වන් පාට ආලෝකයකින් නැහැවිලා ගියා. මට දැන් මගේ භෞතික ශරීරය ගැන කිසිම දැනීමක් නෑ. මේ හැමදේම මම අත්වින්දේ එකම භාවනා ඉරියව්වක විවිධ අවස්ථාවලයි. ඒ හැම අවස්ථාවන් හිදීම මම ඒ තත්වයෙන් පුදුම සැනසීමක් අත්වින්දා.

මම එන්න එන්න මේ තත්වය හොඳින්ම අත්විඳින්න පටන් ගත්තා. මුළු ශරීරයම එළි කඳක් බවට පත් වුණා. මම ඒ වෙලාවේ වාඩිවෙලා හිටපු තැන ගැන හෝ මගේ ශරීරය ගැන දැන් මට අදහසක් නෑ. පෙනෙන්නේ අනන්ත ආකාශයක් විතරයි. ඒ ආකාශය මැද මේ එළි කඳ තියෙනවා. හරිම නිශ්චලයි. හරිම ශාන්තයි. නිවීහැනහිල්ලේ හිතන්නට පුළුවන්. ඒත් අර කළින් තිබුණ භෞතික ශරීරය ගැන ඒ විදිහේ හැඟීමක් ඇත්තේ නෑ. මේ ගැන විපරම් කරන්න වටපිට බලන්න අවශ්‍යතාවයක් නෑ. උඩ බලනවා, පහත බලනවා, දකුණ බලනවා, වම බලනවා කියලා දෙයක් නෑ. මේ සියලූ පැති එකවර පෙනෙනවා. අන්න ඒකයි විශේෂත්වය. උඩ යට වට හැම තැනම සියල්ල එකට එකවර පෙනෙනවා. මේක ඒ මනස පත්වුණු තත්වයේ සොබාවය. මේක මගේ අත්දැකීම. මගේ අත්දැකීමයි, මම කියන්නේ. මම මේ දේවල් කියන්නේ කිසිම විශේෂත්වයක් ආරෝපණය කර ගන්නට නෙමෙයි. මම අත්විඳි දේ මම ඔබට කියනවා. එපමණයි.
දැන් මම හිතනවා මේ මොකක්ද ? මේකද සත්‍යය ? මේක හැඟීමක්ද ? මේක මොන වගේ තත්වයක් ද ? ප‍්‍රශ්නාර්ථයක් දැන් තියෙනවා. ඒ මොහොතේම ප‍්‍රශ්නයට පිළිතුරක් වැටහුණා එනම් ප‍්‍රභාෂ්වරත්වයේ ආලෝකය කියලා. මොකක්ද මේ ප‍්‍රභාෂ්වරත්වයේ ආලෝකය කියන්නේ? මේකද සත්‍යය? මේකද ඇත්ත? ඔන්න ඔය ප‍්‍රශ්නය තමයි මට ඉතුරු වුණේ.

හැබැයි මට වැටහුණා මේ සත්‍යය නොවෙයි කියලා. මේක මේ අනන්ත ආකාශයක තිබුණු ශක්ති විශේෂයක් එකට ඇදිලා ගුලි වෙලා නිර්මාණය වුණු අවස්ථාවක් තමයි අර මම අත්වින්දේ. මේක හේතුවක ඵලයක්. උත්සාහ කිරීම්, වීර්ය කිරීම් නිසා ගොඩනැගුණු ඵලයක් තමයි මේ.

ඇත්ත වශයෙන්ම මට මේ දේවල් ගැන කලින් කවුරුවත්ම කියා දීල තිබුණේ නෑ. ඒ නිසා ඒ ඒ අවස්ථාවලදී මම ඒ මොන විදිහේ තත්ත්වයක් ද කියලා දැනගෙන හිටියේ නෑ. ඒත් පහුකාලයේ දී පොත්පත් කියවලා තමයි ඒ දේවල් මොන මොනව ද කියලා නාමිකව දැනගත්තේ.

මේ දුටු ප‍්‍රභාෂ්වරත්වයේ ආලෝකය උත්සාහයෙන් වීර්යෙන් ගොඩනැගුනු හේතු ඵලයක් බවත්, උඩ යට වට අප‍්‍රමාණ නිදහසක් සේ වැටහෙන ආකාශය බොහෝ නිදහස් සුවයක් බවත් වැටහී ගියා. සුඑ මොහොතකින් ප‍්‍රභාෂ්වර ආලෝක පුංජය (ප‍්‍රමාණය අඩි 6 ක් පමණ උස සාමාන්‍ය මිනිසෙකුගේ මහත තරම් ඇති ටියුබ් ලයිට් වර්ණයෙන් යුතු එළි කඳකි.) අතුරුදන් වී “මම” යන හැඟීමට අනන්ත ආකාශයක් වුණා . දැන් උඩ යට වට කියා මිම්මක් හෝ කෙළවරක් නොපෙනෙන ඉතා නිදහස් ස්වභාවයක මානසික පිහිටීමක් අති නිශ්චලව දැනෙන්නට වුණා.
නැවතත් මේ කෙබන්දක් ද? මේකද ඇත්ත? කියා සංඥාවක් පහල වුණා. ඒ සමගම පිළිතුරු ලෙස මේ සත්‍යය නොවෙයි, හේතුවක ඵලයක් කියා වැටහුණා. මානසික අනන්ත දැනීමක්, මීදුමක් වැනි අනන්ත ආකාශයක් බදාගෙන සිටින ආකාරයක් වැටහුණා. ඒ ආකාශය අතහැර නිදහස් විය හැකි බවක් ද වැටහුණා. ඒ සමගම ආකාශයෙන් නිදහස් වී මීදුම් වළාවක් වැනි වූ ආකාශය නොදැනී යමින් ඉතා ශාන්ත වර්ණයක්, කිව නොහැකි පැහැපත් අනන්ත දැනීමක් පෙර තිබූ ආකාශ ස්වභාවය ඇති අනන්තයේම පිහිටා, අති නිශ්චලව ඇති බව වැටහුණා. එය ආකාශයට වඩා ඉතාම ශාන්තයි.

නැවතත් මේකද ඇත්ත? මේකද සත්‍යය? කියා අදහසක් ආවා. ඒ සමගම මේ දැනීම, උත්සාහයේ වීර්යයේ ප‍්‍රතිඵලයක් ලෙස ගොඩනැගෙන හේතු ඵලයක් බව වැටහුණා. මේ උත්සාහය වීර්ය අතහැර නිදහස් වීම කෙතෙක් ශාන්ත ද ප‍්‍රනීත ද කියා වැටහුණා. ඒ සමගම උත්සාහය, විර්ය අතහැරී මහා නිදහසක සුවය දැනෙමින් මුං ඇටයක් පමණ දැනීම් බිඳක් බවට පත්වුණා. දැන් ලෝකයක් කියා මානසික ගෝචර කිසිවක් නැති දැනීම් බිඳකින් පිටස්තර කිසිවක් නොදැනෙන තත්ත්වයකට පත්වුණා.

නමුත් මෙතනත් හිතන්න පුලූවන් තැනක්. මේ කෙබඳු තත්ත්වයක් ද? මේ කුමක්ද? යන අදහසක් මතුවුණා. ඒ සමගම මේ හේතුඵලයක්, මානසික ප‍්‍රසාරණ මිම්මක් ලෙස වැටහුණා. මෙහිද නිරන්තරයෙන් කෙරෙන උත්සාහයක්, වීර්යක් ඇති බව වැටහුණා. ඉන් නිදහස් විය හැකි බවත්, එය විශාල සහනයක් බවත් වැටහුණා.

ඒ සමගම දැනීම් බිඳ කුඩා වෙන්න පටන් ගත්තා. අබ ඇටයක් තරම් වුණා. ඉඳි කටු තුඩක් තරම් වුණා. තවත් සුක්ෂම වී දැනීම කෙළවර වෙන්න ආවා. එවිට ජීවිතය ඉවරයි, යන හැඟීමත්, මිය යයි කියන අදහසත් නැගී, නැවත දැනීම ප‍්‍රසාරණය කරන්න උත්සාහ මාත‍්‍රයක්, විර්ය මාත‍්‍රයක් ගොඩනැගුවා. නමුත් දැනීම් තලයක (මුං ඇටයක් තරම්) නැවැත්තුවේ නෑ. යළි පෙර සේ ම ගෙවී ගියා. නැවත ජීවිතාශාවට ගොඩනැගුවා. මේ ක‍්‍රියාවලිය මෙසේ සිදුවන විට හිත යනු, උත්සාහයේ විර්යයේ ක‍්‍රියා ඵලයක් බවත්, දැනීම් මාත‍්‍රය ගෙවෙන්නේ කිසිම හරයක් ඉතුරු නොකර බවත්, ජීවත් වීම යනු හරයක් නැති වෙහෙසක් බවත් අවබෝධ වුණා. ඒ සමගම වෙන දෙයක් වුණා වේ කියා උත්සාහය විර්ය අතහැර නිහඬ වුණා. දැනීම් බිඳ නිවී ගියා.

කොතෙක් වේලා එසේ තිබුණා ද කියා නොදැනී යළි ඉතා අංශූ මාත‍්‍ර වු දැනීම් මාත‍්‍රයක් ඇති බව වැටහුණා. සියළු උත්සාහ වීර්ය අතහැර, ලෝකයෙන් මිදීම සියළු දුකේ කෙළවර බවට අත්දැකීමක් ලැබුණා. සමාධියෙන් සත්‍යය සොයා ගොස් ලැබූ සත්‍ය නිදහස ලෝකයෙන් එතෙර බව වැටහුණා. සෙවූ දෙය හම්බ වුණා. දැන් කළ යුතු දෙයක්, ඉන් එහාට යා යුතු නිවන් සුවයක් තවත් නැති බව සියුම්ව වැටහුණා. ගිය ලෙස ම ආපසු එන්න පටන් ගත්තා.

ගොඩනගන, ගෙවී යන ලෙස පෙර අත්දැකපු අවස්ථාව ආවර්ජනය කළා, එතනට පැමිණියා. මුං ඇටයක් පමණ දැනීම් බිඳ ඊළඟට ආවර්ජනය කළා, එතනට පැමිණියා. අනන්ත ආකාශය ආවර්ජනය කළා. මනස අනන්තයට ප‍්‍රසාරණය වුණා. මීදුමක් වැනි ආකාශය ආවර්ජනය කළා. මහා රළුවක් මනසින් බදනවා සේ ආකාශයට බැඳුණා. එළි කඳ ආවර්ජනය කළා. පෙර සේ එළි කඳ බවට පත්වුණා. අඟපසඟ සහිත ආලෝක සිරුර ආවර්ජනය කළා, ඒ තත්වයට පත්වුණා. වායුමය කයක්, හඳ එළිය වැටී පිපුණ මලක් වැනි මුහුණ ආවර්ජනය කළා. ඒ තත්ත්වයට පත්වුණා. සැහැල්ලූ වායුමය කය ආලෝක මිශ‍්‍ර ආශ්වාස ප‍්‍රශ්වාස වූ අයුරු සිහි කළා. ඒ ස්වභාවය වැටහුණා. භාවනා ඉරියව්ව වැටහුණා. සිටින තැන ස්පර්ශය සිහිකළා. උඩ සිට බිමට පහත් වී යමක පිහිටි ලෙස වැටහුණා. එහෙත් කාමරයේ සිටින බව වැටහෙන්නේ නැති නිසා බිත්ති ඔරලෝසුවේ ටක් ටක් යන හඬ නාද වූ අයුරු සිහි කළා. කාමරයේ සිටින බව වැටහෙමින් ඔරලෝසුවේ ටක් ටක් යන හඬ ඇසෙන්නට වුණා.

උකුළේ ඇති අත යළි සිහිකරන විට අත හිමින් උඩට ඉස්සුනා. එවිට ම බර ශරීරය සහිත කායික දැක්ම ඇති වුණා. දැහැනින් ඉවත්ව ඇති බව වැටහුණා. වේලාව බලන විට අලූයම 3.30 වී තිබුණා. රෑ දහයේ පටන් පාන්දර 3 පසු වී විනාඩි 30 යි. පැය පහ හමාරක් වෙලාව ගියත්, මට දැනුණේ පැය කාලක් පමණ භාවනාවේ අත්දැකීම් ලබමින් සිටි ලෙසයි. මේ ගැන පවසන්නේ උත්තරී මනුස්ස ධර්ම හඟවා කිසි ලාභයක් ලැබීමකට නොව තවත් කෙනෙකුට විවිධ අදහස් දී මුලාවට පත් කරන්නට යත්න දැරූ පිරිසකගෙන් සිදුවීමට ගිය විනාශය මඟහැරවා දීමටයි.

මීළඟ කොටස ලබන කලාපයේ

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.