මෙත්තානුස්සතිය අද අර්ථ විපරීතයට ලක්වී ඇති හැටි

මාර විපත්වලින් මිදී ලෝකෝත්තර මඟ වැඞීමට උපකාරී වන ආරක්‍ෂා හතරෙන් එකක් වූ මෙත්තානුස්සතිය ගැනයි මේ විග‍්‍රහ කරන්නේ. විශේෂයෙන් මෙකල දැනගත යුතු, එහෙත් අර්ථ විපරීතව වැසීගිය භාවනාවක් තමයි මෙත්තානුස්සතිය කියන්නේ. මෙත්තාව කියන්නේ මිත‍්‍රත්‍වයයි. නමුත් මිත‍්‍රත්‍වය කියන විට නොයෙක් ආකාරයේ මිත‍්‍රත්‍ව තියෙනවා. සතුරා සමග සතුරු වුවෙක් දුටු විට ඔහු සමග එක් අයෙක් කෙරෙහි සතුරුකම් ඇති අනෙක් දෙදෙනා අතරත් මිත‍්‍රකමක් හටගන්නවා. එහෙම වන්නේ තම සතුරාට අනෙකාත් සතුරුකම් කරන නිසයි. එසේම හොරෙක් තවත් හොරෙක් සමග මිත‍්‍ර වෙනවා. ඒ, එකතු වී හොරකම් කරන්නයි. ඒ වගේම සල්ලාලයා, සල්ලාලයෙක් සමග මිත‍්‍ර වෙනවා. ඒ, එකතු වී සල්ලාලකම් කිරීමටයි. එසේම ගුණවතා, ගුණවතා සමග මිත‍්‍රයි. ඒ, ගුණයට දෙදෙනාම කැමති නිසයි. මේ විදියට ලෝකයේ මිතුරු දහම විවිධාකාරයෙන් පවතිනවා. මෙහිදී එක් දෙයක් සිද්ධ වෙනවා. එනම් තම මිතුරාට අවැඩක්, අසාධාරණයක්, වැනසීමක් වෙයි ද යන බිය සැකය මිත‍්‍ර ධර්මයේ ප‍්‍රබලත්‍වයේ තරමට සිද්ධවීමයි. තමාගේ මිතුරාට දුකක් එන විට තමාට ද දුක ඇතිවෙනවා. මහත් වූ මිතුරන් දෙදෙනකුගෙන් එකෙක් ලෙඩ වුණොත් අනෙකාට ඒක කනස්සල්ලක් ගෙන දෙනවා.

මව තමාගේ එකම පුතා පණමෙන් රැකගන්නා ලෙසින් සියලූ සත්‍වයන් කෙරෙහි මෙත් වඩන ලෙස බුදුන් වහන්සේ දේශණා කර තියෙනවා. එසේම ඒ මෙත් සිත අප‍්‍රමාණ ලෙස ද පැතිර විය යුතුයි. ඉඳින, සිටින, නිදන, ගමන් කරන යන මේ සතර ඉරියව්වලදීමත් නිදාගෙන මිද්ධයෙන් තොරවත් මෙත් සිත පතුරවමින් කටයුතු කරන ලෙස බුදුන් වහන්සේ කරණීය මත්ථ සූත‍්‍රයේ දේශණා කර තිබෙනවා. එය මෙත්තා සහගත චේතනාවෙන් ලබන විමුක්තියට හේතුවන බවත්, බුද්ධ දේශණාවක්. මවකට දරුවෙකු ලැබුණා යැයි සිතමු. එතැන් පටන් මවට දරුවා කෙරෙහි දැඩි ඇල්මක් ඇතිවෙනවා. දරුවා වේගයෙන් ඇඬුවොත්, බය වුණොත්, දරුවාට රෝගයක්, හුස්ම හිරවන බවක්, අනාගත විනාශයකට හේතුවක් සිදුවන බවක් මවට වැටහුණොත් ලැබෙන විමුක්තිය මොකක්ද? කැඩෙන, බිඳෙන, වැනසෙන, රෝග සෑදෙන නොයෙක් ආපදාවන් වීමට ඉඩ ඇති බව දකින මවට එබඳු දෙයක් වෙයි ද කියා සිතක් ඇති වුණා නම්, කොච්චර නම් වික්ෂිප්ත වේවි ද? උපාදානව උරුම නිසාම මවට නිතර බිය කම්පනය පවතිනවා. තමා මිය යන මොහොතක් එන බව වැටහුණා නම්

අනේ මගේ දරුවාට මම නැතිවුණොත් කවුද

කියා මහා කම්පාවක් ඇතිවෙනවා. මේ එක දරුවෙක් ගැනයි. දරුවො ගොඩක් ඉන්නවනම් මේ කම්පනය කොහොමට ඇත්ද? මේ තමයි මවක් දරුවා කෙරෙහි දක්වන මිත‍්‍ර බව. මේ මිත‍්‍ර බව නිසා සිදුවී ඇත්තේ විමුක්තියක් නොව මහා ගින්නක් බව දැන් වැටහෙනවා.

ලෝක සත්වයෝ අනන්තයි. ඒ අනන්ත ලෝක සත්වයන් අතර ඇසිපිය ගහන මොහොතක කී දෙනෙක් නම් සතුරු සතුන්ගේ දත් පහරින්, නිය පහරින් අමු අමුවේ මැරුම් කනවද? කී දෙනෙක් නම් මර බියෙන් ලතෝනි නගනවද? මිනිස්සු කී දෙනෙක් නම් ගහමරාගන්නව ද? මවකට දරුවන් දහදෙනෙක් ඉන්නවා නම්, ඒ සියල්ලටම මව එකසේ ආදරය කරයි නම්, එක් දරුවෙකුගේ ජයග‍්‍රහනයක් වෙනුවෙන් ප‍්‍රිය සාදයක සතුට භුක්ති විඳින මවට තව දරුවෙකුට කවුරුන් විසින් හෝ ගහන මරු පහරකින් ලතෝනි දෙන හඬ ඇසුණේ නම් ඒ මවට සතුටක්, සැනසුමක් ලැබේ ද? නැතිනම් මහත් වූ හද කම්පාවක් වේවි ද? හෘද සාක්ෂියට අනුව දිය හැකි පිළිතුර නම්, මවට මහා හද කකියවන කම්පාවක් ඇතිවීම මෙන්ම මව ද ලතෝනි දෙමින් අඬා කෑගසන බවයි. ඉතින් ලෝක සත්වයන්ට මේ විදියට මවක් ලෙස කටයුතු කළා නම් සමවතක්, විමුක්තියක් වේ ද කියා කල්පනා කරල බලන්න. බුදුන් වහන්සේ ධර්ම දේශනා කළේ, දේශනා කළ නිසාවත්, පරපුරෙන් ගෙනා නිසාවත්, පොතේ තිබුණ පළියටවත් පිළිගන්න කියා නොවෙයි. තමන් හොඳට හිතා බලා හදවතට එකඟව වැටහේ නම් පිළිගන්න කියලයි. මේ ගැන කීදෙනෙක් විමසා බලා ඇත්දැයි කල්පනා කරල බලන්න.

එක් අවස්ථාවක විශාඛා උපාසිකාවගේ මිනිබිරියක් කුඩා කලදීම මිය ගියා. ඇයට මහත් ආදරයකින් සිටි විශාඛාවන්ට එය දරාගත නොහැකි තරම් වුණා. එකල තිබූ කුල සිරිතක් අනුව මිනිය ගෙන ගොස් සොහොනකට දමා එම වස්ත‍්‍ර පිටින්ම නාගෙන, එම තෙත වස්ත‍්‍රම ඇඳගෙන සිය නිවෙස්වලට යන සිරිතක් ද තිබුණා. විශාඛාවත් මේ විදියට තෙතබරිත වූ වස්ත‍්‍ර පිටින් යන අතරමගදී දෙව්රම් වෙහෙරේ වැඩ සිටි බුදුන් වහන්සේ හමුවීමට ගියේ දහමක් අසා ශෝකය තුනී කරගන්නා අදහසිනුයි. උන් වහන්සේ විශාඛාවගෙන් මේ අවේලාවේ තෙත කෙස් සහ වස්ත‍්‍ර සහිතව කොහි යන ගමන් ආවේදැයි විමසුවා. මෙහෙම විමසුවේ කරුණු දැනගන්නට නුවණ නැති නිසාවත්, සාමාන්‍ය පුද්ගලයන් වගේ නිකරුණේ අහන කතාවක් ලෙසවත් නොවෙයි. එය ධර්ම දේශනාවකට සුදුසු අදහසක් මතුවෙන කාරණාවක් වූ නිසයි. එවිට ඇය තම මිනිබිරියට ඉතා ආදරයෙන් සිටි බවත්, ඇය මියගිය නිසා සොහොනෙහි දමා එන අතරතුර ශෝකය දුරු කරගැනීමට බුදුන් වහන්සේ සොයා ආ බවත් ප‍්‍රකාශ කළා. උන් වහන්සේ ඇයගෙන් මෙහෙම අහනවා.

“විශාඛාවනි, ඇය ජීවතුන් අතර සිටියා නම් ඔබේ අදහස කෙසේද?”.
“ස්වාමීනී මම ඉතා සතුටුවෙමි”

යි ඇය පිළිතුරු දුන්නා. එබඳු ආදරවන්ත මිනිබිරියන් දහයක්, සියයක් ඇත්නම් කෙසේදැයි උන්වහන්සේ නැවතත් විමසුවා. ස්වාමීනි, මම මහත් සතුටක් ලබමියි, යන්න ඇගේ පිළිතුර වුණා. එසේම මේ සැවැත්නුවර සිටින සියල්ලෝම ඔබේ මුනුබුරු මිනිබිරියන් නම්, ඔබේ අදහස කෙසේද? ස්වාමීනි, එසේනම් මගේ සතුට අසීමිතයි, යන්න ඇගේ පිළිතුර වුණා. විශාඛාවනි, මේ සැවැත්නුවර දිනකට කීදෙනෙක් පමණ මිය යයි ද? ස්වාමීනි, පස්දෙනෙක්, හතර දෙනෙක්, තුන් දෙනෙක් ආදී ලෙස සෑම දිනකම මිය යනු ඇතැයි විශාඛාවගේ පිළිතුර වුණා. එසේනම් ඔබට තෙත ඇඳුම් නොඅඳින, තෙත කෙස් නොපවතින, ශෝකය කණගාටුව නොපවතින එක දිනයක් හෝ දකින්නට හැකිවේ දැයි බුදුන් වහන්සේ විමසනවා. ආදරය, ඇලීම හේතුවෙන් ශෝකය, බිය, කණගාටුව ඇති කරන බවත්, මේ ඇලූම් වස්තු නැති තැනම ශෝකය, බිය, කණගාටුව නැති බවත් උන්වහන්සේ දේශණා කළා.

එහෙනම් ලෝකය පමණක් නොවෙයි, අනන්ත සතුන් තමන්ගේ දරුවන් ලෙස සළකා කටයුතු කළොත් මොකක් වෙයිද? ලැබෙන මෙත්තා සහගත චේතෝ විමුක්තියක් තිබේ ද? කල්පනා කරල බලන්න. මේ ලෝක සත්වයන්ට දරුවන්ට මෙන් සළකා දාහයක්, බියක්, ශෝකයක් නැතිව ඉන්න ලැබේවායි මෙත් වැඞීම කරන විට ඒ හිත කුමන වර්ගයට අයත් වේදැයි චිත්තානුපස්සනාව වැටහේ නම් හිතාගන්න පුළුවන්. මේ කියන මෛත‍්‍රිය වඩන විට සතෙක් බඩගින්නෙන් පීඩිතව කෙඳිරිගානවා ඇසුණොත් තමන් ද බඩගින්නෙන් සිටින සේ දාහයක් දැනෙනවා. අසල්වැසි ගෙදරක බල්ලෙක් බැඳ තබා ගෙදර උදවිය දිනක් දෙකක් ගෙදර නො ආවේ නම් එබඳු දෙයක් දැක “අර පව්කාර කාලකණ්නි මිනිස්සු බල්ලට කරන අපරාදෙක හැටි! හිතක් පපුවක් නැති එවුන්ගෙ හැටි! බල්ල ඊයේ ඉඳන් බඩගින්නෙ!” මෙහෙම කියනවා. බැරිවෙලාවත් මහා අපාගත සත්වයෙකු පිපාසිත බව කියා කෑගසන විට කර්ම ශක්තියෙන්ම සැකසුණු ලෝදිය කටට වත්කරන හැටි, මහත් ගිනිසැරෙන් දැවී එහෙත් කර්ම ශක්තිය නිසාම නොමැරී නැවත එහිම පහළවන හැටි පෙනුණා නම් කුමකින් කුමක් වෙයිද? මොනවා කියයි ද? කපුටෙක් හෝ ගැරඬියෙක් සතෙක් අල්ලාගෙන ඒ සතා හඬද්දී මරා අමු අමුවේ කනවා දැක්කොත් නිහඬව ඉන්නවා ද? මෙත් වඩන සමහර අය සතාට වඩා කෑගහනවා. හිතට මොකක්ද වෙන්නෙ? හිතා ඉන්නෙ මෛති‍්‍රය නිසා කම්පාව, දුක දැනෙනව කියලයි. ඒ වුණාට තමන් නොදැනුවත්වම හිතට සිදුවන දේ කුමක්ද කියා කල්පනා කරල බලන්න.

එසේම දේශකයාණන් වහන්සේ නමක් ධර්ම දේශණා කරනවා. මෙත් වඩන පින්වතුන් ධර්ම ශ‍්‍රවණය කරනවා. මෙහෙම වෙලාවක ළඟපාතක ගැරඬියෙක්, ගෙම්බෙකු ගිලින විට ගෙම්බා කෑගසන හඬ ඇහෙනවා. දැන් මෙත් සිත බලවත් නිසා බණ කීමත් නවතිනවා. බණ ඇසීමත් නවතිනවා. දැන් දුවනවා ගැරඬියාගෙන් ගෙම්බව බේර ගන්න. ඉතින් මොකද වෙන්නේ? අහපු බණ ටිකත් මතක නෑ. නවතපු තැනත් මතක නෑ. මේ තමයි එක් ආකාරයක මෛත‍්‍රිය ක‍්‍රියාත්මක වන හැටි. මෙහෙම මෙත් වඩන කොට හිත කොහාටද දුවන්නේ? යනකොට ගැරඬියා ගෙම්බව ගිලල නම්, දැන් මොකද කරන්නේ? පොල්ලක් අරගෙන ගහනව ගැරඬියාට. මොකක්ද සිදුවුණේ කියලා හිතල බලන්න.

ගෙයි වහලය අස්සේ ලේන කූඩුවක් තියෙනවා කියා හිතන්න. ගැරඬියෙක් ලේන පැටව් ගිලින්න කූඩුව ළඟ මාන බලනවා. “අනේ අහිංසක ලේන පැටව්! උන් නිදුක් වේවා!” ගැරඬියාට කෝටු පාරක් ගහලා පන්නා දානවා. නැත්නම් භූමිතෙල් ටිකක් ඉහිනවා. “ඒකට වඩා ලොකු අපරාදයක්නෙ ලේන පැටව් ටික ගිල්ල නම්! බෝසතාණන් වහන්සේත් ලේන අත්බැවක ඉපදිලා ලේන් පැටිය මුහුදට වැටුණු වෙලාවේ මුහුද ඉහින්න වලිගය තෙම තෙමා ගොඩට ගැසුවා කියල කියනවනේ. කොහොම හරි ලේන පැටව් ටික රකින්න  ඕනේ. බෝසතාණන් වහන්සේ ගැරඬි අත්බැවක ඉපදුනු බවක්වත් අහල නෑ” දැන් මෙහෙමත් හිතනවා.

“ළමයිනේ මම ටිකක් භාවනා කරනකල් ගැරඬියා ආයෙත් එයි ද කියල බලන්න”. ළමයින්ට මෙහෙම කියලා තමන් දැන් මෛතී‍්‍ර භාවනාව කරනවා. සියලූ සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගි වෙත්වා! සුවපත් වෙත්වා! දැන් ළමයි ඒ ගැන බලන්නේ නැතිව ගිහින් සෙල්ලම් කරනවා. ලේන් පැටව් කෑගහනව ඇහෙනවා. භාවනාව නවතලා පින්වතා ඉක්මනට එතනට යනකොට ගැරඬියා ලේන පැටව් ගිලිනවා. දැන් ළමයින්ටත් බැන බැන ඉක්මනින් භූමිතෙල් ටිකක් ගැරඬියාගේ ඇඟට හලනවා. සතුන්ට සිදුවෙන මරණ බය දැකලා මර හඬ දෙද්දී ගිල දමන හැටි දැකලා පපුව හෝස් ගාලා දාහයට පත්වෙලා. “හරි වැඬේ! මේව මාරයාගෙ වැඩ! භාවනා කරන්න දෙන්නෙ නෑ!” මෙහෙමත් හිතනවා. කමක් නෑ, හොඳට ? වුණහම භාවනා කරනවා. එතකොට කරදරයක් නෑනේ. මෙහෙම හිතලා ? වෙලා භාවනාව පටන් ගන්නවා. නමුත් පැය කාලයි භාවනා කරන්න ලැබුණේ. ගෙදර බළලා මහ මීයෙක් අල්ලගෙන කාමරේ ඇඳ යට උඩවිසිකර කර සෙල්ලම් කරනවා. මීයා මැරිල නෑ. පණ තියෙනවා. එහෙ මෙහෙ දුවන්න හදනවා. දැන් ඉතින් ? භාවනා කරලත් ඉවරයි. ඉක්මනින් නැගිටිනවා. ළමයින්ට කෑගහනවා. “ළමයිනේ මෙන්න බළලා මීයෙක් අල්ලගෙන!” මෙහෙම කෑගහනකොට අනෙක් අයත් බයවෙලා නැගිටිනවා. බළලා මීයා අල්ලගත්ත නිසා කෑගහනවා කියල දැනගත්තම භාවනා කරපු පින්වතාට බැන වදිනවා. “රෑ දොළහයි! මේක මහ කරදරයක්! බළල්ලූ මීයො අල්ලන එක අමුතු දෙයක් ද?” මෙහෙම බනින කොට පින්වතාගෙ හිතට විශාල අමනාපයක් කලකිරීමක් දැනෙනවා. දැන් හිතින් බනිනවා. “පව්කාරයෝ! උපනුපන් ජාති ජාතිවත් මුන් ඉන්න අහලකවත් උපදින්න සිද්ධවෙන්න  එපා”. මෙහෙම කොඳුරමින් බළලට කොස්සෙන් ගහල පන්නනවා. බළල මීයත් අරගෙන ගොරවමින් දුවනවා. මීයා කටින් අල්ලනකොට චරස් ගාලා සද්දෙත් එනවා. හිත කීරි ගැහෙනවා. “හරි වැඬේ! භාවනා කරන්න තැනක් නෑ! ආශ‍්‍රය කරන්න වෙලා තියෙන්නේ පව්කාරයෝ!” මෙහෙම හිත හිතා හොඳ පන්සල්, භාවනා කරන්න හොඳ ස්ථාන හොයමින් යනවා. මේ වගේ අවස්ථා අපට කොච්චර නම් අහන්න ලැබෙනවා ද? මේ විස්තරය කිව්වේ මෙහෙම භාවනා කරල මෙත්තා සමාධිය පහළ වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්නයි.

මාථා යථානියං පුත්තං – ආයුසා ඒකපුත්ත මනුරක්ඛේ

කරණීයමත්ථ සුත‍්‍රයේ මෙහෙම කියලා තිබුණට ඒ කාලේ හිටපු එක භික්‍ෂුන් වහන්සේ නමක් ගිහි කල භාර්යාවට ළමයෙක් ලැබෙන්න සිටිය දී සසර කලකිරිලා භාර්යාව දමල ගිහින් මහණවෙලා හිටියා. දරුව වැදූ පසු මව දරුව අරගෙන උන්වහන්සේ ලඟට ගිහින් තමා සහ දරුවා අතහැර ගියාට අපහාස කරලා දරුවා උන්වහන්සේ ලඟ තියා

මට දරුවා උන්නත් එකයි, මළත් එකයි. ඔබට දාව ලැබුණු දරුවා තියා ගන්න. මම යනවා.

කියා යන්න ගියා. දරුවා මහ හඬින් හැඬුවා. පහළට බිම දිගේ පෙරළිලා ගියා. නමුත් උන්වහන්සේ ඒ දෙස ඇසවත් ඇරලා බලන්නේ නැතිව එබන්දක් නොවන්නා සේ නිහඬව වැඩසිටියා. දරුවාගේ මව අතහැර යන ලෙස පෙන්වා, දුරට ගොස් ගසක් ලඟ මුවාවෙලා සිදුවන දේ බලා හිටියා. දරුවා ළඟ තියලත් පළක් වුණේ නැති තැන බැන බැන ඇවිත් නැවතත් දරුවා රැගෙන යන්න ගියා. බුදුන් වහන්සේ මේ සිද්ධිය බුදු ඇසින් බලා සිටියා.

මාගේ පුත‍්‍රයා දරුවා නිසාවත්, බිරිය නිසාවත්, ලෝකය නිසාවත් කම්පා නොවේ

යනුවෙන් බුදුන් වහන්සේ උදාන වාක්‍යයක් දේශණා කළා. මේක පෙළ දහමේ තියෙන කතාවක්. මෙහිදී මාථා කිව්වේ අම්මාට නොවෙයි, අමා මෑණීයන් වහන්සේට හෙවත් බුදුන් වහන්සේටයි. යථානියං පුත්තං කිව්වේ යථාර්ථවත් නියම පුතා හෙවත්, රහතන් වහන්සේටයි. ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ කිව්වේ ආයුෂය ඒ සඳහා වෙන් කරලා, ඒ එකම පුතා අනුරක්ෂණය කරනවා කියන එකයි. එනම් බුදුන් වහන්සේ තම ජීවිත පැවැත්ම, මහා දයානුකම්පාවෙන් ශ‍්‍රාවකයන්ගේ සුබ සිද්ධිය උදෙසා වෙන් කළා. මේක ආදර්ශයට අරගෙන අනෙක් අයටත් මෙත් වඩන්න කියලයි මේ පෙන්වා තියෙන්නේ.

තවද වේළුවනාරාමය පිටුපස චුන්දසූකර නම් ඌරු වැද්දෙක්, ඌරන් මරමින්, මස් විකුණමින් ජීවත්වුණා. ඌරන් මරණ හඬ වේළුවනාරාමයට ඇහෙනවා. කොසොල් රජු දිනපතාම විත් බුදුන් වහන්සේගේ සැපදුක් විමසා වැඳ පුදා යනවා. භික්‍ෂුන් වහන්සේලාත් මෙත් වඩනවා. බුදුන් වහන්සේත් මහා මෙත් වඩනවා. නමුත් ඌරන්ගේ මර හඬ කිසිම ගැටලූවක් වෙලා නෑ. කොසොල් රජු, චුන්දසූකරගේ ඌරන් මැරීම ගැන නොහොබිනා බවට ඉඟියක් හෝ දැක්වූවානම් චුන්ද සූකරයාව මොහොතකින් එම ස්ථානයෙන් පිටමං කරනවා. නමුත් එවැනි ගැටලූවක් මතුවී නැති බවයි පේන්නේ. අන්තිමට චුන්දසූකර මියයන්න පණ අදිද්දී ඌරෙක් කෑහනවා වගේ හඬ නැගුවා. ඒ අවස්ථාවේ බුදුන් වහන්සේ භික්‍ෂුන් වහන්සේලාට

මහණෙනි, චුන්දසූකර පාපය මිහිරි ලෙස සිතා, විපාකය එනතුරු සතුටු වුණා. අද එම විපාකය මතුවෙලා ඌරෙක් වගේ හඬනගනවා. ඔහුට ඔසුපත් නරකය හිමි වී ඇතැයි

දේශනා කළා. මේ වගේ චුන්දසූකරගේ කටයුතු දැකලාවත් කම්පා වුණේ නෑ. භික්‍ෂුන් වහන්සේ ළඟ දරුවා දමල ගිය වෙලාවෙත් මවක් දරුවෙක් රකිනවා වගේ දිවි පරදුවට තබා සියලූ සතුන්ට යහපත කරන්න, මෛතී‍්‍රය පතුරවන්න කියලා දේශනා කළා නොවෙයි, ජාතක පියා ළඟ දමා ගිය දරුවා උන්නා ද මළා ද කියලවත් නොබැලීම ගැන බුදුන් වහන්සේ ප‍්‍රශංසා කරල තියෙන බවයි පැහැදිළි වෙන්නේ. නමුත් අද මෙත් වඩන්න යන අයට සිදුවෙන මේ වගේ ප‍්‍රශ්ණ එදා බුදුන් වහන්සේටවත්, භික්‍ෂුන් වහන්සේලාටවත් තිබිල නෑ. හැබැයි මේ කියපු කාරණා අර්ථ පටලවාගෙන වරදවා තේරුම් නොගත යුතුයි.

ඉතිරි කොටස මීළඟ කලාපයෙන්

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණු දහම් කරුණු ඇසුරින් සකස් කළේ,
නීතිඥ චන්දන සිරිවර්ධන

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *