යම් වචනයක් හේතු කොට ගෙන යමක් දෙස බැලීමේදී දුක වැටහේනම්, දුකට හේතුව වැටහේනම්, දුක නැති කිරීම වැටහේනම්, දුක නැති කිරීමට මග වැටහේනම් ඒ වචනය දැරීමට සුදුසුයි. එය නිතර මෙනෙහි කළ යුතුයි, ඊට අනුව හැසිරීම පුරුදු කළ යුතුයි. ඒ ඇයි? දුක් විඳින බව දැනගෙන මායාවෙන් මුලාවෙන් මිදී සැනසීමටයි. බුද්ධ වචනය දරන පිංවතුන් ලෝකය පරීක්ෂා කරමින් ලෝක විෂය සොයන්න යන්නේ නෑ. ඒ ඇයි? තමාද පිස්සෙකු මෙන් වී ලෝකයාටද පිස්සු ඇති කරන නිසයි. කෙනෙකු යමක් ප‍්‍රත්‍යක්‍ෂ කරන විට ලෝකයේ රහස් අනාවරණය නිවැරදිව ගෙන හැර දැක්වීමට නම් ලොව්තුරා බුදුවිය යුතුය. සැරියුත් මහරහතන් වහන්සේද සිදු කළේ මාතෘකා ලෙස හෙළි කර දුන් බුද්ධ භාසිතය විග‍්‍රහ කිරීමයි. එසේ වූයේ සත්ව ලෝකයත්, සංස්කාර ලෝකයත්, අවකාශ ලෝකයත් හරියාකාරව විග‍්‍රහ කිරීමට ලොව්තුරා බුදුවරයන් වහන්සේලා හැර අනිත් අය දක්‍ෂ නොවීම නිසයි.

ආනන්ද මා දේශනා කළ දහම් මේ අත තිබෙන කොළ මෙනි, දේශනා නොකළ දහම් මේ කැළේ තිබෙන ඉතිරි කොළ මෙනි

මේ බුදු වදන, බුදුන් වහන්සේ විසින් ආනන්ද හිමියන්ට දේශනා කර තියෙනවා. එසේම සියලූ ලෝකයන් ගැන තතු දැන වැටහී සිටි නිසාත් සත්වයෙකුට අවශ්‍ය වන්නේ කුමක් කිරීම ද යන්න බුදුන් වහන්සේ මනා සේ දන්නා නිසාත් තමා විඳින, තමා සොයන ලෝකය පිළිබඳව යම් සත්වයෙක් සොයන්නේ පර්යේෂණ මනසින් නොදත් දෙය, සැඟවුණු දෙය දැනගෙන අස්වාදයක් විඳීමට උත්සාහ කිරීමටත් බව දැන සිටි උන්වහන්සේ එය සසර පැවැත්මට හේතුවක් වන බවත් දැන එය නිෂ්ඵල බවත්, සෙවිය යුත්ත පමණක් සෙවීම ගැලවුම් මග බවත් දැන ඒ මග පමණක්  දේශනා කළා.

අතැඹුලක් සේ ලෝකය දැන සිටි මහ ඉසිවරුන් ලෙස කටයුතු කළ අයටද ඒ ලෝක තත්ත්වයන් සෙවීමෙන් හෝ දැන ගැනීමෙන් හෝ ලැබුණු සැනසීමක් නම් නෑ. වරෙක නිගමනයකට බසිනවා, උදම් අනනවා, ලෝකයම දිනුව වගෙයි සළකනවා, තව කෙනෙක්ව ප‍්‍රශ්න කරනවා, තමාත් කල්පනා කරනවා, පැටලෙනවා, හරියි කියා නිගමනය කරගෙන සිටි සම්මත මාලිගා කඩා බිඳ වැටෙනවා. එවිට මම හරිය කියන මානය බිඳ වැටීම නිසා කම්පා වෙනවා. මහා බ‍්‍රහ්මයා ලෝකය පාලනය කරන බව සිතා සිටි පෙර කාලයේත් ඇතැඹුලක් ලෙස ලෝකයත් චක‍්‍රාවාට පිළිබඳවත් ග‍්‍රහ තාරකාවල ගමන් වේග විපර්යාස ගැනත් මහත් වූ ලෞකික දැනුම ලබා සිටි සෘෂිවරු පවා එම බ‍්‍රහ්ම සංකල්පය ඉක්මවන්නට සමත්වූයේ නෑ, ද්‍රව්‍ය වස්තු විපර්යාසයන් හරියාකාරව දකින්න සමත් වූයේ නෑ.

බුදුරජාණන් වහන්සේ බ‍්‍රහ්මයන්ට දේශනා කළ බණ බ‍්‍රහ්මයන්ටයි, දෙවියන්ට දේශනා කළ බණ දෙවියන්ටයි, මනුෂ්‍යයන්ට දේශණා කළ බණ මනුෂ්‍යයන්ටයි. ද්වතිංසාකාර භාවනාව (අසුභ භාවනාව) දෙවියන්ටවත්, බ‍්‍රහ්මයන්ටවත් දේශණා කළේ නෑ. නමුත් දෙවියෙක් මනුෂ්‍යයන් ගැන හෝ මනුෂ්‍යයෙක් දෙව් බඹුන් ගැන හෝ ප‍්‍රශ්න කළොත් එ් ගැන පවසා තිබෙනවා. මහා මංගල සූත‍්‍රය මීට නිදසුන්ය. ක්‍ෂණ භංගුරත්වය (යමක් හටගෙන බිඳෙන තෙක් කාලය ගැන මෙනෙහි කිරීම) පෙන්නුවේ සුදුසු ලෙස සුදුසු පරිදියි. තමාගේ ඇඳිවතේ ගෑවුණු කුණු ඉවත් කිරීමට දෙන බෙහෙත තමා වැනි ඇඳිවත් අඳින අයට හොඳයි. ඒ එහි තිබුණේ මඩ පැල්ලමක් පමණක් බැවිනි. නමුත් වාහන අලූත්වැඩියා කරන කාර්මිකයාට ඉන් කිසිම ඵලක් නැත්තේ ඔහුගේ තෙල්කුණු ඇති ගොමස්කඩ රෙද්ද සේදීමට එය ප‍්‍රමාණවත් නැති නිසයි. මේ නිසා ඔහුට දිය යුත්තේ වෙනම රසායන බෙහෙත් අඩංගු රෙදි සෝදනයකි. නමුත් ඒ රසායනයෙන් අර කලින් කියපු, තමාගේ ඇඳිවතේ මඩ පැල්ලම් ඉවත් කරන්නට බැරි නිසා ඒකෙන් තමාට වැඩක් නෑ. පෙර බුදුරජාණන් වහන්සේ වැඩ සිටින විට සුදුසු පරිදි දහම් දේශණා කළෙත් ඒ නිසයි.

භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා යන මාගේ ශ‍්‍රාවකයෝ අධර්මයක් දුටු තැන අධර්මය යටපත් කොට ධර්මය නගා සිටුවන්නට දක්ෂ වන තුරු, අවිනයක් දුටු තැන විනයෙන් කරුණු පෙන්වා අවිනය යටපත් කර විනය නගා සිටුවන්නට දක්ෂ වන තුරු මම පිරිනිවන් නොපාමි

යි යනුවෙන් මාර දිව්‍ය පුත‍්‍රයාට දේශනා කළ දේශනාව දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත‍්‍රයෙන් පෙන්වා තියෙනවා.

එසේම බුදු පියාණන් වහන්සේ ප‍්‍රජාපතී ගෝතමීන් වහන්සේට ධර්මය, විනය, සාස්තෘ සාසනය දැනගෙන අනුගමනයට අවවාද කළේ මෙසේය.

ගෝතමිය, තෙපි මේ දහම්හු සරාගය පිණිස වැටෙති, විරාගයට නොවැටෙති. සංසාර සංයෝගයට වැටෙති, විසංයෝගයට නොවැටෙති. සසර වඩනට පවතිති, නොවඩනට නොපවතිති. මහිච්චතා පිණිස පවතිති, අප්පිච්චතා පිණිස නොපවතිති.  අසන්තුට්ඨිය පිණිස පවතිති, සන්තුට්ඨිය පිණිස නොපවතිති. සංගණිකාව පිණිස පවතිති, ප‍්‍රවිවේකය පිණිස නොපවතිති. කුසීත භාවය පිණිස පවතිති, වීර්යාරම්භය පිණිස නොපවතිති. දුෂ්පෝෂණය පිණිස පවතිති, සුපෝෂණය පිණිස නොපවතිති යයි යම් දහමුන් දන්නෙහිද, ගෝතමිය එ්කාන්තයෙන් මේ දහම නොවෙයි, මේ විනය නොවෙයි, මේ සාස්තෘ සාසනය නොවේ යයි දරව.

ගෝතමිය, තෙපි මේ ධර්මයෝ විරාගයට වැටෙති, සරාගයට නොවැටෙති. විසංයෝගයට වැටෙති, සංයෝගයට නොවැටෙති. වට වඩනට නොවැටෙති, නොවට වඩනට වැටෙති. අප්පිච්චතාවයට වැටෙති, මහිච්චතාවයට නොවැටෙති. සංතුට්ඨියට වැටෙති, අසංතුට්ඨියට නොවැටෙති. ප‍්‍රවිවේකයට වැටෙති, සංගණිකාවට නොවැටෙති. වීර්යාරම්භයට වැටෙති, කුසීතභාවයට නොවැටෙති. සුභරතාවට වැටෙති, දුභරතාවට නොවැටෙතියි දන්නවුනම් ගෝතමිය එ්කාන්තයෙන් තෙල ධර්මය වෙයි, තෙල විනය වෙයි, තෙල සාස්තෘ සාසනය වේ යැයි දරව. (අං:නි:5, 234 පිටුව, සංක්‍ෂිප්ත ගෝතමියෝවාද සූත‍්‍රය)

ඉහත කී ආකාරයෙන් කිව් ක‍්‍රමවේදය හැර වෙනත් විවිධ ක‍්‍රමවලින් බුද්ධ වචන හොයන්න ගියොත් කුමක් වේදැයි සිතා බැලීම වටිනවා.

ආනන්ද මේ සිවුර වේලන්න, නවා තබන්න.

මෙහෙම කීවොත්, එසේත් නැතිනම්

ආනන්ද මට පිපාසයි පැන් ටිකක් ගේන්න

යයි කීවොත්, බුදුරජාණන් වහන්සේගේ මුවින් පිට වූ නිසා එය අසා නිවන් දකීවිද? එහෙනම් ධර්මය, විනය අප විසින් සොයාගත යුතු නිසා හොයන ක‍්‍රමය බුදුන්වහන්සේ පෙන්වා දී තියෙනවා. මේ ඒ කාලයේ සිදු වෙච්ච තවත් හොඳ කතාවක්.

බුදුන් වහන්සේ ජීවමාන කාලයේ එක්තරා හිඟන්නෙක් ජේතවනාරාමය අසල වාසය කළා. මේ හිඟන්නා පසු කාලයක ශාසනයේ මහණ වුනා. මහණ වෙන්න පෙර මෙහෙම හිතුවා. මට මහණ දම් පුරන්න බැරි වුනොත් මේ රෙදි ටික ගෙන පරණ හිඟමනට බසිමියි කියා මෙතෙක් කල් හැඳ සිටි වැරහැලි රෙදි ටික ගස් බෙනයක සඟවා තැබුවා. මහණ වී ටික කලක් ගතවුනා. මහණදම් පිරීම කරදරයක් ලෙස වැටහී නැවත පෙර මෙන් සිඟා කෑමට සිතා සිවුරු හැර ගිහිවෙන අදහසින් ඇඳුම් සඟවා තිබු ගස් බෙනය ළඟට ගිහින් ඇඳුම් ටික එළියට ගත්තා. එහි තිබු කිළිටි පුස් ගඳ දැනෙන විට

මම කරන්නේ මොන මෝඩකමක්ද? ආසාව, අසංවරය බලවත් වෙනකොට ආදීනව නොපෙනෙන හැටි!

කියා නැවත හිඟන ජීවිතේ ගැන තිබිච්ච සිත අත්හැර ඇඳුම් ටික ගස් බෙනයට ඔබා ජේතවනාරාමයට ගියා. භික්‍ෂුන් වහන්සේලා, ඇවැත්නි කොහි ගියේ දැයි ඇසු විට

මම ගුරුවරයෙක් හමුවීමට ගියා

කියමින් නිහඬ වුනා. නැවත දිනයක එසේම මහණදම් පුරන්න කම්මැලි වීම නිසා පෙර සේම ගස් බෙනය ළඟට ගිහින් ඇඳුම් ටික ගත්තේ හිඟන වෙස් ගෙන සිවුරු හැරීමටයි. එවරත් පෙර සේම ඇඳුම්වල කුණු වූ පුස් ගඳ, පරණ හිඟන ජීවිතේ වින්ද දුක් ආදීනව සිහිවුනා. ආසාවන්ට වහල්වීමෙන් දුකට වැටෙන හැටි සිහිවෙලා නැවතත් ඇඳුම් ටික පෙර සේම තබා ආරාමයට ආවා. එදිනද ඇවැත්නි කොහි ගියේ දැයි භික්‍ෂුන් වහන්සේලා ඇසුවිට ගුරුතුමා හමුවීමට ගියා යැයි පිළිතුරු දුන්නා. මේ විදියට ටික කලකින්,

මට නම් මේ පැවිදි ජීවිතය අවශ්‍ය නෑ, සිවුරු හැර පෙර ලෙස සිඟාකමින් නිදහසේ හැසිරෙමි

යි කියා සිතමින් කැළය මැදින් ගස් බෙනය ළඟට ගිහින් ඇඳුම් ටික එළියට ගත්තා. පුස් බැඳී දුගඳව දිනෙන් දින දිරකඩ වෙමින් ඇති හිඟන රෙදි කැබලි නෙත ගැටුණා.

දිරන වැනසෙන දෙයක හැටි මුලාව නිසා දුකට හේතු වන දේ රැස්කර දුක් විඳින හැටි ලොකු දෙයක් අල්ලාගත් අයගේ දුක ගැන මොනවා කියන්ටද? මේ ගොමස්කඩ වී දුඟඳ හමන හිඟන වැරහැලි ඇඳුම් ටික නිසා මම විඳින දුකක හැටිෟ දුක ලැබෙන්ට ලොකු දෙයක් මොකටද?

කියා මෙහෙම හිතමින් මගේ මේ සන්තකයේ තියෙන දුක් දෙන වැරහැලි කඩමලූ අදින් පසු මට දුක් නොදෙනු ඇතැයි කියා අසල තිබු ඔයට ඇඳුම් ටික විසිකර නැවත ගිහි නොවන සිතින් ආපසු හැරුණේ උතුම් වූ රහත් ඵලයට ද පත්වෙමිනුයි.

එදිනද ආපසු ආරාමයට ගිය පසු භික්‍ෂුන් වහන්සේලා, ඇවැත්නි කොහි ගියේ දැයි ඇසුවා. ගුරුතුමා බලන්න ගියා යැයි එදිනත් පිළිතුරු දුන්නා.

ඔය කැළේ අපිත් දන්නවා. කවුද ඔය හැමදාම බලන්න යන ගුරුතුමා? කවුද එහේ ඉන්නේ? අපටත් පෙන්වන්න පුළුවන්ද ඔය ගුරුවරයා?

කියා අනෙක් භික්‍ෂුන් වහන්සේලා ඇහුවා.

අද මම ගුරුතුමා ගඟට විසිකළා

යැයි පිළිතුරක් ලැබුනා. භික්‍ෂුන් වහන්සේලා තේරුම්ගත නොහැකිව මේ මොන අපරාධයක් දැයි සිතා බුදුන් වහන්සේ හමුවට ගිහින් මේ සිදුවීම ප‍්‍රකාශ කළා. බුදුන් වහන්සේද, ඒ භික්‍ෂුව ගුරුතුමා හමුවන්නට ගිය බව ඇත්ත බවත්, ගඟට විසිකළ බවද ඇත්තක් බවත් පෙන්වා මාගේ පුත‍්‍රයා නැවත ගුරුතුමා හමුවන්න නොයතියි ද දේශණා කරමින් මේ පිළිබඳව දහම් දේශණා කළා.

යමක් ඇසුරු කරන විට රාග ක්‍ෂය වේද, ද්වේශ ක්‍ෂය වේද, මෝහ ක්‍ෂය වේද ඒ බුද්ධ වචනයයි, ඒ ගුරුවරයා යි. බුද්ධ වචනය සොයා ගැනීමට බුදුන් වහන්සේ දහම් මගක් දේශණා කර තියෙනවා. එය නම් සතර මහාපදේශයයි.

  1. තථාගත වූ මම කී පළියට පිළිනොගන්න,  ඉවත නොදමන්න.
  2. මාගෙන් අසාගත් කෙනෙක් කීවා කියා පිළිනොගන්න, ඉවත නොදමන්න.
  3. මාගෙන් අසාගත් කෙනෙක් ගෙන් දරාගෙන එන පිරිසක් කීවා කියා පිළිනොගන්න, ඉවත නොදමන්න.
  4. තථාගතයන් වහන්සේගෙන් අසා ගත් කෙනෙකුගෙන් දරාගත් පිරිසකගෙන් හෝ වචන දැරුවේ යැයි  කියා කෙනෙක් කීවත් පිළිනොගන්න,   ඉවත නොදමන්න. (පරම්පරාවෙන් එන කථා, පොත පත, සෙල්ලිපි ආදිය…)

කරුණු විමසා බලමින්් ධර්මයට බහා බලන විට බහා හිටීනම්, විනයට සසඳන විට සැසෙඳෙනම් පිළිගන්න. ඒ තමයි තථාගත වචනය කියා දේශනා කළා. ඉතින් කෝ බහා බලන ධර්මය, සසඳා බලන විනය? මෙතනදී ත‍්‍රිපිටක පොත් පෙළේ එන සුත‍්‍ර-අභිධර්ම පිටක පොත් ධර්මය ලෙසත්, විනය පිටකය විනය ලෙසත් ගැනීම නිවැරදි ද කියා සිතා බැලීම වටිනවා.

“ඒවං මේ සූතං” මා විසින් මෙසේ අසන ලදී. සූත‍්‍ර පිටකයේ තියෙන්නේ මේ විදියට තියෙන සූත‍්‍රයි.  සතර මහාපදේශයන්ට අනුව තථාගතයන් වහන්සේ දේශණා කළ ධර්මය ආනන්ද හිමියන් ශ‍්‍රවණය කර උන්වහන්සේගෙන් අසා සංඝරත්නය විසින් ගෙනවිත් වනපොත්කර ග‍්‍රන්ථාරූඩ කර ඇතැයි කියා ඒ දහම මේ යයි සම්මත කරගත් උගතුන් විසින් ගෙනවිත් අපට දැනගන්නට ලැබුණු දෙයක් නොවේද? එහෙනම් මේ දහම් බහා බලන්නේ කුමන ධර්මයටද? සසඳන්නේ කුමන විනයටද? දුන්නු පලියට නොගෙන පරීක්‍ෂා කර බලා සිදුවන හැටි කල්පනාවෙන් බැලිය යුතුයි.

උදාහරණයක් :- යම් දානපතියෙක් අසරණයන්ට අනුකම්පා කර රන් කැබලි ගෝනියක් කෙනෙකුට දුන්නා යැයි සිතමු. ඔහු එය තවත් කෙනෙකුට දෙනවා.ඒ අයත් තවත් සමූහයකට දෙනවා. මෙසේ අතින් අත බොහෝ දෙනෙකුගෙන් ගෙනෙන විට හතුරන් කණ්ඩායමක් පසුපස එනවා දැක ඒවා කුඩා කුඩා මිටි බඳිමින් තැන තැන තබමින් බිම විසුරුවමින්, පසුව ගොස් නැවත එකතු කරමින් ගේනවා යැයි සිතමු. දැන් තවත් කෙනෙක් මේවා නැති නොවන්නට අටුවේ සඟවනවා. රන් කැබලිවල දුම් කාරමද බැඳෙනවා. තවත් කෙනෙක් ඒවා වලලනවා. මඩ කහට බැඳෙනවා. තවත් කෙනෙක් ගින්නට දමනවා. ලිපේ වළලනවා. නැවත එකතු කර පොදි බඳිනවා. මෙසේ නැවත සන්සුන් වූ විට සියල්ල එකතු කරනවා. රන්වල හැටි, අසා තිබු අය බැලූවිට එම කැබලි වෙනස් ය. ඒවා ඉවත් කර තව හොයනවා. සතුරු කණ්ඩායම ඒවා රන් බව වටහාගත නොහැකිව වෙනත් කටයුතු සඳහා යොදවනවා. නැවතත් කෙනෙක් රන් කියා සමාන වර්ණ ඇති ලෝහ එයට එකතු කරනවා. මෙසේ නැවත රන් කියා තැන තැන තිබූ සියල්ල එකතු කරනවා. දැන් තියෙන්නේ  එදා පළමු දානපතියා දුන්නු රන්ම නොවන්නටත් පුළුවන්. එම රත්තරන්ද බොහෝ කොට හෝ සුළුවෙන් හෝ තිබෙන්නටත් පුළුවන්. පරීක්ෂා කරන්නෙක් උරගා බලා සුදුස්ස සොයා ගන්නවා. රන් කැබලි තිබුණු ගොඬේ තිබුණත් උරගා බලන විට හසු නොවේ නම් පසෙකට කරනවා. ලැබුණු කොටසින් නියමිත ක‍්‍රම මෙහෙයවා ආභරණ හදනවා. උරගා බලන්න හැකි වුනත් රන් නිෂ්පාදනය කරන්නට නොහැකියි. එම රන් සමූහය මහා දානපතියාට සත්රුවනේ නිධානයකින් ලැබුණු ඒවා නිසා එම නිධාන නැති අනිත් අය කරන්නේ දී ඇති රන්වලින් ආභරණ තැනීමයි. දී ඇති රන් උරගා බලා හඳුනාගෙන ප‍්‍රයෝජනයට ගන්නවා මිසක් පාට තිබු පළියට ලෝහ එකතු කර නිපදවන්නට ගියොත් රන් වැනි සරුව පිත්තල ලැබෙනු ඇති. ඒක භයානකයි. උරගා බලන හැකියාව තිබුණු නිසාම රන්වල වටිනාකමත් ආභරණවල සුදුසු බවත් ලැබීමෙන් ප‍්‍රයෝජනය හරි හැටි ගන්න පුළුවන්. ධර්ම රත්නයත් මෙසේ තේරුම්ගෙන කල්පනා කර බැලිය යුතුයි. උරගා බලන ක‍්‍රමය අදටත් නොනැසී පවතිනවා. බුද්ධිවන්තව හොයා බැලූවොත් ඒ බව වැටහෙනවා ඇත.

බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේ, දවසක් එක්තරා ගමකට වැඩියා. එහි සිටි මිනිසුන් උන්වහන්සේ වැඩි බව අසා එතනට රැස් වී මෙහෙම කිව්වා.

ස්වාමීනී, මෙම ගමට නොයෙක් විට මහණ බමුණෝ එනවා. එම අයගෙන් කෙනෙක් අපට දහම් මග දේශණා කරනවා. ඉන් පසු තවත් කෙනෙක් එනවා. එම අයට, පෙර ඇසූ දේශණාව ගැන කියන විට එ් දේශනාව වැරදියි, මේකයි හරි කියා ඒ අයගේ දේශණාව කියනවා. එන එන සියලූ දෙනාම මෙහෙම කියන නිසා අපි තීරණයකට බැස්සා. එනම් කිසිම කෙනෙකුගෙන් මත නොඅසා අපිට තේරෙන හැටියට කරමු යන්නයි. මේ අපේ අදහසයි.

ගම්වැසියන් මෙසේ කී විට, බුදුන්වහන්සේ, තම තමන් ගත් මග නිවැරදි බවත් පවසමින් මා අසන දෙයට පිළිතුරක් පමණක් දෙන්නයි කියා දේශණා කළා. එය පිළිගත් ගෘහපතිවරු එසේය ස්වාමීනී කියා හිඳ ගත්තා.

‘‘ගැහැවියනි, නුඹලාට හරියි වැටහෙන හේතු සහිතව හරි බව පෙනෙන ලෙස උත්තර දෙන්නැ’’ යි පහත පරිදි ප‍්‍රශ්ණ ඇහුවා.

යමෙකු විසින් නුඹලාව නසනවා නම් නුඹලා කැමතිද? නැත ස්වාමීනී අපි කැමති නෑ.

එසේනම් නුඹලාට හිංසා පීඩා කරන්නේ නම් නුඹලා කැමතිද? එසේත් නැත ස්වාමීනී.

හොඳයි අන්‍යයෙක් ඔවුන්ව නසනවා නම් ඔවුන්ට හිංසා පීඩා කරනවා නම් ඔවුන් කැමති වෙයිද? නැත ස්වාමීනී.

ඒ ඇයි අකමැති වන්නේ? හොඳ වැඩක් නිසාද නරක වැඩක් නිසාද? ස්වාමීනි නරක වැඩක් නිසා.

නුඹලාට සිදුවෙනවාට අකමැති අනිකෙකුට සිදුවෙනවාට එම අයද අකමැති දෙයක් යමෙක් අනුන්ට කරනවා නම් එය හොඳද නරකද? නරකයි ස්වාමීනී.

එය කළොත් සුචරිතයක්ද දුශ්චරිතයක්ද? දුශ්චරිතයක් ස්වාමීනී.

ඒ දුශ්චරිතය කළොත් හොඳක් වෙයිද නරකක් වෙයිද? හොඳක් නම් නැත. නරකක්මයි ස්වාමීනි.

එසේනම් ඒ ප‍්‍රාණඝාතය කරනවාද නොකරනවාද? තීරණය කියන්න. නොකරමි ස්වාමීනී.

මේ ආකාරයෙන් ප‍්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිච්ඡාචාරය හා මුසාවාද  අකුසල් ගැනම දේශණාකර මේ දහම ගැන නුඹලාගේ අදහස කුමක්දැයි ඇසුවා. ඉතා යටහත් වූ එම ගැහැවියන්

ස්වාමීනී, ඔබ වහන්සේම නියම දේශකයාණන් වහන්සේ වුනා. අපටම තේරෙන වැටහෙන දහම් දේශනා කරන ඔබවහන්සේ ශ්‍රේෂ්ඨ මාර්ග උපදේශකයාණන් වහන්සේ ලෙස පිළිගනිමි

යි ප‍්‍රශංසා කර උපාසකයන් වූ බවත්, ධර්මයේ සඳහන් වෙනවා. (අං:නි:1, 336 පිටුව, කාලාම සූත‍්‍රය)

මෙහිදී අපිත් එය පිළිගන්නේ පොතේ තිබුණු නිසා නොවෙයි, ඒ දහම ඇත්ත ක‍්‍රමයක් බවත්, බුද්ධි ගෝචර දහමක් බවත්, හේතුඵල දහමක් බවත්, පෙනෙන නිසයි. දැන් මෙහි ධර්මය බහා බැලීම කුමක්ද ? නරකක් වෙන්කර දැනගෙන නරක දෙයින් නරකක් වන බව දැන ගැනීමයි. විනයට බහා බැලීම නම් එය අනුගමනය දහමට අනුව කරන විට ඇතිවන හික්මීමයි, හික්මීමට හේතුවන බව දැනීමයි. යමෙකුට ත‍්‍රිහේතුක පටිසන්ධියක් (අලෝභ, අද්වේශ, අමෝහවලින්) ඇත්නම් ඔහුට මේ දහම් රටාව සොයන හැටි, විනය පිළිවෙත සොයන හැටි ඉතා හොඳින් වැටහිය යුතුයි. එසේ වැටහෙනවා නම් භේදයක් කොයින්ද? ඇත්තේ සමගියයි. කටයුතු හොඳ නිසා නියම ප‍්‍රතිපත්ති දහමයි. අනුකූල පිළිපැදීම නිසා නියම සංවරයයි. යමෙක් මේ මග බුද්ධිවන්තව ගන්නේ නම්, අතීතයේ යමෙක් සංවර බව, පිළිවෙත ලැබුවේද මේ විදියට ලැබුවා මිස වෙනත් මගකින් නොවන බව දැන ගන්නවා. මගඵල ලබයිද මේ මගින් මිස වෙන මගකින් නොවන බව දැන ගන්නවා. දැහැන් ලබයිද මේ මගින් මිස වෙන මගකින් නොවන බව දැන ගන්නවා.

(ඉතිරි කොටස ලබන කලාපයෙන්….)

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණු දහම් කරුණු ඇසුරින් සකස් කළේ,

නීතිඥ චන්දන සිරිවර්ධන