මුලින්ම මම වහරක ලොකු හාමුදුරුවෝ ගැන දැන ගත්තේ මගේ  මිත‍්‍රයෙකුගේ  ගෙදරක  තිබුණ  ධර්ම  සාකච්ඡාවකට සහභාගී වීමෙනුයි. එදා එතන සාකච්ඡාවට මූලික වුණු රාජ් විජේවික‍්‍රම  මහත්තයා  මට  හම්බ  වුණේ  එදාමයි.  එතුමා  එදා සාකච්ඡා කළේ බුදු දහමේ එන ඉතාමත් වැදගත්ම කාරණාවක් වන ත‍්‍රිලක්ෂණය ගැන යි. එදා මට තේරුණා ඒ සාකච්ඡාවේ විග‍්‍රහ වුණු ත‍්‍රිලක්ෂණය පිළිබඳ  කාරණා  මම  මෙතෙක්  ඒ  ගැන  විවිධ  ධර්ම  දේශනා කෙරෙන්  අසා  දැන  ගෙන  තිබුණු  කරුණුවලට  වඩා  ඉතාම සාර්ථකයි  කියලා.  ඉතිං  ඒ  රාජ්  මහත්මයා  අපට  විග‍්‍රහ  කළ ඒ  ත‍්‍රිලක්ෂණය  පිළිබඳ  එකී  සාර්ථක  විග‍්‍රහය  වහරක  ලොකු හාමුදුරුවන්ගේ  විග‍්‍රහයක්.  උන්වහන්සේ  බුද්ධ  ධර්මයේ සැඟවුණු අරුත් මේ විදිහට අපට කියා දීම ගැන මම හුඟක් ම පැහැදුණා. මමත් ධර්මය ගැන විවිධ අයුරින් කරුණු කාරණා සොයමින් හිටිය  කෙනෙක්.  එදා  සාකච්ඡාවේදී  ත‍්‍රිලක්ෂණය  ගැන  විග‍්‍රහ කෙරෙන ආකාරය අනුව මට තේරුණා, ඒ ධර්ම කරුණු විග‍්‍රහය ඉතාම නිවැරදියි සහ ගෝචරයි කියලා. ඒ විතරක් නෙවෙයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැන මම එතෙක් අසා තිබුණු අර්ථ ගැන්වීම් වලට වඩා මේ සාකච්ඡාවේදී අසා දැනගත් කරුණුවලට මම ඉතාම සතුටින් එකඟ වුණා. ඒ වෙලාවේ තමයි මම රාජ් මහත්මයාගෙන්  විමසුවේ ඔබතුමාගේ ගුරුවරයා  කවුද  කියලා.  අන්න  එහෙමයි  මම වහරක ලොකු හාමුදුරුවෝ ගැන මුලින්ම දැන ගත්තේ. ඉන් නොබෝ දවසකින්ම අපි ගියා වහරක ලොකු  හාමුදුරුවෝ  බැහැ  දකින්නට.  එදා පටන් මම බුද්ධ ධර්මය ගැන වහරක ලොකු හාමුදුරුවෝ කරන නිවැරදි විග‍්‍රහාත්මක කරුණු මගේ දැනුමට ග‍්‍රහණය කර ගනිමින් ඉන්නවා. ඒක  හරියටම  කාන්තාරයක  සාපිපාසාවෙන් ගමන්  කරන  පුද්ගලයෙකුට  සීතල  නිල් ජලාශයක්ම  හම්බ  වුණා  වගෙයි.  අන්න  ඒ සතුට අද මම භුක්ති විඳිනවා. වහරක  ලොකු  හාමුදුරුවන්ගේ  මෙම විග‍්‍රහාත්මක  ඉදිරිපත්  කිරීම්වල  තියෙන විශේෂත්වය  තමයි  ඒවා  නිකම්ම  ප‍්‍රකාශ නොකිරීම.  ඒ  කරුණු  ඉතාම  බුද්ධිගෝචර ආකාරයකට පැහැදිලි කර දෙනවා. ඉතිං ඉන් ඔබ්බට කෙනෙකුට ඉතිරි වී ඇති දේවල් වටහා ගැනීම ඉතා ම පහසුයි. ඇත්තටම අපට දහම් කරුණු නිවැරදිව දැනකියා  ගන්නට අවශ්‍ය  පතපොත  පවා  හිඟ  තත්වයක්නේ  තිබුණේ.

ඒත් නැදිමාලේ  බෞද්ධ  මධ්‍යස්ථානයේ  නියමු  ස්වාමීන්  වහන්සේ වන  කිරම  විමලජෝති  නායක  හාමදුරුවන්ටත්,  ඒ  කාර්ය මණ්ඩලයටත්  පින්  සිද්ධවෙන්නට  තමයි  අපට  දැන්  තියෙන ධර්ම  ග‍්‍රන්ථ  ප‍්‍රමාණය  පවා  ලැබිල  තියෙන්නේ.  ඒකට  විශේෂ ස්තූතියක්  කිරම  විමලජෝති  ලොකු  හාමුදුරුවන්ට  පිදිය  යුතු වෙනවා. ආයෙත් අපි මේ කතාබහට ආවොත් මම ඔබට නිදර්ශණයක් හැටියට  කියන්නම්  ත‍්‍රිලක්ෂණය  ගැන  වහරක  ලොකු හාමුදුරුවන්ගේ  විග‍්‍රහය  කොහොමද  මේ  තරම්  බුද්ධිගෝචර වෙන්නේ කියලා. අනිච්ච, දුක්‍ඛ, අනත්‍ථ කියන මේ ත‍්‍රිලක්ෂණය ගැන පාලියෙන් නිවැරදිව සටහන් වෙලා තියෙනවා. සංයුක්ත නිකායේ හතර වැනි කොටසේ අජ්ජානිච්ච සූත‍්‍රයේ මේ ගැන පැහැදිලිව සටහන් වෙලා තියෙනවා. මේක ඇත්තටම කාගෙන්වත් ප‍්‍රමුඛත්වයක් ලැබුණේ නැති සූත‍්‍රයක්. ඒත් බුදු දහමේ පිඬු කළ අරුත කැටිකර ගත්තු ත‍්‍රිලක්ෂණය ගැන මේ සූත‍්‍රයේ සටහන් වෙනවා.

චක්ඛුං භික්ඛවේ අනිච්චං
යද නිච්චං තං දුක්ඛං
යං දුක්ඛං තදනත්තා

මෙහි නිවැරදි අර්ථ තමයි ඇස අනිච්චයි, යමක් අනිච්ච නම් එය දුකයි, යමක් අනිච්ච නම් දුක නම් එය අසාරයි, අනත්තයි. ඔය අනත්ත කියන පදයේ අර්ථය අභිධර්මයේ විග‍්‍රහ වෙනවා. ඒ  අසාරකට්ඨෙන  අනත්තා  කියලයි.  එතකොට  අසාර  කියන අර්ථයෙන් තමයි අනත්තා යෙදෙන්නේ. මේ කරුණු සිංහලට පරිවර්තනය  කිරීමේ  දී  ලොකු  ප‍්‍රශ්න  ඇතිවෙලා  තියෙනවා. මොකද  මේ  පරිවර්තන  කළ  අපේ  ගෞරවනීය  භික්ෂූන් වහන්සේලා රහත් වුණු උදවිය නොවෙයි නේ. උන්වහන්සේලා මේ  පරිවර්තන  කරලා  තියෙන්නේ  භාෂා  දැනුම  මූලික  කර ගෙනයි. එතන දී තමයි මේ ප‍්‍රශ්නය පැනනඟින්නේ.

අනිච්ච නම් දුකයි, දුක නම් අනත්තයි කියන පද සිංහලට පරිවර්තනය වෙලා තියෙන්නේ, අනිත්‍ය නම් දුකයි, දුක නම් අනාත්මයි කියලයි

මෙන්න  මේ  ගැටලූව  තමයි  අපට  තිබුණේ.  ඒ  කියන්නේ ඉන් කියවෙන්නේ යමක් අනිත්‍ය ද, එය දුකයි කියලයි. අනිත්‍ය කියන්නේ වෙනස් වෙන සොබාවක් ඇති කියන තේරුමනේ.

ඉතිං වෙනස් වෙන සොබාවය දුක නම්, වෙනස් වෙන හැම දෙයකින්ම හැම අවස්ථාවේම දුක ඇති වෙන්නට එපැයි. වෙනස් වෙන කිසිම දෙයකින් සැපක් ලැබෙන්නට විදිහක් නැහැනේ. ඒ ගැන නිදර්ශනයක් බොහොම කෙටියෙන් සරලව කියනවා නම්,  මනුෂ්‍යයෙකුගේ  ජීවිතයේ  මුල්  දශක  තුන  ඇතුළත  ඒ පුද්ගලයා  වෙනස්  වෙන  ආකාරය  ගැන,  ඒ  පුද්ගලයාට  හෝ අන් අයට තියෙන්නේ දුකක් ද? කුඩා දරුවකුව ඉපදිලා ඇති දැඩි වෙලා ළමා වයස පහු කරගෙන තරුණ වයසට පත්වෙලා පිරිපුන්  පුද්ගලයෙක්  විදිහට  වසර  තිහක්  ඇතුළත  සිදුවන වෙනස්  වීම්  ගැන  තියෙන්නේ  දුකක්  ද?  ඇත්තටම  එහෙම වෙනස් නොවුණා නම් නේද දුක? හැමදාම කුඩා දරුවකුගේ තත්ත්වයේම ප‍්‍රමාණයෙන් හෝ නො වැඞී හිටියා නම් ඒ ගැන ඇතිවන්නේ  දුකක්  නේද?  එහෙම  බැලූවහම  අර  වෙනස්වීම සැපක් නේද? සතුටක් නේද?

උන්වහන්සේගේ විග‍්‍රහයට අනුව ඉච්ඡ කියන්නේ කැමැත්ත. අනිච්ච කියන්නේ කැමැත්තට අනුව නොවීම හෝ නොතිබීම. ඉතිං මේ මූලික විග‍්‍රහයට අනුව බැලූවහම මේ  අනිච්ච කියන පදයට අනිත්‍ය කියලා අපි යෙදුවොත් අර මූලික අර්ථයම අවුල් වෙලා සියල්ල වෙනත් දිසාවකට යොමු වෙනවා. හේතුව, මම දකින විදිහට මේ තමයි බුදු දහමේ සාරාර්ථය. මෙතන අපි අවුල් විදිහට තේරුම් ගත්තෝතින් අපට ඉන් ඉදිරියට කිසිවක් නිවැරදිව වටහා ගන්නට බැරි වෙනවා. බුදුන්ගේ ශ‍්‍රී මුඛයෙන් ධර්මය දේශණා වුණාට පසුකාලීනව ලියැවුණු කිසිම අර්ථකතාවක මේ කාරණාව, මේ විදිහට නිවැරදිව විග‍්‍රහ වෙලා නැහැ. අන්න ඒ හින්දයි අපට අපේ වහරක ලොකු හාමුදුරුවන් වහන්සේගේ වටිනාකම ඉතා ඉහළින් දැනෙන්නේ.

නහී සීල වතං හෝතු
උප්පජ්ජංති තථාගතා
අට්ඨක්කරා තීන පදා
සම්බුද්ධේන පකාසිනො

ඉන් කියවෙන්නේ බුදු කෙනෙකුන් උපදින්නේම මෙන්න මේ අකුරු  අටයි,  පද  තුනයි  ගැන  ලෝක  සත්වයාට  තේරුම්  කර දෙන්නයි කියන එකයි. ඒ පද තුන තමයි අනිච්ච, දුක්‍ඛ, අනත්‍ථ කියන ත‍්‍රිලක්ෂණය. මෙහි අකුරු අට එන්නේ බැඳි අකුරු ලෙස ගැනීමෙන්. ඉතිං මේ කාරණාව වටහා ගැනීම අවුල් වුණොත් එතනිං  එහාට  අපට  කිසිම  දෙයක්  නිවැරදිව  වටහා  ගන්නට ලැබෙන්නේ නැති බව දැන් පැහැදිලි වෙනවා නේද? මජ්ජිම  නිකායේ  සීල  සූත‍්‍රයේ  කියල  තියෙනවා  යමෙක් සෝවාන් ඵලයට පත් වෙන්නට අවශ්‍ය මොනව ද කියලා. ඒ තමයි ත‍්‍රිලක්ෂණය  වටහා  ගැනීම.  සකෘදාගාමී  ඵලයට  පත්වෙන්නට අවශ්‍යත්  එය  ම  තමයි.  අනාගාමී  වෙන්නටත්,  අරිහත්  ඵලය ලබන්නටත් අවශ්‍ය ඒ දෙයම තමයි. හැබැයි මේ ඵලයන්හි තත්ත්වය අනුව ඒ වටහා ගැනීම පවතින්නේ එක් එක් මට්ටම්වලයි. අපි අර මිනිසාගේ වෙනස්වීම ගැන කියූ නිදර්ශනයට වඩා ඉදිරියට ගිය සියුම් වටහා ගැනීම් මේ තුළ තියෙනවා. ඒ වටහා ගැනීම් ග‍්‍රහණය වෙන්නේ එක් එක් කාලවලදීයි. ඉතිං ඔන්න ඔය විදිහට යි අපි, වහරක ලොකු හාමුදුරුවෝ ධර්මය විග‍්‍රහ කරන ආකාරය ගැන පැහැදුණේ. බුද්ධ ධර්මය ගැන, එහි එන සියුම් කාරණා ගැන උන්වහන්සේ කරන තවත් වටිනා විග‍්‍රහාත්මක දේ ගැන අපි ඉදිරියටත් කතා කරමු

වින්සර් හොස්පිටල් හි සභාපති
වෛද්‍ය ආර්. පී. වීරසිංහ (MBBS/DFM/MCGP/MPFAM)