ලෝකෝත්තර මඟට ආරක්ෂාවක් වූ බුද්ධානුස්සතිය නිවැරදිව වඩන අයුරු

මාර  විපත්වලින්  මිදී  ලෝකෝත්තර  මාර්ගය  වැඞීමට සිව්රඟ  සෙනඟක්  මෙන්  සිටින  ශාසනයේ ආරක්ෂා හතරක් තියෙනවා. බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය හා මරණානුස්සතිය කියන මේ හතර සේනාව තමයි මාර්ග ආරක්ෂකයෝ වන්නේ. නමුත් අද වන විට මේ සතර සේනාව සඟවා මායා සේනා හතරක් විද්‍යමාන වී ඇති බවයි පේන්නේ. ඒ බව විමසා බලා වටහා ගැනීම නැණවතුන් සතුයි. මෙයින් පළමුව ම විග‍්‍රහ කරන්නේ බුද්ධානුස්සතියයි. මේ ඉතා යහපත් කර්මස්ථානයක්. ඒ වගේ ම වැඩසිදුවන ස්ථානයක්. මෙමඟින් අවැඩ දුරු කර වැඩ හෙවත් ක‍්‍රියා ශුද්ධිය ඇති කරනවා. මෙය මෙනෙහි කරන ක‍්‍රම දෙකක් තියෙනවා. නව අරහාදී බුදුගුණ පද වශයෙන් සඡ්ජායනාව එක් ක‍්‍රමයක්. ඒ වගේ ම මේ ගුණ පදවලින් කියැවෙන ගුණ විග‍්‍රහ කිරීමේ දී, මෙ පමණකින් මේ පදයේ ගුණ පූර්ණ වේ යැයි කියා සීමා නො කළ යුතුයි.

ඒ ඇයි…? බුදු  ගුණ  නම්  අනන්තයි.  ගුණ  පදය  කියන්නේ  ගුණ පෙදෙසක්. අනන්තය තුළ ඇති පෙදෙසත් අනන්තයි. අනන්ත ලෝක  ධාතු  පිහිටි  අනන්ත  ආකාසය  ප‍්‍රදේශ  දහයකට බෙදුවත්, ඒ දස ප‍්‍රදේශයට මෙපමණකින් මේ ප‍්‍රදේශය පූර්ණ වේ  යැයි  කිව  නො  හැකිවා  මෙන්,  අනන්ත  පද  හෙවත් ප‍්‍රදේශ  වූ  බුදුගුණ    මෙපමණකින්,  මේ  ප‍්‍රදේශය  වේ  යැයි කියන්න බෑ. යම් බුදුවරයන් වහන්සේ නමක් සාමුක්ඛන්සික (මෝක්ෂය  උදෙසා  කරන  දේශනා  –  චතුරාර්ය  සත්‍ය   කුළුගන්වා  කෙරෙන  අසමසම  දේශනා)  දේශණා  නියායෙන් එක  ගුණයක්  නැත්නම්  එක  ගුණ  පෙදෙසක්  පිළිබඳව  ගුණ ප‍්‍රකාශ කරන්න ගියොත් උන්වහන්සේගේ ජීවමාන ආයුෂ ගෙවී යනවා මිසක් ගුණ කෙළවර නොවන බවත්, උන්වහන්සේම දේශණා කර තියෙනවා. එම නිසා අනුරූප ගුණ දේශණයක් ප‍්‍රකාශ කරනවා නම් මෙබඳු ගුණ පෙදෙසට අයත් මේ ගුණ ඇති නිසා මෙම පදය ඇසුරේ වේ, එය අනන්ත ගුණය තුළ ඇතුළත්  ය,  යනුවෙන්  ප‍්‍රකාශ  කරනවා  මිසක්  මෙපමණකින් මේ පදය පූර්ණ වේ යැයි නො සිතිය යුතුයි.

රහසින්වත් පව් නොකිරීම, කෙලෙස් හී පහර දුරු කිරීම, පූජාවට සුදුසුවීම යන මේවා අරහං කියන පෙදෙසේ ගුණ මිසක් පූර්ණත්වයක් පෙන්විය හැකි කාරණා නොවෙයි. රහසින්වත් පව්  නොකිරීම  යන  කාරණයේ  දී  අපට  වැටහෙන්නේ  ගුණ කඳක  අංශුවක්  පමණයි.  සාමාන්‍ය  පෘථජ්ජන  වූ  මඟඵල නොලත්  අයෙකු  මේ  ගුණය  සිහිකරන  විට  වැටහෙනවාට වඩා ශතසහශ‍්‍ර ගුණයකින් සෝවාන් මගඵලලාභී උතුමන්ට මේ ගුණය වැටහෙනවා. ඊට වඩා ශතසහශ‍්‍ර ගුණයකින් සකෘදාගාමී  උතුමන්ට වැටහෙනවා. ඊටත් වඩා ශතසහශ‍්‍ර ගුණයෙන්   අනාගාමී  උතුමන්ට  වැටහෙනවා.  මේ  විදිහට  රහතන් වහන්සේලාට අනන්තව වැටහෙනවා. ළිඳේ සිටි ගෙම්බා තම ගෙඹි දරුවාට ගවයාගේ පමණ දැක්වීමට පුම්බන්නට ගොස් පැලී  මැරුණා  සේ,  යන  ප‍්‍රස්ථා  පිරුළ  වගේ  මෙපමණකින් මේ ගුණය ඇත, යනුවෙන් සීමා තබන්නට ගියොත් එසේම  නිෂ්ඵල  වෙනවා.  එම  නිසා  රහසින්වත්  පව්  නොකිරීම, කෙලෙස් සැර දුරු වීම, පූජාවන්ට සුදුසු බව කියන මේවාත් අනන්ත වූ අරහං ගුණස්කන්ධයෝ වෙනවා.

අනන්ත නිසා අසීමිතයි, සඡ්ජායනා කිරීම්, මෙනෙහි කිරීම් උචිත යි. එවිට අනන්ත වූ ගුණ ස්වභාවය වැටහෙමින් අනන්ත ගුණ ගරුත්වයේ පිහිටා බුද්ධානුස්සතිය වැඩෙනවා. රහසින්වත් පව් නොකරන බැවින් ද, කෙලෙස් සර දුරු කළ බැවින් ද, පූජාවට සුදුසු බැවින් ද අරහං නම් වේ කියා මෙනෙහි කළොත් එය පමණ දන්නෙකුගේ අදහසක් කථාවක් ලෙසින් වන ප‍්‍රකාශයක් බව තේරුම් ගත යුතුයි. බුදුන් වහන්සේ හැර පමණ  දකින්නට  සමතෙක්  තුන්  ලෝකයේම  නෑ.  දකින්නේ නම්  අනන්ත  බවම  පමණක්  දකිනවා.  ලෝකයේ  සම්මත විද්‍යාඥයකුගේ බහ තෝරන වයසේ දරුවෙක් තම පියා දක්ෂ ලෙස පරීක්ෂණ කර විශ්මයජනක නිෂ්පාදන කරන නිසා උසස් විද්‍යාඥයෙක්  යැයි  වෙනත්  අයෙකු  කියනවා  අසා,  ඒ  වචන මාලාව මතක තබාගෙන මගේ පියා දක්ෂ ලෙස පරීක්ෂණ කර විශ්මයජනක නිපදවීම් කරන නිසා විද්‍යාඥයෙකැයි නිගමන සහිත කථාවක් කියයි නම්, සැබැවින්ම එය දරුවාගේ වැටහීම් සහිත කියමනක් වේ ද, නැත්නම් බොලඳ කථාවක් වේදැයි සිතා බලන්න. එවිට ඒ අනුසාරයෙන් බුදුගුණ මෙනෙහි කළ යුතු ආකාරය වටහා ගත හැකියි.

දරුවෙකුට සාගරයේ ගැඹුර, පමණ නොවැටහුණත් දියෙන් බිඳක්  ගෙන  කට  ගා  රස  බලන්නටත්,  ජල  කඳ  පිළිබඳව සීමාවක්  නොවැටහුණත්  කිමිදී  නාන්නටත්,  කුණු  සෝදා කය පිරිසිදු කරගන්නටත් පුළුවන්. එසේම තමාට වැටහෙන තේරුම්  ගත  හැකි  මට්ටමින්  හිතමින්  ගුණ  සිහිකරන්නත් පුළුවන්.  එවිට  වචනය  හෝ  වචනවලට  වැරදි  ලෙස  ගත් අරුතක්  හෝ  මනසේ  ස්පර්ශ  නොවී,  ගුණ  අදහස්  ස්පර්ශ වෙනවා. එමඟින් ගුණ දැනීම පහළ වෙනවා. ඒ ස්පර්ශය සුව දෙනවා. එහි ඇලීම, බැඳීම වෙනවා. ගුණ අනුකූල ස්වභාවයට යම් පහළවීමක් හිමි ද, ඒ පහළවීම හෙවත් භව වෙනවා. එවිට ගුණවතෙක් ජනිත වෙනවා. බුදු ගුණ නාම රූපයන් ඇසුරෙන් බිහි වූ ගුණවතාට බුදුගුණයේ සහජ උරුමයට හිමිවන නැණ නුවණ  පහණ  වෙනවා.  අනිච්ච,  දුක්ඛ,  අනත්ත  යන  පෙළ දහම මෙනෙහි කළා ද, අර්ථ ධර්ම නිරුක්ති පටිභාන ශක්ති සහිතව  වැටහෙනවා.  එය  බුදු  ගුණ  ඇසුරේ  ලබන  වාසනා ඵලයක්.  මේ  විදිහට  පූර්ව  භාග  ප‍්‍රතිපදා  මාර්ගයත්  ඒකායන මාර්ගයත් ප‍්‍රත්‍යක්ෂ ඵලය ලෙස රහත් ඵල ලැබීම තෙක් කාර්ය සිද්ධිය වෙනවා.

නවගුණ, පද වශයෙන් සඡ්ජායනා කිරීමත්, පූර්වභාග නුවණ ගෙනදීමට  හේතු  වෙනවා.  ඒක  සිද්ධ  වෙන්නේ  කොහොම ද?  සර්වඥතා  ඥාණය  ප‍්‍රත්‍යක්ෂ  කොට  ගෙන  වීත  රාගී, වීත දෝෂී, වීත මෝහී ගුණ වඩන නාම රූපයන් විද්‍යමාන වෙනවා. පවිත‍්‍ර වූ ප‍්‍රභාෂ්වර වූ දැනීමෙන් යම් හැඟීමක් දෙන ශබ්ද රූපයක් විද්‍යමාන කෙරේ ද, ඒ වාග් රූප මාලාව වීත රාගී, වීත දෝෂී, වීත මෝහී ගුණයන්ගෙන් ගෙනවා. එහි අක්ෂර රටාවත්, ශබ්ද රටාවත්, පද රටාවත් අනුකූල නාම රූප පහළ  කරන  ලෙස  ලෝකයට  දිස්වෙනවා.  ඒ  රටාව  ඇසුරු කිරීම නිසා නාම රූප ඇසුරක් සිද්ධ වෙනවා. ඒ ඇසුරු කිරීම ප‍්‍රත්‍යක්ෂ කරගෙන විඤ්ඤාණය පහළ වෙනවා.

ඒ විඤ්ඤාණය අනුරූප වූ නාම රූප පහළ කරනවා. එයින් අනුරූප සලායතන වෙනවා. එවිට අනුකූල මනෝ ස්පර්ශය සිද්ධ වෙනවා. එයින් නිවීම, සැනසීම සහිත නිරාමිස සුවය ගෙන දෙනවා. එහි ඇලීම, බැඳී සිටීම වෙනවා. මූල බීජ වූ නාම රූපයෝ යම් ස්වභාවයක් වී ද, ඊට අනුකූල වූ අනුරූපයෝ පහළ වෙනවා. එමඟින් බුද්ධ ගුණවතෙක් ජනිත වෙනවා. ඒ ගුණවතාට අනිච්ච, දුක්ඛ, අනත්ත සහිත දහම් ශ‍්‍රවණය වේ ද,  පූර්ව  භාග  ප‍්‍රතිපදා  පූර්ණ  නිසා  ඒකායන  වූ  රාගක්ෂය, ද්වේශක්ෂය, මෝහක්ෂය වූ මාර්ගය වැඞී ඵල ලබනවා. රහත් බවට පත් වෙනවා.

මිනිසාගේ ලොව පහළවීමක් ඇත් ද, ගස් ජාති, වැල් ජාති, කෘමි ජාති, තිරිසන් ජාති, මත්ස්‍ය ජාතී ආදී ලෙස අසම්බන්ධ ආකාර ස්වභාව මේ මිනිස් ජාතියේ දකින්නට නෑ. මිනිසාගේ ලෙයට ලෙය, මසට මස, සමට සම, ඉන්ද්‍රියට ඉන්ද්‍රිය බද්ධ වෙනවා. ඒ නිසා මිනිස් ජාතියේ ජාති සමානත්වයක් කායිකව පවතින බව බුදුන් වහන්සේ දේශණා කර තියෙනවා. නමුත් මුලා සහගත ලෝකයා මේ ගැන නොසිතා නොයෙක් දුශ්චරිත කරමින්ල  ධනයෙන්,  බලයෙන්,  නිලයෙන්  මත්වෙලා  තම වංශය උසස් ය, කුලය උසස් ය, ජාතිය උසස් ය, තත්ත්වය තානාන්තරය  සම්මතය  අනුව  මම  මෙසේ  වෙමියි,  සම්මත පනවාගෙන  මුලා  වූ  ජාති  අදහසක  ගැලී  සිටිනවා,  යන්නත් බුද්ධ  දේශණාවක්.  මේ  මුලා  ජාති  ස්වභාවයේ  පිහිටා  දෘෂ්ටි ගත වී සිටින තුරු නිවන් මඟ වැසෙන බවත් දැන එබැවින් නියම  ජාති  පහළ  වන  පටිච්ඡසමුප්පාද  දහම්  නියාය  දැන සසර සැරිසැරීමට හේතුවන ජාතිවල ඉපදීම මේ අත්භවයේදීම හටගන්නා  ජාති  තුළින්  දැන,  ඒ  ජාති  පහළ  කරන  අවිද්‍යා, තෘෂ්ණා,  උපාදාන  බවින්  ඊට  අනුරූප  වූ  නාම  රූප  ස්පර්ශ නොකර ඒවා පහ කරමින්, යම් ජාතියක පහළ වන්නේ ද, එහි ජරා මරණයෙන් පසු මතු පහළ නොවේ ද, ඒ ජාතිය ලබන ජාති  මාර්ගය  සොයා  දැන,  ඊට  පත්වීමට  සුදුසු  මඟ  වැඩිය යුතුයි.  මෙය  ද  බුද්ධ  දේශිත  ධර්ම  රටාව  අනුව  පෙන්වන පටිච්ඡසමුප්පාද විවරණයක් බව දැන ගන්න.

ප‍්‍රවෘත්ති කලාප හෙවත්, මිනිස් භවයේ මව් කුසින් උපතේ පටන් මහල්ලෙක්ව මිය යන තුරු අතර කාලය තුළ මිනිසා උපදින නියම ජාතිය හේතු ඵල අනුව ලැබෙන අයුරු බුදුන් වහන්සේ දේශණා කර තියෙනවා. ඒ තුළින් මරණින් මතු සසර ගමනට හේතුවන ජාති සහ ඒවාට හේතුවන මාර්ග, පටිච්ඡසමුප්පන්න ධර්ම මාර්ගයෙන් දැන වටහා ගෙන හේතු නිරෝධ ධර්ම නියායෙන් හැර දැමූ විට එබඳු උපතක් සිදු වෙන්නේ නෑ.  ඒ  සඳහා  අනුපූර්ව  ප‍්‍රතිපදාවෙන්  ආර්ය  ජාතිවල  පහළ විය  යුතුයි.  කෙළවර  අන්තිම  ජාතිය  වන  රහතන්  වහන්සේ හෙවත්, රහත් ජාතිය ලැබිය යුතුයි. මෙහිදී පහළ කර නො ගත යුතු ප‍්‍රවෘත්ති ජාති කිහිපයක් මෙසේ දක්වන්න පුළුවන්. මිනී මරුවා, හිංසකයා, හොරා, සල්ලාලයා, බේබද්දා, සූදුඅන්තුවා, බොරුකාරයා, කේලමා, ජඩයා, ප‍්‍රලාපයා, ලෝභයා, මෝඩයා, මේ  ප‍්‍රවෘත්ති  ජාති  අතර  ප‍්‍රධාන  ජාති  කිහිපයකි.  මේ  එක් එක් ජාතියක්  තුළ ස්වභාවයේ අඩු වැඩිතාවය අනුව අතුරු ජාතිකයෝ  බොහෝ  වෙනවා.  මේ  සියල්ලෝම  දුගති  හිමි ජාතිකයෝ යිල මතු දුගති උපතට හේතුකාරකයෝ යිල උපතක දී දුක් විපාකවලට හේතුකාරකයෝ යි. මේ ජාති පහළ වන්නේ මෙසේයි.

ප‍්‍රාණඝාතය පිළිබඳව යම් පි‍්‍රය බවක්ල ආස්වාද බවක්, ලාභ කීර්ති  ප‍්‍රශංසා  ලබන  බවට  හේතු  කාරක  බවක්  වුණොත්  ඒ කෙරෙහි ප‍්‍රිය මනාප වී ඒ සඳහා සොයනවා, විමසුම් කරනවා, සෙවූ දේ ලබනවා, දරුණු ආයුධ ඇසුරු කරනවා, සැඩ ගති ප‍්‍රිය  කරනවා,  ප‍්‍රාණඝාතයට  සුදුසු  අරමුණ,  පුද්ගලයා  මුණගැසෙනවා, ඊට අවස්ථාව සැලසෙනවා. මේවා මොනවා ද? ප‍්‍රාණඝාතය  සඳහා  හේතු  ගෙනදෙන  ආකාර,  ලිංග,  නිමිති, උද්දේශ, ප‍්‍රඥප්ති, පහළ කරන සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තුයි. ඇස, කන ආදී ඉන්ද්‍රියන් මඟින් ගන්නා මේවායේ ඇසුර නිසා ඉහත  කී  ආකාර,  ලිංග  ආදී  නාම  රූපයෝ  විඤ්ඤාණයේ බැස ගන්නවා. ඒ නාම රූප ප‍්‍රත්‍යයෙන් විඤ්ඤාණය වෙනවා. විඤ්ඤාණය නාම රූප පහළ කරනවා. ඒ නාම රූප නැවත විඤ්ඤාණ පහළ කරනවා. විඤ්ඤාණ බලවත් වෙනවා. ඒවා බලවත්  නාම  රූප  පහළ    කරනවා.  එවිට  ඇස,  කන,  දිව,
නාසය, ශරීරය, මනස අනුකූල කරමින් අනුරූපව සලායතන පහළ වෙනවා. එවිට අනුරූප ස්පර්ශ වෙනවා. යම් නාම රූප ධර්මයක්, යම් ස්වභාව ඇත්තේ ද, ඊට ආවේනික වින්දනය පහළ වෙනවා. එවිට ප‍්‍රිය මධුර ආස්වාද ලෙස භුක්ති විඳිමින් එහිම  ඇළුම්  කරනවා.  තණ්හාව  වෙනවා.  ඒ  නිසාම  තණ්හා කළ  තැන  තදින්  බැඳීම  හෙවත්,  උපාදාන  වෙනවා.  පවත්වා ගැනීමේ  බලාපොරොත්තු  දැඩි  වෙනවා.  එවිට  අනුරූප  වූ ස්වභාවයට සිත, කය, පරිසරය හැඩ ගැසෙනවා. ඒ පහළ කිරීම හෙවත්, භවය ගතියට අනුව සිදුවෙනවා. කටයුත්ත ක‍්‍රියාත්මක වෙනවා. ඵලය නිපද වී හමාරයි. දැන් මිනීමරුවා යන ජාතිය පහළ වුණා.

මේ  අනුසාරයෙන්  පටිච්ඡසමුප්පාද  ධර්ම  නියාමයෙන් ප‍්‍රවෘත්ති  ජාති  පහළ  වන  අයුරු  වටහාගත  යුතුයි.  එම  නිසා මිනීමරුවා  යන  ජාතිය  හේතු  ඵලයක්  පටිච්ඡු  සමුප්පන්නයි. දුකට හේතු වෙයි. ඊට ආසා කළත් උපන් සෑම ජාතියක්ම ජරා ව්‍යාධි මරණයන්ට ගොදුරු වෙනවා, වැනසෙනවා. සාරත්වයක් දෙන්නෙ නෑ. නිස්සාරයි. එය හේතුවට අනුකූල ඵලය මිසක් කැමති සේ පැවැත්විය හැක්කක් නොවෙයි. එසේම ගැලවීමට මඟක්  තියෙනවා.  කිසිවකුගේ  බලයකට,  අණසකට  යටත්  ව කිසිම  ජාතියකින්  තමාට  වෙන්  නොවිය  හැකි  ලෙස  බැඳ තබා නෑ. හේතුව ඇසුරු කිරීම තමා කළ දෙයක්. එවිට තමා ලෙස තිබුණේ හේතු ඵල ක‍්‍රියාවලිය යි. ඒ හේතුඵල ක‍්‍රියාවලිය අවිද්‍යා,  තණ්හා,  උපාදාන  නිසාම  ක‍්‍රියාත්මක  වුණා.  එයින් ක‍්‍රියාඵලය, තමා ලෙස හෙවත්, ප‍්‍රවෘත්ති ජාති ලෙස පහළ වී තියෙනවා.

අවිද්‍යා,  තණ්හා,  උපාදාන,  නිරෝධ  කරන  මඟ  බුදුන් වහන්සේ  දේශණා  කර  තියෙනවා.  ඒ  සත්‍ය  ලෝකෝත්තර මර්ගය කිසිම ශ්‍රේෂ්ඨ උතුමකුගේ නිෂ්පාදනයක් ද නොවෙයි. සිදුකර ඇත්තේ යටපත්ව අවිද්‍යමාන තිබූවක් මතුකර විද්‍යමාන කිරීම පමණයි. මිදීමට රුකුල් දෙන මහා ශක්තිය ද මතුකර තියෙනවා. එම ශක්තිය උපයෝගී  කර ගනිමින් ආර්ය මඟ ජාති  දැන  ඒ  මඟ,  ඒ  ජාති  ඇසුරෙන්  දුක්  කෙළවර  කරන රහත්  ඵලය  නමැති  අන්තිම  ජාතිය  කරා  යන  මඟ  පටිච්ඡසමුප්පන්නව  යා  යුතුයි.  සූවිසි  ගුණ  තුළින්  අනුගමනය  කළ යුතු  ඒ  මාර්ගය  වටහා  ගත්  විට  ඒ  ශාසනික  වූ  නාමරූප ස්පර්ශය  සුදුසු  පරිදි  ලැබෙනවා.  ඒ  අනුසාරයෙන්  පටිච්ඡසමුප්පන්නව ආර්ය ජාති පෙළ, පූර්ව භාග ප‍්‍රතිපදා වශයෙන් ද, ඒකායන මාර්ග වශයෙන් ද, ඵල වශයෙන් ද, පහළ වෙනවා. මේ විස්තරය පෙන්වූයේ චතුර් ආරක්ෂා පූර්ව භාග ප‍්‍රතිපදා
සිදුවන අයුරු පෙන්වීමට යි.

මෙසේ  බුදු  ගුණ  මෙනෙහි  කරන  විට  තමාට  වැටහෙන කොටස අනන්ත බුදු ගුණයේ අංශු මාත‍්‍රයක් බව වැටහෙනවා. එවිට අසමසම වූ ලොව්තුරා බුදුන් වහන්සේලාගේ ස්වභාවය වැටහෙමින් බුදුගුණ අනන්ත බව වැටහෙමින් සම්‍යක් ප‍්‍රයෝග වූ ද, අනන්ත සසරේ පටන් ලෞකිකත්වයට ඇදෙමින් තිබූ තණ්හා  උපාදානයෙන්  මෙල්ල  වෙනවා.  බුදුසරණ  ලැබී සැනසුමට, ඒකායන මාර්ගයට සුදුසු ප‍්‍රතිපදාව අනුගමනයට සුදුසු වූ ජාතියක පිහිටි බව වැටහෙනවා. දහම් ගුණ, සඟ ගුණ සිහි කිරීමත් මෙසේම යි. පිළිසරණත් ඒ විදිහටම ලැබෙනවා. මේ තුන් පිළිසරණ නැතිව අනන්ත සසරේ පටන් ආ තණ්හා උපාදාන මැඬපවත්වන්න බෑ. තමා නො දැනුවත්ව ම රැවටී රූපා  රූප  භවයන්හි  ස්වභාවයන්  ස්පර්ශ  කර  එහි  තණ්හා උපාදාන  බැඳී  නිවන  යැයි  රැවටෙනවා.  සතර  මංසංධියක සිටින  කෙනකුට  හතර  දෙසකට  පාරවල්  හතරක්  පේනවා. මංසංධිය මධ්‍යයයි. පාර තෝරා ගත  යුත්තේ  එතනදීයි.  මේ විදිහට  උපමා  තෝරා  ගන්න. එක්  මගක්  නිවනටයි.  එකක් කාම  ලෝකයටයි.  එකක්  රූප ලෝකයටයි.  අනෙක  අරූප ලෝකයටයි.

යම්  ලෝකයකට  යන පාරක්  ගන්නේ  නම්  ඒ  පාර  ඒ ලොවට මිස, වෙන ලෝකයකට නොවෙයි.  වෙන  ලෝකයකට යන්න නම් මොහොතකින් හෝ සිව්මංසලට ආපසු ඇවිත්  හැරී සුදුසු  පාරේ  යා  යුතුයි.  එසේ නොහැරී  නෑවිත්  කිසිවිටෙක අනික්  ලොවකට  ද,  නිවනට  ද, යන්න බෑ. බුදුන් වහන්සේ මහා බ‍්‍රහ්මයාට  ධර්ම  දේශණා  කළත් හැරෙන්න බැරි වූ නිසා තවමත් බඹලොව තණ්හා උපාදාන භව ජාති පහළ කරමින් ඉන්නවා.

එකල  රූප  ලෝක  හා අරූප  ලෝක  මාර්ගයන්හි  ගිය  යෝගීන් බුදුන් වහන්සේට හෝ නිවන් මඟට සම්බන්ධව නිවන් මඟට  නොහැරී  උන්වහන්සේ  ආත්මය  වනසන  භයානක කෙනකු ලෙසත්, ප‍්‍රකාශ කළා. අන්‍ය මාර්ග ඇසුරෙන් සිදුවන තණ්හා  උපාදානයෝ  කෙතරම්  රැවටීම්  සහගත  ද,  මුලා සහගත ද, යන්න මෙයින් පැහැදිලි වෙනවා. සිල්වත් වූ පළියට ධ්‍යානලාභී  වූ  පළියට  තණ්හා  උපාදානයෝ  මැඬලන්න  බෑ. අවිද්‍යාව,  අන්ධ  බව  නැති  කරන්න  බෑ.  සෝතාපන්න  නම් වූ  ඇස්  ඇති  ජාතියට  පත්නොවුණ  හොත්  ශකයාණන් වහන්සේලා  කොතෙක්  දහම්  නැණපහන්  දැල්වූවත්  අන්ධ බැවින් නොපෙනෙනු ඇත. අත ගා ලැබූ ස්පර්ශයකට ම මුලා වෙලා  රැවටෙනවා  මිසක්,  ඇස්  නැත්තෙක්  කවදා  නම්  රූ සටහන් දකී ද? ඇස් පහළ කරගත් සියල්ලෝ යම් දිනක බුදු ගුණ ගරු කළ අයම ය. අපදාන පාලියේ ථේරාපදානයෝ මීට සාක්ෂි දරනවා. ලොව්තුරා බුදුවීමට ද, බුද්ධ ප‍්‍රසාදය මුල් විය යුතුයි. මේ බුදු ගුණයෙහි අංශු මාත‍්‍ර හෝ ප‍්‍රසාදයක් පූර්ව භාග ප‍්‍රතිපදාවේ  මුළටම  පහළ  වන  දිනයක්  ඇත්  ද,  ඒ  අවස්ථාව මේ භවයට වසර කල්ප ගණනකට ඈතයි. දහම් ඇස පහළ වන්නේ මෙසේ කල්ප ගණනක් ගිය මූලික ගුණයේ වැඩුණු අයට  යි.  ඒ  පූර්ව  භාග  ප‍්‍රතිපදාවේ  කල්ප  ගණනකට  පෙර මුල්  වූ  තෙරුවන්  කෙරෙහි  ප‍්‍රසාද  අවස්ථා  ද  සත්වයෙකුට ලබන්නට හේතු වාසනා තිබිය යුතුයි. එම හේතු වාසනාවට ද  ඈත  අතීත  වූ  මුලක්  තියෙනවා.  එය  නම්  ආර්ය  ගුණයට ළඟම ඇති ලෞකිකත්වයේ මව්පියන්ට ගරු කර ලබන ගුණ පැහැදීමයි.

මෙහෙම කිව්වාම අධෛර්යමත් නොවිය යුතුයි. බුදු, දම්, සඟ ගුණ අසන්නට, දර්ශණය කරන්නට, සිත්හි පවත්වන්නට ඔබට යම් ආසාවක් ඇත් ද, ඒ ගුණය කෙරෙහි සිත් බැඳී, එබඳු ගුණවතුන් ඇසුරක් ඔබට ද ඇත් ද, ඔබ මීට කල්ප ගණනක පටන් පූර්ව භාග ප‍්‍රතිපදාවක ආරම්භය ඇති  වටිනා  පින්වතෙක්  බව වටහා  ගන්න.  තෙරුවන් හි  පැහැදෙන,  ගුණ  කියන, ගුණයෙහි  බැස  සිටින  ඔබගේ නිවන දහම් ඇස ඒ මොහොතේ පහළ වන්නට තරම් අත ළඟයි. මේ  මඟ  නො  වැඩූ,  සසර  එම වාසනාව  නො  ලැබූවෙකුට තෙරුවන්  ගුණය  කොතෙක් විද්‍යමාන  වූවත්,  අංශුමාත‍්‍ර ප‍්‍රසාදයක්  පහළ  වෙන්නේ  නෑ. එබන්දෝ  කෙසේවත්  ගුණ ගරුක වෙන්නෙත් නෑ.

එම නිසා එබඳු අය දැක්කත් අසන්න  ලැබුණත්  ඒ  ගැන කම්පා ද නොවිය යුතුයි. අවමන් ද  නො  කළ  යුතුයි.  මුණින් පෙරලෙන්නටවත් බැරි දරුවෙක් දැක මොහුට දුවන්නට බැරි ඇයි දැයි  අහනවා  නම්,  හිතනවා නම්, එහෙම අහන හිතන තමා ද  සිටින්නේ  මහ  මුලාවක  බව දැනගත යුතුයි. මේ තමයි උපේක්ෂා විය යුතු තැන්. ශාසනික වූ කරුණා මාර්ගයෙන් කවදා හෝ යහමඟට පත් වේවායි ඒ අයට ද, ආශිර්වාද පැතිරවිය යුතුයි. ඒක තෙරුවන් ගුණ දරන උතුමන්ගේ සිරිතක්. මේ  ගුණ  තුළට  ඇතුළු  වන  උතුමන්ට  එම  නම්වලින් ආමන්ත‍්‍රණය  කිරීමත්  සිදුකරන්නක්.  බුදුගුණ  කියන  විට බුදුන් වහන්සේට පමණක් අයිති ගුණ කියාත්, දම් ගුණ ධර්ම රත්නයට පමණක් අයිති ගුණ කියාත්, සඟ ගුණ සංඝරත්නයට පමණක්  හිමි  ගුණ  කියාත්,  සමහර  අය  සිතනවා.  නමුත්  එය එසේ නොවෙයි. මේ අනන්ත වූ ගුණස්කන්ධ මාලාවන් ඒ ඒ මට්ටමින් ආර්ය පුද්ගලයන්ටත් තියෙනවා. ශේෂමාත‍්‍රව අනුමාන වශයෙන්  පෘතඡ්ජන  ගෝත‍්‍රය  නො  ඉක්ම  වූ  බෞද්ධයන්ටත් තියෙනවා. (බ‍්‍රහ්මජාල සූත‍්‍රය) එසේ නොමැතිව බුදුගුණ නවය බුදුන්වහන්සේට පමණක් නම්, ඒ ගුණ නාමයන්ගෙන් රහතන් වහන්සේලාට ආමන්ත‍්‍රණය නොකෙරිය යුතුයි. බුදුන් වහන්සේ ද රහතන් වහන්සේලාගේ ගුණයන්ගෙන් පූර්ණයි. නවමහා සඟ ගුණයන්ගෙන්  පූර්ණයි.  ධජග්ග  සූත‍්‍රයේ  දී  ශාසන  අනුගාමික පින්වතුන්ට බියක් තැති ගැන්මක්, ලොමු දැහැගැන්මක් ඇති වුවොත්, බුදුගුණ, දම් ගුණ, සඟ ගුණ හෝ සිහි කරන ලෙසත් එවිට සියලූ භය තැති ගැනුම්, ලොමු දැහැගැනීම් දුරුවන බවත් පෙන්වා, ඊට හේතුව තථාගතයන් වහන්සේ කිසිවිට කිසිවකට බිය තැතිගැනුම් පලායාම් නැති නිසා බවත් දේශණා කර තියෙනවා. එයින් හැෙඟන්නේ සඟ ගුණ, නමුත් තථාගත ගුණ ම බවයි. තථාගතයන් වහන්සේ සූවිසි තුණුරුවන් ගුණයෙන්ම පූර්ණයි.

කෙබඳු මට්ටමකින් හෝ ගුණයක් තුළ ඇති අනන්ත ගුණ මාලාවන්ගෙන්  යම්  මට්ටමක්  හෙවත්  කොටසක්  දරන්නේ නම්  ගුණ  දරන  උතුමන්ගේ  සංඛ්‍යාවට  වැටෙන  බව  බුදුන් වහන්සේ දේශණා කර තියෙන්නේ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න,  සාමීචිපටිපන්න  යන  මේ  ගුණ,  සංඝයාට පවතින බවත්, සංඝත්වයේ ගුණ බවත්, ඒ ගුණ දරන උතුමන් පුද්ගල  වශයෙන්  අට  කොටසක්  ද  මාර්ගඵල  වශයෙන් යුගල ලෙස ගතහොත් හතර කොටසක් ද ලෙසත්, දේශනා කරමිනුයි. එහෙත් සෝතාපන්න පුද්ගලයාට වඩා මෙම ගුණ  සකෘදාගාමී  පුද්ගලයා ළඟ වැඩියි. අනාගාමී උතුමා ළඟ ඊටත් වැඩියි. රහතන් වහන්සේ ළඟ ඊටත් වැඩියි. බුදුන් වහන්සේ ළඟ  පූර්ණයි.  එහෙත්  ප‍්‍රත්‍යක්ෂ  ගුණ  ටිකක්  තිබුණත්  සංඝ නමින්  අමතනවා.  මේ  පරමාර්ථ  සංඝත්වයයි,  නියමාකාර සංඝත්වයයි.  ඒකට  ගිහි,  පැවිදි  භේදයක්  හෝ  ස්ත‍්‍රී  පුරුෂ භේදයක් නෑ.

රහතන්  වහන්සේලා  ළඟ  බුදුගුණවල  අරහං  ගුණයත් තියෙනවා.  එම  නිසා  අරහං  කියා  රහතන්  වහන්සේටත් ආමන්ත‍්‍රණය කරනවා. ඒ බව මඡ්ජිම නිකාය (1) (බු.ජ.ග‍්‍ර.මා) 650 පිටුවේ එන මහා අස්සපුර සූත‍්‍රයේ 33 ගාථාවේ මෙසේ සඳහන්  වෙනවා.

කථංච  භික්ඛවේ  භික්ඛු  අරහං  හෝති ආරකාස්ස  හොන්ති  පාපකා  අකුසලා  ධම්මා  සංකිලේසිකා පොනොභවිකා සදරා දුක්ඛ විපාකා ආයතිං ජාති ජරා මරණියා ඒවං ඛො භික්ඛු අරහං හෝති

එසේම  බුදුගුණයක්  වූ  සුගත  ගුණය  ද  රහතන් වහන්සේලාටත්  තියෙනවා.  ඒ  නමින්  ද  අමතනවා.  ඒ  බව අංගුත්තර නිකායේ (1) ආනන්ද වර්ගයෙහි දක්වා තියෙනවා.

ස්වාමීනී  ඔබ  වහන්සේලාගේ  රාගය,  ද්වේශය,  මෝහය, ප‍්‍රහීන විය. මතු නුපදින ස්වභාව ඇත්තාහුය. ඔබ වහන්සේලා ලෝකයෙහි සුගත වන්නාහුය.

මේ විදිහට රහතන් වහන්සේලා ළඟ බුදු, දම්, සඟ ගුණ පිහිටා තියෙනවා. ඊට හේතුව උන්වහන්සේලා ආර්ය ගුණය තුළින් ඒ ගුණ මාලාවන් දරමින් සූවිසි මහා ගුණ මාලාවන්හි එල්බෙමින් ගොස් රහත් ඵලය ලබා ඇති නිසයි. ගුණ මෙනෙහි කරමින් ඒ ගුණ අනන්ත බව දකිමින් සයුරෙන් ගත් ජල දෝතක් මෙන්  ගුණ  දරාගෙන  නිවන්    ගමනට  සෑහෙන  ගුණ  මාලා ගනිමින් දරාගෙන ගුණවතෙක් වෙමින් රහතන් වහන්සේ යන ආර්ය  ශ්‍රේෂ්ඨ  ජාතියට  පත්වනතුරු  සූවිසි  ගුණ  තුළ  ගමන් කොට බිය තැති ගැනුම්, ලොමු දැහැගැන්වීම් නැතිව ආර්ය මාර්ගය  පූර්ණ  කරනවා.  පූර්ණ  කරනතුරු  සරණාගමනය  ද රහත් ඵලයෙන් පූර්ණ වූ විට සරණගත බවට ද පත් වෙනවා. මේ  විදිහට  තිසරණය  වටහා  ගෙන  බුද්ධානුස්සතිය  දරාගත් විට එය මහත් වූ ආරක්ෂාවක් වෙනවා.
වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශනා කරන ලද සැඟවුණු දහම් කරුණු ඇසුරින් සකස් කළේ:
නීතිඥ චන්දන සිරිවර්ධන

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *