මෙත් වැඞීමේ ආනිසංස ඇස් පනාපිටම ලැබූ හැටි

පසුගිය කලාපයෙන් –  භෞතික ලෝකයෙන් ඔබ්බට ගිය ගුප්ත ලොව අත්දැකීම්වලින් බිඳක්…… එතැන් සිට…

මා පූගොඩ පෙහෙකම්හලේ සේවය කරන කාලයේ තමයි විවාහයකට කටයුතු සිද්ධ වුනේ. ඒ 1977 වසරේදීයි. මවගේද බලවත් ඇවිටිලි කිරීම මත සුදුසු සුචරිත කාන්තාවක් හමුවුනොත් විවාහයක් බලාපොරොත්තුවෙන් පසු වුනා. මගේ විවාහ පොරොන්දුවත් අමුතුම එකක්. විවාහ ජීවිතයක් ගත කළත් ඇයටද කරදරයක් නොවන මගක් සලසා යම් දිනක මා පැවිදි වන බව ඇයට පැවසුවා. ඇයද තමාගේ අකමැත්තක් නොමැති බවත්, තමාද එසේම පැවිදි වන බවත් පැවසුවා. මේ අදහස් ගැලපීම විතරයි අපේ පොරොන්දම් බැලීම වුනේ. මීට වඩා ජ්‍යොතිෂ කටයුතු කිසිවක් තිබුණෙ නෑ. නමුත් සාම්ප‍්‍රදායානුකූල මංගල උත්සවයකින් විවාහය සිද්ධ වුනා.

අපට දරුවන් දෙදෙනෙක් හිටියා. වැඩිමලා ගැහැණු දරුවෙක්. බාලයා පිරිමි දරුවෙක්. මේ කාලයේ දිනක් පුදුම සිදුවීමක් වුනා. බාල දරුවාට අවුරුද්දක් වයස නැති තරම්. එදින මා පූගොඩ පෙහෙකම්හලේ රාත‍්‍රී සේවය කරන දිනයක්. බිරිඳ සහ දරුවා නිවසේ කාමරයක බිම පැදුරක් දාගෙන නිදාගෙනයි හිටියේ. මවද සාලයේ ඇඳක නිදි. මේ රාත‍්‍රියේ මහා වැස්සක් ඇද හැලෙන වෙලාවක පෙර දැක නැති නාඳුනන උස මහත ලස්සන කාන්තාවක් තමා දෙස බලා සිටින හැටි බිරිඳ දැක එකපාරටම “අම්මේ, අම්මේ” කියා කෑගසා තියෙනවා. ඒ මොහොතේම

අනතුරක් අත ළඟ, දරුවා ඉවතට ගන්න

යනුවෙන් පවසා එම කාන්තාව අතුරුදන් වුනාලූ. මගේ මවද “අම්මේ” කියන හඬට අවදි වී බලන විට බිරිඳ දරුවාද රැුගෙන ඉවතට ගොස් සිටියා. දැන් තුන්දෙනාම ඇඳ මතට වෙලා බලාගෙන ඉන්නකොට ඒ සමගම මහා හඬින් හෙණ දෙකක් එක ළඟම පුපුරා ගිහින් තිබුණා. ඉස්තෝප්පුවේ සවිකර තිබූ ප‍්‍රධාන පේනුව (Main Switch) ආදී විදුලි උපකරණ අඟලේ පමණ කෑලිවලට කැඞී හැමතැනම විසිරිලා තිබුණා. විදුලි බල්බ පුපුරා කෑලි කැඞී ගොස් තිබුණා. දරුවා සිටි තැන බල්බය පුපුරා ෂේඞ් නමැති ආවරණයේ කම්බිද උණුවී ඔවුන් සිටි තැන බිමට පතිත වී තිබුණා. ඒත් නිවසේ සිටි මව, බිරිඳ හා දරුවාට කිසිම ආපදාවක් වෙලා තිබුණෙ නෑ.

මේ ගුප්ත රැකවරණය හරි පුදුමයක්. ස්වභාව ධර්මයේ සිද්ධියක් වන අකුණු ගැසීම කල්තියා දැන ගෙන අනතුරු අඟවා දරුවාට හා බිරිඳට ආරක්ෂාව සැලසුවේ කව්ද? මේ කියපු අවස්ථාව මා මෙත් කමටහන සජ්ඣායනා කරමින් සක්මන් කරමින් සේවයේ යෙදුන වෙලාවක්. මෙත් වඩන අයට ලැබෙන ආනිසංස එකොළහෙන් එකක් වන “දේවතා රක්ඛන්ති” යන්න ක‍්‍රියාත්මක වුණ බව මට හැඟී ගියා.

මෙකල යම් අවස්ථාවක තවත් විශේෂ සිද්ධියක් මේ ආකාරයෙන් සිද්ධ වුනා. මා ජීවත්වන ගමට ආසන්නයේම පිහිටි ගමක් තමයි ඉඳුරාන කියන්නේ. මා පිළිබඳව යම් දැනුමක් ඇතිව සිටි එම ගම්වාසීන් එහි සිදු කළ සමිති සභා රැස්වීමකට ධර්මානුකූල අනුසාසනාවක් සිදුකරන ලෙස මා හට ඇරයුමක් කළා. එදින මා සිදු කළ අනුසාසනාව වූයේ, අනයොන්‍ය සහයෝගයෙන් කටයුතු කරන ලෙසත්, එවන් විටෙක තමන්ට කරදරයක් බාධකයක්  සිදුකෙරෙන මගක් දුටුවොත් ඊට අදාල පුද්ගලයන්ට ඒ අයගේ නම් සිහිකර නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා කියා අවංකව මෘදු සිතින් ඒ අය යොමුකර මෙත් වඩන ලෙසත්ය’ මේ රැස්වීමට ගමේ නම් දරා සිටි රාළහාමි කෙනෙකුත් සහභාගි වුනා. එතුමා තවත් කෙනෙක් සමග මෙසේ කියනවා මට යන්තමට ඇසුනා.

ඔය කියන ඒවා කරන්න ගියොත් මේ ඉන්න එවුන් ඉහටත් පහරයි.

මේ තමයි ඒ ඇසුන හඬ. මේ සිද්ධියෙන් පසු සතියකින් පමණ මා හට යම් විශේෂ උවමනාවකට එතුමාගේ නිවසට යාමට අවශ්‍ය වුණා. මා මීට පෙර කිසි දිනක එහි ගොස් තිබුණෙ නෑ. මේ රාළහාමි හිටියේ ගෝණගල්දෙනිය කඩ මණ්ඩියේ ආයුර්වේද වෛද්‍ය සේවයක්ද කරමිනුයි. එතුමා හමුවී මාගේ උවමනාව කී විට, ඉඳුරානේ නිවසට ගොස් එතුමා කී  බව පවසා එය ඉටුකරගන්නා ලෙස දැනුම් දුන්නා.

මා එහි ගිය විට දැකගන්න ලැබුණේ විශාල නිවසක්. ඉදිරිපස සිට කතා කළාට පිටුපස පෙදෙසට හඬ නොඇසෙන තරම් විශාලයි. පාරේ සිට වත්තට ඇතුළුවන තැන තිබුණ ලොකු ගේට්ටුව වසා දමා තිබුණා. මා එතැන සිට “රාළහාමි” කියා දෙතුන් වතාවක් හයියෙන් කෑගසා කීවත් කිසිවෙක් පැමිණියේ නෑ. කවුරුවත් පේන්න නොසිටි නිසා ගේට්ටුව අඩි එකහමාරක් පමණ විවෘත කර ටිකක් ඇතුළු වුනා. කොයි මොහොතේ ආවාදැයි හිතන්න තරම් වෙලාවක්වත් නොමැතිව ලොකු ඇල්ශේෂන් බල්ලෙක් එතැනට කඩා පැන්නා. ඌ බුරපු හඬ හරියට වෙඩි හඬක් වගෙයි. මට හැරෙන්නවත් වෙලාවක් තිබුණෙ නෑ. කළ යුතු එකම දෙය සුපුරුදු මෙත් වැඞීමයි.

මේ බලූහාමි නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා

කියා දිගටම සිතින් කියාගෙන ගියා. ඌ බුරමින් මගේ මුහුණ දෙස බලා කකුල් දෙකෙන් ඉස්සී මගේ වම් අතේ මැණික් කටුවට උඩින් කටින් අල්ලාගෙන පහත් වුණා. මමත් මෙත් වඩමින්, අත ඒ අනුව පහත් කළා. මා හට නොරිදෙන ලෙස අල්ලාගෙන ඌ පසුපසට යමින් මා ඇදගෙන ගේ ඇතුලට ගියා.

පළමුව තිබුණේ ඉස්තෝප්පුවක්. එහි විවිධ මට්ටමේ පුටු කිහිපයක්ද තිබුණා. ලොකු දිගෑදෙන පුටුවක් වෙතට මා හරවා පුටුවට හොම්බෙන් හෙමින් තල්ලූකර පුටු බාපත් දෙකට අත්දෙක තබා ඌ හයියෙන් බුරන්න පටන් ගත්තා. එය හරියට නිවැසියන්ට අඬගසන්නාක් වගෙයි. මේ අතරතුර මා නොනවත්වාම මෙත් වැඩුවා. එවිට ගේ තුළින් නිවැසියන් ඇවිත් උගේ නම කියා බලූහාමි ඉවත් කර පුදුමවී මා දෙස බලා

කොහොමද ගෙට ආවේ? හැපුවෙ නැද්දැ

යි පුදුමයෙන් ඇසුවා. උගේ දත් පහර යාන්තමට වැදී මගේ අතේ හම එබී තිබුණා. බලූ කෙලද අතේ තැවරී තිබුණා. මා ඔවුන්ට සිද්ධිය විස්තර කළා.

මේක මිනී කන බල්ලෙක්! මේ සිද්ධිය මෙහෙම වුනේ කොහොමද කියලා අපට හිතාගන්නවත් බෑ

කියා ගෙදර පිරිස කියා සිටියා. මා ගිය කාරණයද සිදුකරගෙන ඒ නිවසින් පිටත් වුණා. රාළහාමි හවස ගෙදර ගියපසු මේ සිද්ධිය නිවැසියන් පැවසූ විට එතුමා කියා ඇත්තේ එදා කළ කතාවේදී මා කියපු කාරණය ඔප්පු කරන්නටම සිදුවූ පුදුම සිද්ධියක් කියලයි.

මේ කාලයේම තවත් දිනක වත්ත කෙළවරේ පිහිටි කජු ගහක කජු කඩන්න මා ගිය අවස්ථාවක හරහට ඇදී ගිය ලොකු කජු අත්තක බොහෝ කජු තියෙනවා දැක්කා. ගසට නැගගත් මා එතැන අතු බෙදුණු තැනක් දැක, එතැනට ගමන් කළේ බොහෝ සෙමෙන්. අත්තේ මැදක් යනවිට මැදින් ඉහළට නැගුණු තවත් කජු අත්තක් තිබුණා. එයද පසුකර කජු අතු බෙදුණු හංදිය ළඟ ඉඳගෙන කුඩා බලට්ටක් (කරුවක්) බැඳගත් ලී කෝටුවකින් කජු කඩන්න පටන් ගත්තා. ගතවුනේ සුළු මොහොතයි. දිමියන් දහස් ගණනින් කජු අත්ත වසාගෙන මා වෙතට එන්න පටන් ගත්තා. පිටුපස බලන විට උඩට විහිදුණු අත්ත දිගේද එලෙසම බැස එන විශාල දිමි රංචුවක්. දැන් මාහට බහින්න කිසිම ක‍්‍රමයක් නෑ. බැස්සොත් දිමියන්ද පොඩිපට්ටම් වී උන් මගේ මුළු ඇඟම වසාගෙන කන්න පුළුවන්. මට කළ හැකි කිසිම දෙයක් නෑ.

මේ දිමියන් නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා

යනුවෙන් රහසින් මෙන් එකදිගටම කියාගෙන ගියා. මා වෙතට පැමිණෙන වේගය බාල කරමින් දෙපසට සිටි දිමි රංචුව ටිකෙන් ටික උන්ගේ හිස ඇඟ ගස්සමින් ආපසු යන්න පටන් ගත්තා. මම උන්ට මේ විදියට මෙත් වඩමින් විනාඩි 15 ක් පමණ ආපසු ගාටමින් අත්තෙන් බිමට බැස්සා. එක දිමියෙක්වත් මළේවත් දෂ්ඨ කළේවත් නෑ. මේ විස්තර මෙසේ පවසන්නේ කිසිම ලාභ, කීර්ති, ප‍්‍රශංසාවක් ලැබීමේ නීච අරමුණින් නොව, මේ මෙත් භාවනාව වැඞීමේදී ඇතිවන සත්‍ය වූ ආරක්ෂාවේ ප‍්‍රතිඵල ලොවට කියා පෑමටයි.

මේ පෙන්වන්නේ තවත් එබඳුම විශේෂ සිදුවීමක්. අපේ ගෙවත්තේ වී තුන් ලාහක පමණ වපසරිය ඇති කුඩා කුඹුරු කැබැල්ලක් තිබුණා. ඒ දිනවල එම කුඹුරු ගොවිතැන් කළේ මමයි. දවසක් කුඹුර වටේ කැලෑ රොදවල් සුද්ධ කරන විට එක ගසක් මුල ලොකු කඩි ගුලක් තිබුණා. මේ කඩිගුල් අස්සේ වැල් වගයක් මුල් ඇදල තිබුණා. මෙතන සුද්ධ කරන කොට ඒ කඩි ගුල් ඇවිස්සුනා. මම සුද්ධ කිරීම නවත්වා මේ කඩි නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා කියමින් රහසින් මෙත් වඩමින් කඩින්ට නොරිදෙන සේ දකුණු කකුල ඒ කඩි ගුල උඩින් තිබ්බා. කඩියන් මගේ පිටිපතුල වසා ගෙන අවසානයේ දණහිස තෙක් වසා ගත්තා. මම නොනවත්වාම මෙත් වැඩුවා. එක කඩියෙක්වත් දෂ්ඨ කළේ නෑ. මෙත් වැඞීම විනාඩි 5 ක් පමණ කර මේ එහි අනුහසක්ම බව වටහාගෙන හෙමින් කකුල ඔසවා ටික ටික ගසා දැම්මා. කඩි ඉවතට වැටුණා.

ඉන්පසු දවසක අම්මාටද මේ සිද්ධිය පෙන්නුවා නම් සතුටු වී, අත්දැකීම ඇහැටම දැක විශ්වාසය ඇතිවී, මවත් මෙත් වැඞීම උවමනාවෙන්ම කරගෙන යයි කියා එහෙම වුනොත් ඇයටද සිදුවන යහපත ගැන සිතා, මව මට තේ එකක් හදාගෙන ආපු වෙලාවක

අම්මේ මෙත් වඩන කොට කඩි දෂ්ඨ කරන්නෙ නැහැනේ; අම්මටත් ඒක පෙන්නන්නද?

කියලා අර වැල්ටික ටිකක් ඇවිස්සුවා. එතකොටම කඩිගුලත් ඇවිස්සුනා. මම කලින් වගේම මෙත් වඩමින් කඩිගුල මත හෙමින් අඩිය තිබ්බා. පෙර දින වගේම උඩුපතුල සහ දණහිස දක්වා කඩින් වහ ගත්තා.

උන් හපන්නෙ නැහැ. මේ බලන්නකො අම්මේ මෙත් වඩන අයට කොච්චර ආනිසංස ලැබෙනවද?

කියල මවට කිව්වා. මවගේ මුහුණ හැකිලූනා. “අනේ උඹේ සීලෙ” කියා කැස්සක්ද කැස්සා. ඒ වෙලාවෙම කඩි සීයක් විතර කකුලට විද්දා. මම තදින් කකුල ගසා දාල ඉවත්වුනා. සමහර අයට මෙහෙම දේවල් පෙන්වන්න හොඳ නැති නිසා මෙහෙම වෙන්න ඇති කියල මට එදා හිතුනා.

මම මෙබඳු මෙත් වැඞීමේ අනුහස් ගැන එක්තරා ස්වාමීන් වහන්සේ නමකට කිව්වා. උන්වහන්සේ නිතර භාවනානුයෝගීව වෙසෙන හිමිනමක්. ඒ කාලේ උන්වහන්සේ වැඩ සිටියේ පුරාණ ගල්ලෙනක. එහි පැත්තක ගල්තලාවක් සහ ඉඩමක් තිබුණා. ඒ ඉඩමේ එළුවො රංචුවක් නිතර නිතර ගැවසුණා. ඒ රංචුවේ සැර එලිච්චියක් හිටියා. උන්වහන්සේ දින කිහිපයක් ඒ එලිච්චිව අරමුණු කරලා එසේ මෙත් වඩල තියෙනවා. දින දෙක තුනක් යනකොට එලිච්චි හාමුදුරුවො දිහා බලාගෙන ටික ටික ළං වෙලා, දවසක් උන්වහන්සේගේ ඇඟ ලෙවකාල තිබුණා. ප‍්‍රතිඵල තමන්ම වටහාගත් උන්වහන්සේ සියලූ සතුන්ටම මෙත් වැඞීම කොච්චර ආනිසංසද කියලා නිතර මෙත් වඩන්න පටන් ගත්තා.

මේ කරුණුු මේ විදිහට පෙන්වන්නේ, මෙය මට විතරක් සීමාවෙච්ච දෙයක් නොවෙයි, මේ ආනිසංස අනිත් අයටත් ලබාගන්න පුළුවන් බව පෙන්වන්නයි. මේ නිසා ඔබ සැමත් අවංකව අත්හදා බලන්න. බොහෝ විට මේ ප‍්‍රතිඵල අත්දකින්න පුළුවන්. මෙබඳු අත්දැකීම් ඔබටත් ලැබුණොත් හිත කියන්නේ කොච්චර නම් යහපතක් කරගත හැකි දෙයක්ද කියා වැටහෙනු ඇති. “හොඳ දේ කිිරීමෙන් හොඳ ප‍්‍රතිඵල ලැබෙනවා” කියන මේ සත් බස ඔබටම සැක හැර අත්දකින්න පුළුවන් වේවි.

තවත් වටිනා අත්දැකීම් මේ විදිහට පවසන්නේ පරලොවක් ස්ථීරවම ඇති බවත්, දෙවිවරු බඹවරු මෙන්ම පහත් අමනුෂ්‍ය කොට්ඨාස, සූක්‍ෂම ශරීර සහිතව අධිමානසික බලයකින් දැකගත හැකි බවටත් මා ලැබූ අත්දැකීම් ඔබ සැමටත් කියා දෙන්නයි. මෙලොව, පරලොව තත්වාකාරයෙන් දැන පවසන මහණ බමුණන් ඇත යනු දසවස්තුක සම්මා දිට්ඨියෙන් එකක්. එබඳු උතුමන් ලෝකයේ බොහෝ හිටියොත් අපමණ ජනතාවක් යහමගට යොමුවී ලෞකික සම්මා දිට්ඨිය පළමුවෙන්ම ලබනවා ඇති. එබඳු පින්වතුන්ටයි ලෝකෝත්තර වූ ආර්ය සම්මා දිට්ඨියට පසුතලය සකස් වෙන්නේ. පළමුව මේ උදාහරණය අරගෙන බලමු.

ඔබ කිසි කලෙක නොගිය ඇමරිකාව, රුසියාව, එංගලන්තය ආදී රටවල් එසේ ඇති බවත්, එ්වායේ කාලගුණ දේශගුණ ආදියත් විශ්වාස කරන්නේ කෙසේද? ඒ පිළිබඳව දන්නා විශ්වාසවන්ත බොහෝ දෙනෙකුගේ විස්තර කිරීම් මත නේද? එහෙම දෙයක් ගැන කීවේ එක්කෙනෙක් දෙන්නෙක් හෝ තුන්හතර දෙනෙක් පමණක් නම්, එබඳු රටවල් ඇති බවට අචල විශ්වාසයක් ඔබට ඇති වෙයිද? එය බොහෝ දුරට එසේ සිදු නොවනු ඇත.

අද බොහෝ පිරිස් රටරටවල ඇවිද ඇවිත් තොරතුරු විස්තර කරනවිට ඒ තොරතුරු කිසිම සැකයක් නැතිව විශ්වාස කරන්නා සේ, බුදුපියාණන් වහන්සේ මෙන්ම අරිහතුන් වහන්සේලා වැඩ සිටි කාලවලත් මෙලොව, පරලොව, පින් පව්, දෙව්ලොව, බඹ ලොව, අපාය, පේ‍්‍රත ලෝක… ආදිය ගැන කරපු විස්තර කිසි සැකයක් නැතිව බොහෝ පිරිස් විශ්වාස කළා. ආධ්‍යාත්මික ගුප්ත හැකියාවන් ලබන්නත්, ඒ සඳහා ඇති මාධ්‍ය අනුගමනය කරන්නත් මනා විශ්වාසයක්, සත්‍යයි කියන අදහසක් ඇතිවිය යුතුයි. එවිට එබඳු පින්වතුන් නිසා ඉහත කී විශ්වාසයන් ජනතාව අතර තහවුරු වූ විට දසවස්තුක සම්මා දිට්ඨිය අවංකවම ඇති පින්වත් පිරිසක් ලොව බිහිවීමට හේතුවෙනවා.

සද්ධා බීජං තපෝ වුට්ඨී….

ආදී ලෙස දේශනා කර ඇත්තේ මේ නිසයි.

මා අත්දැක ඇති ගුප්ත දේවල් පෙන්වා දෙන්නේත් ඉහත කී යහපත් අභිලාෂයෙන් බව අවංකව ප‍්‍රකාශ කරන අතර මේ පෙන්වාදීම්වලට, අමතරව එකතු කළ එකදු වර්ණනාවක් හෝ නැති බවත්, ඒ අත්දැකපු ගුප්ත දේවල් එ් ආකාරයෙන්ම ප‍්‍රකාශ කරන බවත් අවංකවත් නිහතමානීවත් මම ප‍්‍රකාශ කරන්න කැමතියි. ගුප්ත ලෙස යම් යම් සිදුවීම් ප‍්‍රකාශ කරන විවිධ ක‍්‍රම පොත්පත්වලත් සඳහන් වෙනවා. මේවා මෙකල අත්දැක ඇති අය කොතෙක් ඇත්දැයි විමසා බැලීමට මා නැඹුරු වුනේ ගැටවර වයසේ පටන්මයි. කුඩා කල පටන් අත්දැකපු දේවල්ද ප‍්‍රයෝජනයට ගනිමින් තවත් එබඳු අය ගැන සොයා බලන්න එකල මා පෙලඹී සිටියා.

ඒ කාලයේ ලොව ගුප්ත දේවල්වලට අයිති අංජනම් බැලීම, පේන කීම ආදී දේවල්වල අවංකවම සත්‍ය ක‍්‍රමවේද ඇත්දැයි සොයන්න විමසන්න යොමුව සිටි නිසා, කෑගල්ල පෙදෙස පසුකර යනවිට යම් ගමක එබඳු කෙනෙක් සිටින බවට අප නිවැසියන්ට ආරංචියක් ලැබී එතුමා සොයා ගිය ඒ පිරිසට කියපු කතාවක් මටත් දැනගන්න ලැබුණා. නිවසට එන පාර, පාර අයිනේ තිබූ ගල්ගොඩවල්, වත්තට ඇතුලූවන පාලම, පසුකර එන වංගු මෙන්ම නිවසේ ස්වභාවයද කියා යම් යම් දෝෂ දුරු කරන්න ශාන්තිකර්මයක්ද කළ යුතු බව එතුමා පවසා තිබුණා. එතුමා විසින්ම එම කටයුතුත් සිදු කළ බව මට දැනගන්න ලැබුණු නිසා මමත් කාගේ කවුද, ඉන්නේ කොහේද, ගම කොහේද.. ආදී කිසිවක් නොකියා එම ස්ථානය සොයාගෙන ගියා. උස සිරුරක් හා තීක්‍ෂණ පෙනුමක් ඇති එතුමාත් මගෙන් වචනයක්වත් නොවිමසා ඒ කටයුතු කරන තැන ඉඳගත් පසු බුලත් හුරුල්ලක් මගෙන් අරගෙන විස්තර කියන්න පටන් ගත්තා. මමත් කටේ වචනයක්වත් අසු නොවන පරිදි, කියන දේ පමණක් අවසාන වනතුරු අහගෙන හිටියා. අප නිවැසියන් කියපු ලෙසට, නිවසට යන පාර කියා ශාන්ති කටයුත්තක්ද කර ඇති බවත්, එය එම ස්ථානයෙන්ම කරගත් දෙයක් බවත් පැවසුවා. එයින් මට උවමනා වුනේ මගේ පරීක්‍ෂණයට අත්වැලක් ලබාගැනීමටයි.

එතුමා ලස්සන බුදු මැදුරක් තනා උදේ දවල් දානය, සවස ගිලන්පස පූජා ආදිය බෙර හේවිසි ද වයමින් උඩුවියන් බැඳගෙන නිසි උපහාර සහිතව කරන හැටි දැක, එබඳු සත්කාරයක් නොකෙරුන අප නිවසේ තිබූ ධාතූන් වහන්සේලා දෙනම එතුමාට පරිත්‍යාග කළා. මේ වගේ ගුප්ත ක‍්‍රමවේද ලෝකයේ ඇති බවට විශ්වාසයක් තිබුණ නිසා තව තවත් එබඳු දේවල් ඉදිරියට සොයන්නත්, පරීක්‍ෂණ කරන්නත් හිතා ගත්තා.

ඉහත පරීක්‍ෂණය කරන්න පෙර කුඩා කාලයේදී තවත් දෙයක් සිද්ධ වුණා. එකල සවස මල්පහන් පූජාකර දෙවියන්ට ඥාතීන්ට පින් දීමත් ලැබෙන ලැබෙන විට කළා. ඒකාලයේ, අතපයක කැපීමක් වී ලේ ගලන විට නවත්තන්න මන්ත‍්‍රයක් අපේ ආච්චි අම්මාගෙන් දැනගෙන සිටි මා, ආයුධයකට කෙනෙකුගේ අල්ලේ තුවාලයක් වෙච්ච අවස්ථාවක බුලත් කොල කැබැල්ලක් තබා හත්වරක් මැතිරුවාම ලේ ගැලීම නතර වුණා. එය සත්‍ය මන්ත‍්‍රයක්. ඉන් කියවෙන කියමන නම් කිසි කලෙක සිදු නොවූවක් මෙන්ම, සමහර විට වැරදි අදහසකින් හිතුවොත් පාපයක් වෙන්නත් පුළුවන්. මොකද හේතුව ඒ මන්ත‍්‍රය පටන් ගන්නේ

 ඕං නමෝ අංගුලිමාල තෙරුන් වහන්සේගේ අත කපා අත සන්ධි කළෙමි…

ආදී ලෙසයි. මෙහෙම කිව්වෙත් අක්‍ෂර, ඝන, බල පිහිටීමේ සාස්ත‍්‍රයක්ද ලොව ඇති බවත්, බොරු නොවන බවත් පෙන්වීමටයි.

අපේ ගෙමිදුල හොඳට ඉඩකඩ තිබුණ නිසා ලොරියක් බොඩි ගැසීම පිරිසක් විසින් ඒ දිනවල සිද්ධ කළා. ඒ පිරිස අතරින් කෙනෙකුගෙයි ඉහත කී අතේ කැපීම් තුවාලය සිද්ධ වුනේ. ඔහු මගෙන් බැගෑපත්ව ඒ මන්ත‍්‍රය ඉල්ලූ විට කාටත් හොරෙන් මම ඔහුට එය ලබා දුන්නා. එහෙම කළේ අනෙක් අය එය දෙනවාට අකමැති වූ නිසයි. මීට ප‍්‍රති උපකාරයක් ලෙස ඔහු මට විෂ්ණු දෙවියන්ට පින්දෙන ගාථාවක් ලියා දී එයින් පින්දෙන විට දෙවියන් සතුටු වී බෙහෙත් වරමක් දෙයි කියා කිව්වා. මමත් බුදුන් වැඳ දෙවියන්ට ඥාතීන්ට පින්දුන් අතර විශේෂයෙන් එම ගාථාවෙන් පින්දීම කරගෙන ගියා. ටික දිනක් ගතවන විට එක් දිනක අමුතු දෙයක් සිද්ධ වුනා. එය හිතෙන්වත් හිතපු නැති අමුතුම දෙයක්. එනම් කළුපාට වලාපටලයක් වැනි දෙයක් පිටුපසින් ඇවිත් කොන්දෙන් මගේ ඇඟට ඇතුළු වුණා. ශරීරය බර නැතිවී හදවත වේගයෙන් ගැහෙන්න වූ අතර මහා භයක්ද ඇතිවුණා. පින්දීම අවසන් වනවිටම ඒ සියල්ල අතුරුදන් වුණා.

සිදු වූයේ කුමක්දැයි සිතෙන විටත් භයක් දැනුණා. එහෙත් මවට මේ ගැන කිව්වෙත් නෑ. ඊළඟ දිනයේ මව සමග එසේම බුදුන් වැඳ පින්දී එම ගාථාවෙන් විශේෂ පින්දීම කරන විට පෙර දින මෙන්ම භය ඇති වී අත්දෙක සහ කටහඬ වෙවුලන්න වුණා. පින්දී අවසන් වනවිට එය නැවතුණා. මවට මේ වෙනස තේරී

මින්පසු මල්පූජා කර පින් දෙන්න එපා, ආවේසයක් එන්නද කොහෙද හදන්නේ

කියා කිව් නිසා එය නතර කර දැම්මා. ඉන්පසු මල් පූජා කිරීම් ආදිය ටික දිනකට නතර කර එම ගාථාවෙන් පින්දීමත් නවතා දැම්මා. පසු කලෙක දෙවියන් කව්ද, අමනුෂ්‍යයන් කව්ද, මටත් ඒ අයට කතා කරන්න ක‍්‍රමයක් නැද්ද කියා අදහසක් ඇතිවුණා.

(ඉතිරි කොටස ලබන කලාපයෙන්)

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.