මහා මංගල සූත‍්‍රය අද වැඩි දෙනෙක් භාවිතා කරන්නේ, පිරිතක් වශයෙන් ලැබෙන ආශිර්වාදය පමණක් මුල් කරගෙන බව පැහැදිළි කරුණක්. පිරිත් දේශණය සඳහා යොදා ගන්නා පිරිත් පැන්වලින් සෙත් ශාන්තියත්, පිරිත් නූල්වලින් ආරක්ෂාවත් ලබාදීමයි අරමුණ වෙලා තියෙන්නේ. එහෙත් පිරිත් පැන් සහ පිරිත් නූල්වලින් සංකේතවත් කරන්නේ වෙනත් ගැඹුරු අර්ථයක්. පැන්වලින් සංකේතවත් කරන්නේ, එය පානය කිරීමට සුදුසු දෙයක් බවයි. ඒ අනුව කළ යුත්තේ පිරිතේ අර්ථය දැනගෙන එයට අනුකූලව ජීවත් වීමයි. පිරිත් නූල්වලින් සංකේතවත් කරන්නේ ඒ අදහස් සමග බැඳිය යුතු බවයි.

යම්කිසි පරියායකට අනුව අර්ථවත්ව සැකසූ දෙයක් තමයි, පරි+අත්ථ හෙවත් පරිත්ත යනුවෙන් හඳුන්වන්නේ. ශබ්ද විද්‍යානුකූලව සකස් වී ඇති පිරිත් දේශනාවල ශාන්තිය එක්තරා මට්ටමකින් පිරිත් පැන්වලත්, පිරිත් නූල්වලත් ගැබ්වෙලා තියෙනවා. එබැවින් බොදුනුවන් මෙම පිරිත් දේශනාවල අර්ථ වටහා ගෙන ඒ තුළ ජීවත් විය යුතුයි.
පෙර බොදුනුවන් මේ බව හොඳින් දැන සිටි නිසා ගිහි ජීවිතය අර්ථවත්ව ගතකොට, අනු පිළිවෙලින් බෞද්ධ පිළිවෙතට නැමී

තපෝච බ‍්‍රහ්ම චරියංච

යනුවෙන් සඳහන් කර ඇති පරිදි ගිහි ගෙයින් නික්ම තපසට ගොස් චතුරාර්ය සත්‍යය අවබෝධ කොට නිර්වානාවබෝධය ලබා ගත්තා. මේ ආකාරයට ජීවිතය හැඩ ගස්වා ගැනීමට කළ යුතු වැඩ පිළිවෙලක් තමයි මහා මංගල සූත‍්‍රයේ පෙන්වා තියෙන්නේ.

පැරැන්නන් අතර අසීමිත නිශ්ඵල වැඩ කටයුතු නොතිබූ නිසා බොදු පවුලක මව කිසියම් රැකියාවක් කළේ නෑ. මවක් ලෙස කළ යුතු වූ සියලූ වගකීම් ඇය මනාව ඉටු කළා. මනුස්සයෙක් ලෙස ජීවත් වීමට අත්‍යවශ්‍ය දේවල් වුනේ ඇඳුම්, ආහාර, නිවාස සහ බෙහෙත් යන සිවුපසය පමණයි. මේ මූලික අවශ්‍යතා ඉක්මවා අසීමිත බලාපොරොත්තු පසුපස හඹායන්න වීම නිසා බොදු සමාජය බුදු දහමින් ඈත් වුණා. මේ අත්‍යවශ්‍ය දේවල් පමණක් සපයා ගනිමින් කුඩා අවධියේ සිට වැඩි මහලූ වන තෙක් පවුලක කටයුතු සකස් විය යුතු ආකාරය, මහා මංගල සූත‍්‍රයේ මංගල කරුණු තිස් අටකින් බුදුපියාණන් වහන්සේ මනා කොට දේශනා කර තියෙනවා.

පළමුවම

අසේවනාච බාලානං

යනුවෙන් බාලයන් සේවනය නොකළ යුතු බවයි පෙන්වා තියෙන්නේ. බාලයන්ගේ ඇසුරට වැටුනොත් කුඩා කල සිටම දරුවා තුළ වැරදි ආකල්ප ගොඩනැගෙනවා. සුචරිතවත් දිවි පෙවෙතක් ගෙවන මව, සිය දරුවා බාලයන්ගේ ඇසුරට නොවැටීම සඳහා තම සියලූ කටයුතු දෙවෙනි කොට දරුවා රැක බලාගන්නවා. මේ අනුව යහපත් ජාතියක් ගොඩ නැගීමේ ප‍්‍රධාන වගකීම හිමිවන්නේ මවටයි. මෙවැනි මව්වරු නිසා එ් ජාතිය ජය ගන්නවා. සමාජයට ජය ගෙන දෙන එවැනි මව්වරුනට ජයගත් මාතාව හෙවත් “ජගත් මාතා” යන නම තැබුවා. මේ අනුව දරුවෙක් සුචරිතවත් කර ගැනීමට නම් අවිද්‍යාව නිසා සිදුවන අසත්පුරුෂ සේවනයට ඉඩ නොතැබිය යුතුයි. අස්සුතවා පුතජ්ජනෝ බාලයා කීවේ එසේ අසත්පුරුෂ සේවනයේ යෙදෙන්නාටයි.

මීළඟට දරුවා

පණ්ඩිතානඤ්ච සේවනා

යන පණ්ඩිතයන්ගේ ඇසුරට පුරුදු කරනවා. සුතවා අරිය සාවකෝ පණ්ඩිතයා කීවේ මොහුටයි. මවගේ සෙවනේ හය වසක් වැඩුනු දරුවා ඉගෙනීම සඳහා යොමු කරන්නේ පන්සලේ පවත්වාගෙන යන පිරිවෙනටයි. “වෙනි” කියන්නේ වෙන් කිරීමයි. පර වැඩවලින් වෙන් කරන තැනට ගියවිට පරවෙනියට හෙවත් පිරිවෙනට ගියා වෙනවා. බුද්ධ ශාසනයෙන් බැහැර සියල්ල පර වැඩයි. පර වැඩවලින් වෙන් කොට යහපත් ක‍්‍රියාවන්වල දරුවා හසුරුවන තැන පරවේනිය හෙවත් පිරිවෙනයි. එහිදී දරුවාට පණ්ඩිත සේවනය ලැබෙනවා. පන්සලේ ලොකු හාමුදුරුවො තමයි එදා “පණ්ඩිත” යන නමින් හැඳින්වුනේ. උන්වහන්සේ ඇතුළු සංඝරත්නය ඇසුරේ දරුවා වසර අටක කාලයක් ඉගෙනුම ලබනවා. මේ වසර අටක කාලය අෂ්ඨ ගණේෂ කාලයක් ලෙස හඳුන්වා තියෙනවා. පළමුවෙන්ම දරුවා ඉගෙනුම ලබන්නේ කුමාර ගණය යටතේයි. දෙවෙනි වසර තුළ ඔහු යහපත් අනුශාසනා ලබමින් බාල ගණය යන කාලය ගෙවනවා. ඉන්පසුව කය වැඩෙත්ම අවශ්‍ය දැහැමි ව්‍යායාම ක‍්‍රම ඇතුලත් නර්තන කලාවන් තවත් වසරක් ඉගෙන ගන්නවා. (හැබැයි අද කාලයේ වගේ කාමුක නැටුම් නොවෙයි.) එම කාලය නර්තන ගණය ලෙස හැඳින්වුණා. අනතුරුව සම්පත්ති ගණේෂ, මහා ගණේෂ, වීර ගණේෂ, බල ගණේෂ, වේරම්භ ගණේෂ වශයෙන් වසර අටක් තුළ දරුවා මැනවින් ශිල්ප හදාරනවා.

මේ කාලය අවසන් වෙලා වසර දහසය පමණ වන විට කුල කාන්තාවක් සරණ පාවාගෙන දිවි ගෙවන ආකාරයත් ඉගෙන ගන්නවා. මේ තමයි පණ්ඩිතයන්ගේ ඇසුරේ ගෙවන කාලය.

මේ වන විට තරුණ වයසට පත්වන දරුවා ධර්මාවබෝධය තුළින් ධම්මානුසාරී කෙනෙක් බවට පත්වෙනවා. පිදිය යුතු අය හඳුනාගන්නෙත් ධර්මාවබෝධය තුළින් මෙතැනට පත් වූ පසුවයි. මේ අනුව

පූජාච පූජනීයානං

යන මංගල කරුණ සම්පූර්ණ වෙනවා. මීළඟට ඔහු පරිසරය ගොඩ නගා ගන්නේ වෙනත් බෞද්ධ අය සමග ඇසුරට වැටීමෙන්. තම ප‍්‍රතිරූපකයා නැත්නම් හිතවතාත් බෞද්ධයෙක්. මේ අනුව දැහැමි සුචරිත පිරිසක් ඇසුරේ ඔහු

පතිරූප දේශ වාසය

ඇති කර ගන්නවා. තරුණ වියේදී නොගැලපෙන පිරිසක් ඇසුරට ගියොත් එය අවමංගල්‍යයක් වෙනවා. අද බොහෝ තරුණ ජීවිත විනාශ වී යන්නෙත් මේ නිසයි. දැන් මේ තරුණයා ජය ගන්නේ

පුබ්බේත කත පුඤ්ඤතා

ගුණයෙන්. නමුත් අද මෙය විග‍්‍රහ කරන්නේ පෙර කරන ලද පින් ඇති බව යනුවෙන්. එහෙත් මහාමංගල සූත‍්‍රයේ පෙන්වා ඇත්තේ අනුගමනය කළ යුතු මාර්ගයක්. පෙර කරන ලද පින කෙනෙකුට ලැබෙන්නේ විපාකයක් වශයෙන්. පෙර කරන ලද පින් ඇති කෙනෙකුට නම් ඒ අදහස ගලපන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහු අතරමං වෙන්න පුළුවන්. කෙනෙක් යම් දෙයක් කරන්න පෙර පුණ්‍ය කටයුත්තක යෙදිය යුතුය යන්න මෙහි අදහසයි. මේ විදිහට ධර්මානුකූලව කටයුතු කිරීම, පෙර පුරුද්දක්ව පැවතුනා. කුඹුරු කෙටීමට පෙර ගොවියා දෑත් එක්කොට වැඳ, නමස්කාර පාඨය කියා බුදු ගුණ සිහි කරලයි වැඩ ආරම්භ කළේ. දෑත් එක්කොට නමස්කාර කිරීමෙන් තමා තුළ දස අකුසලයෙන් වෙන් වූ සුචරිත ගුණය පවතින බව සංකේතවත් කළා. මෙසේ වැදගත් කටයුත්තක් කිරීමට පෙර පුණ්‍ය ක‍්‍රියාවක යෙදීමෙන් ඔහු අතින් වරදක් සිදු නොවීමට හේතු වුණා.

මනසා චේ පසන්නේන භාසති වා කරෝති වා තතෝනං සුඛ මං වේති ඡුායාව අනපායිනී

යන ගාථාව පරිදි සැපත ඔහු කරා හඹා එනවා. මීළඟ මංගල කරුණ නම්

අත්ත සම්මා පණීධීච

යන්නයි. තමා විසින් කරගෙන යනු ලබන වැඩ පිළිවෙල අවිද්‍යා තෘෂ්ණාවන්ගෙන් මිදී සිදු කිරීමට නම් ධර්මය තුළ සිත පිහිටුවා ගෙන ක‍්‍රියා කළ යුතු වෙනවා.

බාහු සච්චඤ්ච සිප්පඤ්ච

යන මංගල කරුණින් අදහස් වන්නේ ඔහු ඉගෙන ගත් ශිල්ප ශාස්ත‍්‍ර අනුව කටයුතු කිරීමෙන් බහුශ‍්‍රතභාවයක් ලබන බවයි. එසේම

“විනයෝච” යන්නෙන් ඒ තුළින් ලබන විනයත් “සුසික්ඛිතෝ” යන්නෙන් මනාකොට සකස් වීමක් ද අදහස් කෙරෙනවා. මෙසේ හැමවිටම අනුපූර්ව සම්බන්ධතාවයක් තුළ ජීවන ක‍්‍රමය ගොඩනැගෙනවා. බෞද්ධ ජීවන ක‍්‍රමය තුළ වැඩෙන තරුණයා නිතර සත් බස හෙවත් සුභාසිත වචන භාවිතයට හුරුවෙනවා. බොරු නැති, කේලම් නැති, පරුෂ වචන නැති, ප‍්‍රලාප නැති යම් බසක් වේ නම් ඒ සුභාසිතයයි.

මේ අනුව හැඩ ගැසෙන තරුණයා මව් පිය උපස්ථානය අග‍්‍ර කරමින් වැඩ කටයුතු කරන්න පටන් ගන්නවා. එ් තුළින්

මාතා පිතූ උපට්ඨානං

යන මංගල කරුණ පූර්ණ වෙනවා. එසේම තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් වශයෙන් අඹු දරුවන්ට සැලකීම තුළින්

පුත්ත දාරස්ස සංඝහෝ

යන මංගල කරුණත් සාක්ෂාත් වෙනවා. මෙසේ මව්පියන් සහ අඹුදරුවන්ගේ ආශීර්වාදය මැද ආකූල නොවන යහපත් කර්මාන්ත පවත්වාගෙන යමින්

අනාකූලාච කම්මන්තා

යන මංගල කරුණට අනුව සිය රැුකියා කටයුතු හැඩගසා ගන්නවා.

මේ වන විට තම දහඩිය මහන්සියෙන් දැහැමින් උපයාගත් දෙයින් දන් දීමට අවස්ථාව උදාවී තියෙනවා. එය “දානංච” යන මංගල කරුණයි. දන්දීම ආදී කටයුතුවල යෙදෙන තරුණයාට භික්‍ෂූන් වහන්සේ ඇසුරෙන් “ධම්ම චරියාච” යන මංගල කරුණත් උදාවෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා, කෙනෙක් කැමැත්තෙන් ඥාතියෙකුට සංග‍්‍රහ කරන්නේ නම් ඔහුට චතුරාර්ය සත්‍ය ධර්මයෙන් සංග‍්‍රහ කළ යුතුයි කියා. නැත්නම් සතර බ‍්‍රහ්ම විහරණයෙන් සංග‍්‍රහ කළ යුතුයි.

ඤාතකානංච සංගහෝ

යන මංගල කරුණෙන් පෙන්වූයේ එයයි. යම් ඤාතියෙක් දුගතිගාමී වන්නට ඉඩ නොදී ආර්ය මාර්ගයට නැඹුරු කරගන්න පුළුවන් නම්, ඤාතීන්ට කරන සංග‍්‍රහ අතුරෙන් අග‍්‍රම සංග‍්‍රහය එය බවත් බුදුපියාණන් වහන්සේ දේශනා කරල තියෙනවා. සෑම කටයුත්තකදීම ලෝභයට, ද්වේශයට, මෝහයට හේතුවන සිතිවිලි ක‍්‍රියා වදන්වලින් වෙන්වී රාගක්ෂයට, ද්වේශක්ෂයට, මෝහක්ෂයට නැඹුරු වෙමින් ක‍්‍රියා කරන විට

අනවජ්ජානි කම්මානි

කියන මංගල කරුණට අනුව නිවැරදි කාර්යන් සඳහා ඔහු යොමු වෙනවා. මීළඟට ඔහු පාපයන්ට නොබැඳී, පාපයන්ගෙන් වෙන්ව ධර්ම මාර්ගයට නැඹුරුව ජීවිතය සකස් කරගැනීම

ආරති විරති පාපා

යන මංගල කරුණයි. එසේම ඔහු මජ්ජ පානයෙන් ද සංවර වෙනවා. මජ්ජ පමා දට්ඨානා යනුවෙන් පංච ශීලයට අයත් පස්වෙනි ශික්ෂා පදයෙන් දක්වා ඇත්තේත් එයමයි. මත් පැන් වගේ දේවල් ඇසුරු කිරීම එක් පැත්තක් පමණයි. ඇසෙන් රූප බලලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ විඳලා, දිවෙන් රස බලලා, කයෙන් පහස ලබල වෙන්නෙත් මත්වීමක්. එ්වායින් මත් වුනොත් ප‍්‍රමාදයට හේතු වෙනවා. ප‍්‍රමාද වුනොත් ඔහු ලෝකය අල්ල ගන්නවා. මේ අනුව මත් ද්‍රව්‍ය නොබී සිටිය පලියට මත් ද්‍රව්‍යවලින් වෙන් වීමක් සිදු වෙන්නෙ නෑ.

රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම, ස්පර්ශ කාම යන පංච කාමයන්ගෙන්ම සංවර වුනාම

මජ්ජපානාච සඤ්ඤමෝ

යන මංගල කරුණ සිදුවෙනවා. මෙසේ එ් පුද්ගලයා ධර්මයටම නැඹුරු වෙමින් ධර්මයෙහි අප‍්‍රමාදව කටයුතු කරන තත්ත්වයකට පත්වෙනවා.

අප්පමාදෝච ධම්මේසු

යනු ඒ උතුම් මංගල කරුණයි. ගරු කළ යුත්තන් හොඳින් දැනගෙන ඔවුන්ට “නිවාතෝච” හෙවත් නිහතමානීව (යම්කිසි තැනක නිවුනු සැනසුනු ස්වභාවය. මීට ධර්මයේ පෙන්වා ඇති උපමාවන් කීපයක් නම්, අහිංසක බලූ පැටියෙක් පාරේ ඉන්නකොට කවුරුන් හෝ පයින් ගැහුවත් පැත්තකට අයින් වෙලා යනවා මිසක් හපාකන්නේ නැතුවා වගේ, අං නැති වයසක එළදෙනෙක් පාරේ යනකොට කවුරුන් හෝ ගැහුවත් හානියක් කරන්නෙ නැතුවා වගේ) සැලකීම

ගාරවෝච නිවාතෝච

යන මංගල කරුණයි. යමක් කරන විට එය සතුටු සිතකින් සතුටු වෙන්න සුදුසු දෙයක් කරන්න ලැබුණා කියා සතුටුවෙන්න ලැබීම “සන්තුට්ඨිච” යන මංගල කරුණයි. තමන් කරන, කියන, හිතන දේ තුළින් තමන්ට සතුටු වීමට හැකියාවක් ඇත්දැයි බලා, යමක් කරන විට රාගක්ෂයට, ද්වේශක්ෂයට, මෝහක්ෂයට හේතු වෙනවාද කියා දකින්න පුළුවන් නම් සසර දුකින් නිදහස් වන ක‍්‍රමය මට ලැබුණා කියා ඔහුට සතුටු වෙන්න පුළුවන්.  එසේ නැතිව ලෝකයා සමග එකතු වෙලා ලබන සතුටක් නෙවෙයි.  කතඤ්ඤුතා කියන්නේ  කළ ගුණ සලකනවා කියන ගුණයයි. තමන් මේ තත්ත්වයට පත් කළ දෙමව්පියන් සහ වැඩිහිටියන් වෙත කළගුණ සැලකීමත්   මංගල කරුණක්. මෙසේ දැහැමි ජීවිතයක් අනුගමනය කරමින් කටයුතු කරන විට ඔහුට සද්ධර්ම ශ‍්‍රවණය සඳහා හොඳම කාලයක් උදාවෙනවා. ලෝකය ගැන හොඳින් අවබෝධ කරගෙන ඇති ඔහුට ජීවිතයේ ආදීනව දැක්වෙන ධර්මයක් අහන්න ලැබෙනවා. ඒ තමයි

කාලේන ධම්ම සවණං

යන මංගල කරුණ. දැන් ඔහු ශ‍්‍රවණය කරන්නේ විමුක්තිය සඳහා වූ ධර්ම දේශණාවන්. ගිහි ජීවිතයේ අත්දැකීම් ලබා, එ් ජීවිතයේ කිසිම හරයක් නොමැති බව ඒ ධර්මය තුළින් දැක, ඡන්දරාගය නිසා බැඳී තිබූ උපාදානයන් අත්හැරී, නොඇලී, මිදී ගියාම ඔහු නිවනේ ශාන්තිය ලබනවා. “ඛන්තීච” යන මංගල කරුණින් පෙන්නුවේ ඒ ශාන්තියයි. මේ අනුව ඔහු “සෝවචස්සනා” යනුවෙන් දැක්වූ සුවච බවට පත්වෙනවා. නිවනේ ස්වභාවය අවබෝධ කරගත් පසුව ඔහු “සමනානංච දස්සනා” යන්නෙහි “සමන” යන්න ගැඹුරු අර්ථයකින් දකිනවා. නිවනේ ශාන්තිය දැක සමනය වූ අයයි එසේ කම්පා නොවී සිටින්නේ කියා යථාර්ථයෙන් සමන දර්ශනය දකිනවා. මෙය රූපයෙන් දකින සමන දර්ශනය නොවෙයි. අර්ථයෙන් දකින සමන දර්ශනයයි. මීළඟට

කාලේන ධම්ම සාකච්ඡා

යන ධර්ම සාකච්ඡාවට සුදුසු කාලය එළඹෙනවා. දහම් ශ‍්‍රවණය කළ පසුව දහම් ගැටලූ විසඳා ගැනීමේ අවස්ථාවයි මේ. මේ වන විට ඒ පුද්ගලයා මැදි වයසට පත්වෙලා. වර්තමානයේ නම් මේ මැදි වයසට පත් වන විට යමක් උපයාගෙන ඒවායේ ඇලී ගැලී සිටින තත්ත්වයක් තමයි දකින්න ලැබෙන්නේ. විවිධාකාර ප‍්‍රශ්න නිසා පවුල් අවුල් වෙලා මහා අසහනකාරී තත්ත්වයකයි පසුවෙන්නෙ. මහා මංගල සූත‍්‍රයේ පෙන්වා දී තිබූ පරිදි, ක‍්‍රියාත්මක වූ අතීත සමාජ රටාව වෙනස් වීම නිසයි මේ අවුල් වියවුල්. එහෙත් එදා මැදි වයසට පත් පුද්ගලයා කල්පනා කළේ, උත්තරීතර විමුක්තිය ලබා ගැනීම සඳහා සුදුසු වූ, හක්ගෙඩියක් වන්, නිදහස් අහසක් වන් පැවිදි ජීවිතයේ වටිනාකමයි.

දරුවන් ආවාහ විවාහ කර දී උදව් උපකාර කොට ඔවුන්ට තනිව ජීවත් වීමේ ක‍්‍රම සලසා දී තිබූ නිසා අඩු තරමින් පෝයට සිල් සමාදන්වී ඒ අනුව කාලය ගෙවීමට ඔහුට නිදහස තිබුණා. පළමුව පසළොස්වක පෝයට සිල් සමාදන් වන ඔහු, ක‍්‍රමයෙන් දරු මුණුබුරන් හුරු වූ පසු දෙපෝයටත්, ටික කලකින් හතර පෝයටත් අනතුරුව පෙර පෝය සහ පසු පෝය වශයෙනුත් ගිහි ගෙදරින් ඈත්ව ගත කිරීමට පුරුදු පුහුණු වෙනවා. මෙසේ දෙමව්පියන් ටිකෙන් ටික ඈත්වීම යහපතක් ලෙස දකින්නට දරු මුණුබුරුන් ද පුරුදු වෙනවා. දැන් තපසට යෑමට මග පෑදිලයි තියෙන්නේ. පියා පන්සලටත් මව මෙහෙණි ආරාමයටත් ගොස් පැවිදි වෙනවා. “තපෝච” කියන මංගල කරුණින් පෙන්වන්නේ මේ අවස්ථාවයි. බ‍්‍රහ්මචරියාව වඩාගන්න දැන් හොඳම පසුබිමක් උදාවෙලයි තියෙන්නෙ. මේ ආකාරයෙන් දරු මුණුුබුරන් ද හැසිරෙන විට දුශ්චරිත සමාජයක් හටගන්න ක‍්‍රමයක් නෑ. මෙසේ බ‍්‍රහ්මචරියාව වඩලා

අරිය සච්චාන දස්සනං

හෙවත් චතුරාර්ය සත්‍යය  දර්ශනය  කරලා,

නිබ්බානසච්චිකිරියාච

කියන මංගල කරුණින් පෙන්වූ පරිදි නිවන් අවබෝධ කරගැනීමෙන් සසර ගමන කෙළවර කරගන්නවා. ඵුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පතී අසෝකං විරජං ඛේමං තේසං මංගල මුත්තමංතී. දැන් ලෞකික වූ ලෝක ධර්ම ඇසුරු කරමින් සිතේ කම්පනයක් නොවන ආර්ය සමාධිය ලබා පුට්ඨස්ස ලෝක ධම්මේහි – චිත්තං යස්ස න කම්පතී යන ගුණයට පත් වෙලයි ඉන්නේ. මේ නිවනමයි අසෝකං විරජං ඛේමං කිව්වේ. නිවනේ සෝක නැති බැවින් අසෝකයි. කෙලෙස් රජස් නැති බැවින් විරජයි. බිය නැති බැවින් ඛේමයි. මෙසේ මංගල කරුණු අනුපූර්ව මගකින් ප‍්‍රගුණ කළ විට සිදුවන මහා මංගල්‍යයයි සියලූ සතුනට සදා සැනසුම ජය ලබා දෙන්නේ.

මෙසේ සදහම් අමා පැන් පානය කර ඒ සමග බැඳී ආර්ය මාර්ගයට පිවිසෙන ආකාරයයි මංගල කරුණුවලින් පෙන්වන්නෙ. ජාති ආගම් කුල භේදයන්ගෙන් තොරව මේ මංගල කරුණු අනුව කටයුතු කළොත් එය මහා මංගලයක් නොවේදැයි සිතා බැලීමට මේ සුදුසුම කාලයයි.

 

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණ දහම් කරුණු ඇසුරින් සකස් කළේ :

ඇල්. අමරසිංහ
(විශ‍්‍රාමික ලංකා බැංකු ජ්‍යෙෂ්ඨ කළමනාකරු)
පිළියන්දල.