යේ ධම්මා හේතුප්පභවා    –  තේසං හේතු තථාගතො ආහ
තේ සංහේතුයෝ නිරෝධෝ  –  ඒවං වාදි මහා සමනෝ

අපි ඉතා කුඩා කල පාසලේදී ඉගෙනගත් මේ ගාථා ධර්මය, බුදු දහමේ මූලික සිද්ධාන්තයක් වන උතුම් චතුරාර්ය සත්‍යය විස්තර කරන්නක්. මෙහි මුල් ගාථා දෙපදය පමණක් ශ‍්‍රවනය කළ මොහොතින් උපතිස්ස පරිභ‍්‍රාජක තෙම සෝවාන් වූ ආර්ය ශ‍්‍රාවකයෙක් බවට පත් වුණා.

හේතුවක් මුල් කරගෙන දරා සිටින යමක් ඇත්ද, ඒ හේතුව නිරුද්ධ වූ විට ඒ දරා සිටින දෙයත් නිරුද්ධ වෙනවා. මේ එහි සරල තේරුමයි. කිසියම් පුද්ගලයෙකු ලී දඬු කීපයක් දැක “මෙය හොඳ මේසයක් හැදීමට කදිමයි…” කියා සිතිවිල්ලක් ඇතිකර ගත්තා යයි සිතමු. මේසයක් යනුවෙන් හඳුන්වන දෙය මීට පෙර ඒ පුද්ගලයා දැක ඇති රූපයක්. එහි සටහනක් සිතේ තියෙන නිසාත්, එය නැවත සිහිකර බැලීමට පුළුවන් නිසාත්, නැවත එබඳු මේසයක් බලාපොරොත්තු වෙනවා.

සිතනවා කියන්නේ කි‍්‍රයාවක්. ක‍්‍රියාවක් කියන්නේ කර්මයක්. කර්මයක් කිරීමට ශක්තියක් අවශ්‍යයි. එහෙම නම් සිතක බලාපොරොත්තුවක් ඇති වුනොත් ඒ එක්කම ශක්තියකුත් ගොඩනැගෙන්න  ඕන. මේ ගොඩනැගුන ශක්තිය ක‍්‍රියාත්මක වී ඔහු වඩුවකු කරා යනවා. ගොඩනැගුන ශක්තියෙන් කොටසක් වැය වී යනවා. ඔහුට අවශ්‍ය මේසය පිළිබඳ විස්තරය වඩු මහතාට කියනවා. අර ශක්තියෙන් තවත් කොටසක් වැය වී යනවා. වඩු මහතා පැමිණ ලී රැගෙන ගොස් මේසය සකස් කර බාර දෙනවා. පුද්ගලයා අදාල මුදල ඔහුට ගෙවා මේසය රැගෙන යනවා. දැන් බලාපොරොත්තුව ඉෂ්ඨ වෙලා ඉවරයි. ඒ නිසා ඒ මත ගොඩ නැගුන ශක්තියත් වැය වී අවසානයි.

දැන් මේසය පාවිච්චි කිරීමේදී දිරාපත් වී, කෘමි සතුන්ගෙන්, ජලයෙන්, ගින්නෙන් හෝ වෙනත් ආකාරයකින් මේ මේසය භාවිතයට ගන්න බැරි තත්ත්වයට පත් වෙනවා මිසක් අළුත් වෙවී තියෙන්නෙ නෑ. කෘමි සතුන් විද්දොත් එ්වා නැවත සකස් වීමේ ශක්තියක් නෑ.  ඕනෑම බලාපොරොත්තුවක අවසානය මෙන්න මේ වගේ අපි කැමති නොවන ආකාරයකින් අවසන් වෙනවා. මේසය කියන දේ තනා ගැනීමට යම් දුකක් වෙහෙසක් වින්දා නම් එහි ආස්වාදය ලැබුවේ මේසය දිරාපත්වන තුරු පමණයි. ඊට පස්සේ ආයෙත් මේසයක් සොයන්න වෙහෙස වෙන්න වෙනවා. බලාපොරොත්තු තියෙන තාක් කල් දුක, වෙහෙස විඳින්න වෙනවා.

මේ බලාපොරොත්තුව “තණ්හාව” ලෙස හඳුන්වන්න පුළුවන්. මනසේ සටහන්ව තිබූ රූප, මේසය හා සිත කැමැත්තෙන් හාවීම නිසා රූප තණ්හාවක් ඇති වුනා. (තැන්හි + හා වීම =තණ්හා වීම) මේ විදිහට කනට ඇහෙන ශබ්ද යලි යලිත් ඇසීමට ඇති කැමැත්ත ශබ්ද තණ්හා ලෙසත්, නාසයට දැනෙන සුවඳ යලි යලිත් විඳීමට ඇති කැමැත්ත ගන්ධ තණ්හා ලෙසත්, දිවට දැනෙන රස යලි යලිත් විඳීමේ කැමැත්ත රස තණ්හා ලෙසත්, කයට දැනෙන පහස යලි යලිත් විඳීමේ කැමැත්ත පොට්ඨබ්බ තණ්හා ලෙසත්, මනසට දැනෙන සිතිවිලි යලි යලිත් සිහි කිරීමේ කැමැත්ත ධර්ම තණ්හා ලෙසත් විස්තර වෙනවා.

අපේ සිත කැමති වන්නේ, කැමැත්තෙන් හාවෙන්නේ ලෝකයේ හොඳ යයි සම්මත දේවල් සමග පමණද? උදාහරණයක් හැටියට කෙනෙක් තව කෙනෙකුට බණිනවා. බැණීමට කැමැත්තක් නැතුව බණින්න බෑ. ඒ වගේම සතුන් මරනවා. සතුන්ට හිංසා කරනවා. දස අකුසලයම කරනවා. ඒ කැමති නිසාමයි. යමකට කැමැත්තෙන් හාවීම තණ්හා වීම බව මුලින් සඳහන් කළා. අකුසල් කරන්නේ අකුසල් සමග තණ්හා වෙලයි.

පුංචි තරහක් ගැන හිතමු. තරහ ගතිය සිතට එන විටම, එය අකුසලයක්, ඉක්මනින් එයින් සිත නිදහස් කර ගත යුතුයි කියා දැනගෙන එසේ නොකළොත් තරහ ගතියට තණ්හා වෙනවා. එ් ගතිය තව ටිකක් වර්ධනය වෙලා පරුස වචන පිටවෙනවා. දැන් ද්වේශයක් ඇති වෙලා. තවත් ටිකක් වෙලා මෝහ ගතිය පැවතුනොත් පහර දෙන්නත් හිතෙන්න පුළුවන්. ක්‍රෝධයක් ඇති වෙලා. “මට නම්  ඕනෙම නෑ…” කියන තරමට තරහ වැඩිවුනොත් වෛරයක් ඇති වෙලා. දැන් මේ වෛර ගතිය ඇති සිත දිගටම පැවතුනොත් වෛරයට තණ්හා වෙලා විතරක් නෙවෙයි, වෛරයට බද්ධ වෙලා බද්ධ වෛරයක් වෙනවා.

මේ විදිහට ප‍්‍රභාෂ්වර සිත නව වතාවකදී කෙලෙස්වලින් කහට ගැන්වුනාම විඤ්ඤාණස්කන්ධයක් බවට පත්වෙන බව බුද්ධ දේශනාවයි. විඤ්ඤාණයක් කියන්නේ විකෘති ඤාණයක්. (ඤ-ප‍්‍රත්‍යයෙන් කියන්නේ දැනීමේ න්‍යාය හෙවත් යම්කිසි දැනීමක් හඳුන්වන යෙදීමකි) විකෘති ඤාණයකින් ප‍්‍රකෘතියක්, නිවැරදි දෙයක් දකින්න බෑ. එහෙනම් එවිට ගන්නේ වැරදි තීරණයක්. ඒ වැරදි තීරණය නිසා සසර දුක් විපාක විඳින්න සිදුවන කර්ම රැස්කරනවා. සසර සැප විපාක ලබන්න නම් අකුසලයකට හිත යොමු වෙන විට, වහාම ඉන් මිදී කුසලයට යොමු කර ගත යුතුයි.

මේ විදියට අපේ ඇස, කන, නාසය, දිව, කය, මන යන ඉඳුරන්ගෙන් අපට ලැබෙන අරමුණු කෙරෙහි යලි යලිත් ආස්වාද විඳීමේ කැමැත්ත නිසා, තණ්හාව නිසා දුක් හෝ සැප විපාක විඳිමින් සසර සැරි සරනවා. දුක් විපාක එනවට කැමති නෑ. නමුත් පෙර සසරදී හොඳ නරක දෙකටම හාවෙලා කටයුතු කර ඇති නිසා අකමැති වුනත් දුක් විපාක එනවා. සැප විපාක ආවට ඵලක් නෑ. ඒ අපි කැමති පරිදි, කැමති තාක් කල් පවතින්නෙ නෑ. ඒ නිසා මේ දෙකෙන් කොයි එක විඳින්න ආවත් දුකමයි.

මේ සියල්ලටම මුල් වුනේ මනසයි, මනසේ පෙර දැක පුරුදු සටහන් රැුඳී පවතින නිසයි, එබඳු සටහන් යලි යලිත් අයිති කරගැනීමේ තෘෂ්ණාව නිසයි මනස ලෝකය ගොඩනගන්නට ක‍්‍රියාත්මක වෙන්නේ. මේ ධර්මතාවය බුදුපියාණන් වහන්සේ මෙබඳු ගාථා ධර්මයකින් මනාව දේශනා කර තියෙනවා.

මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා
මනසාචේ පසන්නේණ – භාසතිවා කරෝතිවා
තතෝනං සුඛ මං වේති – ඡායාව අනපායිනී

දැන් මෙහි පළවෙනි ගාථා පාඨය -මනෝ පුබ්බංගමා ධම්මා කියන කාරණය අර්ථකථාචාරීන් වහන්සේලා අර්ථ විග‍්‍රහ කරන කොට පෙන්වන්නේ,

චෛතසිකයන්ට හිත, චෛතසිකයෝ සිත පෙරටු කොට ඇත්තාහ

කියන එකයි. හැබැයි ඉතින් “චිත්ත පුබ්බංගමා චෛතසිකා” කියන අර්ථයක් තමයි මනෝ පුබ්බංගමා ධම්මා කියන වචනයට දීල තියෙන්නෙ. එතකොට චෛතසිකවලට හිත ප‍්‍රධානයි (සිත පෙරටු කරගෙන චෛතසික ආ බව) කියලයි අද එ්ක හඳුන්වන්නේ. නමුත් පෙන්නල තියෙන්නේ මනෝ පුබ්බංගමා ධම්මා කියලයි.

දැන් අපි මෙතනදි දැනගන්න  ඕන “මනෝ” මොනවද, “ධම්ම” මොනවද කියල. ඔය දෙක දැනගන්නකල් අපට  ඕක තේරුම් ගන්න බෑ.

මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඤ්ඤාණං…

කියල විග‍්‍රහයක් තියෙනවා. මනෝ විඤ්ඤාණයක් හටගැනීමට මනට ධර්මයක් ගට්ටනය වෙන්න  ඕන. මේක හුඟක් විග‍්‍රහ කර බැලිය යුතු ප‍්‍රශ්නයක්.
එතකොට “මනෝ” කියන්නෙ මොනවද? මේක හිතටම කියන හිතේම ස්වභාවයකට කියන තව නමක්. “ධම්මා” කියන්නෙ මොනවද? ඔය විස්තර දෙකම හොඳට තේරුම් අරගන්න  ඕන. චිත්ත කියන අවස්ථාව

පබස්සර භිදං භික්‍ඛවේ චිත්තං..

කියල, හිත ප‍්‍රභාෂ්වරයි කියල පෙන්වනව. එය මූලික වශයෙන් හිත කියන කොටස. ඔය “චිත්ත” කියන කොටස මොකද්ද, “මනෝ” කියන කොටස මොකද්ද, විඤ්ඤාණ කියන කොටස මොකද්ද කියල මේව තෝරගන්න  ඕන. ප‍්‍රධාන වශයෙන් චිත්ත කියන අවස්ථාව ආගන්තුක උපක්ලේශයන්ගෙන් කහට ගැන්නුනාම, එක අවස්ථාවක් එනව මනෝ කියලා. තව දුරටත් කහට ගැන්නුනාම ලැබෙන අවස්ථාවක්, ගැඹුරු අවස්ථාවක් තමයි විඤ්ඤාණ කියන්නේ.

දැන් අපි පිරිසිදු වතුර කියනවා. එ් වගේම බොර වතුර කියනවා. නැත්නම් පොඞ්ඩක් හරි අපිරිසිදු දෙයක් එකතු වෙච්ච වතුර බලපුවහම පේන්නෙ නෑ. අන්වීක්‍ෂයක් වැනි දේකින් බැලූවොත් නම් එ්කෙ අපිරිසිදු කමක් තියෙනව දකින්න පුළුවන්. පිටින් බලපුවාම නම් පිරිසිදු ශුද්ධ වතුර වගේ පේනව.

ඒ වගේම කහට වතුර කියලත් කියනව. “කහට වතුර එකක් දියන්කො…” කියල ඉල්ලන සිරිතකුත් තියෙනව. “වතුර එකක් දියන්කො…” කිව්වොත් දෙන්නෙ වතුර. හැබැයි “කහට එකක් දියන්කො…” කිව්වොත් කහට කියල දෙන්නෙ 99.99% ක්ම වතුර. තේ කහට තියෙන්නේ 0.01% ක් තරම් ප‍්‍රමාණයක්. නමුත් ඒක දැම්මාම අපි එ්කට තේ කහට කියනව මිසක් වතුර කියන වචනෙ කියන්නෙ නෑ. නමුත් තියෙන්නෙ වතුර. කහටක් මිශ‍්‍රවුන නිසා, වතුරට වතුර කියන්නෙ නැතුව “තේ කහට” කියල නමක් දැම්මා. “කහට එකක් දෙන්න…” එහෙමත් අපි ඉල්ලනවා.

මෙන්න මේ වගේ ඒ ඒ මට්ටමට ආගන්තුක උපක්ලේශවලින්, චිත්ත කියන අවස්ථාව ක‍්‍රම ක‍්‍රමයෙන් අඳුරුවෙලා, අඳුරුවෙලා ගිහිල්ල, ලෝක පැවැත්මට හේතු කාරක වෙන මට්ටමට අඳුරු කහට ගැන්නුන අවස්ථාවක් එනවා. අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් කහට ගැන්නුනාම, අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් ලෝකය සමග මිත‍්‍රත්‍වයෙන් බැඳෙන අවස්ථාවට ආවොත් එතැන පටන් ගෙන ලෝකයෙන් නික්මෙන්න බෑ. එහෙනම් මේ චිත්ත කියන ශුද්ධ අවස්ථාව නව වාරයකින් කහට ගැන්නිල තමයි, විඤ්ඤාණ ස්කන්ධයක් බවට පත් වෙන්නෙ.

චිත්ත කියන අවස්ථාව ඊ ළඟට කහට ගැන්නුනාම “මනෝ” කියන එකට එනවා. හැබැයි සසර ගමනට සම්බන්ධ කරන්න තරම් බලවත් නෑ. ඊට පස්සෙ “මානසං” කියල අවස්ථාවක් එනවා. ඒ අවස්ථාවත් සසර ගමනට සම්බන්ධ කරන්න තරම් බලවත් නෑ. සසර උපාදානයට හේතුකාරක බලයක් ඒකෙ නෑ. චිත්ත, මනෝ, මානසං – “හදයං” කියල අවස්ථාවක් එනවා. මේ තමයි හිතවත්කම් ඇදගන්න අවස්ථාව. මොනව හෝ සමග හිතවත් වුනොත්, ඒක දාල යන්න බෑ. හිතවත් වෙලා නැත්නම්, දාල යන එක ප‍්‍රශ්නයක් නෙවෙයි. හිතවත් වුනොත් ඒ දිසාවෙ එකතුවෙන්න, ජීවත් වෙන්න අවධානය යොමු වෙනව. එහෙනම් හිතෙන් යම්කිසි දෙයක් සමග එකතු වුනොත්, ජීවත් වෙන්න ආස්වාදයෙන් බැඳුනොත්, එතන හිත “හදයං” කියන අවස්ථාවට පත්වෙලයි ඒක ඇසුරු කරන්නෙ. හැබැයි අරිහත්වයට පත්වෙච්ච කෙනා “මානසං” කියන අවස්ථාව ඉක්මවන්නෙ නෑ.

දැන් “හිත” කියන එකක් තියෙනවා.

ආරම්මන විජානන ලක්‍ඛනං චිත්තං, පබස්සර භිදං භික්‍ඛවේ චිත්තං…

කියන දෙයාකාරයකින් චිත්ත කියන අවස්ථාව පෙන්වනවා. අරමුණු විවිධාකාරත්‍වයෙන් දැනගන්නා ස්වභාවය හිතයි. එහෙනම් ඉස්සෙල්ල තියෙන්න  ඕන හිතක්. දැනෙන බවක් තියෙන්න  ඕන. ඒ දැනෙන බවට යමක් වැටහුන ඇසුරක්, අරමුණක් ආවොත්, ඒ දැනෙන බවට ඒක දැනෙනවා. ඉස්සෙල්ලම තමන් ඉන්න බව දන්නවා. ජීවත්වෙලා ඉන්න බව දැනෙන හිතක් තියෙනවා. ජීවත්වෙලා ඉන්න බව දැනෙනව කියන්නෙ, ඇහැට පෙනීමකින්වත්, කනට ඇසීමකින්වත්, නාසයට ගඳ-සුවඳ දැනීමකින්වත්, දිවට රස දැනීමකින්වත්, කයට ස්පර්ශ දැනීමකින්වත්, මනසට බාහිරින් එන ධර්මයන් අරමුණු වීමෙන්වත් වෙන එකක් නෙවෙයි. හිතට “හිත” දැනෙන අවස්ථාවක්.

ජීවත්වෙලා ඉන්න බව, අවදිවෙලා ඉන්න බව, තමන්ටම දැනෙන අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ අවස්ථාව තමයි මූලිකම චිත්ත කියන අවස්ථාව. එතකොට මේ මූලික චිත්ත කියන අවස්ථාව තිබුණට, එය දැනෙන අවස්ථාව විපාකයක්. දැනෙන ස්වභාවයක් තියෙනව නම් විපාකයක්. විපාකයෙන් සංඛාරයක් මතු කළොත් තමයි,

සංඛාර පච්චයා විඤ්ඤාණං….

කියල විඤ්ඤාණයක් පහළවෙන්න හේතු වෙන්නෙ. දැනෙන බවට විතරක් විඤ්ඤාණයක් පහළ කරන්න බෑ. ඉන්න බව දැනෙනවා. අවදිව ඉන්න බව දැනෙනකොට සද්දයක් ආවොත් එහෙම, ඒක දැනෙනවා. “ආං… සද්දයක් ආව…” දැනීම තිබිච්ච නිසාම දැනීමට සද්දයක් ආපු බව දැනුනා. දැනීම තිබිච්ච නිසාම ඇහැට රූපයක් පේන බව දැනුනා. දැනීම තිබිච්ච නිසාම, නාසයට ගන්ධයක් එන බව දැනෙනවා. දැනීම තිබිච්ච නිසාම කයට ස්පර්ශයක් එන බව දැනෙනවා. මේ දැනීම යනු ඒකීයභාව ධර්මයක් නොව නිරන්තරයෙන් කරන ආවර්ජන ක‍්‍රියාවේ ප‍්‍රතිඵලයක්.

ඒ දැනුනෙ මොකක් නිසාද? හිතට ආපු දේ මොන මොන ජාතියෙ ඒවාද කියල මැන ගත්ත නිසා මේක ඇහෙන් ආපු රූප සටහනක්, මේක කනෙන් ආපු සද්ද සටහනක්, මේක නාසයෙන් ආපු ගන්ධ සටහනක්, මේක දිව නිසා මතුවෙච්ච රස සටහනක්, මේක කයට ස්පර්ශ වීමෙන් මතුවෙන ස්පර්ශ සටහනක් කියල, මෙන්න මේක මැනගන්න අවස්ථාවක් එනවා. ඔයින් එහාට මනෝවලින් කරගන්න දෙයක් නෑ. මනෝවලින් කරගන්නෙ ඔන්න ඔය මැනගන්න එකයි.

අවිද්‍යා සහගත, තෘෂ්ණා සහගත ලෝක සත්ත්වයා, ප‍්‍රඥාවෙන් ඒක දුරු කරල තිබුනෙ නැත්නම්, ඔය සටහන එනකොට අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් ඒක වැළඳගන්නවා. වැළඳගත්ත කෙනා එක්කෝ ඒකෙ ඇලෙනවා, නැත්නම් ගැටෙනවා, නැත්නම් මුලා වෙනවා. ඇහැට පෙනිච්ච රූපය සමග ප‍්‍රියමනාප නම් ඇලෙනවා. අප‍්‍රිය අමනාප නම් ගැටෙනවා. එහෙම නැත්නම් ඒකට මුලා වෙලා ඒ පසු පස්සෙ හඹායනවා. කනට සද්දයක් ආපුවාම ප‍්‍රිය මනාප නම් ඇලෙනවා. අප‍්‍රිය අමනාප නම් ගැටෙනවා. එහෙම නැත්නම්, ඒක ආස්වාදයි කියල හිතාගෙන තමන්ට අවශ්‍ය දේ එනකල් ඒ පස්සේ හඹා යනව. ඒ වගේ දිවට, නාසයට, කයට අරමුණක් එනකොට ප‍්‍රිය මනාප නම් ඇලෙනවා, අප‍්‍රිය අමනාප නම් ගැටෙනවා. ඒ දෙකටම ගැලපුනේ නැත්නම්  ප‍්‍රිය  මනාප  එකක් බලාපොරොත්තුවෙන්, ඒ එන අරමුණු පස්සේ මෝහයෙන් හඹා යනවා. එතකොට ඔය නිසා ඇලීම, ගැටීම, මුලාව කියන මේ කාරණා තුනට අහුවෙනවා. මෙන්න මේ ඇලීමෙන්, ගැටීමෙන්, මුලාවෙන් යුක්ත නම් එ් තාක් කල් ලෝක සත්ත්වයාට සසර ගමනෙන් නිදහස් වෙන්න බෑ.

(ඉතිරි කොටස ලබන කලාපයෙන්)

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණ දහම් කරුණු ඇසුරින් සකස් කළේ :
ඩබ්. ඒ. තිළිණවතී
(විශ‍්‍රාමික මහජන බැංකු නිලධාරිනී)
කඩවත