බුද්ධ ශාසනයේ සතර බ‍්‍රහ්ම විහරණ වැඩිය යුත්තේ කෙසේද?

පසුගිය කලාපයෙන් – (බුද්ධ දේශනාව අනුව වැඩිය යුතු මෙත්තා භාවනාව කුමක්ද? එය වැඞීමෙන් කුමක් සිදුවේද?)

ලෝකයේ දකින්න ලැබෙන සියලූම සතුන් අතරේ කොටස් හතරක් ඉන්නවා. ජීවත්වෙන අය, ජීවිතයත් මරණයත් අතර සුවකළ හැකි වාසනාව ඇති අය, සුව කළ නොහැකි අසාධ්‍ය බවට පත් වූ අය, මියගිය අය (මළමිනී) කියන මේ හතර කොටස මිනිස් සිරුරින්ද දැකිය හැකි කොටස් හතරක්. ලෝකයේ තියෙන ගේදොර, ඉඩකඩම්, රැකිරක්ෂා, ධනෝපායන මාර්ග ආදී කටයුතු පැවරීමට සුදුස්සෝ නිරෝගීව ප‍්‍රබෝධමත්ව බුද්ධිවන්තව කටයුතු කළ හැකි අයයි. ඒ තමයි පළමු පිරිස. ලෙඩරෝගයන්ට ගොදුරුවෙලා දුර්වලව සිටින අයට කිසිම ආයතනයක රැකී රක්ෂා ආදියට කැඳවීමක් හෝ ජීවන නිෂ්පාදන කටයුතු බාරදීමක් හෝ කෙරෙන්නෙ නෑ. ඒ අය ආරෝග්‍ය ශාලා වැනි ස්ථානවල තබා බෙහෙත් කිරීම් ආදියෙන් නිරෝගී කිරීමට කටයුතු කළ යුතුයි. මේ තමයි දෙවන පිරිස.

තුන්වන පිරිස නම් සුවකළ නොහැකි රෝගාබාධිතයන් ය. මෙම අය අනාථ මඩම්වල, අම්බලම් වැනි පොදු පින් තකා කරන ලද ස්ථානවල, පිනට දෙන දෙයකින් යැපෙන, කාගේත් අනුකම්පාවට පාත‍්‍රවන අයයි. හතර වන කොටස මියගිය කොටසයි. ඒ මළමිනීය. දුඟද එන නිසා දවා හැරීම, මිහිදන් කිරීම වැනි දේ මිස එ්වාට වෙන කරන්න පුළුවන් දෙයක් නෑ.

මේ බුද්ධ ශාසනයෙත් ලෝක සත්වයන් කෙරෙහි මෙබඳු බෙදුම් හතරක් දකින්න පුළුවන්. ඒ ගැන වෙනම කැටි කිරීම් වශයෙන් පොත්පත් ආදියේ පෙන්වා නැතත්, විසිරී ඇති කරුණු නුවණින් විමසා බලන විට නුවණින් තේරුම් ගන්න පුළුවන්.

“අප්පමාදෝ අමත පදං – පමා දෝ මච්චුනෝ පදං’’ – අප‍්‍රමාදී පුද්ගලයා නොමැරුනහු වැන්න. ප‍්‍රමාද වූවෝ මළවුන් වැන්න.

සතර සති පට්ඨානයේ යෙදෙමින් අප‍්‍රමාදව ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරන කොටස මේ ආර්ය විනයේ ජීවත්වන කොටසයි. පටිච්ච සමුප්පාද ආදී ධර්ම මාර්ග අවබෝධ කරමින් සුචරිතව, සංවරව බුදුන් වහන්සේ දේශණා කළ මිත‍්‍ර ධර්මය පරිහරණය කරන කොටසයි. මේ කොටස මිත‍්‍ර ධර්මයට ගෝචර සාසන භූමියේ නිරෝගීව ධෛර්ය සම්පන්නව ජීවත්වන කොටසයි. භික්ෂු භික්ෂුනී යන උතුම් කොටසත් උපාසක උපාසිකා යන අනුගාමික කොටසත් මේ ජීවත්වන මිත‍්‍ර දහම දරන්න සුදුසු කොටසයි. කුමන තරාතිරමක, ජාතියක හෝ ගෝත‍්‍රයක වේවා මේ සිව් පිරිසට මෙත්තා ගුණය ලබන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ මිත‍්‍ර දහම මේ අයටයි.

සංසාර දුකෙහි, රෝගයෙහි, දාහයෙහි සිටින  දෙවැනි කොටස තුළ අප‍්‍රමාද දහම් නෑ. එනම් කම්මස්සකථ සම්මා දිට්ඨි ඇති, ශාසනයෙන් බැහැරව පින් කරන අයයි. එහෙත් සසරටම හේතු ඇති කරන නිසා සංසාර රෝගීන්ය. උපක‍්‍රම නමැති ඖෂධ යොදමින්, සම්‍යක් ප‍්‍රයෝග ආදියෙන් යහමගට ගෙන, ශාසන ගුණයන්හි පිහිටුවා ගන්නට වාසනාව ඇති කොටසයි. කරුණා ගුණයට පාත‍්‍රවන කොටසයි. නිරෝගී කළ හැකි, බෙහෙත් හෙවත් දහම් ඖෂධ ප‍්‍රත්‍ය ලබාදී ශාසනය තුළ ජීවත් කරවිය හැකි කොටසයි. උපක‍්‍රම යොදා හෝ සම්‍යක් ප‍්‍රයෝගයෙන් හික්මන දහම් දෙසා හෝ හරි මගට ගත හැකි පිරිසයි.

තුන්වන කොටස අනාථ අබ්බගාත කොටසයි. මොවුන් මැරිලත් නෑ. ජීවත් වුනත් සුවයක් ද කර කටයුතු සඳහා සකසා ගන්න බැරි කොටසයි. හෙවත් දහම් වටහා ගන්න නුවණක් ද නැති කොටසයි. එහෙත් දෙව් මිනිස් වැනි ලෞකික ගුණ මාත‍්‍රයක් ලබන්න පුළුවන්. දහම් මගින් සසරින් ගොඩගන්න බැරි නමුත් සසර තරමක පිනක් ලබන්න නුවණ ඇති කොටසයි. ඒ අයට පින් පිණිස, ආර්ය උතුමන් පිඬුසිඟා යෑම් ආදිය කරනවා. මේ මුදිතා ගුණයට පාත‍්‍රවන කොටසයි.

හතරවැනි කොටස කුමන ගුණ මාත‍්‍රයක්වත් ලබාදෙන්න බැරි, මිත්‍යා සම්මතවල පතුලට කිඳා බැස ඇති නියත මිත්‍යා දෘෂ්ඨික කොටසයි, ප‍්‍රමාදම කොටසයි. ජීවත්ව සිටින නමුත් ආර්ය විනය අනුව මිය ගිය කොටසයි. මළ මිනීවලට කිසිවක් කර කියාගත නොහැකිවා සේ නියත මිත්‍යා දෘෂ්ඨිකයාට ආර්ය විනයේ මිත‍්‍ර දහමක් හෝ පූර්ව භාග ප‍්‍රතිපදාවක් හෝ ආර්ය ශාසනය ඇසුරෙන් ලබන ලෞකික සම්පතට හේතුවන පින් මාත‍්‍රයක් හෝ ලබන්න බෑ. ආර්ය උතුමන් මෙබඳු තැන්වලදී උපේක්‍ෂා වෙනවා. ඒ, දහම් මගින් ඔවුන්ට කළ හැකි කිසිම යහපතක්  නැති නිසයි.  මිත්‍යා දෘෂ්ඨික මනුෂ්‍ය-අමනුෂ්‍ය, සත්ව, තිරිසන්  මෙන්ම බොහෝ  සතර අපාගත  වුවන්  ආදීන් කෙරෙහි දේශනාවෙන් හෝ ආදර්ශයෙන් හෝ සත්‍ය ධර්මයක් දීමට නොහැකි නිසා ඒ තැන්වලදී උපේක්‍ෂා වෙනවා.

මේ විදිහට සියලූ ලෝක සත්වයෝම සසර ආදීනව දැන වටහා, නිවන් දැක සංසිඳීමට පත්වේවා යන පැතුම සියලූ ලෝ සතුන් කෙරෙහි තබනවා. ඒ මෛත‍්‍රී සහගත චේතනාවයි. ඒ සමග මෙත් සිතත් වෙනවා. මේ මෙත් පැතිරීම මතු කලෙක හෝ ඔවුන්ට යහපත පිණිස උපනිශ‍්‍රය වෙන්න පුළුවන්. මේ ආකාරයට මෙත් සිතින් බැලීමේ දී සත්‍ය වූ ක‍්‍රියා, වචන අනුගමනය කරමින් සුදුසු අය සමග සාකච්ඡා, හැසිරීම් ඇතිව ශාසන මිත‍්‍ර දහම මගින් පිට නොගොස් වාසය කළ යුතුයි. දහම් සත්‍යය වටහා ගත හැකි නැණවතුන් දුටු තැන දේශනා කිරීම්, හරි මගට නම්මවා ගෙන පිහිටුවීම් ආදිය කරමින් කරුණා දහම පැතිරවිය යුතුය.

කුසල මගක් වඩන්නට ශක්තියක් නැති වුනත් යම් සිව් පසයක් පැහැදීමෙන් පූජා කිරීමේ තරමට සතුටු සිත් ඇති අයට අනුකම්පා පිණිසත්, නියත මිත්‍යා දෘෂ්ඨික නොවුනත්, සැඩ ගති ඇති නිසා මුදු මොලොක් බවින් ඉවසීමෙන් ඒ ගති මැඩ පවත්වා ඔවුන්ටත් යහපතක් පිනක් කරගන්න මට්ටමට දුක් ඉවසා ගෙන කටයුතු කරදීම මුදිතාව (මුදු හිත – හිතේ මෘදු භාවය) මුල්කරගෙන ක‍්‍රියාත්මක කෙරෙනවා. ශාසනික උතුමන් කෙරෙහි කරන වතාවත් කවදා හෝ නිවන් මගට ඒමට පූර්වභාග ප‍්‍රතිපදා වැඞීමට හේතු වෙනවා. මේ ආකාරයෙන්වත් කිසිම පින් මාත‍්‍රයකටද බැස ගැනීමට බැරි පුද්ගලයන් කෙරෙහි කටයුත්තක් නැති නිසා එබඳු අයගෙන් කුමන ඝට්ටන ආවත් මධ්‍යස්ථ වෙනවා. කවදා හෝ සත්‍යය ඔවුන්ට ද වැටහේවායි ප‍්‍රාර්ථනා සිතින් නිහඬ වෙනවා. උපේක්‍ෂා වෙනවා.‍

කම්මා විපාකෝ වත්තන්තී – විපාකෝ කම්ම සම්භවෝ
තස්මා පුනබ්භවෝ හෝතී – ඒවං ලෝකෝ පවත්තතී

කර්මයෝ විපාකයෝ පහල කරති. විපාකයෝ කර්ම රැස්කරති.
එම නිසා නැවත පහළ කිරීම් වෙති. මේ ආකාරයෙන් ලෝකය පවතී

යයි සිහි කරනවා.

කම්මස්ස කථා මානව සත්ථා කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමිති කල්‍යාණංවා පාපකංවා තස්ස දායාදෝ භවිස්සාමීතී

(කර්මය කරගෙන සිටින සත්ත්වයා ඒනිසාම යම්කිසි යහපත් හෝ අයහපත් වන්නා වූ කර්මයක් කරන්නේද ඒ කර්ම මුල්කොට, දායාද කොට, උපත කොට, නෑයා කොට, පිළිසරණ කොට එ්වාම දායාද කරගෙන පවතින බව) යනුවෙන් සිහි කරමින් කටයුතු කළ යුතුයි.

නිස්සාර පැවැත්ම මහා වටිනා දෙයක් ලෙස සිතමින් ඇලෙමින්, ගැටෙමින් විපාක ලබමින් සත්වයෝ ලෝක පැවැත්ම ගෙන යන හැටි සිහි කළ යුතුයි. මෙසේ මුලාව නිසා ඇලීමද, ගැටීමද වන ආකාරය දකිනවා. ලෝකයේ නිසරුව වැටහෙන විට අත්හරිනවා, නොඇලෙනවා, මිදෙනවා. මිදුනේ, ඇති තතු සත්‍යාකාරව විද්‍යානුකූලව දැකීමෙන් නිසා යළි කුමන හේතුවක් නිසාවත් ලෝකය අල්ලාගෙන කරන පැවැත්මට හේතු නැති බව වටහා ගන්නවා.  අතීතයේත්, වර්තමා- නයේත්, අනාගත- යේත් යම් මිදීමක් වේ නම් මෙසේ සත්‍යය දැකලම මිසක් වෙනත් ක‍්‍රමයකට එය සිදුනොවන බව දැන ගන්නවා,   භව කෙළවර වටහා ගන්නවා. අත් බව කෙළවර වේද, එයින් පහළ කිරීම් කෙළවර වන බවත්, දුක කෙළවර වන බවත්  දකිමින් නිරෝධය ප‍්‍රත්‍යක්‍ෂ කෙරෙනවා. මේ බුද්ධ විහරණයයි (වාසය කිරීම), ආර්ය විහරණයයි, බ‍්‍රහ්ම විහරණයයි. අරිය විහාරය කියන්නෙත්, බ‍්‍රහ්ම විහාරය කියන්නෙත්, තථාගත විහාරය කියන්නෙත්, අනාපාන සති විහාරය කියන්නෙත් මෙයම බව බුද්ධ දේශණයයි.

(ඉතිරි කොටස ලබන කලාපයෙන්)

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණු දහම් කරුණු ඇසුරින් සකස් කළේ :
නීතිඥ චන්දන සිරිවර්ධන

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.

One thought on “බුද්ධ ශාසනයේ සතර බ‍්‍රහ්ම විහරණ වැඩිය යුත්තේ කෙසේද?

  1. Pingback: බුද්ධ දේශනාව අනුව වැඩිය යුතු මෙත්තා භාවනාව කුමක්ද? එය වැඩීමෙන් කුමක් සිදුවේද? | හෙළ බොදු පියුම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *