සම්මා දිට්ඨියට පත්වීම

පසුගිය කලාපයෙන් – (ලෝක සත්ත්වයා නොදකින සසර දුක….)

බුදුපියාණන් වහන්සේ විසින් දේශිත සියලු දුක්, ලෝකය කැමති පරිදි නොලැබීම නිසා හටගත් දුක් බව

යම්පිච්චං නලබති තම්පි දුක්ඛං

යන පාඨය තුළින් පසුගිය ලිපිවලදී හඳුනාගත්තා. මෙය බෞද්ධයන්ට පමණක් දැකිය හැකි දුකක්. නිවන් දැකීමට උත්සාහ කරන අපේ ප‍්‍රධාන ප‍්‍රශ්නය වනුයේ සසර දුකයි. එනම් ජාති, ජරා, මරණ….. දුක්ඛ, දෝමනස්ස, උපායාස යන දුක් කරුණුයි. බුදුපියාණන් වහන්සේ සසර දුක සහ දුකට හේතුව පටිච්ච සමුප්පාදය තුළින් දුටුවා. එය ප‍්‍රඥාවෙන් අවබෝධ කළ දෙයක්.

අවිද්‍යා → සංඛාර → විඤ්ඤාණ → නාම රූප → සලායතන → ඵස්ස → වේදනා → තණ්හා → උපාදාන → භව → ඉපදීම (ජාති) → සසර දුක → ජරා මරණ….

සසර දුකට මුල් වූ හේතුව අවිද්‍යාව බව ඉහත සටහන තුළින් දකින්න පුළුවන්. අවිද්‍යා ප‍්‍රත්‍යයෙන් සංඛාරත් සංඛාර ප‍්‍රත්‍යයෙන් විඤ්ඤාණත් ආදී වශයෙන් අවිද්‍යාව විසින් මෙහෙයවන්නා වූ සසර දුක නිවීමට නම් අවිද්‍යාව නැති කළ යුතුයි. අවිද්‍යාව යනු චතුරාර්ය සත්‍යය නොදැකීමයි. චතුරාර්ය සත්‍යයේ න්‍යාය ත‍්‍රිලක්ෂණයයි. (නෙත්තිප‍්‍රකරණය 249 පිටුව.)

චතුරාර්ය සත්‍යය නොදැකීම හේතුකොටගෙන දිගු කලක් මුළුල්ලේ ඒ ඒ ජාතීන් හි සංසරණය විය. ඒ තුළ චතුරාර්ය සත්‍යය දක්නා ලදහ. භව තණ්හාව නසන ලද්දීය. දුක්ඛයන්ගේ මූලය සුන් කරන ලදහ. දැන් පුනර්භවයක් නැතැයි මේ ඤෙයිය (ඤාණයෙන් පූර්ණ) දේශනාවයි. මෙහි ඤෙයිය කවරේද? රූපය අනිච්චය, වේදනා අනිච්චය, සංඥා අනිච්චය, සංඛාර අනිච්චය, විඤ්ඤාණ අනිච්චය යන මේ ඤෙයියය.

මේ පාඨයෙන් කියවෙන්නේ චතුරාර්ය සත්‍යයේ න්‍යාය ත‍්‍රිලක්‍ෂණය බවයි. ති‍්‍රලක්ෂණය නිවැරදිව නොදැක චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්න බෑ. එසේ නම් අවිද්‍යාව යනු ත‍්‍රිලක්ෂණය නොදැකීම වශයෙන් දැක්වීම නිවැරදියි. පටිච්ච සමුප්පාදයේ තවත් පියවර කීපයක් තුළින් දුක නිර්මාණය වන හැටි බලමු.

අවිද්‍යාව නිසා සංඛාර ඇතිවන බව පෙන්වා තියෙනවා. එනම් අනිච්ච වන බව නොදැනීම නිසා සංඛාර ඇතිවන බවයි.

  1. අවිජ්ජා පච්චයා සංඛාරා
  2. සංඛාර පච්චයා විඤ්ඤාණං
  3. චක්ඛුංච පටිච්ච රූපේච   උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං

දෙවැනි වැකියේ සංඛාර ප‍්‍රත්‍යයෙන් විඤ්ඤාණ ඉපදෙන බව කියවෙනවා. තුන්වන වැකියේ සංඛාර වෙනුවට චක්ඛුංච පටිච්ච රූපේච යන්න යොදා තියෙනවා. එසේ නම් සංඛාර = චක්ඛුංච පටිච්ච රූපේච යනුවෙන් නිගමනය කළ හැකියි. එසේ නම් චක්ඛුංච පටිච්ච රූපේච යන්න විග‍්‍රහ කරගත්තොත් සංඛාර යනු මොනවාද යන්න පැහැදිලි වෙනවා. මෙහිදී චක්ඛුංච වෙනුවට සෝතංච, ඝානංච, ජිවුහාච, කායංච, මනංච ආදී වශයෙන් යොදන්න පුළුවන්. උදාහරණ: සෝතංච පටිච්ච සද්ධංච උප්පජ්ජති සෝත විඤ්ඤාණං…. ආදී වශයෙන්.

දැන් අපි චක්ඛුංච පටිච්ච රූපේච යන කොටස තේරුම් ගනිමු.

චක්ඛු (A)  රූප (B)  රාගිකව හෝ ද්වේශිකව බැඳීම (C) → චක්ඛු විඤ්ඤාණං

ABC යන මේ කරුණු තුන එකතු වීමේ ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලයක් ලෙස චක්ඛු විඤ්ඤාණය ගොඩනැගෙනවා. ABC යන කරුණු තුන එකතු වීමේ ක‍්‍රියාවලිය සංඛාර හෙවත් සං කිරීම වශයෙන් තේරුම්ගත යුතුයි. සං කිරීම යනු ඇස රූප සමග රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් බැඳීම ලෙස තේරුම් ගත යුතුයි. දැන් “සං” යන වාක්‍ය ඛණ්ඩය පොදුවේ වෙනත් යෙදී ඇති ස්ථාන පිළිබඳව බලමු.

සං+ගමය – කිහිපදෙනෙකුගේ එකතුවකින් සෑදේ, සං+බන්ධය – බැඳීම් කිහිපයක එකතුවෙන් සෑදේ, සං+යෝග – ද්‍රව්‍ය කිහිපයක එකතුවෙන් සෑදේ, සං+වේගය – සිතේ වේග රාශියක් එකතුවෙන් සෑදේ, සං+ගීත – ගීත රාශියක් එතුවෙන් හා භාණ්ඩ රාශියක් එකතුවෙන් සෑදේ

මේ අනුව “සං” යන පදය නිතරම යෙදී ඇත්තේ එකතුවක් දැක්වීමටයි. ආර්ය විනයේ සං යෙදී ඇත්තේ රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් එක්වීමටයි. ඒ සසර ගමනට හේතුවන සං පෙන්වා දී ඇති ආකාරයයි. සමහරුන් සං යන්න ශක්තියක් වශයෙන් ද විස්තර කර තියෙනවා. නමුත් මෙය වැරදියි. (තවදුරටත් සං ගැන කරුණු දැක්වීමේදී මෙය පැහැදිලි වෙනවා ඇත.)

සං යන පදය බුදු දහමේ යෙදී ඇති ආකාරය බලමු. බුදුපියාණන් වහන්සේගේ දේශනාව මේ ආකාරයට විස්තර කර තියෙනවා.

සං දෙස්සති – සං පිළිබඳ දේශනා කිරීම. සං මාද සේති (සමාදස්ති) – සංවලින් වෙන්වීම (මා – මිදීම) කියාදීම. සං මුක්තේජේති – සංවලින් මිදීම කියාදීම. සං පහන්සේති – සං පහකිරීම පිළිබඳව කියාදීම.
උදාහරණ – මජ්ජිම නිකාය 1, 428 පිටුව, චුල්ලහත්ති පදෝපමසූත‍්‍රය.

සං යෙදීම මේ ආකාරයෙන්ම දක්වා ඇති වෙනත් සූත‍්‍ර නම්, දීඝ නිකාය (2), 198 සහ 206 පිටු මහාපරිනිබ්බාන සූත‍්‍රය සහ අංගුත්තර නිකාය (5), නන්දක සූත‍්‍රය.

තවද දහම් වඳින ගාථාවේ එන “සංදිට්ඨිකෝ” යන පදයෙන් සං පිළිබඳ දැක්ම විග‍්‍රහ වෙනවා. එසේනම් සං යන පදය බුදු දහම පුරාවටම යෙදී ඇති බව පේනවා. යමෙකු සං දිට්ඨික නොවුනහොත්, එනම් සං යන්න පැහැදිලිව නොදැක්කොත් ඔහුට ආර්ය මාර්ගය තේරුම් ගැනීමට නොහැකි වෙනවා. සං යනු රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් බැඳීම බව අපි දැක්කා. රාගයෙන්, ද්වේශයෙන් බැඳෙන්නේ එම රූපය තමාට ඉච්ච ලෙස පවත්වමින් ආස්වාද විඳීම සඳහායි. එසේ බැඳෙන්නේ එය ඉච්ච ලෙස පවත්වන්නට නොහැකි බව (අනිච්ච බව) නොදැනයි. එනම් පටිච්ච (කැමැත්තෙන් බැඳීම) වන්නේ අනිච්ච බව නොදැකීම නිසයි. මේ අනිච්ච බව නොදැකීම අවිද්‍යාවයි.

තමාට කැමති ලෙස පවත්වන්නට බැරි ලෝකය සමග බැඳීමෙන් දුක උපදිනවා. එසේ බැඳීම සං කිරීම හෙවත් සංඛාර ලෙසත්, එම බැඳීම් ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලය විඤ්ඤාණය ලෙසත් දැන් දැකිය යුතුයි. එනම් විඤ්ඤාණය යනු රාගයෙන්, ද්වේශයෙන් බැඳීම නිසා ඇති වූ විකෘති ඥාන හෙවත් දැනීම් සමූහයයි. (මායා කාරයෙක් වැනි.)

ගෙදරට ලැබුණු මත්පැන් බෝතලයක් දෙස, බීමට කැමති ස්වාමි පුරුෂයා රාගයෙන් බැඳෙනවා. බීමට අකමැති බිරිඳ, ද්වේශයෙන් තම බලාපොරොත්තුව ඉටුකරගන්නා අදහසින් බැඳෙනවා. ස්වාමිපුරුෂයා රාග විඤ්ඤාණයක් ගොඩනගමින් සතුටට පත්වෙනවා. එම මත්පැන් බෝතලය පිළිබඳව ද්වේශ විඤ්ඤාණයක් ගොඩනගාගත් බිරිඳ එයින් දුක්වේදනාවට පත් වෙනවා. එසේනම් පුරුෂයාගේ සතුටටත්, බිරිඳගේ වේදනාවටත් හේතු වූයේ එකම මත්පැන් බෝතලය නේද? එසේනම් සතුට හෝ දුක ගෙන දුන්නේ තමා මනෝ මූලිකව ගොඩනගාගත් රාගික හෝ ද්වේශික විඤ්ඤාණය නේද? එසේ නම් එකම මත්පැන් බෝතලය පිළිබඳව විඤ්ඤාණය විසින් ලබාදී ඇත්තේ ප‍්‍රකෘති ආකල්පයක්ද නැතිනම් විකෘති ආකල්පයක්ද? විකෘති ආකල්පයක්. එමනිසයි විඤ්ඤාණය විකෘති ඤාණයක් ලෙස හැඳින්වූයේ. විඤ්ඤාණය මායා කාරයෙකුට සම කළේ ඒ නිසයි.

තමා ගොඩනගා ගත් මෙම විඤ්ඤාණය තුළින් රූපයක් දැකීම මගින් ගොඩනගා ගන්නා වේදනාව සම්ඵස්සජා වේදනා වශයෙන් හැඳින්වෙනවා. විකෘති ඤාණය (විඤ්ඤාණය) + ඇස + රූපය → චක්ඛු විඤ්ඤාණය → චක්ඛු සම්ඵස්සය → චක්ඛු සම්ඵස්සජා වේදනා. තින්නං සංගති ඵස්සෝ යනුවෙන් දැක්වූයේ මේ චක්ඛු සම්ඵස්සයයි. සසර පුරාවට අප විසින් සිදුකරන ලද්දේ සං කිරීමයි. එනම් සංඛාරයි. මේ සංඛාර ගොඩනැගීම තුලින් විඤ්ඤාණ ගොඩනැගීමත්, ඒ තුළින් ජාති ගොඩනගමින් සසරේ ඇවිද්ද ආකාරයත් දැන් පැහැදිලියි. එසේ නම් ජාති නිරෝධ කිරීමට (නිර්-උදා) අප කළ යුත්තේ කුමක්ද? සංවලින් වෙන් වීමයි. වෙන්වීම, මිදීම යන වචනවලට සමාන වූ පාලි වචනය “මා” යන්නයි. උදාහරණ – මාමේ බාල සමාගමෝ – බාල සමාගමයෙන් මිදේවා. එසේනම් සංවලින් මිදීම යනු “සං-මා” (සම්මා) වශයෙන් තේරුම් ගන්න පුළුවන්.

සසර දුකෙන් මිදීමට නම් ජාති ගොඩනැගීම වැළැක්විය යුතුයි. සං-මා වුනොත් විඤ්ඤාණ ගොඩනැගීම නතර වෙනවා. ඒ නිසා වන්නේ පටිච්ච සමුප්පාදයේ ඊළඟ පියවරවල් කිසිවක් ගොඩනොනැගීමයි. එසේනම් අවසානයේ ජාති ගොඩනැගෙන්නෙත් නෑ.

“සං”වලින් “මා” වීම හෙවත් මිදීමේ දෘෂ්ඨිය සම්මා දිට්ඨියයි. සම්මා දිට්ඨියට පත් පුද්ගලයාට තවත් වීර්යයෙන් පිරීමට කොටසක් ඉතිරිව තියෙනවා. එනම් සම්මා සංකප්ප, සම්මා වාචා…. සම්මා සමාධි ආදියයි. පළමුව සම්මා දිට්ඨිය කුමක්ද යන්න හඳුනාගෙන සම්මා දිට්ඨියට පත්විය යුතුයි. කෙනෙකු සම්මා දිට්ඨියට පත්වූවෙකු නම් ඔහු සෝතාපන්නයෙකු බව සංයුක්ත නිකායේ (5-2), 147 වන පිටුවේ එන දුතීය සාරිපුත්ත සූත‍්‍රයෙන් මෙසේ පෙන්වා තියෙනවා.

සාරිපුත්ත සෝතය සෝතය යැයි මෙය කියනු ලැබේ. සාරිපුත්ත සෝතය කුමක්ද? වහන්ස, මේ අරි අටඟි මග සෝතයයි. එනම් සම්මා දිට්ඨි… සම්මා සමාධි යයි. සාරිපුත්ත මැනවි මැනවි. සාරිපුත්ත, මේ අරි අටඟි මග සෝතයයි. සාරිපුත්ත, සෝවාන් සෝවාන් යැයි කියනු ලැබේ. සාරිපුත්ත සෝවාන් කවරේද? වහන්ස, යමෙක් මේ අරි අටඟි මගෙන් යුතු වූයේ වේද හේ සෝවාන් යැයි කියනු ලැබේ….

එසේනම් සෝවාන් වීම සඳහා අවශ්‍ය මූලික දැනුම කුමක්ද? ලෝකය අනිච්ච, දුක්ඛ, අනත්ථ බව දැකීමයි. ලෝකය ඉච්චයි, සුඛයි, සාරයි වශයෙන් ගත් දෘෂ්ඨිය අවිද්‍යාවයි. ලෝකය තමාට කැමති පරිදි සකස් කරමින් එ් හරහා ආස්වාද බුක්ති විඳීම ලෝක සත්ත්වයාගේ බලාපොරොත්තුවයි. ඔහු ඇස, කන, නාසය, දිව, ශරීරය හා මන සමග පටිච්ච වන්නේ ආස්වාද ලැබීම සඳහායි. එ් සඳහා රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් සං වීමේ ක‍්‍රියාවලිය සංඛාර වශයෙන් ද හැඳින්වෙනවා. සංඛාර කරනා තුරු ඔහු පටිච්ච සමුප්පාදයේ ඊළඟ පියවරවල් හරහා ජාති ගොඩනගනවා. එයින් ජාතියට උරුම වූ ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ආදී දුක්වලට ගොදුරු වෙනවා.

“සං” තේරුම් ගනිමින් ත‍්‍රිලක්ෂණය නමැති න්‍යාය තේරුම් ගැනීමෙන් “සං” කරන්නේ නැතුව, “සං”වලින්  මිදෙන්නා  ජාති ගොඩනගන්නෙ නෑ. ඔහු ජරා, මරණ ආදී දුක්වලට පාත‍්‍ර වෙන්නෙ නෑ. සම්මා දිට්ඨිය තේරුම් ගැනීම සඳහා බුදු දහමේ ප‍්‍රධානම න්‍යායන් දෙකක් මෙහිදී යොදාගත් බව පැහැදිලියි. ත‍්‍රිලක්ෂණය හා පටිච්ච සමුප්පාදය මේ න්‍යායන් දෙකයි. එනම් සම්මා දිට්ඨියට පත් පුද්ගලයා ආර්ය වූ න්‍යාය ප‍්‍රඥාවෙන් දැක්කෙකු විය යුතුයි. සෝවාන් පුද්ගලයාගේ ලක්‍ෂණ පිළිබඳව සංයුක්ත නිකාය (2), 107 වන පිටුවේ එන පංච භය වෛර සූත‍්‍රයේ සඳහන්ව තියෙනවා.

සෝවාන් බවට පත්වූ පුද්ගලයා හෙවත් සම්මා දිට්ඨියට පත්වූ පුද්ගලයාගේ සත්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස යන සංයෝජන ධර්ම තුන ඉවත් වෙනවා. මේ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරමු.

(ඉතිරි කොටස ලබන කලාපයෙන්)

නුගේගොඩ වින්සර් රෝහලේ සභාපති
වෛද්‍ය ආර්. පී. වීරසිංහ
MBBS/DFM/MCGP/MPFAM

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.

3 thoughts on “සම්මා දිට්ඨියට පත්වීම

  1. Pingback: සෝතාපන්න වීමත් සමග ඇතිවන වෙනස්කම් | හෙළ බොදු පියුම

  2. lal. karunaratne

    Related Posts _ This morning having copied all 5 scripts above and read them carefully.
    I felt it was an immense blessing particularly having gone through the related aspects of developing sublime knowledge on “Anapana Sati Bavana ” and the “Path to Sovan” .
    Recently I had compilied the Sathara Satipattana Sutta to develop the deeper knowledge related to “Pancha Upadanas skanda, Chathurariya Satthiya and Noble Eightfold Path”.
    But having found that Venerable Vaharaka Abayalankara Himipanan Vahanse’s makes me understand the hidden aspects … never before yet how they could be truly expounded by the Supreme Buddha.
    Please let me know how I could get to the scripts Posted … IN CONTINUATION OF THE SCRIPT … dated February 12, 2012 (සදහම් ඇස පහල කරගැනීම ) .  THEY SHALL  TRUELY BE A BLESSING FOR ME TO DEVLOP THE KNOWLEDGE FOR THE ASPIRATION OF SOVAN  FOR WHICH I HAVE BEEN STRIVING FOR A LONG TIME. [ SCRIPTS Required are …”Pancha Upadanas skanda, Chathurariya Satthiya and Noble Eightfold Path”].
    With Metta
    lal karunaratne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *