ආදි බ‍්‍රහ්ම කල්පික මනුෂ්‍යයාගේ සිට මේ දක්වා වූ පරිණාමය පිළිබඳ සැඟව ගිය දහම් කරුණු රැසක්

පූජා වශයෙන් හෝ අනුග‍්‍රහ වශයෙන් හෝ තමාට අයත් වස්තුවක් කැප කිරීම හෝ පරිත්‍යාග කිරීම දානය ලෙසටයි කාගේත් පිළිගැනීම වන්නේ. බෞද්ධයින් පමණක් නොවෙයි අන්‍ය ආගමිකයන් පවා මේ පරිත්‍යාග යහපත් සේ සළකා නිරතුරුවම එවැනි කටයුතුවල නියැලෙන   බව පේනවා.  එහෙත් බොහෝ දෙනෙක් දාන ආදී පුණ්‍ය ක‍්‍රියාවල යෙදෙන්නේ, දානය යන උතුම් සත්ක‍්‍රියාවෙහි අර්ථය පුලුල් ලෙස දැන ගෙනද? මේ සඳහා ප‍්‍රථමයෙන්ම “දානය” යන වචනය විග‍්‍රහ කර බැලිය යුතුයි. මේ වචනයේ ධර්මානුකූල නිරුක්තියක් තියෙනවා. අන්‍යයන්ගෙන් ගත් ණය ආපසු දැමීම යන අර්ථයෙන් දා+ණය දානය වෙනවා. ආපසු දිය යුත්තේ කුමන ආකාරයකින් ගත් ණයද යන කරුණ විග‍්‍රහ කර බැලීමෙන් මේ පිළිබඳව යථාවබෝධයක් ලැබිය හැකියි. දීමෙන් ලැබෙන ලාභයක් මෙන්ම නොදීමෙන් සිදුවන ශාපයක් ද ඇති බව මේ විග‍්‍රහයේ දී වැඩි දුරටත් පෙනී යන කරුණක්.

අනන්ත සසර ගමනක් තුළ තම තමන් විසින් අසාධාරණ ලෙස අයිතිකර ගෙන භුක්ති විඳින ලද අන්සතු දේ නිසා ගොඩනැගුණ මහා ණය කන්දරාව පිළිබඳව ලෝක සත්වයින් කිසිවෙකුටත් අවබෝධයක් නෑ. මේ පිළිබඳව ලොවුතුරා බුදුපියාණන් වහන්සේ බුදු ඇසින් දැක, අන්සතු නුදුන් දේ ගැනීම (සොරකම) හටගත් අයුරු අග්ගඤ්ඤ සූත‍්‍රයේදී, වාසෙට්ඨ නම් බ‍්‍රාහ්මණයාට කළ ධර්ම දේශනය තුළින් මනාව පැහැදිලි වෙනවා.

තම ලෝකය නිර්මාණය කරගන්නේ තමන්මයි. ලෝක විනාශයකින් පසු  නියත  මිත්‍යාදෘෂ්ටිගතිකයන් ලෝකාන්තරික නරකයේත්, අන් සියලූ සත්ත්වයන් ආභස්සර බ‍්‍රහ්ම ලෝකයේත් උපදිනවා. නව (අලුත්) කල්පයක් ආරම්භවී ලෝකය නිර්මාණය වීමේදී එහි ගතකරන සත්ත්වයන්ගේ ආයුෂ ක‍්‍රම ක‍්‍රමයෙන් ගෙවී ගොස් ආභස්සර බ‍්‍රහ්ම ලෝකයෙන් චුතව ප‍්‍රථම ධ්‍යාන තලයේත්,  එතැනින් චුතව බ‍්‍රහ්ම කල්පික මනුස්සයන් ලෙසත් උපදිනවා. ඔවුන් ප‍්‍රීතිය බුක්ති විඳිමින් ස්වයං ප‍්‍රභා ආලෝකයෙන් යුක්තව අහසේ සැරිසරනවා. දිගු කලකින් පසු ජලයේ රස පොළොව හටගන්නවා. එය හරියට උණු කළ කිරි නිවෙන විට කිරි මතුපිට හටගන්නා යොදය වගේ. මනා ලෙස සකස් කළ ගිතෙල් හෝ වෙඬරු ලෙස පැහැපත්. පිළවුන් නැති මීවදයක් මෙන් රසවත්. එක් කෑදර සත්ත්වයෙකුට රස පොළොව ඇඟිල්ලෙන් රස බැලීමෙන් ආස්වාදයක් ඇති වුණා. එයින් රස තණ්හාව ඇතිවුණා.  ඉන්පසු   අන්‍ය සත්ත්වයනුත් රස පොළොව ගුලිකොට කෑමට පටන් ගත්තා. ඔවුන්ටත් රස තණ්හාව ඇති වුණා.

මෙසේ රස පොළොව අනුභව කරමින් කලක් ගතවන විට ඔවුන්ගේ ශරීරයන් රළු බවට පත් වුණා. ඇතැම් සත්ත්වයන් පැහැපත් වී ඇතැම් අය දුර්වර්ණ වුණා. පැහැපත්  වූවන්, දුර්වර්ණ වූවන් හෙළා දැකීමෙන් ඇතිවූ මානය නිසා රස පොළොව අතුරුදන් වුණා. රස පොළොව අතුරුදන් වූ සත්ත්වයින්ට බිම් හතු සහිත මොළොක් පසක් පහළ වුණා. ඒවාත් ගිතෙල් මෙන් වර්ණවත් වුණා. මීවද මෙන් රසවත් වුණා. බිම් හතු අනුභවයෙන් ඇති වු රළු බව හා වර්ණය නිසා උපන් මානය හේතුවෙන් බිම් හතු නැති වී බදාලතා නමින් වැල් ජාතියක් පහළ වුණා. ඒවාත් සුවඳවත් වුණා, රසවත් වුණා. ආහාර පහළ වෙන්නේ ඒ එ් සත්ත්වයින්ගේ රාගික ගති ලක්ෂණ අනුවයි. පෙර කල්පවල පුරුදු කරපු ස්ත‍්‍රී, පුරුෂ ගති ලක්ෂණ අනුව ඒ ආහාර අනුභවයෙන් ස්ත‍්‍රී, පුරුෂ දෙකොටස බිහි වුණා. පිරිමින්ගේ බදා ගැනීමේ ලක්ෂණයත්, ස්ත‍්‍රීන්ගේ වෙලෙන ලක්ෂණයත් අනුවයි, ඒ බදාලතා නම් වූ වැල් වර්ගය සකස් වුනේ. ඒවා අනුභවයෙන් ඇති වූ වර්ණවත් බව නිසා හටගත් මානය හේතුවෙන් ඒවා විනාශ වී ස්වයං ජාත හැල් පහළ වුණා.

බ‍්‍රහ්ම කල්පික මිනිසුන් දස අකුසලයෙන් වෙන් වී සිටි නිසා ඔවුන් තමන්ට හිමි කොටස පමණයි භුක්ති වින්දේ. ඔවුන් තවදුරටත් අලෝභයෙන්, අද්වේශයෙන්, අමෝහයෙන් ජීවත්ව සිටි නිසා ඒ ගතියට උරුම ආහාරයක් වශයෙනුයි ස්වයං ජාත හැල් පහළ වුනේ. වර්තමාන ලෝකයේ උපරිම සැප සම්පත් විඳින කෙනෙක් හා සසඳන විට, බ‍්‍රහ්ම කල්පික මිනිසුන්ගේ ස්වභාවය ඔවුන්ට වඩා දහස් ගුණයකින් වැඩියි.

ස්ව කියන තමාගේ භාවය දරා සිටින්නේ (ස්ව + භාව + ධර්මය) ස්වභාවධර්මයයි. කෙනෙකුගේ ගති ලක්ෂණ අලෝභ, අද්වේශ, අමෝහ නම් ස්වභාව ධර්මයත් ඊට අනුකූලව සකස් වෙනවා. ගති ලක්ෂණ ලෝභ, ද්වේශ, මෝහ සහිත නම් ස්වභාව ධර්මයත් ඊට අනුකූල වෙනවා. අලෝභය ලැබීමටත්, අද්වේශය සමගියටත්, අමෝහය ගුණ නුවණ වැඞීමටත් හේතු වෙනවා. ලෝභය පිරිහීමටත්, ද්වේශය ගැටීමටත්, මෝහය අනුවණකමටත් හේතු වෙනවා. ලෝක සත්ත්වයින් අලෝභයෙන්, අද්වේශයෙන්, අමෝහයෙන් ජීවත්ව සිටි කාලය තුළ ලැබීම, සමගිය සහ ගුණ නුවණ සමාජය තුළ අඩුවක් වුනේ නෑ. ලෝභ, ද්වේශ, මෝහ ගති ලක්ෂණ මතු වී ස්වභාවය තුළින් අලෝභය, අද්වේශය, අමෝහය ඉවතට විසි වී (වි + ස්ව) විශ්වය සකස් වුණා. ස්ව භාවයෙන් විසි වූයේ කෙතරම් දුරකටද ඒ විශ්වයයි. දුරට ූ අස්වීම නිසා දුරස් වුණා. මෙසේ විශ්ව ගතව පිහිටියේ ස්වභාව ධර්මයෙන් දුරස් වූ දේවල්. විශ්වයේ තියෙන්නේ අපි ළඟ තිබී මනසින් ඉවත් වී ශක්තියට අනුරූපව ගොඩනැගුනු දේවල්.

පංච කාම ආස්වාදයන්ට ලොල් වීම නිසා ඇතිවුන මානසිකත්වය යටතේ එයට ගැලපෙන ආහාර නිපදවන්නා වූ ගහක් හටගත්තා. පහකට ලොල් වීමෙන් හටගත් නිසා පහ + ලොල් =පොල් නමින් ඒ වෘක්‍ෂය හැඳින්වුණා. කල්පය මුල හටගත් නිසා කල්ප වෘක්ෂය නමින්ද එය හැඳින්වෙනවා.

ලෝකය හටගන්නා විට අඳුරක් තිබුණෙ නෑ. බ‍්‍රහ්ම කල්පික මිනිසුන්ගේ පුණ්‍ය ශක්තිය නිසා ස්වයං ප‍්‍රභා අලෝකයකින් යුක්තව ප‍්‍රීතිය ආහාර කරගෙන ඔවුන් ජීවත් වුණා. ඔවුන්ට බරපතල දුකක්, රෝගයක් හෝ කුසගිනි දැනීමක් හෝ තිබුණෙ නෑ. අකාශචාරීව ගමන් කිරීමට හැකියාවක් තිබුණා. මළ මුත‍්‍රා පිට කිරීමේ අවශ්‍යතාවයක් තිබුණෙත් නෑ.

ඔවුන්ගේ රාග හැඟීම් බලවත් වීමත් සමග ලෝකය අඳුරු වෙන්න පටන් ගත්තා. ආ (ආපු) + ලෝකය ආලෝකයයි, හෙවත්  ආභස්සර ලෝකයයි. ආ (ආපු) + දුර, අඳුර වුණා.

ලෝභ, ද්වේශ, මෝහ හැඟීම් නිසා ඇති වු දූෂ්‍යභාවය හේතු කොටගෙන ස්වයං ප‍්‍රභාශ්වර ආලෝකය නැතිවීමත්, අඳුර හට ගැනීමත් නිසා කාර්යශූර ලෙස වැඩ කටයුතු කර ගැනීමට නොහැකි වීමෙන් ඔවුන්ට සංවේගාත්මක හැඟීම් පහළ වුණා.

ශූර බලයක් ඇත්නම් කොච්චර හොඳද යන අදහස ඔවුන්ගේ සිත් තුළ පහළ වීම නිසා ඒ ශක්තියෙන් සූර්යා හටගත්තා. මේ ආකාරයෙන් රැයත් දහවලත් උදාවුණා.

සූර්යාලෝකය පොදුවේ සෑම තැනකම පතිත වන විට ඇතැම් අයට රහසිගතව කාම සම්භෝගයේ යෙදීමට බාධාවක් වුනා. සූර්යාලෝකය පවතින විට තද එළියක් සේම අඳුරු වෙලාවට තද කලූවරක් ද තිබුණා. අපේ කැමැත්තට හෙවත් ඡන්දයට අනුව ගැලපෙන පරිසරයක් ඇත්නම් යන සිතිවිලි අනුව චන්ද්‍රයා පහළ වුණා.

ඇතැම් අය රාගයට ගැතිවන විට තවත් අය ඔවුන්ට නිග‍්‍රහ කරන්න පටන් ගත්තා. මෙසේ ප‍්‍රිය මනාප ලෙස ඇසුරු කිරීමට බාධා පැමිණෙන විට සැඟවී ඇසුරු කිරීමට අස්සක් හදා ගන්න අවශ්‍ය වුණා. ඒ අනුව ප‍්‍රිය ලෙස ඇසුරු කිරීමට හදාගත් අස්ස පියස්ස වුණා. එසේම උඩින් යන අයට නොපෙනී, වහගෙන ආලය කිරීමට වහලයක් ගොඩනගා ගත්තා. කාමය ඇසුරු කරමින්, ගැරහිය යුත්තන් වාසය කරන තැන ගෘහය වුණා. ගෘහයේ ඉන්න තැනැත්තා ගිහියා වුනා. මේ ගැරහිය යුතු දේවල්, පහ කළ යුතු විදිය තේරුම් ගෙන කටයුතු කරන අය පැවිදි උතුමන් වුණා. මෙසේ අධ්‍යාත්මක ක‍්‍රම විකාශණයක ප‍්‍රතිඵලයක් ලෙස බාහිර පරිසරය හට ගත්තා.

කාමාස්වාදයන්ට බැඳී ක‍්‍රියා කරන විට බාහිරින් ලැබුණ සශ‍්‍රීකත්වය තව තවත් පිරිහෙන්නට වීමෙන් ස්වයංජාතව පහළ වූ දේ විනාශ වී යාම නිසා උත්සාහයෙන් වීර්යයෙන් ගොඩනගා ගෙන ආහාර සකස් කර ගැනීමට වාතාවරණය සකස් වුණා.

ස්වයංජාතව ලැබුණ ආහාර සමගියෙන් සමාදානයෙන් පරිහරණය කරමින් සිටින අතර තුර එක්තරා කපටි ක‍්‍රියාවකට ඔවුන් යොමු වුණා. දිනපතා ආහාර ගෙන ඒමට යාමේදී ස්ත‍්‍රියට ඇතිවන පාලූව නිසා එක් දිනකට, දෙදිනකට… වශයෙන් දින කිහිපයකට ආහාර ගෙනවිත් රැස්කර ගැනීමට පටන් ගත්තා. ඒ ආකාරයෙන්ම අන් අයත් ධාන්‍ය රැස් කිරීමට යාම නිසා දින හතක් දක්වා රැස් කරන විට කිසියම් හිඟ වීමක් ඇති වුණා. අන්‍යයන්ට හිමි දේ එක්රැස් කර ගැනීම නිසා ණය වීමක් සිදු වුණා. පොදුවේ බුක්ති විඳගෙන ආ දේ අසාධාරණව රැස්කර ගැනීම නිසා අයිතිය පිළිබඳ ගැටුම් ඇති වුණා. පොදුවේ බුක්ති විඳීමට තිබූ දේවල් හිඟ වීම නිසා ඇති වූ අග හිඟකම් පිරිමසා ගැනීමට අසාධාරණව රැස් කරගත් අයගෙන් බලෙන් ලබා ගැනීමට සිදු වුණා. මුල යහපත් නිසා හිඟ තිබුණෙ නෑ. අග කාලය අයහපත් නිසා හිඟ වීමෙන් අගහිඟ යන වචනය ඇති වුණා.

මහා සම්මත රජෙකු තෝරා පත්කර ගැනීම.

මෙසේ අන්‍යයන්ට අයත් දේවල් ගොඩ ගසාගෙන ඒවා “මම, මගේ” කියමින් ඇතැම් අය බොරු කියන්නට පටන් ගත්තා. මේ අසාධාරණ ක‍්‍රියාවන් සඳහා බාධා අවහිර පැමිණෙන විට ඒවා පාලනය කර ගැනීමට පාලකයෙක් අවශ්‍ය වුණා. සාධාරණත්වය ඉටු කර ගැනීම සඳහා මහා ජන සම්මතයකින් නායකයෙක් තෝරා පත්කර ගෙන ඔහු මහා සම්මත නමින් හඳුන්වන්න පටන් ගත්තා. ලෝභ, ද්වේශ, මෝහ ගති ඉස්මතු වී, පිරිහීමට පත්වීම නිසා ඉඩකඩම් පොදුවේ භුක්ති විඳීමට  අසමත් වුණා. එකිනෙකාට අවශ්‍ය කොටස් වෙන් කරවා ගැනීම සඳහා මහා සම්මත පාලකයා ලවා අණ පනත් පනවා ගෙන ඉඩකඩම් වෙන් කර ගත්තා. පොදුවේ භුක්ති විඳීමට තිබුණ මහ පොළොව, මැන සකස් කොට දීම නිසා ඔහු මනු රජ්ජුරුවන් නමින් හැඳින්වුණා. මහා සම්මත රජ පරපුරේ මුල්ම රජු මනු රජ්ජුරුවන් වුනේ මේ අයුරින්. ලෝක සත්ත්වයින්ගේ පොදු අයිතියට තිබූ දේපල මන්නවා ගෙන තම පුද්ගලික අයිතියට පත්කර ගෙන ඒවා ‘‘මගේ’’ කර ගැනීමෙන් මහා අසාධාරණයක් සිදු වුණා. මේ ආකාරයෙන් ලෝක සත්ත්වයින්ගෙන් ඇතමෙක් අන්‍යයන්ගේ දේපල අසාධාරණව භුක්ති විඳින්නන් බවට පත්වුණා. මේ සඳහා සම්මත කරගත් නීතිය සාධාරණ නීතිය ලෙසත් නිගමනය කරගත්තා.

පොදුවේ භුක්ති විඳීමට ලැබුණු දේ සාධාරණව භුක්ති විඳිය යුතුයි

යන්න ධර්මතාවයයි. එහෙත් මේ ධර්මතාවයට ඉඩ නොදී සාධාරණයයි සම්මත කරගත් නීතියකට අනුව කටයුතු කිරීම ඒ ධර්මතාවයට විරුද්ධව යාමක්. එහෙත් ඔවුන් ධර්මතාවයට ඉඩ නොදී මැන මැන අල්ලා ගැනීමට පටන් ගත්තා. පොදුවේ ලෝක සත්ත්වයින්ට මෙන්ම තිරිසන් සතුන්ට පවා තිබූ අයිතිය නැති කර දමා මගේ කොටස යනුවෙන් මැන මැන කොටු කර ගෙන උස්ස ගැනීම නිසා මනුස්ස (මනුෂ්‍ය) වුණා. එහෙම නැතුව උසස් මනසක් තිබුණ නිසා නෙවෙයි මනුස්ස වුනේ. උසස් මනසක් තිබුණ නම් ඒ ශුද්ධභාවය නිසා “බ‍්‍රහ්ම” විය යුතුයි. එහෙත් මනුස්සයන් ඉන්නේ දෙවියන්ටත් පහළ තත්ත්වයකයි. මිනිස් සංඛාරවලට වඩා පුණ්‍ය සංඛාර ගොඩනගා ගත් නිසා, පටිච්ච සමුප්පාද චක‍්‍රයට අනුව දිව්‍ය ජාති පහළ වෙනවා. මනස උසස් නිසා මනුස්ස වෙනව නම් ඒ නාමයෙන් හැඳින්විය යුත්තේ බ‍්‍රහ්මයන්. ධර්මානුකූල පද නිරුක්ති වසා දැමීමෙන් සැඟවී ඇත්තේ ධර්මයයි. මනස උසස් නම් ලෝභය ඇති වී පොදු අයිතියට පහර ගැසීමක් සිදුවෙන්න බෑ. මෙවැනි උපක‍්‍රමශීලී වෙන්කර ගැනීමක් තිරිසන් සත්ත්වයන් අතර නෑ.

උතුමන්ගේ කටයුතුවලට බාධා හිරිහැර පැමිණවීම සාපයක් වුණා.

මෙසේ මැන මැන වෙන්කර කොටු කර ගන්නා අවස්ථාවන්වල පාරමිතා පුරන මහබෝසතුන් වහන්සේලා වැනි උතුමන්ට කිසියම් අවහිර හිරිහැර බාධා ආදියක් සිදුවී ඇත්නම් එය සාප ගෙන දෙන අසාධාරණයක් වෙනවා. තම කටයුතුවලට බාධා අවහිර ගෙන දෙන සතුන් පලවා හැර, තමන්ට ආධාර උපකාර ඇති සතුන් හදා වඩා ගැනීමටත් පියවර ගත්තා. සතුන්ට බුක්ති විඳීමට ස්වභාවිකව හටගත් භවභෝග වෙනුවට තමන්ට අවශ්‍ය පරිදි ගහකොළ වවා හදාගනිමින් ඒවා මගේ කර ගනිමින්, ඒවායේ අස්වැන්න තම නිවෙස් වෙත ගෙනවුත් බුක්ති විඳීමට පටන් ගත්තා. මේ ආකාරයෙන් තමන්ට අයිති දෙයකට අතිරේකව ලෝභ කමින් අන්‍යයන්ට අයත් දේ භුක්ති විඳීම හේතු කොට ගෙන පිරිහීම පටන් ගත්තා. ලැබීම අඩු වී අග හිඟකම් එන්න පටන් ගත්තා. අසාධාරණ ක‍්‍රියාවන් කළවුන්ට ඊළඟ අත් බැව්වලදී පහත් දුප්පත් තත්ත්වයන්ට පත් වී දුක් විඳින්න සිදු වුණා. මේ නිසා විපාකයේ භුක්තියත් විඳීමට සිදු වුණා. මෙසේ අන්‍යයන්ට අයත් දේවල් පරිභෝග කිරීමෙන් ඇති වූ සාපය නිසා එදා විඳින ලද සැප සම්පත්තිවලින් දාහෙන් පංගුවකටත් අඩු ප‍්‍රමාණයකුයි අද මහා සම්පත්ති ඇතැයි කියන අයටත් බුක්ති විඳින්න සිදුවෙලා තියෙන්නේ.

සොරකමින් දස අකුසලය ආරම්භ වුණා.

අන්‍යයන්ට අයත් දේපල කොටු කරගෙන, උත්සාහයෙන් වීර්යයෙන් ගොඩ නගාගෙන වගා කර ගෙන යන අහාර භෝගවලින්, එසේ වගාකර ගැනීමට නොහැකි වූ ඇතැම් අය සොරකම් කිරීමට පටන් ගත්තා. මෙසේ අසාධාරණ පරිභෝජන රටාව තුළ සොරකම බිහිවුණා. අන්‍යයන්ට අයත් දේවල් අසාධාරණයෙන් කොටුකරගෙන ණය වීමේ ප‍්‍රතිඵලයක් ලෙස මහන්සියෙන් නිපද වූ දෙයින් මෙසේ වන්දි ගෙවීමට සිදු වුණා. අන්‍යයන්ගේ දේ සොරකම් කළ අයට සතුටින් ඉන්න ලැබෙන්නෙ නෑ. වෙහෙස මහන්සියෙන් නිපදවන ලද දේ  අනෙකා සොරකම් කළ නිසා පොදු හිමිකම් අහිමි වූ පිරිස ඒ කණගාටුවෙන් මිය ගිහින් ඒ ණය ආපසු ගන්න ඔවුන් ළඟ ඉපදෙනවා.

මුල් කාලවල කාම සම්භෝගයක් තිබුණට දරුවන් ගැබට ආවෙ නෑ. බ‍්‍රහ්ම කල්පික මිනිස් සිරුරු ඇතිව පූර්ණව බිහි වුණේ  ඕපපාතිකවයි. තමන්ට අයත් දේ සොරකම් කොට කාපු අයගෙන් ඒ වන්දිය ගන්න ඒ අය ළඟ ඉපදෙනවා කියලයි කුසකට ඔක්කන්ති වෙන්නේ. මේ නිසා ඒ අයව කුස තුළ තබාගෙන පෝෂණය කරන්න සිදු වුණා. එකතුවෙලා සහයෝගයෙන් කළ නිසා අම්මයි තාත්තයි දෙන්නෙක් හැදුනා. දරුවා  වුනාට  පසුව ලෙන්ගතුකමක් ඇතිවෙනවා. අන්‍යයන්ගේ දේ  සොරකම් කොට පරිභෝජනය කළ නිසා ඒ ණය ගෙවීමටයි එවැනි ක‍්‍රමයක් සකස් වුනේ. උපක‍්‍රමය යෙදු අම්මා පෝෂණයටත්, එය ක‍්‍රියාත්මක කළ පියා වෙහෙස මහන්සී වී උපයාගෙන ඒමටත් වශයෙන් ක‍්‍රමයක් සකස් වුණා.

සොරකම් කළ අයට දඬුවම් කළ යුතු යයි පාලකයන් නීති සම්මත කර ගත් නිසා ප‍්‍රාණඝාතයත් ආරම්භ වුණා. සොරකමට දඬුවම් ලැබෙන නිසා ඔවුන් පිනවීම සඳහා සම්මතය බිඳ දමමින් කාම මිච්ඡුාචාරයට අයත් දුශ්චරිත ක‍්‍රියාවල යෙදෙන්න වුණා. කාය දුශ්චරිතවලට විපාක වශයෙන්, පහත් උප්පත්ති ක‍්‍රමයක් නැගී ඇවිත් තිරිසන් ගති අනුව තිරිසන් සතුන් බිහිවීමට පටන් ගත්තා. මෙසේ දස අකුසලයම මිනිසුන් තුළ ක‍්‍රියාත්මක වුණා. මුල් කාලයේ තිරිසන්නුත් රසායනික සංයෝග සහිත මඩ කළල් ඇසුරේ සංසේදජවයි බිහි වුණේ. මඩ ඇසුරේ කළලය හටගත් නිසා මඩකළල් කියා අදත් භාවිතා කරනවා.

දානය ලැබීමට හේතු වෙනවා.

මේ අනුව නිදහස් සාධාරණ ලෝකයක් තුළ, ස්වභාව ධර්මයට අනුව පොදුවේ භුක්ති විඳීමට ලැබුණ අයිතිය, එකිනෙකා පැහැරගෙන තවත් පිරිසකගේ අයිතිවාසිකම්වලට වැට කඩොලූ බැඳීම නිසා ඔවුන්ට ලෝකයට ණය ගෙවන්න සිදු වුණා. මේ ආකාරයෙන් ලෝක සත්ත්වයා ගත් ණය ආපසු දාන තාක්, සහජයෙන් හිමි මිනිස් පුණ්‍ය ශක්තිය ක‍්‍රියාත්මක වී ඔවුන්ට හිමි ලැබීම ලබා දෙන්නෙ නෑ. මෙහිදී සිදුවන්නේ අමුතුවෙන් ලැබීමක් ගොඩනැගීම නොවෙයි,  අන්‍යයන්ගෙන් අසාධාරණ ලෙස ගත් ණය ආපසු දැමීමෙන්, ඒ මට්ටමට ඔවුන්ගේ හිමිකම මතු වී ඒමයි. දානය ලැබීමට හේතුවන්නේ ඒ ආකාරයෙන්.

මිනිස් පුණ්‍ය ශක්තිය ක‍්‍රියාත්මක වී ඔවුන්ට හිමි ලැබීම ලබා දෙන්නෙ නෑ. මෙහිදී සිදුවන්නේ අමුතුවෙන් ලැබීමක් ගොඩනැගීම නොවෙයි,  අන්‍යයන්ගෙන් අසාධාරණ ලෙස ගත් ණය ආපසු දැමීමෙන්, ඒ මට්ටමට ඔවුන්ගේ හිමිකම මතු වී ඒමයි. දානය ලැබීමට හේතුවන්නේ ඒ ආකාරයෙන්.

ණයෙන් නිදහස් වී ශුද්ධතාවයට පත්වන්නේ කෙසේද?

බුදුපියාණන් වහන්සේ දේශනා කළ ශ‍්‍රී සද්ධර්මය ශ‍්‍රවණය කොට, ලෝභ- ද්වේශ-මෝහ යන අකුසල ක‍්‍රියාවන්ගේ ආදීනව දැක, දේපළ මිල මුදල් වශයෙන් ලෝභකමින් රැස්කරගෙන භුක්ති විඳින්නේ තමාට අයත් දේවල්ද යන්න අවංකවම දැකිය යුතුයි. අන්‍ය ලෝක සත්ත්වයන්ට හිමි සම්පත්, සම්මත නීතිරීති යටතේ මගේ කියලා කොටු කරගෙන භුක්ති වින්දාට ඒ නීති රීති පින් පව් මත හෝ සාධාරණ ධර්මතාවයක් මත ගොඩ නැගුණු දේවල් නොවන බවත් අවබෝධ කර ගත යුතුයි. සම්මතය වෙනස් කරන්න බැරි වුනත්, තමාට අයිති කොටස පමණක් භුක්ති විඳිමින්, අන්‍ය ලෝක සත්ත්වයින්ට අයත් දේවල් පරිත්‍යාග කර තමා නිදහස් වෙනවා යන අදහස සිත තුළ ක‍්‍රියාත්මක වී, තම පරිභෝජනයට අවශ්‍ය දේ පමණක් තබාගෙන සියල්ල දුන් තැනැත්තා ණයෙන් නිදහස් වෙනවා.

මේ අනුව දානය යනුවෙන් අදහස් කරන්නේ තමන්ගේ කොටස දීම නොව අන්‍යලෝක සත්ත්වයින්ට හිමි කොටස් ඒ අයට දීමයි. බුදු, පසේබුදු, ශ‍්‍රාවක මහබෝසතුන් වහන්සේලා වැනි උතුමන්ට බාධා අවහිර පැමිණවීමෙන්, වැට කඩොලූ බැඳීමෙන් සහ පහර ගැසීමෙන් සිදු කර ගන්නා ලද සාපයෙන් නිදහස් වීමට තම භෝග සම්පත්තිවල අග‍්‍රසශ්‍ය කොටස පළමුව වෙන් කොට එවැනි උත්තමයින් සඳහා දානය වශයෙන් පූජා කළ යුතුයි. අපේ පැරණි මුතුන් මිත්තන් ගොයම් කිරිවැදී පැසීගෙන එන විටම අග‍්‍රසශ්‍ය කොටස් කපා වෙන් කොට ගමේ සියලූ දෙනාම එක් වී බුදු පියාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය වෙත දානයක් පිරිනමන සිරිතක් තිබුණා. ගොවිතැන් කිරීමට වැව් අමුණු සාදා දුන් පැරණි අය දේවත්වයට පත් වී ඇතැයි විශ්වාස කරමින්, ධාන්‍යවලින් දෙවෙනි කොටස දෙවියන්ට වෙන්කර දානයක් සකස් කර දෙනවා.

දෙවියන්ට ඇප උපස්ථාන කිරීමෙන් අභිවෘද්ධියක් මිස පිරිහීමක් නොවන බව, සප්ත අපරිහානි ධර්ම පිළිබඳව ලිච්ඡවි රජදරුවන්ට බුදුපියාණන් වහන්සේ දේශනා කර තියෙනවා. එසේම ගොවිතැන් සඳහා ඉඩ කඩම් සකස් කර දුන් ආතලා මුත්තලා වැනි අය වෙනුවෙන්ද කෘතෝපකාර සලකා ඒ අය වෙනුවෙන් දානයක් දී පින් අනුමෝදන් කරනවා. එසේම අනියම් ලෙස හෝ ඒවා රැක බලා ගනිමින් අවට පරිසරයේ ජීවත් වන අයටත් කොටසක් දෙනවා. ලෝක සත්ත්වයින් අසාධාරණ ලෙස හිමිකම් පෑම නිසා දුගී දුප්පත් බවට පත්වූ යාචකාදීන්ට තවත් කොටසක් බෙදා දෙනවා. වැටකඩොලු බැඳීමෙන් අයිතිය අහිමි වූ සතුන්ට හිමි කොටස වශයෙන් බලු කපුටු දානයක් දී ඒ සතුන්ට හිමි කොටස සතුන්ට ලබා දෙනවා. හීනයන්ට (ලෝක සම්මතයේ පහත් බවට පත්) කළ අසාධාරණ වලට විපාක වශයෙන් යම් යම් අපල උපද්‍රව දුක් කරදර සිදුවන විට ඒවා සෙනසුරු අපල වශයෙන් හඳුන්වා කපුටු දාන දෙන්නේ ඒ නිසයි. රැකියාවකින් හෝ ව්‍යාපාරයකින් හෝ කවර ආකාරයකින් හෝ මුදල් උපයා ගත්තත් අන්‍යයන්ට අයත් අසාධාරණ කොටසක් එයට ඇතුලත් වේ දැයි අවංකව සොයා බලා ඒවායින් නිදහස් විය යුතුයි.

දානය දීමෙන් ලැබීමත් නොදීමෙන් සාපයත් ඇතිවෙනවා.

මේ ආකාරයෙන් අන්‍යයන්ට දිය යුතු කොටස් සියල්ල දානය කොට, මගේ කොටස පමණක් මා භුක්ති විඳිනවා යයි සිතා කටයුතු කරන විට ඔහු සියලූ ණයෙන් නිදහස් වෙනවා. එවිට අන්සතු දේ භුක්ති විඳීමේ සාපය නැති වී, ස්වභාවිකව ලැබෙන්න තියෙන සියලු හිමිකම් ඔහුට ලැබෙන්න පටන් ගන්නවා. මෙසේ දානය සිදු කිරීමෙන් පසුව ඉතිරි වූ කොටස පෙරට වඩා වැඩි බවක් ඔහුට පෙනී යනවා. සියලූ බාධක කරදර නැති වී යනවා.

පිනෙන් සිදුවන්නේ කුසලයක් ගොඩනැගීමයි.

මෙහිදී සිදුවන්නේ අලූත් පිනක් ගොඩනැගීම නොවෙයි තිබූ කහට නැතිකර ගැනීමයි. දානයෙන් කුසලය නැගී එන්නේ ඒ ආකාරයෙනුයි.

තුච්ඡු වූ නින්දිත වූ ලාමක වූ පාප ධර්මයන් සලාහරින හෙයින් කුසල් යයි

අටුවාවල සඳහන් වී තියෙනවා. ‘කූ’ කියන්නේ පහත් දේවල්. සලාහරිනවා කියන්නේ ඉවත් කිරීමයි.

කෝසානි විචෙයිය කේවලානි දිබ්බං මානුසකංච බ‍්‍රහ්මකෝසං, සබ්බකෝස, මූලබන්ධනා පමුත්තෝ කුසලෝ තාදී පවුච්චතෝ තථත්තා.

කෝස යනු ඉපදෙන තැනයි. දිව්‍ය, බ‍්‍රහ්ම, මනුස්ස යන සියලූ හට ගැනීම් සඳහා මූල බන්ධනය වන අවිද්‍යා තෘෂ්ණා දෙක පහකිරීම කුසල් ලෙස හඳුන්වනවා. මේ අනුව දානය දීම සතුටු විය හැකි පිනක්. ණය ආපසු දැමීමෙන් සිදුවන මානසික ශුද්ධතාවය කුසලයක්. පිනෙන් සිදුවන්නේ කුසලයක් ගොඩ නැගීමයි. සිත, කය, වචන මුල්කරගෙන යමක් කරන විට එය ඤාණ සම්ප‍්‍රයුක්තව සිදු කළේ නම් ඒ සමග කුසලය වැඩෙනවා, හිත නිදහස් වෙනවා. නිදහස් මානසිකත්වයක් සමග ලැබීම පහළ වෙනවා. අලෝභය ලැබීමටත්, අද්වේශය සමගියටත්, අමෝහය නුවණටත් හේතු වෙන්නේ මේ ආකාරයටයි.

අප‍්‍රමාණව මෙත් වැඞීමෙන් පාප කර්ම ගෙවා දැමිය හැකිද?

ධර්මාවබෝධය තුළින් ලෝකයේ අසාරත්වයත්, නිවනේ ශාන්තියත් ප‍්‍රත්‍යක්ෂ කරගත් තැනැත්තෙක්, තමා මෙන්ම  තමන්ගෙන්  අවැඩක් අසාධාරණයක් සිදු වූ අන්‍ය ලෝක සත්ත්වයින්ද සසර දුකින් මුදවාලීමේ පරම අධිෂ්ඨානයෙන්, ඔවුන් වෙත අප‍්‍රමාණව මෙත්තා සහගත මනෝ කර්ම, කාය කර්ම, වචී කර්ම පතුරුවා හරිමින් මෙත් වැඞීමෙන් අනන්ත සසර ගමනක් තුළ සිදු කරන ලද අසාධාරණයන්ට වන්දි ගෙවා නිදහස් වී, තමා වෙත එන්න තිබූ අයහපත් විපාක බොහෝ දුරට මගහරවා ගත හැකි වෙනවා. සද්ධර්මය විකෘති කිරීම, ආර්ය උපවාද සහ ආනන්තරික පාපකර්මවල ශේෂ වූ විපාකයන්ද සම්පූර්ණයෙන් නොවුනත් බොහෝ දුරට අඩු වී යනවා. අසාර වූ ලෝකයෙන් මිදෙන්න වීර්ය වඩමින් විදර්ශනා වඩන විට අමනුස්ස ලෝකයෙන් මෙන්ම මනුස්ස ලෝකයෙන්ද විවිධ බාධක එන්න පටන් ගන්නවා. එහෙත් අප‍්‍රමාණ වූ ඒ ආර්ය මෛත‍්‍රිය වඩන විට ඒ ණයෙන් නිදහස් වී යනවා. ඒ ණයෙන් නිදහස් වූ තරමට මානසික පවිත‍්‍රතාවය ලැබී ආර්ය මාර්ගය වැඞීමට පසුතලය සැකසී එනවා.

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණ දහම් කරුණු ඇසුරින් සකස් කළේ :

ඇල්. අමරසිංහ
(විශ‍්‍රාමික ලංකා බැංකු ජ්‍යෙෂ්ඨ කළමනාකරු)
පිළියන්දල.

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.

One thought on “ආදි බ‍්‍රහ්ම කල්පික මනුෂ්‍යයාගේ සිට මේ දක්වා වූ පරිණාමය පිළිබඳ සැඟව ගිය දහම් කරුණු රැසක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *