පසුගිය කලාපයෙන්  – (කෙළවරක් නැති පර්යේෂණවලින් මිදී නිවැරදි බුද්ධ වචනය අනුව ලොව සත්‍යය වටහා ගනිමු)

වේදනාව අපේ දුක සඳහා කෙසේ බලපාන්නේ දැයි සොයා බැලිය යුතුයි. වේදනාව කුමන මූලයකින් හටගත්තත් ස්පර්ශය හේතු කොටගෙන වේදනාව නම් යමක් පහළවන බවත්, ස්පර්ශය නොකළොත් වේදනා නැතිවන බවත් වටහාගන්න උත්සාහ කළ යුතුයි. යම් දාමරික හොරෙක් ගමකට කඩා පැන මං පහරන්නේද, දූෂණ කරන්නේද හොරා පෙනේ නම්, හොරා එන්න හේතුවත් පලවා හරින ක‍්‍රමයත් දන්නේ නම්, රැකවල්ලා පලා හැරිය විට සොර බියක් නෑ. එසේ නොකර, මේ සොරා ආවේ කොහි සිටද? ඌ වැදුවේ හැදුවේ කවුද? ඔහුගේ ශරීර කොටස් හැදුනේ කොහොමද? ඔහු කුඩා කාලයේ දණ ගෑවාද? බඩ ගෑවාද? …. යනාදිය හොය හොයා ඉන්න ගියොත් කිසි දිනක සොරාගෙන් සිදුවන විපතින් මිදීමක් වෙන්නෙ නෑ. එම නිසා එය දන්නා ගම් ප‍්‍රධානියා, සෙවිය යුත්ත නම්, සොරා කවුද? එන්නේ කොහොමද? අල්ලාගෙන පිටකරන්නේ කොහොමද? යන කාරණා බව දැනගෙන ක‍්‍රමානුකූලව සොරා අල්ලාගෙන මෙල්ල කරනවා, ගමින් පිටකරනවා. එයින් සොර බියෙන් බේරෙනවා.

මේ ආකාරයට වේදනාව නමැති හොරා හඳුනාගත යුතුයි. ඒ සොරා වරෙක වෙස්වලාගෙන ඉන්නවා, මිතුරු වෙසින් ඉන්නවා. විටෙක සතුරු වී පහර දෙනවා. තවත් විටෙක කපටි කමින් රවටා අල්ලාගෙන වධහිංසා පමුණුවනවා. විටෙක නැති ලෙස සැඟවෙනවා. නිදාගෙන ඉන්නවා. මේ තමයි වේදනාව නමැති හොරාගේ හැටි. දහමට අනුව දුක් වේදනා හුල් ලෙස දැකිය යුතු බව කියනවා. මිතුරු වෙසින් පැමිණීම නම් ප‍්‍රියමධුර ස්වභාවයෙන් ළංවීමයි. එහෙම ළංවී දාහ කඳක් රැස්කර දෙනවා. නමුත් අපි, ප‍්‍රිය මධුර ලෙස උදම් අනමින් හොරා සමග මිතුරෙක් ලෙස සිතා එක්වී සතුටු වෙනවා. ඇමදී බිලී බෑවා වගේ එතැන් පටන් අපිව නොමරා මරමින් දහදුක් වේදනා ගෙන දෙනවා.

දරුව මලක් වගේ හැදුවේ මෙහෙම දේවල් අහන්නද? දකින්නද? අනේ මට ඉවසන්න බෑ

මේ කෙනෙකුගේ දාහයක්.

ඉඩම වවා ගත්තේ කොච්චර ආසාවෙන් කොච්චර බලාපොරොත්තු තියාගෙනද?  අද ඒක නැතිවුනා. දැන් ජීවත් වෙලා ඵලක් නෑ

මේ තවත් කෙඳිරියක්.

මට කුමාරියකුට වගේ සලකනවා කියලයි එදා එක්කන් ආවේ. දැන් මෙහෙමද සලකන්නේ, මීට වඩා හොඳයි මැරිල ගියානම්! මගේ කරුමෙට මැරෙන්නෙත් නෑ!

මේ තවත් විලාපයක්. ඇයි මේ? මිතුරු වෙසින් පැමිණි වේදනාවට රැවටීමේ ප‍්‍රතිඵලය තමයි මේ.

සමහර විද්‍යාඥයන් පරික්ෂණවලින් යම් යම් මතයන්ට බැසගෙන උදම් අනනවා. ටික කලකින් මතය බිඳ වැටෙනවා. දැන් කම්පා වෙනවා. සමහර නිර්මාණකරුවන් තමන්ගේ නිර්මාණයන් ගැන මහත් ආස්වාදයක් විඳිනවා. ජනතාව ඒ අයට ගෞරව කරනවා. ඔහොම ඉන්න කොට තම නිර්මාණයන් තවකෙකු විසින් වෙනස් කළොත්, හොරකම් කළොත් මහත් කම්පාවට පත්වෙනවා. දෙස්, දෙවොල් තියනවා. බැරිම වුනොත් සියදිවි හානි කර ගන්නවා. මේ අද සමාජයේ දකින්න ලැබෙන දේවල්. මිතුරු වෙසින් ආපු වේදනාවන්ට ගොදුරු වෙලා විඳින දුක තමයි මේ.

මෙසේ ප‍්‍රිය මනාප ලෙස මිතුරු වෙසින් ආ වේදනාවෝ බිලී වැද්දාගේ ඇම මෙන් ලෝක සත්වයා ගොදුරු කර ගන්නවා. ඒ සැප වේදනාවන්ය. කැඩෙන බිඳෙන වැනසෙන දෙය, කඩන බිඳින වනසන දෙය, යහපත් ලෙස නොපැවතී වැහැරෙන දෙය තුළ යම් තාක් දුරට ප‍්‍රිය මනාප ඇති කළත් ඒ සියල්ලම බිලී වැද්දාගේ ඇම වගෙයි. ගිලගත් තැන් පටන් යම් තාක් ඊට ඇදුනේද බැඳුනේද, බැඳගෙන පහර දෙනවා. අඬනවා, හැපෙනවා, ශෝක වෙනවා, සිහි මුර්ජාවටත් පත් වෙනවා. බැඳීම තද නිසා පැන යන්න බැරි වෙනවා. විටෙක සැඟවී ඉන්නවා. මම පිරිසිදු යැයි කියනවා. ඒ ගැටීමට අවස්ථාව එනතුරුයි ඉන්නේ. ගැටීම එනවිට නැගී සිටිනවා. ස්පර්ශයෙන් වේදනාව ගොඩනැගෙනවා.

බලන, අහන, ආග‍්‍රාණය කරන, රස විඳින, ස්පර්ශ ලබන, ඒවා ගැන හිතන… මේ ආදී ස්පර්ශවල ක‍්‍රියාකරමින් ඇලෙන බැඳෙන නිසා වේදනාවන් සිතේ ලැඟුම් ගන්නවා. පෙනෙන බව, ඇසෙන බව, ගඳ සුවඳ දැනෙන බව, රස දැනෙන බව, සිත ඇතිවෙන බව කියන මේවා පෙර අත් බවෙත් මේ අත් බවෙත් කර්ම විපාක ඵලයන්. විපාකය කියන එක ගෙවී යනවා. අහන, බලන… ආදී ක‍්‍රියාවට නගන බවෙහි වන ඇලීම බැඳීම නිසා මතුවට ඔසවාගෙන යන කර්ම ඵලය ප‍්‍රවෘති විපාක දෙවමින් ඉදිරියට ගෙන යනවා. එහි ස්පර්ශ කරන ක‍්‍රියාව නොපිහිටන්නේ නම් වේදනා කර්ම ඵලය නවතිනවා. මෙය නැවැත්වීමට නම් මෙසේ ස්පර්ශ කරන හේතුවෙන් වේදනා කර්ම ඵලය පහළවන බවත්, එය ඒකාන්තයෙන්ම අනිච්ඡු (කැමති සේ නොපවතින) බවත්, දුක් ගෙන දෙන බවත්, සාරත්වයක් ඉතිරි නොකොට හිස් ලෙසට ගෙවී වැනසෙන නිසා අනත්ථ බවත් නුවණින් විමසන විට එහි නිසරුව වැටහී, නිෂ්ප‍්‍රයෝජන බව වැටහී, කිසිම වටිනාකමක් නැති බව වැටහී බලාපොරොත්තු අත්හැරී යනවා.

එවිට ඇලීමෙන් බැඳීමෙන් වන බැලීමක්, ඇසීමක්, …. ආදී ක‍්‍රියාවන් වෙන්නෙ නෑ. ස්පර්ශ නැත්තේ නම් වේදනා නිරෝධ වෙනවා. තණ්හා, උපාදාන නිරෝධ වෙනවා. වේදනාවට සම්බන්ධ බවක් වෙන්නෙ නෑ. ජාතිවලට හේතු නැති විට උපතක් වෙන්නෙ නෑ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස ආදී මුළු දුක් කඳම කෙළවර වෙනවා. විපාක ඵලය ලෙස පෙර භවයේ හේතුවෙන් ලැබුණු මෙම කය යම් දිනක කෙළවර වේද, එතෙක් කයට, ඉඳුරන්ට දැනීම දැනෙනවා. යථාවබෝධය නිසා ඒවායේ ස්වභාවය දැනගෙන, කැඩෙන දේ කැඩෙන බවත්, බිඳෙන දේ බිඳෙන බවත්, වැනසෙන දේ වැනසෙන බවත්, ඒවා නැවතිය නොහැකි බවත්, කෙළවර වන දිනක කෙළවර වන බවත් දහම් ප‍්‍රඥාවෙන් වැටහෙනවා. මෙසේ වේදනා පිරිසිඳ දැනීම (ඒවාට ඇති ප‍්‍රියභාවය සිඳ දැමීම) නිවන් මගක්.

වේදනාව පිරිසිඳ දැනීමට සුඛ වේදනාව දුක් ලෙසත්, දුක් වේදනාව හුල් ලෙසත්, උපේක්‍ෂා වේදනාව අනිච්ඡු ලෙසත් දැනගත යුතු බව සං.නි. (4) 394 පිටුවේ එන දට්ඨබ්බ සුත‍්‍රයෙන් පෙන්වා තියෙනවා. මේ හැර වේදනා පිරිසිඳ දැනීමට, මෙය හැදුනේ කොහොමද? ඒවට මොකද වෙන්නේ?…. ආදිය සොයමින් පටිච්ච සමුප්පාද ධර්මයට පටහැනිව කටයුතු කරන අයට ලෞකික පර්යේෂණයන්ට බැස ගන්න සිදු වෙනවා. ලෞකික වූ විද්‍යාධරයන් ගමන් කරන මේ මග තුලදී පර්යේෂණය කෙළවර කළ නොහැකි නිසා සමාධියක් නොවෙයි, හිත යකාගේ කම්මලක් බවටයි පත්වෙන්නේ. එහෙම කියන්නේ ඇයි? මෙතෙක් කාලයකට ලෝකයේ පර්යේෂණ මිසක් ඒවායින් යළි නොඑන ලෙස විසඳා ගෙන ඇති ප‍්‍රශ්ණයක් නැති නිසයි. අචින්ත්‍ය වූ ලෝක විෂය හා සත්ව විෂය කෙසේ නම් විසඳා නිමාවක් දකින්නද?

දැන් මෙහෙම හිතන්න. ඇසට රූපයක් හමුවූ විට ඇසත්, රූපයත්, චක්ඛු විඤ්ඤාණයත් එකතුවීමෙන් ස්පර්ශයක් දැනෙනවා. එයින් වේදනාවක් එනවා. එය කුමක්ද? ලෞකික දැනීමක් සඳහා යොමුවීම එයින් සිද්ධ වුනා. ඒ අනුව කල්පනා කරමින් එක් නිගමනයකට බහිනවා. රූපය බිඳී ගොස් නොපෙනෙන දෙයක් හෙවත් ශක්තියක් බවට පත් වූ බව නිගමනය කරනවා. වේදනාව කියන්නේ තේජෝ මූල ධාතුව යැයි සිතනවා. එයින් නිගමනයකට බහිනවා. දැන් තව ප‍්‍රශ්නයක් මතු වෙනවා. ඒකත් බිඳී යන්න බැරිද? බැරිවෙන්න විදිහක් නෑ ඒකත් බිඳී යා යුතුමයි. දැන් කල්පනා කරනවා. නිගමනයකට බහිනවා. වේදනා කියන තේජෝ මූල ධාතු කලාපයත් බිඳුනා. තවත් සියුම් වුනා. නිගමනයකට එළඹුනා. දැන් තේජෝ රූප මූල ධාතුව එහිද මූල ධාතුවක් වුණා.

අති සූක්‍ෂමයෙනුත් සූක්‍ෂමයකට බහිනු ඇතැයි නිගමනය කළා. දැන් වෙන්නේ මොකක්ද? හොයාගෙන ගියේ මොනවාද? කොච්චර සූක්‍ෂම වුණත් තව බිඳෙන්න  ඕනෑ. ඊළඟට මොකද වෙන්නේ? තව බිඳෙනවාද? ආපසු පරිවර්තනය වෙනවාද? පේන්නෙ නෑ. දැන් නිගමනය මොකක්ද? ආපසු හැරෙනවාද? කවුද දන්නේ? තීරණයකට කොහොමද එළඹෙන්නේ? ලෝකෙට මොකක්ද වෙන්නේ? ප‍්‍රශ්නයක්! දැන් අවංකව හිතන්න පුළුවන්ද ප‍්‍රශ්නය නිරාකරණය කළා කියලා. ඔව් කියලා හේතු පෙන්වන්නේ කොහොමද? අන්තිමට තීරණයකට බහින්න වෙනවා, කොච්චර හෙව්වත් ඔච්චර තමයි කියලා. පරමාණුවට වෙච්ච දේ හොයන්න ගිහින් මට වෙච්ච දෙයක් කියලා හිතන්න වෙනවා.

දැන් ගමන නවත්තල ආපසු එන්න  ඕනෑ. දිගටම හිතුවොත් ලොකු අමාරුවක වැටෙනවා. සර්වඥතා ඥානයවත් ලැබුණ නම් බලන්න තිබුණා. එහෙම හිතුව නම් නිකන්ම බෑ. සර්වඥවෙන්න පාරමී ධර්ම පුරන්න  ඕන. එබඳු ලොව්තුරා බුදු කෙනෙක් හමුවෙලාවත් මේ ගැන ඇහුව නම් ඒත් වෙන මොනව කියන්නද? පටිච්ච සමුප්පාද ධර්මය දේශනා කරල කියයි, මුලාව පසුපස නොගොස් තථාගත මාර්ගය අනුව ආපසු ඇවිත් වේදනාවෙන් එහාට හැදුණු හැටි හොයල වැඩක් නෑ, වේදනාව තමන්ට දුක දෙනවා නම් ඒක පහලවෙන්නේ කොහොමද, නවත්තන්නේ කොහොමද කියලා හොයල බලල ඒ දහමින් මග වඩල නවතා දමන්න කියල. එතකොටයි නිරෝධයට බහින්න පුළුවන් කියල දේශනා කරයි.

ස්පර්ශ ප‍්‍රත්‍යයෙන් වේදනා වෙනවා. ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධ වෙනවා. වේදනාවේ මුල හොයනව නම් ඇසට රූපයක් ගැටුනු විට ඒ හේතුවෙන් චක්ඛු විඤ්ඤාණය පහළ වෙලා ඒ තුනේ එකතුවෙන් ඇතිවන ආශා ස්පර්ශය නිසා මේ වේදනාව වෙනවා කියල දැනගන්න  ඕන. එතකොට තේරෙනවා මෙය හේතුවක ඵලයක් බව. ඒ ස්පර්ශයට හේතු වූ සලායතනයන්ගෙන්, ඒ ආයතනවලින් චක්ඛායතනය ක‍්‍රියාත්මක කළ නිසයි, ඒ ලෝකයේ රූප ධාතුවලින් හටගත් දේවල්වල ආකාර, ලිංග, නිමිති, උද්දේස, ප‍්‍රඥප්ති,….. ආදී වශයෙන් මනින මැනීම් දැනුම් දෙවන විඤ්ඤාණවල මූල ධාතුවට මනෝ ධාතුව යැයි කියනවා.

මෙසේ අනන්ත සංසාරයේ පටන් මනින මැනීම්වල මතකයන් මතු කිරීමට ධර්ම යනුවෙන් ඒ මනෝ ධාතුවෙන් හටගත් හැඩ ගැස්මක් තියෙනවා. ඒවාට තමයි නාමගෝත‍්‍ර කියන්නේ. ඒ ඇයි? විඤ්ඤාණය හටගත් මොහොතෙම නැතිවෙනවයි කියනවා නේද? ඒක හරි. ඒව නැතිවෙලා තමයි නාමගෝත‍්‍ර කියන මතකයන් මතු කරන මනෝ ධාතුවේ මූලයන්ගෙන් හැඩගැසීම් හටගන්නේ. මේවාට ධර්ම කියලත් කියනවා. මේවා අනත්ථයි කියල කියනව මිසක් අනිච්චයි කියල කියන්නෙ නෑ.

සබ්බේ සංඛාරා අනිච්චාතී

කියා දේශණා කළාට

සබ්බේ ධම්මා අනිච්ඡාතී

කියල නෑ.

සබ්බේ ධම්මා අනත්ථාතී

කියලයි දේශණා කළේ. එහෙනම් ඒවා නැති වෙන්නේ නැද්ද? සංසාරේ අනාදියට බුදු ඇසින් මෙනෙහි කරලත් නැති වූ දිනක් නොපෙනෙන නිසා ඒවත් අනාදිමත්ව වෙනවා.

ඉතින් ලෝකයේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාස, ආලෝක, විඤ්ඤාණ කියන ධාතු තිබුණට අපිට මොකද? ඒවා එක්ක සම්බන්ධකම් පවත්වන සංසාර ගමන නිසා සත්වයෙක් විද්‍යමාන වෙනවා. වේදනා විඳිනවා. කැඞීමේ, බිඳීමේ, වැනසීමේ, දුක් වේදනා විඳිනවා. එකිනෙකා පුද්ගලිකව විඳිනවා. සමූහ වශයෙන් එක් වුනාම හිතවත්කමින්ද ප‍්‍රිය විප‍්‍රයෝග දුක් වේදනා විඳිනවා. අප‍්‍රිය අය සමග එක්වීමෙන් අප‍්‍රිය සම්ප‍්‍රයෝග දුක් වේදනා විඳිනවා. ගමන කෙළවර නම් ලෝකයේ මොනව තිබුණත් මොකද? කවුද විඳින්නේ? විඳීමෙන් දැනීමෙන් ලැබෙන දුකයි මූලික ප‍්‍රශ්ණෙ වෙලා තියෙන්නේ. දාහය නැතිකර ගන්න කරන නිෂ්ඵල උත්සාහයක යෙදිලා සත්වයෝ මහා සටනක් ගෙනියනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් මග හැරෙන්නට අනිත් අය මහා රස්තියාදුවක යෙදිලා දුකින් බේරෙන්න ලෝකෙම තැත් තැන්වල රවුම් ගහනවා, ප‍්‍රමාද වෙනවා. ඒ වුනාට කඹේ දිග ඇති තුරා යන හරකා වගේ බඔ ලොවට ගිහින් ඉන්නවා, භවාග‍්‍රය කියන නේවසංඥා නාසංඥායතනය කියන තැනටත් ගිහින් මහා කල්ප 84000 කින් පස්සේ නැවතත් එනවයි කියල බුදු රජාණන් වහන්සේ අනාවරණ ඥානයෙන් දැකල දේශණා කර තියෙනවා. අනිත් අයට පේන්නෙ නැද්ද කියල දැන් කෙනෙක් අහන්න පුළුවන්. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඈතට දැකපු රහතන් වහන්සේලාත් ඉඳල තියෙනවනම් ඔය ටික දකින්න අභිඤ්ඤාලාභී දිවැස් ඇති රහතන්වහන්සේලාටත් පුළුවන්.

අපදාන පාලි – බු. ජ. ග‍්‍ර. ම. 37 (II) භාගය 215 පිටුව දීපංකර බුදුන් සමයෙහි පළමු නියත විවරණය ගන්නා විට සුමේධ තාපසතුමාගේ   ගෝලයෙක්ව, උන්වහන්සේගේ සාසනයේ නිවන් දකින්න පතා සිටි තාපසයෙක්, පසුව ගිහි වී පාප මිත‍්‍ර සේවනයෙන් යුතුව සිය මවද මරා දමා අවීති මහා නරකාදියේද ඉපිද නැවත සසර සැරිසරමින් විත් මේ ගෞතම බුද්ධ සාසනයේ  නිවන්  දුටු  බව බුදුරජාණන්වහන්සේ ගේ වචනවලින් එම භවය සිහිකර දේශනා කළ හැටි පෙන්වනවා.

දැන් එහෙනම් දුකින් මිදෙන්නේ කොහොමද?
නාමරූප ඇසුර අත්හැර, ඇලීම් බැඳීම් නැතිකර ගත හැකි නම් ඒ ආකාරයට මිදෙන්නත් පුළුවන්.

කොහොමද අත්හරින්නේ?
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරය අහන කොට මගක් පාදා ගන්න පුළුවන්. මේ භවයේ මුලාවෙන් සැරිසරන අයට හරිමග සොයාගන්න ඒ උතුමාණන් වහන්සේ හැර මොන පිළිසරණක්ද? දැන් උන්වහන්සේ පිරිනිවන් පාල තියෙනවා.

මේ නාමරූප කියන ලෝක සටහන්වලට තිබෙන ආශාව අත්හැර ගන්න මොනවද දේශනා කරල තියෙන්නෙ කියල අහගන්න  ඕන. කාගෙන්ද? කවද හරි බුදු දහම හරියට අහල දැනගෙන සිටින කෙනෙකු ගෙන්. මේ කාලේ හරියට මග පෙන්වන්න නුවණ ඇති අය, අහල දරාගත් අය බොහොම අඩුයි. බෙහෙත හරියට පත්තියම් වුණා නම් රෝගය සුවවෙන්න  ඕන. ඔඩු ගිය තුවාල නම් බෑ. නමුත් සේරම තුවාල ඔඩු ගිහින් කියල හිතන්න බෑ. හරියට සාත්තුව නැති එකයි වෙලා තියෙන්නේ. නැත්තම් සාත්තුව කරනවා, නමුත් එතැනට දෙන බෙහෙත වැරදිලයි තියෙන්නේ. මේ උපමාව අරගෙන මේ වගේ දෙයක් සාසනේටත් වෙලාද කියල කල්පනා  කරල බලන්න.

(ඉතිරි කොටස ලබන කලාපයෙන්…..)

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණු දහම් කරුණු ඇසුරින් සකස් කළේ :
නීතිඥ චන්දන සිරිවර්ධන