නිවන යන්න අද වන විට හුදු පැතුමකට පමණක් සීමා වූ පදයක් බවට පත්වී තියෙනවා. ජීවත්ව සිටියදී යම් අයෙකුට “නිවන් සුව ලැබේවා” යන්න පැවසුවොත් එය අසුබ දෙයක් ලෙස සලකන්නයි අද වන විට පුරුදු වෙලා තියෙන්නේ. ඊට හේතුව, නිවන මරණින් මතු ලැබෙන දෙයක් සේ වැරදි ආකල්පයක් ගැනීමයි. ජීවත්ව සිටියදී ලඟා කරගත නොහැකි, මියගිය පසු ලැබිය හැකි වගේම  සඳහා හේතු වාසනා ඇති අය මෙකල නොමැති බවත් නිතර අහන්න ලැබෙනවා. එය එසේ නොවන බව මට තිර  ලෙසම වැටහී ගියේ වහරක හාමුදුරුවන් මුණගැසුණු පළමු දිනයේදීමයි.

බුදු හිමියන් ලොව පහළවීමටත් පෙර සිට නොයෙකුත් වත් පිළිවෙත්, පදවැල් තිබී ඇති බව දහමේ සඳහන් වෙනවා. බෝසතුන් වහන්සේ පිළිසිඳ ගන්නා අවස්ථාවේදී මහාමායා දේවිය අටසිල් සමාදන්ව සිටි බවත් පැවසෙනවා. එකල වගේම මෙකලත් පදවැල්, වත්පිළිවෙත් සමාජයේ බහුලව තිබුණත් අදහස මතුවී නෑ.

බුදු පියාණන් වහන්සේ නමක් ලොව පහළ වන්නේම පද තුනකින් හා අකුරු අටකින් සමන්විත අදහස මතුකර දීම සඳහායි. යටපත්ව තිබූ එම දහම් මග නැවත වරක් එකින් එක හෙළි කරමින් සිටින යතිවරයාණන් වහන්සේ නමක්  තමයි වහරක අභයරතනාලංකාර හාමුදුරුවෝ.

මොනවද මේ අකුරු අටයි, පද තුන. අනිච්ඡ, දුක්‍ඛ, අනත්‍ථ කියන තිලකුණයි. මෙහි අරුත වැසුනු විට මුළු නිවන් මගම වැසී ඇති හැටි වහරක හාමුදුරුවන් මනා ලෙස අදහස ඉස්මතු කර පෙන්වා දී තියෙනවා.

අකමැති දේ එනවාට අපි කැමති නෑ. කැමති දේ යනවාට කැමතිත් නෑ. එහෙම නම් අකමැති දේ කොහොමත් දුක බව වැටහෙනවා. එහෙත් කැමති දේ අප ළඟ නොවෙනස්ව පවතිනවාට අපි කැමතියි. නමුත් සෑම ද්‍රව්‍ය වස්තුවක්ම සෑදී ඇත්තේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියන පදාර්ථ හතරකින්. මේවාට උරුම ධර්මතාවය නම් විපරිනාමය වෙමින් කැඞී, බිඳී විනාශවී යාමයි. එහෙමනම් අපි ආසාකරන්නේ අපට උවමනා විදිහට නොපවතින ජාති රැසකට නේද? බිරිඳ, සැමියා, දරුවා, නිවස, යාන වාහන වශයෙන් මේ මොන ජාතිය ගත්තත් වාට උරුම ධර්මතාවය අනුව කැඞී, බිඳී විනාසයට පත්වෙනවා. එහෙම නම් අපි විකෘති වූ ඤාණයකට, ඤාණයක් යැයි මුලා වූ විකෘති දැනීමකට රැවටී මෙම ජාති අපට උවමනා විදිහට පවත්වා ගන්න ගොස් මායාවකට හසුවී ඉමක් කොනක් නොපෙනෙන සංසාර ගමනකට යළි මුල පුරනවා නේද? අපි ඉච්ඡයි, සුඛයි, අත්ථයි කියා කැමැත්තට බැඳෙන මෙම ජාති ධර්ම කෙසේ සකස්වී දැයි බලමු.

අපි ආසා කරන මෙම ජාති ධර්ම හෙවත් සත්ත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු තුළින් සාරත්වයක් සෙවීම බල්ලන්ට හසු වූ මස් කට්ටක් තුළින් සිය කුස පුරවා ගැනීමට තැත් කරනවා සේම, යමෙකු කෙසෙල් කඳක් පතුරු ගසා අරටුවක් සොයනවා සේම, මළ මුත‍්‍රවලින් සුවඳක් හරයක් සොයනවා සේම අසාර වැඩපිළිවෙලක් නේද? එ්කයි මේවාට අට්ඨීයති, හරායති, ජිගුජ්ජති කියල කියන්නේ. මේවා තුළින් සාරත්වයක් සෙවීම නුවණැති ක‍්‍රියාවක්ද අනුවණ ක‍්‍රියාවක්ද? බල්ලෙකුට හසුවූ මස් කට්ටකට තවත් බලූ රංචුවක් පොර කන්නා සේ අපිත් අයුක්තියෙන් අසාධාරණයෙන් තමා වසඟයේ රිසි සේ පවත්වා ගන්න, තියාගන්න ආසා කරන්නේ කැඞී බිඳී විනාශ වී යන ද්‍රව්‍ය රැසක් නේද?

සතර මහා බොරුව හෙවත් සතර මහා භූතයන් අපිව රවටලා නේද? එහෙනම් ස්ථිර නැති නිසා දුක හට ගන්නවා කියනවාට වඩා, අපට රිසි සේ නොමැති වීම තුළ නේද දුක හටගන්නේ? මෙම අසාර මුලා සහගත වැඩපිළිවෙල නිසයි සත්ත්ව, පුද්ගල, ද්‍රව්‍ය වස්තු විද්‍යමාන වෙන්නේ.

අපි ආසා කරන ජාති ධම_යන්ට තණ්හා වීම තුළින් හා ඒ ආසන්නයේ ඇලී ගැලී සිටීම තුළින් භවයන් හටගන්නා බවත්, (උදාහරණ: බලූ බව, මිනිස් බව, හරක් බව ආදී වශයෙන්) එම භවයන් තුළින් ජාති හටගන්නා බවත්, (උදා: බලු ජාතිය, මිනිස් ජාතිය, හරක් ජාතිය) සෑම ජාති ධර්මයක්ම ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, ජරා, මරණ උරුම කරගත් සැටිත් දැකිය යුතුයි.

එහෙම නම් මෙම අවිද්‍යා සහගත වැඩපිළිවෙලට තිත තියා ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, ජරා, මරණ නොමැති උතුම් නිවන් මගට පිවිසිලා සසර ගමන කෙළවර කරනවාද යන්න තීරණය කළ යුත්තේ තමාමයි. යමක් අපට රිසි සේ නොමැති වීම තුළ දුක හටගන්නා බවත්, එසේ යමක් කැමති සේ නොපැවතීම ධර්මතාවයක් බැවින් ඒ පසුපස යාම අසාර වැඩපිළිවෙලක් බවත් වටහා ගත යුතුයි. මෙම අදහස වැටහුනා නම් නිවන් මගද එළි පෙහෙලි වී හමාරයි.

ඒ සඳහා උදාහරණ වශයෙන් කාල සිටුපුත් අරබයා බුදුන් වහන්සේ වදාල “අදහස වැටහේවා වචන අමතක වේවා” යන්න දක්වන්න පුළුවන්. දාරුචීරිය, අංගුලිමාල වැනි අසූ මහා ශ‍්‍රාවකයන් වහන්සේලා ඇතුළුව සන්තති ඇමති, සුනීත, සෝපාක ආදී අයද දහම් අවබෝධය ලැබුවේ පදවැල් කටපාඩම් කිරීමෙන් නොව අදහස වැටහීමෙන්. කොතෙක් පොත් පත්වල ලියා තිබුණත් අදහස මතුකර නොදුන්නොත් දහම විද්‍යමාන වෙන්නෙ නෑ.

බුදු හිමියන් බොදු පිරිසකට දහම් දෙසුවාද, නැත්නම් එවක සමාජය දහම් අසා බොදු පිරිසක් බවට පත් වූවාද යන්නත් විමසා බැලීම වටිනවා. මලියදේව මහරහතන් වහන්සේගෙන් පසුව රහතන් වහන්සේලා හිඟ වූයේද මෙම දහම් අදහස තෝරා බේරා ගැනීමට නොහැකිව පදවැල්වලට වහල්වීම නිසයි.

අරුත් සැඟව ගිය නිර්මල බුදු දහම යළිත් මතුව බබලන මෙකල ඔබත් පදවැල් අතර සිරවී නොසිට අති දුර්ලභව හිමි වන්නා වූ මෙම අවස්ථාවෙන් අප‍්‍රමාදව ප‍්‍රයෝජන ගෙන, එකල මහ රහතුන් වහන්සේලා නිවී සැනසී ගිය උතුම් නිවන් මගට පිවිසෙත්වා.

අනිල් කාරියවසම්
හෝමාගම