මාර උගුල්වලින් මිදී ලෝකෝත්තර මග වැඞීමට උපකාරී වන ආරක්ෂා හතරෙන් තුන්වන ආරක්ෂාව වූ අසුභානුස්සතියයි මේ විග‍්‍රහ කරන්නේ. මේක අද පිලිකුල් භාවනාව කියාත් හඳුන්වනවා. පිලිකුල ආර්ය ගුණයක්ද? බුදුන්වහන්සේ දේශණා කළේ ලෝක සත්ත්වයා පිලිකුල් කරන දේවල් ආර්යන් විසින් පිලිකුල් නොකරන බවත් (උදා: මළ-මුත‍්‍ර, කෙළ-සොටු, ලෙඩ-රෝග … ආදිය), ලෝකයා පිලිකුල් නොකරන දේවල් ආර්යන් විසින් පිලිකුල් කරන බවත් (උදා: පංච කාමය), ලෝකයා පිලිකුල් කරන නොකරන සියල්ල ආර්යන් විසින් පිලිකුල් කරන බවත් (එනම් සියල්ලම අනිච්ඡ, දුක්ඛ, අනත්ථ වශයෙන් සලකා), ලෝකයා පිලිකුල් කරන නොකරන සියල්ල ආර්යන් විසින් පිලිකුල් නොකරන බවත් (එනම් ධාතු වශයෙන් හෙවත් සතර මහාභූත වශයෙන් සිහිකර, ඇලීමට හෝ ගැටීමට නොගොස් සියලූ තැන්හිදීම කම්පාවට පත්නොවී උපේක්ෂාවට පත්වීමෙන්) කියන මේ හතරම ආර්ය සෘද්ධි යනුවෙන් ආර්යන්ට හිමිවන සෘද්ධි බලයක් බවත්ය. සෘද්ධි කිව්වේ වැඩෙනවා කියන එකයි. එනම් මේ කියන කාරණා හතරම ආර්යන්ට වැඩෙන ගුණයන් ලෙසයි දේශණා කරල තියෙන්නේ. මෙතනදී ලෝකයා කිව්වම ප‍්‍රධාන වශයෙන්ම පෘථජ්ජනයන් තමයි අදහස් කළේ.

ඉතින් කෙස්, ලොම්, නියපොතු, දත්, සම් ආදියත් කෙල, සොටු, මල, මුත‍්‍ර, පිත, සැරව, ලෙය ආදියත් පෘථජ්ජන ලෝකයා පිලිකුල් කරන දේවල්මයි. ආර්යෝ මේ පිලිකුල් දේවල් කෙරෙහි අප‍්‍රිය කරන අය නෙවෙයි,  ප‍්‍රිය අප‍්‍රිය නැතිව එබඳු තැන්වලදී උපේක්ෂා වන අයයි. කෙනෙකුගේ ඇඟට මළ මුත‍්‍ර ටිකක්, කෙල සොටු ටිකක් වැටුනොත් කරන පිලිකුල සිහිකරලා බලන්න. ඒක දූෂ්‍ය සිතක් බව වැටහෙන්නේ නැද්ද? දූෂ්‍ය හිත කියන්නේ පව් හිතක්. පව් හිතකින් නිවන් ලබන්න පුළුවන්ද? කොහොමනම් නිවන් වැටහෙයිද? මහත් පිලිකුලක් දැනෙන පරිදි අරමුණුවලට උපමා කරමින් විමසන්නට යන විට, තපින්නට ගිය ගින්නට පැන පුලූස්සා ගත්තා වගේ වෙන්න පුළුවන්. එමනිසා නිසරු බව වටහාගන්නවාට වඩා එහාට ඒ පිලිබඳව නොයා යුතුයි. මධ්‍යස්ථභාවය නොඉක්මවිය යුතුයි. මේ අනුව මේ භාවනාව පිලිකුල් භාවනාව කියා නොවෙයි ද්වතිංසාකාර (32) භාවනාව ලෙසයි අර්ථ ගෙන විමසා බැලිය යුත්තේ.

ලෝක සත්ත්වයෝ “මම” යන හැඟීමට ප‍්‍රිය කරනවා. “මගේ” යන හැඟීමෙන් රැස්කරනවා, ප‍්‍රාර්ථනා කරනවා. අපට උවමනා කරන්නේ මේ අහංකාර, මමිංකාර කියන “මම, මගේ” යන හැඟීම දුරු කරගන්නයි. ඒ සඳහා ශ්‍රේෂ්ඨ මාර්ගයක් උපක‍්‍රමීය ලෙස බුදුන්වහන්සේ දේශනා කරල තියෙනවා.

මම හරි හැඩයි, රුවයි, ලස්සනයි, කඩවසම් දේහධාරී වෙමි, නිරෝගී වෙමි, බලවතෙක්, කුලවතෙක්, නැණවතෙක් වෙමි. ජාතියෙන් ගෝත‍්‍රයෙන් අග‍්‍රවෙමි.

මේ ආදී ලෙසින් අදහස් ඇතිවන්නේ අර කියපු “මම” ගැන ඇති මුලාව නිසයි, ඒකීය වූ “මම” කියන කෙනෙක් ලෙස ගත් මුලාව නිසයි. එම නිසා ඒකාකාරය එසේ නොවන බවත් නොයෙක් ආකාර කොටස්වල ඒකරාශී වීමෙන් එසේ පෙනෙන මායා රටාවක් බවත් හඳුනා ගත්විට ඒ අනුසාරයෙන් තමා පිලිබඳව අභ්‍යන්තරවූත්, බාහිරවූත් සියල්ල ඒකාකාරව පෙනෙන මායා රටාවන් බවත් විවිධාකාර කොටස් එක්වී නිපදවී ඇති රටාවන් බවත් වටහා ගන්නවා. එතකොට “මම, මගේ” යන දෘෂ්ඨිය දුරුවෙලා නිවන් මගට පැමිණෙනවා. එකාකාරව පෙනෙන මේ ශරීරය තිස් දෙආකාරයකට බෙදා වෙන්කර බලන්න පුරුදු වුනොත් එකාකාරව පෙනෙන මායාව මනාව පෙනෙන්න පටන් ගන්නවා.

බුදුන් වහන්සේ දේශණා කළේ මල්ලක් ලිහා බලා ඒ තුල වෙන වෙනම ඇති මේ හැල්වීය, මේ මාවීය,  මේ තලය, මේ මුංය, මේ මෑය, මේ සහල්ය… ආදී ලෙස වෙන වෙනම හඳුනා ගන්නා සේ ශරීරයේ කොටස් ගැන මල්ල ලිහා බලනවා වගේ මෙනෙහි කරන්නයි. එසේම කෙස් ගලවා තමා ඉදිරියෙන් තැබූ ලෙසද, ලොම්, නිය, දත්, සම්, ඇට, මස්, නහර, ඇටමිදුලූ, වකුගඩු ආදී ලෙස කොටස් ඉදිරියේ වෙන වෙනම තැබූ විට කරජ කාය නොපෙනී කොටස් පමණක් දකින හැටිද ඒ කොටස් යලි තිබුණු තැන්වල තැබීමෙන් කරජකාය නිපදවී පෙනෙන හැටිද හිතින් මෙනෙහි කිරීමෙන් ඒකාකාරීව පෙනීම මායාවක් බව වටහා ගන්න පුළුවන්. එසේම මේ කිසිම කොටසක් තමන් කැමැති පරිදි තමන් වසඟයේ පවත්වන්න බැරි බවත් තමන්ගේ කැමැත්තට පටහැනිවම විපරිණාමයට භාජනය වන බවත් වටහා ගත යුතුයි. මේ කිසිම කොටසක් සත්ත්වයෙක් නොවන අයුරුද ඒවාද ඝණ, ද්‍රව, වායු, උෂ්ණ කියන මේවායේ එක්වීමෙන් විද්‍යමාන වන රූපස්කන්ධයන් බවත් මනා සේ වටහා ගත්තාම, ලෝකයේ කිසි තැනක එකාකාරයන්ට නොරැවටෙන එසේම සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු ලෝක මායාව දකින නුවණ පහලවෙනවා. මේ නුවණ ලබන්න අප‍්‍රිය කර සිත දූෂ්‍ය කරගෙන බෑ. උපේක්ෂා විහරණයෙන් බැලිය යුතුයි.

අප‍්‍රසන්න ලෙස දැනෙන, පිලිකුල් ලෙස වැටහෙන බව නොවීමට ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියන ධාතු සංඥාවෙන් බැලිය යුතුයි. ඒවගේම මේ කියන කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ ආදී පදවලින් මතුවන දහම් අරුත් සහිත පද නිරුක්තියක් තියෙනවා. පදයේ ගැබ්වෙච්ච ඒ අර්ථයන් හොයාගත්තාම පේනවා ඒවායින් අදහස් කරන්නේ භෞතිකව පෙනෙන කොටස් නොව හිතේ කෙලෙස් දැනගෙන ඒවා අසුභ සේ සලකා ඉවත් කරන ක‍්‍රමයක් බව. උදාහරණ විදියට කේ කියන පහත් දේවල් හෙවත් කුණුවලට ආසා කලාම කේ + ආසා = කේසා වෙනවා. ලෝකය අමෘතයක් වගේ ගත්තාම ලෝ + අමා = ලෝමා වෙනවා. එහෙනම් නිවන දකින්න මේ කියන කෙස්, ලොම්, … ඉවත් කරලා පුලූවන්ද? ඒවා ඇති කරන හේතුවයි නැති කරන්න  ඕන. ඒවා තමයි හිතේ තියෙන කෙලෙස්.

මේ විදියට ද්වතිංසාකාර භාවනාව වැඞීම නිසා සාසන මාර්ගය වැඩෙනවා. මායා රූපස්කන්ධයන්ගේ ඇසුර දුකක් බව, නිෂ්ඵල බව, නිස්සාර බව වැටෙහෙන විට අනුලෝම ඥාණය පහලවෙනවා. එබඳු රූපස්කන්ධයන්ගේ නිරවශේෂ නිරෝධය නිදහස් සේ දකින විට සම්‍යක්ත්ව නියාමය හෙවත් මාර්ගඵල ලාභීත්වයට හේතු වෙනවා. මේ විදියට අප‍්‍රිය, පිලිකුල් අදහසින් සිත පාරවාගෙන දූෂ්‍ය කර නොගෙන උපේක්ෂාවෙන් දහම් අරුත් වටහාගෙන බලන්න පුරුදුවීමෙන් නිවන් අවබෝධ කරගන්න පුළුවන්. ඒ සඳහා මේ ලෝකයේ තියෙන සෑම දෙයකටම උරුම අනිච්ඡ, දුක්ඛ, අනත්ථ ස්වභාවය විග‍්‍රහ කරගෙන වටහා ගත යුතුයි. රාග ගතිවලින් වෙන්ව නිවන් දකින්නට මාර්ගය මේ කියන අසුභ භාවනාවෙන් පෑදෙනවා.

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණු දහම් කරුණු ඇසුරින් සකස් කළේ
නීතිඥ චන්දන සිරිවර්ධන.