භෞතිකව සාදා ගත් අඳුන තුළින් මතු වූ අදහාගත නොහැකි අද්භූත ලෝකයක් !

පසුගිය කලාපයෙන් –  මෙත් වැඞීමේ ආනිසංස ඇස් පනාපිටම ලැබූ හැටි  …… එතැන් සිට..

ගුප්ත සිදුවීම් සිද්ධ වුනේ මා පූගොඩ පෙහෙ කම්හලේ සේවය කරන කාලයේදීයි. මාතර පැත්තේ එක් මහත්තයෙක් එකල මට දැන හඳුනා ගන්න ලැබුණා. ඔහු යම් යම් ගුප්ත කටයුතු, තොවිල්.. ආදිය කරන කෙනෙක්. අඳුනක් යනුවෙන් හඳුන්වන සීල් තැබූ තෙල් කුප්පියක් ඔහු ලඟ තිබුණා. ඔහු කුමක් හෝ ඔහුගේ වැඩකට එයින් අංජනම් බලනවා කියන වැඩ පිළිවෙලක් අසල නිවසක සිට කරගෙන ගියා. මේ ගැන දැනගන්න ලැබුණු මමත් ඒ කටයුත්ත බලන්න ඔහුගේ අවසරය මත එහි ගියා. මම යන්න පෙර දින ඔහු විසින් ද තම අඳුනෙන් පරීක්‍ෂණයක් කර තිබුණා. ඒ අඳුනෙන් විස්තර බැලූවේ අවුරුදු 10 ක පමණ කුඩා දැරියක්. ගුප්ත කටයුතු කරපු ඒ අඳුන අයිති මහතාට මා කතා කළේ තමෝදියස් අයියා කියලයි. ඒ තමයි ඒ මහත්තයගෙ නම. ඔහු අර අඳුන බලන කුඩා දැරියට මෙසේ කියා තිබුණා.

‘‘මම අබේ මාම කියල කෙනෙක් ගැන හිතනවා. එයා කව්ද, මොකද දැන් කරන්නෙ කියල බලන්න.’’ එවිට ඇය සාමාන්‍ය හැඩරුව කියා ‘‘දැන් ලොකු රෝද එහෙම කැරකෙන, රෙදි නූල් එහෙම පෙනෙන ඒව ගොඩක් ලඟ ඉන්නවා මොනවද කර කර’’

යනුවෙන් පවසා තිබුණා. දැක්කොත් දුවට හඳුන ගන්න පුළුවන්ද කියා ඇසූ විට ඇය පුළුවන් බව පවසා තිබුණා.

ඊලඟ දින සවස පහට පමණ එම ගෙදරට එන මග සලකුණු කියා තනිවම එන ලෙස තමෝදියස් අයියා මට දැනුම් දුන්නා. ඔහු ඊට පෙර ගිහින් මා ගැන අර අඳුනෙන් බලන්න කී විට, ඒ දැරිය කියා ඇත්තේ දැන් මෙහේ එන්න පාර දිගේ එමින් ඉන්න බවයි. ‘‘දැන් අන්න ගේ කිට්ටුවටම ඇවිත්’’ කියා කියන විට පාරේ යන කීපදෙනෙක් ද මම ලඟින්ම ගියා. අර පොඩි දැරිය මිදුලට ඇවිත්, අන්න අර එක්කෙනා තමයි අබේ මාම කියන්නේ යැයි පවසමින් මා ලඟට ඇවිත්, ඔයා අබේ මාම නේද කියා මගෙන් ඇහුවා. මමද කිසි දිනක දැකලවත් නැති ඒ දැරිය මෙසේ මා හඳුනා ගැනීම ගැන පුදුම වුණා.

නැවතත් ඔහු ඒ ළමයා ලවා අර අඳුන බලන්න පටන් ගත්තා. මමත් ගිහින් පසෙකින් ඉඳගෙන මේ ක‍්‍රමවේදය කුමක්දැයි විපරමින් බලා සිටියා. ඇන්ද සහිත පුටුවක ඉදිරි කකුල් දෙකට කෝටු දෙකක් බැඳ, ඇන්දටද අසුවන සේ කෝටු බැඳ, සුදු රෙද්දකින් උඩ හා වටේට වටකර ඉදිරිපස විවෘත වන්නට එය සාදා තිබුණා. ඒ තුළ නොයෙක් පාට මල්, පළතුරු, කැවිලි, බුලත්, පඬුරු ආදිය මෙන්ම මැදින් තබා ඇති ඇඟිල්ලක් තරම් කුඩා තෙල් කුප්පියක්ද, ඒ ඉදිරියෙන් එළිය වැටෙන්න පහනක්ද තබා තිබුණා. දැරිය ඒ දෙස බලාගෙන විවිධ තොරතුරු පවසන්න පටන් ගත්තා. මමත් ඒ දෙස බලා සිටියත් මල්, පළතුරු, පහන, තෙල් කුප්පිය… ආදිය හැරෙන්න කිසිවක් පෙනුනේවත්, කිසි වෙනසක් දැනෙන්නවත් තිබුනෙ නෑ.

මේ දැරිය අහන දේවල්වලට අඳුනෙන් පෙනෙන දේවල් ලෙස නොයෙක් දේ කියන්නේ කෙබඳු දෙයක් දැකීමෙන් දැයි දැනගන්න මටත් දැඩි අවශ්‍යතාවක් ඇති වුණා. මම තමෝදියස් අයියාගෙන් මේ පෙනෙන  ක‍්‍රමය කුමක්දැයි විවිධාකාරයෙන් විස්තර අහන විට, මටත් පළතුරු ටිකක් සහ කැවිලි කීපයක්ද රැගෙන හෙට දින එන ලෙස පැවසුවා. මේ ක‍්‍රමය අත්හදා බලා දැනගන්න තිබූ අවශ්‍යතාවය නිසාම මමත් එසේ කළා. පළවෙනි, දෙවෙනි දවස්වල පැය ගණනක් ඒ දෙස මනා විමසිල්ලෙන් බලා සිටියත් කිසිවක් පෙනුනෙ නෑ. එහෙත් තුන්වැනි දින ඔහු යම් යාතිකාවක් වැනි දේව ආරාධනයක් කර කටයුතු අරඹන විට හිටි ගමන් ගිනි පුපුරක් වගේ දෙයක් විටින් විට එම මල් යහනේ තැනින් තැන මතු වී නොපෙනී යන්න පටන් ගත් නිසා, අද නම් වෙනදාට වඩා අමුතු වෙනසක් මට පෙනුනා යැයි අවංකවම ඔහුට පැවසුවා. ඊළඟ දිනදීත් එසේම සිද්ධ වී පොඩි ආලෝක තිතක් ඒ මේ අත නලියන ආකාරයෙන් තෙල් කුප්පිය මැදින් පෙනෙන්නට වුණා. එදා මට තනිවම ඒ දෙස බලා ඉන්න පැයක් පමණ අවස්ථාව ලබා දුන්නා. කුඩා සිද්දාවකින් (සිදුරකින්) ඈත තියෙන විශාල පෙදෙසක් දකින්නට හැකි සේ යම් යම් දේවල්, ප‍්‍රදේශ ආදිය පෙනෙන්නට වුණා. මා මෙසේ ලැබූ අත්දැකීම ගැන මටම පුදුම හිතුනා. තමාට අවශ්‍ය කරන කාරණය කුමක්දැයි බලන්න සිතා, පෙනෙන දෙය කියන්නැයි ඔහු මට පැවසුවා. මේ අමුතුම දර්ශනය ඉතා පැහැදිලි රජ මාලිගාවක්. සිංහ මුඛ දෙකක් සහිත කනු දෙකක්ද, දෙපස ඇති ප‍්‍රධාන උළුවස්සක් ද පැහැදිළිව පෙනෙන්න තිබුණා. රජ බිසව්වරු, සේවක පිරිස් සහිත සේනාව ද හොඳින් පෙනෙන විට, මේ කුමන ක‍්‍රමවේදයක් දැයි සිතුණ වාර බොහෝ වුණා. රජවරු දෙන්නෙක් අතර පැරණි යුද්ධයක් සිදුවූ අවස්ථාවක පරාජය වූ රජුගේ මාලිගාවේ පිරිසක් තමයි මේ පේන්නේ. මගේ මානසික ක‍්‍රියා පද්ධතිය, අතීත සිදුවීමක් ඒ කාලයේම දකින සේ ක‍්‍රමයෙන් සකස් වෙන අයුරු ද දැනෙන්නට වුණා. සතුරු සේනාව මාලිගාව වටලන්න පෙර තම ආභරණ පොදි ගැසූ රජ බිසෝවරු, ඒවා අර සිංහ කටකට දමා පිරිස සමග පලා ගියා. ඉන් පසු පෙනුනේ මාලිගාවේ නටඹුන්.

මේ අඳුන බලන අය සහ ඔහු බලන්නේ කුමක් ද යන්න මට දැන් ඉතා පැහැදිළියි. මේ අඳුනින් විවිධ දේවල් පෙනෙන තවත් කාන්තාවක් ද ඒ පිරිසේ හිටියා. සම්බන්ධ පිරිසට මාවත් එක් කරන්නට සුදුසු දැයි අදහස් අසමින් ඒ ඒ අයගෙන් විමසා, ඒ කාන්තාවගේ අඳුනෙන් පෙන් වූ නිගමනය පරිදි මා ඊට නුසුදුසු බවත් කියා තිබුණා. මගෙන් ද එම සිද්ධිය විමසා, මට පෙනෙන දෙය බැලූ විට මා ඊට නුසුදුසු බව මටම පෙනුනා. ඒ බව මමත් කිව්වා.

තවත් පසු දිනක මේ අඳුනෙන් මා දුටු පුදුම දර්ශනයකින් මගේ නෙත් අදහා ගන්න බැරි වුණා. මේවා මේ විදිහට ඉදිරිපත් කරන්නේ, ගුප්ත වූ මනසකට ගෝචර වන අතීන්ද්‍රිය හැකියාවන්ගේ ස්වභාවයන් බොරුවක් නොවන බවත්, සුචරිතව ධර්මානුකූලව මනස හැඩ ගසා ගත් විට උච්ඡේදවාදී අදහස්වලින් මිදීමට මේවා අනුබලයක් වන බව පෙනෙන නිසාත්ය. එසේම

මේ කාලයේ  ඕව වටහා ගන්න බෑ

යන අධෛර්‍යමත්භාවයෙන් මිදී පූර්වේනිවාසානුස්සති, චුතූපපාත ඥාන වැනි නිවනට උපනිශ‍්‍රය වන ඥානාවබෝධය ලැබීමට රුකුලක් ද වන නිසයි.

ඉහත කී සිද්ධිය වූ ආසන්නම දිනක තමෝදියස් අයියාට බාර දුන් ශාන්තිකර්මයක් සඳහා මටද එහි එන ලෙස ඇරයුමක් ලැබුණා. ඔහු ඉහත කී අඳුන බැලීමට, පෙර සේම වත්පිලිවෙත් කර මටද පෙනෙන දේ බලන්නැයි දැනුම් දුන්නා. විනාඩි දෙක තුනක් ඒ දෙස බලා සිටි විට සිදු වූයේ නෙත් අදහාගන්න බැරි පුදුමයක්. එහි තිබූ පහන, අඳුන් කුප්පිය, මල්, පලතුරු… ආදී සියල්ලම නොපෙනී ගිහින් සියල්ල එකම වර්ණ සංකලනයක් සේ දිස් වුණා. රූපවාහිනී තිරයක යම් යම් දේවල් පෙනෙන්නා සේ, ඉතා පැහැදිලිව ආරෝග්‍ය ශාලාවක් දිස් වුණා. ඒ ඇතුලත ශල්‍යාගාර කාමරයක්. හෘද කම්පන පරීක්‍ෂා කරන නලාව කරේ දමාගෙන සිටින වෛද්‍යවරු මෙන්ම හෙද නෝනලාත් ඒ අයගේම නිල ඇඳුම් කට්ටල්වලින් සැරසී හිටියා. සැත්කම් කරන්න ගන්නා උපකරණ කට්ටල ඉතා පිරිසිදුව පෙනුනා. මේ දකින විස්තර ඔහුට කී විට, මගේ හිතේ තියෙන කරුණු තාම කියවුණේ නැතැයි ද, තව දුරටත් පෙනෙන දේ කියන්න යයි ද ඔහු පැවසුවා. ඊලඟට ලෙඩුන් ගෙන යන ට්‍රොලියක නිදි කරවාගෙන කලූ කෙට්ටු කාන්තාවක් රැගෙන ආවා. ඇය එයින් නැගිට්ටුවා වම් කකුලේ උකුල් ඇටය ලඟ පටන් වම් පාදයේ අන්තිම කෙළවරට පෙන්නුම් කළා. ඇගේ ඉඟටිය ලඟ ගෙඩියක් තිබුණා. නිල් වූ නහරයක් පාදය දිගේ පතුලටම යන තෙක් පෙන්නුම් කළා. තමෝදියස් අයියා හිනා වෙලා, දැන් නම් ඒ කාරණය පෙන්නුම් කරන ලකුණු තියෙන බවත්, ඒ අමාරුව හැදුණේ කොහොමද කියා බලන ලෙසත් මට දැනුම් දුන්නා.

දැන් අර කාන්තාව ඇඳකට නංවා කකුල් දෙක උඩට ඔසවා පටි දෙකකින් බැඳ, අධෝ මාර්ගය තුළ අමුතුම ආකාරයක ශල්‍ය කර්මයක් වෛද්‍යවරයෙක් විසින් කරන්න පටන් ගත්තා. දැන් දර්ශනය එන්න එන්නම පැහැදිළියි. අඩ හඳක හැඩය ඇති කුඩා බේසමක් කැපුම් මුඛයට යටින් තබා සැතකින් ඇද්දා සේ පෙනුනා. රුධිරය රතට ගලනවා. බඩ වැල මැදින් පැලෙන සේ පිහියක් වැනි උපකරණයක් වෛද්‍යවරයා අල්ලාගෙන සිටි බඩවැල දෙකට පැලෙමින් හිමින් සීරුවේ පිටතට ඇදුනා. අඟල් අටක් පමණ දෙකට පැලෙමින් ඇදුනු තැන ගෙඩියක් තිබී එය ද දෙකට පැලී තවදුරටත් බඩවැල එසේම එලියට ඇදෙන්නට වුණා. වෛද්‍යවරයා පැන්සලක් වැනි උපකරණයකින් එම ගෙඩිය මා හට පෙන්වා ලේ විසවීමෙන් හට ගත් ගෙඩියක් බව හැඟෙව්වා. තවත් අඟල් හයක් පමණ ඇදෙන විට එබඳුම තවත් ගෙඩියක් තිබුණා. එයත් පෙන්වා ශල්‍ය කර්මය තාවකාලිකව නතර කළ බවක් පෙනුනා. ඒ ගෙඩි හටගන්න හේතුව කුමක්දැයි ඇදුරුතුමා (තමෝදියස් අයියා) මගෙන් ඇහුවා. එවිටම වාගේ බඩවැලේ ඇතුලත සිදුර උමගක් තුලින් ඉදිරියට පෙනී යනවා සේ දැනෙන්නට වුණා. එය ආමාශයට යන තුරුම පෙනුනා. එහි පසෙකින් අමු ගෝවා කැබැල්ලක්, බොම්බයි ලූනු පළුවක් වැනි මෙබඳු අමු ආහාර කීපයක් පෙනී, එහි පටන් ලනු පොටක් වැනි රැහැනක් ඇගේ හෘදය වෙතට සම්බන්ධව පෙනුනා. ඒ කෙළවර තරුණයෙකුගේ පොඩි ඡායාරූපයක් ද තිබුණා. ඒ ඡායාරූපය හිමි පුද්ගලයා දුටුවොත් හඳුනා ගන්න පුළුවන් තරම් පැහැදිලියි.

මේ දර්ශනය පෙනෙන අතරේ මගේ හිතත් එම අරමුණින් පිටතට යොමු කරන්න බැරිව එහිම කිඳා බැස ගියා සේ දැනෙන්නට වුණා. මගේ කයත් ඊටම අවනත වූවා සේ දැනෙන්නට වුණා. ඊළඟට මට අවශ්‍ය වුණේ මේ පුදුම සහගත දර්ශනය කුමක් ද, මෙසේ පෙනෙන්නේ මොන බලවේගයක ක‍්‍රියාවක් තුලින් ද කියා විමසා දැන ගන්නයි. මනස තදින් ඒ පිලිතුර ලැබීමට ක‍්‍රියාත්මක වන බවක් දැනුනා. මේ පෙන්වන්නේ කව්ද? දෙවියෙක් ද? භූතයෙක් ද? මගේ මුවින් විමසුම් සහගතව සෙමින් මේ හඬ පිටවුණා. මගේ ශරීරයත්, හිසත් යම් ලතාවකට වැනෙමින්

දෙවියෙක් නොවෙයි, භූතයෙක් නොවෙයි, ඒ මගේ මනසයි

කියා පැහැදිලි හඬක් මුවින් නිකුත් වුණා. ඒ වෙලාවේ ඇදුරුතුමා ටිකක් සැරෙන් මෙන් කතා කර,

හා දැන් බැලූව ඇති, නැගිටින්න

යි කියා මගේ උරහිස දෙසින් අල්ලා ඉස්සුවා. කිසිම අවසිහියක් නැතිව මා නැගිට ගොස් අසල තිබුණු ඇඳක ඉඳගත්තා. පැය කාලක් පමණ යන කල් ශරීරයේ බරද නොදැනී ඉහලට එසවී සිටින අයුරක් සහ අත් පා කාන්දමක් විහිදෙනවා වැනි ස්වභාවයකට පත්ව තිබී නැවතත් ප‍්‍රකෘති තත්ත්වයට පත් වුණා.

මේ කාන්තාවට කලක පටන් වම් පාදයේ ආබාධයක් සහිත සෙම කුපිත වූ ස්වභාවයක්, පපුවේ මහන්සිය, බඬේ පුරා දා ඇති ආහාර අරුචිය, වැසිකිළි යාමේ අපහසුව.. ආදී ආබාධ තිබිල තිබුණා. කොච්චර ප‍්‍රතිකාර කෙරුවත් සුවයක් ද ලැබී නෑ. පසුව මා ඇදුරුතුමාගෙන් ඇසුවා, ආමාශයේ අමු එළවළු පෙනුනේත්, හෘදයේ පුද්ගලයෙකුගේ ඡායාරූපයක් පෙනුනේත් කුමක් නිසා ද කියා. ආහාර සමග ඉනාවක් දී ඇති බවත්, ඇයව වශී කරගන්න අවශ්‍යව තිබු පිරිමියාගේ රුධිරය මිශ‍්‍රකර ඉනාව සකස්කර දුන් පසු ආහාර නොදිරවා සෙම සමග බඬේ රැෙඳන බවත්, එවිට ඇතිවන ආබාධය පෙනෙන්නේ ඔය විදියට බවත් ඔහු පැවසුවා.

තවත් දිනක කෙනෙකුට ප‍්‍රතිකාර කර සුවය ලැබෙන හැටි බලන්නැයි ඔහු මට පැවසුවා. එවිට කාන්තාවක් මලක් මත හිටගෙන සිටින දසුනක් පෙනුනා. ඇදුරුතුමා කසාය වට්ටෝරුවක් කියවා ඉන් ලැබෙන ගුණය කෙසේ පෙනේ ද කියා මගෙන් ඇසුවා. පතුලේ තිබුණ මල දණහිස ලඟට, උකුල ලඟට ශරීරය අතරින් ඉස්සුනා. තවත් එබඳු යම් ප‍්‍රතිකර්මයක් කිරීමේදී කෙසේ වේද කියා බලන විට ඒ මල ශරීරය තුලින් උඩට එසවී පපුව, බෙල්ල පසාරු කර හිස් මුදුනේ නැවතුණා. හිසේ මලක් පිපුණා නේද කියා ඇදුරුතුමා හිනා වුණා.

ඔය පෙනීම ප‍්‍රසිද්ධ කරන්න එපා, හිසේ මල පිපෙන ලකුණ පෙන්වන මෙබඳු පෙනෙන පුද්ගලයන් ලෝකයේ සිටින්නේ කෝටියකට එක්කෙනෙක්

යැයි තම ශාස්ත‍්‍ර ක‍්‍රමයේ කියා තිබෙන බව ඔහු පැවසුවා. නමුත් මේ පෙනීම මන්ත‍්‍ර බලයක් ද, දෙවි හෝ භූත බලයක් ද, කුමක් වුවත් මම පරීක්‍ෂණයක් කරමියි කියා තීරණයකට බැස්සා.

රැකියාව අවසන් වූ පසු  නිවසට පැමිණි මා පුටුවක් ගෙන එහි කකුල්වලට පොතු හැර ශුද්ධ කළ කෝටු බැඳ, සුදු රෙද්දකින් උඩින් වටින් වසා මල් ටිකක්, පහනක් කෙසෙල් පත‍්‍රයක තබා පොල් තෙල් කුප්පියක් ද අඳුන ලෙස තබා ඒ දෙස බලාගෙන සිටියා. රාත‍්‍රී කාලයේ පැය 3 ක් පමණ මෙසේ බලා සිටියත් කිසි අමුත්තක් වුනේ නෑ. දෙවැනි, තුන්වැනි දවස්වලත් මේ විදියටම පැය 3 ක් පමණ බැගින් බලා සිටින්න පුරුදු වුණා. හතරවැනි දිනයේදී ඇදුරුතුමාගේ අඳුනෙන් දුටු ලෙසම දර්ශන පෙනෙන්නට වුණා. ඉන්පසු විවිධ අසනීප ඇති අය පැත්තකින් හිඳුවා, මේ අයට ඇති අසනීපය කුමක් ද, කළ යුත්ත කුමක් ද… ආදී ලෙස මෙසේ සිතන විට විවිධ ක‍්‍රමවේද පෙනෙන්නට වුණා.

තැඹිලි ගෙඩියකට සුදු හඳුන් ටිකක් දමා මේ ආසනය මත තබන්න.

මෙබඳු දර්ශනයක් සමග හැඟීමක් ද නැගෙනවා. එසේ කළ විට අතක් මැවී විදුලි ධාරාවක් ගලා එන්නා සේ තැඹිලි ගෙඩියට ශක්තියක් කා වැදී එහි සුදු පාට ආලෝකයක්, ශක්තියක් සමග ගැබ් වූ ලෙස ද වැටහෙනවා. ආතුරයාට බොන්න දෙන්නැයි හැඟීමක් මතුවෙනවා. සමහර විට එයින්ම ඒ අසනීපය සුව වෙනවා. එසේ සුව වූ අවස්ථා බොහෝ කොටම තිබුණා. (රෝගය → රෝගයට හේතුව ‍→ රෝග නිවාරණය →  රෝග නිවාරණ මාර්ගය)

එක් දිනක්, පෙර සඳහන් කළ අඳුන බැලූ පිරිස නිධන් ගැන බලා වස්තු තණ්හාවෙන් නිධන් හාරන්න යන්න හදන බව මා සාදා ගත් මල් බුලත් පුටුවෙන් පෙනෙන්නට වුණා. ඔවුන්ට නිධන් ඇති තැන ලෙස පැරණි වැසිකිළි වලක් පෙනී ඇති බවත්, එය හාරා අවසානයේ ඔවුන් බිය වී පලා යන බවත් මා හට පෙනුනා. ඊළඟ දින මේ ගැන සෝදිසි කර බලන විට කරුණු එසේම සිදුවී ඇති බවත්, නිධන් වස්තු ලැබුණ නම් ඔවුන්ද විනාශ කර පැහැරගෙන යාමට පිරිසක් සංවිධානය වී සිටි බවත් දැනගන්න ලැබුණා.

තවත් ටික දිනකට පසුව මල් පහන් ආදිය කිසිවක් නොබලා බිත්තියක්, පවුරක් දෙස බලා සිටියත් මෙබඳු දර්ශන දකින්න පුළුවන් වුණා. මේවා ඇස දුටු ගමන් තම තමන්ද පරීක්‍ෂණවලට බැසීමට කලබල නොවන්න. මේ ගුප්ත ස්වභාවයන් මනසට ගෝචර වෙන්න පටන් ගත් විට මනසත් අනුකූලව පාලනය වී සමබර තාවයක් ඇති නොවුනොත් මානසික ආබාදිතයෙක් වීමටත් බැරි නෑ. එමනිසා මනා සිහිකල්පනාවෙන් තමාට ඔරොත්තු දෙන බව වැටහේනම් පමණක් මේවා අත්හදා බැලූවාට වරදක් නෑ.

මින් ඉදිරියට පෙන්වා දෙන අත්දැකීම් අතිශයින්ම ගුප්තය, රසවත්ය, ත‍්‍රාසජනකය. මේවා කෙසේවත් විය නොහැකි, අනුන් රවටන්න ලියපු ඒවායි බොහෝ විට ඇතැම් අයට හිතෙන්නත් පුළුවන්. නමුත් මේ සිද්ධීන්ට අමතරව එක් කළ අතිශයෝක්ති කිසිවක් නෑ. දැකපු හා සිදු වූ දේවල් ඒ අයුරින්ම පවසන්නේ, මේ ක‍්‍රමවේද තුළින් කවදා හෝ මනෝ විශේෂඥයින්ට, මානසික පරීක්‍ෂණවලට සහ භාවනානුයෝගී උතුමන්ට තම කටයුතුවලට මෙබඳු ගුප්ත අත්දැකීම් මහත් රුකුලක් විය හැකි නිසයි.

මේ අත්දැකීම් නිසා ලැබෙන විශ්වාසයෙන්, ධෛර්යයෙන් ත‍්‍රිවිද්‍යා ලාභී සඟරුවනක් ලොව පහළ වීමට උපනිශ‍්‍රය වේවා කියන සත් පැතුමෙන් හෙළි කරන මෙබඳු කරුණු රැසක්  ඉදිරි  කලාප  තුළින් බලාපොරොත්තුවන්න.

 

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.