සෝතාපන්න වීමත් සමග ඇතිවන වෙනස්කම්

සම්මා දිට්ඨියට පත්වන ආකාරය පසුගිය කලාපයේ විග‍්‍රහ කළා. ‘‘සං’’ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මන යන අභ්‍යන්තර ආයතන සමග රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන බාහිර ආයතන පටිච්ච වීමේ ක‍්‍රියාවලිය බව පැහැදිලි කළා. ඒ ක‍්‍රියාවලිය, බැඳීමේ ක‍්‍රියාවලිය ලෙස තේරුම් ගත යුතුයි. එය සංඛාර වශයෙන් හඳුන්වනවා. මෙම සංඛාර හෙවත් සං වීමේ ක‍්‍රියාවලිය තවදුරටත් පහත සඳහන් පරිදි අවස්ථා කීපයකට බෙදා වෙන් කරන්න පුළුවන්. ඒ, චිත්ත, මනෝ, මානසං, හදයං, පන්ඩරං (පන්නරං – පණ පොවනවා), මනෝ මනායතනං, මනේන්ද්‍රියං, විඤ්ඤාණං යනුවෙන්. එහෙමනම් විඤ්ඤාණය ගොඩනැගීමට පෙර, ඇසක් රූපයක් සමග ගැටෙනවාත් සමග ඇතිවන මේ පටිච්ච වීමේ ක‍්‍රියාවලිය මේ ආදී අවස්ථා කීපයකට බෙදී වෙන් වෙනවා. මේවා එකිනෙක විග‍්‍රහ කර ගනිමු. චිත්ත පිළිබඳ අර්ථ කථනයේදී

පබස්සර මිදං භික්ඛවේ චිත්තං ආරම්මන විජානන ලක්ඛණං චිත්තං….

ආදී වශයෙන් විග‍්‍රහ කරල තියෙනවා. ආරම්මන විජානන ලක්ඛණං යන්නෙහි  තේරුම,  අරමුණු විවිධාකාරයෙන් දැනගැනීමේ ලක්‍ෂණ යන්නයි. එය විස්තර කරන විට එම ලක්‍ෂණය දරන්නා කවුද? ඒ මනසයි. එහෙනම් චිත්ත යන්න මනසෙහි මූල ලක්‍ෂණයක් හෙවත් ස්වභාවයක් විය යුතුයි. මෙය ඉතා පිරිසිදු ලක්‍ෂණයක්. උදාහරණයකින් මෙය පැහැදිලි කර ගනිමු. මනස යන්න මුහුණේ ඡායාව වැටී ඇති කැඩපතකට සම කළොත්, එහි මුහුණ දැකීමේ ලක්‍ෂණය ඇති කැඩපත චිත්ත වශයෙන් පෙන්නුම් කළ හැකියි. කැඩපත එසේම තිබියදී මුහුණ දැකීමේ ලක්‍ෂණය කිළිටි කළ හැකියි. උදාහරණයක් වශයෙන් කැඩපත මත දූවිලි තැවරුවොත්, දූවිලිවලින් කිළිටි ගැන්නුවොත් එය ඉදිරියට ගිය විට මුහුණ දැකීමේ ලක්‍ෂණය අඩු වී ඇති බව පේනවා. මේ ආකාරයට තමයි, චිත්ත කියන එක විඤ්ඤාණ දක්වා යනකොට කිළිටි වන්නේ. මේ කිළිටි වීම පියවරෙන් පියවර විමසා බලමු.

චිත්ත ළඟට ඇත්තේ මනෝය. මනෝ වශයෙන් හඳුන්වන්නේ යම් වස්තුවක් ඉන්ද්‍රියක ගැටුණු විට එය මැන බලා ගැනීමයි. උදාහරණ ලෙස අපි පොල් ගසක් දෙස බලන විට පොල් ගසේ මුල ප‍්‍රදේශය දකින විට අග ප‍්‍රදේශය පේන්නෙ නෑ. මැද ප‍්‍රදේශය දකින විට අග මුල පේන්නෙ නෑ. අග ප‍්‍රදේශය දකින විට මුල මැද පේන්නෙ නෑ. එහෙනම් අපි පොල් ගසක් දකින විට කොටස් තුනක් වශයෙන් වෙන් කළොත් පළවෙනි කොටස අපි මැන ගත්තා. ඊළඟට දෙවන කොටසත් අපි මැන ගන්නවා. ඉන්පසු තුන්වන කොටසත් මැන ගන්නවා. මේ කොටස් තුන මැනගෙන මේවා එකතු කරනවා. මේකට කියනවා මානසං කියලා. මෙතනදී සං යන වචනය යෙදෙනවා. මැන ගත්තු ටිකට මාන කියා කියනවා. මාන ටික එකතු කරගෙන මාන සං කළාම අපි එය පොල් ගසක් වශයෙන් හඳුනා ගන්නවා. පොල් ගසක් වශයෙන් හඳුනා ගත් පසු තමයි අපිට මේ බැඳීමේ ක‍්‍රියාවලිය වෙන්නේ. දැන් පටිච්ච වීමේ ක‍්‍රියාවලිය පටන් ගන්නවා. පොල් ගහ ලෙස හඳුනා ගැනීමට පෙර, අපි ඊට රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් බැඳෙන්නෙ නෑ. පොල් ගස එක් උපමාවක් පමණයි. ප‍්‍රියමනාප ලෙස දකින ශරීර ආදියත් දකිමින් මෙන් ඒ ඒ කොටස් මැනගෙන සං කර හෙවත් එකතු කර මනෝ රූපයක් සාදා ගන්නවා. රාග, ද්වේශ,   මෝහ ඇතිවන්නේ මේ අවස්ථාවෙන් පසුවයි. ඒ තමයි මානසං වුනාට පසු, හදයං කියන අවස්ථාව. මේ හදයං යන්නෙහි තේරුම හාද වෙනවා කියන එකයි. ඒක අපි කවුරුත් දන්නවා. යාළු වෙනවා, හිතවත් වෙනවා කියන එකයි. මෙසේ අපි දැකපු ද්‍රව්‍ය වස්තුවත් සමග අපි හිතවත් වෙනවා, හාද වෙනවා. ඉන්පසු එන්නේ පන්ඩරං කියන කොටසයි. ඒ කියන්නේ අපි හාද වෙච්ච එක තවදුරටත් පන්නරයේ පිහිටනවා. යකඩයෙන් ආයුධයක් හැදුවාමත් ඒකට අපි පන්නරයේ පිහිටනවා කියල කියනවා. ඒ වගේ තමයි මෙතනත්. අපි හාද වෙච්ච එක තවදුරටත් පන්නරයේ පිහිටෙව්වාම පන්ඩරං කියල කියනවා. භවයට අංග හෙවත් භවාංග වෙන්නේ මෙබඳු හිතක්මයි. මේ අවස්ථාව ආවට පසු මනෝ මනායතනං, මනේන්ද්‍රියං ආදී වශයෙන් මනස මේකට සම්බන්ධ වෙලා අවසානයේදී මනෝ විඤ්ඤාණය හැදෙනවා. මේ මනෝ විඤ්ඤාණය හැදුන කියල කියන්නේ ඒ තුළ රාගය හෝ ද්වේශය මිශ‍්‍රයි. අවිද්‍යා සහගතව ගොඩනැගෙන විඤ්ඤාණවල හැටි මෙසේය.

ඉන්පසු පටිච්ච සමුප්පාද පියවර වශයෙන් මනෝ සම්ඵස්සය, මනෝ සම්ඵස්සජා වේදනා, ඊට හා වීම හෙවත් තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණවලින් තමයි කෙළවර වෙන්නේ. එහෙනම් අපි මුළින්ම මේ ජාති නිපදවීම සඳහා වූ ක‍්‍රියා මාර්ගය නැවැත්වීමට නම් අනිච්ඡ බව දැනගැනීම හෙවත් විද්‍යාව පහළවීම තුළින් පටිච්ච වීම නවත්වා ගන්න අවශ්‍යයි. එසේ අභිවිඤ්ඤාණ ගොඩනැගීම නැවැත්තුවොත් ජාති ගොඩනැගීමත් නවතිනවා. ඒ සමගම ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස… ආදී සියලූ දුක් උදාවෙන්නෙ නැති බව දකිනවා. මේ නිවනට පත්වීමයි. දැන් අපි රහතන් වහන්සේ කෙනෙක් ගැන හිතුවොත් උන්වහන්සේගේ ඇසට රූපයක් ගැටෙන කොට මනෝ, මානසං කියන පියවරවල් දෙකම සම්පූර්ණ වෙනවා. මේ සම්පූර්ණ කිරීම ඒ ගැටිච්ච රූපය හඳුනා ගැනීම සඳහා අවශ්‍යයි. එය හඳුනා ගැනීම මානසං (විපාක විඤ්ඤාණ) වශයෙන් සලකනවා. ඊට එහා ගියොත් හදයං, පන්නරං ලෙස හාදවීමක් ඇති වුනොත් අභිවිඤ්ඤාණ හෙවත් සසරට හේතුවන විඤ්ඤාණ ගොඩනැගෙනවා. රහතන් වහන්සේ සසරට හේතුවන විඤ්ඤාණ ගොඩනගන්නෙ නෑ, ද්‍රව්‍ය වස්තු හඳුනා ගැනීමේ  විඤ්ඤාණ  පමණක් ගොඩනගනවා.

සෝතාපන්න පුද්ගලයා කෙරෙන් සත්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස යන සංයෝජන ඉවත් වන හැටි දැන් සලකා බලමු. කාය යන්න මින් පෙරත් විග‍්‍රහ කළා. එනම් ඇස, කන, නාසය, දිව, ශරීරය, මන, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන කොටස් දොලහෙන් සැදුම් ලත් එකක්. මේ කාය පාවිච්චි කරමින් එනම් අභ්‍යන්තර හා බාහිර ආයතන දොළහ ප‍්‍රයෝජනයට ගනිමින් සත්ත්වයෝ ආස්වාද හොයමින් සැරිසරනවා. මේ ආස්වාද ලබාදීමට හේතු වන නිසා, මේ ආයතන දොළහ ඔවුන්ට හරි වටිනවා, හරි ප‍්‍රයෝජනවත්, නැවත නැවත ලැබිය යුතුයි යන හැඟීම සත්ත්වයා තුළ ඇති වෙනවා. මෙය නිරන්තරයෙන්ම තමා තුළ තියෙන තෘෂ්ණා සහගත හැඟීමක්. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන ඒවායින් එකක්වත් ඉවත් කිරීමට කිසිම සත්ත්වයෙක් කැමති නෑ. ආස්වාද ගොඩනැගීම සඳහා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන මේ සියල්ලම නැවත නැවත ලැබීමට සත්ත්වයෝ කැමතියි. එසේනම් අභ්‍යන්තර ආයතන හයෙනුත්, බාහිර ආයතන හයෙනුත් සැදුම් ලත් මේ කය හෙවත් සබ්බ කාය ඉතාමත් වටිනවාය යන දෘෂ්ටියේ තමයි පෘතජ්ජන අය ඉන්නේ. යම් දවසක ත‍්‍රිලක්‍ෂණය අවබෝධ වෙලා, ලෝකය හෙවත් මේ ආයතන දොළහ අනිච්ඡයි – තමන්ට කැමති  විදිහට පවත්වන්න බෑ, එයින් දුක හටගන්නවා, එමනිසා අසාරයි කියල තේරුම් ගත්තොත්, කාය සත් යන දෘෂ්ටියෙන් හෙවත් කාය වටිනවා කියන දෘෂ්ටියෙන් ඉවත් වෙන්න පුළුවන්.

යම්කිසි දවසක අනිච්ඡ, දුක්ඛ, අනත්ථ හරියාකාරව තේරුම් ගත් උත්තමයෝ, කාය සත් යන දෘෂ්ටියෙන් ඉවත් වෙනවා. අනන්ත වූ සංසාරයේ ගමන් කරමින් දුක් විඳීමට සැලැස්වූයේ, සතර අපා වැනි නොයෙක් අභව්‍ය ස්ථානවල ඉපදෙමින් මහා දුක් කන්දරාවක් වින්දේ මේ කියන අභ්‍යන්තර ආයතන හයත්, බාහිර ආයතන හයත් එකතු වී සැදුම් ලත් මේ සබ්බකාය කියන පද්ධතිය නිසයි. එසේනම් කරුණු කාරණා තේරුම් ගිය විට මේ සබ්බකාය තමන්ට අහිතක් කරන ලද, අවැඩක් කරන ලද ආයතන දොළහක් බව තමන්ම දකින්න පටන් ගන්නවා. එසේනම් කාය සත් යන දෘෂ්ටිය ඉන්පසු ඉවත් වෙනවා. ‘‘සත්’’ යන වචනය නොයෙක් විට හොඳයි, ආත්මයි යන අර්ථය නිරූපණය කිරීම සඳහා යොදාගෙන තියෙනවා. මේ ආකාරයට සත්කාය දෘෂ්ටිය තේරුම් ගත යුතුයි.

සත් පුරුෂයා, සත් ක‍්‍රියාව, සත් භාවය, ආදී වශයෙන් නොයෙක් තැන්වල සත් යන වචනය යෙදී තියෙනවා. මේ ආයතන දොළහ අනන්ත සංසාරයේ පටන් අපට අවැඩක් කරපු බවත්, ඉදිරියේදීත් මෙයම ප‍්‍රර්ථනා කරමින් ඒ සමග ගැටෙමින් ආස්වාද සොයමින් ඉදිරියට ගියොත් සසර දුක් විඳීමට මේ ආයතන දොළහ හේතුවන බවත් බුද්ධිවන්තව තේරුම් ගත යුතුයි.

එසේනම් සෝවාන් ඵලයට පත් පුද්ගලයා, ලෝකයේ අසාරත්වය දුටු පුද්ගලයා මේ සබ්බකාය අසාරයි හෙවත් අසත් වශයෙන් දකිනවා. එහෙනම් කාය සත් යන දෘෂ්ටියෙන් ඉවත් වෙනවා. ඒ කියන්නේ සත්කාය දිට්ඨියෙන් ඉවත් වෙනවා. කාය අසත් නම් එයින් ඉවත් විය යුතුයි. දැන් මේ ඇස රූප සමගත්, කන ශබ්ද සමගත්, නහය ගන්ධ සමගත්, දිව රස සමගත්, කය ස්පර්ශ සමගත්, මන ධම්ම සමගත්  ගැටෙමින්  විඤ්ඤාණ ගොඩනැගීමේ ක‍්‍රියාවලිය හෙවත් සංඛාරවලින් ඉවත්වීමේ දෘෂ්ටියට එනම් සම්මා දිට්ඨියට ඒ පුද්ගලයා පත්වී හමාරයි. එහෙනම් සම්මා දිට්ඨිය ඇතිවෙනවාත් සමගම සත්කාය දිට්ඨිය නැතිවෙන හැටි තේරුම් ගන්න පුළුවන්.

‘‘විචිකිච්චාව’’ යනුවෙන් හඳුන්වන්නේ කුමක්දැයි බලමු. එදිනෙදා ජීවිතයේ මෙය හඳුන්වන්නේ සැකය ලෙසයි. නමුත් සැකය යන්න මෙතනදී පාවිච්චි කරන්න බෑ. මජ්:නි:(1) 426 පිටුවේ එන චුල්ල හත්ථි පදෝපම සූත‍්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, බුදුන් සම්මා සම්බුද්ධයි කියාත්, ධර්මය ස්වාක්ඛාතයි කියාත්, සංඝයා සුපටිපන්නයි කියාත් ආදී වශයෙන් බුදුන්, දහම්, සඟුන් පිළිබඳ සම්පූර්ණ නිට්ඨාවකට යා  හැකි වන්නේ එනම් පූර්ණ අත්දැකීමට යා  හැකි වන්නේ අරිහතුන් වහන්සේ නමකට පමණකැයි කියා. එසේනම් ඒ සියල්ල පිළිබඳ සැකය අරිහත් වෙන කල්ම පවතිනවා. ප‍්‍රවේසමෙන් කියෙව්වොත් චුල්ල හත්ථි පදෝපම සූත‍්‍රයේ මේ කාරණය විග‍්‍රහ කර ඇති බව වැටහේවි. එහෙනම් මෙහිදී සෝවාන් පුද්ගලයෙකුගේ සැකය පූර්ණ වශයෙන් දුරුවෙනවා කිව්වොත් ඒක දෝෂ සහිතයි. මෙතනදී විචිකිච්චාව කියා දකින්නේ සැකය නෙවෙයි. විචි කියන්නේ වැරදි, කිච්චා කියන්නේ ක‍්‍රියාවයි. එහෙනම් වැරදි ක‍්‍රියාවලියෙන් ඉවත් වෙනවා යන්න විචිකිච්චාව නැතිවෙනවා කියන එකේ තේරුමයි. ලෝකයේ වැරදි ක‍්‍රියා කොච්චර නම් ඇද්ද? මුළු ලෝකයේම සිදු කළ හැකි වැරදි ක‍්‍රියා දහයකට බෙදා බුදුන්වහන්සේ දේශනා කළා. මේවා දස අකුසල් වශයෙන් තේරුම් ගත යුතුයි. ප‍්‍රාණගාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර ලෙස කයෙන් කෙරෙන වැරදි තුනයි. මුසාවාදා, පිසුනාවාචා, පරුසාවාචා, සම්ඵප්ප‍්‍රලාපා ලෙස වචනයෙන් කෙරෙන වැරදි හතරයි. අභිජ්ජා, ව්‍යාපාද, මිත්‍යාදෘෂ්ඨි ලෙස මනසෙන් හෙවත් හිතෙන් කෙරෙන වැරදි තුනයි. විකෘති කෘත්‍ය කියන්නේ මේවා වැරදි නැත යන දෘෂ්ටියේ පිහිටා ක‍්‍රියා කිරීමයි. එබඳු දෘෂ්ටි සහගත ක‍්‍රියා සෝතාපන්න පුද්ගලයාට නෑ.

සෝවාන් පුද්ගලයා, මිත්‍යාදෘෂ්ඨිය නම් වූ මනසෙන් කරන භයානකම අකුසලයෙන් ඉවත් වී හමාරයි. ඔහු ලෝකයේ අසාරත්වය දකිමින් ප‍්‍රාණගාත… ආදී අනිත් අකුසල් කිරීමෙන් කිසිම ඵලයක් නැති බව දකිනවා. තමාට රැුකගන්න තරම් වටිනා දෙයක් ලෝකයේ නැති බව දකින සෝවාන් පුද්ගලයාට, තමාට මෙළොව රැුස් කිරීමට දෙයක් නැති බවත්, ප‍්‍රාණගාත කර මොනවා ලබන්නද යන අදහසත් එනවා. සතෙක් මරා මිනිසෙකුට ලැබිය හැකි ප‍්‍රයෝජන දෙයාකාරයි. එකක් සතාගේ මස් අනුභව කරමින් කවදා හෝ විනාශයට පත්වන තම කය තව තවත් වැඞීමට ඒ මස් ප‍්‍රයෝජනයට ගැනීමයි. දෙවැන්න නම් ඒ මස් විකුණා මුදල් හම්බ කිරීමයි. මේ මුදල් හම්බ කිරීමෙන්ද කරන්නේ එකම ක‍්‍රියාවලියක්. ඒ මොකක්ද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මේ ඉන්ද්‍රියන් පිනවීමට මුදල් වැය කිරීමයි.

එහෙනම් සෝවාන් පුද්ගලයා ඇස, කන, නාසය, දිව, ශරීරය, මන පිනවීමේ ක‍්‍රියාවලිය තමා දුකට පත්කරන ක‍්‍රියාවලියක් සේ දැකල ඉවරයි. එසේනම් ඔහුට සතෙක් මරා ලබා ගන්නා මස්වලින් කරගන්න දෙයක් නෑ. ලෝකය අසාරයි කියා දැකපු පුද්ගලයා තුළ මේ ආකාරයෙන්ම ප‍්‍රාණගාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර ආදී වූ දස අකුසලයෙන් වෙන්වීමට කැමැත්තක් හෙවත් ඒවා කිරීමේ අකමැත්තක් ජනිත වෙනවා. මෙසේ ලෝකයට අවැඩක්, අසාධාරණයක් සිදුවන දස අකුසල්වල යෙදීමේ කැමැත්ත ඇතිකරන දෘෂ්ඨිය විචිකිච්චාව වශයෙන් තේරුම් ගත යුතුයි. විචිකිච්චාවෙන් වෙන්වීම කියන්නේ එම අකුසලයන් කෙරෙහි ඇති කැමැත්ත ඇතිකරන දෘෂ්ඨියෙන් වෙන් වීමයි.

ඊළඟ සංයෝජන ධර්මය නම් සීලබ්බත පරාමාසයයි. මෙහි තේරුම සීල වෘත, පරම ආශ‍්‍රය කරගැනීම යන්නයි. සීල වෘත වශයෙන් හඳුන්වන්නේ මොනවාද? වෘතයක් කියන්නේ යම් යම් දේ සමාදන් වෙලා යම් කිසි කාල සීමාවකට එය ආරක්‍ෂා කරගන්න බැඳී සිටීමේ පිළිවෙතයි. පෙර කාලයේ ගෝ-වෘත, අජ-වෘත ආදී වෘතයන් තිබුණ බව අපි අසා තියෙනවා. හිරු දෙවියන් නමස්කාර කිරීම, සඳු දෙවියන් නමස්කාර කිරීම ආදී වෘත එසේ තිබිල තියෙනවා. මේ ආකාරයට, ධර්මය හරියාකාරව තේරුම් නොගෙන යම් යම් වෘත සමාදන් වීමෙන්ම පමණක් විමුක්තිය ලබාගත හැකි යැයිද සිතා, එය පරම ආශ‍්‍රය කරගන්න උදවිය කරන්නේ වරදක්.

ත‍්‍රිලක්‍ෂණය අවබෝධයෙන් සෝවාන් බවට පත්වූ යම් පුද්ගලයෙක් වේ නම් ඔහු නිවන් දැක හමාරයි. ඔහුට ඉතුරුව ඇත්තේ දැකපු නිවනට පත්වීම පමණයි. එසේනම් වෙනත් වෘත සමාදන් වෙමින් විමුක්තියක් ළඟාකර ගන්න බැරි බව ඔහු දැක හමාරයි. එසේනම් වෙනත් මිත්‍යාදෘෂ්ඨික සිල් වෘතවල යෙදීම නිරායාසයෙන්ම, සම්පූර්ණයෙන් ඔහු කෙරෙන් ඉවත් වෙනවා. පන්සිල් ගැනීම, අටසිල් ගැනීම ආදී සිල් වෘත නරකයි කියා මෙහිදී අදහස් කරන්නෙ නෑ. මොකද අද මෙම ධර්මය තේරුම් ගන්න තරම් යම් කිසි අවස්ථාවකට හෝ පත්වී ඇත්නම් එසේ පත්වුනේ අප මෙතෙක් කල් කරන ලද දස සිල්, පන්සිල් ආදී යම් යම් සිල් වෘත අනුගමනය කරමින් ලබාගත්තා වූ කුසල් නිසයි. සමාදානය සහ පරාමර්ශනය එකක් නොව අදහස් දෙකක්. පරාමර්ශනය කියන්නේ නිවන් මග වෘතයක් සේ සලකා එහිම ඇලී ගැලී සිටීමයි. අනාගත සුචරිත සමාජයට මරු පහරක් එල්ල කරන විකෘති අදහසක් සිල්වත ගැන සමහරු මෙකල එල්ල කරන බව පෙනී යනවා. එය අජ වෘත, ගව වෘත තෝරන ක‍්‍රමයක්. එසේ මුලාවෙන් කරන ප‍්‍රකාශය මෙසේයි. ‘‘එළුවා, හරකා ජීවිතාන්තය තෙක්ම සතුන් නොමරයි. හොරකම් නොකරයි. වෙන් කරගත් ස්ත‍්‍රී සතෙක් නැති නිසා කාමයේ වරදවා නොහැසිරෙයි. උන් ජීවිතාන්තය තෙක්ම බොරු නොකියයි. මත්පැන් නොබොයි. පංසිල් රකිනවා යැයි වත සමාදන් වන්නේ බෞද්ධයෝ නොව අජ (එළු) වෘත, ගව වෘත සමාදන්වන මෝඩයෝය.’’

මෙබඳු ප‍්‍රකාශ, කරුණු තේරුම් ගැනීමේ දුර්වල සමහරුන් විසින් කරන, මුලාවෙන් මුලාවට ඇද දමන මිසදිටු කියමන්ය. බෞද්ධයෝ පංච දුශ්චරිතයෙන් වෙන් වන්නේ එළුවන් ගවයන් ආදර්ශයට ගෙන නොවෙයි. යමක් පව් නම්, වැරදි නම්, අකුසල් නම්, නොකටයුතු නම් ප‍්‍රඥාවෙන් වටහාගෙන ඒ වැරදි පාප මග අතහැර දැමීමෙනි. අෂ්ඨාංග සීලය සමාදන් වන්නේද රහතන් වහන්සේගේ ප‍්‍රඥා ගෝචර ධර්ම විනය සාක්‍ෂි කර, තමන්ද ප‍්‍රඥාවෙන් වටහාගෙන ඒ මග අනුගමනය කිරීමෙනි. මේ පිළිවෙත නිවන් සඳහා ඒකායන මාර්ගය නොවෙයි. නමුත් උපනිශ‍්‍රය ගෙන දෙනවා. නියම නිවන් මග නම් ප‍්‍රඥාවෙන් දකිමින් සිතිවිලි, ක‍්‍රියා, වදන් සංවර කරමින් ධර්මාවබෝධයට නැඹුරු වන සතර සතිපට්ඨානයයි. එය වතක් නොවෙයි.

එසේනම් අවශ්‍ය වන්නේ, දස සිල් හෝ පන්සිල් රැුකීමෙන් පමණක් නිවන් සුව දක්වා යාමට නොහැකි බව තේරුම් ගැනීම මිස ඒවා අත්හැර දමා සිටීම නොවෙයි. කවදා හෝ නිවන් ප‍්‍රත්‍යක්‍ෂ කරගැනීම සඳහා වූ මාර්ගයට පිවිසීමට මේ සියළු සම්‍යක්දෘෂ්ඨික සිල් වෘත ප‍්‍රයෝජනවත් වෙනවා. දස සිල් ගන්නා අය, පන්සිල් රකිනා අය ඒවා අගය කරමින් ඒ ආකාරයෙන්ම කළ යුතු වන්නේ ඒ නිසයි. ඒවා ප‍්‍රතික්ෂේප කරන්න බෑ. ඒවායේ වටිනාකමක් තියෙනවා. තේරුම් ගත යුත්තේ ඒ තුළින්ම පමණක් නිවන් දැකිය නොහැකි බවයි.

සම්මා දිට්ඨියට පත් පුද්ගලයාගේ සත්කාය දිට්ඨිය, විචිකිච්චාව, සීලබ්බත පරාමාසය ඉවත් වන බවත් දැන් තේරුම් ගන්න පුළුවන්. එසේනම් දස සංයෝජන ධර්මවලින් පළමු සංයෝජන තුන සෝවාන් පුද්ගලයා වෙතින් ඉවත් වන බව කරුණු කාරණා ඇතිව තේරුම් ගන්න පුළුවන්. මෙසේ සෝවාන් ඵලයට පත් පුද්ගලයාට ඒ සඳහා ඉවහල් වූ කාරණා හතරක් සෝවාන් අංග වශයෙන් බුදු දහමේ විස්තර වෙනවා. (දුතීය සාරිපුත‍්‍ර සූත‍්‍රය) එනම් කළ්‍යාණ මිත‍්‍ර ඇසුර, සද්ධර්ම ශ‍්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාවයි. මේ අංග හතර සම්පූර්ණ වූ විට සෝවාන් පුද්ගලයෙක් බිහි වෙනවා. කළ්‍යාණ මිත‍්‍ර ඇසුර කියන්නේ මොකක්ද?

සද්ධර්මය දන්නා, නිවන් මග දන්නා, එය පැහැදිලිව ප‍්‍රකාශ කළ හැකි උතුම් පුද්ගලයෙක් සිටී නම් ඔහු කළ්‍යාණ මිත‍්‍රයෙක්. එදිනෙදා ලෞකික කටයුතුවලට උදව් උපකාර කරන, ඉඳහිටලා මුදල්වලින් උදව් කරන, වෙනත් වෙනත් උදව් කරන්නෙක් ආර්ය විනය තුළදී කළ්‍යාණ මිත‍්‍රයෙක් වශයෙන් හඳුන්වන්න බෑ. අපි තවමත් සංසාරයේ ගමන් කරන්නේ නිවැරදි කළ්‍යාණ මිතුරෙක් හමුවී නැති නිසයි. මෙහිදී මිතුරෙක් හමුවුනාටම මදි, ධර්මයත් ඇසිය යුතුයි. ඒ වගේම ඒ ධර්මය    යෝනිසෝ මනසිකාරයෙන් සිහි කළ යුතුයි. යෝනිසෝ මනසිකාරය කියන්නේ ලෝකයේ අනිච්ඡ, දුක්ඛ, අනත්ථ බව තමාගේම මනසින් ධර්මය ශ‍්‍රවණය කරන අවස්ථාවේදීම දැකීමයි. හතර වන කාරණය ධම්මානුධම්ම පටිපදාවයි. අනුධම්ම වශයෙන් ත‍්‍රිපිටකයේ විස්තර වන්නේ අනිච්ඡ, දුක්ඛ, අනත්ථ යන කාරණා තුනයි. මේ කරුණු තමාගේ අත්දැකීම් සමග සසඳමින්, මේ ධර්මය ප‍්‍රත්‍යක්‍ෂ කිරීමට තමා විසින් ඒවා යොදවා ගත යුතුයි. අනිච්ඡ, දුක්ඛ, අනත්ථ යන්න කටපාඩම් කරගත් පලියට මේ ප‍්‍රතිඵල ලබන්න බෑ. එය යෝනිසෝ මනසිකාරයෙන් දකිමින් අනිච්ඡ, දුක්ඛ, අනත්ථ වශයෙන් තමාම තමාගේ අත්දැකීම් සමග සසඳමින් තේරුම් ගත යුතුයි. එසේ තේරුම් ගත් පුද්ගලයා සෝවාන් බවට පත්වෙනවා.

සෝවාන් පුද්ගලයෙකුගේ ලක්‍ෂණ කෙසේද? බොහෝ අයගේ මතයක් නම් සෝවාන් පුද්ගලයෙක් තමා සෝවාන් බව කියන්නෙ නෑ කියන කාරණයයි. මෙය වැරදි අර්ථ කථනයක්. සං:නි: (2) 107 පිටුව – පංචභය වෛර සූත‍්‍රයේ සෝවාන් යැයි ප‍්‍රකාශ කරන්න නම් පහත කරුණු සැපිරිය යුතු බව සඳහන් වෙනවා. එහෙනම් යමෙකුට තමන් සෝවාන් බව විශ්වාස නම් එසේ ප‍්‍රකාශ කිරීමේ වරදක් නෑ. තමන්ට ප‍්‍රත්‍යක්‍ෂ වශයෙන් පහත සඳහන් කරුණු කාරණා සපුරා ඇත්නම් එසේ ප‍්‍රකාශ කරන්න පුළුවන්.

  1. පස්වැදෑරුම් භය හා වෛර සංසිඳීම.
  2. සිවුවැදෑරුම් සෝතාපත්ති ලක්‍ෂණයන්ගෙන් යුක්ත වීම. එනම්,
    1. බුදුන් කෙරෙහි අවෙච්ච ප‍්‍රසාදය
    2. දහම් කෙරෙහි අවෙච්ච ප‍්‍රසාදය
    3. සඟුන් කෙරෙහි අවෙච්ච ප‍්‍රසාදය
    4. අරියකාන්ත සීලයෙන් යුක්ත වීම.
  3. ආර්ය වූ න්‍යාය ප‍්‍රඥාවෙන් මනාව දැකීම.

මොකක්ද මේ ආර්ය වූ න්‍යාය. එය ප‍්‍රඥාවෙන් දැක්කම තමයි සෝවාන් පුද්ගලයෙක් බිහි වෙන්නේ. කටපාඩම් කරගත් පලියට සෝවාන් පුද්ගලයෙක් බිහිවෙන්නෙ නෑ. අපේ මේ දැනුම, අපි මේ තත්ත්වයට පත් කළ දැනුම යම් කිසි බුදු දහමේ න්‍යායකට අනුකූල විය යුතුයි. අපි දැන ගත්ත න්‍යාය මොකක්ද? ත‍්‍රිලක්‍ෂණය හා පටිච්ච සමුප්පාදයයි. පළමුවෙන්ම ලෝකය අනිච්ඡයි, දුක්ඛයි, අනත්ථයි කියා දැන ගත්තා. දෙවනුව ජාති කියන තත්ත්වය නිසා තමයි ලෝක සත්වයා දුක් විඳින්නේ කියන කාරණය දැන ගත්තා. ‘‘ජාති’’ යන්න නිර්මාණය වුනොත් ජාති පච්චයා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ආදී සියලූ දුක්වලට භාජනය වෙනවා. එහෙනම් මේ දැනුම අපි ලබා ගත්තේ, ජාති දක්වා අපිව මෙහෙයෙව්වේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා කියා පටිච්ච සමුප්පාද න්‍යාය තුළින් අපි දැනගන්නවා.

එහෙනම් සෝවාන් පුද්ගලයෙක් බිහිවීම සඳහා ප‍්‍රධාන වශයෙන් න්‍යායන් දෙකක් අවශ්‍යයි. ඒ ත‍්‍රිලක්‍ෂණය හා පටිච්ච සමුප්පාදයයි. අවිද්‍යාව නිසා සංඛාර උපදින බවත්, සංඛාර නිසා විඤ්ඤාණ, විඤ්ඤාණ නිසා නාම රූප ආදී ලෙස අවසාන වශයෙන් ජාති ගොඩනැගෙන බවත්, පටිච්ච සමුප්පාද චක‍්‍ර ධර්මතාවය අනුව දැනගත යුතුයි. පටිච්ච සමුප්පාදය ඉතාමත් ගැඹුරු දහමක්. එය පූර්ණ වශයෙන් දන්නේ සර්වඥයන් වහන්සේ නමක් පමණයි. එය මහ මුහුද හා සමාන කොට පෙන්වා තියෙනවා. එසේනම් සෝවාන් පුද්ගලයෙක් අල්ප වශයෙන් තමයි පටිච්ච සමුප්පාදය දන්නේ. අඩුම තරමින් අවිද්‍යාව නිසා සංඛාර, සංඛාර නිසා විඤ්ඤාණ, විඤ්ඤාණ නිසා නාමරූප ආදී පියවරයන් දැකලා අවිද්‍යාව නිසා ජාති ගොඩනැගෙන හැටිත්, අවිද්‍යාව යනු කුමක්ද යන්නත් ප‍්‍රඥාවෙන් දැකපු පුද්ගලයෙක් විය යුතුයි.

“ක්‍ෂය කළ නිරය ඇත්තෙම්, ක්‍ෂය කළ පේ‍්‍රත විෂය ඇත්තෙම්, ක්‍ෂය කළ තිරිසන් යෝනි ඇත්තෙම්, ක්‍ෂය කළ විනිපාතික අසුර නිකාය ඇත්තෙම් නියතයෙන් සම්බෝධි පරායනයෙම් සෝතාපන්න වෙමියි හෙතෙම කැමති නම් ප‍්‍රකාශ කරන්නේය.” මේ දහම් පාඨය ත‍්‍රිපිටකයේ බොහෝ තැන්වල දකින්න තියෙනවා. මේවා නොබලා, “මගඵල ලාභී නම් ඒ අය ප‍්‍රකාශ නොකරයි, ප‍්‍රකාශ කරන්නේ නම් ඔවුන් බොරුකාරයෝ” යැයි සමහර භික්‍ෂූන් වහන්සේලාද ත‍්‍රිපිටකය නොබලාදෝ ප‍්‍රකාශ කරන බව පෙනී යනවා.

ඉහත දැක්වූ පංච භය වෛර සූත‍්‍රයේ, භය හා වෛර සංසිඳීම කියන්නේ මොකක්ද? පාණාතිපාතා, අදින්නාදානා, කාමේසුමිච්චාචාරා, මුසාවාදා, සුරාපානය ආදී මේ පස්වැදෑරුම් නොකටයුතු දේවල් සිදුකිරීම තුළින් තමන් ලෝක සත්ත්වයාට භයක්, වෛරයක් උපදවනවා. මේ පස්වැදෑරුම් භය හා වෛර ලෝක සත්ත්වයාගෙන් තමන්ටත් ඇති වෙනවා. එසේනම් සෝවාන් පුද්ගලයා පස්වැදෑරුම් වූ වැරදි ක‍්‍රියාවන්හි නොයෙදෙන විට තමන්ගෙන් ලෝකයාට භය පහක් සහ වෛර පහක් ඇති නොවීමට වගබලා ගන්නවා. එසේම, තමා අංවක නිසා ලෝක සත්ත්වයාගෙන් තමන්ටත් එම භය හා වෛර පහ ඇතිවීම සංසිඳී යනවා.

දෙවෙනි ලක්‍ෂණය ගෙන බලමු. සිව්  වැදෑරුම්  සෝතාපත්ති ලක්‍ෂණයන්ගෙන් යුක්ත වූවෙක් විය යුතුයි. බුදුන්, දහම්, සඟුන් කෙරෙහි අවෙච්ච ප‍්‍රසාදය, ආර්ය කාන්ත සීලයෙන් යුක්ත වීම යනුවෙන් මෙය දක්වා තියෙනවා. අවෙච්ච ප‍්‍රසාදය කියන්නේ නොකැඩුණු ප‍්‍රසාදයයි. අනන්ත වූ සංසාරයේ ඇවිදිමින් දුක් විඳින ලද මේ සත්ත්වයා සෝවාන් ආදී මාර්ග ඵලයකට පත්වීම තුළින් සදහටම සතර අපායෙන් නිදහස් බවත්, තමන් නිවන දැකපු බවත්, නිවීම දැකපු බවත් ප‍්‍රත්‍යක්‍ෂ වූ විට ඒ සඳහා තමන්ට උපකාරී වූ බුදුන්, දහම්, සඟුන් කෙරෙහි විශාල ගෞරවයක් ගොඩනැගෙනවා. මෙසේ කරුණු කාරණා දැනගෙන බුදුන්, දහම්, සඟුන් කෙරෙහි නොකැඩුනු ප‍්‍රසාදයක් ගොඩනගා ගැනීමක් සිදුවෙනවා.

සෝවාන් පුද්ගලයා හඳුනා ගැනීමේ ඊළඟ කාරණය වූ ආර්ය වූ න්‍යාය ප‍්‍රඥාවෙන් දක්නා විය යුතුයි යන්න දැනටමත් පැහැදිලි කළා. එසේනම් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් ආදී ඵලවලට පත් වෙච්ච අයෙක් ඒ බව තමන්ට ප‍්‍රත්‍යක්‍ෂ නම් එසේ ප‍්‍රකාශ කරන්න එපා කියා ත‍්‍රිපිටකයේ කොතනකවත් සඳහන් වෙලා නෑ. නමුත් තමන්ගේ ලාභ ප‍්‍රයෝජන සඳහා එසේ ප‍්‍රකාශ කරනවා නම් ඒක වැරදියි. ලෝක සත්ත්වයාට අනුකම්පාවෙන්, තමන්ගෙන් තවත් කෙනෙකුට ප‍්‍රයෝජනයක් අත්වෙයි යන හැඟීමෙන් තමන් සෝවාන් හෝ වෙනත් මගඵලයකට පත්වූවෙක් බව ප‍්‍රකාශ කිරීමේ වරදක් නෑ. තමන්ගේ ප‍්‍රතිලාභ සඳහා එසේ කරන එක පමණයි වැරදි. ආර්ය ධර්ම ඇති අය අතින් ලාභ කීර්ති ප‍්‍රශංසා සඳහා යම් කිසි එබඳු කියමන් සිද්ධ වෙන්නෙ නෑ. එසේනම් මේ කරුණු කාරණාවලින් පෙනී යන්නේ සෝවාන් පුද්ගලයෙකුට තමන් සෝවාන් බව දැනගත හැකි විශේෂිත වූ කරුණු ඇති බවත්, එය ප‍්‍රත්‍යක්‍ෂ නම් සෝවාන් පුද්ගලයෙක් සෝවාන් වශයෙන් ප‍්‍රකාශ කිරීමේ ඇති වරදක් නොමැති බවයි.

බක්කුල රහතන් වහන්සේ පැවිදි වී දින හතකින් අරිහත්වයට පත් වූ බව අන්‍ය පරිභ‍්‍රාජකයෙකුට ප‍්‍රකාශ කර තියෙනවා. චිත්ත ගහපති තමන්ට ධ්‍යාන හතරටම සමවැදිය හැකි බවද නිඝන්ට නාථපුත්තට ප‍්‍රකාශ කර තියෙනවා. ඒ සමග අනාගාමී ඵලය ලබා ඇති බව අන්‍ය පරිභ‍්‍රාජකයෙකුට පවසා තියෙනවා. මේවා ත‍්‍රිපිටක ධර්මයේ සඳහන් වෙනවා. කරුණු මෙසේ තිබියදී උසස් යැයි, ධර්මධර යැයි ලොව සම්මත ස්වාමීන් වහන්සේ නමක් කියනු අසා, සමහර උසස් ධර්මධර යැයි සම්මත ස්වාමීන්වහන්සේලාද, ‘‘මගඵල ලාභී නම් ඒ අය එය කිසි විටෙක ප‍්‍රකාශ නොකරන බවත්, යමෙක් කියනවා නම් ඔහු බොරු කාරයෙකු බවත්,’’ ප‍්‍රකාශ කරන්නේ ත‍්‍රිපිටක ග‍්‍රන්ථ විමර්ශනය නොකර බව පෙනී යනවා. එබඳු ස්වාමීන් වහන්සේලා ත‍්‍රිපිටකය කියවා බලා තතු දැන, වරද නිවැරදි කර ප‍්‍රකාශ කරන්නේ නම් කොතරම් අගේද?

නුගේගොඩ වින්සර් රෝහලේ සභාපති
වෛද්‍ය ආර්. පී. වීරසිංහ
MBBS/DFM/MCGP/MPFAM

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.

6 thoughts on “සෝතාපන්න වීමත් සමග ඇතිවන වෙනස්කම්

  1. No Idea

    යම් කෙනෙකුට පහත පරිදි අතීත,වර්තමාන,අනාගත තුන් කාලය පිලිබඳ සැක පහල වේ නම් ඔහු තවමත් සසරේ අතරමං වූ පෘතග්ජන පුද්ගලයෙකි.
     
    අන්‍ධබාල පෘථග්ජනතෙම මෙසේ නුනුවණින් මෙනෙහි කරයි.
    අතීතයේ මම සිටියාද?
    අතීතයේ මම සිටියේ නැද්ද?
    අතීතකාලයෙහි මම කවරෙක් වූයෙම්ද?
    අතීත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වූයෙම්ද?
    මම අතීත කාලයෙහි  කවරෙක්ව සිට කවරෙක් වූයෙම්ද?
    මම අනාගතයේ ඉපදෙයිද?
    මම අනාගතයේ ඉපදෙන්නේ නැතිද?
    මම අනාගතයේ ඉපදෙන්නේ නැහැ. (හෝ තව 1 වරයි ඉපදෙන්නේ හෝ තව 7 පාරයි ඉපදෙන්නේ)
    අනාගත කාලයෙහි කවරෙක් වන්නෙම්ද?
    අනාගත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වන්නෙම්ද?
    මම මතු කල්හි කවරෙක්ව කවරෙක් වන්නෙම්ද?
    ඉපදීමෙහි පටන් මරණය දක්වා ඇති මේ කාලයෙහිද තමා කෙරෙහි එසේද මෙසේදැයි සැක ඇත්තේ වෙයි.
    කෙසේදයත් ?
    මම ඉන්නවද? මම නැද්ද?
    මම කියල කෙනෙක් නැහැ.
    මම කියල කෙනෙක් ඉන්නවා
    මම කව්ද?
    කිනම් සටහණක් ඇත්තෙක් වෙම්ද? මේ සත්ව තෙමේ කොතනින් ආයේද? හෙතෙම කොහි යන්නෙක් වන්නේද?
     
    සබ්බාසව සූත්‍රය

    Reply
  2. Desh

    සම්මා දිට්ටිය යනු සං වලින් මා වෙන දෑකීම. එනම් බෑදීම් (සං) වලින් වෙන්වීම (මා) වෙනහෑටි දෑකීමා. That mean, sowan person hasn’t ditched from the world, he knows how to detach. .??

    Reply
  3. Ashan De Alwis

    Thun lookaagra, trilooka thilaka, amaaa maaani, sambudu piyaaanan wahanseeta apageee namaskaaraya weewa.

    Waharaka Abhayarathanalankara athi uththareethara swaameen wahansee wani sangha peethruuwarayan melowa pahala weema ketharam bhaaagyakda..?

    Meyama Sambudu dahama thawamath jeevamaaanai yannata hondama saaakshiyak noveeda…??

    Praggna wanthayooo waha wahaaa avobodha karaganithwaaa….

    Reply
  4. kalum

    “යෝ හවේ දහරෝ භීක්ඛු – යුංජති බුද්ධ සාසනේ
    සෝ ඉමං ලෝකං පභාසේති – අබ්හා මුත්තෝ ව චන්දිමා ,,

    ළදරු වු භික්ෂු නමක් වුවත්, බුදු සසුනේහි යෙදේ නම් හේ වලාකුළින් මිදුණු පුන් සදක් මෙන් මෙලොව පුබුදුවයි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *