ඉහළ මග ඵල ලාභී උතුමන්ගේ ස්වභාවය සහ ඒ සඳහා ගමන් මග….

පසුගිය කලාපයෙන්  – (බුද්ධ ශාසනයේ සතර බ‍්‍රහ්ම විහරණ වැඩිය යුත්තේ කෙසේද?)

ඉහළ මග ඵල (අනාගාමී හා රහත් උතුමන් පිළිබඳව) ලැබූ උතුමන්ගේ ස්වභාවය අනුමාන වශයෙන් සෝතාපන්න ඵලයේ පටන් සියුම්ව වැටහෙන්න පටන් ගෙන ප‍්‍රඥාව වර්ධනය වෙමින් ඉහළ මාර්ග ඵලයන් ලබන විට ප‍්‍රත්‍යවේක්‍ෂා ඤාණ ඇති අයට ප‍්‍රබල ලෙස වැටහෙන්න පටන් ගන්නවා. රහත් ඵලයේදී සියළු සත්‍යය ප‍්‍රත්‍යක්‍ෂ නුවණින් දැක පූර්ණ වෙනවා.

අනාගාමී බවට පත්වන පුද්ගලයා විඳීමේ බලාපොරොත්තුව පිළිබඳව ඒ ඒ වින්දන අවස්ථාවේදී නිස්සාර බව විදර්ශනාත්මකව දකිනවා. මොහොතින් මොහොත ගෙවි ගෙවී ගොස් විනාශයට පත් වන ලෞකික සම්පත්වල ආකාරය, ඒවා නිසා විඳින්න සිදුවන නිශ්ඵල වෙහෙස දකිනවා. ලෝකයේ නියම ස්වභාවය නිතරම වැටහෙන්න වෙනවා. මෙසේ දන්නා විට, දක්නා විට විඳීමේ බලාපොරොත්තු පහ වී යන අයුරු ප‍්‍රත්‍යක්‍ෂ ලෙස දකිනවා. නැවත එබඳු වින්දන මොහොතක් ස්පර්ශ කරන විට ඒ පිළිබඳව තිබූ තණ්හා උපාදානයෝ ක‍්‍රමයෙන් ලිහිල් වන හැටි ප‍්‍රත්‍යක්‍ෂ කරමින් දකිනවා.

තම තමන්ගේ මෝරපු නුවණ අනුව මේ ප‍්‍රත්‍යක්‍ෂ නුවණ පහළ වීමට ගතවන කාලය අඩු වැඩි වෙන්න පුළුවන්. යම් ලෝකාස්වාද වින්දනයක් තමා කරා ඇසුරට ඒද, එය යන්තමට වින්දනය කරන විටම වින්දන ආස්වාදය ඉක්මවමින් ප‍්‍රඥාව නැගී සිටිනවා. ඊට ඇති තණ්හා උපාදානයෝ ක‍්‍රමයෙන් සමුච්ඡේද ප‍්‍රහාණයට යනවා. මෙසේ ක‍්‍රමයෙන් හටගැනීම, ජරාවට පත්වීම, වැනසීම උරුම කර ගත් ලෝකාස්වාද ස්වභාවය මනාව වැටහෙනවා. අතීත වූ මොහොතකම, භංග වූ අරමුණකම මතක රටාවන් වර්තමාන මොහොතක් සේ ගනිමින් ඇළුණු බැඳුනු ආකාරය වැටහෙනවා. මායාවක් මෙන්, මිරිඟුවක් මෙන් වැටහෙන විට, ආදීනව සිහි වන විට ඇසුරට බිය බවක් වැටහෙනවා. එහි ප‍්‍රබල ආදීනවයක්ම වැටහෙනවා. මිදීම සුවය ලෙස ක‍්‍රමයෙන් වැටහෙමින් තමා වෙත එන සෑම වින්දනයක් කෙරෙහිම ක‍්‍රමයෙන් නොඇලී යනවා. ආස්වාදයේ නොඇලී උපේක්‍ෂාවෙන් සිටිනවා.

යම් මොහොතක ප‍්‍රබල ප‍්‍රඥාව පහළ වන විට ත‍්‍රිලක්‍ෂණයෙන් ඔප් නංවා දෙන අරමුණක් හමුවුනොත් වින්දන, ඇලීම, බැඳීම පිළිබඳව ඇති සියුම් අනුශය දුරු කරමින් නිවනින් සංසිඳීමේ සුවය අරමුණු කර අනාගාමී ඵලය ලබනවා.

මීළඟට ඉතිරි වන්නේ වින්දන බලාපොරොත්තුවලින් ද මිදුණු, දැනගන්න පමණක් සීමා වූ බලාපොරොත්තුවයි. මේ වන  විට  ඇති  දැනගැනීමේ බලාපොරොත්තුවත් ඇත්තේ වීතරාගී (රාගයෙන් තොර), වීත දෝෂී (ද්වේශයෙන් තොර), වීත මෝහී (මෝහයෙන් තොර) බවට අනුරූප වූ අරමුණු පිළිබඳවයි. දිවෙන්, නාසයෙන්, ශරීරයෙන් ලබන ආස්වාද පිළිබඳ කිසිවක් කෙරෙහි එල්බ ගත්  සිතක්  නෑ.  ඒ  පිළිබඳ බලාපොරොත්තුවක් නෑ. බඩගින්න, කායික වෙහෙස, කායික දුක් වේදනා ආදියේදී ඒවායින් වන දාහය සංසිඳවා ගන්න ආහාර ගන්නවා, බෙහෙත් හේත් ගන්නවා. සීත-උෂ්ණ, මැසි-මදුරු ගැහැට එන විට ඉන් මිදීමට යමක් කළ හැකි නම් ඒ දෙය දැහැමිව කරනවා. ඊට දැහැමි මගක් නැත්නම් උපේක්‍ෂා වෙනවා. දහම් ශ‍්‍රවණ, ආර්ය දර්ශන, ධර්ම සාකච්ඡා වැනි වීත රාගී, වීත දෝෂී, වීත මෝහී ආරම්මනයන් දැනගැනීමට ඒ අරමුණු ඇසුරට සිත් වෙනවා. ඒවාද තම ධර්මාස්වාදයට නොව ලෝකාදර්ශයට කරන කටයුතු වෙනවා.

ඇසට පෙනීම තියෙනවා. නමුත් කාමුක දර්ශන බැලීමක් නෑ. කාම දර්ශන කසල ගොඩක ඇති කුණු රොඩු දකින්නා සේ නිශ්ඵලව වැටහෙනවා. අත පිස දැමූ මඩ කුණු තැවරුණු කඩදාසි කැබැල්ලක් කසල ගොඩක තිබෙනවා දැක්කම එහි ආස්වාදයක්, ඇලීමක්, බැඳීමක් හෝ ගැටීමක් ද නැතිවා මෙන්ම, එහි ස්පර්ශය පිළිකුල් කරන ලෝක සත්ත්වයාට (මනුෂ්‍යයාට) එය තමා ස්පර්ශ නොකරන නිසාත්, කසල ගොඩක ඇති නිසාත් ඒ කෙරෙහි මධ්‍යස්ථ භාවයක් වන්නා සේ අනාගාමී උතුමන්ට කාමයෝ ද එබඳු ආකාරයෙන්ම වැටහෙනවා. ඒ අයට කිසි විටෙකත් ඇසින් අරමුණු දැක කාම සිත් උපදින්නෙ නෑ.

එසේම කනට කාමුක ශබ්ද ඇහෙනවා. නමුත් කාම සංඥා පහළ වෙන්නෙ නෑ. විරාග නිශ‍්‍රිත, නිරෝධ නිශ‍්‍රිත දහම් හඬ නම් ස්පර්ශ කරනවා, අහනවා. ඒවා අහන්න බලාපොරොත්තු තියෙනවා. කාම නිශ‍්‍රිත බවින් මිදීමේ නිරෝධය වැටහෙනවා.

දිව, නාසය, ශරීරය පිළිබඳව ආස්වාද සංඥා නෑ. ඒ ආස්වාදයන් කුණු ගොඩක ඇති කඩදාසි කැබලි මෙන් දකිනවා. දැනීම තියෙනවා. නමුත් ඒ සඳහා තණ්හා උපාදාන නෑ. දුඟද දැනෙනවා. නීරස දැනෙනවා. දුක් පහස දැනෙනවා. ඒවායින් ද වෙන් වෙන්න කටයුතු කරනවා. නමුත් එසේ නොහැකි වූවයි කියා ගැටීමක් ඇති වෙන්නෙත් නෑ. ඒ වෙලාවට උපේක්‍ෂා වෙනවා. පෙනීම, ඇසීම, ගඳ සුවඳ දැනීම, රස නීරස දැනීම, සැප දුක් පහස දැනීම, ඒවා පිළිබඳ හිතට වැටහීම පෙර කර්ම විපාකයන් හා පැවැත්මේ ආදීනව නිසා බවත් වැටහෙනවා.

පෙර තමන් කරපු අසන බව, බලන බව, සිඹින බව, රස විඳින බව, ස්පර්ශ පහස ලබන බව, ඒ පිළිබඳව ආස්වාද ලෙස ඇලෙන බැඳෙන බව කාම ලෝකයේ පැවැත්මට හේතු වූ කර්ම සැකසීම ලෙස වැටහෙනවා. ඒවා දැන් නැති නිසා තමන් කාම ලොව සැරිසැරීම නොකරන්නෙක් බවත්, කාම ලොව ඉක්මවූවෙක් බවත් වැටහෙනවා.

මෙසේ පැවැත්මට හේතුව ඡුන්ද රාගයෙන් ඇසුරු කිරීම බවත්, තණ්හා උපාදාන හෙවත් ඇලීම් බැඳීම් බවත් වැටහෙන විට තමා තවම ලෝකයේ රූප රාගයන් පිළිබඳව සෙවීම්, බැලීම්, මෙහෙයවීම් සහිත වූවෙක් බවත්, ඒ නිසා පහළ කිරීම් කෙළවර කර නැත්තෙක් බවත් වැටහෙනවා. මෙසේ ක‍්‍රමක‍්‍රමයෙන් අරිහත් මාර්ග අනුගාමිකත්වය වැඩෙනවා.

යම් දිනක දැනගැනීමේ බලාපොරොත්තු නැද්ද එදින ඇසීමට, බැලීමට, හිතීමට යමක් ඉතිරි නොවන බවත්, එදින ඇස හටගන්න හෝ කන හටගන්න හෝ හිත හටගන්න හෝ හේතු නැති බවත්, ඒවා පවත්වන කාමාස්වාදයට සම්බන්ධ කයද හටගන්න හේතු නැති බවත් වටහා ගන්නවා. යම් තාක් භවය තුළ කාම, රූප, අරූප යන ගතිවලට ඇති තණ්හා උපාදාන නැති නිසා භවය කෙළවර බවත්, භව ප‍්‍රත්‍යයෙන් වන ජාති හටගන්න හේතු නැති බවත් දැන ගන්නවා. මෙසේ පූර්ණ නිරෝධ ස්වභාවය වටහා ගන්නවා.

කුමක්ද? කොහොමද? කෙසේද? කොහිද?… ආදී දැනගැනීම් අනන්ත සසර පටන් කරගෙන ආවත් ඒවායින් ලබා ඇති යථාර්ථයක්, සාරත්වයක් නැති බවත්, ඒ සෙවීම නිශ්ඵල වෙහෙසක් බවත් වටහා ගන්නවා. ප‍්‍රශ්නාර්ථයක් නැගෙනවා. විමසනවා. සොයනවා. දැනගන්නවා. එය කෙළවර වෙනවා. මම දැනගතිමි යන ආස්වාදය විඳිනවා. එහෙත් ලැබූ යහපතක් නෑ. ඉදිරියේත් එබඳුම බලාපොරොත්තුවක් වෙනවා. සොයනවා. විමසනවා. කෙසේද? කුමක්ද? කොහිද?… ආදී අදහස් කෙරෙහි ඇලීම් බැඳීම් ඇතිව ආස්වාදයක් සොයනවා. මේ නිසා පැවැත්මට හේතු පහළ වන බවත් දැනගන්නවා. ඒ නිසා ජාති පහළ කරමින් ඇස, කන, මන යන ආයතන පහළ කරන අයුරුත්, ජාතියෙන් නොමිදී ජරාව, මරණය, ව්‍යාධි ධර්ම ඇසුර සිදුවන බවත්, එබැවින් ආදීනවයක්ම මිසක් සාරත්වයක් නොලබන අයුරුත්, ලබන භව ප‍්‍රතිඵල කැමති සේ නොපැවතී වැනසෙන අයුරුත් දකිනවා. මේ විදර්ශනා නුවණ ක‍්‍රමයෙන් වැඩෙන්න පටන් ගන්නවා. එතෙක් ඇසුරු කළ ධර්මයෙහි ඇලීම බැඳීමත් ජාති දුකට, ජරා දුකට, ව්‍යාධි දුකට, මරණ දුකට හේතුවන බවත් වැටහී යනවා. දැන් ප‍්‍රඥාව අති ප‍්‍රබල වෙනවා.

ප‍්‍රඥාවේ වැඞීම වන විට දැනගැනීමේ බලාපොරොත්තුවලට ඇති ඇල්ම ක‍්‍රමයෙන් අඩු වෙනවා. අරිහත් මාර්ගය වැඩෙනවා. යම් මොහොතක ලෝකයේ නිසරු බව පූර්ණව වැටහෙන මොහොත ළඟා වෙනවා. දැනගැනීමේ බලාපොරොත්තු අත්හැරී යනවා, නොඇලී යනවා. ක‍්‍රමයෙන් උපේක්‍ෂාවට පත් වී සමුච්ඡේද ප‍්‍රහාණය සිද්ධ වෙනවා. ත‍්‍රිලක්‍ෂණය වැටහීම පිළිබඳව උත්තරීතර දැනීමක් පහළ වේද, සියලූ දැනීමේ බලාපොරොත්තුවල තිබූ අනුශය සිඳෙමින් පටිපස්සධි (බැඳීම අත්හැරීමෙන් ලබන මහා සැහැල්ලූව) ප‍්‍රහාණය වී නිස්සරණ ප‍්‍රහාණයට පත්වෙනවා. පූර්ණ වූ නිරෝධය ප‍්‍රත්‍යක්‍ෂ කරමින් උතුම් රහත් ඵලය ලබනවා. භවය කෙළවරයි, ජාතිය ක්‍ෂය වුණා, මතු පහළ වීමක් නැතැයි දැනගන්නවා. පෙර හේතු කර්ම භවයෙන් පහළ වෙලා පැවැත්වෙන කයේ බර යම් දිනෙක කෙළවර වේද, එතෙක් ඇලීම්, බැඳීම් නැති ප‍්‍රභාෂ්වර බවට පත් වූ චිත්තයෙන් අත්බැව කෙළවර වන තුරු අපේක්‍ෂා රහිත ජීවිතය ගෙවනවා. ඇලීමෙන් බැඳීමෙන් තොරව, ලෝක සත්ත්වයන්ට අනුකම්පා කර, ‘‘නිවන් මග ලෝ සතට වේවා, සියලූ ලෝ සත මේ සත්‍යය දැන සත්‍ය මග අනුගමනයෙන් නිවන් ප‍්‍රත්‍යක්‍ෂ කර දුකින් මිදේවා’’යි ලෝ සතට අනුත්තර වූ පින් කෙතක් ලෙස කටයුතු කර, ආයු කෙළවර වන කල රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ නැති, කෙළවර වූ අනුපධිශේෂ නිවනට පත්වෙනවා.

මේ ශ්‍රේෂ්ඨ වූ ප‍්‍රත්‍යක්‍ෂයෙන් යුතුව අනුමාන නුවණින්ද යුතුව පෙන්වන ලද කරුණු හොඳින් කියවා බලා මනා නුවණින් විමසත්වා. තනිව විවේචන කරන නිගමනවල නොපිහිටා, තේරුම් ගත නොහැකි තැනක් ඇත්නම් සාකච්ඡා කර හෝ පවිත‍්‍ර වූ මග නැණ ලබත්වා. ‘‘සියලූ සත්ත්වයෝ සංසාර දුකෙන් මිදෙත්වා, සංසාර රෝගයෙන් මිදෙත්වා, සංසාර භයෙන් මිදෙත්වා, සංසාර ගින්නෙන් මිදෙත්වා, නිවී සංසිඳීම් සුවයෙන් සුවපත් වෙත්වා.’’ නිතර සිහි කිරීම් වශයෙන් දැනට භාවිතාවේ එන ‘‘සියලූ සත්ත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා….’’ ආදී ලෙස කියනවාට වඩා ඉහත ආකාරයෙන් සාසනික අර්ථ වැටහීමට සුදුසු වන අයුරින් කර්මස්ථානයක් ලෙස ප‍්‍රගුණ කිරීමෙන් නියම සාසනික ප‍්‍රතිඵල ලබාදෙන්න හේතු වෙනවා. කර්මස්ථානය විස්තර සහිතව තේරුම් ගෙන වඩන විට ඉතා සාර්ථකව ප‍්‍රතිඵල උදාකර ගන්න පුළුවන්.

‘‘සියලූ සත්ත්වයෝ සංසාර දුකෙන් මිදෙත්වා’’ කියන විට සත්ත්වයින්ට ලැබෙන සංසාර දුක කෙබඳු දැයි තේරුම් ගත යුතුයි. යම් ජාතියක උපත ලැබුවා නම් එම ජාතිය කැඞීමට, බිඳීමට, වැනසීමට හේතුවන බවත්, කඩා දැමීම, බිඳ දැමීම, විනාශ කර දැමීම යන මේවාට ගෝචර වන බවත් දැනගත යුතුයි. ඒ නිසා ජාති වශයෙන් පහළ කරන කෙබඳු සත්ත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු වේවා ඉහත කී කැඞී බිඳී යාම් ආදී කරුණුවලට පොදුවේ මුහණ දීමට සිද්ධ වෙනවා. අපි යම් ප‍්‍රිය ස්වභාවයක් ලෝකයේ ප‍්‍රියතාවයෙන් නිපදවන්නේ නම් ඒ සඳහා වෙහෙසක් ගත යුතුයි. එය සංඛාර දුකක්. එසේම ඒ පි‍්‍රය කරන වස්තුව ලොව සැරිසරන තවත් සත්ත්වයන්ගේත් ප‍්‍රියතම වස්තුවක් වෙන්න පුළුවන්. එවිට හොර, මැර, වංචා, හිංසා ආදියෙන්ද පැහැර ගැනීම්වලින්, මිනී මැරුමෙන්ද කෙළවර වෙන්න පුළුවන්. එතනින්ද මහත් දාහයක් දුකක් ඇති වෙනවා. එසේ වැනසීම්වලට භාජනය වන නිසාම, එසේ වෙයිද යන සැකයෙන් විඳින දාහ දුකටත් හේතු වෙනවා. එසේම ප‍්‍රිය මනාප කාම වස්තුවලට ඇළුම් කිරීමට, ඇලී බැඳී සැරිසරන අනන්ත සතුන් නිසා කාම වස්තු කෙරෙහි මහත් දාහයකින්, තරඟකාරීත්වයකින් පොරකෑම හේතුවෙන් මහත් දුක් කණගාටු සිත් තැවුල් ඇති වෙනවා.

මෙසේ ප‍්‍රිය මනාප යැයි යමක් අල්ල ගන්නවාද, බදා ගන්නවාද, ඒ සියල්ලේ කෙළවර වැනසීම නිසාත්, වැනසෙන අතර තුර දුර්වල වීම, ජරා වීම… ආදී ස්වභාව ඇති නිසාත්, රෝග කාරක නිසාත්, දාහය පරාජිත බව ආදියෙන් ද අනේක විධ දුක් හටගන්නවා. පහළ වූ දා පටන් තමන් කැමති සේ නොපැවතී මොහොතින් මොහොත ගෙවි ගෙවී ගොස් විනාශයට පත්වීමේ ධර්මතාවය අනුව ක‍්‍රියා කර වැනසී යන නිසා කිසිම සාරත්වයක් ඉතිරි නොකර අනාථ වූ දුකක් විඳින්න සිද්ධ වෙනවා. මෙසේ අනේක ප‍්‍රකාර වූ දුක්, රෝග, ගිනි, දාහ, සෝක, සංවේග… ආදී දුක් කඳ සංඛාර පරිහරණයේ ඇලීමෙන් බැඳීමෙන් වන පහළ කිරීම් නිසා සිදුවන බව දැනගත යුතුයි.

සතර මහා භූතයන්ගේ නානාප‍්‍රකාර හැඩගැසීම්, පහළ කිරීම් කෙරෙහි සිත යොමුවන විට ඒවා ඇසුරු කිරීමෙන් ආකාර, ලිංග, නිමිති, උද්දේස, ප‍්‍රඥප්ති ආදිය මනෝ ඇසුරට වැටෙනවා. ඒවා ප‍්‍රිය මනාප මධුර ලෙස ගැනීම නිසා ඇලීම බැඳීම වෙනවා. ඒ තණ්හා උපාදානයි. එවිට භව හෙවත් පහළ වීම භව ශක්තිය, ගති ශක්තිය අනුව සිදුවෙනවා. ඇලීම බැඳීම ඒ පහළ කරන වස්තු ඇසුරට යොමු කරන නිසා ඉහත කී දුක් කඳෙන් වෙන් විය නොහැකිව අනාදිමත් සංසාරයේ පටන් සත්ත්වයෝ ඇලී ගැලී සැරිසරනවා. යම් දිනක මේ ඇලීම බැඳීම ඇති සත්ත්ව-පුද්ගල, ද්‍රව්‍ය-වස්තුවල නිසරු බව, දුක් බව වටහා ගන්නවද එතෙක් අනාදිමත් සසර පටන් ආ නොදැනීම වැටහෙනවා. ඒ ලෞකික වස්තුවල වටිනාකම ක‍්‍රමයෙන් අඩු සේ වැටහෙමින් ඒවායේ හිස් බව දැනෙන්න පටන් ගන්නවා. පැවැත්මේ ආදීනවත්, සංසිඳී යමින් නැවැත්ම නිදහස් බවත් වැටහෙනවා. එවිට ඇසුර අත්හරිනවා. අත්හැරෙන්නේ නොඇලෙනවා. නොඇලෙන්නේ මිදෙනවා. මිදුනේ නිසරු ලෞකිකත්වයෙන් යැයි හේතු දැන, සත්‍යය දැන මිදුන බව වැටහෙනවා. මෙසේ භව දුක කෙළවර කරනවා.

ඉහත කී පරිදි මෙත් භාවනාව වඩන විට ලෞකිකත්වයේ ආදීනව දැකීමත් සිදු වී, අනුලෝම ක්ෂාන්තිය හෙවත් අනුලෝම ඤාණය පහළ වෙනවා. නිවන නිදහස් බව වැටහී සම්‍යක්ත්ව නියාමය හෙවත් මාර්ග ඵලාවබෝධය ලබනවා. මේ සඳහා පළමුවෙන්ම දහම් ශ‍්‍රවණය කර තිබිය යුතුයි. මෙසේ කරුණු වටහාගෙන මෙත් වඩා නිවන් අවබෝධ කරත්වා.

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණු දහම් කරුණු ඇසුරින් සකස් කළේ :
නීතිඥ චන්දන සිරිවර්ධන

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.

2 thoughts on “ඉහළ මග ඵල ලාභී උතුමන්ගේ ස්වභාවය සහ ඒ සඳහා ගමන් මග….

    • හෙළ බොදු පියුම Post author

      හරි අකුරු ටික හැදුවා
      පෙන්වා දුන්නට පින්
      ඔබට තෙරුවන් සරණයි !!!

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *