‘‘ගෞතම බුදු සසුන යටකර මතුවන අමුතු සඟ සසුන්’’ නමින් ආචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම සාකච්ඡාවක් ඇසුරින් චාමික මුණසිංහ මහතා විසින් සකස් කරන ලද ලිපියක් 2012 ජනවාරි මස 22 වෙනි ඉරු දින ලංකාදීප පුවත් පතේ පළකර තිබුණි. එකී ලිපියේ ‘‘දම් වරුසා’’ නම් දහම් ග‍්‍රන්ථය ගැන ද යම් අදහසක් පළකර තිබූ බැවින් එම ග‍්‍රන්ථයේ සංස්කාරක වශයෙන් මා යම් පිළිතුරක් ලබාදීමට මෙම ලිපිය ලියන අතර, කිසි විටෙකත් මෙය එම ස්වාමීන් වහන්සේට පහර ගැසීමක්, විවේචනයක් හෝ හෙළා දැක අදහස් ප‍්‍රකාශ කිරීමක් ද නොවන බව මුලින්ම ප‍්‍රකාශ කළ යුතුව තිබේ.

එම ලිපියේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් විසින් පටිච්ච සමුප්පාදය ගැන කරනු ලැබූ විග‍්‍රහයක් ගැන සඳහන් කරමින් ‘‘වචන හරඹ කරන භික්‍ෂුවකගේ තවත් ශ‍්‍රාවකයෙකු විසින් අලූතින් ලියන ලද ‘‘දම් වරුසා’’ නම් පොතේ බුදු දහම හාස්‍යයට ලක් කරමින් නිර්ලජ්ජිත ලෙස බුද්ධ දේශනා විකෘති කරමින් සද්ධර්මය අතුරුදන් කිරීමේ පටු අරමුණු ඇතිව ලියා ඇත’’ යනුවෙන් පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ ප‍්‍රකාශ කර ඇත.

මීට පෙර එක්තරා රූපවාහිනී නාලිකාවක් මගින් ද එම ස්වාමීන් වහන්සේ විසින් ම මෙම ලිපියේ අඩංගු අදහස් ම මුවින් නිදහස් කළ අයුරු මම නැරඹුවෙමි. එහිදී එම ස්වාමීන් වහන්සේ දැක්වූයේ ‘‘සොයිසා’’ නමින් කෙනෙකු විසින් ලියන ලද ‘‘දම් වරුසා’’ පොතක් ගැනයි. විශ්ව විද්‍යාල දේශනා, පිරිවෙන් දේශනා ආදියට වැඩිපුර කාලය කැප කිරීමට සිදුවන බැවින් දහසක් දේ මතකයේ තබාගැනීම අපහසු නිසා එම ස්වාමීන් වහන්සේ ට සමහරවිට පොත ලියූ පුද්ගලයා ‘‘සොයිසා’’ යනුවෙන් කියවෙන්නට ඇතැයි’ මම සිතමි. කෙසේ වෙතත් දම් වරුසා දහම් පොත ගැන ද යම් අදහසක් ලියා ඇති නිසා එම ලිපියේ ලියවී ඇති කරුණු ගැන පාඨකයින් වැරදි තීරණයක්, මිත්‍යා දෘෂ්ටියක් ඇතිකර ගැනීමෙන් සමහරෙකුට අවැඩක්, අසාධාරණයක්, හානියක් වීම වළක්වා ගැනීම පිණිස මෙම පිළිතුරු ලිපිය ලියමි.

එම ලිපියේ අඩංගු පටිච්ච සමුප්පාදය ගැන කියවෙන පරිච්ඡේදයේ සිට සද්ධර්මය අතුරුදන් කිරීම දක්වා වූ කොටස තෙක් කාරණා ගැන ගෝනගල්දෙණිය, වහරක අරියචින්තාශ‍්‍රම බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ විසින් විග‍්‍රහ කරන ලද දහම් කරුණු ගැන අදහසක් පළකර ඇත.

මේ ලෝකයේ සමහර රාජ්‍යයන්, ආගම්, ජාතීන්, සංස්කෘතීන් හැරුණු විට, අප ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවට අනුවත්, කෙනෙකුට  ඕනෑම ආගමක් ඇදහීමට, විවේචනයට, භාෂණයට, මතයක් දැරීමට, අදහස් ප‍්‍රකාශ කිරීමට නීතියෙන් ඉඩකඩ ලැබී තිබේ. එසේම බුදු දහම තුළද විමසා බලා තීරණ ගැනීම අගය කර ඇත. ඉහතින් සඳහන් කළ මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ ද එම නිදහස යොදා ගනිමින් වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ විග‍්‍රහ කරන ලද දහම් කරුණු ගැන යම් අදහසක් පළකර ඇත.

‘‘ඵල ඇති රුකටයි වවුලන් එන්නේ’’ වගේම වැඩිපුර ගල් මුල් වදින්නෙත් එවැනි ඵල ඇති රුක්වලට බව මම අසා ඇත.

විද්‍යුත්  හා  මුද්‍රිත මාධ්‍යයන්ගෙන් මෙවැනි විවේචන, ගැරැුහුම්, අපවාද සිදුකරන නොයෙකුත් ගිහි, පැවිදි ස්වාමීන් වහන්සේලා මෙන්ම  ඉහත සඳහන් කළ ලිපිය තුළින් අදහස් දැක්වූ ආචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ කෙරෙහිද මා තුළ ඇත්තේ මධ්‍යස්ථ හැඟීමකි. එයට හේතුව වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ විසින් විග‍්‍රහ කරන ලද දහම් කරුණු අප දහම් මාර්ගයට කිසියම් පිටුබලයක් වී ඇති නිසයි.

ඉහත සඳහන් ලිපියේ ‘‘බළලා, මීයා සහ කිඹුලා’’ ගැන විස්තරයක් ලියා ඇත. ප‍්‍රථමයෙන් ම කිව යුත්තේ මෙම මුළු විශ්ව ධාතුවේ ම ඇති ජීවී අජීවී, ද්‍රව්‍ය නාම සියල්ලක්ම මුලින්ම සැකසී ඇත්තේ මනස මුල් කරගෙන බවයි. ඒ අනුව ද්‍රව්‍ය පදාර්ථ ඤාණය පහළ වූ අයෙකුට එය මුල් කරගෙන සත්ත්ව නාම, ද්‍රව්‍ය නාම, ශාක නාම සැකසුණු අයුරු විග‍්‍රහ කිරීමට හැකි වීම අසාමාන්‍ය දෙයක් නොවේ.

ද්‍රව්‍ය පදාර්ථ ඤාණය 100% ක් ම පහළ වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණි. ඉන් අනතුරුව අත්ථ, ධම්ම, නිරුක්ති, පටිභාන ඤාණ පහළ වූ සිව්පිළිසිඹියා පත් මහරහතන් වහන්සේ නමකට ද මෙම ඤාණය විශිෂ්ට අන්දමින් පහළ වෙයි. එසේම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට, ක්‍ෂීණාශ‍්‍රව මහරහතන් වහන්සේ නමකට හැරුණු විට ද්‍රව්‍ය පදාර්ථ නාමයන් විග‍්‍රහ කිරීමේ ඤාණය පහළ වූ ශ‍්‍රාවකයන් වහන්සේ නමකට වුවද යම් තරමකට ශාක නාම, සත්ත්ව නාම විග‍්‍රහ කිරීමට හැකි වීම එතරම් අරුමයක් නොවේ.

එසේ වුව මෙවැනි ඤාණයක් ගැන දැනුම ඇති එහෙත්, අවබෝධ ඤාණය නැති අවස්ථාවක සිටින අයෙකුට මෙවැනි ද්‍රව්‍ය පදාර්ථ, සත්ත්ව නාම විග‍්‍රහයන් ගැන අදහස් පැටළිලි හා අවුල් සහගත විය හැකිය. කෙසේ වුවත්, එවැනි ඤාණ ගැන විවේචනය කිරීමට, අදහස් ප‍්‍රකාශ කිරීමට එවැනි විශිෂ්ට ඤාණයක් අවශ්‍ය නොවේ.

කිසියම් වූ සසරට බැඳ තබන දහමක් එයින් ලිහා දැමීමට උපකාර වන සත් දහමක් කවර උතුමෙකු හෝ දෙසයි ද, එම දෙසුම හරවත් දහමක් නොවන බව කිසිවෙකු හෝ දැන හෝ නොදැන විවේචනය කරයි ද එයින් ඔහුට අවැඩක් වීම විනා පිනක් යහපතක් සිදුවේදැයි’ මම නොදන්නෙමි.

ඉහත සඳහන් කළ ලිපියට මූලික වූ ස්වාමීන් වහන්සේ හෝ මෙවැනි හරසුන් විවේචන නිතර සිදුකරන ගිහි පැවිදි පින්වතුන් කෙසේ වෙතත්, බොහෝ දෙනෙකු සමාජයේ දැන උගතුන්  බව හැඟවීමට, කැපී පෙනෙන්නට මෙවැනි පුහු ඝෝසා පවත්වන අවස්ථාද අපි දැක ඇත්තෙමු. ඒවාට ‘‘සුසර නොවූ ගැටබෙර වැයීම්’’ යැයි සමහරු කියති.

පෙර සඳහන් කළ ලිපියට අදහස් දැක්වූ පූජ්‍යපාද ආචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ ‘‘දම් වරුසා’’ පොතේ මෙසේ සඳහන් යැයි නිරුක්ති කීපයක් දක්වා ඇත. ‘‘….‘‘මී’’ යනු පොළවටය. ඉඩම් (මිහි) හිමියෙකු තම ඉඩමේ මායිම් ඉවත් කර අනෙක් (පිටස්තර) ඉඩමට ඈඳීම හෙවත් ‘‘යා’’ කිරීම නිසා මි(හි)යා බවට ඊළඟ භවයේ පත්වේ…’’ යන්න දක්වා ඇත.

මෙය දම් වරුසා දහම් ග‍්‍රන්ථයේ දක්වා ඇති කරුණු විකෘති කිරීමකි. දම් වරුසා 5 වැනි මුද්‍රණයෙන් ද හෙළිකර ඇති ආකාරයට එහි 125 වෙනි පිටුවේ මීයා යන්නට විග‍්‍රහකර ඇත්තේ මෙසේ ය.

‘‘මී =පොළව, (මිහි) හීයා =සීමා පැනවීම, මහ පොළවට ඉන්න ගසමින්, මහ පොළොවට ආශා කරමින්, කොටු කරමින් අනෙක් ඉඩම් ද තමා යටතට අසාධාරණ ලෙස ගැනීමට කූඨ උපායන් යොදමින් කටයුතු කරන්නා වඩන මිහිහීයා සංඛාරය තමයි මීයා වෙන්නේ.’’

කිසියම් ඉඩම් හිමියෙකු තම ඉඩමේ මායිම හෝ මායිම් ගල් ඉවත් කර අනෙක් ඉඩමට යා කරන කවරෙකු හෝ ඊළඟ අත්භවයේ මීයෙකු වන බව කවරෙකු හෝ කීවේ නම් එය බුදු දහම හාස්‍යයට ලක් කිරීමකි.

අද සමාජයේ බොහෝ හරසුන් අදහස් ඇති ඇතමුන් තම ඉඩම් අයිතිය සාධාරණව බුක්ති විඳිනවා වෙනුවට නොයෙකුත් කපටි කෛරාටික උපක‍්‍රම යොදා, හොරට ඔප්පු ලියා, හිස් කොළවල අත්සන ලියවාගෙන, උපක‍්‍රමිකව එම ලියවිල්ල නීත්‍යානුකූල කරගෙන, ඉඩම තමාගේ බුක්තියට ගෙන, පරිහරණය කරමින්, සුදනන් මෙන්, සමාජයට වෙස් මුහුණු පෙන්වන මිනිසුන්ගේ සංඛාරය, උමං මීයෝ පොළොව හෑරීමක් හා සමාන නොවේද? එබඳු අදහස් ඇතිව මිය යන මෙවැනි අයගේ මරණින් මතු ජීවිතය පාරිශුද්ධ ජීවිතයක් විය හැකිද?

එම ලිපියේ තවත් තැනෙක මෙසේ සඳහන් වෙයි. ‘‘… එමෙන්ම ‘‘බලය’’ අළලා සටන් කරන කෙනා ‘‘බළලා’’ බවට පත්වන බව එහි විස්තර කෙරේ. මේ අනුව දේශපාලනඥයින් ඊළඟ භවයේ බළලූන් බවට පත් වේ.’’

මෙයද දම් වරුසා පොතේ විස්තරකර ඇති කරුණු විකෘතිකර තම මතය දම් වරුසා පොතේ කරුණු සේ දැක්වීමකි. දම් වරුසා පොතේ මා විස්තරකර තිබෙන්නේ මෙසේය. ‘‘බළල්’’ වැඩ කරන යම් කිසි වැඩපිළිවෙලක් කවරෙකු තුළ හෝ තිබේ නම්, සංඛාරය සැකසෙන්නේ බලය අළලා කෙරෙන වැඩපිළිවෙලකට නම්, බලවතෙකු ඇසුරු කරගෙන බලවතාගේ බලවත්කම හිතට අරගෙන තමන් වැඩ කරනවා නම්, ඒකට කියනවා බළල් වැඩ කියා. මෙසේ බළල් වැඩ කරන යමෙක් සිටී නම් ඔහුගේ හෝ ඇයගේ සිතේ බළල් නාම රූප බැහැගෙන, බළල් සංඛාර ගොඩනැගුණු විට බළල් ජාතියේ ඉපදීමට අවශ්‍ය කරුණු යෙදෙනවා.’’

මෙහි කිසිම තැනක දේශපාලනඥයින් බළලූන් වෙන බව සඳහන්කර තිබේද? අනෙක් අතට බලය අළලා වැඩ කරන්නේ දේශපාලනඥයන් පමණක් ද? අසාධාරණ ලෙස බලය පාවිච්චි කරන අයෙකු නම්, එම දේශපාලනඥයා එක් සාධකයක් පමණි. ගිහි පැවිදි දෙපාර්ශ්වය තුළ මෙවැනි ‘‘බලයට’’ අයත්වන පිරිස කොතෙක් විය හැකිද?

මෙවැනි අදහස් පළකිරීමෙන් වියරු වැටුණු ඇතැම් දේශපාලනඥයින් අප කෙරෙහි වැරදි දෘෂ්ටි ඇතිකරගෙන කුමකින් කුමක් නොකරාදැයි කාට නම් කිව හැකිද? එවැනි අවාසනාවන්ත සිදුවීමක් වුවහොත් එහි වගකීම භාරගන්නේ කවුද? එය දේශපාලනඥයින්ට ගැසූ පහරක් ලෙස හුවා දැක්වීම බළලූන් ලවා කොස්ඇට බාවන්ට හැදීමක් වැනිය.

කිසියම් කෙනෙකු තුළ සංඛාර වැඩපිළිවෙල, සිතින්, කයින් සහ වචනයෙන් නිරන්තර සිදු කරන්නේ අසාධාරණ ලෙස බලය අළලා කෙරෙන වැඩපිළිවෙලකට නම්, බලවතෙකු ඇසුරු කරමින්, එම බලවතා නිසා තමාට ද කළ නොහැක්කක් නැති බව හඟවමින් වැඩ කරනවා නම්, එවැනි වැඩවලට කියන්නේ බළල් වැඩ කියාය. එවැනි බලයන් අළලා ගඳගස්වන වැඩපිළිවෙලක්, සිතින් – කයින් -වචනයෙන් ගොඩනගන සංඛාර වැඩපිළිවෙලක් සිදු කරන පුද්ගලයාට මතු අත්භවයක සුගති උපතක් ලැබිය හැකිද?

මෙහිදී ‘‘බලය අළලා’’ යන්නෙන් වැරදි දෘෂ්ටියක් ඇති කර නොගත යුතුය. මක්නිසාද යත්, එය ලෞකික හා ලෝකෝත්තර වශයෙන් සියුම් ලෙස බෙදෙන බැවිනි. එයට පරිබාහිරව ද්‍රව්‍ය බලය, අද්‍රව්‍ය බලය, ජීවී බලය, අජීවී බලය යනුවෙන් ද විස්තර කළ හැකිය. ජල බලය, චුම්භක බලය, විදුලි බලය, මිනිස් බලය, විශ්ව බලය, මානසික බලය, චිත්ත බලය ආදී ලෙස විග‍්‍රහ කළ හැකි වුවත්, ඒ සියල්ලද ලෞකික-ලෝකෝත්තර, ජීවී-අජීවී, ද්‍රව්‍ය-අද්‍රව්‍ය කොටස්වලින් එකකට ඇතුළු කළ හැකිය.

බුද්ධ බලය ලෝකෝත්තර බලයේ අග‍්‍ර ඵලයයි. එය මුළු විශ්ව ධාතුවේම අද්විතීය ම බලයයි. මගඵල ලාභී ආර්ය උතුමන්ගේ බලය ද උත්තරීතර බලයකි. ශ‍්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප‍්‍රඥා යන පංච බලයන් ද උසස් බලයන් වේ. හේතුව ඒවා ලෝකෝත්තර බලය උදෙසා උපකාරී වන නිසයි. මෙවැනි බලයන් අළලා යමෙක් වැඩ කරන්නේ නම් ඒ උතුමා බළලෙකු නොව, සංසාර ගින්නෙන්, සංසාර දුකෙන්, සංසාර දාහයෙන් ද මිදීමට ක‍්‍රියා කරන්නෙකි.

නොයෙක් අයුරින් විග‍්‍රහ කළ හැකි ලෞකික වූ අයහපත් බලයන් අළලා සංඛාර ගොඩනගන ගිහි වේවා, පැවිදි වේවා, කවරෙකු වේවා වෙනසක් නොමැතිව භව චක‍්‍රය ගොඩනැගෙන්නේ බළල් සංඛාරයට නම් මතු භවය බළලෙකු වීම වැළැක්වීම දුෂ්කර විය හැකිය.

එම ලිපියේ තවත් පරිච්ඡේදයක මෙසේ සඳහන් වේ. ‘‘… කිඹුලන් වන සැටි ද එහි විග‍්‍රහ කර ඇතත් එම විග‍්‍රහය මෙසේ ප‍්‍රසිද්ධියේ පැවසිය නොහැකිය. නිර්ලජ්ජිත ලෙස බුද්ධ දේශනා විකෘති කරමින් සද්ධර්මය අතුරුදන් කිරීම මේ පිරිසගේ පටු අරමුණ වී තිබේ.’’ යනුවෙනි.

ලිපියේ එසේ සඳහන් වුවත් දම් වරුසා පොතේ කිඹුලා යන්න විග‍්‍රහකර ඇත්තේ මෙසේය. ‘‘කි+අඹු+උලා (පරඹුවන්) ක්‍ෂය වූ අඹුවන් කෙරෙහි උලක් මෙන් ඇදුණු කෙනා හෙවත් … උලා කෑ කෙනා කිඹුලා වෙයි. කිඹුලී මෙහි අනෙක් පැත්තයි.’’

මා මෙහි දක්වා තිබෙන්නේ සත්ව නිරුක්තියක එක් පැතිකඩක් පමණි. දම් වරුසා පොතේ එවැනි සත්ත්ව නිරුක්ති බොහෝ ප‍්‍රමාණයක් දක්වා ඇතත්, එම පොතට ද ඇතුළත් නොකළ බොහෝ සත්ත්ව ප‍්‍රමාණයකගේ විශ්මිත නිරුක්ති වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ විසින් විස්තර කරනු ලැබ ඇත.

පාරාජිකා පාලියේ සඳහන් පරිදි එදා බුදුරජාණන් වහන්සේ ධරමාන (ජීවමානව වැඩ සිටි) කාලයේ     සමහර භික්‍ෂූන් වහන්සේලා, හික්‍ෂුණීන්වහන්සේලා වෙතින් සිදුව තිබුණු ඇතැම් සිදුවීම් බොහෝ අපූරුවට විස්තර කර ඇත. පාරාජිකා සහ සංඝාදිසේස ඇවැත් පිළිබඳව විනය පිටකයේ ඇති පරිදි ප‍්‍රසිද්ධව ලිපියකින් හෝ රූපවාහිනී වැඩසටහනකින් එම දේශනා කිරීමට ඉල්ලීමක් කළේ නම්, අතිගරු අභයතිස්ස ස්වාමීන් වහන්සේ විසින් කෙසේ නම් විග‍්‍රහ කරනු ලබයිද? මේ නිසා ඉහත විවේචනය තමන්ගේ කොස් ගහ සඟවාගෙන අනුන්ගේ කෙස් ගහේ ඇදපළුදු කීමක් වැනි කතාවක් බව මෙයින් පෙනේ. මෙහි මා විස්තරකර තිබෙන්නේ කිඹුලා නැමති ඵලය සම්බන්ධයෙනි.
කුම්භාණ්ඩ යනුවෙන් අමනුෂ්‍ය කොට්ඨාසයක් ගැන ද ත‍්‍රිපිටකයේ සඳහන් වෙයි. මෙහි කුම්භාණ්ඩ යන වචනය විසන්ධි කළහොත් කුම්භ+අණ්ඩ යනුවෙන් ලැබේ. මෙහි කුම්භ යනු කළයයි. (අකුරුවල කොටස් වෙනස් කර අවශ්‍ය කෙනෙකුට වෙනස් අර්ථ ද සිතිය හැක.) අණ්ඩ යනු අ`ඩු කෝප්පයක අතින් අල්ලන කොටස, බිජුව හෙවත් බිත්තරය, පැලැස්තරය සහ අණ්ඩ කෝෂය යන විවිධ තේරුම් දෙයි. මෙහි කුම්භාණ්ඩ යනු කළයක් මෙන් අණ්ඩකෝෂ ඇති තේරුම දෙයි. ත‍්‍රිපිටකයේ සමහර තැන්වල විස්තර කෙරෙන පරිදි අණ්ඩකෝෂය කළයක් මෙන් තිබෙන අමනුෂ්‍යයින් ඒවා මත වාඩිවෙමින් ද, කරේ තබාගනිමින් ද, අහසින් යද්දී තවත් එවැනි අමනුෂ්‍ය කපුටන් වැනි සතුන් පන්න පන්නා කොටන අයුරු විස්තර වෙයි. සාමාන්‍ය මිනිස් ලෝකයේ ද මිනිසුන් මෙන්ම සුනඛයින් ද මෙවැනි ලක්‍ෂණවලින් යුක්තව සිටිති. එසේ කුම්භාණ්ඩයින් වී ඉපදීමට හේතුව ලෙස දැක්වෙන්නේ කුමන හේතුවක් නිසා දැයි ධර්මයේ විස්තරකර ඇත.

එසේම නැවත කිඹුලා යන්න ගතහොත්,
කිඹුලා = කි+අඹු+උලා = කිලිටි – අඹු + ඌ (වූ) ආලා, කි = ක්ෂය වූ, කිඹු+උලා =කිඹුලා
අඹු = අඹුව – ගැහැණිය
ලා  = උලා (තුමා – උතුමා සේ,   ලා – උලාවෙයි.)
උලා = උහුලනවා, දරනවා, ඉවසනවා
උලක් මෙන්, ඊයක් මෙන් ඇදී යන අර්ථ ගැන්වෙයි.

නිරුක්ති පෙන්වීමේදී ‘‘උලා’’ යන්නට කෑම යන වචනය වැරදි ලෙස දරා ඇති බව පෙනේ. මෙහිදී දීග කෑම, මඟුල් කෑම ආදී වචන බලා කටින් කෑම නොවන බව වටහා ගත යුතුයි. මෙහි ක්‍ෂය වූ අඹුවක් යැයි අදහස් කරන්නේ ගුණවත්, චරිතවත්, දහමෙහි හැසිරෙන සුචරිත කාන්තාවෝ නොව, පරදාර සේවනයේ යෙදෙන දුශ්චරිත කාන්තාවෝය. මොවුනට වුව ද කල්‍යාණ මිත‍්‍රයෙකුගෙන් දහම් ඇස ලැබුවහොත් සසරින් මිදිය හැකි බව ද අපි අමතක කළ යුතු නොවෙමු. අම්බපාලි වැනි ගණිකාවෝ උදාහරණ වෙත්.

ලෝභ, ද්වේශ, මෝහ ආදියෙන් අන්තයට පිරිහුණු ක්‍ෂය වූ කාමයේ ඇලී ගැලී සිටින ගැහැණියක හෝ පිරිමියෙකු වෙත නිතර ඇදී යන්නා, කාමය මුල් කරගත් සංඛාර ගොඩනගා ගන්නේ නම් ඔහු හෝ ඇයට එම ක‍්‍රියාවට සම්බන්ධ නාමයක් වෙත ජාති ගැන්වෙයි. මා අසා ඇති පරිදි කිඹුලන්ගේ හෝ කිඹුලියන්ගේ දිවක් නැති බව ජනවහරේ කතාවක් පවතී. එය සැබෑවක් නම් කිඹුලාට දිවක් නැත්තේ ඇයි දැයි ඔබට වැටහෙනු ඇත.

කිඹුලා මනමාල ගති ඇත්තෙක් බව පෙන්වන්නට, පෙර හෙළයේ ‘‘නරියා කිඹුලාට මඟුල් ජෝඩු කළා වැනියි’’ යන ප‍්‍රස්ථා පිරුළ යෙදුණු අයුරුද සිහිකර බැලීම වටී.

ලෝකයේ වැනසී යන භාෂාවක් යැයි කියන, වටිනාම භාෂාවක් වූ හෙළ බසින් සෑදී ඇති සත්ත්ව නාම, ශාක නාම තුළ වටිනා අර්ථයන් මතු කළ හැකිය. එහෙත් වෙනත් භාෂාවලින් එවැනි අර්ථ ගැන්වීම් කළ නොහැක. උද්භිද විද්‍යාත්මක නාමයන් විශ්ව විද්‍යාල දක්වා පාසල් විෂයන් තුළට ද ඇතුළත්කර ඇතත්, ඒවා ජන ව්‍යවහාරයට එකතු නොවේ, සමාජගත නොවේ. එහෙත් හෙළ බසේ නාම කොතරම් අර්ථාන්විත දැයි සිතා බැලීම හේතු යුක්ත වේ.

දම් වරුසා පොතේ තවත් බොහෝ සත්ත්ව නිරුක්ති විස්තරකර ඇතත්, එයින් කීපයක් පටිච්ච සමුප්පාද චක‍්‍රය අනුව පහත දක්වමි.

සාමාන්‍ය ව්‍යවහාරයේදී බල්ලා යන වචනයට සමාන වචනයක් වූ (තනි වචනයක්) සුනඛයා යන වචනය විග‍්‍රහ කරනුයේ, සු + නඛ, (සු =හතර, නඛ =නිය) නිය හතරක් ඇති සතා යනුවෙනුයි.

බල්ලෙකු ලෙස කටයුතු කරන විට බලූ ජාතියේ ඉපදෙන අයුරුත්, හරකෙකු ලෙස කටයුතු කරන විට හරක් ජාතියේ උපදින ආකාරයත් පෙන්වූ බුද්ධ දේශනාව දැන ගැනීමට ම:නි(2), 84 පිටුවේ, කුක්කුරවතිය සූත‍්‍රය හැකියාවක්, විවේකයක් තිබේ නම් බලන්න.

බලූ ස්පර්ශය නිසා බලූ වේදනා ද
බලූ සලායතන නිසා බලූ ස්පර්ශ ද
බලූ නාමරූප නිසා බලූ සලායතන ද
බලූ විඤ්ඤාණ නිසා බලූ නාමරූප ද
බලූ සංඛාර නිසා බලූ විඤ්ඤාණ ද
බලූ අවිද්‍යාව නිසා බලූ සංඛාර ද පහළ වේ.

මෙසේ බල්ලෙකු හටගන්නා නාම රූප පරිච්ඡේද විග‍්‍රහය අන් සතුනට ද එසේ විග‍්‍රහ වන බව සලකන්න. බලූ සංඛාරවලින් බල්ලෙකු මිස හරකෙකු ඇති නොවේ. හරක් සංඛාරවලින් හරකෙකු මිස බල්ලෙකු ඇති නොවේ. ඒ ඒ සත්ත්ව ජාතිය හටගන්නේ ඒ ඒ ජාතියට අයත් සංඛාරවලිනි.

හරකා :-  හර + කා
හර = හරවත් දේ (ඍෂි භාෂිත දහම්)
කා = ක්‍ෂය කිරීම, කා දැමීම

සිතෙන්, කයින්, වචනයෙන් හරවත් යැයි දක්වන කිසියම් ඍෂි බසක්, දහමක් හෝ වැඩපිළිවෙලක් කා දමා විනාශ කරමින්, විවේචනය කරමින් හරසුන් දේ යැයි සමාජගත කරමින්, යමෙකු කියයි ද, සිතයි ද, කරයි ද ඔහුගේ හෝ ඇයගේ සිතේ හරක් විඤ්ඤාණය ගොඩනැගෙන්නේ ය. ඉහත සඳහන් කළ බලූ ජාතිය ගොඩනැගෙන පටිච්ච සමුප්පාද විග‍්‍රහය මෙයට ගලපාගත යුතු වෙයි. මෙලෙස සෑම සත්ත්වයෙකුට ම පටිච්ච සමුප්පාද චක‍්‍රය ගොඩනැෙඟන බව සිතාගත යුතු වෙයි. කවරෙකුට හෝ මෙය මෙසේ වියහැකි දැයි අසනවාට වඩා මෙවැනි පටිච්ච සමුප්පාද චක‍්‍රයක් සෑදෙන අයුරු විග‍්‍රහ කිරීමට ඉගෙනීම වඩාත් ප‍්‍රායෝගික යැයි හැෙඟ්. ත‍්‍රිපිටකයේ මේවා තිබෙනවා ද කියා අසනවාට වඩා ත‍්‍රිපිටකයට කොතෙක් දුරට එකඟද යන්නයි වඩාත් සුදුසු වන්නේ, සෙවිය යුත්තේ.

කර්මස්ථාන 50 ක් ඇතුළු භාවනාව සම්බන්ධ නොයෙකුත් හරවත් මාතෘකා ඇතුළත්, පරිච්ඡේද 15 කින් සමන්විත දම් වරුසා දහම් ග‍්‍රන්ථය තුළින් නිර්ලජ්ජිත ලෙස බුදු දහම විකෘති කිරීමක් හෝ ශ‍්‍රී සද්ධර්මය අතුරුදන් කිරීමට හේතුවන ක‍්‍රියාවක් හෝ සිදුවේ දැයි සංයමයෙන් කියවන පාඨකයෝ දනිති. එහි විසඳුම පාඨකයන්ට ම භාර කරමි.

මම ඉපදුනේ, හැදී වැඩුනේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ගන්තුන ග‍්‍රාමයේ  බෞද්ධ පවුලකයි. එසේම කුඩා කල සිට දහම් පාසල් අධ්‍යාපනය ලැබුවේ, පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ ආචාර්ය වරයෙකු ලෙස සේවය කරන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ශ‍්‍රාස්ත‍්‍රපති පූජ්‍ය පණ්ඩිත ගන්තුනේ අස්සජි ස්වාමීන් වහන්සේ විසින් දහම් අධ්‍යාපනය දෙනු ලැබූ, දැනටත් පවත්වන ගන්තුන ශ‍්‍රී සුභාෂිතෝදය දහම් පාසලෙන් බව ද, වෙනත් අයගේ ප‍්‍රකාශ නිසා වැරදි දෘෂ්ටි ඇතිකරගනු ලබන පාඨකයින් වෙත දන්වා සිටිමි.

මෙම ලිපිය ලිවීමට හේතුපාදකය සලසා දුන් පැපිලියාන සුනේත‍්‍රාදේවි පිරිවෙණාධිපති, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේටත්, ලක්වැසි සමස්ථ භික්‍ෂු සංඝයා වහන්සේලා ඇතුළු සියලූ ජනතාවටත් අද අදම මගඵල නුවණ පහළ වෙත්වා! තපෝ ගුණ, දහම් ගුණ වැඩෙත්වා! පිරිසිදු දහම් ඤාණය ම කෙලෙස් සිඳවන දහම් අවියක් ම වෙත්වා!

ගන්තුනේ මෙරිල් ප‍්‍රනාන්දු
කෑගල්ල