කායානුපස්සනා සතිපට්ඨානය තුළින් ඇලීම සහ ගැටීම දුරුකර ගන්නා හැටි

පසුගිය කලාපයෙන්  – (ලෝක සත්ත්වයා නොදකින ලෝකය දහම් ඇසින්)

කෙනෙක් ලෝකය අනිච්ඡ, දුක්ඛ, අනත්ථ වශයෙන් යථාර්ථවත්ව දැක්ක දවසට ඔහු හෝ ඇය තුළ තිබූ සත්කාය දිට්ඨිය නැතිවී යන බව ‘‘සෝතාපන්න වීම’’ සහ ‘‘ලෝකය දහම් ඇසින්’’ යන මාතෘකා යටතේ පසුගිය කලාපවල පල කළ ලිපිවලින් පැහැදිලි කළා. ලෝකයට අයත් ඇස, කන, නාසය, දිව, කය, මන සහ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන දේවල් ඉච්ඡ, සුඛ, අත්ථ වශයෙන් අල්ලාගෙන ලෝක සත්ත්වයා කරන්නේ විකෘති කටයුත්තක්. ඒවා අනිච්ඡ, දුක්ඛ, අනත්ථ වශයෙන් යථාර්ථවත්ව දැක්ක දවසට ඔහුගේ විකෘතිය හෙවත් විචිකිච්චාව පහවී යනවා. දැන් ඔහුට පහළ වන්නේ බුද්ධේ කංකති, ධම්මේ කංකති, සංඝේ කංකති ආදී වශයෙන් හටගන්නේ විකෘති හිතක් නොවෙයි, ප‍්‍රකෘති හිතක්. මෙසේ ලෝකයේ යථාර්ථය දැකලා විශ්වාසයට පත්වුනාම, මේ දහම ලෝක සත්ත්වයාට දුන් බුදුපියාණන් වහන්සේ අසම සමයි, සම්මා සම්බුද්ධයි කියලා උන්වහන්සේ කෙරෙහි අවෙච්ච ප‍්‍රසාදයක් ඇතිවෙනවා. ලෝකයට අයත් දේ පිළිබඳව ලෝක සත්ත්වයාගේ කැමැත්ත අසීමිතයි. එහෙත් මේ දේවල් අනිච්ඡ, දුක්ඛ, අනත්ථ වශයෙන් දැක්කම කෙනෙකු තුළ පවතින ඉච්ඡතාවය අවම වෙන්න පටන් ගන්නවා. ඒ නිසා බුදුපියාණන් වහන්සේ කෙරෙහි ඇතිවන ප‍්‍රසාදය බුද්ධේ අවෙච්ච ප‍්‍රසාදයයි. එසේම මේ ධර්මය ලැබුණේ ලොව්තුරා බුදුපියාණන් වහන්සේ කෙනෙකුගෙන්මයි කියලා ධර්මය කෙරෙහි අවෙච්ච ප‍්‍රසාදයක් ඇතිවෙනවා. මේ ධර්මය තුළින් නිවන පූර්ණ කරගන්නා ශ‍්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා සංඝයා කෙරෙහි ඇතිවන ප‍්‍රසාදය සංඝේ අවෙච්ච ප‍්‍රසාදයයි. මේ සත්‍යය පිළිබඳව අත්දැකීම් ලබලා විශ්වාසයක් ඇති වුනාම

මා කෙරෙහි අවෙච්ච ප‍්‍රසාදයක් ඇති සියල්ලන් සෝතාපන්නයි

කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කරලා තියනවා. ලෝක වස්තූන් කෙරෙහි ඉච්ඡත්වය අසීමිත පෘතජ්ජනයාට මානසික දාහ සහගත වික්ෂිප්ත භාවය අසීමිතයි. තිලකුණු දැක ඉච්ඡත්වය අඩුවුනාම දැනෙන නිවීමේ ශාන්තිය නිසා ඇතිවන්නේ තෙරුවන් කෙරෙහි අසීමිත ප‍්‍රසාදයක්. මේ තමයි අවෙච්ච ප‍්‍රසාදය.

මෙතනට පත්වූ කෙනෙක් මේ ලෝකය අසාරයි කියල දර්ශනය කළේ සිල් වෘතයක් සමාදන් වෙලා නෙමෙයි. ධර්මය ශ‍්‍රවණය කරලයි මෙසේ ධර්මාවබෝධයත් සමග ඒ තැනැත්තාගේ සත්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන පහවී යනවා. ධර්මාවබෝධය තුළින් ත‍්‍රිලක්‍ෂණය දැකලා අසාරත්වය වැටහිලා යම් අත්හැරීමක්, නොඇල්මක්, මිදීමක් සිදුවුනා නම් ශාන්ත වූ ප‍්‍රණීත වූ නිවන තමන්ටම දකින්න පුළුවන් වෙනවා. මේ මූලික අවස්ථාවේදී සතර අපාගත වීමට හේතුවන්නා වූ යම් පාපකාර ගති ලක්‍ෂණයක් තිබුණ නම් යථාවබෝධයත් සමග ඒ ගති ලක්‍ෂණය පහවුණා පහවුණාමයි. නැවත හටගන්නෙ නෑ. සෝවාන් පුද්ගලයා තුළ අවබෝධයෙන් ඇතිවන පහාන සීලයයි මේ. මෙතෙක් සතර අපාගත වීමට හේතුවන යම් පාප කර්මයක් රමණය කරමින් (ඇසුරු කරමින්) සිටියේ නම්, යථාවබෝධය ලැබුණු පසු ඒවා රමණය කිරීමට හේතුවක් නෑ. මේ සෝවාන් පුද්ගලයා තුළ ඇතිවන වේරමණී සීලයයි. මින් පසුව සතර අපාගත වීමට හේතුවන පාප චේතනාවක් ඒ ආර්ය පුද්ගලයා තුළ හටගන්නෙ නෑ. ඒ චේතනා සීලයයි. එසේම සෝවාන් වූ තැන් පටන් සතර අපාගත වීමට හේතුවන පාප අසංවරතාවයක් ඒ තැනැත්තාගේ හිතේ හටගන්නෙ නෑ. ඒ අනුව සංවර වෙනවා.  ඒ සංවර සීලයයි. තවද ඒ ආර්ය ශ‍්‍රාවකයා නිවනින් සසර ගමන කෙළවර කරන තුරු අවබෝධයෙන් ලැබුවා වූ මේ සීලය කැඩෙන්නෙ නෑ, හෙවත් විතික‍්‍රමණය වෙන්නෙ නෑ. මේ තමයි ඒ තැනැත්තා තුල ඇතිවන්නා වූ අවිතික්කම සීලය. සෝවාන් වූ පුද්ගලයා තුළ ඇතිවන්නා වූ මේ පංච සීලයට අරියකාන්ත සීලය කියලත් කියනවා. සංවරත්තේන සීලං වෙන්නේ මේ ආකාරයටයි. මෙසේ සෝතාපන්න ඵලයට පත් ආර්ය ශ‍්‍රාවකයා ක‍්‍රමයෙන් ඡන්ද රාගයෙන් මිදී යනවා මිසක් ලෝකයට ඇලෙන්නෙ නෑ.

විවිධ මතිමතාන්තර නිසා අද සෝතාපන්න වීම, අරිහත් ඵලයට සමාන තත්ත්වයක්  ලෙසයි  සලකන්නේ. සෝතාපන්න පුද්ගලයෙකුගේ ස්වභාවය පිළිබඳව දැනගැනීමට ත‍්‍රිපිිටකයේ බොහෝ කරුණු අඩංගු වී තියෙනවා. එක් සිටුකුමරියක්  හත්  අවුරුදු  වියේදී බුදුන්වහන්සේගෙන්  බණ  අසා සෝතාපන්නව සුචරිත කටයුතුවල යෙදෙමින් සිටින අතරතුර සොළොස් වියේදී පමණ කුක්කුටමිත්ත නම් දඩයම් කරන්නෙක් සමග ලෙන්ගතුකමක් ඇතිවී උපක‍්‍රමශීලීව දාසියකගේ වෙස් ගෙන සිටු මැදුරෙන් පිටවී ඔහු සමග පලාගොස් දරුවන් දහදෙනෙකුත් හදාගෙන ජීවත් වූ කතාවක් ත‍්‍රිපිටකයේ සඳහන් වෙනවා. ඒ සිටුකුමරියගේ ඉතිරිව තිබූ කෙලෙස්වල ස්වභාවයයි ඒ. බුදුන්වහන්සේ එක් අවස්ථාවක නිය පිටට පස් ටිකක් ගෙන භික්‍ෂූන්වහන්සේලාගෙන් විමසනවා ‘‘මහණෙනි, මගේ නිය පිට තියෙන පස්ද වැඩි නැත්නම් මහ පොළොවෙ තියෙන පස්ද වැඩි’’ කියල. යම් කෙනෙක් සෝතාපන්න ඵලයට පත්වුණා නම් ඒ ආර්ය ශ‍්‍රාවකයා අත්හරින ලද කෙලෙස් ප‍්‍රමාණය මහපොළොවේ තියෙන පස් තරම් බවත්, ඉතිරි කෙලෙස් ප‍්‍රමාණය නිය පිටට ගත් පස් තරම් කුඩා බවත් උන්වහන්සේ දේශනා කරල තියෙනවා. මේ කරුණු පිළිඳව පැහැදිලි අවබෝධයක් නැති නිසයි මේ කාලය තුළ ආර්ය මාර්ගය අවබෝධ කර ප‍්‍රතිඵල ලබන්න බෑ කියල බොහෝ අය පසුබෑමකට ලක්වෙලා තියෙන්නේ.

දස්සනේන පහා තබ්බං හෙවත් දර්ශනයෙන් පහ කළ යුතු සත්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන මේ ආකාරයෙන් පහවූ පසුවයි භාවනාය පහාතබ්බං හෙවත් භාවනාවෙන් පහ කළ යුතු ඉතිරි සංයෝජන පහ කිරීම සිදු කළ යුත්තේ. මේ අනුව භාවනාවෙන් පහ කළ යුත්තේ ඉදිරියට ඇති ඇලීම, ගැටීම හා මුලාවයි. රාගයත්, ද්වේශයත් දකින්න පුළුවන් ඒත් මෝහය දකින්න බෑ. රාගයත් සමග බැඳුණු මෝහයක් තිබුණ නම් රාගය ක්‍ෂය වන විට එය නැතිවෙලා යනවා. ද්වේශයත් සමග බැඳුණු යම් මෝහයක් තිබුණ නම් ද්වේශය ක්‍ෂය වන විට එය නැතිවෙලා යනවා. ඉතිරි වූ සියුම් මෝහය ප‍්‍රඥාව වැඞීමේදී පහවී යනවා. අසාර වූ ලෝකය අත්හැරී, නොඇලී, මිදී කෙළවර වුනාද එතැනයි සැනසුම තියෙන්නේ. එතැන ජාතියක් නෑ. ජරාවට පත්වෙන්න දෙයක් නෑ. වැහැරෙන්න දෙයක් නෑ. මරණයට පත්වෙන්න දෙයක් නෑ. ඒ නිසා ශෝකයක්, පරිදේවයක්, දුකක්, දොම්නසක්, උපායාසයක් ඇතිවෙන්නෙ නෑ. මේවා පහළ වීමට හේතුවන තැන ඇයි අපි ඉන්නේ? ඇයි මම කියන්නේ? මම කියල හදාගෙන තියෙන්නෙ මොනවද? ඇස, කන, නාසය, දිව, කය, මන තුළින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන දේවල් පසුපස හඹා ගොස් ඒවා ගොඩගසාගෙන ඒවායේ ඇලීමෙන් මමෙක් හදාගෙන  තියෙනවා.  විපරිනාමයට පත්වෙන, තමන් කැමති සේ නොපවතින එම දේවල් කැඩෙන විට, බිඳෙන විට, වැනසෙන විට ඒවා සමග ගැටෙන්න පටන් ගන්නවා. ඇලීම නිසා ගැටීම හටගන්නේ මේ ආකාරයෙනුයි.

කෙනෙකුගේ ළමා කාලය ගැන කල්පනා කරන විට පේනවා ඒ කාලයේ රාග, ද්වේශ අරමුණු නිසා බලවත් රාග, ද්වේශ තිබුණෙ නැති බව. ලෝකය අල්ලන්න ගිය තැන් පටන් තමයි දාහය, අසහනය පටන් ගන්නේ. මේ අසහනය කෙළවර නොකළොත් ඒ නිසා ඇතිවන පවිටු මානසිකත්වය අනන්ත සසර ගමනක් ඇති කරන්න හේතු වෙනවා. බුදුන්වහන්සේ මේකට පුංචි උපමාවක් පෙන්නුවා. එක්තරා දේවතාවෙක් ඉන්න රුක්ෂයක් ලඟට මාළුවා කියන විශාල වැලක ඇටයක් සුළෙඟ් පාවී ඇවිත් වැටුනාම, ඒ දේවතාවා දුක් වෙන්න පටන් ගත්තා. ඒ ඇටය පැළ වෙලා ගහකට ගියාම ඒ වැල මුළු ගහම වෙලා ගන්නවා. කාලයක් ගියාම මුළු ගහම මැරිල යනවා. ඒ දේවතාවා දකින අනිත් දෙවිවරු අහනවා පුංචි ඇටයකට ඔය තරම් බිය වෙන්නෙ ඇයි කියලා. වැස්සක් ආවම ඒ පුංචි ඇටය පැලවෙලා කලක් යනවිට මුළු ගහම වෙලා ගන්නවා. අර දේවතාවා එදාට අනිත් දෙවිවරුන්ට කියනවා මම ඇඬුවේ ඔය කාරණය නිසයි කියලා. යම් කිසි ඇලීමක්, ගැටීමක් කුඩාවට පටන් ගත්තට අවසානයේ මහා විනාශයක් වෙනවා. බුදුන්වහන්සේ දේශනා කළේ ඒ දේවතාවා දුක් වුනා වගේ මුලට භය වෙන්න කියලයි. පාපයේ ඉතා කුඩා අවස්ථාවක් හෙවත් පාප බීජයක් මහා බලවත් විනාශයක මුලවන බව දැන ගන්නයි මේ උපමාව දේශනා කළේ.

එසේනම් මේ ඇලීමයි, ගැටීමයි දෙකෙන් මිදෙන්න කුමක්ද කළ යුත්තේ? ඒවායේ ස්වභාවය භයානකයි කියල දකින්න  ඕන. ඒවා හටගැනීමට හේතුව දකින්න  ඕන. ඒවා ශේෂයක් නැතිව නැතිකර දැමිය යුතුයි කියල දකින්න  ඕන. ඒවා නැති කරන මාර්ගය ධර්මය තුළින් දකින්න  ඕන. සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම වැඞීමෙනුයි ඇලීමෙන් සහ ගැටීමෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. ඒ සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම අතරින් මුලින්ම එන්නේ සතර සතිපට්ඨානයට අයත් කායානු පස්සනාවයි.

‘‘කායේ කායානු පස්සී විහරති. ආතාපි සම්පජානෝ, සතිමා විනෙයිය ලෝකේ අභිජ්ජා දෝමනස්සං’’ – ‘‘මේ කයේ කායානු පස්සනාවේ වාසය කොට, මනා සතියෙන් සහ නුවණින් යුක්තව කටයුතු කොට ඇලීම සහ ගැටීම දුරුකර ගත යුතුයි.’’

අපි මේ කය මුල්කරගෙන සුචරිත කටයුතු මෙන්ම දුෂ්චරිත කටයුතුවලත් යෙදෙනවා. ප‍්‍රාණගාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර යන කටයුතු දුෂ්චරිත වශයෙන් මෙහෙයවන අතර මේවා අවැඩක්, අසාධාරණයක්, විනාශයට හේතු වෙනවා කියල මනා සිහියෙන් තේරුම් ගෙන කය හික්මවා ඒවා පහකර දැමීමයි කායානු පස්සනාවෙන් කරන්නේ. ඒ සඳහා වැඩිය යුතු කර්මස්ථාන 12 ක් කායානුපස්සනා සතිපට්ඨානය තුළ අඩංගු වෙනවා. එයින් පළමුවැන්න ආනාපානසති කර්මස්ථානයයි.

ආනාපානසති කර්මස්ථානය හෙවත් රාග, ද්වේශ, මෝහ ක්‍ෂය කිරීම තුළින් නිවනට පත්වීම

ආනාපානසති කර්මස්ථානය අද බොහෝ කොටම වඩනවා. එහෙත් මෙහි ප‍්‍රතිඵල කොතෙක් දුරට ලබල තියෙනවද? මේ කර්මස්ථානය කායානුපස්සනාවට අයිතියි. යම් කෙනෙක් සතර සතිපට්ඨානයට අයිති කර්මස්ථානයක් වඩනවා නම් එය ආර්ය මාර්ගයට අයිතියි. එසේ නම් නිවන් දැකීමට තවත් දෙයක් කළ යුතු වන්නෙ නෑ. භාවනාව මූලික වශයෙන්ම හිත සම්බන්ධ කටයුත්තක්. බොහෝ අය භාවනා කරන්න ගිහින් මානසික ආබාධ ආදිය ඇතිකරගෙන තියෙන්නේ හරියාකාරව භාවනාව තේරුම් ගෙන නැති නිසයි. අද ආනාපානසති කර්මස්ථානය වඩන විවිධ ක‍්‍රම තියෙනවා. නාසයෙන් පිටවන හුස්ම රැල්ල මුල්කරගෙන ආශ්වාස ප‍්‍රාස්වාස වාතය සිහිකරමින් කරන එක් භාවනා ක‍්‍රමයක් තියෙනවා. එසේම ඒ ආශ්වාස ප‍්‍රාස්වාස වාතය මුල්කරගෙන උදරයේ පිම්බීම සහ හැකිලීම අනුව කරන තවත් භාවනාවක් තියෙනවා. මේ භාවනාව විවේචනය කිරීමක් නෙමෙයි. ඒවා තුළින් භාවනාව වඩන ක‍්‍රමයකුත් තියෙනවා.

මූලික දහම් වැටහිලා පූර්ව භාග නුවණ පහළ වුනාම කොතනකවත් හිත තියන්න දෙයක් නෑ. කාලයක් තිස්සේ මේ හුස්ම රැල්ලට හෝ පිම්බීම හැකිලීමට හිත තියාගෙන භාවනා කරන විට එයින් ලැබෙන ප‍්‍රතිඵලය තුළින් රාග, ද්වේශ, මෝහ ක්‍ෂය වෙනවද කියල කවුරුන් හෝ කල්පනා කරල තියෙනවද? මේ පිළිබඳව තම තමන්ම පරීක්‍ෂණයක් කරල බලන්න  ඕන. එළියක් වගේ දෙයක් දැක්කට හෝ කය සැහැල්ලූ වුනා වගේ දැනුනට හෝ ඒ භාවනාව තමන්ට වැඩිල කියල හිතන් හිටියට හෝ ආර්ය මාර්ගයේ ප‍්‍රතිඵල දකින්න බෑ. ඒ භාවනාව තුළින් ආර්ය මාර්ගයේ ප‍්‍රතිඵල ලැබුනද කියල බැලීමට කළ යුතු පරීක්‍ෂණය කුමක්ද? ඇලීමට හේතු වන්නා වූ යම් කිසි රූප, ශබ්ද,ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම ආදියක් එන විට ඇලීමේ අඩුවක් වෙලා තියෙනවද, මිදීමක් වෙලාතියෙනවද, මමය, මාගේය කියල ප‍්‍රිය කරපු දෙයකට පහර වදින විට ගැටීමේ මානසිකත්වයක් නැගෙන්නේ කොහොමද කියා බැලිය යුතුයි. මේ හුස්ම රැල්ලට හිත තියාගෙන මුලින්ම සිත එක්තැන් කරන්න පුරුදු කරගන්න කියලයි මේ භාවනාව පුහුණු කරවන්නේ. එහෙත් බුදුන්වහන්සේ දේශනා කළ ධර්මය සිත පිරිසිදු කරන්න දුන් මගක් මිස සිත එක්තැන් කරන්න දුන් මගක් නොවෙයි. පිරිසිදු කරගත් සිත කොහොමත් එක්තැන් වෙනවා. එක්තැන් වුනා කියන්නේ අවශ්‍ය දෙයට අනුකූල වුනා කියන එකයි. යහපත් වූ ගුණයෙන් ධර්මයට නැඹුරු වුනාම සිත විසිරෙන්නෙ නෑ. ඇලීම, ගැටීම, මුලාව දුරුවීම නිසා කම්පාවක් නෑ. සිත අකම්ප්‍යයි. ප‍්‍රඥාව තුළින් මේ ටික සිදු වුණා නම් එතැන සමාධියයි ප‍්‍රඥාවයි දෙකම තියෙනවා. බුදු දහම තුළ භාවනාවක් වැඩිය යුත්තේ මේ කරුණු දෙකම සම්පූර්ණ වන ලෙසයි.

සෑම ආර්ය භාවනාවක් තුළම විවේක නිශ‍්‍රිත, විරාග නිශ‍්‍රිත, නිරෝධ නිශ‍්‍රිත, වොස්සග්ග පරිනාමී යන කරුණු අඩංගු විය යුතුයි. මේ කරුණු හතරෙන් තොර භාවනාවක් ආර්ය භාවනාවක් වෙන්නෙ නෑ. මේ කරුණු සම්පූර්ණ වීමට නම් මේ ලෝකයේ අභ්‍යන්තර වේවා, බාහිර වේවා අනිච්ඡ, දුක්ඛ, අනත්ථ වස්තු හැර තවත් දෙයක් නෑ, අසාර වූ මෙවැනි දේවල් තුළ කුමකට හිත බඳින්නද කියා නිවන මුල්කරගෙන හිත පිහිටුවා ගන්න  ඕන.

‘‘පරිමුඛං සතිං උපට්ඨපෙත්වා’’ කිව්වෙ ඒකයි. එසේනම් නිවනට හිත පිහිටුවාගෙන ආනාපාන සතිය වඩන්නේ කෙසේදැයි බැලිය යුතුයි. අසාර වූ ලෝකය තුළ මන වඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන දේවල් පසුපස ගිහින් මට වැඩක් නෑ, අසාරත්වය නම් ලෝකයයි, සාරත්වය නම් නිවනයි කියල දකින්න  ඕන. මේ පූර්ව භාග නුවණ පහළ වූ තැනැත්තාට ආනාපානසති භාවනාව තුළින් නිවන් දකින්න පුළුවන්.

එසේනම් ආනාපාන සතිය කියන්නේ මොකක්ද කියල මුලින්ම දැනගන්න  ඕන. ආනා පාන යන වචනවලට අද සම්මතයේ තියෙන්නේ ආශ්වාස ප‍්‍රාශ්වාස කියලයි. එහෙත් මෙහි ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. කෙනෙක් ධර්මාවබෝධය ලැබුවම අරගන්න දෙයක් තියෙනවා, පහ කරන දෙයක් තියෙනවා කියල දකිනවා. බුදුන්වහන්සේ එක් අවස්ථාවක භික්‍ෂූන්වහන්සේලාට දේශනා කරනවා වස් තුන් මාසයක් තුළ දානය ගෙනෙන භික්‍ෂුව හැර වෙනත් කෙනෙක් මා හමුවීමට නොපැමිණිය යුතුයි කියලා. මේ වස් කාලය තුළ සමවත් සුවයෙන් ගත කළ උන්වහන්සේ වස් අවසානයේ භික්‍ෂූන්ට දේශනා කරනවා

මහණෙනි, මේ වස් තුන් මාසය තුළ භවත් ගෞතමයන් වහන්සේ කෙබඳු විහරණයකින් ගත කළාද කියා අන්‍ය පරිභ‍්‍රාජකයින් ඇසුවොත්, ආනාපාන සති විහරණයෙන් බහුලව වාසය කළේ යැයි කියන්න. ඒ ආනාපාන සති විහරණය කුමක්දැයි ඇසුවොත් එයට අරිය විහාරය කියාත්, බ‍්‍රහ්ම විහාරය කියාත්, තතාගත විහාරය කියාත් කියන බව කියන්න.

මෙහිදී ආනාපානසති යන්නට තවත් විශේෂ වචන තුනක් උන්වහන්සේ දේශනා කරල තියෙනවා. බ‍්‍රහ්ම විහාරය කිව්වේ කුමකට ද යන්න කරණීය මත්ථ සූත‍්‍රය අවසානයේ දක්වා තියෙන

බ‍්‍රහ්ම මේතං විහාරං ඉදමාහූ

යන පාඨයෙනුත් බලන්න පුළුවන්. මේ අනුව බුදුන් වහන්සේ දේශනා කළ ආනාපාන සතිය කරණීය මත්ථ සූත‍්‍රයෙත් සඳහන් වෙලා තියෙනවා.

එසේම අංගුත්තර නිකායේ එන සීහ සූත‍්‍රයේදී බුදුන් වහන්සේ සීහ සේනාධිපතිට දේශනා කරනවා

යමෙක් මට ආශ්වාසවාදී කියයි නම් කරුණු සහිතව කියන්නේ, භවත් ගෞතමයන් වහන්සේ චාතුර් මාර්ගඵල සංඛ්‍යාත උත්තම ආශ්වාසයෙන් ආශ්වාසිත වූයේ එම උත්තම ආශ්වාසය සඳහා දහම් දෙසන්නේය. එයින් සව්වන්ද හික්මවන්නේය.

මෙහි චාතුර් මාර්ගඵල සංඛ්‍යාත උත්තම ආශ්වාසය කියන විට ආශ්වාස කරන වාතයක් ගැන කියල නෑ. එසේනම් මෙයින් කියවෙන්නේ කුමක්දැයි විග‍්‍රහ කර බැලිය යුතුයි. අස්වැසිල්ලටත් ආශ්වාස කියනවා. කෙනෙකුට ලෝකයෙන් අස්වැසිල්ලක් ලබන්න පුළුවන්ද? අස්වැසිල්ලක් ලැබෙන්නේ ලෝකයෙන් මිදෙන පැත්ත හෙවත් නිවන වැඩුණු දාටයි. එසේනම් මෙහි ආශ්වාසය කුමක්ද? නිවන ආශ්වාස කළ යුතුයි යන්න පැහැදිලිව පේනවා. ‘‘ඒ චාතුර් මාර්ගඵල සංඛ්‍යා උත්තම ආශ්වාසය සඳහා දහම් දෙසන සේක’’ යනුවෙන් දක්වා තියෙන්නේ නිවන් අවබෝධය සඳහා සද්ධර්මය දේශනා කරන බවයි.

‘‘හන්දාමයං ආනන්ද, සබ්බේ සංඛාරා අනස්සාසිකා’’ ආනන්ද මේ සියලූ සංස්කාරයෝ ආශ්වාස කරන්න වටින ඒව නොවෙයි. මෙහි ආශ්වාසය වායුවක් ලෙස සඳහන් කරල නෑ.

අංගු. නි (1) 336 පිටුවේ එන කාලාම සූත‍්‍රය අවසානයේ පෙන්වනවා ‘‘චත්තාරෝ අස්සසාසෝ අධිගහෝති’’ මෙහි සඳහන් ආශ්වාස හතර මොනවාද? වෛර පහක්, බිය පහක් දුරු කළ (පංච දුෂ්චරිතයෙන් වෙන් වූ) ආර්ය ශ‍්‍රාවකයා ඉහාත්මයේදී (ජීවත්ව සිටින කාලයේදී) ආශ්වාස හතරක් ලබනවා. මේ ආශ්වාස හතර මොනවාද? ධර්මානුකූලව කරුණු අවබෝධ කරගෙන පංච දුෂ්චරිතයෙන් වෙන් වූ ආර්ය ශ‍්‍රාවකයා පරලොවක් තියෙනවා කියන බයට පව් නොකර ඉන්නවා නොවෙයි. වරද වරද හැටියට දැක්ක නිසයි ඔහු පව් නොකරන්නේ. මේ ආකාරයෙන් ඔහු පළමු ආශ්වාසය ලබනවා. එසේම පරලොවක් නෑ, පින් පව්වලට විපාක නෑ කියල කිව්වට ආර්ය පුද්ගලයා පරලොවක් නැති නිසාවත්, පිං පව්වලට විපාක නැති නිසාවත් පව් නොකර ඉන්නවා නොවෙයි. යමක් වැරදි බව යථාර්ථවත්ව දැකලයි පව් නොකරන්නේ. මෙසේ දෙවනි ආශ්වාසය ලබනවා. පව් කරන තැනැත්තාටයි පව් සිදුවෙන්නෙ කියල තවත් කෙනෙක් කියනවා. මේ නිසා පව් නොකරනවා නොවෙයි කියලා ආර්ය ශ‍්‍රාවකයා තුන්වැනි ආශ්වාසයත් ලබනවා. පිං පව්වල ප‍්‍රශ්නයක් නෑ, සසර ගමන මේ ආකාරයෙන් සිදුවෙනවා කියල තව කෙනෙක්  කිව්වට  නොවෙයි අවබෝධයෙන්ම ආර්ය ශ‍්‍රාවකයා සැනසුමෙන් ජීවත් වෙනවා. මේ ඔහු ලබන හතරවෙනි ආශ්වාසයයි.

ආස්සාස සූත‍්‍රය හා  පරමස්සාස සූත‍්‍රය (සං:නි:4, 478 පිටුව)  කියල සූත‍්‍ර දේශනා දෙකක් ත‍්‍රිපිටකයේ තියෙනවා. ස්පර්ශ ආයතන හය පිළිබඳව උදයංගම, අත්තංගම, ආස්වාද, ආදිනව, නිස්සරණ යන කරුණු යමෙක් තතු සේ දකියිද එකල්හි ආස්වාසයෝ පූර්ණ වෙයි කියලයි එම සූත‍්‍රවල සඳහන් වෙන්නේ. මෙහි පූර්ණ කළ යුතු ආස්වාසයක් ගැනයි කියවෙන්නේ. මේ ආස්වාසය සඳහායි බුදුපියාණන් වහන්සේ ධර්මය දේශනා කළේ. තමන් වහන්සේම ආස්වාසයේදී කිව්වේ ඒ කරුණ නිසා බව උන්වහන්සේ දේශනා කළේ ඒ නිසයි. මේ කරුණු අනුව ආස්වාස කියන වචනය මේ සාසනය තුළ හිතේ සැනසුමක් මුල්කරගෙන දේශනා කරල තියෙන බව පේනවා. එසේම නිවී සැනසී ලබන නිවන් සුවයටත් ආස්වාස කියනවා. මෙසේ යථාවබෝධයෙන් හිතේ ඇතිවන නිවී සැනසීමක් ඇද්ද, කෙලෙස් සංසිඳී යාමෙන් ඇතිවුනු සැනසීමක් ඇද්ද එය තමයි ආර්ය විනයේ නියම ආස්වාසය. මේ ආස්වාසයට මගක් පිළිවෙතක් ඇත්දැයි වරෙක වච්චගොත්ත පරිබ‍්‍රාජක සැරියුත් හිමිගෙන් ඇසූ විට, එවැන්නක් ඇති බවත්, එනම් අරි අටඟි මග ලෙස දේශනා කළ බවත් ඉහත කී ආස්වාස සූත‍්‍රයේම සඳහන් වෙනවා.

මේ අනුව පාප සංඛාර හෙවත් අනාර්යාෂ්ඨාංගික මාර්ගය පහ කර හැරීම හෙවත් ප‍්‍රාස්වාස කිරීමත්, ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආස්වාස කිරීමත් තමයි ආර්ය විනයේ පෙන්වපු ආස්වාස ප‍්‍රාස්වාසය. ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආස්වාස කළ යුතු සේම මිත්‍යා දිෂ්ඨිය, මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා…. ආදී වශයෙන් යෙදෙන අනාර්ය අෂ්ඨාංගික මාර්ගයට අයත් යමක් තිබේද ඒවා ප‍්‍රස්වාස කළ යුතුයි. මෙසේ ඇසුරු කළ යුතු සහ පහ කළ යුතු දහමක් ගැනයි ආනාපාන සතියෙන් කියවෙන්නේ.

යමක් යමක් නිසා රාග, ද්වේශ, මෝහ හටගන්නවා නම් ඒ වැඩපිළිවෙල පහ කළ යුතුයි හෙවත් ප‍්‍රස්වාස කළ යුතුයි. යමක් රාගක්‍ෂයට, ද්වේශක්‍ෂයට, මෝහක්‍ෂයට හේතු වෙනවා නම් එය මනා සේ තේරුම් ගෙන නිතර ඇසුරු කළ යුතුයි. ආස්වාස ප‍්‍රාස්වාස මේ ආකාරයට තේරුම් ගෙන භාවනා කරන්න පටන් ගත්තොත් කෙනෙකුට ප‍්‍රතිඵල ලබන්න පුළුවන් වෙනවා.

බාහිරව  කෙරෙන්නා  වූ ආස්වාසයක අදහස අරගෙන නිවන් දැකීමේ අදහසින් භාවනා කළාම ඒක නිවන් මගක් වෙන්නෙ කොහොමද? ඒක නිවන් මගක් කියල පෙන්වන්න බැරිවෙලා තියෙනවා. ඒ අනුව කර්මස්ථාන දෙන ආචාර්යවරුන් උපදෙස් දෙනවා සමථය වැඩෙන්න ටික වෙලාවක් ආනාපාන සතිය වඩලා ඉන්පසුව විදර්ශනා වඩන්න කියලා.

කෙසේ හෝ එකතැන වාඩිවෙලා වාතය මුල්කරගෙන ආස්වාස ප‍්‍රාස්වාසයට හිත තියාගෙන කරන වැඩපිළිවෙල තුළ භාවනාවක් නැද්ද යන කරුණත් විමසා බැලිය යුතුයි. මේ සඳහා උපක‍්‍රමයක් භාවිතා කළ හැකියි. මේ භාවනාව කරල ‘‘දැන් බලන්න ආසාවක් නෑ’’ කියන කෙනෙකුගේ ඇස් දෙක රෙදි කඩකින් බැඳල ටික වෙලාවක් ඉන්න කියන්න. ටික වෙලාවක් යන විට ඒ තැනැත්තාට දැනෙනවා සුලූ වෙලාවක්වත් බලන්නෙ නැතිව ඉන්න බැහැ කියල. එවිට තේරුම් ගන්න පුළුවන්, බලන්න කොයි තරම් ආසාවක් තිබිලද ආසාවක් නැහැ කිව්වෙ කියල. මේ ආකාරයෙන්ම අහන්න ආසාවක් නැහැ කියන කෙනෙකුගේ කන් දෙක වහලා කොපමණ වෙලාවක් ඉන්න පුළුවන්ද කියල බලන්න. මෙසේ රාග, ද්වේශ, මෝහ නිසා හටගන්න යම් ක‍්‍රියාවලියක් තමන් තුළ තියෙනවද කියල මෙවැනි පරීක්‍ෂණයකින් තමන්ටම හොයාගන්න පුළුවන්. මේ අනුව ආශ්වාස ප‍්‍රාශ්වාස මුල්කරගෙන භාවනාවේ යෙදිල ඉන්න කෙනෙක් දකින්න  ඕන රාග, ද්වේශ, මෝහ අරමුණුවල අල්ල ගන්න දෙයක් නෑ, මම ඉන්නෙ ආස්වාස ප‍්‍රාස්වාස අරමුණක කියල. ආස්වාස ප‍්‍රාස්වාස කියල හරි අල්ල ගත්තෙ ලෝකෙට අයිති දෙයක් නම් ලෝකය අල්ලගෙන ලෝකයෙන් මිදෙන්න බෑ කියලත් දකින්න  ඕන. ලෝකය අත්හරින්න නම් එහි අනිච්ඡ, දුක්ඛ, අනත්ථ වශයෙන් අසාරත්වය දකින්නම  ඕන. ඒ අනුව මේ ආස්වාස ප‍්‍රස්වාස අරමුණේ හිත තියාගත්තෙ කුමකටද කියල ඔහුට වැටහෙන්න පටන් ගන්නවා. කෙනෙකුට රාග, ද්වේශ, මෝහ මුල්කරගෙන මන වඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන ආස්වාදයන් සඳහා කය ක‍්‍රියාකරවන්න අදහසක් එනවනම් මේව තමයි ප‍්‍රාශ්වාස කළ යුත්තේ. එසේනම් මේ ආස්වාදයන් ආදීනව සහිතයි කියල දැකලා ඒවා නැවැත්වීමට කය පාලනය කිරීමයි කායානුපස්සනාව කියන්නේ. මේ අනුව මෙයට අවශ්‍ය දහම ඇසුරු කරගෙන යනවා නම් ඇලෙන, ගැටෙන දේකට කය ක‍්‍රියාත්මක වීම නවත්වන්න, හිත ක‍්‍රියාත්මක වීම නවත්වන්න පටන් ගන්නවා. මෙහිදී මතු භවය සකසන කාය සංඛාර මර්ධනය වෙනවා. ඒ අනුව රාග, ද්වේශ, මෝහ සහගතව විඤ්ඤාණ නැගෙන්න තිබුණ ශක්තිය දුර්වල වෙලා යනවා. මෙසේ කයත් මනසත් සංවර භාවයට පත්වෙනවා.

මෙසේ විඤ්ඤාණ නිරෝධ වුනා නම් මනස ආගන්තුක උපක්ලේශයන්ගෙන් සුද්ධ වෙලා යනවා. ප‍්‍රභාශ්වර භාවයට පත්වෙලා යනවා. චතුර්ථ ධ්‍යානයට පත්වෙනවා. මෙහිදී පහ කළේ හුස්ම නෙවෙයි, ඇසුරු කළේ හුස්ම නෙවෙයි කියල පේනවා. පහ කළේ ඇලීමට සහ ගැටීමට හේතුවන රාග, ද්වේශයි. ක‍්‍රියාව නතර කළාම රාග විඤ්ඤාණයටත්, ද්වේශ විඤ්ඤාණයටත් ආහාර නැතිවෙනවා. ආහාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධ වෙනවා. විඤ්ඤාණ නිරෝධ නම් නාම රූප, සලායතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති සියල්ල නිරෝධ වෙනවා. මේ ආකාරයෙන් තමයි සතෝව අස්සසති, සතෝව පස්සසති හෙවත් සිහියෙන් ආස්වාස කරනවාත සිහියෙන් ප‍්‍රාස්වාස කරනවා යන ක‍්‍රියාවන් සිදු කළ යුත්තේ. සසරින් මිදීමට චිත්ත පාරිශුද්ධිය ඇතිකර ගන්නේ මේ ආකාරයටයි.

‘‘ආස්වාස ප‍්‍රාස්වාසයෝ කාය සංඛාරයි. කාය සංචේතනා කාය සංඛාරයි’’ යනුවෙනුයි අභිධර්මයට අයත් යමකප‍්‍රකරණයේ කාය සංඛාර විසඳලා තියෙන්නේ. ‘‘කාය, කාය සංඛාර වේද? කාය සංඛාර, කාය වේද? කාය, කාය වේ. කාය සංඛාර නොවේ. කාය සංඛාර, කාය සංඛාර වේ. කාය නොවේ.’’

කයයි, කාය සංඛාරයි මෙසේ වෙන්කර ගත යුතුයි. ආස්වාස ප‍්‍රාස්වාස කරන වාතය වායෝ කාය වශයෙන් සඳහන් වෙලා තියෙනවා. මෙහිදී කාය, කාය සංඛාර වේ නම්, වාතය කාය සංඛාරද යන ප‍්‍රශ්නය මතුවෙනවා. ආස්වාස ප‍්‍රාස්වාසයෝ කාය සංඛාරයි කියල ආර්ය විනයේ සඳහන් කරල තියෙනවා. කාය සංඛාර, කාය නොවෙයි නම් බුදුන් වහන්සේ දේශනා කළ ආස්වාස, ප‍්‍රාස්වාස වාතයද කාය වෙන්නෙ නෑ. ඒවා කාය සංඛාරයි.

කාය සංඛාර හටගන්නේ කොහේද? රූප ඇසුරු කරගෙන හටගත්තත්, කාය සංඛාර කියන්නේ නාම කොටසට අයත් චේතනාවක්. රාගයට, ද්වේශයට, මෝහයට කය ක‍්‍රියාත්මක කරවන්න යම් චේතනාවක් හටගත්ත නම් කාය සංඛාර හටගන්නවා. එබඳු චේතනාවකින් රාගයට, ද්වේශයට හෝ මෝහයට අනුව කය ක‍්‍රියාත්මක කළා නම් ඒ ක‍්‍රියාව සමග බැඳිලා චේතනාවක් වශයෙන් නාම ධර්මයක් හටගන්නවා. මේ ක‍්‍රියාවයි සංසිඳවන්න  ඕන. ‘‘සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්කති. සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමීති සික්කති.’’ මේ ශික්‍ෂණය   කරගන්නේ කොහොමද කියල මනා සේ දැනගත යුතුයි. ඇස රූපයකට, කන ශබ්දයකට,  නාසය ගන්ධයකට, දිව රසයකට, කය ස්පර්ශයකට, මන ධර්මයකට ඡන්දරාගයෙන්   බැඳීම පටිසංවේදයයි. අනිච්ඡ, දුක්ඛ, අනත්ථ වශයෙන් ඒවායේ ආදීනව මෙනෙහි කරලා යථාර්ථය  දැකලා එහි ඡන්දරාගය පහ කිරීම ප‍්‍රාශ්වාසයයි. ඒවා අත්හැරීමෙන්, මිදීමෙන්, නොඇල්මෙන් ලබන්නා වූ ශාන්තිය, ප‍්‍රනීතභාවය මෙනෙහි කිරීමෙන් නිවන ආශ්වාස කළා වෙනවා. මේ කාය හටගත්තේ සංඛාරවලින් කියල දැනගත්තට පස්සෙ ‘‘පස්සං භයං කාය සංඛාරං අස්සසිස්සාමීති සික්කති’’ වශයෙන් මේ සංඛාර පහ කිරීමට කුමක් ඇසුර කළ යුතුද කියල දකින්න  ඕන. මේ සඳහා කාය යන්නෙහි ආදීනවත්, කාය සංඛාරයන්ගේ ආදීනවත් දකින්න  ඕන. මේ ආදීනව දකින්නා වූ දහම ඇසුරු කළාම, පැවැත්ම තුළ භය ඇති කරවන්නා වූ සංඛාර පහ කර දමන්න පුළුවන් වෙනවා.

‘‘ඵස්සං භයං කාය සංඛාරං ඵස්සසිස්සාමීති සික්ඛති’’ කියන ආකාරයෙන් කාය සංඛාර පහ වෙනවා. කාය සංඛාර කිව්වේ වාතය නෙවෙයි.

ඇලීමකට හෝ ගැටීමකට කය ක‍්‍රියාත්මක කරවන්න යම් චේතනාවක් හටගත්තා නම් මේ චේතනා හෙවත් කාය සංඛාර පහ වෙලා ශික්‍ෂණයට පත්වෙනවා. මෙසේ රාගක්‍ෂය මාත‍්‍රයක් වුනා නම් එය නිවනයි. ද්වේශක්‍ෂය මාත‍්‍රයක් වුනා නම් එය නිවනයි. මෙසේ පාප මාත‍්‍රයන් පහවුනා නම් ඒ පමණට නිවන ආශ්වාස වෙනවා. මේ අනුව ක‍්‍රියාකාරකමක් පහකරලා නොවෙයි නිවන් දකින්නේ. අභ්‍යන්තර චිත්ත පාරිශුද්ධියක් ඇතිකරගෙනයි. මේ ආනාපානසති භාවනාව කරගෙන යන කොට සම්මා සමාධිය ගොඩනැගීගෙන එනවා. රාග, ද්වේශ සහගත සිතිවිලි ක‍්‍රමයෙන් ඈත්වන විට රාගය සහ ද්වේශය නිසා හටගත් දාහය දුරුවෙලා මනස නිදහස් වෙනවා. නිදහස් මානසිකත්වයෙන් නිරාමිස ප‍්‍රීතියත්, නිරාමිස ප‍්‍රීතිය නිසා නිරාමිස සුඛයත් ඇතිවෙනවා. නිරාමිස ප‍්‍රීතියෙන් නිරාමිස සුඛයට පත්වන විට ‘‘සුඛීනෝවා සමාධිය’’ කියන සමාධිය කරා ගමන් කරන්නා වූ මානසිකත්වය උදාවෙනවා. පෙර භාවනාවේ යෙදිල ඉන්න විට කාම අදහස් නැගි නැගී එන විට සිත ඒ අනුව දුවන්න පටන් ගන්නවා. දැන් ඒ රාග විඤ්ඤාණයට ආහාර නැති නිසා විඤ්ඤාණය දුර්වල වෙනවා. මෙසේ විවේකීව ඒ සඳහා මනස මෙහෙයවන්නෙ නෑ. අනාගාමී උතුමන් එම නිදහස් සමාධි සුවය අරමුණු වන විට නිවන් සුවය මුල්කර ගෙන නිතර ‘‘අහෝ සුඛං අහෝ සුඛං’’ යනුවෙන් කියන බවද දහම් කථාවක සඳහන් වෙනවා. මෙසේ විවේකීව ඉන්න ස්වභාවය සැනසුමක් වෙනවා. පාප ධර්මයන්ගෙන් වෙන් වෙලා, අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා සවිතක්ක වූ, සවිචාර වූ විවේකයෙන් හටගත් ප‍්‍රීති සුඛ දෙක ඇතිවෙනවා. සවිතක්ක සවිචාර කියන්නේ විතර්ක සහිත විචාර සහිත කියලයි අද පැහැදිලි කරන්නේ. එහෙත් සවිතක්ක කියන්නේ විතර්ක හැර ඒ සමග සම්බන්ධ සෙසු දහම් ලෙසත්, සවිචාර කියන්නේ විචාර හැර සෙසු දහම් ලෙසත් තමයි ‘‘ධම්ම සංඝනීය’’ යන පොතේ සඳහන් වෙන්නේ. විතක්ක විචාර අරමුණුවලට සම්බන්ධ වෙන්නේ කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා කියන මේවායි. නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා අරමුණ සවිතක්කයි. ඒ අරමුණුවල හිත හැසිරවීම සවිචාරයි. නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා යන අරමුණුවල හිත හසුරුවන කෙනෙකුට ලැබෙන ප‍්‍රීතිය කාම, ව්‍යාපාද, විහිංසා යන අරමුණුවලින් වෙන්වීමෙන් ලැබෙන නිරාමිස පී‍්‍රතියයි. මේ ආකාරයෙන් ආර්ය මාර්ගය වඩන විට ප‍්‍රථමධ්‍යානයට පත්වීමත්, සම්මා සමාධියට ධ්‍යාන වැඩෙන ආකාරයත්, ඒ ධ්‍යානවල ලක්‍ෂණත් ඉදිරියේදී දැනගන්න පුළුවන් වෙනවා.

(ඉතරි කොටස ලබන කලාපයෙන්)

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණ දහම් කරුණු ඇසුරින් සකස් කළේ :
ඇල්. අමරසිංහ
(විශ‍්‍රාමික ලංකා බැංකු ජ්‍යෙෂ්ඨ කළමනාකරු)
පිළියන්දල.

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *