කය දිරුවත් නොදිරනා නාම ගෝත‍්‍ර හෙවත් මතක සටහන්

පසුගිය කලාපයෙන්  – (ලෝක සත්ත්වයා නොදකින වේදනාව)

මතක සටහන් කොහොමද හැදෙන්නේ? අහනකොට, බලනකොට, ආග‍්‍රාණය කරනකොට, රස විඳිනකොට, ස්පර්ශය ලබනකොට ඒවායේ ආකාර, ලිංග, නිමිති, උද්දේස, ප‍්‍රඥප්ති කියන මේවා රුප්පනය (රූ ඔප් නැංවීම) වෙනවා. මේවා ආකාර, ලිංග… ආදී වශයෙන් රුප්පනය වූ නැම්මක් දකින විට, දැනෙන විට කොහොමද හිතට ගන්නෙ කියල බලන්න  ඕන. මේ කාරණය උදාහරණයකින් බලමු. ලස්සන නැටුමක්, මන වඩන රූපයක් අපි ආකාර වශයෙන් අරගෙන තිබුණ කියල හිතමු. රූපය දැක්කම ‘‘මැවිල පේනව වගේ’’ කියල කියනවා. ඒ වගේමයි නැටුම, අත පය එහෙ මෙහෙ ලතාවකට ගෙන යන හැටි දැකල ඒ නැටුම හරි ලස්සනයි කියල කියනවා. විනාඩි ගණනක අවස්ථාවක් තුළ වෙච්ච සිද්ධියක් තමයි අඩු කාලයක් තුළ මේ ආකාර, ලිංග, නිමිති…. ආදී වශයෙන් අපි මතකයෙන් අරගෙන ලස්සන ගැන හිත බැඳගන්නේ. තත්පරයකින් කෝටි ලක්‍ෂ වාරයකින් පංගුවක් තරම් සුළු වේලාවක් තුළ ගෙවෙන වැනසෙන ආයුෂක් හිමි චිත්තක්ෂණයකින් කොහොමද විනාඩි ගණනක නැටුමක් දකින්නේ? කොහොමද හැඩයක්, හඬක් හඳුනා ගන්නේ? මේ ගැන බලන විට අපට පෙනෙන දෙයක් තියෙනවා. එනම් කුමන හේතුවකින්වත් එක චිත්තක්‍ෂණයකින්, විනාඩි ගණනක ක‍්‍රියා සටහනක් දකින්න හෝ සටහන් කරගන්න බැරි බව.

එහෙනම් මේ විනාඩි ගණනක ක‍්‍රියාවලියක් අපි චක්ඛු විඤ්ඤාණයකින්, සෝත විඤ්ඤාණයකින් ගන්නෙ කොහොමද? එම විඤ්ඤාණයට ඇත්තේ ඉතා සුළු ආයු ප‍්‍රමාණයක්. ඒක ගෙවිල යනවා. ඒ දැකීම් මාත‍්‍රය, ඇසීම් මාත‍්‍රය ඇසේවත්, කනේවත් පිහිටන්න කාලයක් හෝ හේතුවක් හෝ නෑ. පෙනීම් මාත‍්‍රයක්ම, ඇසීම් මාත‍්‍රයක්ම, දැනීම් මාත‍්‍රයක්ම තමයි මේ චක්ඛු, සෝත, ඝාන, ජිව්හා, කාය කියන විඤ්ඤාණවලින් ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් කොහොමද පූර්ණ ක‍්‍රියාවක් අපි වටහා ගන්නේ? එක වරකට චිත්තක්‍ෂණ දෙවර්ගයක් ගන්නත් බෑ. ඒ වුනාට එක සැරේම අහන හැටියට, දකින හැටියට අපිට පේනවා. මේවා මෙසේ දැනගන්න රටාව මොකක්ද? ලස්සන ළමයෙක් දිහා බලා ඉන්න කොට එක චක්ඛු විඤ්ඤාණ චිත්තක්‍ෂණයකින් ළමයගෙ කන් දෙක, ඇස් දෙක… මේ ආදී මහ අංග හෝ මේ අංගයන්ගේ සියුම් අංග හෝ අපි කොහොමද දකින්නේ? අපි හිතමු අපි ළමය දිහා බැලූවෙ ඉතා කුඩා සිදුරකින් කියල. ඒකෙන් වරකට පෙනීම් තිතක් පමණයි පේන්නේ. නමුත් මේ පෙනීම් තිත අධි වේගයෙන් ළමයගෙ ඇඟේ හැම තැනම එල්ල වන ලෙස හැම පැත්තටම හැරෙමින් චලනය වුනා නම් අපට ළමයා පේනවා.

දැන් තවත් උපමාවක් අරගෙන  බලමු. යම් කිසි රෝදයක ඇතුලේ ගරාදිවල පැත්තක් අඩ කවයක් සිටින සේ වසා දමනවා. දැන් වැසුන පැත්තේ ඉඳන් අපි බලනවා නම් රෝදයෙන් එහා පැත්තේ සිටින කෙනෙක් අපට පේන්නෙ නෑ. නමුත් රෝදය අධි වේගයෙන් කැරකැවුවොත්, වැසීමක් නොපෙනී ඒ අතරින් එහා සිටින කෙනා බලන්න   පුළුවන්. කොහොමද   මෙය දකින්නේ. එක ක‍්‍රියා තිතක් දුටු  විටම  චක්ඛු විඤ්ඤාණය ගෙවිල ඉවර වුනාට  මේ  සෑම විඤ්ඤාණක්‍ෂණයක්ම නාම ගෝත‍්‍ර නම් වූ මතක සටහනක් (නමුත් රූපයක් නොවේ, රූප තිතක්) බවට පත්වී අතීතයට යනවා. චක්ඛු විඤ්ඤාණ කියා කිව්වට මේවා අමුතු වෙනම විඤ්ඤාණ ජාතියක් නොවෙයි. මනෝ විඤ්ඤාණම පහළ කරන එක ද්වාරයක් පමණයි. මේ විඤ්ඤාණවල ස්වභාවයක් තියෙනවා. ඒකට කියනවා මෙනෙහි කරනවා කියල (මනසිකාර නම් චෛතසිකය). හරියට එකට එක සම්බන්ධ කර, පුරුක් අමුණමින් බලන විට, පුරුක් ඇමිණුන රටාව දම්වැලක් කියා පෙනෙනව වගේ, අතීතයට ගිය දර්ශන, පුරුක් වෙන්කරලා අමුණපු ආකාරයට වටහාගන්න සිතට පුළුවන්.

යම් චිත්තක්‍ෂණයක් නාම ගෝත‍්‍රවලට පත්වෙලා තත්පරයකින් දහයෙන් පංගුවක් (සාමාන්‍යයෙන්) වැනි කාලයක් යන තුරු අධික මෙනෙහි කිරීමේ ශක්තියක් සිතට පවතිනවා. ඒ නිසා ඒ සුළු කාලයේ අතීත මොහොත තුළ සිදුවුන රටාව මනසට දැනෙනවා. මේකට විද්‍යාධරයන් කියන්නේ ඇස වර්ණයක් උරාගත් විට ටික වේලාවක් යන තුරු පවතින නිසා එහෙම වෙන බවත්, එසේ නොවුන නම් අද රූපවාහිනී දර්ශනයක් පෙන්වන්නවත් ක‍්‍රමයක් ලැබෙන්නෙ නෑ කියලයි. මෙහෙම වෙන්නේ මනස සැකසී ඇත්තේ, හැඩගැසී ඇත්තේ රූප හෝ දැනීම් අල්ලගෙන විඳීමේ බලාපොරොත්තුවෙන් ඊට අනුරූපව සෑදී ඇති නිසයි. යමෙක් මෙම ඇලෙන බැඳෙන ගතිය දුරු කළා නම්, බලන අහන අදහස නැති වෙනවා. එවිට ඉදිරි බලාපොරොත්තු නැති නිසා අතීත මතකයන් මෙනෙහි වන ශක්තියත් වැඩි වෙනවා. මේ නිසා යම් කටයුත්තක් කරන විට එය ඉතා පැහැදිලිව වැටහෙන්න පටන් ගන්නවා.

මෙසේ  අතීතයට  ගිය තත්පරයකින් දහයෙන් පංගුවක පමණ කොටස  ඉතා  බලවත්  අතීත මනසිකාරයකින් යුක්ත වන විට එවෙලේ පෙනෙන ලෙස වැටහෙනවා. ඊටත් පෙර විනාඩි ගණනක අතීතයේ මනසිකාර ශක්තිය ක‍්‍රමයෙන්  අඩු වුනත්,  ඒවත් බලවත් වෙනවා. යමක් නැවත නැවත මෙනෙහි කරන විටත් මේ ශක්තිය බලවත් වෙලා ඒ ඒ රටාවන් වැටහෙන්න පටන් ගන්නවා. අපි කරන කියන සෑම දෙයකම නාම ගෝත‍්‍ර, මනෝ ධාතුවේ මූලයන්ගෙන් හැඩ වැඩ වී පිහිටන අතර, එම නාම ගෝත‍්‍ර රැහැනක් පසු කරමින් ඉදිරියටත් නිපදවමින් අනන්ත සංසාරයේ පටන් ඉදිරි ගමනක් යනවා.

දැන් අපි සංසාර ගමනේදී කුමන දෙයක් කළත්, ඒ සියල්ලකම චිත්ත මාත‍්‍ර නිසා වූ නාම ගෝත‍්‍ර නම් ආකාර මාත‍්‍රයන් වැලක් ගෙන එනවා මිසක් අල්ලා ගත්, බදා ගත් එකදු රූපයක් හෝ ශබ්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ ස්පර්ශයක් හෝ සිතිවිල්ලක් හෝ නැති බවත්, ඒ සියල්ල අපට දැනෙන්නේ, ඒ සෑම එකකම අතීත නාම ගෝත‍්‍ර ක්‍ෂණ රටාව මෙනෙහි කර පුරුක් ඈª විට පෙනෙන දම්වැල් මෙන් මනසින් ඒ ඒ මෙනෙහි කිරීම් කරන විට වැටහෙන මායාව දැක රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී වශයෙන් නිගමනය කිරීම් නිසා බවද පේනවා. රටාවට ඈඳා ගත් දැනීම් පුරුක් නිසා යමක් ඇති සේ ගනිමින් මේ මනසින් සකස් කළ ආකාර, ලිංග, නිමිති, උද්දේස, ප‍්‍රඥප්ති කියන මේවා රුප්පනය කරගත්තේද අවිද්‍යා තෘෂ්ණා මූලික වූ හිතමයි. පිටතින් ද්‍රව්‍ය වස්තු ලෙස සකස් කරගත්තෙත් ඉහත කී රටාවටම අනුව සකස් කරගත් අතීත වූ චිත්ත රටාවන්ය. සකස් කරගත් දේ කියා කියන්නේ මනසින් මෙනෙහි කරන විට දැනෙන මායා රටාවේ ආකාර වැටහීමයි. සත්ත්වයෙක්, පුද්ගලයෙක්, ද්‍රව්‍යයක්, වස්තුවක් ඇත කියා හෝ පෙර තිබුණා කියා හෝ මතුවට වෙයි කියා හෝ සිතෙන්නේ මේ මායා රටාව නොවැටහීම නිසයි. මේවාට සත්ත්ව, පුද්ගල, ද්‍රව්‍ය වස්තු වශයෙන් නොකියා සංඛාර නිසා ගොඩනැගෙන ජාති කියා කීවේත්, නොදැනීම නිසා මනසින් මායා රටා සකස් කරගෙන මැනීමක කොටුවී හිතන පතන බලාපොරොත්තුවන තණ්හාව නිසයි.

මෙය තවත් විස්තර සහිතව දැනගැනීම ඉතා හොඳයි. කෙනෙකුගේ මුහුණක රටාව දකින හැටි බලමු. එක චක්ඛු විඤ්ඤාණ වීතියකට ආයුෂ චිත්තක්‍ෂණ 17 ක් යැයි ධර්මයේ පෙන්වා තියෙනවා. මේ චිත්ත වීතියක් සඳහා යන කාලය තත්පරයක් (ක්ෂණයක්) කෝටි ලක්‍ෂයකට බෙදුවොත් එයින් පංගු 17 ක් තරම් සූක්‍ෂම කාලයක් බව උපමාවකින් දක්වන්න පුළුවන්. මේ තරම් කුඩා මොහොතක් තුළ මුහුණක හැඩ රටාවක් බලන්න බෑ. මුහුණට ආලෝකයක් වැදී පරාවර්තන තරංගයක ආලෝක තරංගයකින් ඉතා කුඩා තිතක් පමණයි මේ එක චිත්තක්‍ෂණයකට අසුවෙන්නේ. රූප හොය හොයා සිටින රූප තණ්හාව නිසා පෙර භවයේ සකස් කරගත් කර්ම ශක්තියේ විපාකයක් වූ ඇස, ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා රූපාකාරයක් ගැනීමට මේ වගේ කුඩා ආලෝක තිත් කෝටි ගණනක්, තත්පරයකින් පංගු කෝටි ගණනකින් කිහිපයක් තුළ රූපාකාරය බැලීමට සෑම තැනම පතුරුවනවා. මේ චිත්තක්‍ෂණ 17 ක් තුළ ඇල්ලූ රූප ආලෝකක්‍ෂණ, රටාවක් බැලීමට සෑම තැනම පතුරුවමින් විමසනවා. එකක් එකක් පාසා බලන බලන සෑම මොහොතකම ඒ රූප කලාපය චක්ඛු විඤ්ඤාණ ක්‍ෂණ පහළ කරමින්, හටගෙන පැවතී දුර්වල වී අවසානයේ විනාශ වී යනවා. ඒ මොහොතේම ඒ දර්ශන මාත‍්‍ර ආලෝක තිත පිළිබඳ තිබූ දැනීම නාමක්‍ෂණයෙන් නාම ගෝත‍්‍රවලට පරිනාමය වී චිත්තක්‍ෂණ 17 ක කාලය අතීතයට යනවා.

ඊළඟට අවටින් එසේම තවත් ආලෝක දර්ශන තිතක් අල්ලා ගෙන විඤ්ඤාණයක් එසේම පහළ වෙනවා. එයද රූප කලාපයක ආයුෂය වන චිත්තක්‍ෂණ 17 කින් අතීතයට යනවා. මෙසේ තත්පරයකින් කෝටි වාර ගණනින් කිහිපයකදී චිත්තක්‍ෂණද කෝටි ගණනක් පහළ වෙමින් ඒ චිත්තක්‍ෂණ 17 කදී හටගෙන පැවතී, දුර්වල වී විනාශ වී යනවා. ඒවාත් අතීතයට නාම ගෝත‍්‍ර නමින් විපරිනාමයට පත්වී එකතු වෙනවා. මෙසේ අති සූක්‍ෂම මොහොතකදී රූප රටා ක්‍ෂණයක් පහළ කරන්න හේතුවන රූප කලාපයන්ගේ නාම ගෝත‍්‍ර රැහැන අතීත මොහොතකයි තියෙන්නේ. අතීතය ආවර්ජනය කරන්න සමත් ශක්තිය, මනසිකාර නම් චෛතසික මගින් මේ රටාව ඈඳා බලා, පුරුක් ඈඳීමෙන් දම්වැලක් දකින්නා සේ මුහුණක රූප රටා ක්‍ෂණයක් මායා දර්ශනයක් ලෙස පහළ කරගන්නවා. නමුත් අතීතයට ගිය රූප කලාප රැහැන එසේමයි. මෙබඳු ආකාර සටහන් කෝටි ගණනක් තත්පරයකදී මනසිකාර බලයෙන් දකින විට, තත්පරයකදී මුහුණු රටාවක පෙනෙන අයුරු දර්ශන මායා සකස්කර ගැනීමෙන් වටහා ගන්නවා. මේ ආකාරය, අතීත රූපක්‍ෂණයන්ගේ මනසිකාරයක් මිස රූප රටාවක් එකක් ලෙස වර්තමාන මොහොතක දැකගන්න දෙයක් නොවෙයි. එහෙත් වැටහෙන්නේ වර්තමාන රූපයක් දර්ශනය කළ අයුරින්.

විභංගප‍්‍රකරණයේ පටිච්ච සමුප්පාද (පච්චයාකාර) විභංගය වැනි පෙළ දහම් ආශ‍්‍රිතව මෙන්ම පැරණි අටුවා ඇසුරෙන් සැකසුණු අභිධර්ම ප‍්‍රදීපිකා ආදී ග‍්‍රන්ථ අනුව විමසීමේදී, මෙම චිත්ත වීථි රටාවන් ගැන මෙකල යටපත් වී ගිය බොහෝ කරුණු ඥානගෝචර කරගන්න පුළුවන් බව පේනවා. මේ අනුව පංචද්වාර චිත්ත වීථියක් හෙවත් චක්ඛු, සෝත…. ආදී එක් එක් ද්වාරයකින් පහළ වූ චිත්ත වීථියක් කෙළවර වන විටම අනුබද්ධ ආධාරක මනෝද්වාර චිත්ත වීථී තුනක් ක‍්‍රියාත්මක වන අයුරුද, එක් එක් චිත්ත වීථියක් සතර ආකාරයකින් ගොඩනැගෙමින් හේතු, ප‍්‍රත්‍ය, සම්පයුක්ත, අඤ්ඤ මඤ්ඤ යන සම්බන්ධතා හතරකින් යුතුව ගොඩනැගී තිබෙන අයුරුද ඉතා ගැරඹුරු අධීක්ෂණයකදී වටහා ගන්න පුළුවන්. මෙය බුදුපියාණන් වහන්සේගේ සබ්බංඤුුත ඤාණයත්, සැරියුත් හිමියන්ගේ මහා ප‍්‍රඥා පාරමිතා ඤාණයත් කොතෙක් ගැඹුරු දැයි ඤාණගෝචරව බැලිය හැකි තැනටත්, පිංවතුන්ගේ ප‍්‍රඥා ප‍්‍රසාදයටත් හේතුවනු නොඅනුමානයි.

ඉහත කී පංචද්වාර චිත්ත වීථියක් පහළ වූ මොහොතේ ගෙවී යාමත් සමග අනු පූර්ව ලෙස අනුබද්ධ ආධාරක චිත්තක්‍ෂණ 17 ක් ආයුෂ ඇති චිත්ත වීථි තුනෙන්් තුන්වන චිත්ත වීථිය තුළ, එකිනෙක ආසේවන ප‍්‍රත්‍ය ලබමින් බලවත් වූ ජවන අනුවයි යමක් වටහාගෙන ඒ අනුව හිතන්න, කියන්න, කරන්න පුළුවන් සසර ගමනටත් හේතුවන අභිසංඛාර නිපදවෙන්නේ. පංචද්වාර චිත්ත වීථිවලින් සිදුවන්නේ අරමුණු මනසට වැද්ද ගැනීම පමණයි. මනස එය ගෝචර කර ගන්නේ අනුබද්ධ ආධාරක පලවන චිත්ත වීථියෙන්. හැඩරුව ආදිය දැන හැඳින ගන්නේ දෙවැනි මනෝද්වාර චිත්ත වීථියෙන්. ප‍්‍රතිචාර දක්වන බලය නිපදවා අභිසංඛාර නිපදවන්නේ තුන්වන මනෝද්වාර චිත්ත වීථියෙන්. මේ සියළු චිත්ත වීථි ගොඩනැගෙමින් බිඳී ගියත් ඒවායේ නාමගෝත‍්‍ර පරපුර නොදිරන නිසා යළි ආවර්ජනය කරමින්, ඇති දෙයක් සේ ලෝකය දැක ගන්නවා. මේ දහම් නොවැටහෙන විට, මෙසේ ඇති සේ දැනෙන ලෝකය ආත්ම දෘෂ්ඨියෙන් බැඳ ගන්නවා. දේශනා ශ‍්‍රවණයෙන් මෙම න්‍යාය ධර්මය ශ‍්‍රාවකයන්ට අවබෝධ වුණත්, ඉහත කී ක්‍ෂණ භංගූරත්වය දකින්නේ ලොව්තුරා බුදුපියාණන් වහන්සේලාමයි. උන්වහන්සේලාගේ ආනාවරණඤාණයට කිසිවක් වහන්න බෑ. යථා තත්ත්වයම දකිනවා.

කැමරාවක් උපමා කරගෙන මේ තතු වටහා ගනිමු. කැමරා කාචය සහිත කැමරාව අපේ ඇස් ගුලිය වගෙයි.  කාචයෙන් කෙරෙන්නේ මායාව වැද්දාගැනීම පමණයි. එය සටහන් වන්නේ එහි ඇති දළ සේයාපට (Negative) නම් පටියේ ය. එය රසායන ද්‍රව්‍ය මගින් එසේ පවතින්න සකස්කර ගත යුතුයි. පලවැනි මනෝද්වාර චිත්ත වීථියත් මේ වගෙයි. නැවත සේයාපට (Positive) නම් කොළයකට එම මායාව පරාවර්තනය කර සටහනක් ගන්නවා. මෙය දෙවන මනෝද්වාර චිත්ත වීථිය වගෙයි. එම පොසිටිව් කොළයේ වර්ණ වෙනස් නොවී හොඳින් ඔප් නැංවෙන්නට නැවත රසායනයක බහා, වර්ණ ස්ථාවර කරගෙන ගත් රූප සටහන නැවත බලන්න පුළුවන්. මෙය තුන්වන මනෝද්වාර චිත්ත වීථිය වගෙයි. මෙබඳු ඡායාරූප දහස් ගණනක් අනුපිළිවෙලට බලන විට ක‍්‍රියාකරන ආකාරය, චිත‍්‍රපටයක් යළි නරඹනවා වගෙයි. දහමට අනුව ගොඩනැගෙන හේතු සහ වැයවෙන හේතු දැකීම උදයව්‍ය ඤාණයයි. හේතු නිරෝධයෙන් මේ ක‍්‍රියාවලිය නවතින ආකාරය දැකීම භංග ඤාණයයි. ඇතිවුනා නැතිවුනා කිව්වාට මේ ඤාණය පහළ වෙන්නෙ නෑ. එය සාමාන්‍ය ලෝකයාටත් ගෝචර දෙයක්.

පත්තරයක් අරගෙන මේ ඇසේ මායා දර්ශන ස්වභාවය බලන්න. එහි අකුරු දෙස බලන්න. වෙන වෙනම අකුරුවලට අවධානය යොමු කරමින් පත්තරය බලන්න පුළුවන්. එවිට අකුරින් හඟවන හැඟීම එම රටාව අනුව කියවාගෙන යාමේදී කෙනෙකුට දැනගන්න පුළුවන්. කැමති නම් මුළු පත්තර පිටුවේම අකුරු දෙස පොදුවේත් දුරින් තබා බලන්න පුළුවන්. එවිට අකුරුවල අර්ථ ගැනීමට හැකියාවක් නෑ. නමුත් අකුරු පේනවා. සෑම තැනම දර්ශන මාත‍්‍ර විසුරුවමින් බලන විට එම අකුරු සමූහය නිසා දිගටිව හෝ හතරැස් ලෙස හෝ යම් ආකාරයකට පිහිටා තිබෙන හැටි පේනවා. මේ බැලීම අකුරු අර්ථ නොදත් කෙනෙකුටත් කරන්න පුළුවන්. නමුත් හැඩරුවක්, ආකාරයක් පමණයි එවිට පේන්නේ. අකුරින් අකුර රටාවට අමුණමින් බලන කෙනෙකුට එම අකුරුවලින් කියා තිබෙන දේ පේනවා (වැටහෙනවා). ඒ පෙනීම පොදුවේ අකුරු බලනවිට ඇතිවන රූපාකාරය නිසා ඇතිවන හැඟීමට හාත්පසින්ම වෙනස් බව වැටහේවි. පොදුවේ බලන විට පෙනීමත්, එකිනෙක ඈඳී ඇති හැටි බලන විට අරුතත් දකිනවා. විදර්ශනාත්මකව රූපයක් දෙස බැලීම, අකුරු හඳුනන කෙනෙකුගේ අර්ථවත් බැලීමක් වගෙයි. ඔහු පිහිටි රූපාකාරය ගන්නෙ නෑ. විදර්ශනාවෙන් නොබලන කෙනෙකුගේ රූප බැලීම, අකුරු කියවන්න බැරි කෙනෙක් අකුරු පිහිටීමේ පොදු ආකාරය ගැනීමක් වගෙයි. එසේ විදර්ශනාවෙන් තොරව ගන්නා කෙනෙකුට ආකාර, ලිංග, නිමිති, උද්දේස, ප‍්‍රඥප්ති ආදී ලෙසයි වැටහෙන්නේ. ආත්මීය වස්තු ලෙසයි වැටහෙන්නේ.

සෑම විටම කෙනෙකුගේ සිත ආශාවට ඇලූම් කරන්නේ ආකාර, ලිංග… ආදී නාම රූප ලෙස මුලා සහගතව හැඩ වශයෙන් බැලීමෙන්, ඇසීමෙන්. පොදුවේ ඒකක ලෙස ආකාර ගන්නා විට ආශා රැහැනකින් බැඳී, ඇලීම බැඳීම සිදුවෙනවා. එවිට ඒ කෙරෙහි ඇසුරට බැසගන්නවා. එම ඇලීම හා බැඳීම නිසා ඇතිවන චිත්ත ශක්තිය ක‍්‍රියාත්මක වී රූප කලාපවලට ශක්තිය කාවද්දා අනුරූප ගතියට අනුව ප‍්‍රසන්න හෝ දූෂ්‍ය ආකාර රූප ඇතිකරනවා. මනෝ කියන්නේ මොහොතින් මොහොත බිහි කරමින් අනන්ත විශ්වයේ විහිදීම ඇතිකරවන ධාතුවක් නිසා චිත්ත ගතිවල බල දුබල ස්වභාවය අනුව විශ්වයේ රූප කලාපවලට ගති රූප හැඩගැස්වීමට න්‍යෂ්ඨික ශක්තිය බිහි කරනවා. මේ න්‍යෂ්ඨික ශක්තිය මනෝ ධාතු කියන කොටසට අයත්. ඒවා රූප නොවෙයි. රූප හසුරුවන බලයයි. සත්ත්වයා දැනගැනීමේ, විඳීමේ, රැස්කිරීමේ, පැතීමේ බලාපොරොත්තු අත්නොහරින තුරු පැවැත්මේ ක‍්‍රියාදාමයට අනුකූලව ඒ ඒ සත්ත්වයන්ගේ ගති ශක්තියට අනුව මේ මනෝ ශක්තිය රූප ඇසුරේ ක‍්‍රියාත්මක වෙමින් විශ්ව ක‍්‍රියා හටගන්වනවා. ‘‘මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා’’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ ඒ සත්‍ය ක‍්‍රමය දේශනා කරල තියෙනවා. ‘‘විශ්වයේ ඇති දෙයක් නැති නොවේ’’ යන සිද්ධාන්තයේ පිහිටන සමහර අය මේ ශක්ති මූලය වන මනෝ ධාතුව වටහාගන්න බැරිව එය ද්‍රව්‍ය සතු යැයි ප‍්‍රකාශ කරනවා. පොදුවේ සත්ත්වයෝ ආකාර, ලිංග… ආදී නාම රූපවලට බැසගත්තේද, මනෝ හෙවත් අවශ්‍ය ගතියට අනුව මැන දීමට මේ මනෝ ශක්තිය නිතර ක‍්‍රියාකාරීව සිටීමෙන්. රූපයෝ ඇද බැඳගෙන මැනීමට ආකාරයක් පහළ කරගෙන රැඳී ඉන්නවා. මේ රූප කලාප යම් ශක්තියක් යොදා බිඳ හැරියේ නම් ඒ රූප පරමානුවලට නිදහස් වී නිදැල්ලේ ඉන්න බෑ. රූප පරමානු එක්කර මැනීමට අවශ්‍ය ද්‍රව්‍යයක් නිපදවීමට ඒ පොදු චිත්ත ශක්තියේ ගතියට අනුව ක‍්‍රියා කළ යුතු නිසා නැවත අය සංඛ්‍යාත වස්තුවක් (එකතු වී, සම්පිණ්ඩනය වී) නිපදවීමට උත්සාහය ඇති කරනවා. පරමානුව බින්ද විට නැවත උත්සාහ කරන්නේ රූප එක් කළ රටාවට යළි එතැන් පටන් රූප හැඩගැස්වන්නයි.

(ඉතිරි කොටස ලබන කලාපයෙන්…)

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණු දහම් කරුණු ඇසුරින් සකස් කළේ :
නීතිඥ චන්දන සිරිවර්ධන

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *