බුදුන් වහන්සේ දේශනා කොට වදාල ආර්ය වූ මෙත්තානුස්සතිය අද වන විට අර්ථ විපරීතයන්ට ලක්වී ඇති හැටි පසුගිය කලාපයෙන් යම් පමණකට සාකච්ඡා කළා. එහිදී ගිහි කල තමාට ජාතව උපන් දරුවා තමා ලඟ දමා, මව ගිය වෙලාවේදීත් ඒ දෙස ඇස ඇරලවත් නොබැලීම ගැන බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේ නමකට ප‍්‍රශංසා කරපු අවස්ථාවක් ගැනත් සඳහන් කළා. (බුද්දක නිකාය – 1, 138 පිටුව – සංග‍්‍රාමජිත් සූත‍්‍රය). ඒ වගේම චුන්ද සූකර නම් ඌරු වැද්දා මරණාසන්න මොහොතේදී ඔසුපත් නිරයේ ගති නිමිති පහළවෙලා කෑගහන මොහොතේදීත්, භික්ෂූන් වහන්සේලා ඔහු ගැන අනුකම්පාවෙන් එම ස්ථානයට වැඩම කර ඔහුට බණ පදයක් දේශණා නොකරන්නේ මන්දැයි බුදුන් වහන්සේගෙන් විමසා සිටි විට උන්වහන්සේ දේශනා කළේ,

චුන්ද සූකර ඌරන් මැරීමේ පාපය හේතුවෙන් ඔසුපත් නිරයට යාමට නියමිත බවත්, මම එතැනට ගිහින් බණ දේශණා කළොත් ඔහු මටත් ධර්මයටත් අපහාස කර ඒ පාපයෙන් ඔසුපත් නරකයටත් වඩා දැඩි වූ අටමහ නරකයට යාමට පාර කපා ගන්නා බවත්

ය. මේ නිසා චුන්ද සූකර කෙරේ ඇති අනුකම්පාවෙන්ම තමයි උන්වහන්සේ එදා එතැනට නොවැඩියේ කියන කාරණය මෙයින් පැහැදිලි වෙනවා. නමුත් මේ වගේ කාරණාවන් අද සමාජයේ සිද්ධ වුනොත් මිනිස්සු මොන තරම් වෙනස් විදියකට ද හිතන්නේ කියා කල්පනා කරල බලන්න. හැබැයි බුදුන් වහන්සේ එදා තුන්කල් නුවණින් යමක් දැක්ක නිසයි ඒ විදියට ප‍්‍රකාශ කළේත්, ක‍්‍රියා කළේත්.

ඒ වගේම එදා බුදු රජාණන් වහන්සේට මස් මාංශ, දානය ලෙස පූජා කරපු අවස්ථාත් උන්වහන්සේ ඒවා වලඳපු අවස්ථාත් පෙළ දහම් පොත්වල කොතෙකුත් සඳහන් වෙනවා. නමුත් එදා උන්වහන්සේ වැලඳුවේ වැටීගිය හෙවත් පාංශුකූල හෙවත් පවත්ත මාංශය මිස අද වගේ අසාධාරණ ලෙස සතුන් කපා කොටා මරා සකස් කරගත් මාංශය නොවන බවත් පැහැදිලිව තේරුම් ගත යුතුයි. මේ කාරණය නොදන්නා ඇතැම් උදවිය

චුන්ද කර්මකාරක පුත‍්‍රයා දී ඇත්තේ හතු වර්ගයක්! මෙත් සිත වඩමින් ලෝක සත්වයාට කරුණාවන්ත වූ බුදුන් වහන්සේ මස් මාංශ අනුභව කළයි කියන එක වෙන්න පුළුවන්ද? අපි නම් මලකුණු කනව තියා කට හරියෙවත් තියන්නෙ නෑ

කියා මේ ආදී වශයෙන් විවිධ මත ප‍්‍රකාශ කරනවා. මස් මාංශ ජරාව කියා පිලිකුල් කර අප‍්‍රිය ගතිය පෙන්වනවා. මතක් කළොත් මුහුණත් ඇද වෙනවා. නමුත් බුදුන් වහන්සේ මස් මාංශ ප‍්‍රනීත ආහාර කොටසට වැටෙන බවත් දේශනා කර සප්ත ප‍්‍රනීතවලට ඇතුලත් කරල තියෙනවා. හැබැයි ඒ කලින් කිව්වා වගේ පවත්ත මාංශය මිස අසාධාරණ ලෙස ගොඩනැගූ මසක් ගැන නෙවෙයි මේ කියන්නේ. අසාධාරණයෙන් ගොඩනැගූ පවත්ත නොවන මස් මාංශයෙන් දන්දීමට හෝ ඒවා වැලඳීමට බුදුන් වහන්සේ කිසිවිටකත් අනුදැන වදාලේ නෑ. මේ නිසා හිතුමතේ අදහස් ප‍්‍රකාශ කරන්න යෑම භයානක බවත් තේරුම් ගන්න.

මව තමාගේ එකම පුතා දිවිමෙන් රැුක ගනිමින් මෙත් වඩන්නා සේ සියලූ සත්වයාට මෙත් වැඩිය යුතු බවට කළ දේශනාව අර්ථ වැටහේ නම් තේරුම් ගන්න පුළුවන්. ඊට පෙර බුදුන් වහන්සේගේ මෙත් සිත කෙබඳුදැයි පැහැදිලි කරගනිමු.

සං:නි(1), 226 පිටුව – මාර ධීතු සූත‍්‍රය –

මම ප‍්‍රිය ස්වරූප ඇති මධුර ස්වරූප ඇති ක්ලේශ සේනාව දිනා හුදකලාව ධ්‍යාන කරමින් අභිමථාර්ථයාගේ පැමිණීම වූද හෘද ශාන්තිය වූද රහත්ඵල සුවය අවබෝධ කළෙමි. එබැවින් මහජනයා සමග මිත‍්‍රත්වය නොකරමි. කිසිවකු හා මාගේ මිත‍්‍රත්වයක් ද නොසැපයේ. මහාවීර වූ තථාගතවරයෝ සද්ධර්මයෙන් සත්වයන් එතර කරත්. නුවණැතියන් ධර්මයෙන් එතර කරන කල්හි කවර ඊර්ෂ්‍යාවක්ද?

මේ තමයි තණ්හා මාරදුවගේ ප‍්‍රශ්ණයට බුදුන් වහන්සේ දුන් පිළිතුර.

සං:නි.(1) 369 පිටුව – සක්ක සූත‍්‍රය – සක්ක යක්‍ෂයා – අනුන්ට අනුශාසනා කෙරෙයි යන යමක් වේද, සියලූ තැන්හි ප‍්‍රහීනවූ කෙලෙස් ගැට ඇති වෙසෙසින් මිදුනාවූ තොපට එය නොමැනවි.

බුදුන් වහන්සේ : එම්භා සක්ක, යම්කිසි කාරණයකින් සංවාස හෙවත් මිත‍්‍ර ධර්මය හටගනීද සුප‍්‍රාඥතෙමේ එයට සිතින් අනුකම්පා කරන්ට නොනිසියි. එහෙත් පහන් සිතින් අනුන්ට අනුශාසනා කරයි යන යමක් වේද එයින් බැඳීමක් නොවේ. එයම අනුකම්පාවයි. එයම කරුණාවයි.

මේ පෙන්වූ පෙල දහම අනුව බුද්ධ ශ‍්‍රී මුඛ දේශනාව ලෙස පෙන්වා ඇති ශාසනයේ අනුකම්පාවද කරුණාවද තේරුම්ගත යුතුයි.

“නිරෝගී වෙත්වා” කියා හිතන පතන විට කය නිරෝගී බවට මොහොතක් හෝ ප‍්‍රතිඥා කිරීම මෝඩ වැඩක් බවත් කළ යුත්ත නම් සිත නිරෝගී කිරීම බවත්, එ් සඳහා පංචස්කන්ධය පිළිබඳව තතු දැන ඇල්ම අත්හල යුතු බවත්, එවිට දුක් දොම්නස් උපායාස ආදී සියල්ල අත්හැරෙන බවත්, සං:නි (3) 3 පිටුවේ එන නකුලපිතු සූත‍්‍රයේ විස්තර කර තියෙනවා. මේ අනුව නිවන් දැකීමෙන් ලැබෙන හිත, පිරිසිදු බව, නිරෝගීකම, නිදුක් බව ලෙස බුද්ධ ශාසනයේ පෙන්වා ඇති අයුරු තේරුම් ගත යුතුයි.

දැන් මේ කරුණු අනුව ඒ ඒ තැන ඇලීම් බැඳීම් ඇතිකර ගනිමින් මිනිසුන් අතර පවතින මිත‍්‍රබව බුද්ධ දේශිත මිත‍්‍රබව නොවන බවත්, නිදුක් වීමට පැතීම මිනිසුන් විසින් දුක යැයි සම්මත කරගත් දුක නැතිව සැප සේ වාසය කරන්නට හිතීමට රුකුල් දෙන අදහසක් නොව සංසාර දුක නැතිවී නිවන් ලැබීමෙන් ලැබෙන නිදුක් බව ලෝකයාට ලැබෙන ලෙස පැතීම බවත්, නිරෝගී වෙත්වා කියන්නේ කොත්තමල්ලි ටිකක්වත් නොබී නිරෝගීව ඉන්න ලැබේවා කියන අදහස නොව, මේ මුළු සංසාරයම රෝගයක් සේ සලකා එ් භව රෝගය සංසිඳුවන නිවන නිරෝගය සේ සලකා එ් පැතුම සැමට ලැබේවා කියා සිතීම බවත් මනා සේ පැහැදිලි වෙනවා.

පෙළ දහමින් තවත් කරුණු දැනගැනීමට අවශ්‍ය නම් ඛු.නි. පටි:මග:ප‍්‍රකරණ 227 පිටුවේ විදර්ශනා කතා නම් කොටස බලන්න. එහි අදහස මෙසේය.

සංස්කාරයෝ දුක් සේ සිතා නිවන නිදුක් සේ සිතා, සියලූ සත්වයන් කෙරෙහි සංසාර දුකින් මිදී නිර්වාණ නිදුක ලැබෙන්නට පැතීම නියම ක‍්‍රමයයි. තමාට සංස්කාර, දුක් සේ වැටහේ නම් එය අනුලෝම ක්‍ෂාන්තිය ලබාදෙන බවත්, නිවන නිදුක් සේ වැටහේනම් එය සම්‍යක්ත්ව නියාමයට පමුණුවන බවත් පැහැදිලිව සඳහන් වෙනවා. නිරෝගය පැතීම නම්, සංසාරය රෝගයක් ලෙසද නිවන නිරෝගයක් ලෙසද අදහස් ගෙන පැතීමයි. සියලූ සත්වයනට සංසාර රෝගයෙන් මිදී නිවන නැමති නිරෝගය වේවායි ආසිරි පැතීමෙන් තමාට සංසාරය රෝගයක් සේ ආදීනව වැටහෙනවා, අනුලෝම ක්‍ෂාන්තිය ලැබෙනවා, නිවන නිරෝගය සේ ආනිසංස වැටහෙනවා, සම්‍යක්ත්ව නියාමයට පත්වීමට හේතු වෙනවා.

සුවපත් බව පැතීම නම්, සංසාරය විපත් සේ දැක නිවන සුවපත් සේ තේරුම් ගෙන පැතීමයි. සුවපත් වෙත්වා කියා ලෝකයාට ආසිරි පතන විට සංසාර විපතින් මිදී නිවන් සුවයෙන් සුවපත් වේවා යන අදහස ඇතිකරගත යුතුයි. සංසාරය විපත් ලෙස දකින විට අනුලෝම ක්‍ෂාන්තිය ලැබෙන බවත්, නිවන සුවපත් සේ දකින විට සම්‍යක්ත්ව නියාමයට පත්වන බවත්, බුදුන් වහන්සේ දේශනාකර තියෙනවා.

මෙසේ විදර්ශනා කතාවන්හි, පංචස්කන්ධයේ ආදීනව හතලිස් අයුරකින් පෙන්වා ආදීනව දැකීම නිසා අනුලෝම ක්‍ෂාන්තිය ලැබෙන බවත්, ඒවායින් මිදීමේ ආනිසංස ලෙස නිවන සිහිකිරීම සම්‍යක්ත්ව නියාමයට හෙවත් මාර්ගඵලයන්ට පමුණුවන බවත්, පෙන්වා තියෙනවා. මෙසේ ආර්ය සාසනයේ මෙත් වැඞීම වටහා ගෙන කටයුතු කළොත් අද පවතින දෘෂ්ඨිය නිසා ලබන්නට බැරිව වැසී ඇති නිවන් මග විවෘත වී උතුම් නිවන් සාක්ෂාත් කිරීමට හැකිවනු ඇත.

මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනු රක්ඛේ

යන්නෙහි නියම සාසනික අර්ථය කුමක්ද කියා දැන් නුවණින් සිතා බලන්න. එය හොඳින් වටහා ගැනීම සඳහා පහත විස්තරයද අධ්‍යයනය කරන්න.

අංගුලිමාල මහ රහතන්වහන්සේ එක් අවස්ථාවක පිණ්ඩපාත වඩින වෙලාවක දරුවෙක් බිහි කිරීමට අමාරු වූ එක් ගැබිනි කාන්තාවක් වේදනාවෙන් කෑගසන අයුරු අසා බුදුන් වහන්සේ ළඟට ගොස් ඒ ගැබිනියගේ අඳෝනාව සංවේග දනවන සුළුබව කියා සිටියා. එවිට බුදුන්වහන්සේ, ඔබ ගොස් මෙසේ සෙත් කරන්නැයි පිරිතක් දේශනා කළා.

උපන් දා පටන් මම සත්ව හිංසාවක් නොකළෙමි. ප‍්‍රාණඝාතයක් නොකළෙමි. ඒ සත්‍ය බලයෙන් ගැබට සෙත් වේවා, දරුවාට සෙත් වේවා

යන්න ඒ පිරිතයි. එවිට අංගුලිමාල තෙරුවන් වහන්සේ පුදුමයට පත්ව

ස්වාමිණී මිනිසුන් 999 ක් මරා මවද මරන්නට තැත් කළ මා කෙසේ නම් එසේ කියා සෙත් කරන්නදැයි

ඇසුවා. එවිට බුදුන් වහන්සේ, ඒ ඔබේ ගිහිකළ කතාවක් බවත්, දැන් ඔබ ඉපිද ඇත්තේ ආර්ය ජාතියෙහි ආර්ය විනයෙහි බවත්, එතැන් සිට ඔබ එබඳු සත්ව හිංසාවක් හෝ ප‍්‍රාණඝාතයක් හෝ නොකළ බවත් දේශනා කළා.

භික්ෂු, භික්‍ෂුණි, උපාසක, උපාසිකා යන සිව් පිරිස ආර්ය ජාතියෙහි ආර්ය විනයෙහි උපන් පිරිසකි. මේ මෙත් කර්මස්ථානය ආර්ය ජාතියෙහි ආර්ය විනයෙහි උපන් සිව් පිරිසට ලැබුණු ධර්ම දායාදයකි. මේ සිව් පිරිසට මවත්, පියාත්, සාස්තෘවරයාත්, රජ්ජුරුවොත් බුදුරජාණන් වහන්සේමය. අමා මෑණියන් වහන්සේ, බුදු පියාණන් වහන්සේ, සාස්තෘන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ යනුවෙන් බොදුනුවන් උන්වහන්සේට ආමන්ත‍්‍රණය කරන්නේ ඒ නිසයි. මෙය නීතාර්ථ, නෙයියාර්ථ යන සූත‍්‍ර දේශනා ක‍්‍රමය අනුව තෝරාගත යුතුයි. (නීතාර්ථ යනු එළිපිටට පේන්න තිබෙන අදහසයි. නෙයියාර්ථ යනු සැඟවුණු අදහසයි. උදා: “ගමන අවසන් කරන කල් නවතින්න එපා.” කියා කිව්වොත් එහි නීතාර්ථය නම් යම් ලෝක සම්මත ස්ථානයක සිට තවත් ස්ථානයකට යන අතරතුර නොනැවතී යන්න කියන එකයි. නමුත් මෙහි නෙයියාර්ථය නම් සංසාර ගමන අවසන් කරන කල් නවතින්න එපා කියන එකයි.)

රහත්ඵලය ලැබූ උතුමන්ට, බුදුරජාණන් වහන්සේ ආමන්ත‍්‍රණය කරන්නේ “මාගේ පුත‍්‍රයා” යන ප‍්‍රිය වදනින් ය. සම්මත සංඝත්වයේදී පූර්ණ වූ නොකඩ වූ රහතන් වහන්සේට අනුකූල පිළිවෙත් ඇති උතුමන්ද පුත‍්‍ර නාමය ලබන්නට සුදුස්සෝය. ශෛක්‍ෂ ගුණ ඇති අය (සෝවාන්, සකෘදාගාමී, අනාගාමී) දරුවන් නමින් හඳුන්වනවා. ඒ බොදුනු දරුවෝයි. බුදුන් වහන්සේ යමෙකුගේ මාර්ග පිළිවෙත කෙරෙහි සෑහීමකට තෘප්තියකට පත්වන්නේ රහත්ඵලය අවබෝධ කළ විටයි. එතෙක් අවවාද අනුශාසනා කරනවා, වරද දුටුතැන පෙන්වා දෙනවා. දහම් කිරි දෙමින් පෝෂණය කරනවා. බුදු මෑණියන්ගේ එකම පුතා සංඝ නම් වෙනවා. සංඝත්වයේ දී භේද නෑ. ඒකීයයි. ගංගා හතරක ජලය මුහුදට එක් වූ විට එහි ආකාරයන් හැර දමා එකම මුහුදු ජලය වන්නා සේ රහත් ඵලය ලබා සංඝත්වය පූර්ණ කළ විට “පුත‍්‍රයෝ” කියා කියන්න බෑ. ඒකීය වූ නිසා “මාගේ පුත‍්‍රයා” නමින් හඳුන්වනවා. අමා මෑණියන් වහන්සේ තම දිවි මෙන් මේ එකම පුතා හෙවත් සංඝත්වය කරා පිහිටුවීමට යම් ක‍්‍රියා මාර්ගයක් අනුගමනය කරන්නේද, ඒ පුත‍්‍රභාවය සැනසුමයි දැන ඒ සඳහා ලෝ සතුන් පෝෂණය කරන්නේද, ඒ ආකාරයෙන් යමෙක් උත්සාහ කරත්නම් ඒ බ‍්‍රහ්ම විහරනයයි. තව ලෙසකින් කියනවානම් තථාගත විහරනයයි. තවත් ලෙසකින් කියනවානම් අරිය විහරනයයි. හෙවත් ආනාපානා සති විහරනයයි. මේ විහරනය යමෙක් අනුගමනය කරත්නම් තමාද නිවන් දකී, ලෝකයාටද නිවනට හේතු වේ. (අං:නි:5, 61 පිටුව, සීහ සේනාධිපති සූත‍්‍රය – සීහය, මම වනාහි චාතූර් මාර්ග ඵල සංඛ්‍යාත උත්තම ආශ්වාසයෙන් ආශ්වාශක වූයේ, එම ආශ්වාසය පිණිස දහම් දෙසමි. එයින් සව්වනුදු හික්මවමි.)

මීලඟට සම මෙත කියන්නේ මොකක්ද කියා විමසා බැලිය යුතුයි. බුදුරජාණන් වහන්සේ දුප්පත්, පොහොසත්, ලොකු, කුඩා, නුවණ ඇති, නුවණ නැති, මිනිස්, තිරිසන් … ආදී ලෙස භේදයක් නැතිව කාටත් සමානව මෙත් පතුරුවතියි යනු අද ඇති මතයකි. මෙය සත්‍ය ද නැතිනම් දෘෂ්ඨියක් ද? පෙළ දහමේ එන දේශනාවලින් මෙය වටහාගන්න පුළුවන්.

සං:නි:(4), 571 පිටුව, ඛෙත්තූපම සූත‍්‍රය මෙම සූත‍්‍රයේ කෙටි අදහස මෙසේය.
එක් අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ නාලන්දාව සමීපයෙහි පාවාරික අඹ වනයෙහි වැඩ වසන කලක නිඝන්ඨනාථපුත්තගේ සව්වෙකු වන අසිබන්දකපුත්තගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසව හිඳ මෙසේ ඇසීය.

භාග්‍යවතුන් වහන්සේ සියලූ සතුන් කෙරෙහි හිතානුකම්පාව ඇතිව වාසය කරන්නේ නොවේද?

ගාමිණිය එසේ යැයි උන්වහන්සේ පිළිතුරු දුනි. එවිට අසිබන්දකපුත්තගාමිණී අසනවා

එසේනම් භාග්‍යවතුන් වහන්සේ කුමක් හෙයින් ඇතමුන්ට සකසා දහම් දෙසන සේක් ද? ඇතමුන්ට සකසා දහම් නොදෙසන සේක් ද

කියා. එවිට බුදුන්වහන්සේ

එසේ වීනම් තොප පුළුවුස්නෙමි, තොපට වැටහේනම් එසේ විසඳන්න.

යනුවෙන් පහත ආකාරයට දේශනා කළා.

ගොවියෙකුට කුඹුරු තුනක් ඇතැයි සිතන්න. ඉන් එක් කුඹුරක් ඉතා සරුවට වැඬේ. වල්පැළද හට නොගනී. වපුරන බීජ සරු සාර අස්වැන්නක් ලබා දේ. දෙවැනි කුඹුරද සරුවට වැඬේ. නමුත් වල්පැළ සඳහා සාත්තු නොකලොත් වල්පැල වැඬේ. අස්වැන්න බාලවේ. තුන්වෙනි කුඹුර නිසරුය. සාත්තු කරමින් මහන්සි වුවහොත් සුළු අස්වැන්නක් ලැබේ.

මානවකය, ඉඳින් දක්‍ෂ ගොවියා පළමුව වැඩ කරන්නේ කුමන කුඹුරද? ස්වාමීනී පළමුව සඳහන් කළ වල්පැල නොවැඩෙන සරුසාර අස්වැන්නක් ලබා දෙන කුඹුරයි යනුවෙන් ඔහු උත්තර දුන්නා. මානවකය, ඉන්පසු දෙවනුව වගා කරන්නේ කුමන කුඹුරද? ස්වාමීනී, වල්පැල මර්ධනය කොට අස්වැන්න ගත හැකි දෙවන කුඹුරයි යන්න පිළිතුර වුනා. මානවකය, තවත් කාලවේලා ඇත්නම් වැඩ කරන්නේ කීවෙනි කුඹුරද? ස්වාමීනී, නිසරු වූ එහෙත් බොහෝ මහන්සි වී සාත්තු කර සුළු අස්වැන්නක් ගත හැකි තුන්වන කුඹුරයි.

මානවකය, දක්‍ෂ ගොවියා එසේ කරන්නේ කුඹුරු සමග අමනාපයකටද? නැත ස්වාමීනී, එබඳු අමනාපයක් කුඹුරු සමඟ ගොවියාට නැත. මානවකය, ගොවියා මේ කුඹුරු තුනම සමානව වැපුරුවොත් සාත්තු කළොත් එය සමද විසමද? ස්වාමිනී විසමයි. දක්‍ෂ ගොවියා විසම වැඩ නොකරයි.

මානවකය, මමද, ඒ ගොවියා මෙනි. මා හටද කුඹුරු තුනක් ඇත. මාගේ සරුසාරවූ වල්පැල නොවැඩෙන උසස් අස්වැන්න ලැබෙන කුඹුර නම් මේ භික්‍ෂු භික්‍ෂුණී දෙපිරිසයි. මාගේ දෙවැනි කුඹුර නම් උපාසක උපාසිකාවෝ යි. දුසිරිත්වලට ප‍්‍රතිකර්ම කරමින් දහම් බීජ වපුරා පෝෂණය කළ විට මගඵල අස්වැන්න ලබයි. මාගේ තුන්වැනි කුඹුර නම් අන්‍ය වූ පරිබ‍්‍රාජක පිරිස්ය. දුසිරිත් වැලැක්වීමට ලැබුණු විටක උපදෙස් දෙමින් දහම් බීජ වපුරා පෝෂණය කරමි. එයින් ඉතා සුළු අස්වැන්නක් ලැබේ.

මේ තුන් පිරිස් සමඟ මාගේ අමනාපයක් ද නැත. ඉදින් මම මේ තුන් පිරිසට සමව දේශණා කළොත්, දහම් පෝෂණය කළොත්, ඒ මග සමද විසමද? ස්වාමීනී එසේ සමව දේශණා කළොත්, දහම් පෝෂණය කළොත් විසම වේමය. සම නොවේ.

එහිදී උන්වහන්සේ තවත් උපමාවක් පෙන්නුවා.

ගාමිණී, යම් සේ පුරුෂයෙකුට දිය බඳුන් තුනක් වේ යැයි සිතන්න. එක් දිය බඳුනක් සිදුරු රහිතය, දිය නොවැගිරෙන්නේය, නොසිඳෙන්නේය. තවත් බඳුනක් සිදුරු රහිතය, දිය වෑස්සෙන්නේය. අනෙක් බඳුන සිදුරු සහිතය, දිය වෑස්සෙන්නේය, සිඳෙන්නේය. ඉතින් ඒ පුරුෂ තෙමේ දිය බහාලනු කැමැත්තේ, දිය බහාලන්නේ නම්, පළමුව බහාලන්නේ කුමන බඳුනේද? ස්වාමීනී, පළමුවෙනි බඳුනේය. තවත් අවශ්‍යනම් කුමන බඳුනේද? ස්වාමීනී, දෙවන බඳුනේය. තවත් දිය ඉතිරි නම් කුමන බඳුනේද? ස්වාමීනී, තුන්වන බඳුනේ හැකි පැත්තකය, යටත් පිරිසෙයින් යමක් සෝදා ගන්නවත් හැකි වෙතැයි කියාය. ගාමිණිය, ඒ මිනිසා බඳුන් සමග අමනාපද? නැත ස්වාමීනී. ගාමිණිය, සියල්ලටම සමානව දිය දැම්මොත් සමද විසමද? විසමයි ස්වාමීනී.

මෙසේ බුදුපියාණන් වහන්සේ ඔහු දැනුවත් කළ පසු

ස්වාමීණී, අද පටන් මා තෙරුවන් සරණ ගිය උපාසකයකු සේ දරාගන්නා සේක්වැයි

කියා ඒ මානවකයා බෞද්ධයෙක් විය.

බුදුන් වහන්සේගේ සම මෙත කුමක්ද යන්න මේ බුද්ධ දේශණාවෙන්ම දැන් තේරුම් ගන්න පුළුවන්. දහම් වටහා ගන්න බැරි මිනිසුන්ට හා තිරිසන් ආදී සතුන්ට පැතිර වූ සම මෙතක් කොයින්ද? උන්වහන්සේට කිසිවකු සමග අන්‍යාගමිකයන්ගේ මෙන් මිත‍්‍ර බවක් ද තිබුනෙ නෑ. මිත‍්‍ර බව නම්, ධර්ම දේශනාවෙන් සසුන් මගදිය හැකි අයට දෙමින් කරන නියම සාසනික සේවයයි. උන්වහන්සේගේ සත්ව කරුණාව පෙන්වීමට යයි උදාහරණ ලෙස පෙන්වන, ගැර`ඩියකුට හිංසා කළ ළමයින්ට අවවාද දීම පිළිබඳ කතා පුවතක් ඇතැම් පොත්වල සඳහන් වෙනවා. මෙය කුමක්ද?

ඉහත කරුණු අනුව බලන විට බුදුන්වහන්සේ කරුණාව දක්වා ඇත්තේ ගැරඬියාට නොව ළමයින්ට ය. ළමයින්ට දහම් දෙසා සුචරිතයට පත්කළ බවයි එයින් පේන්නේ. ගැරඬියා යන්න ගියා මිසක් ඌට දහම් දැනගන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. සසරගති අනුව හෝ තිරිසන්ව ඉපදුනත් පැහැදුම් මාත‍්‍රයක්  ලබන්න හැකිනම් උන්වහන්සේ ඒ සඳහා පසුබට නොවී තිරිසනාගේ නමුත් අභිවෘද්ධියට කටයුතු කළ අවස්ථාවන් තියෙනවා. පාරිලෙයිය වනයේදී පළතුරු පිළිගැන්වූ ඇතා සහ දඬුවැල් බෑ මී වදයක් පිළිගැන් වූ වඳුරාද එසේ උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා සුගතිගාමී වූ සතුන්ය.

ඉහත කරුණු සලකා බලන විට වේළුවනාරාමය පිටුපස ඌරන් මරා මස් විකුණමින් ජීවත් වූ චුන්ද සූකරට බණ නොදෙසු හැටිත්, ඌරන්ගේ මරණයන් වැලැක්වීමට පියවර නොගත් හැටිත් හේතු සහිතව පෙන්වන්න පුළුවන්. සතුන් ගෙන යන්නේ උන් පෙර කළ පාප කර්මවලට විපාකයන් ය. උන් පෙර කළ පව් විඳිනවාට බුදුන් වහන්සේ හෝ ශ‍්‍රාවකයන් වහන්සේලා කුමක් කරන්නද? කිසිවෙකු සමගවත් ඇලීම් බැඳීම් ඇති කරන්නට හේතුවන හිතමිතුරුකම් නොපැවැත්වු උන්වහන්සේ, නිවන් සුව ලබන්න සුදුසු අයටත්, යම් ගුණයකට පැමිණෙන්නට හැකි අයටත් ධර්ම දේශණා කරමින්, මග පිලිපැදීමට අකමැති ලෝ සතුන් කෙරෙහි කළ හැක්කක් නැති බවත්, කළ පව් ගෙවමින් සසර කතරේ යන අනාථයන්ගේ පාප විපාක වලක්වන්නට උත්සාහ කළාට ප‍්‍රතිඵලයක් ලෙස සසරින් මිදීමක් නොවන බවත් දැනගෙන ඒ සතුන් කෙරෙහි උපේක්‍ෂාවට පත්ව නිහඬ වෙමින් තම ශ‍්‍රාවකයන්ටද දේශණා කළේ උන්වහන්සේ අනුගමනය කර නිවන් අවබෝධ කර ගන්නයි.

“තුම්හේහි කිච්චං ආතප්පං – අක්ඛාථාරෝ තථාගතා” – තථාගතයන් වහන්සේ මාර්ගය කියා දෙනවා හැර වෙන කුමක් කරන්නද?

(ඉතිරි කොටස මීලඟ කලාපයෙන්….)

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණු දහම් කරුණු ඇසුරින් සකස් කළේ,

නීතිඥ චන්දන සිරිවර්ධන