දේව පූජාවක සැඟවුණු හාස්කම් දෙවියන් ද සමගින් ඇස් දෙකින්ම බලාගත් හැටි

පසුගිය කලාපයෙන් – භෞතිකව සාදා ගත් අඳුන තුළින් මතු වූ අදහාගත නොහැකි අද්භූත ලෝකයක් ! එතැන් සිට…

මට මතක හැටියට මේ සිදුවීම සිද්ධ වුනේ 1984 වසරේදී පමණය. ඉඳුරාන කියන්නේ අපේ ගමට අසල්වැසි ගමක්. වික‍්‍රම අයියා ඒ ගමේ හිටපු මා දන්නා හඳුනන කෙනෙක්. දිනක් කුමක් හෝ අවශ්‍යතාවයකට මම ඒ ගමට ගියා. එහිදී වික‍්‍රම අයියා අතරමගදී හමුවෙලා ආපසු එන විට, මල්ලියේ අපේ ගෙවල් පැත්තෙන්ම යමුයි ඔහු යෝජනා කළා. මමත් ඊට එකඟ වෙලා වික‍්‍රම අයියාගේ ගෙදරට ගොඩ වැදුනා. අවට දර්ශනය අඳුරු සේයාවක් සේ වැටහුන අතර පාළුවට අඳුරට ගිය කුඩා පැලක් වැනි තැනක් මිදුලේ පසෙක තිබුණා. එහි බිත්තිවල හුඹස් ද බැඳ තිබුණා. එතන තියෙන්නේ කුමක්දැයි ඇසූ විට, පරන දේවාල ස්තෝත‍්‍ර (ඉෂ්ට වූ උත්තර – යම් කිසි දෙයක් ඉෂ්ට කරගැනීමට උත්තර බඳිනවා, දෙවියන්ට ස්තෝත‍්‍ර කරනවා) කළ තැනක් බවත්, ඒවා වැඩක් නැති නිසා අතහැර දමා මේ විදිහට පාළුවට ගොස් ඇති බවත් ඔහු මා සමග පැවසුවා. නමුත් ඒ දෙස බලන මා හට පෙනී ගියේ අඳුරු වලාපටල වැනි කළු කිරණ ධාරාවකින් එම ස්ථානය වැසී හිරවී තියෙන බවයි. ගුප්ත ශාස්ත‍්‍රවල මේවාට කියන්නේ අඳුරු බන්ධන කියලයි. පෙර, ඒ දේවාලයේ කපු මහතා වුනේ වික‍්‍රම අයියා. යම් ඥාති බැල්මකින් එතන කටයුතු කරන්න පටන් ගත්තත්, ඒ සියල්ලම අසාර්ථක වෙලා ගුප්ත බල අක‍්‍රීයව ගිය ලෙසට පෙනී ගිය නිසා ඒ පිළිබඳව මම ඔහුට පැවසුවා. ලොකු උවමනාවකින් එය ඇසූ ඔහු මගේ සම්බන්ධය ද ආධාර කරගෙන යම් ශාන්තිකර්ම කිහිපයක් කළ විට ඒ සියලූ බාධක දුරුවෙලා ගුප්ත බලයත් ක‍්‍රියාත්මක වෙන්න පටන් ගත්තා.

ඉන්පසු සුළු ශාන්ති කටයුත්තක් කරන විටත් මා කැටුව යාමට ඔහු අමතක කළේ නෑ. එක් දිනක් පිළිකාවක් හැදිච්ච පුද්ගලයෙක් සූනියම් දෙවියන්ට යැයි පූජා වට්ටියක් සාදා පූජා කර ආශිර්වාදයක් කරගන්න කටයුතු සකස් කරගෙන තිබුණා. මේ පූජා වට්ටිය දෙවියන් විසින් පිළිගෙන ආශිර්වාද කරන හැටි දැනගන්න ඔහු මාත් කැටුව එම ස්ථානයට ගියා. පූජා වට්ටිය ආසනය මත තබා කපු මහතා (වික‍්‍රම අයියා) දේව කන්නලව්වක්, යාතිකාවක් කරන විට සිදුවන දේ මමත් බලාගෙන සිටියා. කිසිම දෙවි කෙනෙක් ආවෙ නෑ. තනි කළු නිරුවත් සිරුරකින් යුත් අමනුෂ්‍යයෙක් (මිනිහෙක් වගේම) අහසින් ඇවිත් පිටුපස හැරී පූජා වට්ටිය දෙපස කකුල් දෙක තබා ඉඳගෙන, මළපහ කරන ලෙසම ලොකු වසුරු පිඬක් හෙලා යන්න ගියා. කපු මහතා මගෙන්, “මල්ලියෙ කොහොමද දෙවියො පිළිගත්තද?” කියල ඇහුවා. ඒ අතර ආතුරයා පැත්තකට වෙලා වැඳගෙන හිටියා. දැකපු දර්ශනය කොහොම කියන්නද? දෙවියන් තවම පිළිගත්තෙ නැතැයි මම ඔහුට කී විට, ඔහු නැවත යාතිකාව කරන්න සැරසුනා. මම ඔහුට මෙහෙම කිව්වා. “අද මොකක් හෝ නුසුදුසු බවක් පේනවා. පස්සෙ දවසක පූජාවක් තියමු.” මෙහෙම කියලා ආතුරයාගේ සිතත් සනසලා පිටත් කළා. සිදුවූ සිද්ධිය දෙවියන් බුදුන් සාක්ෂි කර දැක්ක විදිහටම ඔහුට කිව්වා. ඉන්පසු එම පූජාව පොළවට යට කරල දැම්මා. මෙය සමහරවිට එම රෝගී පුද්ගලයාගේ කර්ම බලවේගයක බලවත් බවක් හෝ දේවාල භූමියේ අඳුරු බන්ධනයක් නිසා හෝ විය හැකි යැයි මම අදහස් කළා.

තවත් දිනක කපු මහතාගේ රබර් වගාවකට රජයෙන් දෙන ආධාර ප‍්‍රමාද වීමක් නිසා එය ඉක්මන් කරගන්න බලාපොරොත්තුවෙන් බාරයක් වී තිබුණා. එයින් සති දෙකක් ඇතුලත ඔහුට මුදල් ලැබී තිබුණා. මේ සඳහා වෙච්ච බාරය ඔප්පු කරන්න පූජා වට්ටියක් සාදා එයද බාරගන්නා හැටි බලාගැනීමට ඔහු මාත් සමග දේවාල භූමියට ගියා. පූජාව තියලා දෙවියන්ට ආරාධනා කිරීම ඇරඹුනා. ආරිය ඇඳුමක් ඇඳගත් ගුරුවරයෙක් වැනි කෙනෙක් ආකාසයෙන් පැමිණියා. ඔහුගේ අතේ රියනක පමණ දිග, ඇඟිල්ලක් තරම් මහත වේවැල් කැබැල්ලක් තිබුණා. මුහුණේ කිසිම හිනාවක් නෑ. වැඩක් වරද්දපු විට ස්වාමියෙකුට තරහ ආපු විලාසයක් තමයි ඔහුගේ මුහුණින් දිස්වුණේ. හැඟීම් දැනවෙන ක‍්‍රමවේදයකින්, කියන හඟවන දේ දැන් ඉතා හොඳට මට වැටහෙනවා. (ටෙලිපති ක‍්‍රමයයි කියන ස්වභාවයක් මෙන්) භෞතිකව සෑදූ පූජා වට්ටිය තිබෙන ලෙසටම පේනවා. නමුත් අර තැනැත්තා ඒ වේවැල් කැබැල්ලෙන් පළතුරු එකින් එක වෙන් කරමින්, “මේවද පළතුරු?” කියන ස්වභාවයෙන් ඒවා පැත්තෙන් පැත්තට අයින් කළා. එහි තිබුණේ නම්නම් ගැට දෙකක් පලාගත් කැබලිත්, ලොවි ගැට කිහිපයකුත්, කැවිලි වෙනුවට ඉතා කුඩා බිස්කට් වර්ග කිහිපයකුත්, බුලත් ටිකක් සහ පඬුරු කිහිපයකුත් පමණයි.

ඒ තැනැත්තා තැඹිලි ගෙඩියක් මවා පෙන්වා “කෝ තැඹිලි ගෙඩිය?” කියා අදහස් වැටහෙන සේ ඇසුවා. මම සිදු වූ දෙය කපු මහතාට කිව්වා. එවිට කපු මහතා මෙහෙම කිව්වා. “දෙවියන්ට සමාවෙන්න කියන්න. තැඹිලි ගෙඩිය දැන් කපා තබන්න අවසර දෙන්න කියන්න” කපු මහතාගේ කටින් මේ වචන පිටවුනා පමණයි, කෝපය තද වූ ස්වභාවයක් පෙන්වා පූජා වට්ටියට වේවැලෙන් ඇන, මේ මොනවද? මේවද පූජා? කියා, අර බලන්න යැයි එම ස්ථානයේ තිබිච්ච රබර් වත්ත දෙසට අත දිගු කළා. (මේ කියන්නේ ගුප්ත ලොවක් ඇහැට පේන සත්‍ය අත්දැකීම්.) රබර් වත්තේ දහස් ගණනක් විශාල පිරිසක්. සමහරු සරම් වැනි යට ඇඳුම් දණහිස ගාවට දිගට ඇඳගෙන හිටියා. සමහරුන්ගේ හිසේ ජටා බැඳ තිබුණා. තවත් සමහර අය අමුඩ ලේන්සු කරේ දමාගෙන. හරියට සටනකට අරඅදින ගමේ ගොඬේ ගණන් කාරයන් වගේ පිරිසක්, පෙලපාලියක කෑ ගසනවා මෙන් අත පය ඔසවමින්,  ඕව අපට එපා…. අපට හොඳ පූජාවක්  ඕන…. යැයි කියමින් මහා විප්ලවීය හඬක් නගන ආකාරය මම දැක්කා. නමුත් මේ කිසිවක් නොපෙනෙන කපු මහතා, දෙවියන්ට, අනුකම්පාවෙන් පූජාව භාරගන්න කියන්නැයි මා හට යලිත් පැවසුවා. එවිට ඒ සේනාව අතර හිටපු දෙන්නෙකුගෙන් එක්කෙනෙක් මිට දිග කැත්තක්ද, අනෙකා උදැල්ලක්ද අරගෙන එතැනට බොහොම සැරෙන් ඇවිත්, මේක දුන්නොත් පූජා වට්ටිය හතට පලනවයි කියා පලා පෙන්නුවා. අනෙක් කෙනා වත්තේ වලක් කපා පූජා වට්ටිය එහි දමා පස්වලින් වසා වලලන ආකාරයත් පෙන්නුවා.

සුදු ඇඳුමින් සැරසී වේවැල අතේ තියාගෙන හිටියේ සූනියම් දේවතාවා බව මට හැඟුණා. ඔහු යම් වචනයක් කියා, මා කියන ලෙස පූජාවක් දින 21 ක් ඇතුලත දෙන්න පුළුවන් දැයි කපු මහතාගෙන් අසන ලෙස මට දැනුම් දුන්නා. එය මම කපු මහතාගෙන් ඇසූ විට, ඔහු ඊට එකඟ වෙලා පොරොන්දු වුණා. කොලයක් සහ පැන්සලක් රැුගෙන එන්න අණ කළ නිසා කපු මහතා ඉක්මනින් කොපි පොතක් සහ පෑනක් රැුගෙන ආවා. පිටු දෙකක කොලයක් පෙරලාගෙන උඩ සිට පහළට ඉරි ගසා කොටස් තුනක් වෙන් කරන්නැයි පැවසුවා.

මහා දේව / සූනියන්  / කාලි

පළවන තීරුවේ උඩින් මහා දේව මණ්ඩලයට කියා ලියන්නත්, දෙවන තීරුව සූනියන් දේවතාවාට කියාත්, ඊළඟ තීරුව කාලි මෑණියන්ට කියාත් ලියන්න කියා දුන්නා. මීළඟට මහා දේව මණ්ඩලයට කෝලිකුට්ටු ඇවරියයි, සූනියම් දෙවියන්ට ආනමාළු ඇවරියයි, කාලි මෑණියන්ට රත් කෙසෙල් ඇවරියයි ලෙසත් (ඒ ඒ දෙවියන්ගේ ප‍්‍රභලත්වය අනුවයි මෙසේ කෙසෙල් වර්ග වෙනස් වෙන්නේ), ඊට අමතරව අඹ, අන්නාසි, දිවුල්, බෙලි, ඇපල්, මිදි… ආදී වටිනා පිරිසිදු පළතුරු පහක් සහ මිරිකා පිරිසිදුව පෙරා ගත් පලතුරු ඉස්ම භාජන පහක් ද තබන්න කියා දුන්නා. මුංඇට තම්බා සිහිනියට ගා ගත් පොල් සමග තවත් අවශ්‍ය කැවිලි වර්ග පහක් තබා තැඹිලි ගෙඩියක් බැගින් තබා, බුලත් 21 ක්, පඬුරු 21 ක් සහිතව තබන ලෙසත්, නාගවල්ලි කියන කොලය මුල සුදු පාට බුලත්ද, නැත්නම් කපුරු කැබැල්ලකින් කොලය මුල පුච්චා ගත් බුලත් ද තබන ලෙසත් දැන්නුවා. මේවාට අමතරව නාරම් බික් නැමති ලොසින්ජර මිටක් පමණ තබන්නටත් දේවතාවා දන්වා සිටි විට එකී පිරිස අතුරුදන් වුණා. කැත්ත සහ උදැල්ල ඔසවාගත් දෙන්නා එතැනම නැවතුනා. එම ස්ථානයට මම හිතින් යොමුකර බැලූවත් ඒ දෙන්නා නිතරම මෙහෙම කියනවා දැනුනා. එක්කෙනෙක් “පූජාව වැරැුද්දුවොත් හතට පලනවා.” යනුවෙන්ද අනෙකා “වත්තෙ වලක් කපා වලලා පස්දමා තලමින්, කරන හැටිද පෙන්වමින් කරන්නේ මේකයි” කියාද හැෙඟව්වා.

කොහොම හරි දින 14 ක් ඇතුලත ඉහත කී පූජාව තබන්න දිනයක් ද වෙන් කරගෙන කටයුතු සකස් කළා. මේ පුදුම සහගත දර්ශන පෙළ හිතට මෙන්ම පියවි ඇසටත් පෙනුන අතර, මා හට කිසිම අවසිහියක් හෝ චකිතයක් ද තිබුණෙ නෑ. තවද මූලික දේවතාවෙක් යැයි සිතිය හැකි කෙනෙකුගේ හඬකින් මෙදිනම අසාධ්‍ය රෝග සුව කිරීමක් ද කරන බවත්, සමේ කොරපොතු වැනි රෝගයකින් පෙළෙන විලියම් නමැති මගේ හිතවතෙක් සිටින නිසා ඔහුව සුව කරන්න එදිනට එක්කන් එන ලෙසත් දැනුම් දුන්නා. මා සේවය කළ පූගොඩ පෙහෙ කම්හලේම සේවක මහතෙක් වූ මේ විලියම් කියන අයගේ ගම වුනේ මීතිරිගලයි.

දැන් සියලූ කටයුතු කියපු විදිහටම සූදානම් කළා. පපු මට්ටමින් මැහි සාදා හිස් වැසුම්, මුව වැසුම් සහිතව සෑම පලතුරක්ම සෝදා පිරිසිදු කර, කියපු ලෙසටම කපා, කපුරු දුම් අල්ලා පූජා වට්ටි තුනේ තැන්පත් කළ යුතුයි. පූජාව සකස් කරන කොට, අර කැත්ත උස්සාගෙන හිටපු පුද්ගලයාත් එතැන හිටියා. සියල්ල සාදා ඉවර වෙනකොට හවස 6.30 ට පමණ ඇති. අහසත් අමුතුම ආලෝකයකින් වර්ණ ගැන්විලා තිබුණා. ඉහළ අහසේ නැගෙනහිර දෙසට වෙන්න දේදුන්නක් ද පායා තිබුණා. නමුත් ඒක අමුතුම දේදුන්නක්. විශාල අකුරුවලින් “චිත්ත කිරණ මගින් රෝග සුව කිරීමේ මධ්‍යස්ථානය” යනුවෙන් මහා දැන්වීම් පුවරුවක් එහි තිබුණා.

දැන් දිව්‍යමය සේවක පිරිසක් ලහි ලහියේ තම කටයුතු සම්පාදනය කරනවා. කපු මහතා පූජාව ගෙන, තමන්ට (දෙවියන්ට) තබන විට යාතිකා අවශ්‍ය නැති බවත්, මහා දේව මණ්ඩලයටයි කියා තබන ලෙසත් ඉහළින් උපදෙස් ලැබුණා. දෙවැනි පූජාව සූනියන් දේවතාවටයි කියාත්, තුන්වැනි පූජාව කාලි මෑණියන්ටයි කියාත් තබන ලෙස උපදෙස් ලැබුණා. මේ විදිහට සකස් කර පූජාව තැබුවා පමණයි, කැත්ත සහ උදැල්ල ඔසවාගෙන හිටපු දෙන්නා සතුටු සිනාවකින් මුව සරසා ගත්තා. ඒත් සමගම උදළු තලය හා කැති තලය ගැලවිලා පහතට ඇවිත් ඒවා සුදු කොඩි බවට පත්වුනා. ඒ අය මිටෙන් අල්ලා ඒ මේ අත සතුටින් වනමින් පූජාවට ප‍්‍රසංසා කළා.

ගුරුවරයෙක් වැනි ආරිය සිංහල ඇඳුමින් සැරසිච්ච දේවතාවත් එතැනට ආවා. ඔහුගේ මුහුණේ ඉතා පැහැපත් සිනාවක්. දත් පෙළ මුතුකැට වගෙයි, හිදැස් ඇදකුදු කිසිවක් නෑ, තනි සුදුයි. මේ පූජාව දෙන හැටි බලාගන්නැයි ඔහු මට පැවසුවා. එතුමා, අපි පූජාව තැබූ භෞතික පූජා වට්ටියෙන් මනෝමය වට්ටියක් (එබඳුම මැවුණු වට්ටියක්) අතට අරගෙන, ඔන්න බලාගන්න කියා හඟවා පෙර කියපු විශාල පිරිස සිටි රබර් වත්ත දෙසට යැව්වා. ඒත් සමගම වට්ටි වර්ෂාවක් ලෙස මැවී, දස දහස් ගණන් පමණ සිටි පිරිස අත එක් එක් කෙනාට එක එක වට්ටිය බැගින් පිහිටියා. ඉන්පසු ඒ දේවතාවා කෙසෙල් ඇවරිය ගත්තා. පෙර ලෙසම බලාගන්නැයි පවසා අර විශාල පිරිස දෙසට ඒකත් යැව්වා. කෙසෙල් ඇවරි වර්ෂාවක් වගේ මැවී ගිහින් සෑම වට්ටියකම එක එක කෙසෙල් ඇවරිය බැගින් පිහිටියා. අනිත් පලතුරු සහ කැවිලිත් එසේම යැව්වා. මහා පිරිස සතුටින් ඔල්වරසන් දුන්නා.

දේවතාවාට පිටුපසින් ඈත අහස් පෙදෙසේ ලස්සන උයන් වත්තක, අවුරුදු 16 ක පමණ සුදු ඇඳගත් පාසල් ළමුන් වැනි පිරිසක් ගස්වලට මුවා වෙලා මේ සිද්ධිය බලාගෙන සිටියා. ඒ අයට අර නාරන් බික් නමැති ලොසින්ජර පාර්සලය යැව්වා. ඒවාත් සෑම කෙනෙකුටම ඒ ඒ ප‍්‍රමාණයෙන්ම මැවී අත්පත් වුනා. ඒ ළමයි ඒවා සූප්පු කරමින්, ඒවායේ මතුපිට ඇති ලස්සන බලමින් මා වෙත පෙන්වා සතුට ප‍්‍රකාශ කළා. ඉන්පසු දේවතාවා මා දෙස බලා නැවතත් ඒ පිරිස දෙස බැලූ විට සියල්ලෝම අතුරුදන් වුණා. පළතුරු ඉස්ම බඳුන්, තැඹිලි ගෙඩිය හා බුලත් හුරුළු දේවතාවා සතුව ඉතිරි වුනා. භෞතිකව සෑදූ පූජා වට්ටියට අත දිගු කළාම අත්ලෙන් සුදු කිරණ ධාරාවක් විහිදී පූජා වට්ටිය නැහැවිලා ගියා. ඒවා අප සැමට ආහාරයට ගැනීමට ආපසු දෙන බව හඟවා දේවතාවා අතුරුදන් වුණා. අතුරුදන් වෙන්න පෙර මෙහෙමත් කිව්වා. “මින් පසු මේ දේවාලය තියෙන තුරු කිසිවෙකුගෙන් පූජාවක් නොතබන්න. අවශ්‍ය ශාන්ති කටයුතු කරදෙන ලෙස කියන්න. මේ දුන් පූජාව මෙතනට වැඩ කරගන්න එන ඉදිරි සෑම දෙනාටම බෙදීමට මෙහි පවතිනු ඇත. මනුෂ්‍යයන්ට, පූජා තබන ලෙස කරදර නොකර සෙත් කරන්න කියන්න.” මෙසේ කියපු දේවතාවා අතුරුදන් වුණා.

කාලි මෑණියන්ගේ පූජාව තැබූ තැන ගුප්ත ලෝකයේ වෙනම ශාලාවක් ද තිබුණා. කලින් වගේම පූජාවෙන් තවත් පූජාවක් කාලි මෑණියන්ටත් මැවී තිබුණා. ඇය සාමාන්‍ය කාන්තාවන් මෙන් හතර පස් ගුණයක් උස මහත, හැඩි දැඩි මැදි වයසට ළං වූ කාන්තාවක් වගේ දිස්වුනේ. රෝස පාට සාරියක් වැනි මල් වැඩ සහිත බෝඩරයක් ඇති ඇඳුමක් ඇඳගෙන හිටියා. ඇගේ ශාලාවේ මහ පෙට්ටගමක් ද තිබුණා. ඇය පූජාව ඒ තුළ තබා වසා යතුර දමා, යතුරු කැරැුල්ල ඉනේ ගසා ගත්තා. අවට සිටි ඇගේ පිරිස සේවයට කැපව සිටින බවක් පෙන්නුවා. හිතුමතේ භුක්ති විඳින්න, පූජා කළ පළතුරු කැවිලි ආදිය අන් අයට (කාලි මෑණියන්ගේ දේව පිරිසට) දෙන්නෙ නෑ. අවශ්‍ය නම්, බඩගිනි වූ කෙනෙක් යමක් බැගෑපත්ව ඉල්ලන්නා සේ ඉල්ලා ගත යුතුයි. ඒ වගේ වෙලාවට ටිකක් සැර කරලා අඬගසාගෙන ගිහින් පෙට්ටගම ඇරලා කෙසෙල් ගෙඩියක් වගේ දෙයක් දීලා ඉක්මනින් පෙට්ටගම වසා තබනවා. පිරිසට සංග‍්‍රහ කරන්නේ සූනියන් දේවතාවා මවා දීපු පූජාවෙන්. මේ කියන සියලූ දේවල් ගුප්ත ලෝකයේ සත්‍ය ලෙස දැකපු සිදුවීම් මිසක් කිසිම අතිශයෝක්තියක් මෙහි නැති බවත් සලකන්න.

දැන් විශාල සේවක පිරිසක් ඖෂධ තෙලක් හිඳින්න කටයුතු සකස් කරනවා. අහස් කුස පැත්තක දිස්වන්නේ බෙහෙත් තෙල් හිඳින ශාලාවක්. මහා ලෝහමය බඳුන් ඇතුළු අවශ්‍ය ආම්පන්න සියල්ලම එහි තියෙනවා. නොයෙක් ඖෂධ වර්ග කපා කොටා මිරිකා ඉස්ම ගෙන මේ තෙල ගුප්ත ලෝකය තුලදී මේ ආකාරයට හිඳින්න කටයුතු සිද්ධ වුණා. මේ තෙලට තල්පිති ඉස්ම සහ ඇත්දල කුඩු අවශ්‍ය බව එම ලෝකයේම වෛද්‍යවරුන්ගේ අදහස වුණා. ඒවා සපයන්න සිටියේ ඉතා කඩිසර සුදු ඇඳුම් ඇති දෙවඟනක්. මොහොතින් ආයුධයක් අතට ගත් ඇය කිරිල්ලියක් පියඹා යන සේ සැනෙකින් තල්ගස් අරඹකට ගොස් උඩ ඇති ළපටි තල් පිත්තක් කපා කොල ටික කපා පිත්ත ගෙන ආවේ සැනෙකින්, තප්පර ගණනකින්. තෙත රෙද්දක් මිරිකන්නා සේ භාජනයකට තල්පිත්ත මිරිකා ඉස්ම දුන් ඇය, ඊළඟ සැනෙන් ගියේ හිමාල වනයට. එහි සිටි දළ ඇතෙක් ක්‍ෂණයෙන් දණ බිම ගැසුවා. ඇය උගේ දළය සූරා කුඩු ටිකක් ගෙන සැනින් ගොස් බෙහෙත් ඖෂධ බඳුනට දැම්මා. මේ ආකාරයට ගිනිද මොළවා තෙල හිඳල දෙන්න විනාඩි පහක්වත් ගියේ නෑ. මේ තෙල කොල පාට අති දුර්ලභ බෙහෙත් තෙලක්. මේ තෙලේ බලය හැඟීමට වැටහෙන්නේ,  ඕනෑම දුර්වල ස්නායුවක්, සියුම් ලේ නහරයක් උත්තේජනය වී ක‍්‍රියාත්මක වෙලා ස්වභාවික තත්ත්වයට පත්වන ලෙසයි.
දැන් ගුප්ත ලොව පිරිස මේ ලෑස්ති වෙන්නේ මා රැගෙන ගිය විලියම් නැමැත්තාට ප‍්‍රතිකර්මයක් කරන්නයි. ඔහුට කමිසය බැනියම ගලවා සූදානම් වන්නැයි මා හරහා දැනුම් දුන්නා. කීප දෙනෙක්, උඩ කුරුටු සුද්ද කළ පුවක් කොටයක් රැගෙන ආවා. ඉන් හතර දෙනෙක් එකතුවෙලා රියනක පමණ වලක් හැදුවා. කොටය එහි සිටවා වල වැසුවා. මේ හිටවපු පුවක් කොටය මම අල්ලා බැලූවා. පුදුමය නම් පෙනීම පමණක් නොවෙයි එය අතටත් හසුවීමයි.

දැන් විලියම් නැමැත්තා කොටය ළඟට ගෙනවිත් ඊට පිටුපස හරවා අත්දෙක පිටුපසට අරන් දෙන ලෙස මා හට දැන්නුවා. මමත් එසේ කළා. අත් දෙක අරන් දෙනවාත් සමග වැල් පොටක් වැනි දෙයකින් මැණික් කටුව ලඟින් අසුවන සේ දෑත බැන්දා. දැන් ඔහුට හැකිනම් අත්දෙක ඉවතට ගන්න කියන්නැයි එම ගුප්ත පිරිස මට දැනුම් දුන්නා. මමත්, ඔහුට දැන් හැකිනම් අත් දෙක ඉස්සරහට ගන්න කීවත්, අත් දෙක හිරකරල බැඳල වගේ කියල ඔහු කිව්වා. මීළඟට ගුප්ත වෛද්‍යවරයෙක් සැතක් ගෙන ඔහුගේ බඬේ නැඹ පෙදෙසේ පැත්තකින් කැපීමක් කළේ ක්‍ෂණයකින්. ඒත් සමග රෝගියාට එක පාරටම කෙඳිරි ගෑවුණා. සැත්කම කරපු තැන විවෘත කර ඇලදිව වැනි ඉන්ද්‍රියක කොටසක් අක‍්‍රීයව ඇති ආකාරය පෙන්වා කුඩා සැත් කටු, ගුප්ත ලොව සිඳපු තෙල්වලින් තෙමමින් නහර වැල් සකස් කිරීමක් කළා.

මේ ක‍්‍රියාව කරන විටම තවත් ගුප්ත ලොව වෛද්‍යවරයෙක් මා ළඟට ඇවිත්, මගේද කනක ශබ්ද පැහැදිලිව ඇසීමේ පොඩි දුර්වලකමක් ඇතැයි පවසා, එය ප‍්‍රකෘතිමත් කිරීමට කුඩා අඬුවකින් ඉසකෙය (හිසකෙස් ගසක් වැනි) දුන්නක් වැනි කෙන්දක් අදිමින් කීප වරක් අතහැරියා. මටත් යමක් ඇදී අතහරින ආකාරයත් සමග “ඩං” යන හඬක් ද ඇසුනා. වතා කිහිපයකින් එම ශ‍්‍රවණ දුර්වලතාවය සකස් කළ බව දැනුම් දුන්නා. ඉන්පසු එම කනේ සංවේදී බව වැඩි ලෙස මට වැටහුණා.

(ඉතිරි කොටස ලබන කලාපයෙන්.)

 

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.

One thought on “දේව පූජාවක සැඟවුණු හාස්කම් දෙවියන් ද සමගින් ඇස් දෙකින්ම බලාගත් හැටි

  1. Pingback: තුන් ලොව සියළු සතුන්ගේ තොරතුරු සටහන් වූ ගුප්ත ලොව පොත් ගුල් හතර විවෘත වෙයි! | හෙළ බොදු පියුම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *