ලෞකික හා ලෝකෝත්තර දහම් මාර්ගවල වෙනස වටහා ගනිමු.

ලෞකික හා ලෝකෝත්තර දහම් මාර්ගවල වෙනස වටහා ගනිමු.

යමෙක් විරාග නිශ‍්‍රිතව සිටීමේදී සියලූ රාගයන්ගේ ආදීනව දකිමින් නොඇලීම සිද්ධ වෙනවා. නිරෝධ නිශ‍්‍රිත නම් හට නොගැන්මේ ආනිසංස දැකීම සිද්ධ වෙනවා. අනිච්ඡු, දුක්ඛ, අනත්ථ කියන මේ තිලකුණ බැලිය යුත්තේ කාමය සම්බන්ධයෙන් පමණක් නොවෙයි. රූප, අරූප භවයන්ද ලෞකිකයි. මඩ වලක එරී සිටියත්, ගෑවී පසෙක සිටියත්, උස් තැනක ඉඳගෙන සිටියත්, යමක එල්ලී විලූඹින් හෝ මහපටඟිල්ලෙන් උස් තැන ගටා සිටියත් ඉන්නේ මඩ වල ඇතුලෙමයි. ගොඩ යෑමක් නෑ. වල තුළ කොතැනක කුමන ආකාරයකින් හෝ ඇසුරු කරන්න හිතන තුරු ඔහු වලටම හිමිකම් කියනවා. යමෙක් වල තුළම ඉඳගෙන ශුද්ධ වෙන්න බලනවා නම් ඒ වල තුළ සහන සොයන තුරු ඒවා ශුද්ධ වෙන ක‍්‍රමවලට කිසිසේත් සමාන නැති මගක් මයි.

සංසාර දුක නැති කරගන්න ලෞකික දැහැන් වැඞීම, අසහනය දුරු කරගන්න මත්පැන් පානය කිරීම වගේ දෙයක්. ඒ ඇයි? මත්පැන් පානය කළ කෙනාට ලජ්ජා භයක් නෑ. කොච්චර ප‍්‍රශ්ණ ආවත් කෙබඳු වගකීමක් තිබුණත් ගණන් ගන්නෙ නෑ. ලජ්ජා භය එනකොට මනස මුලාවෙන් මත් කරගෙන සැනසෙනවා. ඊට හේතුව, සැනසීමක් එවැනි තිරිසන් ගතියකින්ද ඔහුට දැනෙන නිසයි. නමුත් සිදු වෙලා තියෙන්නෙ මහා විනාශයක්. ඒක ඔහුට දැනෙන්නෙ නෑ. ලෞකික දැහැන් ආදිය පින් කොටසට අයත් වුනත්, ආර්ය විනයේ ඒවා අනාථ වැඩපිළිවෙලක් වන්නේ සසර අතරමං වන නිසයි.

එසේම භව දුක නැතිකර අත්හැරීම, මිදීම, නොඇල්ම, හට නොගැන්ම ප‍්‍රගුණ කර ලබන නිවන් සැනසීම සොයන උදවිය අතර සමහරෙක් යම් ලෙසකින් ලෞකික දැහැනකට සමවැදී එහි නිදහස් ස්වභාවය දැනුනාම නිවන කියා රැවටෙනවා. ප‍්‍රභාස්වර චිත්ත ස්වභාවයටත් නිවන කියා රැවටෙනවා. ලෝකයට ඇලී බැඳී සිටින බවක් දන්නෙ නෑ. ඒ ඇයි? ඔහුට වෙනස්වීම, නැතිවීම පේන්නේ තමාගේ බැඳුනු ගතියෙන් පහත ඇති දේවල්වල පමණයි. නිවන පළමු මොහොතේම ප‍්‍රත්‍යක්‍ෂ කරන්න වුණත් තුන් භවයම වටහාගෙන ඒ තුන් භවයේම නිසරුව දැකිය යුතුයි. පළමුව සිදුකරන්නේ ඥාණයෙන් දැකීමයි. එසේ දැකීමේදී සුදුසු ධර්ම ශ‍්‍රවණ මොහොතක අත්හැරීමක්, මිදීමක්, නොඇල්මක් නිසා සියළු රාග එක්තරා මට්ටමකින් සිඳී ගොස්, යම් බලාපොරොත්තු කොටසක් සහමුලින්ම සිඳී යනවා.

සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා සබ්බ ලෝකේ අනභිරත සංඥා…

ආදී ලෙස පෙන්නුවේත් කාම, රූප, අරූප ලෝක සියල්ලෙහි අනිච්ඡතාවය දැක අභිරතිය (විශේෂ ආස්වාදයෙන් බැඳීම) දුරු කළ යුතු බවයි. ඉන් පසු ඒ සිඳී ගිය කොටසට අනුකූල බලාපොරොත්තු කිසි කලෙකත් යලි හටගන්නෙ නෑ. එසේ වන්නේ ඒ ප‍්‍රමාණයට අනුශය සමග සිඳී ගිය නිසයි. මෙබඳු සෝතාපන්න පුද්ගලයා සංඛාර (සිතින්, කයින්, වචනයෙන් එකතු කිරීමට කරන ක‍්‍රියා) හඳුනනවා. මේවා කාම භවයට අයත් සංඛාරය, මේවා රූප භවයට අයත් සංඛාරය, මේවා අරූප භවයට අයත් සංඛාරය කියා ඔහු දන්නවා. ඔහු මේ කිසිම සංඛාරයක් නිච්ච, සුඛ, අත්ථ, සුභ කියන විපරීත දෘෂ්ටියකට කිසි විටෙක වැටෙන්නෙ නෑ.

ඔහුගේ දැකීම මේ තුන් භවයේම අනිච්ඡ, දුක්ඛ, අනත්ථ, අසුභ කියන විද්‍යමානත්වය පෙන්වනවා. චතුරාර්ය සත්‍යය පිළිබඳව දර්ශනය හරියාකාරව විද්‍යමාන වෙනවා. එම නිසා ආත්ම දෘෂ්ටියක් නෑ. මාර්ගය හරියට දර්ශනය කළෙත් සැකය නැති කිරීමත් සමගයි. සිල් වතක් රැකීමෙන් අල්ලන ලෝකයේ ලෞකිකත්වයක්, සැනසීම පිණිස නැති බවත් දන්නවා.

එහෙනම් ලෞකික සමාධි නොවඩා විදර්ශනා ඵල ලැබිය නොහැකිද? පටිච්ච සමුප්පාද ධර්මය ගරු කරගත් කෙනෙකුට නම් ඒ ධර්මය පිළිබඳව 44 ක් වූ හෝ 77 ක් වූ ඥාන දර්ශනය වැටහුන කෙනෙකුට පරප‍්‍රත්‍ය රහිත වන බවත්, ගුරුවරයෙක් අවශ්‍ය නැති බවත් බුදුන් වහන්සේ දේශණා කරල තියෙනවා. මග නොමග වැටහෙන නිසා සමථ භාවනා වැඞීම ආර්යන්ට විදර්ශනාවට උපනිශ‍්‍රය වන බව පෙළ දහම් පොත්වල සඳහන් වෙනවා.

ආර්ය ශ‍්‍රාවක බවට පත් නොවෙච්ච කෙනෙක් නම් ආලාරකාරාම, උද්දකාරාමපුත්ත වැනි අය වගේ අරූප සමාධිලාභීව සිටියත් ඔවුන් සසර අතරමං වූවෝම බවත්, සසුනෙන් බැහැර යෝගියෙක්  පංච  අභිඥා,  අෂ්ට සමාපත්තිලාභීව සිටියත් බුදුන් වහන්සේගේ ගිහි ශ‍්‍රාවක සෝතාපන්න පුද්ගලයෙකුගෙන් සොලොස් කලාවක් වත් නොවටිනා බව බුදුන් වහන්සේ දේශනා කරල තියෙන්නෙත්, අඍතවත් පෘතජ්ජනයා සසර අතරමං වූවෙක්ම වන නිසයි.

එහෙනම් නිවන් දැකීමට පූර්ව භාග ප‍්‍රතිපදා ලෙස වැඞීමවත් අවශ්‍ය බව දේශණා කරල තියෙනවද? කසින මණ්ඩල හදාගෙන කරන භාවනාවක් හෝ ඉගෙනගත් (උද්ගහ නිමිති – අල්ලගන්නවා, ඒකෙන් අරගත්තා කියන එකයි) හෙවත් සිතේ ඇඳගත් අරමුණක සිත තබාගෙන හෝ අනිත් බැහැර අරමුණක සිත තබාගෙන මෙනෙහි කරන ක‍්‍රමයක් ඇත්නම් එය අස්වගුණ්ඩයාගේ වැඞීමක් වන නිසා නොකළ යුතු බවත්, අං:නි:(6), 609-613 දක්වා පිටුවල එන සන්ධ සූත‍්‍රයේ පැහැදිලිව පෙන්වා ඇති අතර කුසල සිතේ පිහිටි භික්‍ෂුවකට හෝ බෞද්ධයෙකුට සමාධිය ලැබීමට වෙනත් කළ යුතු දෙයක් නැති බවත්, සමථ විදර්ශනා සමාධි වැඞීම එම කුසල සීලය රකින විට ඉබේම සිදුවන බවත් එම පොතේම 586 පිටුවේ එන නචේතනාකරණීය සූත‍්‍රයේත් පෙන්වා තියෙනවා. පටිච්ච සමුප්පාද ක‍්‍රමයට වඩන විදර්ශනාව මගින් මේ සියල්ල නිරායාසයෙන් ලැබෙන බවත්, උත්සාහයෙන් කළ යුතු කිසිවක් නැති බවත් පෙන්වා තියෙනවා.

සුදුසු ස්ථානයක, ගසක් සිටුවා ගත් ගොවියාට කරන්න තියෙන්නේ පොහොර වතුර දැමීම හා ගසට සාත්තු කිරීම පමණක් බවත්, ක`ද සෑදීමටවත්, අතු පතර මල් ඵල හටගැන්වීම සඳහාවත් වෙන කළ යුතු දෙයක් නැති බවට උපමාවක්ද ගෙනහැර පා, සීලය නමැති (කුසල සීලය) සාත්තුව හැර සමාධි, ප‍්‍රඥා, මගඵල සඳහා වෙන කළ යුත්තක් නැති බවත් උදාහරණ සහිතව පෙන්වා තියෙනවා. තවත් පෙළ පොතක සීල විසුද්ධිය ලැබුණු විට චිත්ත විසුද්ධිය ලැබීම ධර්මතාවයක් බවත්, චිත්ත විසුද්ධිය ලැබුණ විට දිට්ඨි විසුද්ධිය ලැබීම ධර්මතාවයක් බවත්, දිට්ඨි විසුද්ධිය ලැබුණු විට කංඛා විතරණ විසුද්ධිය (ක + අංක යනු ගණන් ගන්නෙ නෑ, ගරු කරන්නෙ නෑ, අංකයක් දෙන්නෙ නෑ, ලකුණක් දෙන්නෙ නෑ කියන අදහසයි. එනම් බුද්ධ වචනය තේරුම් නොගෙන සැකයෙන් සිටීමයි. නමුත් මේ විසුද්ධියෙන් පසු ධර්මයට ගරු කරන්න පටන් ගන්නවා. විතරණ – විශේෂයෙන් තරණය කරනවා) ලැබෙන බවත්, කංඛා විතරණ විසුද්ධිය ලැබුණු විට මග්ගාමග්ග ඥාන දස්සන විසුද්ධිය ලැබීම ධර්මතාවය බවත්, මග්ගාමග්ග ඥාණ දස්සන විසුද්ධිය ලැබුණ විට පටිපදා ඥාන දස්සන විසුද්ධිය ලැබීම ධර්මතාවය බවත්, පටිපදා ඥාණ දස්සන විසුද්ධිය ලැබුණු විට ඥාන දස්සන විසුද්ධිය ලැබීම ධර්මතාවයක් බවත් පෙන්වා, කළ යුතුව ඇත්තේ මේ සියල්ලටම සීල විසුද්ධිය වැඞීම බවත් පෙන්වා තියෙනවා.

ධර්මයෝම ධර්මයෝ පුරවයි. නිර්වාන පරතෙරට යාම සඳහා ධර්මයෝම ධර්මයෝ පවත්වයි. චේතනාවෙන් කටයුතු වෙන කිසිවක් නැත.

යන සිද්ධාන්තය බුදුරජාණන් වහන්සේ අනුමත කළ ධර්ම මාර්ගයේ විශේෂයක්. සීල විසුද්ධිය හා චිත්ත විසුද්ධිය අන්‍ය ශාසනිකයන්ටත් ලැබෙන බව සමහර පසුව ලියපු පොත්වල (විසුද්ධි මාර්ගය වැනි) සඳහන් වුනත් ඒ මතය බුද්ධ වචනය ඉදිරියේ බිඳ වැටෙනවා. පෙළ දහම් පොත්වල දේශනා අර්ථය ඉවත දමා අත්තනෝමතික මත, හේතු නැතිව පිළිගත හැකිදැයි විමසා බැලීම බුද්ධිගෝචරයි. යමෙක් සීල විසුද්ධිය අන්‍ය ශාසනයකින් ලැබෙන බව පිළිගන්නව නම්, ඔහු ශාසනික සීලය නොහඳුනන නිසා එසේ කියනවා වෙන්න පුළුවන්.

ශාසනික ශික්‍ෂාව හැමවිටම නිවන අරමුණු කොට විරාග නිශ‍්‍රිතව, නිරෝධ නිශ‍්‍රිතව වඩන්නක්. අන්‍ය වූ බාහිර කිසිම ශික්‍ෂාවක නිවන අරමුණු කර වඩන සීල ගුණයක් නෑ, තියෙන්නේ ලෞකික වූම ස්වර්ග වූ හෝ රූප අරූප අරමුණක බලාපොරොත්තුව තබාගෙන රකින සීල ගුණයි. එබැවින් සීලයක විශේෂ සුද්ධියක් කොහොම නම් ලැබේද? දැන් දැනගත යුත්තේ සුද්ධියේත් විසුද්ධියේත් වෙනස කුමක්ද යන්නයි?

අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස

ලෝකයට අනුත්තර වූ පිං කෙතක් කියන ගුණය තුළට ඇතුල්වන ශාසනික දහම් මග අනුගමනය කරන කොට, පළමුව තෙරුවන් ගුණ අරභයා සිත පිහිටනවා. වීත රාගී, වීත දෝෂී, වීත මෝහී උතුමන්ගේ ක‍්‍රියා හා වදන් මුල් කරගෙන ඇතිවන දර්ශන, ශ‍්‍රවණ අරමුණු පවා එම පුද්ගලයා යහමගට පත්කරන්න හේතු ඇතිකරනවා. පෙර සිසිල් බව පෙන්වූ යකඩය ගින්නට දැමූ විට එම යකඩයත් ගිනි පැහැ ගනිමින් ගිනි ගතියට පත්වන්නා සේ, එවිට එහි ගෑවෙන කුණු කසල දවා අළු කරන්නා සේ, මුල් අවස්ථාවේදී බෞද්ධ බවට පත්වන අය මෙම තෙරුවන් ගුණ ඇසුරු කරන නිසා වීත රාගී, වීත දෝෂි, වීත මෝහී ගති හටගන්නවා. කෙළෙස් දවන ප‍්‍රඥා ප‍්‍රදීපයක් සේ වෙනවා.

නාම රූප පච්චයා විඤ්ඤාණං – විඤ්ඤාණ පච්චයා නාම රූපං

යන ක‍්‍රියාවලිය ඇසුරු කිරීම, භාවිතා කිරීම, බොහෝ කොට ඇසුරු කිරීම නිසා බලවත් වූ අනුරූප වූ නාමරූපයෝ විඤ්ඤාණ තුළ බැස ගැනීමත්, මතු කිරීමත් කරන නිසා මෙසේ බොදු සිත් බලවත් වෙනවා. පාප නාමරූපයන්ට බහින්න ඉඩ නොදී කුසල මූල ප‍්‍රත්‍යයේ නාමරූපවලට ඉඩ සැලසීමෙන්, විඤ්ඤාණය කුසල සහගත වුනාම ප‍්‍රඥා ප‍්‍රදීපයට පසුබිම ගොඩනැගෙනවා.

ඉන්පසු

නාමරූප පච්චයා සලායතනං

යන සිද්ධාන්තය අනුව එම උපාසක ගති ඇති අයට ඇසුරු කරන්න ලැබෙන ආකාර, ලිංග, නිමිති, උද්දේස, ප‍්‍රඥප්ති කියන මේ නාම රූපයෝ එම උපාසක ගති ඇති අයගේ අනුකූල විඤ්ඤාණ පහළ කරනවා. ඉන් බලවත් කුසල සහගත නාම රූප, සලායතන පහළ කරනවා. එම ආයතන තෙරුවන් ගුණ පහස ලබනවා.

සලායතන පච්චයා ඵස්සෝ

කියන සිද්ධාන්තය මෙහිදී සිද්ධ වෙනවා. මෙහිදී සත්වයාට විඤ්ඤාණයක් පහළ වුණා, නාමරූප, සලායතන, ස්පර්ශ පහළ වුණා කියා අදහස් ගැනීම වැරදියි. එතකොට හේතුඵල වාදයෙන් පිටත සත්වයෙක් පැනෙව්වා වෙනවා. එම නිසා විඤ්ඤාණ ප‍්‍රත්‍යයෙන් නාමරූප වේ, නාමරූප ප‍්‍රත්‍යයෙන් සලායතන වේ, සලායතන ප‍්‍රත්‍යයෙන් ස්පර්ශ වේ. ස්පර්ශ ප‍්‍රත්‍යයෙන් වේදනා වේ… ආදී වශයෙන් නිවැරදිව තේරුම් ගත යුතුයි. එය බුද්ධ වචන බව පෙළ දහමේ පෙන්වා තියෙනවා. එමනිසා හේතුව යම් සේද ඵලය ඊට අනුකූල වෙනවා. යම් සේ හේතු නිරෝධයක් වේද ඵලය එසේම නිරෝධ වෙනවා. මේ සිද්ධාන්තයෙන් පිට කිසිම ඵලයක් පහළ වෙන්නෙ නෑ. ලැබෙන ඵලය හැම විටම හේතුවට අනුව වෙනවා.

කුමක් නිසා ඇලීම වේද? ගැටීම වේද? ගින්නට දැමූ යකඩය කෙසේ නම් ගිනි වර්ණ නොගෙන ගිනි බව නොදරාද? මේ වගේ, සිතක් යම් නාම රූපයකට අනුකූලව පහළ වුනාද, සලායතනත් ඊට අනුකූල වෙනවා. ඒ හේතුවෙන් වන ස්පර්ශයත්, ස්පර්ශ හේතුවෙන් වන වේදනාවත් අනුකූලව සිද්ධ වෙනවා. වේදනාව හේතුවෙන් අනුකූල වූ ප‍්‍රසාදයත්, ප‍්‍රසාදය නිසා අධිමෝක්‍ෂය හෙවත් නිවනට නැඹුරු වීමත්, එයින් ආර්ය ශ‍්‍රාවක බවට පත්වීමත් සිද්ධ වෙනවා. එම අනුකූල වූ භව හෙවත් වීම නිසා අනුකූල වූ ජාති පහළ වෙනවා. මෙසේ භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන ආර්ය ජාති පහළ වෙනවා.

තෙරුවන් ගුණ තුළින් නැගෙන දර්ශන, ශ‍්‍රවණ යන නාම රූප ඇසුරෙන් පටන් ගත් විට මේ පටිච්ච සමුප්පාද නියාමය අනුව උපාසකයා, උපාසිකාව, භික්‍ෂුව, භික්‍ෂුණිය කියන හතර ජාතිය අනුකූල ලෙස පහළ වෙනවා මිසක්, මින් පිටස්තර වූ ඇඳුමකින් හෝ වෙන යම් මගකින් එබඳු උතුමන් පහළ වෙන්නෙ නෑ. (ලෝක සම්මතය මිසක් පරමාර්ථ වශයෙන් ඒ සිව් පිරිස පහළ වෙන්නෙ නෑ.) මේ ගුණයන්ගේ දර්ශන, ශ‍්‍රවණ ආදී නාම රූප පහළ වීම යම් තැනක නොවේද, එවිට විකල්ප වූ මුලා වූ ගතියෙන් වැරදියට ගත් නාම රූප නිසා පටිච්ච සමුප්පාද දහම් න්‍යාය අනුව ලබන ජාතිය හෙවත් සිව් පිරිස වෙනුවට අනුරූප වූ ප‍්‍රතිරූප පමණක් පහළ වෙනවා.

මෙසේ තෙරුවන් ගුණ මෙනෙහි කරන, ධර්ම ශ‍්‍රවණය කරන, දේශනා කරන, පිළිවෙත දරණ සිව් පිරිස්වලට එම නාම රූප අනුසාරයෙන් පටිච්ච සමුප්පන්න ධර්ම නියාමය අනුව සාසන ඵල ලෙස සමාධි ප‍්‍රඥාව ලැබෙනවා. ඇසීම, දැරීම, වනපොත් කිරීම (කටපාඩම් කිරීම), දහම් ගුණ සිතීම, නැවත මෙනෙහි කිරීම… ආදිය නිසා ථෙර කරන බවත්, සතර දැහැන් වැඩෙන බවත් දහමේ පෙන්වා තියෙනවා. අංගුත්තර නිකායේ එන ද්විතීය උරුවෙල සූත‍්‍රය මීට සාක්‍ෂි දරනවා. විසුද්ධි මාර්ගය වැනි පොත්වල, තෙරුවන් ගුණ සිහි කරන අයට ලැබෙන්නේ උපචාර සමාධියක් පමණක් යැයි කියන අදහස් පෙන්වන නිසා නිර්මල වූ සාසන දැහැන් ලැබෙන මගට බෞද්ධයා බොහෝ ඈත්ව සිටින බව පෙනී යනවා. එම පොතේ, අස්වගුණ්ඩ දැහැන යැයි බුදුරජාණන් වහන්සේ ගැරහූ මග, නියම දහම් මගක් ලෙස පෙන්වා දී ඇති හැටිත් පෙනී යන කරුණක්. මේ පිළිබඳව නුවණැත්තෝ විමසා බලත්වා. එවිට සාසනය යලිත් බබලනු ඇත.

නිසි ලෙස තෙරුවන් ගුණ ඇසුරු කරන, ධර්ම ශ‍්‍රවණය කරන, දේශනා කරන, වනපොත් කරන, වැරදි භාවනාවලින් මුලා නොවී බුද්ධ සාසන මග ගමන් ගන්නා අය ධර්ම කථිකයන්ද වෙනවා, ධර්මානුධර්ම ප‍්‍රතිපන්නද වෙනවා. දිටු දැමියේම (දිට්ඨ ධම්ම – මේ අත්බවයේදීම) රහත් ඵලයද ලබනු ඇති. මේ ආර්ය මාර්ග ක‍්‍රමයයි. මේ සඳහා පටිච්ච  සමුප්පාද නියාමය අනුව හේතු ඵල බලන හැටි පෙන්වමින් දහම් දෙසන අයත්, ඒ මග පිළිපදින අයත්, උපාදාන රහිතව මිදුනු උතුමන්ද ධර්ම කථික වන බව සංයුක්ත නිකායේ එන නාලක සූත‍්‍රයේ සඳහන් වෙනවා. ධර්මය දැන ධර්ම මාර්ගයේ පිළිපදින්නට අවශ්‍ය ගුරුවරයා නම්, මේ පටිච්ච සමුප්පාද දහම් නියාමය වටහාගෙන තමා පිළිපැදීම බවත්, ගුරුවරයෙක් අවශ්‍ය වන්නේ ඒ ක‍්‍රමය දැන ගැනීමට බවත්, සං:නි:(2), 205 පිටුවේ එන ජරා මරණ සූත‍්‍රයේ පටන් සංඛාර සූත‍්‍රය දක්වා සවිස්තරව පෙන්වා තියෙනවා. එසේම බණ දැනගෙන, ඉගෙනගෙන මගඵල ලැබීමට බොහෝ බණ අසන්නටවත්, දරන්නටවත් අනවශ්‍ය බවත්, එක ගාථාවක් නමුත් අරුත් දැන, දහම් දැන, ධර්මානුධර්මව පිළිපදිනවා නම් හෙතෙම බහුශෘත, ධර්මධර යැයි පිළිගත හැකි බවත් බුදුන්වහන්සේ දේශනා කරල තියෙනවා. (අං:නි:(2) 344 පිටුව සහ සං:නි:(4) 464 පිටුවේ එන බහුසෘත සූත‍්‍රය)

මේ ආර්ය ධර්මය මනා සේ වටහාගෙන නොමගින් මිදේවා. ලෞකික දැහැන් ඵල ලැබීමක් නැතිව මගඵල පිළිගත නොහැකි යැයි පැවසූ මුලා භික්‍ෂුවකට බුදුන්වහන්සේ කළ වටිනා දේශනාවක් පිළිබඳව සිංහල අරුතක් පහත සඳහන් වෙනවා. නිවන් දකින්නට මාර්ගය පළමුව විදර්ශනා ඥානයයි, පසුව පහළ වන්නේ මාර්ග ඥාණයයි. විදර්ශනා ඥාන ගැන කියනකොට, පළමුව ලෞකික සමාධියක් වඩා සංසුන් කරගත් සිතක (අඩු ගණනේ ප‍්‍රථම ධ්‍යානයවත් වඩා) පහළ කරගත යුත්තක් යන අත්තනෝමතික අදහස් සමහර පොත්පත් ආදියේ දකින්න තියෙනවා. මේ ගැන විමසා බැලීම කාලෝචිත යැයි හැෙඟන නිසා මෙසේ කරුණු පෙන්වීම සුදුසුයි. මේ සඳහා පෙළ දහම් පොත්වලින් සූත‍්‍රයක් ගෙන බැලීම ඉතාම හොඳයි.

සං:නි:(2) 189 පිටුව සුසීම සූත‍්‍රය – සුසීම නම් පරිභ‍්‍රාජකයෙක් ආනන්ද හිමියන් වෙත පැමිණ පැවිදි වීමට කැමති බව කියා අවසර ඉල්ලා සිටි නිසා බුදුන්වහන්සේගේ අනුමැතිය ඇතිව ආනන්ද හිමියන් විසින් පැවිදි කළා. ඒ කාලයේ භික්‍ෂූන් වහන්සේලා බුදුන් වහන්සේ හමුවේ තම රහත් ඵලය ගැන ප‍්‍රකාශ කරනවා.

ජාතිය ක්‍ෂය විය, බඹසර වැස නිමවන ලදී (බ‍්‍රහ්ම චරියාවෙන් වාසය කළා, අරි අටඟි මග පූර්ණය කළා), කටයුතු නිමකරන ලදී. අත්බැව් සඳහා අන් කළ යුතු දෙයක් නැතැයි දනිමි. මෙසේ කරන ලද ප‍්‍රකාශයක් අසා සිටි ඒ භික්‍ෂුව රහත් ඵලය ප‍්‍රකාශ කරන භික්‍ෂූන් වහන්සේලා වෙත ගොස්, ඇවැත්නි, ජාතිය ක්‍ෂය වූවාය, බඹසර වැස නිමවන ලදී, මේ අත්බැව් සඳහා අන් කළ යුතු දෙයක් නැතැයි දැන ගතිමියි ප‍්‍රකාශ කරන්නේ හැබෑදැයි ඇසුවා. ඇවැත්නි, එසේ යැයි උන්වහන්සේලා පිළිතුරු දුන්නා. එවිට සුසීම භික්‍ෂුව, එසේනම් ආයුෂ්මත්හු නන් වැදෑරුම් ඍද්ධි කොටස් භුක්ති විඳීද? එකෙක්ව බොහෝ වීම, බොහෝව එකෙක් වීම, අහසෙහි මෙන් බිත්ති ප‍්‍රකාරවලින් එහා මෙහා යෑම, පොළොවේ කිමිදීම, දිය මතුපිටින් යාම, අහසින් යාම, ඉර හඳ සියතින් පිරිමැදීම… ආදිය කළ හැකිද? කියා ඇසුවා. උන්වහන්සේලා එසේ හැකියාවක් නොමැති බව කිව්වා.

එසේ නම් දිව කනින් මිනිසුන්ගේ, සතුන්ගේ, දෙවියන්ගේ හඬ අසවුද? නැත ඇවැත්නියි උන්වහන්සේලා පිළිතුරු දුන්නා. එසේ නම් පෙර විසූ කඳ පිළිවෙල දනිවුද? උපදින චුතවන සත්ත්වයන් දිවැසින් දකිවුද? නැත ඇවැත්නියි පිළිතුරු ලැබුණා. එසේ නම් රූප ඉක්මවා සිටි අරූප විමෝක්‍ෂ ඵලයක් කයින් පැහැස වෙසෙම්ද? (නාම කයෙන් තමා දැක්කද?) නැත ඇවැත්නියි පිළිතුරු ලැබුණා. එසේ නම් රූපාවචර වූ දැහැනක් ලබා ඇත්ද? සමවැදිය හැකිද? නැත ඇවැත්නියි පිළිතුරු ලැබුණා. එසේ නම් ඇවැත්නි, මෙයින් පේන්නේ උත්තරීතර වූ මාර්ග ඵලයක් ලැබී නැති බවයි කියා සුසීම භික්‍ෂුව ප‍්‍රකාශ කළා. එවිට උන්වහන්සේලා, ඇවැත්නි, අපි ප‍්‍රඥා විමුක්තිකයෝ (ශුෂ්ක විදර්ශක) වෙමුයි පිළිතුරු දුන්නා. විදර්ශනා ඥානය පළමුව උපදී, මගඵල නුවණ දෙවනුව උපදී යැයිද උන්වහන්සේලා වැඩිදුරටත් පිළිතුරු දුන්නා. එවිට සුසීම තෙරුන්, එය තමාට නොවැටහෙන්නක් බව ප‍්‍රකාශ කළා. ඇවැත්නි, ඔබට වැටහුණා වේවා, නොවැටහුණා වේවා එය එසේම යැයි භික්‍ෂූන් වහන්සේලා උත්තර දුන්නා.

එවිට සුසීම හිමියන් බුදුන් වහන්සේ ළඟට ගොස් භික්‍ෂූන් වහන්සේලා සමග කළ සියලූ කතා, ප‍්‍රකාශ කර සිටියා. බුදුන් වහන්සේත්, සුසීම තොපට වැටහුණා වේවා නොවැටහුණා වේවා විදසුන් නුවණ පළමුව උපදී, මග නැණ දෙවනුව උපදී යැයි දේශනා කළා. ඉන්පසු බුදුන් වහන්සේ සුසීම හිමිගෙන් මෙහෙම ඇහුවා.

සුසීම, ඒ කිමැයි හැඟේද? රූප නිච්ච හෝ අනිච්ච හෝ වේද? වහන්ස අනිච්චයි. යමක් අනිච්ච නම් එය දුකද? සැපද? වහන්ස දුකයි. සුසීම යමක් අනිච්ච නම්, දුක නම්, පෙරලෙන සුළු නම්, මෙය මාගේ වෙයි, මාගේ ආත්මයයි ගැනීමට සුදුසු වේද? වහන්ස එය නොවේමය. වේදනාව නිච්ච හෝ අනිච්ච වේද? වහන්ස අනිච්චයි. එය මාගේ ආත්මයයි ගැනීමට සුදුසු වේද? වහන්ස නොවේමය. සංඥා, සංඛාර, විඤ්ඤාණ නිච්ච හෝ අනිච්ච වේද? වහන්ස අනිච්චයි. යමක් අනිච්ච නම් එය දුකද? සැපද? දුකයි ස්වාමීනි. යමක් අනිච්ච නම්, දුක නම්, පෙරලෙන සුළු නම් මෙය මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය වේ යැයි ගැනීමට සුදුසුද? නැත ස්වාමීනි.

සුසීම, එහෙයින් මෙහි අධ්‍යාත්මික වූ හෝ භාහිර වූ හෝ  ඕලාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප‍්‍රනීත වූ හෝ දුර වූ හෝ ළඟ වූ හෝ අතීත අනාගත පටිච්ච සමුප්පන්න යම් කිසි රූපයක් වේ නම්, වේදනාවක් වේ නම්, සංඥාවක් වේ නම්, සංඛාරයක් වේ නම්, විඤ්ඤාණයක් වේ නම් එය මාගේ නොවේ, එය මම නොවෙමි, එය මාගේ ආත්මය නොවේ යැයි මෙසේ තතු සේ මනා නුවණින් දැක්ක යුතුය. අධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ  ඕලාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප‍්‍රනීත වූ හෝ දුර වූ හෝ ළඟ වූ හෝ යම් කිසි අතීත, අනාගත පටිච්ච සමුප්පන්න විඤ්ඤාණයක් වේ නම් ඒ විඤ්ඤාණය මාගේ නොවේ, මම නොවෙමි, මාගේ ආත්මය නොවේ යැයි මෙසේ තතු සේ ප‍්‍රඥාවෙන් මනා නුවණින් දැක්ක යුතුය.

සුසීම, ශෘතවත් ආර්ය ශ‍්‍රාවක තෙමේ මෙසේ දක්නේ, රූපයෙහිද කළකිරේ, වේදනාවෙහිද කළකිරේ, සංඥාවෙහිද කලකිරේ, සංඛාර කෙරෙහිද කලකිරේ, විඤ්ඤාණයෙහිද කලකිරේ, කලකිරුනේ නොඇලෙයි, නොඇල්මෙන් මිදේ, මිදුන කල්හි මිදුනේ යැයි දැනීම වේ. ජාතිය ක්‍ෂය විය, බඹසර වැස නිමවන ලදී, කටයුතු නිම කරන ලදී, මේ අත්බැව පිණිස කළ යුතු අනෙකක් නැතැයි දැනගනී. (මෙහි නිබ්බින්දාමීති යන වචනයට කලකිරීම යන අරුත දී තිබුණත් නොඇලීම, නොබැඳීම යන අරුත වඩා ගැලපෙන බව පෙනී යනවා).

සුසීම, ජාති ප‍්‍රත්‍යයෙන් ජරා මරණ වේ යැයි දකීද? වහන්ස එසේය. සුසීම, භව ප‍්‍රත්‍යයෙන් ජාති වේ යැයි දකීද? වහන්ස එසේය. සුසීම, උපාදාන ප‍්‍රත්‍යයෙන් භව වේ යැයි දකීද? වහන්ස එසේය. සුසීම, තණ්හා ප‍්‍රත්‍යයෙන් උපාදාන වේ යැයි දකීද? වහන්ස එසේය. සුසීම, වේදනා ප‍්‍රත්‍යයෙන් තණ්හා වේ යැයි දකීද? වහන්ස එසේය. සුසීම, ස්පර්ශ ප‍්‍රත්‍යයෙන් වේදනා වේ යැයි දකීද? වහන්ස එසේය. සුසීම, සලායතන ප‍්‍රත්‍යයෙන් ස්පර්ශ වේ යැයි දකීද? වහන්ස එසේය. සුසීම, නාම රූප ප‍්‍රත්‍යයෙන් සලායතන වේ යැයි දකීද? වහන්ස එසේය. සුසීම, විඤ්ඤාණ ප‍්‍රත්‍යයෙන් නාම රූප වේ යැයි දකීද? වහන්ස එසේය. සුසීම, සංඛාර ප‍්‍රත්‍යයෙන් විඤ්ඤාණ වේ යැයි දකීද? වහන්ස එසේය. සුසීම, අවිද්‍යා ප‍්‍රත්‍යයෙන් සංඛාර වේ යැයි දකීද? වහන්ස එසේය.

සුසීම, ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධ වේ යැයි දකීද? වහන්ස එසේය. සුසීම, භව නිරෝධයෙන් ජාති නිරෝධ වේ යැයි දකීද? වහන්ස එසේය. සුසීම, උපාදාන නිරෝධයෙන් භව නිරෝධ වේ යැයි දකීද? වහන්ස එසේය. සුසීම, තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධ වේ යැයි දකීද? වහන්ස එසේය. සුසීම, වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධ වේ යැයි දකීද? වහන්ස එසේය. සුසීම, ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධ වේ යැයි දකීද? වහන්ස එසේය. සුසීම, සලායතන නිරෝධයෙන් ස්පර්ශ නිරෝධ වේ යැයි දකීද? වහන්ස එසේය. සුසීම, නාම රූප නිරෝධයෙන් සලායතන නිරෝධ වේ යැයි දකීද? වහන්ස එසේය. සුසීම, විඤ්ඤාණ නිරෝධයෙන් නාම රූප නිරෝධ වේ යැයි දකීද? වහන්ස එසේය. සුසීම, සංඛාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධ වේ යැයි දකීද? වහන්ස එසේය. සුසීම, අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධ වේ යැයි දකීද? වහන්ස එසේය.

සුසීම, මෙසේ දන්නෙහි, මෙසේ දක්නෙහි, තොප නන් අයුරින් ඍද්ධි කොටස් වි`දින්නෙහිද? වහන්ස නොවේමය. සුසීම, තොප මෙසේ දන්නෙහි, මෙසේ දක්නෙහි පිරිසිදු වූ මිනිස් ඇස ඉක්මවූ දිවැසින්, දෙවියන්ගේ මිනිසුන්ගේ ශබ්ද අසන්නේද? වහන්ස නොවේමය. සුසීම, මෙසේ දන්නේ, මෙසේ දක්නේ තම සිතින් අනුන්ගේ සිත් පිරිසිඳ දකින්නේද? වහන්ස නොවේමය. සුසීම, මෙසේ දන්නේ, මෙසේ දක්නේ පෙර විසූ කඳ පිළිවෙල දකින්නේද? වහන්ස නොවේමය. සුසීම, මෙසේ දන්නේ, මෙසේ දක්නේ දිවැසින්, චුත වන හෝ උපදින සත්ත්වයන් දකිත්ද? වහන්ස නොවේමය. සුසීම, තොප මෙසේ දන්නෙහි, මෙසේ දක්නෙහි රූපයන් ඉක්මවා සිටි ඒ ශාන්ත අරූප විමෝක්‍ෂ හෝ වෙත්නම් ඔවුන් කයින් පැහැස වෙසෙහිද? වහන්ස නොවේමයි. සුසීම, දැන් තොපගේ ප‍්‍රකාශය තොප ඒ දන්නා දක්නා ධර්මයන්ට නොපැමිණීමයි කීවොත් කෙසේද?

එකල්හි සුසීම භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේගේ පා ළඟ හිසින් වැටී මෙසේ ප‍්‍රකාශ කර සිටියා.

වහන්ස යම් බඳු මම මේ ස්වාක්‍ඛාත වූ සාසනයෙහි දහම් සොරෙකුව පැවිදි වූයෙම්ද, බාලයෙකු මෙන්, මෝඩයෙකු මෙන්, අදක්‍ෂයෙකු මෙන් වරද මා ඉක්ම ගියේය. ස්වාමීනි, මාගේ වරද වරද වශයෙන් පිළිගෙන ආයති සංවරය පිණිස කමා කර වදාරණ සේක්වා.

මේ පෙන්වූයේ එම සූත‍්‍රයේ කොටසක් පමණයි. මෙයින් එක් කාරණයක් පෙනී යනවා. ප‍්‍රථම ධ්‍යානය වත් වඩා නොගෙන දහම් දැනගැනීම හෝ මගඵල ලැබීමට බැරිය යන අදහස යමෙකුට ඇත්නම් ඉහත සූත‍්‍රය කියවා සත්‍යය තේරුම් ගත යුතුයි. ලෞකික දැහැන් මග කියන්නේ එකක්, සාසන මග අනෙකක්.

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණ දහම් කරුණු ඇසුරින් සකස් කළේ :
නීතිඥ චන්දන සිරිවර්ධන

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.

One thought on “ලෞකික හා ලෝකෝත්තර දහම් මාර්ගවල වෙනස වටහා ගනිමු.

  1. Pingback: ලෞකික හා ලෝකෝත්තර දැහැන්වල වෙනස… | හෙළ බොදු පියුම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *