සත්‍යය සොයා ගැනීමට පර්යේෂණ කරමින් භෞතිකවාදියෙකු ලෙසත් රඟපෑවා

පසුගිය කලාපයෙන් –  රන්වන් ආලෝක ධාරාවකින් මගේ ශරීරය නැහැවී ගියා… එතැන් සිට…

ඔය තමයි කිසිම ගුරුවරයෙක් නැතිව, මඟ පෙන්වීමක් නැතුව මා ලැබු අත්දැකීම්. පහුකාලෙකදී මට වැටහුණා පෙර සසරේ හේතු වාසනා තිබුණා නම් එවැනි අයට ඔය ගුරුවරු හෝ වෙනයම් කෙනෙක් මඟ පෙන්වන්න හෝ කියා දීමක් හෝ කරන්නට අවශ්‍ය වෙන්නේ නැති බව. ඉතාම සුළු නිමිත්තක් එවැනි කෙනෙකුට සෑහෙනවා.

ඒ වගේම තමයි

මේ දේ මම කාට කියන්නද? කාට හෝ කියලා මේකෙන් ඇති වැඩක් තියෙයිද?

එදා මම ඔය ගැන හිතපු දේ තමයි ඒ. ඒත් මට අදහසක් තිබුණා මම කවදා හරි මහණදම් පුරන්න  ඕනයි කියලා, මහණදම් පුරලා මේ තත්ත්වය සම්පූර්ණ කර ගන්න උවමනායි කියලා.

ඉතිං ඒ හින්දා තමයි මම ඒ කාලේ ඉඳන්ම මහණ වෙන්න  ඕනෑ බව කියමින් ඉඳල තියෙන්නේ. ඒ කුඩා කාලේ මම එහෙම කිව්වේ ඒ ගැන යමක් හරි හැටි දැනගෙන නෙමෙයි. ඒත් දැන් මම මේක කියන්නේ මේ තත්ත්වය ගැන හොඳින්ම දැනගෙනයි. එතකොට මම ඉස්කෝලේ අටවෙනි පන්තියේ විතර ඇති.

අම්මයි තාත්තයි මං ගැන බය වුණා කියලයි මට හිතෙන්නේ. මොකද ඒ අය නැති කාලෙක මම ඔය කොහේ හරි කැළේක තාපසයෙක් වෙලා ඉඳිවි කියල. ඉතිං එහෙම හිතලා ඒ අය මාව ගිහිං ඇරලූවා ඉඳුරානේ සීලානන්ද හිමි කියන සතර කෝරළ මහදිසාවේ අධිකරණ සංඝනායක හාමුදුරුවන් වැඩසිටි කෝන්ගොඩ කියන පන්සලට. ඉතිං මම එහේ නැවතිලා හිටියේ මහණ වෙන්නයි.

ඒත් මම, අර මගේ වයසේ අනිත් ළමයි වගේ සෙල්ලමට ගියේ නෑ. පන්සලේ ගෙනත් තිබුණු රසවාහිනී කියන සඟරා තමයි ඒ දවස්වල මම ආසාවෙන් කියෙව්වේ. මම දිගටම ඔය කියවීමේ යෙදිලා ඉන්නවා දකින ලොකු හාමුදුරුවෝ කියනවා, හා…. හා… ඔය විදිහට හිටියා ඇති, දැන් ඉතිං මේ තැන තියෙන කටයුතුවලට තමුන් යෙදෙන්නට වුවමනායි කියලා. ආපිටම අහනවා කම්මැලි නැද්ද දිගටම ඔතන ඉඳගෙන ඔය පොත් කියව කියවා ඉන්ඩ කියලා. ලොකු හාමුදුරුවෝ එහෙම කිව්වම මම හරි බයයි. විගහට නැගිටලා ගිහින් අතුපතු ගාලා ඒ වැඩ කටයුතුවල යෙදෙවා.

හය මාසයක් යනකං බුද්ධ ගජ්ජය, නාමාෂ්ඨශතකය, සාමණේර බණ දහම් පොත වගේ ඒවා කට පාඩම් කළත්, මම හොයාපු දේ එතන තිබුණෙ නෑ. ඔන්න ඔහොම ඉඳලා මහණ වෙන්න දවස් කීපයක් තියෙද්දී අපේ ගම් පැත්තෙන් ලොකු හාමුදුරුවන්ට දානෙකට ආරාධනාවක් ආවා. හාමුරුවෝ මේ ගමනට මාවත් එකතු කර ගත්තා. අන්තිමට ඒ ගමන, ගමට ආපු මම, ගෙවල් පැත්තට ඇවිත්  ආයෙත් නං මම එහේ යන්නේ නෑ කියලා එහෙමම නැවතුණා. ඉන් පස්සේ ආයෙත් ඉස්කෝලේ ගියා. පූර්ව ජ්‍යෙෂ්ඨෙ, ජ්‍යෙෂ්ඨෙ කළා. නමුත් මගේ හිතේ තිබුණු දේ තමයි, මම කවදා හරි මේ පැවිද්දට යා යුතුම යි කියන අදහස.

මම ගිය පාසල ඒකාලෙ හැඳින්නුවේ වහරක බොදු මුසු පාසල කියලයි. අපි පාසල් යන කාලේ අටේ පන්තිය සමත් වූ පසු ඊළඟට තිබුනෙ පෙර දෙටු පෙළ කියන පංතිය. පාසල් පුස්තකාලයේ පොත් ලබාදෙන්නේ එම පංතියේ පටන් ඉහළට. මා අටේ පංතියේ හිටපු අවසාන කාලේ පුස්තකාලයට ගිහින් වටිනා පොතක් ගැන බලන විට “අභිධර්මය” කියා පොතක් තියෙනවා දැක්කා. පෙර දෙටු පෙළට සමත්වුන හැටියේ අනිත් ළමයි විවිධ පොත් ගත්තා. මම පුස්තකාල භාර ගුරුතුමාගෙන් ඉල්ලූවේ අර අභිධර්මය කියන පොත. ගුරුතුමා හිනාවෙලා

මෙච්චර පොත් තියෙද්දී කවුරුවත් මෙතෙක් ගෙන නැති අභිධර්මය පොත ඔයාට මොකටද?  ඕවා තේරුම් ගන්න සාමාන්‍ය අයට බෑ.  ඕවා බලන්නේ ලොකු හාමුදුරුවරුනේ  ඕවා බලල තනියෙන් තේරුම් ගන්නෙ කොහොමද?

කියලා ඇහුවා. මම කිව්වා බැරිද පුළුවන්ද කියලා දැන ගන්න නිකමට හරි බලන්න අවශ්‍යයි කියලා. ගුරුතුමා හිනාවෙලා ඒ පොත දුන්නා. මම පොත අරගෙන ගෙදර ආපු වෙලාවෙ ඉඳලා මුල පටන් අගට උඩින් මත්තෙන් බලාගෙන ගියා. මටම පුදුමයි! හිත ගැන, හිතේ හටගන්න චෛතසික ගැන, රූප ගැන වෙන් වෙන්ව ඒකෙ විස්තර කරල තිබුණා. බොහෝ කලකට පෙර අධ්‍යයනය කර තිබු දෙයක් නැවත සිහිවෙනව වාගේ, සිත් 89 ක්ද විස්තර වශයෙන් 121 ක්ද, ඒ සිත්වල යෙදෙන චෛතසික 52 ක්ද රූප කොටස් 28 ක්ද පිළිබඳව තිබු විග‍්‍රහය ඉතා හොඳට තේරුම් ගන්න පුළුවන් වුනා. සති දෙකකින් නැවත අත්සන් කර ඒ පොතම නැවතත් බලන්න අර ගත්තා. ගුරුතුමා ඇහුවා ඇයි වටහා ගන්න පුලූවන් වුනාද කියලා. මම සුළු වශයෙන් අභිධර්ම විග‍්‍රහයක් කළා. ඒ ටික අහගෙන හිටපු ගුරුතුමා පුදුම වුනා.

ඔයාට නම් සසර පුරුද්දක් ඇති නැත්නම් මෙහෙම විග‍්‍රහ කරන්න බෑ

කියල කිව්වා.

මේ විස්තර කියන කොට මා පහේ පංතියේ ඉන්න කාලේ සිදු වූ තවත් සිද්ධියක් මතක් වෙනවා. එක් දිනක් ගුරුවරු දෙදෙනෙකුගේ නොපැමිණීම නිසා පැය 2 ක පමණ කාලයක් ළමයි නිදහසේ තමන්ට අවශ්‍ය විදියට විවිධාකාරයේ අල්ලාප සල්ලාපවල යෙදිල හිටියා. අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත්  මම බුද්ධ චරිතයේ එන ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම කියන කරුණු කාරණා අඩංගු කුඩා පොතක් මුල පටන් බලන්න ගත්තා. ඒ අවස්ථාවේ මට, මම ඉන්නේ පැසැලේ ද කියාවත් නොවැටහී ගියා. පැය 2 ක්ම ගෙවිල ගියා. නමුත් මට පැය කාලක් ගියාද කියලවත් වැටහුණේ නෑ. මේ වෙලාවේ කියවමින් හිටියේ බුදුපියාණන් වහන්සේගේ පිරිනිවන් පෑම ගැන තියෙන කොටසයි. මගේ ඇස්වලින් කඳුළු බිඳු කම්මුල දිගේ හූරගෙන හැලෙනවා. පන්ති භාර ගුරුතුමා පන්තියට ඇවිත් තියෙන්නේ ඒ වෙලාවෙයි. එදා තිබුණ සිරිත තමයි ඔක්කොම ළමයි නැගිටල ආයිබෝං කියලා ගුරුතුමාට ආචාර කරන එක. ආයුබෝවන් කියන එකට තමයි ළමයි එහෙම කියන්නේ. හැබැයි ඒ සිදුවෙච්ච කිසිම දෙයක් මට මතක නෑ. හිටිගමන් මගේ ඔලූවට මොකක්දෝ ටක් ගාල වැදෙනව දැනුනා. මම එක පාරටම ගැස්සිලා ඉස්සරහ බැලූවා. ළමයි ඔක්කොම මට හිනාවෙනවා. ගුරුතුමා මට හුණු කැට කෑල්ලකිනුයි ගහල තිබුණේ. දැන් මගේ ඇස්වල කඳුළු පිරිලා කම්මුල් දිගේ තවම ගලනවා. ගුරුතුමා මගෙන් ඇහුවා ඇයි අඬන්නෙ කියලා. මට හරියට ලැජ්ජ හිතුනා. මෙහාට ගේනව ඔය බලාපු පොත කියලා ගුරුතුමා කියන කොටම පෙරලා තිබුණු පිටුවත් සමඟම පොත ගුරුතුමාට දුන්නා. වෙන දවසක නම් නොසැලකිලිමත්කමට දඬුවමක් විදියට කෝටු පාරවල් දෙකක් හම්බෙනවා. ඒත් ගුරුතුමා මගේ මූණ දිහාත් පොත දිහාත් දෙතුන් පාරක් බලල ගිහින් වාඩිවෙන්න කිව්වා. ඉන්පසු වරදකටවත් ගහපු දිනයක් මතක නෑ.

ඊට පෙර තවත් දවසක ගණන් හදාගෙන ආපු නැති වරදකට අහුවුනා. එදා ළමයි කෑගහල ගුරුතුමාට කිව්වා, මහත්තය ඔයාට නම් ගහලා අඬවන්න බෑ කියලා. අද මම අඬවන්නම් කියල අඩි කෝදු දාරෙන් අල්ලට පහක් හයක් විතර ගැහුවා. අල්ල රතුවෙලා පුපුරන ගානට ආවා. පිටි අල්ල හරවල තවත් දෙකක් ගැහුවා. ඒ වේදනාව නම් අසීමිතයි. ඒත් අඬවන්න බැරි වුනා. යනව ගිහින් වාඩිවෙනව කියලා ගුරුතුමා සැරකළා. මම රතු වෙච්ච අල්ල දිහා බලමින් ගිහින් වාඩි වුනා. ළමයි බයවෙලා වගේ නිහඬ වුනා. එක ළමයෙක් “අනේ පව්” කියනව ඇහුනා. කෙනෙකුට විපතක් වුනාම දුක හිතෙන අයත් එක්කෙනෙක් හරි ඉන්නවනේ කියලා ක්‍ෂණිකව අදහසක් එනවාත් සමගම මොරගෙඩි වගේ කඳුළු කැට කිහිපයක් වැටුණා. සුසුමක් හෙලා මම නිහඬ වුනා. මේවා කියන්නේ දුක් කරදරවලදී ඉවසීමේ හැකියාව කුඩා කල පටන් තිබිච්ච හැටි පෙන්වන්නයි.

පාසල් කාලය ගෙවිල ගියා අවුරුදු 18 ලැබුවා විතරයි, තුල්හිරියේ පෙහෙ කම්හලේ ඉංජිනේරු සංස්ථාවේ සේවයට යන්න ක‍්‍රමයක් ලැබුණා. මේ කාලයේ ගුප්ත ලෝකය ගැන, අමනුෂ්‍ය දේව කොටස් ගැන පරීක්ෂණ කරන්න නිතර හිත ඇදී ගියා. මේවා නැතැයි කියන අය මොන මොන හේතු උඩද එහෙම කියන්නේ කියන කාරණය ගැන නිතර විමර්ශනය කළා. භූත, පේ‍්‍රත, අපාය, දේව ආදී ලෝක ගැන සැකයක් නොතිබුණත් ඒවා ඇති බවට සැක හැරෙන හේතු විමසීම බොහෝ දෙනෙකුට හිතසුව පිණිස වන බව වටහාගෙන සිටි නිසා එකල කරුණු විමසුවේ ඊට විරුද්ධ පාක්‍ෂිකයකු හෙවත් භෞතිකවාදියකු ලෙස රඟපාමිනුයි.

ඒ කාලයේ ගිනි පෑගීම පිළිබඳව ඒබ‍්‍රහම් ටී කොවුර්, කාලෝ ෆොන්සේකා යන මහත්වරු මුලික කරගෙන ලොකු ආන්දෝලනයක් ඇති වුනා. මා සමග වැඩකළ අනිත් සේවක පිරිසගෙන් එම අභියෝගය මා වෙතද එල්ල වුනා. භෞතිකවාදී අදහස් අනුමත කරනවා නම්, මන්ත‍්‍ර ආදී බලයකින් තොරව ගිනි පාගා පෙන්වන්න කියන අභියෝගය ද මා වෙත එල්ල වුණා. ඊට සුදුසු පරිසරයක්ද වැඩපොලේ සැකසී තිබුණා. බදාම මිශ‍්‍රනයක් සෑදීම සඳහා යොදාගන්නා අඩි හතරක් පළල අඩි දහයක් පමණ දිග අඟල් කාලක් පමණ ඝනකම යකඩ තහඩුවක් ගිනියම් වෙන්න රත්කරල තමයි ඒ මත වැලි රත් කරන්නේ. ඒ යකඩ තහඩුව ගිනියම් වුනාම ඒ මතින් ගමන් කරන්නයි මට කළ අභියෝගය. තත්පර දෙකක් වැනි කාලයකට වැඩියෙන් එක තැන හිටියොත් පතුලේ හම පිච්චෙන බව මා අසා තිබුණා. දෙවනි දවසේ මේ තහඩුව පාගා ඒ උඩින් ගමන් කරන්න මා ඒ පිරිසට පොරොන්දු වුනා. එදින තහඩුව රත් වෙන්න ගින්දර දමා ආරම්භ කළ තැන් පටන් පියවර අටකින් තහඩුව පාගා ගෙන ඒ මේ අතට ගියා. කොතෙක් ගින්නෙන් රත් වුනත් නොපිච්චී යා හැකි බව මට වැටහුනා. දැන් වැලි දමා රත්කර වැලි ඉවත් කළාම තහඩුව රතු පාටට ගිනියම් වී පේනවා. පියවර අටකින් තහඩුව හරහා ගිහින් අභියෝගය ජය ගන්තා.

මීට කිසිම මන්ත‍්‍ර බලයක් අනවශ්‍ය බව කරුණු සහිතව කීවත් තවත් එක්කෙනෙක් හැර අනිත් අය ඒ මතින් යන්න භය වුනා. මෙය දුටු ජර්මන් ජාතික නිලධාරීන් පිරිසක් ඡායාරූප ගන්න සැරසුනා. වැඩපොලේ ප‍්‍රධාන නිලධාරීතුමා (ආර්. ඒ. මහතා) මේ කටයුත්ත දැකලා අපට අවවාද කර මින්මතු එවැනි වැඩ, වැඩපොල තුළ නොකරන ලෙසටත් එය සේවයෙන් පහකිරීමට තරම් බලවත් වරදක් බවත් කියා සිටි නිසා ඉන්පසු එවැනි දේවල් කළේ නෑ. මේ කරුණු මෙසේ පවසන්නේ විමසුම් නුවණින් යථා තත්ත්වය නොදැක යමක් පිළිගන්නට මා සූදානම් නැති නිසයි.

දෙවියන් පිළිබඳව ධර්මානුකූල කරුණු ගැන අවිශ්වාසයක් නොතිබුණත් යමක් ලෝකයට කිව යුත්තේ හේතු සාධක අත්දැකීම් සහිතවම නිසා එම කරුණු සොයාගන්නට මා පෙනී සිටියේ භෞතිකවාදී අදහස් ඇති කෙනෙක් ලෙසයි. මා සමග මේ ගැන කතා කරන පිරිසට කීවේ හේතු සාධක ඇතිව ඒ ගැන කරුණු ඔප්පු කර පෙන්වන ලෙසයි.

මා සමග සේවය කළ පිරිසගෙන් ඊළඟට එල්ල වූ අභියෝගය නම් ශ‍්‍රීපාද වන්දනාවේ ගොස් සමන් දෙවියන්ට අභියෝග කරන ලෙසයි. දැන් ගමන යන්න හැමෝම සූදානම්ය. මා කියා සිටියේ හේතු දකින තුරු එබඳු දෙවි කෙනෙක් ගැන නිගමනයක් නොකරන බවත්, වන්දනාකර බැසීමට පෙර දෙවියන්ට හැකි නම් විශේෂ යමක් සිදුකර අන් අයගේ කීම හෙවත් පිළිගැනීම ඔප්පු කරන ලෙසත් ය. මා කවදාවත් ඒ වන විට ශ‍්‍රී පාද වන්දනාවේ ගිහින් තිබුණෙ නෑ. එබැවින් කෝඩුකාරයෙකි. ඒ අය සඳහා විශේෂ පිළිවෙත් මාලාවක්, ස්ථානය බාර කපු මහතෙකු විසින් සිදු කරනවා. මා අපේ පිරිසට කීවේ මමද මීට පෙර ශ‍්‍රී පාදයේ ගිය කෙනෙක් ලෙස යන බවත්, සමන් දෙවියන් කියා කෙනෙක් ඇත්නම් ඒ බලය පෙන්වා ඔප්පු කරන ලෙසත් ය.

ඒ ප‍්‍රකාශය සමනල සිරිපා වැඳීමට ආරම්භ කරන කඳු මුලදී ද කියා ගමන ආරම්භ කළා. අනිත් පිරිස මා සමඟ යන්න බිය වී මා තනිකර වෙන්වුනා. මමද සිනාසෙමින් සිරිපා කඳු මුදුනටම ගියා. එහිදී පිරිස යලිත් හමුවනා. මෙතෙක්නම් මට කිසිම බාධකයක් හෝ විශේෂයක් අත් දකින්නට නොලැබුණ බවත්, බහින අතරවත් එබන්දක් පෙන්වන්නට සමන් දෙවියන්ට අභියෝග කරන බවත් පිරිස ඉදිරියේ මා කියා සිටියා. තව දුරටත් බිය වූ පිරිස මා බහින්නට පෙරාතුවම බැස ගියා. මට කිසි ගාණක් හෝ වෙහෙසක් නෑ. නමුත් ටික දුරක් බැසගෙන යන විට බඩ බුරුල් වී වේදනා සහගත කැක්කුමක් ද වැසිකිලි යාමේ විශේෂ අවශ්‍යතාවයක්ද මතු වුනා. එතරම් ගණන් නොගත් මා, පාරේ පැත්තක වැසිකිලියක් දැක ඉක්මනින් එහි ගියා. සෝදා ගන්න වතුර බාල්දියක්ද පීරී තිබුනා. කරාම සහිත වතුර බට තිබුණත් ඒවායේ වතුර තිබුණේ නෑ. නමුත් තිබුණ වතුර ටික මට සෑහුනා.

ඉන්පසු මෙය ස්වභාවික දෙයකියි, මෙබන්දක් දේව බලයක් යැයි කෙසේවත් නොපිළිගනිමියි සිතමින් තවත් බඹ විස්සක් පමණ බහින කොට පෙර තිබූ වේදනාව මෙන් හතර පස් ගුණයකින් වැඩි කැක්කුමක් සහිතව වැසිකිලි යාමේ අවශ්‍යතාවය නැවතත් මතු වුණා. පුදුමය නම් පෙර සේම වැසිකිලියක්ද ජලය පිරුණු බාල්දියක්ද එහි තිබීමයි. එයත් සාමාන්‍ය සිද්ධියක් ලෙසයි සිතුවේ. නැවත බඹ විස්සක් වත් යන්න ලැබුනෙ නෑ. ඇඳ සිටි කලිසම බේරා ගත්තේ අනූනවයෙනි. එසේම  පෙර ලෙස වැසිකිලියක් හා ජලයද හමුවුනා. මෙසේ සමනල කන්ද බහින විට හය පොලක පමණ මේ සිදුවීම මේ විදියටම සිද්ධ වුනා. දැන් මේ කිසිවක් මා සමග ආ පිරිස දන්නෙ නෑ.

මා බස් රථය වෙත එන විට සියල්ලෝම මුහුණු සඟවා ගෙන නිදි ලෙසට සිටියා. මමත් බොහෝ හෙමින් ගොස් මා සිටි අසුනේ ඉඳගෙන සෑහෙන බයකින් නිහඬව හිටියේ, බස් රථයේ දී වැසිකිලි යන්න අවශ්‍ය වුනොත් දෙවියන්ගේ හාස්කම හැමෝටම ඔප්පු වේ යැයි බියකිනි. බස් රථය පැය ගණනක් ගෙවා කරවනැල්ලට පැමිණි විට මා බස් රථයෙන් බැසගත් අතර සියල්ලෝම බැගෑපත් ලෙස මට ජය ලැබුණ ලෙස සිතා අතවනා ආචාර කළා. මමද ඔවුන් ඉදිරියේ කරදරයක් නොවීම ගැන සතුටු වුනා. එහෙත් යළිත් එම බඬේ වේදනාව සමග වැසිකිලි යාමේ අවශ්‍යතාවය තදින් මතුවුනා. රජයේ වැසිකිලිය විමසන්නටද කෙනෙක් නෑ. වටපිට බලන විට දිස්වුනේ පන්සලක්. ඉක්මනින් පන්සල දෙසට යන විට ස්වාමීන් වහන්සේ නමක් දැක, බඬේ අමාරුවක් ඇති බව පවසා වැසිකිලියක් විමසු විය ඔය පාරෙන් යන්නයි කියා රජයේ වැසිකිලිය පෙන්නුවා. මට පාරද නිච්චි නෑ. වැසිකිලියක් පේන්නත් නෑ. වැසිකිලි යාමේ අවශ්‍යතාවයත් ඒ තරම්ම වැඩියි.

එකල සිටි අනිත් තරුණයන් මෙන් නොව නාඳුනන කාන්තාවන් සමග කතා කරන්නට මා හට ඇති  ලැජ්ජාව නිසා මම ඊට අකමැති වුනා. නමුත් කරන්න දෙයක් නෑ. තරුණ ගැහැණු ළමයෙක් මිදුලක් අතු ගාමින් ඉන්නවා දැක කළ යුතු දෙයක් නැති කමින් නංගියේ රජයේ වැසිකිලිය කොහේද කියා අහක බලාගෙන ඇහුවා. ඒ ළමයාද අර තියෙන්නේ කියා ඉදල්මිට වැසිකිළිය දෙසට දිගුකොට ගස්සා යන්න ගියා. ඉහවහා ගිය ලැජ්ජාවත් වැසිකිලියාමේ අවශ්‍යතාවයත් නිසාම වැසිකිලියට ගියා. එහිද පෙර සේම ජලය පිරවූ බාල්දියක් තිබුනා. අනුනවයෙන් ඇඳුම බේරා ගත්තා. බිම බලාගෙනම බස් නැවතුම් පොලට ඇවිත් ගෝණගල්දෙනිය බස් රථයෙන් ආපසු ගමට ආවා. දැන් ගෙදරට ඇත්තේ බඹ විසි පහක පමණ දුරක් නිසා දැන් නම් බඩ රිදුනත් බය නෑ කියා හිතුනා. වත්තට ඇතුලූවන සීමාවට එනවිට යලිත් බඬේ වේදනාව ඇතිවුනා. දැන් බයක් නෑ. පැත්තක ඇති දොල පාර ගස්වලින් වැහිලයි තිබුණේ. වහාම එහි සුදුසු තැනක ඉඳගෙන වේදනා නැතිවන තුරුම හිටියා. ලේ සමඟ මළ පහ වුනා. නැවත ගෙදර ඇවිත් මවටද ඒ බව පවසා කෝපි ටිකක් සකස් කර ගත්තත් කිසිම වේදනාවක් නොදැනුන නිසා කෝපි ටිකද නොබී තවත් කුමක් වේදෝයි සිතමින් සිටිය මුත් බඬේ අමාරුවක සේයාවක්වත් ඉන්පසු ආවෙ නෑ.

නැවත වැඩ පොලට ගියවිට පිරිස එකතු වී අද පටන් අපිත් ඔබ කියන දේ පිළිගන්නවා කියමින් මා වටා රොක් වුනා. එහෙත් සිදු වූ දේ විස්තර කර ඒ පිරිසට පැවසුවත් මා ඒ අයට කොලොප්පම් කරතියි සිතා ඒ අය ඒ කතාව පිළිගත්තෙ නෑ. නමුත් අවංකවම සත්‍යය හෙළිකර දෙවියන් පිළිබඳව සහතිකයක් දීමට තරම් වැදගත් නිසා මට සිදු වූ අත්දැකීම පැවසු වේ මා අපහසුතාවයකට හෝ අපහාසයකට පත්වීමට ඉඩ නොදීම ගැන සමන් දෙවියන්ට ස්තූති කරමිනි. මෙබඳු දේවල් පවසන්නේ මෙබඳු ගුප්ත ස්වභාවයන් ලොව ඇති බව තේරුම් ගෙන භෞතික නිගමනවලට එකවර නොබසින්නට කරුණු පෙන්වීම සඳහායි.

(මීළඟ කොටස ලබන කලාපයෙන්)

සටහන
නීතිඥ චන්දන සිරිවර්ධන

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.