ශුද්ධාෂ්ඨකයේ ආරම්භක අවස්ථාව වන ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියන මේවායේ භූත කොටස් ගැන තමයි පසුගිය කලාපයේ අවසානයට විග‍්‍රහ කළේ. දැන් ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියන මේවායේ භූතවලින් විතරක් යමක් කරගන්න බැරි නිසා, ඊළඟට මේ භූතයන්ගෙන් හටගත්ත ශුද්ධාෂ්ඨක, අනුකූල දේ නිෂ්පාදනය කරන්න පොදි වශයෙන් බැඳි බැඳී සකස් වෙනවා. එකින් එකට ආකර්ශනය කරමින් අවශ්‍ය දේ නිෂ්පාදනය කරන්න, අවශ්‍ය හැඩතල ගනිමින් ඊට අනුකූලව පළවෙනි සකස් වීම වෙනකොට ඒවා ආපෝ මහා භූත, තේජෝ මහා භූත, වායෝ මහා භූත, පඨවි මහා භූත කියන තැනට වැටෙනවා. ඉන් පසු සියුම් රූප කලාපවලින් හටගන්නා වූ කයක් නිර්මාණය වීමට ඒක හේතු වෙනවා.

බ‍්‍රහ්මයින්ගේ බ‍්‍රහ්ම කායිකත්වය වැනි සියුම් අවස්ථාවන් හටගන්නේ අන්න ඒ සියුම් මහා භූත රූප කලාපයන්ගෙන්. ඊට එහා කාම ලෝකය භුක්ති විඳින්න ඒ සියුම් මට්ටම මදි. ඒ සඳහා තවත් ඝනීභවනය වෙන්න  ඕන. ඊට වඩා ඝනීභවනය වන ඇසක්, රූපයක් ස්පර්ශ කරල කාමාස්වාද විඳින්න ගන්න  ඕන. ඒ වගේම බ‍්‍රහ්මත්වයට වඩා ඝනීභවනය වෙච්ච කනක් සහ ශබ්දයක් කාමාස්වාදයට  ඕන. ඒ බ‍්‍රහ්මත්වයට සම්බන්ධ නැති, කාමයට හේතුවෙන ආකාරයේ ඝනීභවන නාසයක්, දිවක්, කයක් වගේම ඒවාට ගන්ධ, රස, ස්පර්ශයන් ලබාදෙන දේ ඊට වඩා ඝනීභවනය වෙන්න අවශ්‍යයි.

සුගතිගාමී ඊළඟ සත්ත්වයාගේ අවස්ථාවට පත් වුනාම, දිව්‍යමය ආදී වන්නා වූ කය නිපදවන කොට ඔය කියන තත්ත්වයට පත්වෙලා සියුම් ධාතු කලාප බවට පත්වෙනවා. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන මේවායේ සියුම් කොටසේ කොටස් හතරක් එනවා. ඒ සියුම් කොටසේ කයට ඒක ගැලපෙනවා. දැන් මෙතනදී අපි දකින්න  ඕන මේක කොහොමද වෙන්නෙ කියලා. බොහොම සියුම් තැනක් තමයි මේ විග‍්‍රහ කරගෙන යන්නේ.

අපි හිතමුකො මෙහෙම දෙයක්. පොඩි ළමයෙක් හුරතලයට හුරතල් කථා කියමින් දඟලමින් ඉන්නව දැක්කම ආතල, මුත්තල මොකද කරන්නේ,  ඕක බලා ඉඳල හරියට සතුටු වෙනවා. ඒකත් අවිද්‍යා තෘෂ්ණාවේම කොටසක් තමයි. ඒක ප‍්‍රිය මනාප, මන වඩන ආස්වාදයක් ගෙන දෙන දෙයක් වෙනවා. දැන් මේ අවස්ථාව වෙනකොට පැත්තක ඉඳගෙන සතුටු වෙන මට්ටමක් තියෙනවා. හැබැයි ඒ මට්ටමේ සතුට මදි වුනාම මොකද කරන්නේ, අල්ලගන්න, වඩාගන්න, ඉඹගන්න හිතෙනවා. මේ තව අවස්ථාවක්. එතකොට ඒ හුරතලය තවත් වැඩි වුනොත් මොකද කරන්නේ, අල්ලල පොඩි කරන්න හිතෙනවා. දැන් පොඩි එකා රිදිල කෑගහනවා. මේ තමයි ආස්වාදය වැඩිපුර ලබන්න බලාපොරොත්තු තියන්න තියන්න සිදුවන ඝනීභවනයේ වැඩිවීම. හැබැයි වැඩි වන විට එක දෙයක් වෙනවා. බලාපොරොත්තු වුනේ සුවයක් වුනාට සුවය සමග ඈඳුණු රිදීමකුත් සම්බන්ධ වෙනවා.

සුවය බලාපොරොත්තු වෙලා, වැඩියෙන් බලාපොරොත්තු තියා ගත්තම, ලැබෙන්න තිබිච්ච සුවය අඩුවෙලා වේදනාවන් වැඩි වෙනවා. නමුත් බලාපොරොත්තුව අධික නිසා ඒ වේදනාව දෙවෙනි කරලා අර සුවය හොයන්න, දැඩිව ග‍්‍රහණය කරන්න යනවා. ආස්වාදය අඩු වෙවී ග‍්‍රහණ වේදනාව වැඩි වෙවී විඳිනවා. නමුත් අවිද්‍යාව නිසා මේක වැටහෙන්නෙ නෑ. එහෙනම් නිදහස් සුවයෙන් ආස්වාද විඳින දේවතාවන්ගේ මට්ටමට වඩා වැඩි ආස්වාදයක් බලාපොරොත්තුවෙන් දැඩි ග‍්‍රහණයට හිත තබන මනුෂ්‍යයන්ට ඊට වඩා වැඩි ඝනීභවනයක්  ඕන වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ, දෙවියන්ට වඩා ඝනීභවනය වන කුණක් අපට හම්බවෙනවා. අලූත් කුණු කොටස් තිස් දෙකකින් යුත් කයක් ඒකෙන් හදාගන්නවා. හේතුව මොකද අවිද්‍යාවෙයි තෘෂ්ණාවෙයි අධික භාවය නිසා ඒක දූෂ්‍ය පැත්තට යනවා.

එහෙනම් අවිද්‍යාවයි, තෘෂ්ණාවයි දූෂ්‍ය බවට පත්වෙනකොට ශුද්ධ දෙයක් නිපදවන්න බෑ. ඒක පොඞ්ඩක් හරි දූෂ්‍ය නිසා ඒකෙන් අශුද්ධ දෙයක් නිපදවෙනවා. මේ නිසා සිද්ධ වෙන්නෙ අශුද්ධතාවයෙන් වැඩි, ඝනීභවනයෙන් වැඩි රූපයෝ නිෂ්පාදනය වීමයි. මේ නිසා ඝනීභවනයට පත් වෙච්ච ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන කොටස් හතරක් ලෝකයේ නිෂ්පාදනය වෙනවා. ඒ ඝනීභවනයට අවශ්‍ය කරන ඇසක් – රූපයක්, කනක් – ශබ්දයක්, නාසයක් – ගන්ධයක්, දිවක් – රසයක්, ශරීරයක් – ස්පර්ශයක් නිෂ්පාදනය වෙනවා. එහෙනම් ඇස කියන උපකරණය, රූප නමැති උපකරණය, කන නමැති උපකරණය, ශබ්ද ගෙනත් දෙන උපකරණය, නාසය නමැති උපකරණය, ගන්ධ රැස්කර ගෙනත් දෙන උපකරණය, දිව නමැති උපකරණය, රස ගැබ් කරපු උපකරණය, කය නමැති උපකරණය, ස්පර්ශය ගැබ් කරපු උපකරණය ආදී වශයෙන් ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේවාට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා ලබාදෙන ද්‍රව්‍යමය දේ හටගැනීමට අර මහා භූතයෝ ධාතු බවට පත්වෙලා ඝනීභවන ධාතු බවට පත්වෙනවා.

මේ නිසා ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන ඒවා මනුෂ්‍ය ලෝකයේදී ඝනීභවන සහිත පස්, ජල, ගිනි, සුළං යනුවෙන් කොටස් හතරකට බෙදෙනවා. එතකොට වතාවල් කීයක් එකිනෙකට ඝනීභවනය වෙච්ච ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලයක්ද පස්, ජල, ගිනි, සුළං කියන්නේ. හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ පස්වලින් විතරක් ආස්වාද විඳින්න නොවෙයි, ජලයෙන් විතරක් ආස්වාද විඳින්නත් නොවෙයි, ගින්නෙන් විතරක් ආස්වාද විඳින්නත් නොවෙයි, සුළඟින් විතරක් ආස්වාද විඳින්නත් නොවෙයි. මේ පස්, ජල, ගිනි, සුළං කියන හතරේ සම්පින්ඩනයකින් හටගත්ත ඇස – රූප, කන – ශබ්ද, නාසය – ගන්ධ, දිව – රස, කය – ස්පර්ශ කියන මේවායේ ආස්වාද විඳීමට තමයි අපි බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. තවත් ශුද්ධ ඇතිව කියනවා නම් ඝනීභවන වෙච්ච ඇස, කන, නාසය, දිව, ශරීරයත්, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ගෙනදෙන ඝනීභවන බාහිර වස්තුත්, කර්ම-ඍතු-හේතු යන තුනෙන් ජනිත වෙනවා.

මොකද බලාපොරොත්තුව වේදනා භුක්තියයි. වේදනාවක් ලබන්න නම් ඒ වේදනාවට අනුකූල දෙකක් ස්පර්ශ වෙන්න  ඕන. ඇසක් – රූපයක් ස්පර්ශ වුනාම තමයි චක්ඛු වේදනාවක් එන්නේ. කනක් – ශබ්දයක් ස්පර්ශ වුනාමයි ශබ්ද වින්දනයක් එන්නේ. නාසයක් – ගන්ධයක් ස්පර්ශ වුනාමයි ඝාන වින්දනයක් එන්නේ. දිවක් – රසයක් ස්පර්ශ වුනාමයි රස වින්දනයක් එන්නේ. කයක් – ස්පර්ශයට දෙයක් එකතු වුනාමයි කාය ආස්වාද වින්දනයක් එන්නේ.

බලාපොරොත්තුව කාය ආස්වාද වින්දනය මිසක් ඉන් එහාට දෙයක් නොවන නිසා අපේ මානසිකත්වයෙන් නිකුත් කරපු ශක්තිය යමක් නිෂ්පාදනය කරන්න නිකුත් වුනාද, ඒ වින්දන මට්ටම ලබාදෙන මට්ටමක දෙයක් සකස් කර දෙන්නයි නිකුත් වුනේ. ඒ නිසා අපට රූපාස්වාදය, ශබ්දාස්වාදය, ගන්ධාස්වාදය, රසාස්වාදය, ස්පර්ශාස්වාදය කියන මේවාට පෑහෙන්න සුදුසු මට්ටමට නිෂ්පාදනය වුනාම අපි කියනවා “පෑහුනා” හෙවත් “පැහුනා” කියල. ඒ කියන්නේ නියම ගානට පැහිල තියෙනවා. මේ විදිහට අපේ භුක්තියට පැහිච්ච දේවල් හම්බවෙනවා. අපේ ආස්වාද භුක්තියට පැහිච්ච දේවල් හම්බ වෙන්නේ මේ ආකාරයට තමයි.

“ඉද්ද වුනා” කියන්නේ ඒකෙ පිහිටන්න පුළුවන් වුනා කියන එකයි. දැන් ආස්වාද භුක්තියට අවශ්‍ය කාරණා එකින් එක පෑහෙනවා. පෑහෙන එකේ පිහිටනවා. පෑහිච්ච එකේ ඉද්ද වුනාම “ඉදෙනවා” කියනවා. එහෙනම් පෑහුනාම, ඉදුනාම තමයි අපේ භුක්තිය හම්බ වෙන්නේ. පෑහෙනකොට භුක්තියට ළංවුනා. ඉද්ද වුනාම භුක්තිය විඳිනවා. දැන් ගොයම් පැහෙනකොට කියනවා “පැසුනා” කියල. බත් ඉව්වහම කියනවා “ඉදුනා” කියල. පෑහිච්ච එක භුක්තියට ළංවුනා. පොඩි කමට ඉන්න එකෙක් පැහුනම කියනවා “කෙල්ල පැහිල, කොල්ල පැහිල” කියල. ඉදෙනවා කියන්නේ ඉද්ද වුනා හෙවත් ඒ සඳහා ඉන්දෙව්වා කියන එකයි. එහෙනම් පැහුනාම, ඉදුනාම තමයි භුක්තියට ගැලපෙන දේ ආස්වාදයට සම්බන්ධ වෙන්නේ.

මෙයින් එහාට ලෝක සත්ත්වයාගේ බලාපොරොත්තුවක් නැති නිසා ඉන් එහා ලෝක නිර්මාණයක් සිද්ධ වෙන්න බෑ. ඒ උපරිම මට්ටමට ආවා. දැන් සිද්ධ වෙන්නේ නැවත වාරයක් ආපහු බිඳිල ගිහින් අර පරමාණුකව ගැබ් කරපු ශක්තිය තව තවත් ඒකෙ බලවත්ව තියෙනව නම් නැවතත් චක‍්‍රයක් ක‍්‍රියාත්මක වෙන එකයි. දැන් ඉතින් නැවත වාරයක් පහළ ඉඳන් පෑහෙන මට්ටමට ඇවිත් ඉදෙන මට්ටමට එන්න  ඕන. ඊට පස්සේ ඒක භුක්තියට ලබා දීල, භුක්ති අවස්ථාව ගත්ත හෝ නොගත්ත හෝ කාලය ගිය ගමන් නැවතත් රැල්ල බැස්ස වගේ පල්ලෙහාට බහිනවා. බැහැලා නැවත පෑහෙන ඉදෙන මට්ටමේ දෙයක් නිපදවන්න ආරම්භ කරනවා.

මේ ගැබ් කරපු ශක්ති විශේෂය මොකෙන්ද ගැබ් කළේ? අපට අවශ්‍ය දේවල්, අපේ භුක්තියට මෙන්න මේ දේවල්  ඕනෙයි කියලා ඇසක් – රූපයක් මැනගත්ත නිසා, කනක් – ශබ්දයක් මැනගත්ත නිසා, නාසයක් – ගන්ධයක් මැනගත්ත නිසා, දිවක් – රසයක් මැනගත්ත නිසා, කයක් – ස්පර්ශයක් මැනගත්ත නිසා, මේ විදිහට අපට අවශ්‍ය කරන දේ මැනගත්ත නිසා, ඒ මැනීම ආරම්භ කරපු නිසා අපි “මනෝ” වුනා. චිත්තවලට, චිත්ත හැටියට තියෙන්න ඉඩ තියන්නේ නැතුව, අපි ඒවා මනෝ භාවයට පත් කළා. මේ ක‍්‍රියාවලිය පූර්වංගම වෙලා, මුලින් පහළවෙලා ඒකෙ ප‍්‍රතිඵලයක් වශයෙන් හටගන්නා ඒ ඒ ආකාරයේ  රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වශයෙන් යමකින් යමක් දරනවද, ඒවා දැරීමට හේතුකාරක වන දෙයක් ලෝකයේ පහළ කරනවා. ඇස, කන, නාසය, දිව, කය වශයෙන් ලෝකයේ යම් රූපයක් (රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ) ඒවා ලබා ගැනීමට අවශ්‍ය මට්ටමට දරා සිටින්න පත් කරනවා. මේ ශක්තිය තුළින් සතර මහා භූතයන්ගෙන් සතර ධාතු හැදිලා, සතර ධාතූන්ගෙන් හැඩතල හදලා, ඒ ඒ දේවල් ලෝකෙ භුක්තියට පෑහෙන්න, ඉදෙන්න සකස් කර දෙන වැඩපිළිවෙලක් තියෙනවනම්, ඒ වැඩපිළිවෙල එසේ දරා සිටින්න සිද්ධ කළේ ඔය මනෝ කියන අවස්ථාවේ ගොඩනගල විහිදවපු නිදහස් කරපු ශක්තියෙන්.

ඒ ශක්තිය නොතිබුණා නම් ඊට අනුකූල දෙයක් ඇස – රූපය, කන – ශබ්දය …. ආදී වශයෙන් නිෂ්පාදනය වෙන්නෙ නෑ. එහෙනම් ලෝකයක් නිෂ්පාදනය වුනා නම්, මනෝ පූර්වංගමවයි ඒ දරපු දේ නිෂ්පාදනය වුනේ. මේකට කියනවා “මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා” කියල. මනසින්මයි මේක සකස් කළේ, නිර්මාණය කළේ.

අපි  ඕක නොකියා චෛතසිකයන්ට හිත ප‍්‍රධානයි කිව්වට එකක්වත් කියවෙන්නෙ නෑ. ධර්මය තේරුනෙත් නෑ. නමුත් මෙහෙම කිව්වම තේරෙනවා. “මනසාචේ පසන්නේන – භාසතිවා කරෝතිවා” මේ තමයි පටන් ගත්ත වැඩපිළිවෙල හදන හැටි, ශක්තිය නිපදවපු හැටි. සංඛාර ගොඩනැගුවොත් ශක්තිය නිපදවෙනවා. එහෙනම් ප‍්‍රසන්න මනස හඳුනාගෙන, ප‍්‍රසන්න මනසකින් කිව්ව නම්, කළා නම් අර ශක්තිය ගොඩනැගිලා “තතෝනං සුඛමං වේති ඡායාව අනපායිනී” කියන සුවය ගෙනදෙන මනස් ලෝකයේ ඉෂ්ඨ පි‍්‍රය දෙයක් බිහි කරලා ඡායාව වගේ පස්සෙන් සම්බන්ධ කරනවා. ඒක කළේ පදුට්ඨ මනසකින් නම් “මනසාචේ පදුට්ඨේන – භාසතිවා කරෝතිවා, තතෝනං දුක්ඛ මං වේති – චක්ඛංව වහතෝ පදං” කියල, ගොනා පසුපස කරත්තය එනව වගේ දුක ඇදගෙන යන්න එකක් හදනවා. එහෙනම් මේ ලෝකෙ හදල තියෙන්නෙ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවා ලබාදෙන යම් යම් දේවල්වලින්, යම් යම් ද්‍රව්‍ය වස්තු ඇසුරෙන්.

මේවා ප‍්‍රසන්න මනසකින් හැදුවොත් ඉෂ්ඨ ප‍්‍රිය සුවය ගෙන දෙන ලෞකික මාර්ගයක් බිහිකරල දෙනවා. පදුට්ඨ (යලි යලිත් දූෂ්‍ය වීම) මනසකින් හැදුවොත් දුක් විඳින්න සිද්ධ වෙන ඇසක් – රූපයක්, කනක් – ශබ්දයක් …. ආදී සියල්ල නිෂ්පාදනය කරල දෙනවා. එහෙනම් ලෝකයේ වින්දනයට තියෙන්නේ දුක – සැප කියන දෙකයි. මේ දෙක වින්දනයට ලෝකය හැදුවේ ඔය ක‍්‍රමයෙන් නිසා, මේ ලෝකයේ ඔක්කොම හටගෙන තියෙන්නේ ඔය මූලධර්මය මත. ඉතින් ඔය ධර්මයන්ට මනෝ පූර්වංගමයි.  ඕක තමයි මනෝ පුබ්බංගමා ධම්මා කියන එකේ නියම දහම් අර්ථය.

“චෛතසිකයන්ට හිත ප‍්‍රධානයි (පූර්වංගමයි)” කියලයි අටුවාචාරීන් වහන්සේලා  ඕක ලියල තියෙන්නේ. හැබැයි ඒක තේරෙන්නෙ නෑ. නමුත් මේ ක‍්‍රමයට කිව්වම ඔය ගාථාවම ඇති නිවන් දකින්න. ලෝකය කියන දේ හටගත්තෙ කොහොමද? මේ ලෝකය හටගැනීමට හේතුව මොකක්ද? මේ ලෝකය දුක ගෙනදෙනව නම්, සාරත්වයක් නැත්නම්, ඒක අයින් කරන්නෙ කොහොමද? අයින් කරන්න මොකක්ද කරන්න  ඕන? දුකත්, දුකට හේතුවත්, දුක්ඛ නිරෝධයත්, දුක්ඛ නිරෝධ මාර්ගයත් ඔය ගාථා ධර්මය තුළම තියෙනවා.

එහෙනම් නිවන් දකින්න  ඕන කෙනෙකුට මේ කාරණය තෝරාගෙන ඒ අනුසාරයෙන් ලෝකය දකින්න පටන් ගත්තොත්, ලෝකයේ යමක් දුක නම්, දුගති නම්, දුගති එපා නම්, දුගතියෙන් අයින් වෙනව නම්, සුගතිය හොඳයි කියා නිගමනයක් තියේ නම්, සුගතිය ගොඩනගා ගනිමින්, සුගතියයි දුගතියයි කියන දෙකම අනිච්ඡුයි, දුක්ඛයි, අනත්ථයි කියල තේරුම් අරන් අත්හරින්න  ඕන නම්, ඔය දෙකටම පවතින මානසික බලාපොරොත්තුව අත්හැරලා, නිවන් දකින ක‍්‍රමය මේ ගාථාව තුළින් විග‍්‍රහ කරගන්න පුළුවන්. හැබැයි චෛතසිකයන්ට හිත ප‍්‍රධානයි කිය කියා කොච්චර හිටියත් චතුරාර්ය සත්‍යය අහලකවත් දැක ගන්න ඒක මදි. තේරුම් ගන්න බෑ. නිවන් දැකීමට තියෙන මාර්ගයත් කොයි තරම් දුරට එයින් වැහෙනවද කියන එක දකින්න  ඕන.

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණ දහම් කරුණු ඇසුරින් සකස් කළේ :
ඩබ්.ඒ. තිළිණවතී (විශ‍්‍රාමික මහජන බැංකු නිලධාරිනී)
කඩවත