(පසුගිය කලාපයෙන්  – කය දිරුවත් නොදිරනා නාම ගෝත‍්‍ර හෙවත් මතක සටහන්….)

පොඩි දරුවෙකුට රස විඳින්න එක ටොපියකුත් ප‍්‍රමාණවත් නමුත් ඒ දරුවාට එක ටොපියකුත්, තවත් දරුවෙකුට ටොපි තුනකුත් දුන්න නම් එක ටොපියක් ලැබිච්ච දරුවාගේ ගතිය කොහොම වැඩ කරයිද? දරුවා නිවුනු ගති ඇති කෙනෙක් නම් කරබාගෙන එක ටොපියත් රස විඳියි. දරදඬු නම්, මේක මට එපා මට මදි කියා විසි කරයි. ඒ මදි නිසා නොවෙයි, දරුවාගේ දැඩි බව නැගුණ නිසයි.

ලෝක ආරම්භය වූ අනාදිමත් කලකට පෙර බ‍්‍රහ්මත්වයේ හිටපු සත්ත්වයෝ බොහෝ දුරට නිවුණු ගති ඇති, ලෝභ ද්වේශ ගති යටපත් වූ ස්වභාවය ඇති අයයි. සාමූහික බව, යහපත් ගති ගුණ, මුදු මොලොක් බව, දුසිරිත් නැති මනා සුචරිත බව කියන මේ ගති මූලික කරගෙනයි ඒ අය හිටියේ. අනන්ත වූ ලෝක සත්ත්වයන්ගේ මෙම යහපත් සාමූහික බුක්ති විඳීමේ නිර්ලෝභී ගතිය සමග පැවති නියම මිනිස් ගතියේ ශක්තිය, සුන්දරත්වය ඇති මිනිස් වාසයක් සඳහා ගති බලවත්ව විශ්ව ගතව විහිදුවනවා. එම චිත්ත ශක්තිය අනුරූපව එක් කිරීමට පරමාණු සමග න්‍යෂ්ඨික බලය ලෙස ක‍්‍රියා කරනවා. එයින් ලෝකය නිපදවෙනවා. නමුත් ක‍්‍රමයෙන් පාප බවට පත්වන සත්ත්වයෝ දැඩි ගතිවල එල්බ ගනිමින්, මහා කන්දක් උසට තමාට ලැබුනත් මදි කියන තත්ත්වයට පත්වෙනවා. මිනිසෙක්ව බැරි නම් තිරිසනෙක් වෙලා හරි අධිපති කමේ නොපිහිටා ඉන්න බැරි වෙනවා. බ‍්‍රහ්ම නම් වූ, ලොව මුර්තිමත් කරන පළමු කාලය, තමාට විශේෂයක් ගැනීමට මැනීමක් නොතිබූ, සමගිය සමාදානය හිත්වල රජ කරන කාලයයි. අනුරූපව, ඒකීයව යහපත් සේ ලෝකය එම ගතියට අනුව මුර්තිමත් වෙනවා. ක‍්‍රමයෙන් දූෂ්‍ය වන ගති, දැඩි ගති, නිදා සිටිය වූවන්ගේ පිබිදීම වගේ යම් කාලයක සුළුවෙන් පහළ වෙනවා. ඉන් පසු වෙන් වූ කොටස් ලෙස ඉන්න පෙළඹෙනවා. මේ විසුණු නම් කාලයයි. “සුණු” කියන්නේ කොටස්. “වි” කියන්නේ වෙන්වීමයි. කොටස් වෙන්වීම භේදකර බව ඇති කරනවා

.
සුළුවෙන් පටන් ගන්නා මේ තත්ත්වය අනුව න්‍යෂ්ඨික ශක්තියත් අනුරූපව රූපයන්ගේ හැඩගැසීම ඇතිකරනවා. මනෝ හෙවත් ශක්තියේ මැනීම් අනුරූපව ඇතිකරනවා. වැනසෙන කාලය මහේෂ්වර නම් වෙනවා. එනම් මහ ඉසුරු තත්ත්වයයි. අනුන්ගේ දේවල් කඩා වඩාගෙන කෙනෙක් මහත් ඉසුරු ඇතිකර ගන්නවා. අනිත් අය ලතැවෙනවා. “මේ කිසිවක් මටත් එපා, තොපටත් නොදෙමි” යන ගති ස්වභාවය හටගන්නවා. අදත් වැඩ වර්ජන, රාජ්‍ය තාන්ත‍්‍රික දේවල් වැනසීම වැනි ක‍්‍රියාවලින්, මේ සත්ත්වයාගේ ස්වභාවය ක‍්‍රියාත්මක වන හැටි පේනවා. යම් කලෙක මේ ස්වභාවය මුළු ලෝකයේම ඇති වී නැවත ගොඩනැගිය නොහැකි බවට පත් වුනොත්, ගති ශක්තිය “සියල්ල විනාශ වේවා” යන සිතිවිලි අනුව ක‍්‍රියාත්මක වෙනවා. න්‍යෂ්ඨික ශක්තිය ගති අනුකූල නිසා මුලදී හැඩ ගැසුණු අයුරින් දරා සිටින්න අසමත් වෙනවා. එම දරන ශක්තිය ක‍්‍රමයෙන් පිරිහී ගිහින් අංශු මාත‍්‍ර වූ රූපාකාරයක් ද නැතිවන තුරු ගිනි හිත්වලට අනුරූප වූ ගිනි ගතිය මතුකර විනාශ වී, ගැබ් කළ ආයු කෙළවර වන විට චිත්ත මයාවක් වූ පරමාණුක කොටස අතුරුදන් වෙනවා. මේ ලෝකයේ අහස ඇසුරු කළ ආභස්සරය හැර ඉන් යට කාම ලෝක සහ කායිකව සුඛ විඳින ප‍්‍රථම ධ්‍යාන තල ආදිය විනාශ වෙනවා. නැවත හට ගන්නා තුරු කාම ලොව රූපයන්ගෙන් ඒ සක්වල ශුන්‍ය වෙනවා. මෙබඳු සක්වල තුනක් අතර පිහිටි ලෝකාන්තරික නරක, පාප කර්ම බලයෙන් විනාශ නොවී පාපයන් විඳීමට පවතිනවා.

සීරුවෙන් සිදුවන මේ විනාශයේදී සත්ත්වයෝ කර්මජ රූප ලබනවා. සූක්‍ෂම සිරුරුවලින් සිටින ඔවුන්ට, දැන් මහ ඉසුරු විඳපු අයට ඒවා අහිමි වී ඇති හැටිත්, තමන්ටත් අනුන්ටත් අල්ලන්න වස්තු නැති හැටිත් පෙනී යනවා. දැන් දකින්නේ “ආභ” හෙවත් හට නොගත් පෙර ඇසුරු කළ තැනයි. මෙය ආභස්සර නම් වෙනවා. අල්ලන්න දෙයක් නැති නිසා නාම රූප ප‍්‍රත්‍යයට අනුව විඤ්ඤාණ වන සිද්ධාන්තය අනුව, බිඳුණු හිතවත්කම නැවත හාවෙනවා. භින්න වූ අර්ථයෙන් “භ” යන්නත්, හිතවත් යන අර්ථයෙන් “අඹ” යන්නත් ගැලපී “ආභ” නම් වූ හිතවත් බවට යළි පත්වෙනවා. දැන් නැවතත් බ‍්‍රහ්ම හෙවත් බඹ බව ක‍්‍රියාත්මක වෙලා අනාදිමත් කාලයක් ඉන්නවා. නැවතත් නිදා සිටි භේද ගති අනුක‍්‍රමයෙන් පහළ වෙනවා. ඒකීය බව, කොටස් බවට වෙන් වෙනවා. ගතියට අනුරූපව නැවත පරමාණු එක් කරන න්‍යෂ්ඨික බලය, මනෝ අනුව ක‍්‍රියාත්මක වෙනවා. යළිත් ලෝකය පහළ වෙනවා. මෙයට ප‍්‍රධාන වන්නේ සහජාත (යමක් සකස් වන විට ඒ සමගම සහායට එන, ජාතක වන) කර්ම ශක්තියයි. මේ දහම් විස්තරය පෙන්වා දුන්නේ, දුර්මත දුරුවෙලා දහම් මග බැබලෙන්නයි.

දැන් අපි සංඛාර වටහාගෙන තියෙනවා. සංඛාර හේතුවෙන් විඤ්ඤාණ පහළ වන විට ඒ විඤ්ඤාණ, මුලාව නිසා නැවතත් ආස්වාදයට නාම රූපයන් සොයනවා. සොයන බලාපොරොත්තු, ගතිවලට අනුව විශ්ව ගතවත් ආයතන හැඩගසනවා. මේ ආයතන ඇස, කන, නාසය, දිව, ශරීරය ලෙස අභ්‍යන්තරවත්, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලෙස බාහිරවත් මනෝ ශක්තියෙන් පහළ කරනවා. යම් විදිහකට නාම රූපවල නිසි ආකාරය වටහාගෙන ඇලීම් බැඳීම් නොවුනොත්, ඒවා බලාපොරොත්තු වන ගති හටගන්නෙ නෑ. එතකොට මනෝ ශක්තිය රූප අල්ලගෙන ක‍්‍රියාත්මක වෙන්නෙ නෑ. සිතින්ද මතකයට නොගන්නා නිසා, අතීත නාම ගෝත‍්‍රවලින් මතු හටගන්න ඇති මනායතනයත් ඇසුරට හටගන්නෙ නෑ. පූර්ණ ලෙස, නාම රූපයන් නිෂ්ඵල බව සත්‍යයට අනුව දැනගෙන අත්හැරියොත්, අනුශයත් සමග දුරුවන නිසා මතු උපතකට හටගැනීම් වෙන්නෙ නෑ. මෙතෙක් කල් ගෙනාපු සසර දුක් කඳ නිවිල යනවා. යලි පහළ වෙන්නෙ නෑ.

ගරාදි දොලහක් ඇති රෝදයක් කැරකෙන විට එක ගරාදියකින් අල්ලගත්ත නම් මුළු රෝදයම නතර වෙනවා. ගරාදි දොළහෙන් කුමන හෝ එකක් නතර කළා නම් ඉතිරි එකොළහත් නවතින්නාක් මෙන් අවිද්‍යාව, සංඛාර, විඤ්ඤාණ, නාම රූප, සලායතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා-මරණ, කියන මේ දොළහෙන් එකක් හේතුවෙන් මේ කරුණ හටගනී; මේ නිරෝධයෙන් මෙය නිරෝධ වේ යන පටිච්ච සමුප්පාද සිද්ධාන්තය අනුව දැක, නිරෝධ කිරීම පිණිස, එහි යථාර්ථය වන හේතුවකින් හටගැනීමක් බවත්, එය ඒකාන්තයෙන්ම විනාශ වන බවත්, කොච්චර පරිහරණය කළත් විනාශයත් ධර්මානුකූලව සිදු වී වැනසුනාම ඉතිරි වන සාරත්වයක් නැති බවත්, එය දුක නිවන්න හේතුවන ලෙස නොපවතින බවත් හේතු සහිතව ශ‍්‍රවනය කිරීමෙන්, පළමුව අසා අනුබෝධඥානය (අනුව වැටහෙන්න පටන් ගන්නවා. එනම් උපමාවකින් කිව්වොත් ඒ අනුව වැටහෙනවා) ලබා, ඒ අනුව කල්පනා කර මනා සේ අවබෝධ කළාම, නිසරුව දැක අනන්ත සංසාරයේ පටන් වටිනා මහඟු වස්තුවක් ලෙස සිතමින් සිදු කළ ඇලීම බැඳීම දුරු කළාම දුක පිරිසිඳ දැනගෙන, දුකට හේතු වූ ඇලීමෙන් බැඳීමෙන් ඇති කළ බලාපොරොත්තුව දැනගෙන, නිසරුවම මිසක් සරු වූ කිසිවක් නැති බවත්, අවබෝධය (තමාටම උපමා අරන් පැහැදිලි කරගන්න පුළුවන්* මගින් දැනගෙන ප‍්‍රත්‍යක්‍ෂ (ප‍්‍රත්‍යය ක්‍ෂය වුනා, අත්දැකීම් ලැබුවා) කළාම දුක් නිරෝධ බව දැනගෙන, ඒ සඳහා වැඩිය යුතු සත්‍ය මාර්ගය බුද්ධ වචනය අනුව පිළිපැදීම බව දැනගෙන ඒ පිළිපැදීම පූර්ණත්වයෙන් දුක් කෙළවර කරන්න පුළුවන්.

යම් දිනක පටන් බුද්ධ වචනය අනුව (අනිච්ඡ, දුක්ඛ, අනත්ථ), වැටහීම් ලැබීමට හේතුවන දැනීම ලැබුව නම්, තුන් භවය වන කාම, රූප, අරූප යන කිසි තැනක රාගයන්ගෙන් නොඇලෙන, අත්හැරීම, මිදීම, නොඇල්ම යන නියම දහම් මග දැන ගන්නවා. ඒ අනුව අනුගමනයේදී කිසිම කාම අරමුනක හිත පිහිටුවන්නෙ නෑ. එවැන්නක් පිළිසරණ පතා අල්ලගන්නෙ නෑ. නරක දේවල් ලෙස සම්මත වෙලා තියෙන, ප‍්‍රඥාවන්තයින්ගේ පිළිකුලට ගොදුරු වන දූෂ්‍ය බව වටහා ගනිමින් ඒවායින් ක‍්‍රමයෙන් අත්හැරීම සිද්ධ වෙනවා. පින් යැයි කියන ලෞකික වූ පිනවීමක නොබැඳී මිදෙනවා. නිදහස් සුවය යැයි කියමින් භවයේම ඇලෙන රූප අරූප භවයන්වල නොඇලෙනවා. සතර අපා උපතේ හේතු අත්හැරීමත්, කාම ස්වර්ගයේ උපදින හේතුවලින් නොඇල්මත්, රූප අරූප ගතිවල මිදීමත් සිදුවන්නේ, කිසි තැනක හටනොගන්නා නිසා නිරෝධ සංඛ්‍යාත නිවනම සැනසීම බව දැනගෙන, ලෝකයේ පර්යේෂණ මනසින් ගෝචර කළ, එසේම දකින, අසන, මතක ඇති, අසන ලද, මතක් කරන ලද දැනීම් පතමින් ගිය මනසින් ධ්‍යාන කරන්න යන්නෙත් නෑ.

හිත තුළ කාම ලාටුවක් වගේ ඇලෙන කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්දච්ච කුක්කුච්චය හා විචිකිච්චාව අත්හැර වාසය කරනවා. උපන් සැකයේ නිස්සරණය දැනගන්නවා. පඨවි ආශ‍්‍රිතව, ජලය – ගින්න – වායුව ආශ‍්‍රිතව සිදුකරන දැහැන් සඳහා වීර්ය කරන්න යන්නෙ නෑ. ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකිංචඤ්ඤායතන, නේවසංඤා නාසංඤායතන ආශ‍්‍රිතව කෙරෙන දැහැන් සඳහා වීර්ය කරන්න යන්නෙ නෑ. පරලොව සුව පතා වඩන දැහැන් සඳහා උත්සාහ කරන්නෙත් නෑ. විරාග නිශ‍්‍රිතව, නිරෝධ නිශ‍්‍රිතව වාසය කරනවා. මෙසේ අජානීය දැහැන (ජානීය – ජනනය කරන, අජානීය – ජනිත නොකරන, ලාභ, කීර්තා, ප‍්‍රසංසා, ලෞකික සැප බලාපොරොත්තුවෙන් නොවඩන) අනුගමනය කරනවා. මීට විරුද්ධ වූ අශ්වගුණ්ඩ දැහැන් (මොකක් හෝ තත්ත්වයක්, තානාන්තරයක්, ලෝක ආහාරයක්, ප‍්‍රිය මනාප රාගික දෙයක් බලාපොරොත්තුවෙන් වඩන දැහැන්) කරන්නෙක් හෝ මුලා වූවෙක් හෝ නොවෙයි. මේ අජානීය දැහැන ඇති ආර්ය ශ‍්‍රාවකයා දෙවියන්, මරුන්, බඹුන් සහිත ලෞකික ලෝක සත්ත්වයින්ගේ මනසට හසු නොවන ආර්ය දැහැනකින් යුක්ත වන නිසා, ශක‍්‍ර දෙවියන් ඇතුළු දෙවියන් දුර තබා නමස්කාරත් කරනවා. ඒ කොහොමද?

ආර්ය ශ්‍රේෂ්ඨයාණෙනි, ඔබ වඩන දැහැන අපට නොපෙනේ. එහෙත් ඔබතුමන් සිටින්නේ ශ්‍රේෂ්ඨ වූ දැහැනකයි. අපට නොපෙනෙන, ශ්‍රේෂ්ඨ වූ ආර්ය දැහැන් ඇති උතුමාණෙනි, ඔබතුමාට නමස්කාර වේවා. කියලයි.

අං:නි:(6), පිටු අංක 609 – 613 දක්වා ඇති සන්ධ සූත‍්‍රය බලා, සැමතැනම උත්සාහ කරන භාවනා අතර මේ හරිමගට ගෝචර නොවන ක‍්‍රම ඇත්නම්, කරුණු දැනගෙන හරි මගට පැමිණීමට උත්සාහ කරන්න. නැණවත් උතුමන්ගේ අවධානය යොමු වීමෙන් සාසනය බැබලෙත්වා.

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණ දහම් කරුණු ඇසුරින් සකස් කළේ :
නීතිඥ චන්දන සිරිවර්ධන