ලෝකෝත්තර වූ ආනාපාන සති භාවනාව තුළින් ත‍්‍රි ශික්ෂා පූර්ණය කරගැනීම

ලෝකෝත්තර වූ ආනාපාන සති භාවනාව තුළින් ත‍්‍රි ශික්ෂා පූර්ණය කරගැනීම

(පසුගිය කලාපයෙන්  – කායානුපස්සනා සතිපට්ඨානය තුළින් ඇලීම සහ ගැටීම දුරුකර ගන්නා හැටි)

ලෝකය අනිච්ඡ, දුක්ඛ, අනත්ථ වශයෙන් දර්ශනය කොට පළමු වරට චතුරාර්ය සත්‍යය දැකීමෙන් සෝතාපන්න බවට පත් වූ ආර්ය ශ‍්‍රාවකයෙක්, ඉතිරි සංයෝජන පහකිරීම සඳහා සතර සතිපට්ඨානයට අයත් කායානුපස්සනාව තුළින් ආනාපාන සති කර්මස්ථානය වඩන ආකාරය පිළිබඳවයි පසුගිය කලාපයෙන් සාකච්ඡා කළේ. ආශ්වාස ප‍්‍රාශ්වාස කියන්නේ කාය මුල් කොටගෙන, ඒවායේ ඡන්ද රාගයෙන් බැඳීම නිසා හටගන්නා සංඛාර සංසිඳවීම මිසක් නාසයෙන් හුස්ම පිටකිරීම සහ හුස්ම ගැනීම අරමුණු කරගෙන කරන භාවනාවක් නොවන බවත් එහිදී පැහැදිලි කළා. නාසයෙන් කරන ආශ්වාස ප‍්‍රශ්වාස, අස්සාස පස්සාස ලෙසත්, ලෝභයෙන් ද්වේශයෙන් මෝහයෙන් යමක් ඇසුරු කිරීම හෝ පහ කිරීම අස්සසාස, පස්සසාස ලෙසත් තමයි ත‍්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙන්නේ.

අරිය පරියේෂණ සූත‍්‍රයේදී බුදුපියාණන් වහන්සේ පෙන්වා දීල තියෙනවා, බුදු වීමට පෙර තමන් වහන්සේ අප‍්‍රාණික ධ්‍යාන (හුස්ම අරගෙන අල්ලගෙන ඉන්නවා. එහෙම නැත්නම් පහතට හැර නවතාගෙන ඉන්නවා. එයින් ප‍්‍රාණයට වද දෙනවා) කරන වෙලාවේ අස්සාස පස්සාස නවත්වාගෙන හිටිය කියලා. ඒ වෙලාවේ උන්වහන්සේගේ කන් සිදුරුවලින් මහා ශබ්දයක් එන්න පටන් ගත්තාම ඒ අස්සාස පස්සාස අතහැරල දාල තියෙනවා. මෙතෙක් අස්සසාස කළේ රාග, ද්වේශ, මෝහයි. එසේනම් දැන් පස්සසාස කළ යුත්තේ රාග, ද්වේශ, මෝහයි. කෙනෙක් ආර්ය මාර්ගයට ආවාම, මෙතෙක් ඇසුරු කළ දේවල්වල ඡන්ද රාගය පහ කරන්න  ඕන. එවිට ඡන්ද රාගය නිසාම කියන, කරන සියල්ලත් පහවෙලා යනවා. මේ රාග, ද්වේශ, මෝහ වැඩපිළිවෙලින් ගොඩනැගුනේ අවිද්‍යා පච්චයා සංඛාරයි. ඒක පහ කළාම වෙන්නෙ “අවිද්‍යායත්වේව අසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ” යන පටිච්ච සමුප්පාද ක‍්‍රියාවලියයි.

ආනාපාන සති භාවනාවේදී වාතයට හිත බඳින්නෙ නැතුව, ලෝකය තුළ මට හිත බඳින්න වටිනා දෙයක් නෑ කියන අදහස ගත්තාම එක්තරා නිමිත්තක් ඇතිවෙනවා. ඒ තමයි මුඛ්‍ය නිමිත්ත හෙවත් මුඛ නිමිත්ත. මුඛ්‍ය නිමිත්ත කිව්වෙ මූලික බලාපොරොත්තුවයි. අසාර වූ මේ ලෝකය තුළ අතහැරීම හැර, නොඇල්ම හැර, මිදීම හැර අල්ලන්න තරම් වටිනා දෙයක් නෑ, සැනසුමක් නෑ කියල නිවන මුල් කරගැනීමයි මුඛ්‍ය නිමිත්ත. “පරිමුඛං සතිං උපට්ඨපෙත්වා සෝ සතෝව අස්සසති සතෝ පස්සසති කියන විට පරිමුඛං කියන්නේ මුඛ පරිමණ්ඩලය හෙවත් උඩ තොල මත හුස්ම ගෑවෙන තැන කියලයි ඇතැම් අය විස්තර කරන්නේ. හුස්ම උඩට ගන්න විටත්, පහතට හෙලන විටත් උඩු තොලේ හුස්ම වදින තැනට හිත තියාගන්න කියලයි ඒ අය පෙන්වා දෙන්නේ. එහෙත් පරිමුඛං කියන වචනය අටුවාවල විග‍්‍රහ කරල තියෙන්නේ “නිවන” කියලයි. එසේනම් භාවනා වැඞීමේදී නිවනට හිත පිහිටුවා ගන්නයි  ඕන. හුස්ම වදින තැන හිත තියා ගැනීමයි, නිවනට හිත පිහිටුවා ගැනීමයි කියන්නෙ කරුණු දෙකක්. අපි බලන්න  ඕන නිවනට උපනිශ‍්‍රය වෙන්නෙ මෙයින් මොකක්ද කියන එකයි.

මුලින්ම ධර්ම ශ‍්‍රවණය කරල නිවන මොකක්ද කියල අවබෝධ කරගෙන, නිවනට හිත පිහිටුවා ගැනීමයි මුඛ්‍ය පරමාර්ථය විය යුත්තේ. ලෝකෙ තියෙන දේවල් අනිච්ඡ නිසාත්, දුක්ඛ නිසාත්, අනත්ථ නිසාත් ඒවා ගිනි ගොඩවල් සේ දකිනවා. මේ ලක්ෂණයන්ගෙන් තොර දෙයක් ලෝකෙ නෑ කියලත් දකිනවා. මේ තමයි දැකපු නිවන. මෙහෙම දැක්කමයි දුටු නිවනට හිත පිහිටුවා ගන්න පුළුවන් වෙන්නේ. එතැනට පත් වෙන්න යමක් ඇසුරු කළ යුතුද, ඒවා ආස්වාස කළ යුතුයි. මෙතැනට පත්වෙන්න හේතු නොවන යමක් ඇත්නම් ඒවා ප‍්‍රස්වාස කළ යුතුයි. මෙහෙම කරගෙන යන විට තමන්ටම පේනවා, යමක් යමක් නිසා රාගයට, ද්වේශයට, මෝහයට හේතුවෙනවා නම් ඒක දුකට හේතුවෙනවා, ගින්නට හේතුවෙනවා කියන කාරණය. කායික වේවා මානසික වේවා ගින්නට හේතුවන යමක් ඇත්නම් ඒවා පහ කළ යුතුයි. එයින් මිදෙන යමක් ඇද්ද, කායික වේවා මානසික වේවා ඒවා ඇසුරු කළ යුතුයි.

යමක් යමක් හේතු කොටගෙන ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයන් පහළ වෙනවද ඒවා පහ කළ යුතුයි. යමක් යමක් නිසා ජරාවක් නැති, ව්‍යාධියක් නැති, මරණයක් නැති, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයක් නැති නිවන දකිනවද ඒවා ඇසුරු කළ යුතුයි. මේ ටික කරගත්තොත් නිවන් දකින්න බැරිද?

හුස්ම උඩට ගැනීමයි පහතට දැමීමයි, ලෝකයේ රාගයට, ද්වේශයට, මෝහයට හේතුවන යමක් ඇත්නම් පහකර දැමීමත්, රාගක්‍ෂයට, ද්වේශක්‍ෂයට, මෝහක්‍ෂයට හේතුවන යමක් ඇත්නම් ඒවා ඇසුරු කිරීමත් යන ක‍්‍රියාවන් දෙකෙන් කුමකින් යමෙක් නිවන් දකියිද කියල ඇහුවොත් අපිට දෙන්න පුළුවන් උත්තරයත් මොකක්ද?

නිවනට බාධක වන දේ පහ කරන්නෙ කොහොමද? හුස්ම ගැනීමේ පහකිරීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. කය කුණු ගඳ ගහනවා නම්, අපිරිසිදු වෙලා නම්, ජරාවට පත්වෙලා මරණයට හේතු වෙන්නත් පුළුවන්. එතකොට නිදහසේ භාවනා කරන්නත්, විදර්ශනා වඩන්නත් බෑ. එවිට ඇඟ සෝදා නාගෙන පිරිසිදු විය යුතුයි. කයට ගන්න ඒවායෙත්, කයෙන් පරිහරණය කරන ඒවායෙත් දෙපැත්තක් තියෙනවා. කයේ පරිහරණයට අවශ්‍ය, නිවනට උපනිශ‍්‍රය වන යමක් ඇත්නම් ඒවා ඇසුරු කරන්න  ඕන. ඒකට බාධා වන දෙයක් තියෙනවා නම් ඒවා අත්අරින්න  ඕන. මේක කාටවත් කියල දෙන්න බෑ. ඇතැම් කෙනෙකුට බඬේ අජීර්ණයක් තියෙන වෙලාවක අන්නාසි කෑවම අජීර්ණය පහවෙලා යනවා. තව කෙනෙකුට අන්නාසි කෑවම පලූ මතු වෙනවා. මේ අනුව අජීර්ණයට සියලූ දෙනාටම අන්නාසි කන්න කියල පොත්වල ලියන්නෙ කොහොමද?

බුදුපියාණන් වහන්සේ දේශනා කළේ, තමන්ට අවශ්‍ය දේ තමන් දැනගන්න  ඕන කියලයි. සේවිතා සේවිතබ්බ කියන සූත‍්‍රයේ බුදුපියාණන් වහන්සේ දේශණා කරල තියෙනවා, සේවනය කළ යුතු දේ මොනවද, සේවනය නොකළ යුතු දේ මොනවද කියල. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප‍්‍රත්‍ය කියන සිවුපසය පමණක් නෙවෙයි ගම, රට, ප‍්‍රදේශය පවා සුදුසු නැත්නම් අත්හැරලා යන්න කියලයි උන්වහන්සේ දේශණා කළේ. රාගයට, ද්වේශයට හේතුවන යමක් තියෙනවා නම් ඒ පලාතෙවත් ඉන්න එපා කියලයි දේශණා කළේ. කුටියක් හදාගෙන හෝ කුටියක් තියෙන තැනකට ගිහින් හෝ ඉන්න වෙලාවක, ඒ ආසන්නයේ කාන්තාවන් දිය නෑමට එන තොටුපලක් එහෙම තියෙනවා පේනව නම් එතැන අත්හැරල යන්න කියලත් දේශනා කරල තියෙනවා. එතැන භික්ෂුවකට ගැලපෙන්නෙ නෑ. භික්ෂු භික්ෂුනී දෙපාර්ශවයම මෙවැනි දේ ගැන සැලකිලිමත් වෙන්න  ඕන. පහ කළ යුතු දේ දැනගෙන පහකරන්නෙ මෙහෙමයි. කායික වශයෙන් හෝ වේවා මානසික වශයෙන් හෝ වේවා නිවනට යමක් බාධකද ඒවා පහ කළ යුතුයි.

එහෙනම් පහ කළ යුතු දේ අපි දකින්න  ඕන. යම් තැනැත්තෙක් දුවලා වෙහෙසට පත්වුනාම ගහක් මුල හෝ ගලක් උඩ වාඩිවෙලා වේගයෙන් හුස්ම ගන්නත් පිටකරන්නත් පටන් ගන්නවා. දුවගෙන යාම නිසා වෙහෙසට පත්වීමෙන් ගෙවී ගිය ශරීරයේ ෙසෙල කොටස් කාබන් ඩයොක්සයිඞ් වශයෙන් ලේවලට එකතු වෙලා පෙනහලූවලට ගෙනැවිත් වාතයට මුදා හරිනවා. මේ අපද්‍රව්‍ය ඇඟ ඇතුලෙ තියාගන්න බෑ. පහකර දාන්න වෙනවා. ඇඟ ඇතුලෙ තිබුණ ගෙවී ගිය ෙසෙල කොටස් ප‍්‍රශ්වාස වාතයෙන් ඉවත් වුනාම සමනයට පත්වෙනවා. මේ වෙලාවේ හුස්ම ගන්නෙ පහකරන්නෙ හිතාමතාමයි. වෙනත් ක‍්‍රියාවකට හිත යොමු වුන ගමන් මේ අශ්වාස ප‍්‍රශ්වාසය අමතක වෙනවා. කිසියම් තැනැත්තෙක් රාගයෙන් මත්වෙලා, රාග අරමුණකට හිත යොමුවෙලා ඒ දෙස බලාගෙන ඉන්නවා. නැත්නම් ද්වේශයෙන් දැවි දැවී ඊට අනුකූල දෙයක් කර කර ඉන්නවා. එවිට ශරීරයේ අපද්‍රව්‍ය ලේවලට වේගයෙන් එකතු වෙනවා. එතකොට සාමාන්‍ය හුස්ම ගැනීමේ පිටකිරීමේ ක‍්‍රමය මදි වෙනවා. එය වේගවත් කළ යුතු වෙනවා.

ධර්ම ශ‍්‍රවණය කරලා, ලෝකෙ ඇලෙන්න, ගැටෙන්න, මුලාවෙන්න දෙයක් නෑ කියල දැක්කට පස්සෙ ඇලීම්, ගැටීම් සඳහා හිතන්න, කියන්න, කරන්න යන්නෙ නෑ. ඒ වුනත් මේ කයේ හටගත්ත අපද්‍රව්‍ය පහකර දමන්න මේ හුස්ම ගැනීම, පහකර දැමීම කරන්න  ඕන වෙනවා. හිත ඇසුරු කරගෙන තියෙන ශරීරයේ, හිතෙනුත් නිපදවෙන කුණක් තියෙනවා. කෙනෙක් හදිසියේ භය කළ විටෙක “මගේ පපුව ඩිග් ඩිග් ගාල ගැහෙන්න පටන් ගත්ත” කියල කියනවා. මෙහිදී භය වුනේ ගතද? සිතද? හිත භය වන විට පපුවේ වේගය වැඩි වෙනවා. ලෝකය ඇසුරු කරන විට වැඩියෙන්ම තියෙන්නේ මේ ආකාරයෙන් භය ගෙන දෙන දේවල්. කිසියම් දෙයක් නිසා මානසික දූෂ්‍යතාවයක් ඇති වුනාම ගතට අපද්‍රව්‍ය එකතු කිරීමේ ස්වභාවයක් තියෙනවා. එසේ හිත දූෂ්‍ය වෙන්නෙ මොනවයින්ද කියල මනා සිහියෙන් බලන්න  ඕන. දස අකුසලයට අයිති දේ කරනවා නම්, කරවනවා නම්, අනුබල දෙනවා නම්, වර්ණනා කරනවා නම් මේ ටික කරන තාක් මනස දූෂ්‍ය වෙනවා. දූෂ්‍ය මනස හැම විටම ගතේ අප ද්‍රව්‍ය නිෂ්පාදනය කරනවා. මේ අපද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න කරන්න කයට දාහයක් එනවා. කයට දාහයක් එන විට හිතට ඒක විඳින්න වෙනවා. ඒක මහා දුකක්. සමාධියක ඉන්න බැරි වෙනවා. ඒ වෙලාවට ඒ හිත දූෂ්‍ය කරපු දේ මනා සිහියෙන් දැකල ඉවත් කරන්න  ඕන.

ලෝභ, ද්වේශ, මෝහයන්ගේ ආදීනව සහ වෙන් වීමේ ආනිසංස මනා සිහියෙන් දැක, පාපයන් අතහැර පිරිසිදු වෙන්න  ඕන. ලේවලට එකතුවෙලා තිබුණු අපද්‍රව්‍ය ඉවත් කරගන්න නිදහස් තැනක වාඩිවෙලා සිරුර සැහැල්ලූව තබාගෙන, හුස්ම ඉහළ පහළ යවන ව්‍යායාමය කර අපද්‍රව්‍ය ඉවත් කර පිරිසිදු කරගන්න  ඕන.

දස අකුසලයට හේතු කාරක වන කුණු නිෂ්පාදනය කරන දේවල් තමන්ගේ මනසෙ තියෙනවද කියල මනා සිහියෙන් බලන්න  ඕන. කෙනෙකුගේ සිතිවිලි, ක‍්‍රියා, කථාවන් තුළින් මේ ලක්ෂණ තියෙනවා නම් ඔප්පු වෙනවා. යමක් යමක් නිසා දස අකුසලය ගොඩ නැගෙනවා නම් ඒවා පහකර දමලා දස අකුසලයෙන් වෙන් වීමට හේතු වන්නා වූ යම් දහමක්, බුද්ධ වචනයක් ඇද්ද, ඒවා සිහි කරන්න  ඕන. මේ වෙලාවට සිහියෙන් ගන්න දෙයක් මෙන්ම පහකර දමන දෙයක්ද තියෙනවා.

සතෝව අස්සසති, සතෝ පස්සසති කිව්වෙ ඒකයි. මේ නිවන් මගක් හැදෙන ආකාරයයි. මේ ටික කරගෙන යනකොට, දස අකුසලයට හේතු කාරක වන්නා වූ යම් දෙයක් ඇද්ද, ඒවා පහාණ සීලං, වේරමනී සීලං, චේතනා සීලං, සංවර සීලං, අවිතික්කම සීලං කියන සිල් පහකින් යුක්තව, දස අකුසලය පනස් ආකාරයකින් පහ කරන්න වෙනවා. දස අකුසලය මුල් කරගෙන සිදුවන මේ ක‍්‍රියාවලිය යම් දවසක ඉවත් වෙලා ගියා නම් ඒ තැනැත්තාට පිහිටනවා නිත්‍ය පංච සීලයක්. මේ සීලයේ පිහිටා සිටින විට ප‍්‍රාණ ඝාත කරන, කරවන, අනුබල දෙන, වර්ණනා කරන කිසිවක් ඔහු අතින් සිදුවෙන්නෙ නෑ. හොරකම සම්බන්ධවද කරන, කරවන, අනුබල දෙන, වර්ණනා කරන කිසිවක් සිදුවෙන්නෙ නෑ. මෙසේ දස අකුසලය පිළිබඳවම කරන, කරවන, අනුබල දෙන, වර්ණනා කරන කිසිවක් සිදුවෙන්නෙ නෑ.

අධිසීල ශික්ෂා – මෙතැනට පත් වුනාම දස අකුසලයෙන් වෙන්වීමේ පහාණ සීලං, වේරමණී සීලං, චේතනා සීලං, සංවර සීලං, අවිතික්කම සීලං කියන පංච සීලයෙන්ම යුක්ත වෙනවා. මේ පංච සීලය පිහිටන විට ඒ තැනැත්තාට අධිසීලයක් ලැබෙනවා. ඒ අධිසීල ශික්ෂාවයි.

අධි චිත්ත ශික්ෂා – මෙතැනට පත් වුනාම ඒ තැනැත්තා තුළ යම් වික්ෂිප්ත භාවයක්, අසංවර භාවයක් තිබුණ නම් ඒක දුරුවෙලා ගිහින් පහාන සීලං, වේරමණී සීලං, චේතනා සීලං, සංවර සීලං, අවිතික්කම සීලං කියන ගුණාංගයන්ගෙන් යුක්ත වෙලා දස අකුසලය කරන, කරවන, අනුබන දෙන, වර්ණනා කරන සියලූ කරුණු දුරුවෙලා ගියාම ඇතිවන නොකැලඹෙන ස්වභාවය අධි චිත්ත ශික්ෂාවයි.

අධි ප‍්‍රඥා ශික්ෂාව – යම් තැනැත්තෙක් දස අකුසලය කරන, කරවන, අනුබල දෙන, වර්ණනා කරන මේ සියල්ලෙන් ඈත් වෙලා පහාණ සීලං, වේරමණී සීලං, චේතනා සීලං, සංවර සීලං, අවිතික්කම සීලං යන සීල ගුණයන්ගෙන් පරිපූර්ණ වෙලා යම් ශාන්තියකට පත් වුනා නම් එසේ පත් වුනේ ප‍්‍රඥාවෙන්ම දැකලයි. මේ අධි ප‍්‍රඥාවයි.

මේ ත‍්‍රි ශික්ෂාව තුළ යම් කෙනෙක් ගත කළොත් ඔහුට සීල, සමාධි, ප‍්‍රඥා තුනම තියෙනවා. ප‍්‍රඥාව මුල් කරගෙන ධර්මය නැගෙන්නේ මෙහෙමයි. එවිට දහම් ඇස පහළ වෙලා පරප‍්‍රත්‍ය රහිත වෙනවා. දැන් ඔහුට දහම පේන්න පටන් ගන්නවා. නිවන් දකින්න යමක් කළ යුතුද ඒ දහම ඔහුට පේනවා. “කරණීය මත්ථ කුසලේන යං තං සංතං පදං අභිසමෙච්ච” යනුවෙන් කරණීය මත්ථ සූත‍්‍රයේ දේශණා කළ ආකාරයෙන්, ශාන්ත පද නම් වූ (ශාන්ත වූ පෙදෙසට) නිවනට පත්වීමට කුමක් කළ යුතුද යන්න දකිනවා. නිවනට පත්වීමට කළ යුතු දේ තමයි දස අකුසලයෙන් ඈත්වීම. “සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානි” යනුවෙන් පෙන්වල තියෙන්නෙත් ඒකයි. මේ දස අකුසලය පහ කරගෙන යනවිටයි “බ‍්‍රහ්ම මේතං විහාරං ඉධමාහු” යන තැනට පත්වෙන්නෙ.

ආර්ය විනයේ ආනාපාන සතියට අරිය විහාරය කියාත්, බ‍්‍රහ්ම විහාරය කියාත්, තථාගත විහාරය කියාත් කියන්නෙ මේ නිසයි. යම් කෙනෙක් මෙසේ දස අකුසලයෙන් ඈත්වෙලා ලබන ශාන්තිය ලෝක සත්ත්වයාටත් ලැබේවා, දුක්ඛ ආර්ය සත්‍යය වැටහේවා, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය වැටහේවා, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය වැටහේවා. දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය අවබෝධ වේවා කියන අධිෂ්ඨානයෙන් ක‍්‍රියා කරන්න පටන් ගන්න ආකාරයයි කරණීය මත්ථ සූත‍්‍රයෙන් පෙන්වා දීල තියෙන්නේ. මෙතැනට පත්වෙලා මෙත්තා සහගතව සිතින්, කයින්, වචනයෙන් කියන, කරන, හිතන විට වැඩෙන්නෙත් ආනාපාන සතියයි.

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණ දහම් කරුණු ඇසුරින් සකස් කළේ :
ඇල්. අමරසිංහ (විශ‍්‍රාමික ලංකා බැංකු ජ්‍යෙෂ්ඨ කළමනාකරු)
පිළියන්දල.

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.

2 thoughts on “ලෝකෝත්තර වූ ආනාපාන සති භාවනාව තුළින් ත‍්‍රි ශික්ෂා පූර්ණය කරගැනීම

  1. Pingback: ආනාපාන සති භාවනාව සඳහා අධ්‍යාත්මික පරිසරය සකස් කරගැනීම | හෙළ බොදු පියුම

  2. Theekshana

    Really it’s a great pleasure to be a reader of your site.. May you have all the strengths to spread pure damma all around the world.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *