විඤ්ඤාණය පිළිබඳ සැඟවුණු දහම්…

විඤ්ඤාණය පිළිබඳ සැඟවුණු දහම්...

(පසුගිය කලාපයෙන් –  සෝතාපන්න වීමත් සමග ඇතිවන වෙනස්කම්)

සංඛාර පච්චයා විඤ්ඤාණ වශයෙන් හඳුන්වන ධර්මතාවය පසුගිය කලාපයෙන් විස්තර කළා. මෙහිදී විපාක විඤ්ඤාණය වශයෙන් හඳුන්වන, හඳුනාගැනීමේ විඤ්ඤාණයත් එසේ හඳුනාගත් පසු ඒ හඳුනාගත් දෙයට හාද වීම හෙවත් රාගිකව බැඳීම ආරම්භ කරනවා. හදයං, පන්නරං (පණ්ඩරං) යන අවස්ථා දෙකේදීම වන්නේ මෙසේ රාගිකව බැඳීමයි. එහි ප‍්‍රතිඵලය වන්නේ සසර නැවත ඉපැද්දවීමට තරම් ශක්තිමත් වූ අභිවිඤ්ඤාණ නම් වූ විඤ්ඤාණයේ ඊළඟ අවස්ථාව ගොඩනැගීමයි.

සංඛාර හෙවත් සං කිරීමේ මෙම ක‍්‍රියාවලියේදී යම් දෙයක් හඳුනා ගැනීම පමණක් සඳහා වූ විඤ්ඤාණය විපාක විඤ්ඤාණය වශයෙන් හඳුන්වන්නේ ඇයි? ඇස, කන, නාසය… ආදී අභ්‍යන්තර ආයතනයන් මෙලොවදී අපට විද්‍යමාන වන්නේ පෙර අත්බැවකදී කළ කර්මයන්ගේ විපාක වශයෙන්. ඇස නිරුපද්‍රිතව තිබෙන තාක් කල් රූප පෙනීම සහ ඒවා හඳුනා ගැනීම වැළැක්විය නොහැකි ක‍්‍රියාවලියක්. ඒක රහතන් වහන්සේටත් පොදුයි.

විපාක විඤ්ඤාණයට පසුව ඒ රූපය කෙරෙහි හාද වීම හෙවත් රාගයෙන් බැඳීම පටන් ගන්නවා. එයින් අභිවිඤ්ඤාණයක් ගොඩනැගීම පිළිබඳව පහත සඳහන් උදාහරණය දෙස බලන්න. අපි දුම්රියකින් ගමනක් යන අවස්ථාවකදී එම ගමන් මග වෙරළේ ඇති නොයෙක් පුද්ගලයින් අපේ දර්ශන පථයට හසුවෙනවා. ඒ සියලු පුද්ගලයින් පිරිමින්, ගැහැණුන්… ආදී ලක්‍ෂණයන්ගෙන් අපට හඳුනා ගන්න පුළුවන්. ඒ හඳුනා ගැනීමට ඉවහල් වුනේ විපාක විඤ්ඤාණයයි. ඒ අතරින් ඉතාමත් රූමත් කාන්තාවක් වෙරළේ ඉන්නවා දැක්කොත්, ඒ කාන්තාවක් බවට හඳුනා ගන්නවාට අමතරව ඒ රූපය කෙරෙහි රාගිකව බැඳීමකුත් හටගන්නවා නම්, ඒ තුළින් අපි ගොඩනගා ඇත්තේ අභිවිඤ්ඤාණයක්. ස්ත‍්‍රියක් විසින් පුරුෂයෙක් දැකීම ගැනත් මේ විදිහටම තේරුම් ගත යුතුයි. මේ තමයි හානිකර අවස්ථාව. මේ තමයි අපව සසරට බැඳ තබන විඤ්ඤාණය, ජාති දක්වා අපව මෙහෙයවන විඤ්ඤාණය. මේ තමයි නිරෝධ කළ යුතු විඤ්ඤාණය. නිරෝධ කියන්නේ නිර් උදා කිරීමයි, උදා නොකිරීමයි.

විපාක විඤ්ඤාණය කියන එක කෙළෙස්වලින් තොරයි. එනම් රාග, ද්වේශ, මෝහවලින් තොරයි. රහතන් වහන්සේට තියෙන්නේ විපාක විඤ්ඤාණ පමණයි. රහත් නොවූ අන් සියල්ලන්ම විපාක විඤ්ඤාණ මෙන්ම අභිවිඤ්ඤාණත් ගොඩනගනවා. මෙහිදී නිරෝධ කළ යුත්තේ අභිවිඤ්ඤාණයි. රහතන් වහන්සේ යම් යම් දේ හඳුන ගන්නේ මේ විපාක විඤ්ඤාණයන්ගෙන්. උන්වහන්සේට පහළ වන ජවන සිත්වලට කියන්නේ ක‍්‍රියා සිත් කියලයි. පෘතජ්ජන අයට අභිවිඤ්ඤාණ ලෙස නිපදවුනත්, රහතන් වහන්සේට තියෙන්නේ ක‍්‍රියා විඤ්ඤාණයන්.
අභිවිඤ්ඤාණ නිරෝධ කරන්නේ කොහොමද? සංඛාර නිරෝධ කිරීමෙන් විඤ්ඤාණ නිරෝධ වෙනවා. සංඛාරත් විපාක සංඛාර සහ අභිසංඛාර වශයෙන් වෙන් වෙනවා. ලෝකය අනිච්ඡ, දුක්ඛ, අනත්ථ වශයෙන් දකින ආර්යන් වහන්සේ සංඛාරවලින් වෙන් වෙන හැටි පසුගිය කලාපයෙන් පැහැදිලි කළා.

විඤ්ඤාණ ගොඩනැගීමට පසුබිම් වන ඉන්ද්‍රියන් අනුව විඤ්ඤාණ කොටස් හයකට බෙදෙනවා. චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාන, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ වශයෙන්. මෙසේ හය ආකාරයකින් නම් කළත් විඤ්ඤාණය එකමයි. විඤ්ඤාණ හයක් ඇතැයි සිතන එක වැරදියි. මේ හය ආකාර වූ විඤ්ඤාණ අතර පංචද්වාරයේ හටගන්නා විඤ්ඤාණ සෑම විටම වර්තමාන අරමුණු පමණක් ගන්නවා. මනෝ විඤ්ඤාණය අතීත, වර්තමාන, අනාගත යන තුන් කල්ම අරමුණු කරනවා. මේ මනෝ විඤ්ඤාණය සමග අතීත, වර්තමාන, අනාගත වශයෙන් ගත් කළ ඒ සියල්ලම සමග විඤ්ඤාණස්කන්ධය ගොඩනැගෙනවා.

විඤ්ඤාණය මායා කාරයෙක් වශයෙන් හඳුන්වන්නේ ඇයි? විඤ්ඤාණය කියන්නේ විකෘති ඥානයක්. ඥානයක් කියන්නේ දැනගැනීමක්. ප‍්‍රකෘතිය දකින දැනීමට කියන්නේ ප‍්‍රඥාව කියලයි. ලෝකය විකෘති ලෙස දැනෙන්නේ විඤ්ඤාණයෙන්. චිත්තය කිලිටි වීමෙන් විඤ්ඤාණය ගොඩනැගෙනවයි කිව්වේ මේ නිසයි. මෙය උදාහරණයකින් පහදා ගනිමු.

අමුත්තෙක් ගෙදරකට යන විට මත් පැන් බෝතලයක් තෑගි ලෙස ගෙන ගියා යැයි සිතන්න. ඒ බෝතලය දකින බීමට කැමති ස්වාමියා ඒ කෙරෙහි රාගිකව බැඳෙමින් ඒ පිළිබඳව සතුට උපදවනවා. මත් පැන්වලට විරුද්ධ බිරිඳ එම බෝතලය දෙසම ද්වේශ සහගත විඤ්ඤාණයක් ගොඩනගනවා. එකම බෝතලය ස්වාමියාට සතුටු සහගත රාග විඤ්ඤාණයක් ගොඩනගන අතර බිරිඳ ඒ අරමුණම අරගෙන ද්වේශ සහිත විඤ්ඤාණයක් ගොඩනගමින් වේදනාවට පත්වෙනවා.

එහෙනම් ඒ සතුට හා දුක තිබුණේ බෝතලයේද? නෑ. එය තම තමන් බෝතලය කෙරෙහි පටිච්ච වූ ආකාරය මත ගොඩනැගුණු විඤ්ඤාණ අනුවයි වෙනස් වුනේ. කවරෙකුගේ විඤ්ඤාණයට ආව අදහසද හරි? ස්වාමියාට දැනුණු ආකාරයද, බිරිඳට දැනුණු ආකාරයද? දෙකම වැරදි බව නිගමනය කරන්න පුළුවන්. රහතන් වහන්සේ කෙනෙක් මේ බෝතලය දැක්කොත් එයින් සතුටක් හෝ දුකක් ගොඩනගා ගන්නෙ නෑ. ඒ උන්වහන්සේ රාගයෙන් හෝ ද්වේශයෙන් ඒ දෙස නොබලන නිසයි. අපි රාගයෙන් හෝ ද්වේශයෙන් ගොඩනගා ගන්නා විඤ්ඤාණයන්ගෙන් දැනගන්නා සියලු දේ විකෘති බව මේ ආකාරයෙන් තේරුම් ගන්න  ඕන. ඒ නිසයි විඤ්ඤාණයට මායා කාරයෙක් කියන නම දැම්මේ. මේ විකෘති ඥානයෙන් ලෝකය දෙස බලන තාක් කල් ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් පේන්නෙ නෑ. ලෝකය විකෘතිවයි පේන්නේ.
රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ වශයෙන් දක්වන පංච උපාදානස්කන්ධවල එන විඤ්ඤාණයත්, පටිච්ච සමුප්පාදයේ එන සංඛාර පච්චයා විඤ්ඤාණයත් අතර වෙනසක් ඇද්ද? මේ සමහරු නිතර අසන ප‍්‍රශ්නයක්. එවැනි වෙනසක් නෑ. විඤ්ඤාණ ගොඩනැගීමේ ක‍්‍රියාවලිය කොයි ආකාරයෙන් විස්තර කළත් ඇතිවන්නේ එකම විඤ්ඤාණ පරම්පරාවයි. ප‍්‍රත්‍යයන්ගෙන් තොරව විඤ්ඤාණයක් පහළ වෙන්නෙ නෑ. විඤ්ඤාණ පටිච්ච සමුප්පන්නව පහළ වෙනවා හැර වෙනත් ප‍්‍රත්‍යයකින් පහළ නොවන බව මජ්:නි: (1) 602 පිටුවේ එන මහා තණ්හා සංඛය සූත‍්‍රයේ දක්වා තියෙනවා.

අනේක පරියායේන පටිච්ච සමුප්පන්නං විඤ්ඤාණං භුත්තං අඤ්ඤත‍්‍ර පච්චයා නත්ති විඤ්ඤානස්ස සම්බවෝති.

සත්ත්වයාගේ සසර පැවැත්මට හේතු වන ආහාර හතරක් බුදුපියාණන් වහන්සේ දේශනා කරල තියෙනවා. විඤ්ඤාණය එම ආහාරයන්ගෙන් එකක්. එය ආහාරයක් වශයෙන් හැඳින්වූයේ සසර පැවැත්ම පෝෂණය කිරීමට එය හේතුවන නිසයි.

රූපයකින් තොරව, වේදනාවකින් තොරව, සංඥාවකින් තොරව, සංඛාරයකින් තොරව විඤ්ඤාණයන්ගේ පහළවීමක්, පැවැත්මක් නොපනවන බව බුද්ධ දේශනාවයි. භෞතික ලෝකයේ ඇති ශක්තිය වශයෙන් අපි නම් කරන දේ අතර, ආකාර හයකින් විද්‍යමාන වන බව පේනවා. එනම් ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ, විඤ්ඤාණ වශයෙන්. මෙයින් ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියන ගුණාංග පිළිබඳව අපි නිතර අහල තියෙනවා. ඒ පිළිබඳව අදහසක්ද තියෙනවා. ආකාශ හා විඤ්ඤාණ කියන්නේ මොකක්ද?

මෙයින් ආකාශ යන වචනය බිඳී තියෙන්නේ ආකර්ෂණය යන අරුතෙන්. මෙය විශ්වයේ ඇති ආකර්ෂණ රටාව හෙවත් “ඉලෙක්ට්‍රෝ මැග්නටික් ෆීල්ඞ්” වශයෙන් සැලකෙන ශක්ති ක්ෂේත්‍රය නිරූපනය කරනවා. මේක තමයි නවීන විද්‍යාඥයින් “ඊතර්” වශයෙන් හඳුන්වන්නේ. එහෙනම් විඤ්ඤාණ වශයෙන් හැඳින්වූ හය වන ශක්ති තලය මොකක්ද? මේ පිළිබඳව දීඝ නිකාය (1) කේවට්ට සූත‍්‍රයේ 538 පිටුවේ එන පහත සඳහන් ගාථාව ගැන සිත යොමු කරමු.

විඤ්ඤාණං අනිදස්සනං අනන්තං සබ්බතෝ පභං – එත්ථ ආපෝච පඨවි තේජෝ වායෝ නඝාධති – එත්ථ දීඝංච රස්සංච අනුංතූලං සුභංසුභං – එත්ථ නාමංච රූපංච  අසේසං උපරුජ්ජති – විඤ්ඤාණස්ස නිරෝධෙන එත්ථෙතං උපරුජ්ජති

මේ ගාථාව දේශණා කරල තියෙන්නෙ සතර මහා ධාතු නොදරන හෙවත් නොපවතින යම්කිසි ස්ථානයක් පිළිබඳව විස්තර කර දීම සඳහායි. ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ, විඤ්ඤාණ යන ශක්ති තල හයෙන් විඤ්ඤාණ තලයේ ගුණාංග සමග ඉහත කී ගාථාවේ විස්තර සැසඳෙන බව පෙනී යනවා.

ආකාසානංචායතනය (ආකාශ) ඉක්මවා ගියාම විද්‍යමාන වන විඤ්ඤාණංචායතනය සමග ඉහත කී ගුණාංග ගැලපෙන බව පේනවා. නිවන පිළිබඳව දේශණා කරන බුදුපියාණන් වහන්සේ “අත්ථි තදායතනං” යනුවෙන් මේ සියල්ල ඉක්මවූ ස්වභාවය නිවන බවත්, එය ලෝකය සතු කිසිම පැනවීමකින් කිව නොහැකි ප‍්‍රඥා ගෝචර ස්වභාවයක් බවත් පෙන්වා තියෙනවා.

නුගේගොඩ වින්සර් රෝහලේ සභාපති
වෛද්‍ය ආර්. පී. වීරසිංහ (MBBS/DFM/MCGP/MPFAM)

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.

2 thoughts on “විඤ්ඤාණය පිළිබඳ සැඟවුණු දහම්…

  1. Pingback: මතකය ගැන සැඟව ගිය දහම් විඤ්ඤාණ හා නාම රූප ඇසුරෙන්…. | හෙළ බොදු පියුම

  2. Atula Siriwardane

    හොඳ විග්‍රහයක්..
    කලාතුරකින් දකින්න ලැබෙන
    සැබෑ අවබෝධයෙන් කළ විග්‍රහයක්..
    එකඟ නොවෙන තැනුත් තියනවා.
    සමස්තයක් වශයෙන් එකඟයි..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *