බුදු පියාණන් වහන්සේ දේශනා කළ දහමේ නිතර අහන්න ලැබෙන ධර්ම කාරණාවක් තමයි අවිද්‍යාව. පැවැත්ම අවිද්‍යාව ලෙසත්, ඉන් මිදීම විද්‍යාව හෙවත් සම්මා දිට්ඨිය ලෙසත් වෙන්කර ගන්න පුළුවන්. අවිද්‍යාව කියන්නෙ මොකක්ද කියල ඇහුවොත් දහම් ඇසුරු කරන බොහෝ දෙනෙකුගේ පිළිතුර වන්නේ චතුරාර්ය සත්‍යය නොදැනීම අවිද්‍යාව කියලයි. එහෙම කිව්වේ සත්‍ය ලෙසම අවිද්‍යාව වැටහිලාද? නොදන්නා දෙයකින් සත්‍යය දකින්න පුළුවන්ද? අවිද්‍යාව මොකක්ද කියල වැටහෙන්න නම් විද්‍යාව අවබෝධ විය යුතුයි. සත්ත්වයා දුකට පත් වන්නේ දුක වටහා නොගත් නිසයි. ලෝක දුක එකක්, දුකේ සත්‍යය හෙවත් දුක්ඛ සත්‍යය තව එකක්. පංච කාමයන් විඳින්න යාමේදී දුකට පත්වන බව වැටහුණොත් එය දුක්ඛ සත්‍යයයි. ලෝකයාගේ අදහස පංච කාමය සැපයි කියන එකයි. දුක්ඛ සත්‍යය වැටහුණු ආර්යාට කාමයන්ගෙන් වෙන් වීම සැපයි කියා වැටහෙනවා.

මාළුවා නහින්නේ කට හින්දයි. ඌ ඇමට තණ්හා වෙලා ඇම ගිලිනවා. ඇම ඇතුලේ කොක්කක් තියෙනවා කියල නොදන්නා නිසා මැරෙන්න සිද්ධ වෙනවා. ඇම ඇතුලේ කොක්කක් තියෙන බව දැක්ක නම් සත්‍යය දැක්කා වෙනවා. මෙසේ පංච කාමය හෙවත් ඉන්ද්‍රියන් පිනවන වැඩපිළිවෙල ඇතුලේ දුකට පත් කරවන මර උගුලක් තියන බව වැටහුණා නම් දුක්ඛ සත්‍යය හෙවත් විද්‍යාව අවබෝධ කළ (දර්ශනය කළ) කෙනෙක් වෙනවා. කොක්කක් පමණක් තිබුණ නම් කිසිම මාළුවෙක් මරණයට පත් වෙන්නෙ නෑ. රසවත් ඇම නිසා රැවටෙනවා වගේම ලෝක සත්ත්වයා පංච කාමය විඳින්න යෑමෙන් දුකට පත්වන බව අවබෝධ නොවුන නිසා චතුරාර්ය සත්‍යය නොදැනීම අවිද්‍යාව වෙනවා. දුකේ ඇත්ත හෙවත් දුක්ඛ සත්‍යය වැටහෙන තුරු විද්‍යාව පහළ වෙන්නෙ නෑ. විද්‍යාව පහළ වීමෙන් පමණක් අවිද්‍යාව කුමක්දැයි කියා වටහා ගන්න පුළුවන්.

අවිද්‍යාව කුමක් දැයි අපි තව ආකාරයකට විමසා බලමු. ලෝක සත්ත්වයාගේ සසර පැවැත්ම අවිද්‍යාව නිසයි යන්න නිතර අහන්න ලැබෙන කියමනක්. සසර දුකයි කියමින් ලෝක සත්ත්වයා මේ ගමනක යන්නේ ඇයි? ඉන්ද්‍රියන්ගෙන් ලබන ආස්වාදයට තියෙන කැමැත්ත නිසා නේද? ලෝකය ගැන දැනගන්න තියෙන කැමැත්ත, වින්දන ලැබීමේ කැමැත්ත, රැස්කර ගන්න තියෙන කැමැත්ත, මතුවටත් භුක්ති විඳින්න තියෙන කැමැත්ත… ආදී ලෙස කැමති බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ ආස්වාදයේ අවිද්‍යාව කුමක් දැයි නුවණින් විමසිය යුතුයි.

අපි පෙරහැරක් බලන්න, ගීතයක් අහන්න, නැටුමක් නටන්න… ආදී වශයෙන් ඇස, කන, නාසය, දිව, කය කියන්නා වූ ඉන්ද්‍රියන් තුළින් බලාපොරොත්තු වෙනවා. සියලූ සත්ත්වයෝම සැපට කැමතියි, දුකට අකමැතියි. එහෙනම් කැමැත්ත සැපයි, අකමැත්ත දුකයි. මේ කාරණාව ධර්ම සිද්ධාන්තයක්. සත්ත්වයා සැපක් ලබන්නේ කැමති දෙයකින්, දුකක් ලබන්නේ අකමැති දෙයකින්. මේ ඇති කරගන්නා වූ කැමැත්ත, තණ්හාව නම් එ් සමගම තියෙන අවිද්‍යාවේ කොටස කුමක්ද? අවිද්‍යාව කොතනද තණ්හාව එතැන, තණ්හාව කොතනද අවිද්‍යාව එතැන. මෙය ධර්ම නියමයක්. මේ ධර්ම කාරණා දෙක නිවුන් සොහොයුරන් වගේ දුකේදී හෝ සැපේදීත්, කැමැත්තේ හෝ අකමැත්තේත්, ඇලෙන ගැටෙන සියලූම තැන්වල සැඟවී තියෙනවා.

එහෙනම් ප‍්‍රිය වූ රූපයක් බලන්න, මිහිරි වූ ශබ්දයක් අහන්න, ප‍්‍රනීත වූ රසයක් විඳින්න හෝ කුමන අරමුණක් ගත්තත් කැමැත්තක් ඇතිකර ගන්න පෙර හිතේ පූර්ව නිගමනයක් තියෙනවා, ඒ ආස්වාදය හොඳයි, වටිනවා, සාරයි කියලා. එහෙම නොවුන නම් කැමැත්තක් ඇතිකර ගන්නෙ නෑ. නාට්‍යයක් බලන්න යන්නෙ එ්ක හොඳයි කියන නිගමනයේ ඉන්න කෙනා. අයිස්ක‍්‍රීම් කන්න කැමති වෙන්නෙ අයිස්ක‍්‍රීම් හොඳයි කියන නිගමනයක ඉන්න නිසයි. කුමන හෝ අරමුණකට හොඳයි, සාරයි, වටිනවා කියා නිගමනයක් නොතිබුණා නම්, ආස්වාදයට කැමැත්තක් හදා ගන්නෙ නෑ. හොඳයි, සුවයි, මිහිරියි, සැපයි ආදී වශයෙන් ගන්නා වූ පූර්ව නිගමනය අවිද්‍යාවයි. ඊට ඇතිකර ගන්නා වූ  කැමැත්ත තණ්හාවයි. අවිද්‍යාව, තණ්හාව නිසා සසර ගමනක් හැදෙනවා. මේ අවිද්‍යාවෙන් මුලා වෙලා පංච කාමයට තණ්හාවෙන් විඳින්නා වූ ආස්වාදය මතු මතුත් බලාපොරොත්තු වීම නිසාම ඇස, කන, නාසය, දිව, කය යන ඉන්ද්‍රියන් පහක් ලැබෙනවා. මේ ඉන්ද්‍රියන් පිනවමින් මතුවට කයක් සකස් කරනවා. සත්ත්ව කියන්නේ මේ පංච කාම ආස්වාදයන් සත් බවින් ගැනීමයි. මේ තුළින් අපට හොඳින්ම වැටහෙනවා සත්ත්වයා තමා විසින්ම හදාගන්නා යථා ස්වභාවය. මෙවැනි භවක් ගොඩනගන්නේ තමන්මයි, මිදිය යුත්තෙත් තමන්මයි.

තමන්මයි කිව්වේ ලෝක සම්මතය අනුවයි. මෙය අවිද්‍යාවෙන් සංඛාර, එයින් විඤ්ඤාණ, එයින් නාම රූප, එයින් සලායතන… ආදී ලෙස හේතු ඵල ක‍්‍රියාදාමය සිද්ධ වී උපාදානයෙන් භව වීමයි ලෝක සම්මතය අනුව භවය ගොඩනගන්නේ තමන්මයි කියල කිව්වේ. එසේම හේතු නිරෝධයෙන් ඵල නිරෝධ වීමයි මිදිය යුත්තේද තමන්මයි කියල කිව්වේ. මමෙක් ගොඩනගනවා, මමෙක් මිදෙනවා යන කීම අනුව මම යන දෘෂ්ටිය නොගත යුතුයි. නැත්නම් සාස්වත දෘෂ්ටියට වැටෙන්න පුළුවන්.

එහෙනම් කුසල් වඩනවා කියල අපි කරන්නේ අවිද්‍යාවයි තණ්හාවයි ක්‍ෂය කිරීම නේද? සම්මා දිට්ඨි සූත‍්‍රයේ (මජ්:නි:(1), 110 පිටුව) මෙහෙම සඳහන් වෙනවා. “අකුසලය දනීද, අකුසල මූලය දනීද, කුසලය දනීද, කුසල මූලය දනීද ඒ හෙයින් සම්මා දිට්ඨියට පැමිණේ”. අකුසලය කුමක්ද? සිත, කය, වචනය මෙහෙයවා කරන දස අකුසලයයි. අකුසල මූලය කුමක්ද? රාගය, ද්වේශය, මෝහයයි. කුසලය කුමක්ද? දස අකුසලයෙන් වෙන් වීමයි. කුසල මූලය කුමක්ද? අලෝභය, අද්වේශය, අමෝහයයි. “කූ” කියන පහත් දේවල් සලා හැරීමයි කුසල කියන්නේ. අකුසල් සාරයි, හොඳයි කියන අදහස අවිද්‍යාවේ නිගමනයයි. එයට කැමැත්තක් ඇතිකර ගැනීම තණ්හාවයි. එහෙනම් චතුරාර්ය සත්‍යය දැක අකුසලයෙන් වෙන් වීම නම් අවිද්‍යා, තෘෂ්ණා ක්‍ෂය කිරීමයි.

තවද දස සංයෝජන ධර්ම ප‍්‍රහීන කරනවා කියල කරන්නේ, අපි ලෝකයට බැඳී තියෙන සංයෝජනවල අවිද්‍යාව ප‍්‍රහීන කිරීමයි. සත්කාය දිට්ඨියේ අවිද්‍යාව ප‍්‍රහීන කිරීම සත්කාය දෘෂ්ටිය ප‍්‍රහීන කිරීමයි. විචිකිච්ඡාවේ අවිද්‍යාව ප‍්‍රහීන කිරීම විචිකිච්ඡාව ප‍්‍රහීන කිරීමයි. මෙසේ සියලූම සංයෝජන ධර්මයන්ගේ අවිද්‍යාව ප‍්‍රහීන කළොත් අවසානයේ ප‍්‍රහීන කිරීමට අවිද්‍යාවක් නෑ. මෙහිදීත් සංයෝජන ධර්මයන්ගේ සාරයි, වටිනවා කියන නිගමනය ක්‍ෂය කිරීමයි සිදුවන්නේ. එසේම මේ පැවැත්ම තුළ නව සොයාගැනීම් කරන්නා වූ, ලෝකයාට යහපත කරන්නා වූ බුද්ධිමත් පිරිසක් සිටිනවා. නවීන පන්නයේ වාහන නිපදවන, නව යන්ත‍්‍ර සූත‍්‍ර කාර්මික උපකරණ සකසන, වෛද්‍ය ක්ෂේත‍්‍රයේ උපකරණ එන්නත් බෙහෙත් ආදිය සොයාගන්නා වූ මෙවැනි ක‍්‍රියා දැකීමෙන් ලෝකයා හිතනවා අද විද්‍යාව දියුණුයි කියල. නමුත් ඔවුන් කුමන සොයා ගැනීමක් කළත් චතුරාර්ය සත්‍යය අවබෝධ කර නොගත්තේ නම් සිටින්නේ අවිද්‍යාවේමයි. මෙසේ බලන විට ලෝකයේ පැවැත්මට ලබා දෙන්නා වූ ශක්තිය අවිද්‍යාව මුල් වූ නිපැයුමක්මයි.

බුදුපියාණන් වහන්සේ අවිද්‍යාවත් මෝහයත් අවස්ථා 23 කට බෙදා විග‍්‍රහකර තියෙනවා. ආර්ය සාසනයට පැමිණි සෝතාපන්න ආර්ය ශ‍්‍රාවකයාගේ සිට අරිහත් බවට පැමිණෙන තෙක්ම මේ අවිද්‍යා ක්ලේෂයන් පවතිනවා. එසේම පුණ්‍ය ක‍්‍රියාවලත් අවිද්‍යා පච්චයා පුණ්‍යාභිසංඛාරා යනුවෙන් අවිද්‍යාව පවතිනවා. සතර අපා ගතවන පාප ක‍්‍රියාවලත් අවිද්‍යාව තියෙනවා. මෙසේ විවිධ මානසික මට්ටම් අනුව ලෝකය හොඳයි වටිනවා කියා ගන්නා වූ නිගමනය අනුව 23 න් ආකාරයකින් අවිද්‍යාව පෙන්වා දී තියෙනවා. උදාහරණයක් ලෙස අජාසත්ත රජු තම පියා මරන්න පෙළඹුනේ, පියාට වඩා රජකම වටිනවයි කියල නිගමනය කළ නිසයි. අපි හිතමු තව කෙනෙක් ඉන්නවා, පියා මරන්න තරම් රජකම වටින්නෙ නෑ කියන අදහසේ. හැබැයි ඔහු පියාට ගහන්න හිරිහැර කරන්න පුළුවන් මට්ටමේ ඉන්නවා. තවත් කෙනෙක් ඉන්නවා පියා මරන්නෙත් නෑ, හිරිහැර කරන්නෙත් නෑ, හැබැයි රජකම ඉල්ලා පරුෂ වචනයෙන් බනින්න පුළුවන්. මෙසේ එ් කෙනාගේ හැසිරීම රජකම වටිනවා යැයි ගත්තා වූ නිගමනයේ ප‍්‍රමාණය අනුව වෙනස් වෙනවා.

කෙනෙක්   කල්‍යාණ මිත‍්‍රයෙකුගෙන් ධර්මය අසා සම්මා දිට්ඨිය තුළින් විද්‍යාව අවබෝධ වන විට රැුවටිල්ල, අවිද්‍යාව හඳුනා ගන්න පුළුවන්. අපිත් මේ සසර තුළ එකොළොස් ගින්නකින් පෙළෙන බව වටහා ගනිමින් අවිද්‍යාව තණ්හාව ක්‍ෂය කිරීමෙන් සසර ගමන අවසන් කිරීමට වීර්ය වඩමු.

පුන්සිරි කොස්තා – පිටිපන