තුන් ලොව සියළු සතුන්ගේ තොරතුරු සටහන් වූ ගුප්ත ලොව පොත් ගුල් හතර විවෘත වෙයි!

පසුගිය කලාපයෙන් –  දේව පූජාවක සැඟවුණු හාස්කම් දෙවියන් ද සමගින් ඇස් දෙකින්ම බලාගත් හැටි!  එතැන් සිට…

මේ විස්තර කරන්නේ ගුප්ත ලෝකයෙන් මට අත්දකින්න ලැබුණු දේවල් අතරින් මෙතෙක් කල් විස්තර කළාටත් වඩා චමත්කාර දර්ශනයක් ගැනයි. පසුගිය කලාපයෙන් විස්තර කළ දේවාල භූමියේ සිටින විට තමයි මේ සිද්ධියත් සිද්ධ වුනේ. මට එක්තරා ගුප්ත හඬක් මෙහෙම ඇසුනා. “පුතා තමා සිටින තැන සිට වටේට බලන්න.” මේ තමයි ඒ ඇසුනු හඬ. මේ හඬ ආවේ ඉහළ ප‍්‍රදේශයකින්. මම මනසින් වටේටම බැලූවා. හැම තැනම හොඳට පෙනෙන ආලෝකය තිබුණා. වටේටම විශාල වලල්ලක ආකාරයෙන් ගුප්ත ලෝකයේ පිරිසක් සිටියා. ඉතා දුප්පත් පවුල්වල පිරිස් වැනි එම පිරිසේ කුඩා දරුවන් හා අතදරුවන් වඩාගෙන ඉඳපු අයත් සිටියා. “වටේටම උඩට බලන්න” යනුවෙන් තවත් හඬක් නැගුනා. ඊළඟ පිරිස සාමාන්‍ය මට්ටමේ මනුෂ්‍ය ස්වභාව ඇති පිරිසක්. ඒ පිරිසේ කුඩා දරුවන් හිටියෙ නෑ. තව තවත් උඩට තට්ටුවෙන් තට්ටුව මෙන් දෙවැනි පෙලේ පිරිස්ද, පළමු සුඛෝපභෝගී මට්ටමේ පිරිස් ඊළඟටද… ආදී වශයෙන් වටරවුම ක‍්‍රමයෙන් කුඩා වන ලෙස පිහිටි මේ ගුප්ත ලෝකයේ පිරිසේ උඩ තලවල හිටපු පිරිස හැඩ රුවින් හා පිරිසිදු කමින් උපමා කරන්නට මෙළොව පිරිස් අතර පිරිසක්ද නෑ. මේ පිරිස පහත පටන් වට රවුමට උඩට බලන විට පේන්නේ රුවන්වැලි සෑ රජුන්ගේ ගර්භය මැද සිටින කෙනෙකුට වටේ පෘෂ්ඨය පෙනෙන ආකාරයටයි.

දැන් පෙර ඇසුනු හඬ යලි ඇසෙන්නට වුනා. “පුතා දැන් ඔබ සිටින තැන සිට කෙලින්ම උඩට බලන්න.” මේ හඬ අනුව මමත් එසේ හිත උඩට යොමු කළා. වටේට තට්ටුවෙන් තට්ටුව පිරිස සිටි විලසින් රවුමට තට්ටු සහිත රන් ඉනිමගක් පෙනුනා. “ඔය කෙලින් උඩටම බලන්න” යැයි නැවතත් හඬ ඇසුනා. මමත් එසේ බැලූවා. පිරිස් වලලූ කුඩා වෙලා ඉහළටම යන තුරු රන් ඉනිමගේ වලලූත් තිබුණා. උඩ හතරැස් කොටුවක්. ඉනිමග එතැනටම තිබුණා. හඬ නිකුත් කරපු කෙනා එතැන හිටියා. ඔහුට තිබුණේ නිල්වන් සිරුරක්. මැණික් පබළු වැනි ආභරණවලින් මුළු සිරුරම සැරසී තිබුණා. සුදු ලස්සන සාරි වැනි ඇඳුම් සහ ආභරණ පැළඳි, ශ‍්‍රියා කාන්තාවන් යන අදහස හැඟවෙන දෙවඟනන් කිහිප දෙනෙක්ද එහි සිටියා. “පුතා අවට පෙනෙන පිරිස්වලට ගැති වී පිළිසරණ නොපතන්න. ස්වෛරීව නැගී සිටින්න. ඔබ බෞද්ධයෙක්. මා සිටින තැනට ආවොත් මගේ බලය ඔබට ලැබේ. මට ඇත් බල කෝටි පහක් ඇත. කැමති නම් මා පසුකර යා හැකිය. ඔබ කෙලින් තවත් උඩ බලන්න.”

මේ හඬත් සමග මම තවත් උඩට බලන විට සුදු කොත් කැරැල්ලේ වලලූ පෙනුනා. ඒවා හැදිල තිබුණේ බ‍්‍රහ්ම පිරිසකගෙන්. මේ අය සම්පූර්ණයෙන්ම සුදු පාටයි, වර්ණ නෑ. ඒ දෙස බලන විට අර හඬින් කියන්නේ එම අයගේ බලය තමාට මනින්නට බැරි බවයි. “තව මුදුනටම බලන්න” යන හඬ ඇසුනා. මුදුනටම බලන විට සූර්යා දෙස බලනවා වගේ මහා ආලෝකයක් අතරින් බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සේ පෙනෙන්නට වුනා. “මේ උපරිමයයි. භවයේ කෙළවරයි. කැමති නම් එතැනටම යා හැකිය. කිසි බාහිර පිළිසරණක් නොපතා බුදුමග ගමන් කරන්න.” මේ හඬ නැගිලා නැවත මා හිටපු තැන (දේවාල භූමිය) පෙනෙන්නට වුනා.

මීළඟට  පෙනුනේ  විශාල උත්සවයක් නරඹන පිරිසක්. විශාල පිරිසක් පළතුරු, පැන්, මුංඇට සහිත පොල්, කැවිලි ආදියෙන් සංග‍්‍රහ කරනවා. බන්දේසිවල තබාගෙන ළඟටම ගිහින් පිරිසට දෙනවා. මේ අවස්ථාවේ කාලි මෑණියන් කියන අය විශාල බන්දේසියක් ගෙන මා වෙත ඇවිත් “හරි වැඩේනෙ සංග‍්‍රහ කරන්න මුංඇට මදි වුනා” යැයි පැවසුවා. මටත් ඇතිවුනේ, “හරිවැඩේ දැන් මොකද කරන්නේ!” කියන සිතිවිල්ලයි. උඩින් නැගෙන හඬ යලිත් ඇසෙනවා. “පුතා එක මුංඇටයක් සහ පොල් බිඳක් මා වෙත එවන්න.” මෙසේ හඬ එන විට, යවන්නේ කොහොමද කියල මට ගැටළුවක් ආවා. එවිටම “මහපට ඇඟිල්ලේ නිය පිට තබා උඩට විදින්න” යනුවෙන් හඬ ඇසුනා. මම අර බන්දේසියේ තිබිච්ච මුං ඇටයක් සහ පොල් බිඳක් නිය පිට තබා උඩට විද්දා. මෙය භෞතික සිද්ධියක් ලෙසටයි දැනුනේ. එය ඉහළ ගොස් නීල වර්ණ දෙවියන්ගේ අතේ පිහිටියා. ඉන්පසු, “පුතා ඔන්න බලාගන්නැ”යි කියා ඒ මුංඇටය සහ පොල් බිඳ පහතට දැම්මා. මේ මුං ඇටය සහ පොල් බිඳ යමක වැදි වැදී පහත් වන සේ ගැස්සෙමින් පහතට එන්න වුනා. ඒ මොහොතක් පාසා එක දෙකක් වුනා, දෙක හතරක් වුනා, හතර අටක් වුනා. මෙසේ මුංඇට සහ පොල් දෙගුණය බැගින් වැඩිවෙමින් පොළොව අසලට එන විට පොල් සහ මුංඇට මහා වැස්සක් වගේ දිස්වුනා. අහසට යොමු කළ විශාල පුනීල මගින් ඒවා එකතු වී මහා කල්දේරම් පිරී ඉතිරී ගියා. කාලි මෑණියන් ඇතුළු පිරිස ඉතා සතුටින්, දැන් කොතෙක් දුන්නත් මදි නොවේ යැයි කියා සැමටම සංග‍්‍රහ කළා. මේ සංග‍්‍රහය සිද්ධ වුනේ පහතම හිටපු මිනිස් ස්වභාව ඇති පිරිසටයි. ඉන් ඉහළ හිටපු පිරිස්වලට ආහාර, පැන් අවශ්‍යතාවයක් පෙනුනෙ නෑ.

මේ අතර මගේ හිතවතාට (පසුගිය කලාපයෙන් විස්තර කළ විලියම් නැමැත්තාට) සැත්කමේ ප‍්‍රතිකර්මයත් කරල ඉවර වෙලා තිබුණා. ඒ සමගම ඔහුව බැඳල තිබුණු ලණු පොටත් ලිහල දැම්මා. අත්දෙක ඉදිරියට ගත් ඔහු, දැන් හරි සුවයි කිව්වා. එතැනින් සංදර්ශනය නිමා වුනා. සියළු සංදර්ශන අතුරුදන් වුනා. එතැන් පටන් කිසි කලෙක “අනේ දෙවියනේ මට පිහිට වන්න” කියන අදහසක් මට ඇතිවුනේ නෑ. “සැමට බුදු පිළිසරණ ලැබී සුවපත් වේවා” යන අදහස නිතරම ඉස්මතු වුනා. මේවා ගුප්ත ලොවින් අත්දැකපු සත්‍ය සිදුවීම් බවත්, කිසිම අතිශයෝක්තියක් නැති දැකපු දේවල්ම බවත් බුදුපියාණන් වහන්සේ සාක්‍ෂි කොට දිවුරා ප‍්‍රකාශ කරන්න පුළුවන්.

මේ සිද්ධියෙන් පසු ගතවුනේ දින කිහිපයයි. මීට ඉහතදී කියපු ගුප්ත සිදුවීමේදී දේව පූජාව සකස් කරන්න බඩු බාහිරාදිය සපයා දුන්නේ අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ නිවසක පිරිසකගෙන්. වික‍්‍රමසිංහ කපු මහතා ඒ පිරිසගේ නිවසේ ශාන්තිකර්මයක්, ආරක්‍ෂාවක් කරන්න කටයුතු සූදානම් කළා. එම නිවසේ ආරක්‍ෂා ශාන්තියට සෙත් බල පිහිටුවන්න යෝජනා වුනේ මහා බුද්ද මාලාව නම් මන්ත‍්‍රයකින්. මන්ත‍්‍ර විධි පේ කොට ආරක්‍ෂක ද්‍රව්‍ය වන දුම්මල, තැඹිලි, තෙල් ආදිය බල පිහිටෙව්වේ ඉහත කී බුදු ගුණ බල පිහිටවන මන්ත‍්‍රයෙන්. ” ඕං නමෝ භගවතෝ….” කියා ආරම්භ වන මේ මන්ත‍්‍රය අවසන් වන්නේ “පල පල බුදුන් අණින්, දහම් අණින්, සඟරුවන් අණින් මොහුට ලෙඩ කළ යකෙක්, යක්‍ෂණියක් ඇත්නම් ත‍්‍රිවිධ ධර්මානු ධර්ම චක‍්‍රා-යුධයෙන් යකුන්ගේ සිරසවල් අලූ කෙරෙව්, නමඃ යඃ තුන් සැනින් බිල්ල හැර තොපගේ යක්‍ෂ පුරයට මාගේ බුද්ධ රාජ්‍යයෙන් පොඃ පොඃ සිවඃ….” යනුවෙනුයි. මේ මන්ත‍්‍රයේ කොටසක් පමණයි. (මැද කොටස් මෙහි සටහන් කළේ නෑ.)

මේ මන්ත‍්‍රය මතුරන විට සුදු හංස රෑන් පියඹා එන දර්ශන නිතර පේනවා. (පොතක පිටු පාවී එන්නා සේ) මේ කටයුතු නිමවා විවේකීව සිටින විට මට ගුප්ත ලොවින් එක්තරා ප‍්‍රශ්නයක් ඇසුනා. එනම් ලෝකයේ තෙල් හටගත්තේ කවදාද යන්නයි. කපු මහතාගේ නිවසේ අයට මා කියා සිටියේ, මෙන්න අද තවත් විස්තරයක් එනවා කියලයි. නමුත් ප‍්‍රශ්නයට පිළිතුරු මා දැනගෙන හිටියෙ නෑ. ඒත් සමගම විස්තරයක් රූප සමගින් මැවී පෙනෙන්නට වුනා. හරියට රූපවාහිනී නැරඹීමක් වගෙයි. මේ තමයි ඒ විස්තරය,

දැනට වසර 2500 කට පමණ පෙර සුර අසුර යුද්ධයක් හට ගත්තා. මේක කඹ ඇදීමක්. ජය ලැබුණ අයටයි මහ මෙර අයිති වෙන්නේ. මේ කඹ ඇදීමට ගත් කඹය නම් අනන්ත කියන නාග රාජයායි. ඒ නාගයාට පෙන ගොබ එකසිය අටයි. අසුරයෝ කවදත් බලයට කෑදරයි, ලොකු පැත්ත බදා ගන්න හරි කැමතියි. සූක්‍ෂම නුවණ ඇති දෙවියෝ මහ මෙර වටා දරණ වැල් හතක් ඔතා නාගයාගේ හිස පැත්ත අසුරයන්ට දුන්නා. ලිස්සා යන වලිගය පැත්ත දෙවියන් ගත්තා. දෙවියෝ රැවටිලා වලිගය පැත්ත ගත්තයි කියා සතුටු වුණ අසුරයෝ හිස කඳ පැත්ත අල්ල ගත්තා. දෙපිරිසම දෙපසට අදිද්දී දරණ හත ලිස්සා එක දෙසකට නොඇදී මහ මෙර මිරිකෙන්නට වුණා. ඇදීමට වෙර දරන්න එතරම් අනවශ්‍යයි. දෙවිවරු නාගයාගේ වලිගය දෙකට නමා මිරිකන්න වුණා. වේදනාවට පත් නාගයා විස දුමක් පිට කළා. විස වැදුණු අසුරයෝ විස මුර්ජා වී මහමෙර පහතට පෙරළෙන්න වුනා. මහ මෙර මිරිකෙමින් තෙල් ගලා බසින්නට වුනා. ගංගා වගේ තෙල් ගලා පාමුල තැන්පත් වුනා. ඖෂධීය ගුණ ඇති දෙහි, පුහුල් ආදී දේ නිපද වුනා. බුලත්ගිරිඳ වැල් මෙන්ම නාග විස පරිවර්තනය වී විවිධ සර්ප කොටස්ද බිහි වුනා. ඉහත කී ගලා ආ තෙල්වලින් ලෝකය ආලෝක කරන්න පුළුවන් වුනා. අවසානයේ හැඟවූයේ මේ තෙල බුදු දහම බවයි. මේ මුළු කතාවම උපමා කතාවක්.

උපමාව එමගින් තේරුම් කරල නොදුන්නත්, මේ කාරණය වැටහෙන දෙයක්. මහමෙර කියන්නේ මිහිරියාව සහිත පංච කාම වස්තූන්. මේවායින් තමයි පංච කාම ආස්වාද දෙන්නේ. අනන්ත නාග රාජයා නම් අසීමිත ආසාවන්ය. පෙන ගොබ එකසිය අට නම් එකසිය අට ප‍්‍රභේද වූ තෘෂ්ණාවයි. (ලෝක සත්ත්වයා හා වෙන තැන් හෙවත් තණ්හාවෙන් බැඳෙන තැන් එකසිය අටක් බුදු දහමේ පෙන්වා තියෙනවා. අපි එකසිය අට වරක් ජීවම් කරනවයි කියන්නෙත් මේ බැඳුනු බන්ධන කැඩෙන අර්ථයෙන්.) දෙවියෝ නම් පාපයට ලැජ්ජා බිය ඇති, කාමය නිසා පව් නොකරන පිරිසයි. අසුර පිරිස නම් විසකර කාමය බදාගෙන දුක් විඳිමින් එහිම එතෙන පිරිසයි. මහ මෙර නමැති කාම වස්තූන් එකිනෙකාගේ පැතිවලට ඇදෙන තරඟකාරී පොරබඩු බව දකින විට, එහි ආදීනව දැක පහළ කරන ඥානය කාම වස්තු බදා නොගෙන ආලෝකය දෙන දහම් ලෙස ඔප් නැංවී ආවා. දෙහි, පුහුල් ආදියෙන් කිව්වේ පින් ඵලයයි. පව් කොටස්වල ඵලය නොයෙක් සර්ප ආදීන්ය. ඒ සර්පාදීන්ගෙන් නැගෙන විෂට ආපු ප‍්‍රති විෂ හෙවත් ආරක්‍ෂාව තමයි බුලත්ගිරිඳ. දහම් තෙලේ ආලෝකයෙන් ප‍්‍රඥාව පහළ වී දැල්වෙන්නේ බුද්ධ රාජ්‍යයයි. මේ තමයි ඉහත විස්තරයේ පරමාර්ථ අර්ථය.

දැන් නැවතත් කලින් කියපු කතාවට අවධානය යොමු කළොත්, අවිස්සාවේල්ල පැත්තේ පුවක්පිටිය කියන ගමේ ගෙදරක තමයි අවශ්‍ය ශාන්තිකර්මය කරන්න යෙදී තිබුණේ. මමත් කපු මහතා සමග එහි ගියා. එම නිවසේ ශාන්තිකර්මය සඳහා ඊට පෙර දින දුටු සිද්ධිය මුල් කරගෙන කටයුත්තක් කළ යුතු බවට ගුප්ත ලෝකයෙන් ක‍්‍රියාකාරීත්වයක් නැගෙන්න වුනා. දැන් මේ ප‍්‍රකාශ කරන්න බලාපොරොත්තු වන්නේ අති විශේෂම ගුප්ත සිදුවීමක්. මේ විස්තරය අහන කියවන ඔබට, මේවා නම් කෙසේවත් විශ්වාස කරන්න පුළුවන් දේවල් නෙවෙයි කියන අදහසක්ද ඇතිවෙන්න පුළුවන්. නමුත් මේ සියළු දර්ශන මා දැකපු සැබෑ සත්‍යයන් බව සහතික කරල කියනවා.

මේ නිවස පිහිටා තිබුණේ ගම්මානයට යන පාරේ දකුණු පසයි. පාරේ දකුණු පස නිවසින් එහාට වෙන්න තිබුණේ ලොකු කුඹුරු යායක්. පාරේ වම් පස තිබුණේ කඳු සහිත රබර් සහ පොල් ඉඩමක්. නිවසේ හිස්වැස්ම (හුඩ් එක) ලඟින් ප‍්‍රධාන දොරෙන් අතුළු වෙන්න තිබුණේ සාලයටයි. සාලය පසු කරලා තව ඉදිරියට බලන විට පෙනෙන්නේ වී පෙට්ටියක් තිබෙන දිග කාමරයක්. ඉදිරිපස පෝටිකෝව යට මේ ශාන්තිකර්මය කරන්න දැන් කටයුතු සකස් වෙනවා. වෙලාව හවස 6.30 ට පමණ ඇති. මහමෙර වටා නාගයා වෙලා සිටින ක‍්‍රමයට මේ කටයුත්ත සකස් කළ යුතුයි. කළ යුතු ආකාරයත්, ක‍්‍රමවේදයත් දැන් මට මැවිල පේනවා. ලොකු බන්දේසියක භූමිතෙල් දමා අනාගත් මුහුදු වැලි, කන්දක් ලෙසට සකස් කළ යුතුයි. නූල් පොටවල් තුනක් එකට අඹරාගෙන පෙන ගොබ එකසිය අටක් එන විදියට සමනල ගැටය ලෙස ගැට දමා සාදාගෙන, භූමිතෙල් ඇනූ වැලි කන්දේ හත් වටයක් එතිය යුතුයි. අතට අල්ලා ගන්නා කෙළවර, ගැට නැතිව දිගට අරගෙන අග කෙළවරේ ඇණයක් ගැට ගසා ඇණ තුඩ නූලට හිරවන්නට තබා අල්ලා ගත යුතුයි. දැන් මේ බන්දේසිය කුඩා මේසයක තබා නිවස දෙස බලා පුටුවක හිඳගෙන මූලික පිළිවෙත් සිදුකර මහා බුද්ධ මාලාව නම් මන්ත‍්‍රයෙන් එකසිය අට වරක් ජීවම් කළ යුතුයි.

දැන් ජීවම් කිරීම ආරම්භ කළා. සුපුරුදු පරිදි භෞතික පරිසරය වෙනස් වෙමින් ගුප්ත පරිසරය සකස් වෙන්න පටන් ගත්තා. හැම තැනම හඳ එළිය පායලා වගෙයි. විශාල ආලෝකයක් බොහෝ ඈත පටන් ඇදී එන්න වුනා. එක්තරා පිරිසක් විවිධ තිරවලින් ආලෝකය ආවරණ වන සේ වහන්න පටන් ගත්තා. ජීවම පූර්ණ වන විට ඒ ආවරණ විනිවිද ගිහින් ලස්සන ආලෝකයක් මතු වී අවට පරිසරය සහමුලින්ම වෙනස් වුනා. දැන් වී පෙට්ටිය තිබුණ කාමරය දෙසින් හක් ගෙඩියක හඬක් වැනි ගාම්භීර, එහෙත් ඉතා පැහැදිලි හඬක් ඇසෙනවා. පුදුමයක්! ඒක කාමරයක් කියල හිතන්නත් බෑ. භික්‍ෂූන් වහන්සේලා බිම වාඩිවෙලා බණ අහනවා. ගාම්භීර නාදය නැගෙන්නේ බුදු මුවින්. නෙත් අදහාගන්නත් බැරි දර්ශනයක්. රතු නෙළුම් මලක් විකසිත වෙමින් බාගෙට පිපුණු ආකාරයට හැකිලෙමින් නෙළුම් රේණු වැනිම සුදු රැස් විහිදෙන දන්තාවෝ (දත්) දිස්වෙමින් පෙණුන ඒ දර්ශනය සමග මට හැඟුනේ බුදුපියාණන් වහන්සේගේ ශ‍්‍රී මුඛ  පද්මය  කියන්නේ  කිසිම අතිශයෝක්තියක් නැති සත්‍යයක් නේද කියන හැඟීමයි.

දේශනා නාදය මේ විදිහට ඇසුනත් දේශනා කරපු දේවල් වැටහුනේ නෑ. මේ සමගම අවට පරිසරයට හිත නැඹුරු වුනා. හිතාගන්නත් බැරි පුදුම සිද්ධියක්. වම් අත පැත්තට තිබූ පාරෙන් අනිත් පැත්තේ තිබූ කන්ද සහිත රබර් ගස්, පොල් ගස් මේ කිසිවක් දකින්න නෑ. හැම තැනම එකම ලස්සන තැනිතලාවක්. උයනක සිරිය ගත් ඒ පෙදෙසේ බබලන හඳ එළිය ඉතා සිසිල් සෞම්‍ය ස්වභාවයෙන් පැතිරිලා තිබුණා. ඒක සැබෑ එළියක් නෙවෙයි මැවුණු හඳ එළියක්. සුළඟට සිලි සිලි නදින් කොල ලෙලදෙන බෝධීන් වහන්සේ නමක් එම ප‍්‍රදේශයේ දර්ශනය වුනා. මේ ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ නේදැයි මට හැඟීමක් ඇතිවුනා. දකුණු අත දෙසට පෙනුන කුඹුරු යාය දෙස බැලූ විට කුඹුරු යාය අහලකවත් පේන්න තිබුණෙ නෑ. ඒ පෙදෙසත් දැන් ලස්සන තැනි තලාවක්. ඈතින් මුර ගෙවල් දෙකක් දෙපසින් පේනවා. කණු උඩ ගොඩනගන ලද මුර ගෙවල්වල වහල කේතු රූපාකාරයි.  හිසේ තලප්පා බැඳගෙන මුර ඇඳුමින් සැරසිච්ච මුර පිරිස් ඒවායේ හිටියා. නැවතත් වම් පස බලන විට එබඳුම මුර ගෙවල් දෙකක් දිස් වෙන්නට වුනා. සැනෙකින් සිහියට නැඟුනේ සතර වරම් දෙවියන්ගේ මුර ගෙවල් හතරක්.

දැන් ඉදිරියේ පෙනුන බුදුපියාණන් වහන්සේගේ ධර්ම දේශනා විලාසය සහ බණ අහගෙන හිටපු සංඝ රත්නය පේන්න නෑ. ඒ ශාලාවත් දකින්න නෑ. මේ හැම තැනම පෙර තිබුණ ස්වභාවයත් හොඳට මතකයි. දැන් ඒවා කොච්චර සිහි කරල බැලූවත් අහලකවත් පේන්න නෑ. බෝධිය තිබුණු පරිසරය සෙමින් භ‍්‍රමණය වන ආකාරයක්  පෙනෙන්නට  වුනා. බුදුපියාණන් වහන්සේ ඉදිරියේ වැඩ සිටි ලෙස පෙනුන ස්ථානය දැන් ලස්සන තැනිතලාවක්. බෝධීන් වහන්සේ දැන් පේන්නෙ එතැනයි. දැන් මේ කියන්න යන්නේ අති විශේෂ ගුප්තමය සිදුවීමක්. මේ දර්ශන මා සිහිනෙකින්වත් නොහිතපු, නමුත් සම්පූර්ණ සත්‍ය අත්දැකීම් බව පවසන්නේ සැකයක් ඇතිකර නොගන්නයි.

බෝධීන් වහන්සේගේ කඳ මැදින් රිදී පාට රේඛාවක් උඩ පටන් පහළට පෙනෙන්න වුනා. ක‍්‍රමයෙන් මේ රිදී රේඛාව පළල් වෙමින් බෝධිය අතුරුදන් වී සූර්යයෝ දහයක එළිය වැනි ආලෝකයක් (අව්ව සැර නෙවෙයි) පැතිරෙමින් මුළු පරිසරයට පළල්ව විහිදිලා ගිහින් මහා ආලෝක ප‍්‍රදේශයක් වුනා. එහි විශාල තාප්පයක් සහිතව මැද විශාල ගේට්ටුවක්. ත‍්‍රිශූල වැනි උල් සහිත යකඩ කම්බි සහ සුදු යකඩින් තැනූ ගේට්ටුවක් වගෙයි. ඒ දෙපස ත‍්‍රිශූල දෙකක් අතින් ගත් මා දෙස බලා සිටින මුර සෙබලූන් දෙදෙනෙක්. ඔවුන්ගේ ස්වභාවයත් දිව්‍යමයයි. නෙත් දෙකින් විහිදෙන ආලෝක කිරණ, වියලි කෝෂ (බැටරි) පහකින් යුත් විදුලි පන්දම් දෙකක එලි දෙකක්    වගෙයි. දෙදෙනාගේම ඒ විදිහයි. ඒ දෙදෙනාගේ නේත‍්‍රා දෘෂ්ටි මගේ ඇස් දෙක වෙත එල්ල වුනත් ඒ එලිය දරාගෙන හොඳින් ඒ දෙස බලන්න පුළුවන්. ඒ දෙන්නා මේ විදිහට කතා වුනා. “අපගේ නේත‍්‍ර දෘෂ්ටි දැරිය හැක්කේ හිමිකරුවෙකුට පමණයි. අපි ඉඩ හැර ඉවත් වෙමු.” මෙසේ කියා ඒ දෙපළ දෙපසට ගිහින් අතුරුදන් වුනා.

ඒත්   සමගම ගේට්ටුව ඉබේම දෙපසට ඇදී ගියා. ඇතුලත පවිත‍්‍රතාවය උපරිමයි. සෙලින්කෝ මන්දිරයේ ස්වභාවයක් පෙන්නුම් කරන එහෙත් තට්ටු ගණන කිව නොහැකි විශාල මන්දිර හතරක් අංශක අනූවක පමණ කෝණාකාර ප‍්‍රදේශයක ඉතා හොඳින් පෙනෙන්නට වුනා. ඒ සමගම සුදු වතින් සැරසුණු ගුරුවරයෙක් වැනි කෙනෙක් ඉදිරියට පැමිණියා. සමහර වෙලාවට ඈතින් මනෝ තලයක දිස්වන ඔහු, මා කුඩා කළ පටන් දැකල තියෙනවා (මනෝ තලයේ). එකල ඔහු  පෙනුනේ  එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක හිටපු අගමැති තුමාගේ විලාසයකින්. ඉදිරියට මේ එන්නේ එතුමා බව දුටුවත් අඩි 10 ක් තරම් දුරට ඇවිත් සිනාසී බලා සිටින විට වැටහුනේ ඒ, බණ්ඩාරනායක මහතා නොවන බවයි. සමව පිහිටි, හිදැස් නැති, ඉතා සුදු දත් දෙපල සහිත මේ මුව සහ මුහුණ ඉතා තීක්‍ෂණ යහපත් ගුරු මහතෙකුගේ ස්වභාවයක් පෙන්නුම් කළා.

එතුමා සිනාසී ලොව ජයගන්නේ කවුදැයි මගෙන් ඇහුවා. පිළිතුරු නොදුන් මා විමසිලිමත්ව එතුමා දෙස බලා සිටියා. ඉන්පසු යතුරක් පෙන්වා එය යතුර යැයි පැවසුවා. එදා සමසමාජ පක්‍ෂයේ ලාංඡනය යතුර වූ නිසා ඒ පක්‍ෂය ගැනද මේ කියන්නේ යැයි මට අදහසක් ඇතිවුනා. එවිටම එබඳු පක්‍ෂයක් නෙමෙයි කියා දකුණු අත් අල්ල ඉදිරියට පෙනෙන සේ ඇඟිලි දිගුකර ඔසවා පෙන්වා, මටත් එසේ කරන ලෙස කියා සිටියා. මමත් දකුණු අත එසේ ඔසවා පිටි අත්ල මට පෙනෙන ලෙසට ඇඟිලි දිගුකර සිටියා. එතුමා යතුරු කැරැල්ලක් මගේ අතට එව්වා. අල්ලේ මැද පලමුද්දක ඇමිණුනු යතුරු කැරැල්ල මගේ අතේ ඇමිණුනා. එය මගේ ඇසට පෙනෙන, හොලවන විට යතුරු සෙලවෙන හඬ සහ බර දැනෙන, අතමිට මොළවා ගත හැකි යතුරු කැරැල්ලක්. ඉන්පසු එතුමා අතුරුදන් වුනා.

දැන් මේ ක‍්‍රියාත්මක වෙන්නේ මට හිතෙන හිතෙන දේ නෙමෙයි. මේ හැම දෙයක්ම ස්වයංක‍්‍රීයයි. අංශක අනූවක් පමණ සීමා ප‍්‍රදේශයක සෙලින්කෝ මන්දිරය වැනි, එනමුත් තට්ටු ගණන කිව නොහැකි ඒ මන්දිර හතරේම පහත මාලයේ රිදී පාට අකුරින් අනුපිළිවෙලින්, (I) ලෝකයේ පරිණාමය (II) සත්ත්වයාගේ පරිණාමය  (III) සත්ත්වයාගේ ලෙඩ රෝග  (IV) සත්ත්වයාගේ කර්ම ශක්තිය යනුවෙන් සටහන් වී තිබුණා. මේක හරියට “සෙලින්කෝ මන්දිරය” යනුවෙන් කොළඹ ඇති එම මන්දිරයේ සවිකර තියෙන දැන්වීම් පුවරුව වගෙයි.

මේ අවස්ථාවේ මගේ ශරීරයේ බර සැහැල්ලූ වුණා. පාවෙලා යනවා වගේ පෙර කියපු දොරටුවෙන් ඇතුලට මා ඇදී ගියා. මේ ගියේ මනෝමය කයකින් වුනත්, මස් ලේ සහිත භෞතික කය ගැන ඒ වෙලාවේ කිසිම හැඟීමක්වත්, භෞතික කය කොහි තිබෙනවාද කියා ඒ ගැන දැනීමක්වත් තිබුණෙ නෑ. මෙසේ මා ඇදී ගියේ සත්ත්වයාගේ පරිණාමය කියා තිබූ දෙවැනි මන්දිරය වෙතටයි. දළ`දා මාලිගාවේ දොර වැනි ස්වභාවයෙන් යුත් යතුරු තහඩු සහ අල්ලූ සහිත අලංකාර විශාල දොරක් එහි තිබුණා. මේ දොර අති විශාලයි. අත තිබූ යතුරු කැරැල්ලෙන් යතුරක් කාන්දමකින් ක‍්‍රියාකරන ලෙස අත එසැවී යතුරු කවුළුවට ඇතුළු වුනා. ඒ වෙලාවේ මගේ උස මහත ප‍්‍රමාණයක් මතක නෑ. අත නම් විශාලයි. යතුර පුවක් කඳක් තරම් විශාල වී ඊට ගැලපෙන යතුරු සිදුරටම ඇතුළු වුණා. යතුර කැරකුනේ මහා බලයක් ක‍්‍රියාත්මක වෙමින්. අකුණු හඬක් වගේ හඬක් නැගී දොර විවෘත වුනා. ඒ සමගම අනිත් දොරවල් තුනත් විවෘත වුනා. (චතුරාර්ය සත්‍යය එකක් දැක්කොත් ඉතිරි සත්‍ය තුනත් දකිනවා වගෙයි) යතුර අතට ඇදී ඇවිත් පෙර පරිදිම කුඩාවට දැනුනා. පසුපසට පාවී පැමිණි මම දැන් ඉන්නේ පෙර සිටි මස් ලේ කයින්.

මේ විවෘත වුනේ පොත් ගුල් හතරයි. (“පොත් ගුල් හතරේ නිධන් යතුර හිර උගුල්ලාගෙන වරෙන්” හා “පොත් ගුල් හතරේ ජලනන්දන පිරිත” යනුවෙන් පැරණි මන්ත‍්‍ර ශාස්ත‍්‍රවලද සටහන් වී ඇත.) මා දැන් සිතන සිතිවිලි අනුව ඒවායේ ඇති පොත් ක‍්‍රියාත්මක වෙනවා. ලෝකය ගැන හෝ සත්ත්වයා ගැන හෝ කැමති දෙයක් ගැන සිතා බලන්නැයි කෙනෙක් කියන්නා සේ මට වැටහුණා. මට මතක් වුනේ වසර 2500 කට පෙර මේ ප‍්‍රදේශයේ ස්වභාවය කෙසේද යන අදහසයි. එසැනින්ම ලෝකයේ පරිනාමය නමැති පොත් ගුලෙන් ලොකු පොතක් (බුද්ධ ජයන්ති ග‍්‍රන්ථ මාලා සූත‍්‍ර පිටකයේ මජ්ජිම නිකාය පමණ වන) ස්වයංක‍්‍රීයව ඇවිත් 2500 වසරේ පිටුව පෙරලී මගේ වම් අතේ පිහිටියා. පොතත් ඒ තරමටම බර දැනුනා. එහි පෙරළුනු පිටුවේ තිබුණේ ඒ ප‍්‍රශ්නය ගැන සිංහලෙන් ලියවුනු ලිඛිත සටහනක්. අකුරු බොඳවූ ගතියක් තිබුණ නිසා කියවන්න අපහසුයි. මේ අකුරු හිතූ හිතූ ආකාරයට පරිවර්තනයත් වෙනවා. දෙමළ, ඉංග‍්‍රීසි හෝ වෙනත් කුමන භාෂාවකින් හිතුවත් ඒ භාෂාවෙන්ම පරිවර්තනය වෙනවා.

ඒ කාලයේ තිබිච්ච ප‍්‍රදේශයේ ස්වභාවික පරිසරය කෙසේදැයි සිතුවොත්, අකුරු නොපෙනී ගොස් ගස්වැල් ගොඩනැගිලි ආදී එකල තිබූ පරිසර තත්ත්වයන් අනුව චිත‍්‍රයක් මැවිල පේනවා. ඒ කාලයේ මේ ප‍්‍රදේශය කැලෑ ප‍්‍රදේශයක්. සතුන් ගමන් කිරීම නිසා සැකසුණු ලොකු අඩි පාරවල්වලින් යුක්තයි. මහ ගස්කොලන් සහිතයි. සතුන් පේන්න නෑ. මෙහි වාසය කරපු අය කෙසේදැයි සිතක් පහළ වුනා. ඒත් සමගම සත්ත්වයාගේ පරිනාමය යන පොත්ගුලෙන් එතරම්ම විශාල පොතක් පාවී ඇවිත් පෙර අතේ තිබුණු පොතට ඇතුළු වී පිටුවත් පෙරළී පොත් දෙකම එකක් බවට පත්වුනා. දැන් විවිධ සතුන් සැරිසරන ආකාරය පේනවා. අඩි 8 ක් 10 ක් පමණ ලොකු දිග වලිගයක් ඇති කොටියෙක් වට පිට බලමින් ගිය හැටි හොඳට මතකයි.

යම් සතෙක් මුල් කරගෙන රෝගාබාධයක් පෙනේ නම්, ඒ කුමන රෝගයක් දැයි සිතුවොත් “සත්ත්වයාගේ ලෙඩ රෝග” යන පොත් ගුලෙන් පොතක් ස්වයංක‍්‍රීයව ඇවිත් සම්බන්ධ වන බවත්, ඊට ප‍්‍රතිකර්ම බේත් ආදියත් එහි සටහන් වන බවත්, යම් කර්ම බලවේගයක් ඊට සම්බන්ධ නම් “සත්ත්වයාගේ කර්ම ශක්තිය” යන පොත් ගුලෙන් ඒ සඳහා ඇති පොතත් පෙර සේම සම්බන්ධ වෙලා සියල්ල දැනගත හැකි බවත් මට වැටහී ගියා.

මේ අවස්ථාවේදී මම, හිත එයින් ඉවත් කළා පමණයි, පොත් දෙකම පාවී ගිහින් ඊට හිමි පොත් ගුලේ නිසි තැන තිබූ ලෙසම තැන්පත් වුනා. කෙනෙක් ගැන හෝ යම් කිසි දෙයක් ගැන යන්තම් හෝ  සිතා යලි සිතීම නතර කළොත් ඊට අනුකූල පොත්, ටික දුරක් පාවෙලා ඇවිත් නැවතත් ගිහින් නිසි තැන්වල තැන්පත් වෙන්නෙත් ස්වයංක‍්‍රීයවයි. විවිධ සිතිවිලි සිතමින් විවිධ ලෙස වෙනස් දේ සිතන විට සුළඟකට අසු වූ පරඬලා පත් එහෙ මෙහෙ යන්නා සේ පොත් පාවී එනවා, යලිත් ගිහින් තැන්පත් වෙනවා. මේ තමයි එහි ස්වභාවය.

සුළු  මොහොතකින්  මා නොහිතාම අත්දින පොතක් තරම් පොතක් පාවී ඇවිත් මගේ වම් අතේ පිහිටියා. එහි අඩ කවයක ආකාරයෙන් “ආයුර්වේද නිධාන දිනපොත” කියා රන්වන් අකුරින් මුද්‍රණය වෙලා තිබුණා. එය කුඩා සුණු බවට පත්වෙමින් ඇඟට ඇතුළු වී ජීර්ණ වී ගියා සේ වැටහුණා. ඒක ආපසු ගියේ නෑ. තවද යම් කෙනෙක් ගැන සිතුවොත් ඔහුට හෝ ඇයට අයත් පොතේ ඒ පුද්ගලයාගේ නම පොත මැදත්, උපත උඩ වම් පැත්තේත්, විපත පහත දකුණු පැත්තේත්, කර්ම ප‍්‍රතිඵල ලැබූ ආකාරයට පිහිටා තියෙනවා.

ලොකු පුංචි සියළු අයට සහ සියළු සතුන්ටත්, ක්‍ෂුද්‍ර ජීවියාටත් එහි පොතක් වෙන් වී තියෙනවා. ක්‍ෂුද්‍ර ජීවීන්ගේ පොත් උඳුපියලි කොල කාලක්, භාගයක් තරම් පමණ ඇති ටිෂූ කොල පොඩියක් වගෙයි. පාප ස්වභාව ඇති අයට තියෙන්නේ කළු පාට පොත්. ඒ ඒ කාල වකවානුවල ඔවුන්ට ඵල දෙන විපාක ස්වභාවය අනුව කළු සුදු පිටු සැකසිලා තියෙනවා.

එසේම සෑම සතෙකුගේම වර්තමාන සියළු කතා, ක‍්‍රියා, සිද්ධීන් මොහොතක් නෑර නිරායාසයෙන්ම ඒ පොත්වල සටහන් වෙනවා. කිසිවෙකුටත් එහි සටහන් නොවන සේ හොඳ හෝ නරක වැඩ කරන්න බෑ. යහපත් ස්වභාවයේ අඩු වැඩි ප‍්‍රමාණයන් අනුව එහි සටහන්ද ආලෝක හා අඳුරු සේයාවලින් සමන්විතව එහි පිහිටනවා. අති විශේෂ පින් කුසල් රන්වන් අකුරින් සටහන් වෙනවා. ඒ සටහන් වුණු පත‍්‍ර කොටසත් රන් වන් පාටයි.

මේ කටයුතු කිරීමේදී සිද්ධ වූ තවත් පුදුමාකාර සිද්ධියක් තියෙනවා. කපු මහතා ගෙවත්ත වටේට ශාන්ති කටයුත්ත කරමින් යන විට මමත් පස්සෙන් ගියා. එවිට මා ඉදිරියේ බුදුපියාණන් වහන්සේ වඩින ආකාරය ඉතා හොඳින් දිස්වෙන්න වුනා. මා උන්වහන්සේ පිටුපසින් යන බුදු සව්වෙකු ලෙස මටම පෙනුනා. මේ සිද්ධ වුනේ කුමක්ද? මා ඇඳගෙන සිටියේ කහ පාටට හුරු ටී ෂර්ට් එකක් සහ සුදු සරමක්. ඒ දෙකටම සිද්ධ වූ දෙයක් නෑ. මනා සේ පෙරවුණු සිවුරකින් යුත් මගේ ශරීරය හා අත හරහා එල්ලෙන සිවුරු පටක් හොඳට පෙනුනා. එය මම අතින් අල්ලා ඇද බැලූවා. සිවුරු පොට අතට තද වූයේත්, අසුවූයේත් භෞතික සිවුරු පොටක් වගේමයි. මම හිස අතගා බැලූවා. අඟල් දෙකකට වඩා වැවී තිබුණ කොණ්ඩය දැන් බිඳක්වත් අහුවෙන්නෙ නෑ. අතට දැනෙන්නේ කෙස් නැති හිස අතගාන ආකාරයයි. විනාඩි හතරක් පහක් පමණ මේ දසුන එසේම තිබුණා. ඉන්පසු ස්වභාවික තත්ත්වයට පත්වුනා. මේ එදා දැකපු ගුප්ත ලෝකයක ආශ්චර්ය අත්භූත චමත්කාරජනක සිද්ධියක්. එදා මා අතට පත්වූ යතුරු දින දෙක තුනක් අතට අසුවන්නට අල්ලේ පිහිටා තිබුණු බව මතකයි.

ඊළඟ දින නිවසට පැමිණි මා පුටුවක හුදෙකලාව වාඩි වී, පෙර දින දැකපු දර්ශනය යලිත් මෙනෙහි කළා. පොත් ගුල් හතර නැවතත් පෙනෙන්නට වුනා. මේ අතර ලොකු පොකුණක්ද මැවී තිබුණා. එහි කෙනෙක් විශාල බිලී පිත්තක රැහැනක් ගැට ගසා බිලී බාන ආකාරයක් දර්ශනය වුනා. එහි යමක් පැටළුනාම ඔහු එය උඩට එසෙවුවා. ඒක චෛත්‍යයක්. මේ කුමන සිද්ධියක් දැයි විමසන විට “චෛත්‍ය බිලී බාන්න එපා” යැයි හඬක් ඇසුනා. තවත් විමසුම් සිතින් සිටින විට “සෙත් ශාන්ති කර මුදල් ගන්න එපා” යැයි හඬ ඇසුනා. එතකොට මට මෙහෙම හිතුනා. රැකියාවක් කළොත් පවුලේ කටයුතුවලට ජීවත් වෙන්න යමක් ලබන්න පුළුවන්. ඒ කටයුතු අතහැර සෙත් ශාන්තිවලට දෙන ගුරු පඬුරක්වත් නොගත්තොත් ජීවත් වෙන්නෙ කොහොමද? මේ සිතිවිල්ල එනකොටම, “ආ එහෙමද? එහෙනම් බලාගම්මු” කියා පොත් ගුල් කළඹන්නා සේත්, වලාකුලක් ඉදිරියෙන් සිටියා සේත් යම් අපැහැදිලි කිරීමක් සිදු කෙරුණා. කාලි යැයි හැෙඟන කෙනෙකුගේ ක‍්‍රියාවක් ලෙස එය මට දැනුණා. යලි තවත් හඬක් ආවා. “විවෘත වූ දේ නොවැසේ, මාර බලවේග අවහිරකම් කරයි, උත්සාහය වීර්ය නගා තම නුවණට ගෝචර වන යහපත් අයුරින් කටයුතු කර ජය ගන්න. එවිට බාධක දුරුවී ජය ලබනු ඇත.”

මේ සිද්ධීන් සිද්ධ වෙච්ච ආකාරයෙන්ම අතිශයෝක්ති පදයක්වත් නොයොදා සිද්ධ වූ ලෙසම සටහන් කරන්නේ,  ලක්‍ෂ  ගණනකින් කෙනෙකුටවත් ගෝචර නොවන ගුප්ත ලෝකයේ රහස් පෙන්වා දී, මෙළොව නිකන්ම “උපන් එකා ජීවත් වුනා, මළා, එච්චරයි” කියන උච්ඡේද වාදයෙන් මිදී දස වස්තුක කර්ම ඵල විශ්වාස කර ලෞකික සම්මා  දිට්ඨිය  ඇතිකරගෙන, ලෝකෝත්තර වූ සම්මා දිට්ඨියටත් පසුතලය හදාගන්න, අනාථ වූ දුකට ඇද දමන සසරින් මිදීමට උපනිශ‍්‍රයක් වේවායි කියන අවංක අදහසින්මයි.

(ඉතිරි කොටස ලබන කලාපයෙන්.)

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.

4 thoughts on “තුන් ලොව සියළු සතුන්ගේ තොරතුරු සටහන් වූ ගුප්ත ලොව පොත් ගුල් හතර විවෘත වෙයි!

  1. Pingback: දේව පූජාවක සැඟවුණු හාස්කම් දෙවියන් ද සමගින් ඇස් දෙකින්ම බලාගත් හැටි | හෙළ බොදු පියුම

  2. Pingback: මාර සේනාවන් සමග කළ සංවාදවලින් සහ මාර උගුල්වලින් ජය ලැබූ හැටි….. | හෙළ බොදු පියුම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *