සෝතාපන්න වෙන්නේ ධර්ම ශ‍්‍රවණයෙන්ද? භාවනාවෙන්ද?

ලෞකික හා ලෝකෝත්තර දහම් මාර්ගවල වෙනස වටහා ගනිමු.

බුදු පියාණන් වහන්සේ දේශනා කර ඇති  භාවනාව  පිළිබඳව යථාවබෝධයක් නැති බොහෝ බෞද්ධ පින්වතුන් නිවන් දැකීම සඳහා විවිධ භාවනා වැඩ සටහන්වල යෙදිල ඉන්නවා. ඇතැම් අය තොකරම් කාලයක සිට භාවනා කරනවද? භාවනා පන්තිවලට යනවද? මේ භාවනා තුලින් නිවන් අවබෝධ කරගත් කෙනෙක් ඉන්නවද? කිසියම් කෙනෙක් තනිව භාවනා කරල සෝතාපන්න වූ බවට කිසිදු සාක්‍ෂියක් ති‍්‍රපිටකයෙන් නම් හොයාගන්න නෑ. නමුත් පෙර අත්බවෙක සෝතාපන්නව සිටි ආර්ය උත්තමයෙක් මේ අත්බව තුළ භාවනා කරල සකෘදාගාමී, අනාගාමී, අරිහත් යන උත්තරීතර තත්ත්වයන්ට පත්වෙන්න නම් පුළුවන්.

බුදු පියාණන් වහන්සේ වැඩ සිටි කාලයේ විවිධ දෘෂ්ටීන්වල හිටපු අයයි ධර්ම ශ‍්‍රවණය කරල නිවන් අවබෝධ කරගත්තෙ. බෞද්ධ කියල කොටසක් හිටියෙ නෑ. බෞද්ධ වුනෙත් ධර්මාවබෝධය ලැබුවට පස්සෙයි. එවැනි අය ධර්ම ශ‍්‍රවණය කරන කෙටි කාලයක් තුළ කර්මස්ථාන වඩලා මාර්ග ඵල ලබල තියෙනවා. මේ ශාසනය තුළ සීල, සමාධි, ප‍්‍රඥා වශයෙන් ආර්ය මාර්ගය බෙදා වෙන්කර පෙන්වා තිබුණත්, මේ ආර්ය විනයේ සියල්ල ලැබෙන්නේ ප‍්‍රඥාව මුල් කරගෙනයි. ප‍්‍රඥාව මුල් කරගෙන කටයුතු කරන පුද්ගලයාට යම් කිසි ප‍්‍රතිඵලයක් ලැබෙනවා. ඒ ප‍්‍රතිඵලය තමයි භාවනාවෙන් ලැබෙන සමාධිය. බුදුපියාණන් වහන්සේ සිය මංගල ධර්ම දේශනාව වන ධම්ම චක්කප්පවත්තන සූත‍්‍රයේදී “ඉධං දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා අරිය සච්චං භාවේ තබ්බන්ති” යනුවෙන් දේශනා කළේ මේ භාවනාවයි.

නමුත් අද මේ භාවනාව පිළිබඳවත්, භාවනාව වඩන ආකාරය පිළිබඳවත් තියෙන්නේ පටලැවිලි ස්වභාවයක්. පළමුවෙන්ම පැහැදිලි කරගන්න  ඕන මේ සම්බුද්ධ ශාසනය තුළ ඒ ප‍්‍රඥා ගෝචර වූ ධර්මය ලැබෙන්නේ අවස්ථා දෙකකදියි කියන කාරණාව. ධර්මාවබෝධය තුළින් අනිච්ච, දුක්ඛ, අනත්ත වශයෙන් දැක්ක නම්, ලෝකයේ අසාරත්වය දැකලා පූර්ව භාග නුවණ ලබනවා. දැන් හරියට පහුරු (ලී ඉපල් ආදිය අල්ල ගන්නා රැහැන්) ඇදිච්ච වැටකොලූ පතෝල ආදී වැල්වලට තනිවම ඉහළ නගින්න බෑ වගෙයි, ඒවාට ඉහළට යන්න ඉපලක හෝ කෝටුවක ආධාරයක් අත්‍යාවශ්‍ය වගෙයි, සත් පුරුෂ සංසේවනය – සද්ධර්ම ශ‍්‍රවණය නමැති පහුර හෙවත් කෝටුව ආධාර විය යුතුයි. පූර්ව භාග නුවණින් යෝනිසෝ මනසිකාරය, ධර්මානු ධර්ම ප‍්‍රතිපදාව ලැබිලයි තියෙන්නේ. පහුරේ, කෝටුවේ ආධාරයෙන් උඩට නැගී ගසේ එතුනු වැල යලි නොවැටෙන්නා සේ සෝතාපන්න වන මේ අවස්ථාවේදී “දස්සනේන පහා තබ්බං” (දර්ශනයෙන් පහව යන) කියන සත්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන පහවෙලා යනවා. මේ මාර්ග ඤාණය පහළ කරගන්න තියෙන්නෙ දෙවනුවයි. දස්සනයෙන් පහ කළ යුතු සංයෝජන පහ නොකර (සෝවාන් නොවී) භාවනාය පහා තබ්බං කියන කොටස කරගන්න බෑ. බොහෝ අය භාවනා කළත් ප‍්‍රතිඵල නැත්තෙ ඒකයි.

ආයුෂ්මත් කොණ්ඩඤ්ඤ හිමියන්ගේ කෙලෙස් මළ පහ වෙලා සෝතාපන්න බවට පත් වුනේ ධම්ම චක්කප්පවත්තන සූත‍්‍ර දේශනාව ශ‍්‍රවණය කරලයි. ලෝකයේ පැවැත්මට හේතු වූ කාමසුඛල්ලිකානු යෝගයත්, අත්තකිලමතානු යෝගයත් යන අන්ත දෙක අත්හැරිය යුතු බවයි බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්නේ. “ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේන න සේවි තබ්බා” (මහණෙනි, මේ අන්ත දෙක පැවිද්දා විසින් නොසෙවිය යුතුයි.) මේ අන්ත දෙකම අත්හැරීමට ක‍්‍රම දෙකක් චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව තුළින් පෙන්වා දෙනවා. පළමුව අවබෝධ කරගෙන අත් හැරිය යුතු (පහ කළ යුතු) දෙයක් තියෙනවා.  දෙවනුව වැඩිය යුතු දෙයක් තියෙනවා. දුක හටගැනීමට හේතුව වූ තණ්හාව පහ කළ යුතුයි. ඒ සඳහා අනුගමනය කළ යුතු ප‍්‍රතිපදාව වූ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය වැඩිය යුතුයි.

සෝතාපන්න ආර්ය ශ‍්‍රාවකයා ඒකාන්තයෙන්ම චතුරාර්ය සත්‍යය දර්ශනය කර තිබිය යුතුයි. සෝතාපන්න වීම සිදුවන්නේ ධර්ම ශ‍්‍රවණයෙන්ද, භාවනාවෙන්ද යන්න පැහැදිලි කර ගැනීමට ත‍්‍රිපිටකයේ තවත් බොහෝ සාක්‍ෂි තියෙනවා. සං:නි: 5(2) 146 පිටුවේ එන දුතීය සාරිපුත්ත සූත‍්‍රයේ සඳහන් වෙනවා, සෝතාපන්න වීමට කරුණු හතරක් පූර්ණ විය යුතු බව. “සාරිපුත්ත සෝවන් අඟ සෝවාන් අඟ යැයි කියනවා. සෝවාන් අඟ කවරේදැයි භාග්‍යවතුන් වහන්සේ සැරියුත් ථෙරනුවන්ගෙන් විමසනවා. ස්වාමීනි, සත්පුරුෂ සේවනය සෝවාන් අඟෙකි. සද්ධර්ම ශ‍්‍රවණය සෝවාන් අඟෙකි. යෝනිසෝ මනසිකාරය සෝවාන් අඟෙකි. ධම්මානුධම්ම ප‍්‍රතිපදාව සෝවාන් අඟෙකි.”

අනන්ත සසරේ බුද්ධෝත්පාද කාලයක ශ‍්‍රී සද්ධර්මය බබලන කාලයක් ලොව පහළ වීම අති දුර්ලභ කාරණයක්, නුවණ මෙහෙයවා ධර්මාවබෝධය ලැබිය හැකි මනුෂ්‍යයෙකුව ඉපදීමත් දුර්ලභ කාරණයක් කියලයි බුදුපියාණන් වහන්සේ දේශනා කරල තියෙන්නේ. ඒක ලැබුන අවස්ථාවේ සත්පුරුෂ සංසේවනය කරල, සද්ධර්ම ශ‍්‍රවණය කරල, ඒ ධර්මයට අනුව යෝනිසෝ මනසිකාරය කරන්න ලැබුණාම කෙනෙකුට සම්පත්තියක් ලැබෙනවා. ඒ සම්පත්තිය අපතේ යවන්න එපා කියල උන්වහන්සේ දේශනා කරනවා. ඒ ක්‍ෂණ සම්පත්තිය තමයි ධම්මානු ධම්ම ප‍්‍රතිපදාව, සත්පුරුෂයෙකුගෙන් (ආර්යයෙකුගෙන්) බණ ඇසීමට ලැබීම, පරතෝඝෝෂක ප‍්‍රත්‍යය කියල කියන්නේ. පරතෝඝෝෂක ප‍්‍රත්‍යය ලැබිලත් සද්ධර්මය ශ‍්‍රවණය කළේ නැත්නම් ඵලයක් ලබන්න බෑ.

ඒ නිසා තමයි බුදුන් වහන්සේ ධර්ම දේශනාවට පෙර “තං සුනාථ – සාධුකං මනසි කරෝථ” කියල දේශනා කළේ. මේ ධර්මය අහන්න – මනා සේ මෙනෙහි කරන්න කියලයි ඉන් පැවසුවේ.

එසේම  මේ  ශාසනය සම්පූර්ණයෙන්ම කල්‍යාණ මිත‍්‍රයන් මත ර`දා පවතිනව කියල බුදුපියාණන් වහන්සේ දේශනා කරල තියෙනවා. බුදුපියාණන් වහන්සේ හැරුණු විට කල්‍යාණ මිත‍්‍රයෙක් වෙන්නෙ සෝවාන් මාර්ග ඵල, සකෘදාගාමී මාර්ග ඵල, අනාගාමී මාර්ග ඵල, අරිහත් මාර්ග ඵල වශයෙන් දක්වල තියෙන අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝරත්නයයි. ලොව්තුරා බුදුවරුන් සහ පසේබුදුවරුන් හැර කිසිම පුද්ගලයෙකුට තමන්ගේම උත්සාහයෙන් පමණක් චතුරාර්ය සත්‍යය පළමුව අවබෝධ කරගන්න බෑ, පංච නීවරණ අනුශය සමග නසා ගන්න බෑ. කල්‍යාණ මිත‍්‍රයෙකුගෙන් ලැබෙන චිත්ත ශාන්තියත්, උන්වහන්සේගේ කටහඬ තුළින් ඇතිවන වීතරාගී, වීතදෝසී, වීතමෝහී ස්වභාවයත් නිසා, ධර්ම ශ‍්‍රවණය කරන තැනැත්තාගේ සිත ශාන්ත බවට පත් වී එම මොහොතේ දස අකුසලය පිළිබඳ චේතනාවක් වත් ඇතිවෙන්නෙ නෑ. පංච නීවරණ කියන්නෙ දස අකුසලය කැටි කරලයි.

පරතෝඝෝෂක ප‍්‍රත්‍යය හෙවත් කල්‍යාණ මිත‍්‍ර සම්පත්තිය හා ධර්ම දේශනා හඬ සහිතව ඉතිරි සෝතාපන්න අංග තුන ලැබී සෝතාපන්න වූ පසුවයි, අනුන්ගේ ආධාරයක් නැතිව භාවනා වඩලා ප‍්‍රඥාව ලබාගෙන ධර්ම මාර්ගය සොයා යාමේ මානසිකත්වය උදාවෙන්නෙ.
වැලකට තනියෙන් ගහකට නගින්න බෑ. කිසියම් ආධාරකයක් අවශ්‍යයි. වැල ගසේ එතුනට පස්සෙ ආධාරකය ඉවත් කළත් වැල වැටෙන්නෙ නෑ. ඒ වැලේ එතිල තව වැලකටත් යන්න පුළුවන්. කල්‍යාණ මිත‍්‍රයන් නැති වූ දවසට ශාසනය පැවැත්වීමට බැරි වෙනවා කියන්නෙ ඒකයි. එසේ නැතිව කොච්චර භාවනා කළත්, ත‍්‍රිපිටකය කට පාඩම් කරගත්තත් යථාවබෝධය ලබාගන්න බෑ. සියළු ශ‍්‍රාවකයෝ වැල් වගෙයි, මහා වෘක්‍ෂය නම් බුදුපියාණන් වහන්සේමයි.

බුදුපියාණන් වහන්සේ නමක් ලෝක සත්ත්වයාට දේශනා කරන සද්ධර්මය  සියළු  බුදුවරයන් වහන්සේලාගේම ප‍්‍රඥාවට ගෝචර වූ එකම ධර්මයක්. අප ගෞතම බුදුපියාණන් වහන්සේ, සූවිසි බුදුපියාණන් වහන්සේලා හමුවේ නියත විවරණ ලබලත්, ඒ ධර්මය අවබෝධ කරගන්න ලැබුනෙ නෑ. ඒ නිසයි පෙර නොඇසූ විරූ දහමක් පිළිබඳ දහම් ඇස පහළ වුනා, ඥාණය පහළ වුනා, ප‍්‍රඥාව පහළ වුනා, විද්‍යාව පහළ වුනා, ආලෝකය පහළ වුනා කියල උන්වහන්සේ ධම්ම චක්කප්පවත්තන සූත‍්‍ර දේශනාවේදී ප‍්‍රකාශ කරන්නේ. කෙනෙක් සෝතාපන්න වෙන්න නම් පෙර නොඇසූ විරූ ඒ දහම තුළින් පළමුවම දහම් ඇස පහළ කරගන්න  ඕන. මහ බෝසත්වරුන්ගේ සිත ලෝ සතුන්ට සියළු ආකාරයෙන් නිවන් මග පහළ කරදීමේ මහා කරුණාවට සහ මහා ප‍්‍රඥාවට බරව ඇති නිසයි බුදු බණ ඇසුණත්    ශෘතාවබෝධයේ නොපිහිටන්නේ.
යෝනිසෝ  මනසිකාරය කියන්නේ නුවණින් මෙනෙහි කිරීම කියලයි අද වෙනකොට පැහැදිලි කරල තියෙන්නේ. ලෝක සත්ත්වයාට අහිතකර පරමාණු බෝම්බ නිෂ්පාදනය කරන්නේ නුවණින් මෙනෙහි නොකරද යන ප‍්‍රශ්ණය මෙහිදී මතු වෙනවා. ලෞකික අර්ථයකින් මෙහි ධර්මානුකූල අදහස ගන්න බෑ. ‘යෝනි’ කියන්නේ උපතක් හටගන්න ස්ථානයක් කියන එකයි. ‘ස්ව’ කියන්නේ තමා යන අදහසයි. ලෝභ, ද්වේශ, මෝහ, අලෝභ, අද්වේශ, අමෝහ හේතු කොටගෙන අවිද්‍යා මූලිකව කරන කටයුතුවලින් උපදින දිව්‍ය, බ‍්‍රහ්ම, මනුෂ්‍ය මෙන්ම සතර අපාගත වීමට හේතු වන්නා වූත් ජාති හටගැනීම හේතු සහිතව මෙනෙහි කිරීමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. මේ සියළු අර්ථ අද සැඟවිලා තියෙන නිසයි බොහෝ අයට නියම බොදු මග හොයාගන්න බැරිවෙලා තියෙන්නේ.

නෙත්ති ප‍්‍රකරණයේ දස සංයෝජන පහවන ආකාරය දක්වල තියෙන්නෙ මෙහෙමයි. “නිරෝධ සත්‍යය අසංඛතයි, එහි සමුදය දර්ශන භූමියෙහිද, භාවනා භූමියෙහිද යන භූමි දෙකෙහි ප‍්‍රහීන වෙයි. දර්ශනයෙන් සත්කාය දිට්ඨිය, විචිකිච්ඡාය, සීලබ්බත පරාමාස යන තුන් සංයෝජනයෝ ප‍්‍රහීණ වෙති. භාවනාවෙන් කාමච්ඡුන්දය, ව්‍යාපාදය, රූප රාගය, අරූප රාගය, මානය, උද්ධච්චය, නිරවශේෂ අවිජ්ජාය යන සත් සංයෝජනයෝ ප‍්‍රහීන වෙති.

බුදු පියාණන් වහන්සේ, රහත් ශ‍්‍රාවකයන් වහන්සේලා හැට නමක් බිහි වූ පසු උන්වහන්සේලා ධර්ම චාරිකාවේ යොදවන්නෙ මේ උපදේශය දීලයි. “චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය, ලෝකානුකම්පාය, අත්ථාය, හිතාය, සුඛාය, දේව මනුස්සානං දේසේථ” ඒ ශ‍්‍රාවකයන් වහන්සේලා අතුරින් අස්සජී ථෙරනුවන් සාරිපුත‍්‍ර පරිභ‍්‍රාජකයාට මේ ගාථාව දේශනා කරනවා.

“යේ ධම්මා හේතුප්පභවා
තේසං හේතුං තථාගතො ආහ
තේසං ච යෝ නිරෝධෝ
ඒවං වාදී මහා සමණෝ”
(මහාවග්ග පාලිය, 1)

“හේතුවෙන් උපදින යම් ධර්මයක් වෙද්ද, ඔවුන්ගේ හේතුව තථාගතයන් වහන්සේ වදාළ සේක. ඔවුන්ගේ යම් නිරෝධයක් වේද එයද වදාළ සේක. ඒ මහා ශ‍්‍රමණ තෙමේ මෙබඳු වාද ඇත්තේය.” ඉක්බිති සාරිපුත‍්‍ර පරිබ‍්‍රාජකයා හට මේ ධර්ම ක‍්‍රමය අසා පහ වූ රාගාදී රජස් ඇති, පහ වූ කෙලෙස් මළ ඇති, යම් කිසිවක් හටගැනීම ස්වභාවය කොට ඇත්තේද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැයි සෝතාපන්න මග්ග ඤාණය උපන්නේය. මහා ප‍්‍රාඥ වූ සාරිපුත‍්‍ර පරිබ‍්‍රාජක තෙමේ මේ ධර්ම කාණ්ඩයේ මුල් කොටස ඇසීමෙන්ම සෝතාපන්න වූ බව සඳහන් වෙනවා. එසේම මේ ධර්මය ශ‍්‍රවණය කළ මොග්ගල්ලාන පරිබ‍්‍රාජක තෙමේද සෝතාපන්න වූ බව මහාවග්ග පාලියේ සඳහන් වෙනවා.
මජ්:නි: (1) 18 පිටුවේ පටන් එන සබ්බාසව සූත‍්‍රයේ ආශ‍්‍රව පහ කරන ක‍්‍රම හතක් බුදුපියාණන් වහන්සේ දේශනා කරල තියෙනවා.

“මහණෙනි, දස්සනයෙන් පහ කළ යුතු ආශ‍්‍රව තිබේ. මහණෙනි, සංවරයෙන් පහ කළ යුතු ආශ‍්‍රව තිබේ. මහණෙනි, පටිසේවනයෙන් පහ කළ යුතු ආශ‍්‍රව තිබේ. මහණෙනි, අධිවාසනයෙන් පහ කළ යුතු ආශ‍්‍රව තිබේ. මහණෙනි, පරිවජ්ජනයෙන් පහ කළ යුතු ආශ‍්‍රව තිබේ. මහණෙනි, විනෝදනයෙන් පහ කළ යුතු ආශ‍්‍රව තිබේ. මහණෙනි, භාවනායෙන් පහ කළ යුතු ආශ‍්‍රව තිබේ.”

කාමාශ‍්‍රව, භවාශ‍්‍රව, දිට්ඨාශ‍්‍රව, අවිජ්ජාශ‍්‍රව නුවණින් මෙනෙහි කරන (යෝනිසෝ මනසිකාරය කරන) තැනැත්තාට, සත්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන ප‍්‍රහීන වෙනවා. මේ තමයි දස්සනයෙන් පහ කළ යුතු ආශ‍්‍රව. (ඉහත කී ඉතිරි සෝතාපන්න අංග තුන ඇති මොහොතකයි මෙය සිදුවන්නේ.)

චක්ඛු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඝාන ඉන්ද්‍රිය, ජිව්හා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය සංවරව වාසය කරන්නාට සංවරයෙන් පහ කළ යුතු ආශ‍්‍රව පහවෙනවා.

චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප‍්‍රත්‍ය  යන  සිවුපසය ප‍්‍රත්‍යවේක්ෂාවෙන් පරිභෝජනයට ගන්නා තැනැත්තාට පටිසේවනයෙන් පහ කළ යුතු ආශ‍්‍රව පහ වෙනවා.

ශීතල, උෂ්ණ, සා පවස (සා පිපාසාව), මැසි මදුරු, අවු සුළං, සතා සර්ප පීඩා, බැණුම්, තියුණු ශාරීරික වේදනා ඉවසන තැනැත්තාට, ඉවසීමෙන් (අධිවාසයෙන්) පහ කළ යුතු ආශ‍්‍රව පහ වෙනවා.

නපුරු ඇතු, නපුරු අසු (නොගැලපෙන දිවීම), නපුරු ගොනු (ගොං වැඩ), නපුරු බලූ (බලූ වැඩ), නපුරු සර්ප, කණු (තම අදහසේම කණුවක් මෙන් පිහිටා ඉඳීම), කටුලැහැබ (කටුක වැඩපිළිවෙල), හෙබ (ප‍්‍රපාතයට වැටෙන වැඩපිළිවෙල), ගවරවළ (නීච ස්ථාන – මත් පැන් පෙරන ස්ථාන, වෙසඟනන් වෙසෙන ස්ථාන), අගෝචර ස්ථාන, පාප මිත‍්‍රයින් නුවණින් සිතා දුරු කිරීමෙන් පරිවජ්ජනයෙන් පහ කළ යුතු ආශ‍්‍රව පහ වෙනවා. (මෙතනදී සම්මුති අර්ථය හා පරමාර්ථ අර්ථය ලෙස දෙපැත්තක් තියෙනවා. උදා: කැලෑවල්වල ඉන්න නපුරු ඇතුන්ගෙන් ඉවත් වීම සම්මුතියයි, අහංකාරකම මාන්නය ආදියෙන් ඉවත් වීම පරමාර්ථයයි.)

භික්ෂුව නුවණින් විමසා බලා, උපන් කාම කල්පනා, ව්‍යාපාද කල්පනා, විහිංසා කල්පනා නොඉවසයි, ඉවත් කරයි, අවසන් කරයි. මේ විනෝදනයෙන් පහ කරන ආශ‍්‍රවයි.

භාවනාවෙන් පහ කළ යුතු ආශ‍්‍රව මොනවාද? භික්ෂුව විරාගය ඇසුරු කළ, විවේකය ඇසුරු කළ, නිවනට යොමු කළ ධම්මවිචය සම්භොජ්ජංගය, විරිය සම්භොජ්ජංගය, ප‍්‍රීති සම්භොජ්ජංගය, උපේක්ෂා සම්භොජ්ජංගය වඩයි නම් ඔහුට කෙලෙස්, දුක් දූවිලි නූපදී. භාවනාවෙන් පහ කළ යුතු ආශ‍්‍රවයි මේ. මේ ආකාරයෙන් සියළු ආශ‍්‍රව පහ වූයේ නම් එය සියළු සංයෝජන බිඳ දමා ලබන අරිහත් ඵලයයි.
සෝතාපන්න ඵලය ලබා සංයෝජන තුනක් බිඳ දැමූ පසු ඒ තැනැත්තාට ඊළඟට කළ යුතුව ඇත්තේ ඇලීම සහ ගැටීම දුරු කිරීමයි. මේ සඳහා එකම මාර්ගය සතර සතිපට්ඨාන භාවනාව වැඞීමයි. “ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ, සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං  සමතික්ක  දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය, ඤායස්ස අධිගමාය, නිබ්බාණස්ස සච්ඡිකිරියාය”

මෙසේ කායානුපස්සනාව වඩන කොට කායයන් හෙවත් ලෝකය පිළිබඳව ඇලීමත් ගැටීමත් තුනී වෙවී කාම රාග, පටිඝ යන සංයෝජන තුනී වෙවී යනවා. මෙසේ පියවරෙන් පියවර රූප රාග, අරූප රාග යන සංයෝජනත් තුනී වෙවී යනවා.

ලෝක සත්ත්වයින්ට හටගන්නා වූ සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස යන දුක කෙළවර කොට ඤාණය මුදුන්පත් කරගෙන නිවන් සාක්ශාත් කර ගන්න තියෙන එකම මග සතර සතිපට්ඨානය වැඞීමයි. ඇලීමත් ගැටීමත් සිදුවන ආකාරය දැනගත හැකි ක‍්‍රම හතරක් තමයි කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන සතර සතිපට්ඨානයෙන් පෙන්වන්නේ. සබ්බකාය වැඩපිළිවෙල හෙවත් ලෝකය අනිච්ච, දුක්ඛ, අනත්ත වශයෙන් දැකලා, ඒවා අසාරයි කියල අවබෝධ කරගත්තට පස්සෙ ඒවා නිච්චයි (නිසියි), සුඛයි, අත්තයි, සුභයි කියල ගත්ත වැරදි දෘෂ්ටිය පහවෙලා සම්මා දෘෂ්ඨියට පත්වෙනවා. මෙසේ සත්‍යාවබෝධය ඇතිවුනාම මනා සිහියෙන් ඉඳලා, කයින් කරන දේවල් ඇලීමට ගැටීමට හේතු වෙනවද කියල දැකල, ඒ අනුව ඇසුරු කළ යුතු දේත්, පහ කළ යුතු දේත් අවබෝධ කරගෙන   ක‍්‍රියා   කිරීමයි කායානුපස්සනාවෙන් කෙරෙන්නේ.

“කායේ කායානුපස්සී විහරති ආතපි සම්පජානෝ සතිමා විනෙයිය ලෝකේ අභිජ්ක්‍ඞා දෝමනස්සං” කිව්වෙ ඒකයි.  අභ්‍යන්තර කාය සහ බාහිර කාය කියල කාය දෙකක් තියෙනවා. අභ්‍යන්තර කාය කියන්නේ අනන්ත වූ භවයෙන් (අභ්‍ය + අන් + අන්තරය) හදල දෙන කායයි. එනම් හදවත ඇසුරු කර වස්තු රූපය සහ චක්ඛු, සෝත, ඝාන, ජිව්හා, කාය යන ප‍්‍රසාද රූප සහිත කර්මජ ප‍්‍රසාද කයයි. බාහිර කායවලින් කෙරෙන්නේ භවයට හිර කරන අරමුණු ලබාදීමයි. එනම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන බාහිර අරමුණුවල ඡායාවන් පිහිටුවා අවිද්‍යාව තියෙන තුරු ඊට අනුකූලව භවයට හිර කර තබන ඡුන්ද රාගයේ බැඳීමට සංයෝජනීය අරමුණු කර්ම ශක්තියෙන් මුණගස්වන ප‍්‍රසාද රූප කායයි. පංචේන්ද්‍රිය හා මනේන්ද්‍රියට ගෝචර වන ධර්ම ඡායා පිහිටුවන ප‍්‍රසාද රූප ආයතන හා ධර්මායතනයයි. මෙසේ කායවලින් කෙරෙන ක‍්‍රියාකාරීත්වය බැලීමෙන් තමයි භවයේ හිර නොවී අත් හැරී, නොඇලී, මිදී යා හැකි වෙන්නේ.

ස්පර්ශ නිසා ඇතිවන සැප, දුක්, උපේක්‍ෂා වශයෙන්, කය ක‍්‍රියාත්මක කරන කොට ඇතිවන විවිධාකාර විදීම් තියෙනවා. මෙවැනි වින්දනයන් මතු වෙනකොට, මම ඒකෙ ඇලෙනවද, ගැටෙනවද, මුලාවට පත්වෙනවද කියල කායවල ක‍්‍රියාකාරීත්වය මනා සිහියෙන් දැකලා, ඒවායින් මිදී යා යුතුයි කියල ධර්මයේ හිත තියාගෙන කටයුතු කරන කොට වැඩෙන්නේ වේදනානුපස්සනාවයි. අභ්‍යන්තර ආයතනවලට භාහිර ආයතනවල පහළ වන ඡායා (රූ සටහන්) කර්ම ශක්තියෙන් ස්පර්ශ වෙනකොට ඒ මොහොතේම වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ගොඩ නැගෙන හැටිත් නුවණින් දකින කොට සතර සතිපට්ඨානයම වැඩෙනවා.

කෙනෙකුට රාගය, ද්වේශය, මෝහය මුල් කරගෙන තමයි සිත් පහළ වෙලා මනෝ, මානසං, හදයං, පන්ඩරං, මනෝ මනායතනං, මනීන්ද්‍රියං, විඤ්ඤාණං කියල කෙලෙස්වලින් කහට ගැන්වුණු විඤ්ඤාණයක් හටගන්නේ. මේ මනෝ කායේ ක‍්‍රියාකාරීත්වය අනිච්ච, දුක්ඛ, අනත්ත වශයෙන් අසාරත්වය දැකලා ඒ සිත් නැවත ගොඩ නොනැගීමට කටයුතු කරන  කොට  වැඩෙන්නේ චිත්තානුපස්සනාවයි. සිතේ ඇතිවන මාන, උද්ධච්ච,   අවිද්‍යා   සිතිවිලි චිත්තානුපස්සනාවෙන් සිටින විට ක්ෂය වෙලා යනවා.

මීළඟට මේ ලෝකෙ මොනවද හොඳ කියල විවිධාකාර ධර්මතාවයන්ට අනුව බලනවා. මෙහෙම බලනකොට ඒ ධර්මතාවයන්ගේ අසාරත්වය දකිනවා. එහෙම දැකල ඒවායින් මිදෙන කොට ධම්මානු පස්සනාව වැඩෙනවා. සියුම් විධියට මතුවන අවිද්‍යා සිතිවිලි මුලින්ම දුරුවෙන්නෙ ධම්මානුපස්සනාව වැඩෙන විටයි (පූර්ණය වූ විටයි).

භාවනා වඩනවා කියන්නේ හැම ඉරියව්වකදීම කාය, වේදනා, චිත්ත, ධම්මවල ක‍්‍රියාකාරීත්වය පිළිබඳව මනා සිහියෙන් ඉඳල ඒවායේ අසාරත්වය දැකල ඒවායින් අත් හැරී, නොඇලී, මිදී යාමයි. මේ සියල්ල සිදුවෙන්නේ ප‍්‍රඥාව මූලිකවයි. කර්මස්ථානයක් වඩනවා කියන්නේ නිරතුරුව මේ ටික ප‍්‍රඥාවෙන් සිහි කිරීමයි.

මෙසේ නිතර බලන කොට රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන ඒවා අපට වැටහෙන්නේ ස්කන්ධ හැටියට බවත්, චිත්ත වීති චිත්තක්‍ෂණයකද මේවා පහළ වන න්‍යාය අනාවරණඥාණය ඇති බුද්ධ ගෝචර දහම් බවත්, ඇලීමක්, ගැටීමක්, මුලාවක් පෙන්නුම් කරන හඟවන මට්ටමේ තප්පර ගණනක, විනාඩි ගණනක කාලයක් ආයුෂ ඇති සංඛත පොදි ශ‍්‍රාවක ගෝචර බවත් වැටහෙනු ඇති. උපතත් මරණයත් අතර වෙනස් වීමක්, ඒ ඒ කාල සීමාවන්ගෙන් යුත් සංඛත පටිච්ච සමුප්පන්න චක‍්‍ර අනුව ගොඩනැගෙන හැටිත්, පටිච්ච සමුප්පාද නිරෝධ චක‍්‍ර අනුව නිරෝධ වන හැටිත් බලන්න පුරුදු විය යුතුයි. එතකොටයි ලෝකෝත්තර ප‍්‍රඥාව වැඩෙන්නේ.
ලෝක සම්මතයේ තියෙන භාවනා කියන වචනය බුදුපියාණන් වහන්සේ පෙන්වන්නේ වෙනස් ක‍්‍රමයකටයි.

“භාවේ තබ්බන්ති” යන වචනය බුදුපියාණන් වහන්සේ යෙදුවේ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය භාවිතා කිරීම පෙන්වන්නයි. ලෝකය අනිච්ඡ, දුක්ඛ, අනත්ත වශයෙන් දැකලා, එහි අසාරත්වය මෙනෙහි කරන කොට “සං” කියන අවිද්‍යා තෘෂ්ණා එකතුවෙන් හටගත් ලෝකයට ඇති ඡන්ද රාගයෙන් “මා” හෙවත් මිදීමට කළ යුතු දේ දකින නුවණ වැඩෙනවා. එවිට සම්මා දිට්ඨිය යන මාර්ග හංගයයි වැඩෙන්නේ. මෙසේ සම්මා දිට්ඨිය වැඩීම භාවනාව වැඞීමයි. සම්මා දිට්ඨිය වැඩුණ මොහොතේ සිට දැකපු සත්‍යයට අනුවයි කල්පනාව වැඩෙන්නේ. මෙතෙක් කල් වටිනවා කියන මුලා සහගත දෘෂ්ටිය නිසා කාමයන්ගේ බැඳිල හිටියා. අනුන්ට වෛර කළා, හිංසා කළා. නමුත් සත්‍යය දැක්කම ඒවායින් නික්මිය යුතුයි කියන නෙක්ඛම්ම සංකල්පනාවත්, අව්‍යාපාද සංකල්පනාවත්, අවිහිංසා සංකල්පනාවත් යන සම්මා සංකප්ප කියන භාවනාව වැඩෙනවා. බොරු කියල කෙනෙක් රැවටීම, කේලාම් කියල එකිනෙකා බිඳවීම, පරුෂ වචන කියල සැඩ පරුෂ බවට පත්කිරීම, මුලාවට පත්වූවන්ට ප‍්‍රලාප කියල තව තවත් මුලාවට පත්කිරීම මොන අපරාධයක්ද? හරයක් ඇති වැඩක්ද? කියන ප‍්‍රඥාවේ තීරණය මත සම්මා වාචා භාවනාව වැඩෙනවා.

මෙච්චර කල් ප‍්‍රාණඝාත, අදත්තාදාන, කාම මිච්ඡාචාර කළේ හරයක් නැති ලෝකයක් අල්ල ගන්න නේද කියල ප‍්‍රඥාවේ තීරණයක් ආවාම ඒ පුද්ගලයා තුළ සම්මා කම්මන්ත භාවනාව වැඩෙනවා.

අසාර වූ ලෝකෙක අනුන්ට අසාධාරණකම්, අයුතුකම්, අවැඩ කරලා වටිනවා කියල මොනවා රැස් කරගන්නද යන අවබෝධය තුළින් මිච්ඡා ආජීවයෙන් වෙන්වෙලා සම්මා ආජීවය වැඩෙන කොට සම්මා ආජීව යන මාර්ග හංගය වැඩෙනවා.

සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මාර්ග හංග පහ තුළින් ලැබෙන ප‍්‍රඥාව තුළින්, නූපන් අකුසල් නූපදීමටත්, උපන් අකුසල් නැති කිරීමටත්, නූපන් කුසල් ඉපද වීමටත්, උපන් කුසල් වැඩි දියුණු කරගැනීමටත් වීර්ය වඩන කොට ඒ පුද්ගලයා තුළ වැඩෙන්නේ සම්මා වායාමයයි.

කෙනෙක් හිතන, කියන, කරන දේ මේ ලෝකෙ පැවැත්මයි කියල අවබෝධ කරගෙන ඒවායේ අසාරත්වය අනිච්ච, දුක්ඛ, අනත්ත වශයෙන් මනා සිහියෙන් දැකල ඒවායින් මිදෙන කොට වැඩෙන්නේ සම්මා සතියයි.

ඒ සම්මා සතිය ලැබෙන කොට මෙතෙක් වික්ෂිප්ත භාවයක් හෙවත් කැළඹීමක් ඇති කළේ ඇලීමයි, ගැටීමයි, මුලාවයි නිසා කියල ප‍්‍රඥාවෙන් දැකල විදර්ශනා කරන කොට සම්මා සමාධිය වැඩෙනවා. මෙසේ මාර්ග හංග හතක් වැඩෙන කොට ඒ මාර්ග හතෙන් පරිවාර වෙලා තමයි සම්මා සමාධිය වැඩෙන්නේ.

බුදුපියාණන් වහන්සේ පෙන්වා දීල තියෙන්නේ, භාවනාව සිදුවෙන්නෙ ප‍්‍රඥා මූලිකව කියලයි. භාවනාවට පෙර ධර්මාවබෝධයෙන් නිවන දකින්න  ඕන. දැකපු නිවන කරා යන්නයි භාවනාවෙන් මාර්ගය වඩන්න  ඕන. මේ අවබෝධයෙන් තොරව භාවනා කිරීමෙන් කොහොමවත් නිවන් දකින්න බෑ. මේ පිළිබඳව බුදු පියාණන් වහන්සේ පෙන්වා දීපු උපමාවක් තියෙනවා. බුදුපියාණන් වහන්සේ අන්‍ය පරිබ‍්‍රාජිකයන්ගේ අසපුවලට වඩින සමහර අවස්ථාවල දැකල තියෙනවා ඒ අය ගිනි ගොඩවල් ගහගෙන ගිනි තපිනවා. උන්වහන්සේ ඒ අවස්ථාවල අහනවා “ඔබලා මොනවද ගිනි ගොඩවල් ගහගෙන කරන්නෙ” කියල. ඒ අය පිළිතුරු දෙනවා “ස්වාමීනි, පව් තවනවා” කියල. කවුද කිව්වෙ කියල අහනවා. ස්වාමීනි, නිඝන්ඨ නාථපුත‍්‍රයි. දැන් කොච්චර පව් තැවිලද?  ස්වාමීනි, ඒක දන්නෙ නෑ. ගුරුවරයා දන්නවද? එයා දන්නෙත් නෑ. තව කොච්චර පව් තවන්න තියෙනවද? ඒක දන්නෙත් නෑ. තව තවන්න පව් කොච්චර තියෙනවද කියල ගුරුවරයා දන්නවද? ඒ දන්නෙත් නෑ.

මේ අවස්ථාවේදී බුදුපියාණන් වහන්සේ උපමාවකින් මෙහෙම අහනවා. “එක මිනිහෙක් ඉනිමගක් බඳිනවා. මොකටද ඉනිමග බඳින්නෙ කියල ඇහුවම සත් මහල් ප‍්‍රාසාදයකට නගින්න කියල උත්තර දෙනවා. ඒක කොහෙද තියෙන්නෙ කියල ඇහුවම, ඒක නම් දන්නෙ නෑ කියනවා. ඒ ප‍්‍රාසාදය කොච්චර උසද කියල ඇහුවම ඒකත් දන්නෙ නෑ කියනවා. ඒ තැනැත්තා එවැනි දෙයක් දැක්කෙ නැතිව කවුරුන් හෝ කියපු දෙයක් අහල ඉනිමගක් බඳිනව නම් ඒක හරයක් ඇති දෙයක්ද කියල බුදුපියාණන් වහන්සේ අහනවා. එසේම උන්වහන්සේ දේශනා කරනවා, මම මගේ ශ‍්‍රාවකයන්ට කියල දෙන්නේ නොදැකපු නිවනකට යන්න නෙවෙයි, දැකපු නිවනට යන්නයි කියා. දැකපු නිවනට යන්න නම් දහම් ඇස පහළ කරගන්න  ඕන. එහෙම නැතිව භාවනා කරල ප‍්‍රතිඵල ගන්න බෑ.

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණ දහම් කරුණු ඇසුරින් සකස් කළේ :
ඇල්. අමරසිංහ – (විශ‍්‍රාමික ලංකා බැංකු ජ්‍යෙෂ්ඨ කළමනාකරු)
පිළියන්දල.

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.

2 thoughts on “සෝතාපන්න වෙන්නේ ධර්ම ශ‍්‍රවණයෙන්ද? භාවනාවෙන්ද?

  1. gaya

    අප සියළු දෙනාටම
    මේ ආත්ම භවයේදීම
    සංසාර බිය,
    දැනීම ඇති වේවා!!!
    ප්‍රඥාව පහළ වේවා!!!
    චතුරාර්යසත්‍යය
    අවබෝධ වේවා !!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *