ලෝකය පිළිබඳව පටිච්ච සමුප්පාද දහමට අනුව බලන කොට, බුද්ධිවන්ත නම් සත්‍යයක්ම දකිනවා මිසක් ඊට වැඩි යමක් දකින්න නැති බවත් පෙනී යන්න  ඕන. ලෝකයට ආසාව තියාගෙන ලෞකික වූ සත්ත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු කෙරෙහි ඇලූම් කරමින් රැකවල් යොදමින් සිටින අය සමහර විට භාවනා කරන්න ගියාම “මට කිසිම ප‍්‍රශ්නයක් නෑ. දරුවො සේරම කටයුතු බලා ගන්නවා. සහෝදර සහෝදරියො හැම කටයුත්තක්ම බලා කියා ගන්නවා…”   ආදී වශයෙන් මෙහෙමත්  කියනවා. යම් තැනක තමන්ට රකින්නට හෝ තම පාලනය යටතේ පවත්වන්නට ලෞකික වූ දෙයක් ඇත්නම්  එයින් ප‍්‍රශ්නයක් නොවන බව පෙනුනත්, ඒක කැඩෙන බිඳෙන විනාශ වන දෙයක් බව දන්න  නිසාම, කැඩෙයිද? බිඳෙයිද? විනාශ වෙයිද? යන අදහසක් ත), කුක්කුච්ච (පහත් දෙයක් නිසා ඉක්ම යෑම) යන නීවරණ ඇති වෙන්න පුළුවන්. (ඉක්ම යාම නම් තිරසාර ගුණ ඉක්ම යාමයි.)

දිනකට පැය දෙකක් තුනක් හෝ ලෞකික දැහැන් වඩන භාවනාවක් ප‍්‍රගුණ කරන්නටත්, ඉන් පසු නිදැල්ලේ අරමුණු ඇසුරු කරන්නත් සිතන කෙනෙකුට සිත තුළ පාලනයක් ඇතිකරගන්න බෑ. පාලනයක් තියා එක අවස්ථාවක් කාමුක ක‍්‍රියාවක යෙදුනොත්, අහසින් පවා යා හැකි අභිඤ්ඤා බලයත් සමග මුළු දැහැනම අවිද්‍යමාන වන බවත්, ස්ත‍්‍රී හඬක් ඇසූ පමණින්, ස්ත‍්‍රී රූප ස්වභාව ඇති මලක් (නාරිලතා මල් වැනි) දැකපු පමණින්, ස්පර්ශයක් ලැබූ පමණින් දැහැන් බිඳුනු තවුසන් ගැන කියවෙන කතාවලින් හෙළිදරව් වෙනවා. එහෙනම් ඉතින් අලූතින් යමක් ලැබීම ගැන කවර කතාද?

මේ විදිහට ලෞකික දැහැන් ලබන්න කැමති අය, ලෞකික කාම වස්තු හා එක්ව නොවසන හිමාල වනාන්තරය වැනි ස්ථානවල අවුරුදු ගණන් තවුස් දම් පුරමින් මිනිස් පුළුටක් නොපෙනෙන ඈත මහ වනයේ වාසයට යන්න වෙනවා. කාලයක් එහෙම ගතකරන කොට, රාගික කාම අරමුණු මුන නොගැසීම නිසාත්, තවුස් ගතියම නිතර පවතින නිසාත් ඒ පුද්ගලයා ඇසුරට වැටෙන නාම රූපයන් තවුස් ගතියටම හේතු සාධක ඇති කරනවා. නාම රූප ප‍්‍රත්‍යයෙන් විඤ්ඤාණ වේ කියන සිද්ධාන්තය කුමන හෝ ආගම් භේදයක්, කුල මල ජාති භේදයක් නැතිව සියල්ලන්ටම පොදු වූවක්. තමා අති පණ්ඩිත යැයි කිව්වත්, ඔය කිසිත් ගණන් නොගන්නා භෞතික වාදී යැයි කිව්වත්, ලෝකයේ පවතින ආකාර, ලිංග, නිමිති, උද්දේස, ප‍්‍රඥප්ති කියන මේවා කාම සහගත බවින් පහළ වූ ඒවා නම්, සත්‍යාකාරය දකින නුවණ නැති අයට ඒ ඇසුරෙන් කාම විඤ්ඤාණ  හෝ ද්වේශ  විඤ්ඤාණ පහළ වීම සිද්ධාන්තයක්.

මේ හේතුඵල දකින පටිච්ච සමුප්පාද සිද්ධාන්තයට අනුව බලන්න පුරුදු වුනාම, බලා සිටියදී මෙන්   නුවණ  වැඩෙමින් ලෝකයේ යථා තත්ත්වයත්, පිළිපැදිය යුතු මාර්ගයත් මනා සේ පෙනෙන්න පටන් ගන්නවා. විශේෂයෙන් ලෞකික සමාධි ගැන තැකීමක් නැතිව පටිච්ච සමුප්පාද නිරෝධ ක‍්‍රමයට රටාව හිතාගන්න හුරු වෙනකොට, නිරෝධ නිශ‍්‍රිතව වඩන ආර්ය මාර්ගය වැඞීම සිද්ධ වෙනවා. ඇත්ත ඇති ආකාරයෙන් බලන කොට මේ මාර්ගය වැඞීම සඳහා අනුකූල මෙනෙහි කිරීමට යමෙක් කැමති වෙනව නම්, බුදු දහමට අනුකූලව කැමැත්ත නැගී සිටින්න පටන් ගන්නවා. මෙසේ සිහි කරන හරි මාර්ගය පිළිබඳව පටිච්ච සමුප්පාදයට අනුකූල දැනීම සම්මා දිට්ඨිය වෙනවා. අනුකූලව නැගෙන කල්පනාව, අනුකූලව අසන හෝ දෙසන වචනය, අනුකූලව කරන කටයුත්ත, අනුකූලව හැඩගසන ජීවිතය, උනන්දුවෙන් ඒ පිළිබඳව කරන උත්සාහය පිළිවෙලින් සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම වෙනවා. එවිට පටිච්ච සමුප්පාදය හා නිරෝධය පිළිබඳව තේරෙන බව සම්මා සති නම් වෙනවා. මේ විදිහට හරියාකාරව මාර්ගය තේරුම් ගන්න කොට අනුබෝධය අනුව ශ‍්‍රවණයෙන් දැනගත් දහම තමාට ප‍්‍රගුණ වීමත්, අනුරූප වූ ශ‍්‍රවණයකදී පළමු මාර්ග හංග පහ පරිවාර වූ සම්මා  වායාම, සම්මා සති මාර්ග හංග සමග එකම චිත්තයක හටගනිමින් චංචල නොවන සමාධියත් හටගන්නවා. දිනෙන් දින වඩන විට වැඩෙන්නා වූ සමාධිය නිසා ඇතිවන අකම්ප්‍ය බව තමාටම වැටහෙන්න පටන් ගන්නවා. අත්හැරී, නොඇලී, මිදී යලි හට නොගන්නා ලෙසට ඇති වූ යම් බලාපොරොත්තු අතරින් යම් කොටසක් මතු හට නොගන්නා ලෙස කෙළවර වන ආකාරයත් තමාටම වටහා ගන්න පුළුවන්. මේ විදිහට තමාටම අත්දැකීම් ඇති නිසා නිසැකවම දහම් මග දැකගන්න ලැබෙන අතර, තමාගේ පවිත‍්‍ර බව තමා විසින්ම කරගත යුතු ආකාරයත් වටහා ගන්න පුළුවන් වෙනවා.

නොයෙක් අවස්ථාවල ඇති වූ ශාසන පරිහානිවලදී පෙළ දහම් පොත් රැකුනත්, කලින් කල නොයෙක් මති මතාන්තර සමග ඇතිවූ පැටලීම් නිසා මගඵල ලබන උතුම් දහම් මග වෙනස් නොවුන කියල හිතන්න පුළුවන්ද? නොයෙක් උදවිය නා නා මත පෙන්නුවත්, අවවාදයට වඩා ආදර්ශය උතුම් බව සිහියට අරගෙන ආදර්ශවන්තව කටයුතු කළා නම් උසස් ප‍්‍රතිඵල අත්කර ගන්න තිබුණා. බෙහෙත හරි නම්, සාත්තුව නියම ලෙස වුනා නම් රෝග සුවයත් අත්දකින්න පුළුවන්.

සමහර අය බුද්ධ වන්දනාව පවා මෝඩ ගැමියන්ට හිමි දෙයක් ලෙස හිතමින්, ප‍්‍රතිපත්තිය උතුම් බව දේශනා කර ඇති නිසා ආමිස යැයි සිතාගෙන ඒවා අතහැර දමන තරමට කටයුතු සිද්ධ වී ඇති බවත් පෙනී යනවා. බුද්ධ නාමයට ආහාර, පැන් පිදීම මෝඩයන්ගේ වැඩක් යැයි හංවඩු ගසා ඇති බවත් පෙනී යනවා. ත‍්‍රිපිටකයේ කොතැනකවත් එබඳු ආහාර, පැන් පූජාවක් නැතැයි කියමින් ඇතැම් අය තර්කත් ඉදිරිපත් කරනවා. පිරිනිවන්පාපු බුදුන්ට ආහාර, පැන් පුදන මෝඩයෝ යැයි කියන අයත් අහන්න ලැබෙනවා.

නමුත් ඛු:නි:බු:ජ:ග‍්‍ර:මා: 36 පොතේ අපදාන පාලියේ ප‍්‍රථම බුද්ධාපදානය තුළ ත‍්‍රීලෝක විජය චක‍්‍රවර්තී රජතුමා (ගෞතම බුදුන් වහන්සේගේ පෙර බෝසත් අත්බවයකි) මනෝමය දානයක් දීපු ආකාරය විස්තර කරල තියෙනවා. අතීතයේ බුදු වූ ලොවුතුරා බුදුරජාණන් වහන්සේලා ප‍්‍රකෘති ලෙස හිතින් මවා වඩම්මවා, ඒ සමග පසේ බුදුවරයන් වහන්සේලාත්, රහතන් වහන්සේලාත් හිතින්ම මවා, හිතින්ම මහා ප‍්‍රාසාදයක් මවා එහි වඩා හිඳුවා සියළු අංගයන්ගෙන් පූර්ණ දානයක් සිතින්ම පූජා කරපු ආකාරයත්, ඒ පිනෙන් උපනුපන් අත්බවවලදී අත දිගු කළ සැනින් හිතූ පැතූ ආහාර පාන සම්පත් ලැබුණු බවත්, අනන්තව ලැබූ ආනිසංසයන් ගැනත් විස්තර කරල තියෙනවා.

නමුත් ඇතැම් භෞතිකවාදීන්, අප්පටිම වූ (ප‍්‍රතිමා- පිළිරුව, අප්පටිම රූපයක් නැති, සර්වඥතා ඥානයට රූප නෑ යන කරුණ) බුදුපියාණන් වහන්සේට රූප කොයින්ද කියන නිගමනයේ ඉඳගෙන ඉහත තර්ක ඉදිරිපත් කරනවා. හැබැයි උන්වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලයේදී පින්වතුන් ආහාර, පැන් පූජා කළේත් උන්වහන්සේට නැතිව උන්වහන්සේගේ සර්වඥතා ඥානයටදැයි කියන ප‍්‍රශ්නය මේ භෞතිකවාදීන්ගෙන් අහන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් කෙසඟක් පමණ ප‍්‍රමාණයක්වත් මේ ආකාර යැයි කියන්න පුළුවන් කෙනෙක් තුන් ලෝකයේම නැතැයි කියා පෙන්වූ තැනක ඇති කරුණු ගෙනහැර පාමින් ඒ පින්වතුන් ඉහත මතය ඉදිරිපත් කරනවා. බුද්ධ ශරීරය ගැන කියන කොට සර්වඥතා ඥානයට බුදුන් යැයි කියන බව “බුද්ධෝ සබ්බං ඤුුතච්ඥානෝ” යනුවෙන්ද පෙන්වා තියෙනවා. මේ සියල්ල දකින ඥානයට බුද්ධ කියන කොට උන්වහන්සේ ජීවමානව සිටියත් මේ බුදුන් නම් කෙසඟක් තරම්වත් විස්තර කරන්න තබා, ඒ මහා ඥානයේ අංශු මාත‍්‍රයක්වත් නිර්ණය කරන්න සමතෙක් තුන් ලෝකයේම නැති බව සැබෑවක්. නමුත් ඒ උන්වහන්සේම දේශනා කළ “කිං තේ වක්ඛලී ඉමිනා පූති කාය දිස්සේන” (වක්ඛලී මේ කුණු කය දැකීමෙන් ඇති යහපත කුමක්ද?) යන තැන්වල දේශනා කරන ලද පූති කාය නම් නෙවෙයි. පූති කාය නොමැතිව ලෝකයට බුදුරජාණන් වහන්සේ විද්‍යමාන කරන්නත් බෑ. පූති කායට ගරු සැලකිලි කළත්, ඒ වෙනුවෙන් යම් කෙනෙක් ගරු සැලකිලි කළත් ඒ සියල්ලම බුදුරජාණන් වහන්සේ උදෙසාම කරපු වන්දනාමාන වෙනවා. යම් කිසි නාම රූප ධර්ම මගකින් සර්වඥතා ඥානය විද්‍යමාන වෙනවා මිසක්, ඒ සඳහා වෙනත් මගක් කිසි විටෙකත් නෑ. කෙබඳු හෝ ඥානයක් විද්‍යමාන වෙන්නේ නාම රූප මගින්. මේ නාම රූපයෝ ආකාර, ලිංග, නිමිති, උද්දේස, ප‍්‍රඥප්ති කියන කරුණු මගින් විද්‍යමාන වෙනවා.

ලොව්තුරා බුදුන් වහන්සේ ජීවමාන නොවූ කාලයක ඍෂි භාෂිතයේ එන බුදු ගුණ අසා පැහැදුණු එක්තරා බ‍්‍රාහ්මණයෙක් කුඩා මැදුරක වැලිවලින් වෙහෙරක් සාදාගෙන, ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස ගරු හිත තබාගෙන ගෞරව පූජා සත්කාර කළ බවත්, තමාට බියක් තැතිගැන්මක් එන විට, මාගේ බුදුපියාණන් වහන්සේ ළඟ සිටින තුරු බිය වීමට හේතුවක් නැත යන සිතින් ගෞරවයෙන් කටයුතු කරමින් සිට, එම චිත්ත ප‍්‍රීතිය නිසාම දැහැන්ද ලබා බඹ ලොව උපන් බවත්, එදා ඒ ගෞරව සිතින් ඇරඹූ ශාසන මාර්ගය, කුඩා දඬු කඩක් ආධාරයට ගෙන මහ මුහුදේ තනිව තරණය කිරීමෙන් එගොඩ වුනා මෙන් වඩමින්, ගෞතම බුදුන්ගේ ශාසන කාලයේ සෝවාන් ඵලයට පත්ව සිටි මව්පිය දෙපලක් ජය ශ‍්‍රී මහා බෝධියේ පොතු ගෙන ඉන් සෑයක් සාදා පූජා කරන ස්ථානයක ඒ දෙමව්පියන්ගේ දරුවෙක් ලෙස ඉපදිලා, ඒ මව්පියන් කරපු තෙරුවන් වන්දනාවකදී එම සෑය දැක, ඒ බණත් අසා (දෙමව්පියන් කරන ලද ධර්ම සාකච්ඡුා) පෙර කරපු වැලි සෑ නමස්කාරය අරමුණු වී හටගත් ප‍්‍රීති සමාධිය නිසා රහත් ඵලයට පත් වූ බවත්, ඉන් පසු සැරියුත් මහරහතන් වහන්සේගෙන් පැවිද්ද ලබා හත් අවුරුද්දේදීම බුදුන් වහන්සේ වෙතින් උපසම්පදාව ලැබූ බවත්, බුද්ධ ජයන්ති ග‍්‍රන්ථ මාලා 37 පොතේ අපදාන පාලියේ දෙවන භාගයේ 229 පිටුවේ එන පුලිනථූපිය ස්ථවිරාපදානයේ සඳහන් වෙනවා.

මෙතනදී වටහා ගත යුත්තක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ලොවට හැඟීම් මාත‍්‍රයක් හෝ වටගා ගන්න ලැබෙන යම් ක‍්‍රමවේදයක් විද්‍යමාන වෙනව නම්, එය නාම රූප ප‍්‍රත්‍යයකින්ම විය යුතුයි. හැඟීමක් ඇති වෙන්න නම් සංඥා රටාවක් ඇති විය යුතුයි. ඊට අනුකූල වූ විඤ්ඤාණයක් පුණ්‍ය වශයෙන් හෝ කුසල වශයෙන් හෝ ඇතිවිය යුතුයි. චතුරාර්ය සත්‍යය විද්‍යමාන නොවන අබුද්ධෝත්පාද කාලයක වැලි සෑයකට ආවතේව උපස්ථානයක් කරලත් නිවන් මගට මුල පුරන ආරම්භක සිතක් පහළ වුනේ කොහොමද?

යම් නාම රූපයක් තුළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකගෙන් නැගුණ චිත්ත ගුණයකින් මතු වී විද්‍යමාන වුන නාම රූප ධර්ම මාත‍්‍රයක් හෝ ආකාර, ලිංග, නිමිති, උද්දේස, ප‍්‍රඥප්ති කියන මේවායින් පැවත ආපු නාම රූප මාත‍්‍රයක් හෝ සම්බන්ධ නොවුන නම්, ඒ ක‍්‍රියාවෙන් ශාසන මාර්ග මූලයක් වත් පහළ වෙන්න පුළුවන් කමක් නෑ. බුදු ගුණ චිත්තයක් පහළ වෙන්න නම් බුද්ධ චිත්ත ගුණයකින් නැගුණ නාම රූප ධර්මයක් විද්‍යමාන විය යුතුයි. එවිට ඒ නාම රූපයෝ ඇසුරු කිරීමෙන් ම බුදු ගුණ සිතක් පහළ වෙනවා. ඒක ධර්ම නියාමයක්. සංඛාර පච්චයා විඤ්ඤාණං – නාම රූප පච්චයා විඤ්ඤාණං කියන මේ ක‍්‍රම දෙකෙන් තොරව කිසි විටෙක විඤ්ඤාණයක් පහළ වෙන්නෙ නෑ. මේක පටිච්ච සමුප්පාද නියමයක්.

යම් සටහනක් නිසා ආකාරයක්, ලිංගයක්, නිමිත්තක්, උද්දේසයක්, ප‍්‍රඥප්තියක් පිළිබඳව සිතේ දැනීම් පහළ කරන රටාවක් තියෙනවා. භාහිර රූප සටහනක් තුළින් එබඳු දැනීමක් ලබන්නට නම් එම රූපාකාරයන්ගෙන් හඟවන කරුණු පිළිබඳව පෙර දැනගෙන සිටිය යුතුයි. එහෙම නැත්නම් එම රූපාකාරය හැඟීමට අනුකූල නිපැයුමක් විය යුතුයි. කෙනෙකුගේ ඇඬීම, විලාප ආකාරය…. ආදිය හැඟීමට අනුකූලව මතුවෙච්ච රූපාකාරයන්. එමනිසා ඒ ආකාරයන් කනෙන් ස්පර්ශ කරන කොට අනිකෙකුටත් දුක් සහගත බව හැඟවෙන ආකාරයක් දැනෙනවා. එසේම “අ” යන්න, “ම්” යන්න, “මා” යන්න පෙර ඉගෙන ගෙන තිබුණ නිසාත්, අම්මා යන අකුරු හඬ, රටාවට ගලපා කියන හැටි ඉගෙන ගෙන ඇති නිසාත්, එම හඬින් හඳුන්වන්නේ තමා ලොවට බිහි කරපු මව බවත් දන්නා නිසා, යමක සටහන් කර ඇති එම අකුරු තුන දෙස බැලූ විට “මව්” යන හැඟීම දැනීම හිතට මතු වෙනවා. රූප ස්පර්ශයෙන් හටගත් නාම මේ ආකාරයට බිහි වන නිසා මෙබඳු තැන්වලට බාහිර නාම රූප කියල කියනවා. සං:නි:(2) 39 පිටුවේ එන බාලපණ්ඩිත සූත‍්‍රයේ මෙහෙම තියෙනවා. “මේ කයද බාහිර නාම රූපද මේ දෙකක් දෙකක් හේතු කොට ස්පර්ශය වේ”

මේ විග‍්‍රහය කළේ යම් හිතක අදහසක් තවත් කෙනෙකුට දෙන්න නම්, අදහස් දෙන පුද්ගලයා ඊට අනුව නාම රූප මතු කළ යුතුයි යන්න පැවසීමටත්, එම නාම රූප ඇසුරු කරන පුද්ගලයාගේ විඤ්ඤාණය ඊට අනුකූලව පහළ වන බවත් පෙන්වා දෙන්නයි.

ඒ නිසා යම් අක්‍ෂර රටාවකින් හඟවන හඬ රටාවන් පිළිබඳව මුඛ පරම්පරා වශයෙන් අසා වටහාගෙන ඉගෙන ගෙන එනව නම්, යම් මුල් කාලයක එම අකුරුවලින් යමෙක් එම රටා හඬෙන් කරන හැඟවීමක් සටහන් කරල තිබුන නම්, අකුරු හඬ නගන රටාව වසර දහස් ගණනක් ඒ විදිහටම ආව නම්, ඒ අතීත වසර දහස් ගණනකට පෙර යම් ඇඟවීමක් එසේ සටහන් කළා නම්, අදත් ඒ තුළින් ඊට අනුරූප නාම රූපයන් මතු කරගන්න පුළුවන්. එම නිසා යම් සිතකින් කරපු හැඟවීම වසර දහස් ගණනක් ගියත් එම නාම රූප මගින් අදත් දැනගන්න පුළුවන්. මේ විදිහට අනුකූල සිතක් තව කෙනෙකුට එමගින් ඇති වෙනවා. භාහිර නාම රූප කියන්නේ සතර මහා භූත කැටි වෙලා යම් ආකාර, ලිංග, නිමිති, උද්දේස, ප‍්‍රඥප්තිවලට අනුව නැමී සිටීමයි, හෙවත් රූප සහ රූපයන්ගේ නම්‍යතාවයි.

මේ නිසා බුද්ධ ගති ගුණවලින් ඔප් නැංවුණු නාම රූප ලෙස ගමන් විලාස, හඬ රටා, ක‍්‍රියා කලාප ආදියත් ඇසුරු කරන කොට, එම අනුරූප සිත් ගුණ අනිත් අයටත් පහළ වෙනවා. බුදු හිතින් නැඟුණු ආකාර, ලිංග, නිමිති, උද්දේස, ප‍්‍රඥප්ති යම් තාක් පවතින්නේද, ඒතාක් තවත් සුදුසු සිත් ගති ඇති අයෙකුට ඒ ඇසුරින් අනුකූල සිත් පහළ කරගන්න පුළුවන්. එමනිසා අදත් බුද්ධ නාමයට කරන ගරු උපහාර ආදියේදී බුදු ගුණ හිත් පහළ වෙනවා. ඒ සිත් රාගයෙන්, ද්වේශයෙන් තොර වන අතර යථාවබෝධයට නැමී ගැඹුරු දහම් අවබෝධයට සුදුසුකම් ලබන්න හේතු වෙනවා.

නමුත් ඒ ක‍්‍රම රටාව මුලා සහගත මෝඩයන්ගේ වැඩ යැයි පවසා යම් දෘෂ්ඨියක් යමෙක් පැතිරෙව්ව නම්, එතකොට සිද්ධ වෙන්නේ දෘෂ්ඨිගත සිතකින් නැගෙන නාම රූපයන් ඇසුරු කරපු අයෙකුටත් සාර වූ හිත් මග වැහිල ගිහින් දෘෂ්ඨිගත සිත්ම නැගී ඒමයි. එයින් යථාවබෝධයට ඇති මග වැහිල ගිහින් දහම්   ප‍්‍රතිඵල   නොලබන විතණ්ඩවාදියෙකුගේ (විවිධාකාරයෙන් කිව්ව  දේ  වැරදියට  අරගෙන නොගැලපෙන තර්ක කරන) හිත් ස්වභාව මතුවීමක්ම සිද්ධ වෙනවා. මේක ශාසන විනාශයක්.

යම් දහමක් ඇසුරු කරන කොට රාගක්‍ෂය, ද්වේශක්‍ෂය, මෝහක්‍ෂය වෙනව නම් එය බුද්ධ වචනයක් කියන බුද්ධ භාෂිතය අරගෙන බැලූවත්, ඉහත කියපු දෘෂ්ඨිගත පුද්ගලයාට දෘෂ්ඨිය නිසාම ගුණ සිත වැසෙන නිසා, ඒ තාක් ඒ චාරිත‍්‍ර කොච්චර ඇසුරු කළත් එබඳු ගුණයක් දකින්න කිසි සේත් හේතු නැතුව යනවා. එවිට ඒ පුද්ගලයා තව තවත් මුලාවටම වැටෙනවා.

මේ නිසා ජීවමාන බුදුන්ට මෙන් සිතින් සිතාගෙන කරන කුමන ආකාර හෝ උපකාරයකින් කිසිම අයහපතක් සිදු නොවන බවත්, ශාසන ගුණයක්ම වැඩෙන බවත් දැනගෙන, වැරදි දැකීම් හැර දමා පාප සිත් උපක‍්‍රමයෙන් දුරු කරගෙන, පින් සිත් පහළ කරගෙන, දහම් අවබෝධයට මග පාදාගෙන, ධර්මානුකූලව සිතන්න පුරුදු වීම නැවතත් මගඵල ලාභීන්ගේ පහළ වීමට (සීග‍්‍ර වර්ධනයකට) ඒකාන්තයෙන්ම හේතු වෙනවා ඇති. උතුම් සිත් ඇති කරගෙන දහම් සිත් මෙනෙහි කරගෙන ඉන්න කොට අනුලෝම ගුණයට හිත වැඩෙනවා. මගඵල ලාභී උතුමෙක් මුණගැහිලා දහම් පද අහන මොහොතක උතුම් වූ සෝතාපන්නයෙක් වීමේ වාසනාව එවිට උදා වෙනවා.

බණ අහන කොට යථාවබෝධයට අවශ්‍ය හේතු නැති අයෙකුට වුවත් වචන මාලාව කටපාඩම් කරගන්න පුළුවන්. ඒත් ඒකෙන් සද්ධර්ම ගුණයේ කිඳා බැහැල ලබන අවබෝධයක් හෝ අවබෝධයට හේතුවන අනුබෝධයක් හෝ වැඩෙන්නෙ නෑ. ගල පිට දැමූ කැඳ ගල මතුපිට ගල් වලක තැන්පත් වෙලා පේන්න තිබුණත්, ගලට උරාගැනීමක් හෝ ගල පෙඟීමක් හෝ නොවෙනවා වගෙයි.

යම් කාලයක තුන් ලෝකාග‍්‍ර වූ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් රටාවන් හා ඊට අනුකූල දහම් රටාවන් මේ දක්වා ගෙන ආපු කෙබඳු හෝ ක‍්‍රම මාර්ග නිසා අද වනතුරුත් ආකාර, ලිංග, නිමිති, උද්දේස, ප‍්‍රඥප්ති වශයෙන් විද්‍යමාන වෙනවා. ඒවා හඳුන්වන රටා මගින් නාම රූප ඇසුරු කරන කොට අනුකූල වූ විඤ්ඤාණත්, එම විඤ්ඤාණ ප‍්‍රත්‍යයෙන් යළි නාම රූපත්, එම නාම රූප ප‍්‍රත්‍යයෙන් යළි විඤ්ඤාණත් යන මේ ආකාරයට එකින් එක දෙපස වැඩ කරමින් ප‍්‍රභල වන නාම රූපයන් අනුරූප වූ සලායතනත්, ඒ හේතුවෙන් අනුකූල වූ ස්පර්ශත්, ඒ හේතුවෙන් අනුකූල වූ වේදනාත්, ඒ හේතුවෙන් අනුකූල වූ ප‍්‍රසාදයත්, ඒ හේතුවෙන් අනුකූල වූ අධිමෝක්‍ෂයත්, ඒ හේතුවෙන් අනුකූල වු භව හෙවත් ගතිත්, ඒ හේතුවෙන් අනුකූල වූ ජාතිත් ඇති වෙනවා. එවිට භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව් පිරිසගේ ජාති විද්‍යමාන වෙනවා. ආර්ය ජාතියේ ඉපදීම, කය බිඳී යන්න පෙරම එම කය ඇසුරු කරගෙනම සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේත් මේ ජාති අනුමත කරල තියෙනවා. අංගුලිමාල තෙරුන් වහන්සේට බුදුන් වහන්සේ දේශනා කරපු අංගුලිමාල පිරිතෙදීත් “නැගණියනි, යම් සේ ආර්ය ජාතියේ උපන් තැන් පටන්….” යනුවෙන් මිනිස් අත්බැව තුළ සිටියදීම උපදින ජාති ක‍්‍රමය පෙන්වා තියෙනවා. මේ ඊට නිදසුනක්.

එම ආර්ය ජාතියේ උපන් සිව් පිරිසටම මේ දහම් සත්‍යය හිතේ කිඳා බැස යථාවබෝධය   ගෙන   දෙන අනුබෝධඥානය  පහළ වෙනවා. අවබෝධය හා ප‍්‍රත්‍යක්‍ෂ කරමින් මගඵලත් පහළ වෙනවා. මෙසේ ආර්ය ජාතියේ නූපන් අයටත් බණ පොතක් බලාගෙන හෝ කෙනෙක් දේශනා කරන දෙයකින් හෝ මතක තියාගන්න, කටපාඩම් කරගන්න පුළුවන්. තර්ක වාදවලටත් වැටෙමින් කතා සල්ලාප කරන්නත් පුළුවන්. නමුත් මගඵල ලාභීත්වය නම් අහලකවත් නෑ. එමනිසා මුළු ත‍්‍රිපිටක ධර්මයයි, බුද්ධ භාෂිතයයි කටපාඩම් තිබුණත් සිව් පිරිසට අයත් වෙන්නෙ නෑ. එක ගාථාවක් නමුත් දහම් දැන, අරුත් දැන, ධර්මානුධර්ම පිළිවෙතේ යන ආර්ය ජාතියේ උපත ලැබූ භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන මේ හතර ජාතියේ පටිච්ච සමුප්පාද දහම් රටාව අනුව උපත ඇත්නම් ඒ උතුමන්ම නියම සිව් පිරිස වෙනවා.

මේ වගේ මගට පත් වෙන්න ත‍්‍රිපිටක ධර්ම රටාවන් මෙච්චර කාලයක් ගෙනාපු යම් යම් පින්වතුන් ඇත්නම් ඒ අයගේ පුද්ගලික සිල් දුසිල්කම් ගැන නෙවෙයි සැලකීමට වටිනා උතුම් ගුණය වන්නේ, වැඩෙන ශාසන දරුවන්ට දහම් කිරි ළංකර දුන් කිරි මවකට කරන ගුණය මෙන්  සැලකීමයි. මෙබඳු අය ලෝකයට විද්‍යමාන වන බවත්, ඒ අය අනුන්ට කිරි, පස්ගෝරස ලබා දෙන්න කුලියට හරක් බලන එඬේරන් වැනි යැයිද බුදුන් වහන්සේ දේශනා කරල තියෙනවා. එසේම සත් පුරුෂයා ගැන පෙන්වන සත්පුරුෂ සූත‍්‍රයේ, යමෙක් නරක සීයක් කරද්දී එක හොඳ ගුණයක් දැක එම හොඳ ගුණයට ප‍්‍රසංසා කරන්නත්, නරක පිළිබඳව උපේක්‍ෂා වෙන්නත් හැකි නම් එය සත්පුරුෂයාගේ සත් පුරුෂ ගුණයක් බවත් දේශනා කරල තියෙනවා.

සුනාපරත්න නම් දේශයක වස් වසන්න යන්න එක් භික්‍ෂූන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගන්න ගිය අවස්ථාවක එම ප‍්‍රදේශයේ මිනිසුන් සැඩ ගති, දරදඬු ගති ඇති අය ලෙස පෙනී, ඒ ගැන බුදුන් වහන්සේ ඒ භික්‍ෂූන් වහන්සේගෙන් අදහස් විමසූ විට, උන්වහන්සේ පිළිතුරු දුන්නේ මෙහෙමයි. “ඒ මිනිස්සු බැන්නොත් ගහන්න තරම් දරුණු නෑ, ගැහුවොත් තුවාල කරන්න තරම් දරුණු නෑ, තුවාල කළොත්, අතපය කඩන්න තරම් දරුණු නෑ, අතපය කැඩුවොත් මරන්න තරම් දරුණු නෑ, මැරුවොත් මේ දුක් දෙන කය කෙළවර කරන්න මොහොතක් ලැබෙන තුරු සිටින මට එය නිරායාසයෙන්ම ලැබුණා යැයි කියා මෙසේ සලකා කටයුතු කරමි” යනුවෙනුයි. උන්වහන්සේට ප‍්‍රසංසා කළ බුදුරජාණන් වහන්සේ ඒ ගමනට අවසර දුන්නා.

එසේම දෙව්දත් තෙරුණ් භික්‍ෂූන් පන්සීයක් සමග සංඝයා අතරින් වෙන් කරගෙන ගියත්, සැරියුත් මහ රහතන් වහන්සේ එහි ගොස් දහම් දේශනා කර එම භික්‍ෂූන් වහන්සේලා ආපසු කැඳවාගෙන ආ බවත්, වැරදි අය ලෙස පන්නා නොදැමූ බවත් සඳහන් වෙනවා. එහිදී සංඝ භේදය බලපෑවේ දෙව්දත් තෙරුණ්ට පමණයි. ත‍්‍රිපිටක දහමේ එන මෙවැනි තැන් සිහිකර කෙනෙකුට දොස් නගන්න පෙර, අනුන්නට දේශනා කරන්න තමා සුදුසුකම් ලබා සිටිය යුතුයි.

(ඉතිරි කොටස ලබන කලාපයෙන්.)

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණ දහම් කරුණු ඇසුරින් සකස් කළේ :
නීතිඥ චන්දන සිරිවර්ධන