අප විසින් ගොඩ නැගූ ශක්තිය අපටම විපාක දෙන හැටි….

(පසුගිය කලාපයෙන්  – සතර මහා භූතයන්ගේ ඝනීභවනයෙන් ඇතිවන ආස්වාදයේ විවිධ මට්ටම්)

මනස පූර්වාංගම වෙලා හිතේ ඇති වූ, එකට එකතු වෙලා බැඳිල ඉන්න කැමති වූ ගතිය – ආපෝ ගතිය, තෙද ගැන්විලා ඔපවත්ව ඉන්න කැමති ගතිය – තේජෝ ගතිය, සැලෙන පිම්බෙන චලනය කළ හැකි ආකාරයට තිබිය යුතු යැයි කැමති වූ ගතිය – වායෝ ගතිය, තද මෘදු ස්වභාවයට කැමති වූ ගතිය – පඨවි ගතිය කියන මේ ගති හතර මූලික වෙලා, ඒ කැමැත්ත හේතුවෙන් ජනිත වූ ශක්තිය ක‍්‍රියාත්මක වෙලා ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියන ධාතු නිෂ්පාදනය වෙලා ඒවා තවදුරටත් ඝනීභවනය වීමෙන් ජල, ගිනි, සුළං, පස් යන ඇසට පෙනෙන (සුළං ඇසට පේනවයි කියන්නේ යම් චලනයකින්, ස්පර්ශයකින් දැනීමයි) ද්‍රව්‍යමය දේ නිෂ්පාදනය වූ ආකාරය පසුගිය කළාපවලින් පැහැදිලි කළා. ඒ ද්‍රව්‍යමය දෙයින්, බලාපොරොත්තු වූ ආස්වාදය විඳීමට නොහැකි නිසා ආස්වාද බලාපොරොත්තුවෙන් ජනිත වූ ශක්තිය ක‍්‍රියාත්මක වෙලා පංචස්කන්ධයක් ලැබුණු ආකාරයත් විස්තර කළා.

මෙහිදී මීට පෙර අපි විමසා නොබැලූ කරුණු කීපයක් තියෙනවා. යම් කිසි සිතිවිල්ලක් පහළ වුනාම ශක්තියක් නිපදවෙන බවත්, ඒ සිතිවිල්ල ඉෂ්ඨ කිරීම සිදුවන තුරු ඒ ශක්තිය ක‍්‍රියාත්මක වන බවත්, මේ දහම් න්‍යාය අසා දැනගන්නා තුරු අපි විමසා බලා නෑ. අපි හොඳ හෝ නරක සිතිවිල්ලක් ඇතිකරගත් මොහොතේම ඒක ඉෂ්ඨ වෙන්නෙ නෑ. ඒක ඉටුවන තුරු ඒ ශක්තිය දරා සිටින ආකාරයක් (ධර්මතාවයක්) තිබිය යුතුයි. ශක්තියක් තවත් ශක්තියකට හෝ පදාර්ථයකට පරිවර්තනය වෙනවා මිසක් විනාශ වීමක් නොවන බව කියවෙන විද්‍යා සිද්ධාන්තයකුත් තියෙනවා.

අපි ඇතිකරගත් හොඳ හෝ නරක සිතිවිල්ල ක‍්‍රියාත්මක වීමට සුදුසු පරිසරය සකස් කර දෙන්නේ මේ දරා සිටින ශක්තියයි, ධර්මතාවයයි. අවුරුදු සිය දහස් ගණනක් ගත වෙලා හෝ ඇතිකරගත් සිතිවිල්ල ක‍්‍රියාත්මක කිරීමට සුදුසු පරිසරය සකස් කරදීම සිද්ධ වෙනවා.

බුදුපියාණන් වහන්සේ දේශනා කරල තියෙනවා “රූපං ජීරති මච්චානං – නාම ගොත්තං නජීරතී….” යනුවෙන්. පසුගිය කලාපයක සඳහන් කළා මේසයක රූප සටහනක් සිතේ තිබුණ නිසා, එබඳු මේසයක්  ඇත්නම්…  කියන බලාපොරොත්තුව ගොඩනැගුණු බව. සකස් කරගන්නා ලද මේසය (රූපය) දිරල යනවා. නමුත් මේසය කියන රූපය පිළිබඳ මතක සටහන දිරන්නෙ නෑ. කවදා සිහිකරල බැලූවත්, මේසයේ නාම ගෝත‍්‍රය මුලින් දැකපු මේසය වගේමයි. අපට මේ ජීවිතය පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ නාම ගෝත‍්‍ර නොදිරන නිසයි. බත් කන්න  ඕන කියා අදහසක් ආවාම, බත් කියන්නේ කෙබඳු දෙයක්ද කියන මතක සටහන නිසයි බත් හඳුනා ගන්නේ. නැත්නම් බත් කියන්නේ කෙබඳු දෙයක්ද කියල හොයාගන්න බැරි වෙනවා. බත් පිළිබඳ පෙර මතක සටහන හෙවත් නාම ගෝත‍්‍ර, නාම රූප සමග ගලපා බැලීමෙනුයි දැන් දකින බත් හඳුනා ගන්නේ. මේ ගලපා බැලීම කර දෙන්නේ මනසයි. නාම ගෝත‍්‍ර රැඳී තිබෙන්නේ කර්ම භවයෙයි. රූප-රූප වගේම ශබ්ද-රූප, ගන්ධ-රූප, රස-රූප, පොට්ඨබ්භ-රූප, මනෝ-රූප කියන ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනසට ගෝචර වන සියළු රූප පිළිබඳව මේ වගේ නාම ගෝත‍්‍ර ගලපා සකස් කර හඳුන්වා දෙන්නේ මනසයි.

අපි යම් කිසිවක් කරන අවස්ථාවේදී රූපාකාරය මොහොතකින් අතීතයට යනවා. එය නාම ගෝත‍්‍රයක් බවට පත්වෙනවා. ඒ අවස්ථාව යලි සිහිකරල බැලූවොත් චිත‍්‍රපටියක් දකිනවා වගේ ඒක ඒ විදිහටම මතකයේ තියෙනවා. කුඩා කාලයේ සුදු ඇඳුමක්  ඇඳගෙන, පොත් ටික තුරුල් කරගෙන පාසල් ගියපු හැටි අද සිහි කළොත්,   එදා යහළු යෙහෙළියන් සමග කතා කර කර ගිය ඒ වයසේ ඒ හැඩ රුව ඇති රූපාකාරයයි අද සිහියට නැගෙන්නේ.

මේ විදිහට අපි කරන කියන, අන් අය සමග ඇති කරගන්නා හොඳ හෝ නරක සබඳතා සියල්ල අතීතයට ගියත්, නැවත සිහිකර බැලීමේ හැකියාවක් මනසට තියෙනවා. කල්ප අනන්ත ගණනක ඈත සිදුවීම් පවා සිහිකර බැලීමේ හැකියාව මනස දියුණු කිරීමෙන් ලබාගන්න පුළුවන්. බුදුපියාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයකට එපිටදී දීපංකර බුද්ධ පාද මූලයේ සුමේධ නම් තාපසයෙක්ව සිට නියත විවරණ ලබපු ආකාරය දේශනා කරල තියෙනවා. ඒ වගේම කල්ප අනූ එකකට මෙහා මනසේ සටහන්ව ඇති මෙබඳු රූප, කුමන මොහොතක හෝ ඇදී ඇවිත් එම රූපවලට අදාල විපාක ක‍්‍රියාත්මක වීමත් සිද්ධ වෙන්න පුළුවන්.

බොහෝ විට ඊට ඈත අතීතයේ කරපු කර්මවල ශක්ති ගෙවිල අවසන් වෙන්න විපාක ක‍්‍රියාත්මක වී ඇති බවට සාක්‍ෂියක් බුදුපියාණන් වහන්සේගේ දේශනාවක් තුළින් අනුමාන කරන්න පුළුවන්. සුදුකරල් රෝගයෙන් ගොයම් අස්වැන්න විනාශ වූ ප‍්‍රදේශයක චාරිකාවට වැඩිය අවස්ථාවක් මුල්කරගෙන නිඝන්ඨනාථපුත්තගේ ගෝලයෙක් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලෙස කල්ප අනූ එකක අතීතයේ පටන් මේ දක්වා දන් දීමෙන් අභිවෘද්ධියක් මිස පිරිහීමට පත් වූ කෙනෙක් නොදකින බව බුදුපියාණන් වහන්සේ ඔහුට දේශනා කරල තියෙනවා. මේ අනුව විමසා බැලීම වටිනවා.

අනාදිමත් කර්මභව පරපුරේ මේ රූප ගබඩාව පිළිබඳව උපමාවක් දක්වනවා නම්, ජංගම දුරකථනයක ඇති පහසුකම් ගැන බලමු. එහි දුරකථන අංක සිය ගණනක් තැන්පත් කරන්න පුළුවන්. ඊට අමතරව දින දර්ශනය, වෙලාව බැලීම, ලිඛිත සංනිවේදන SMS කරන්නත් පුළුවන්. උවමනා නම් ගීත අහන්න, විද්‍යුත් ක‍්‍රීඩා කරන්න, වීඩියෝ උපකරණයක් මෙන් භාවිතා කර දර්ශන රූපගත කරන්නත් පුළුවන්.  මේ වගේ විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් දත්ත කුඩා චිප් එකක අන්තර්ගත වෙනවා. උවමනා මොකක්ද, ඊට අදාල කොටසට නියමිත යතුරු ස්පර්ශ කිරීමෙන් අවශ්‍ය දේ කරගන්න පුළුවන්. එනම් රඳවා තබා ගත් දත්ත අවශ්‍ය පරිදි ස්පර්ශයකින් ලබාගන්න පුළුවන්. මතක සටහන් ගෙන දෙන නාම ගෝත‍්‍ර පිහිටන නාම ධාතුව තුළ මෙසේ අනන්තව නාම ගෝත‍්‍ර ගැබ් වෙලා තියෙනවා.

අපේ කර්මභවයත් මේ ජංගම දුරකථනයේ චිප් එක වගේ ඉතා දීර්ඝ කාලයක රූපස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංඛාර ස්කන්ධ, විඤ්ඤාණ ස්කන්ධ කියන දත්ත රැස්කර තබා ගත් එකක්. චිප් එක කියන්නේ කුඩා ප්ලාස්ටික් කෑල්ලක් වැනි උපකරණයක්. ඒක ඇසුරු කරගෙන දත්ත ගබඩා කර තියෙනවා. මේ වගේ මනස කියන්නේ මොළය හෝ හදවත නොවෙයි. ඒවා ඇසුරු කර ඇති දත්ත ගබඩාවක්. අතීත භවයකදී කවුරුන් හෝ තමාට වරදක් කළා කියල සිතමු. ඒ අවස්ථාවේ “මටත් වෙලාවක් ආවම මම  ඕකට දෙන්නම්….” කියා මෙහෙම සිතිවිල්ලක් ඇතිකර ගත්ත නම්, ඒ හේතුවෙන් ගොඩනැගුණ ශක්තිය ඒ මොහොතේ පටන් වෙලාවක් ලබාදීම සඳහා ක‍්‍රියාත්මක වෙනවා. ද්වේශ සහගත සිතින් පැතුවේ හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා ඒ පාප බීජයෙන් හට ගන්නේ පාප ඵලයක්. ඒක හොඳ විපාකයක් වෙන්න විදිහක් නෑ.

අවුරුදු සිය දහස් ගණනක් ගතවෙලා හෝ මේ දෙන්නා දරු-දෙමව්පියන් වෙලා, අඹු-සැමියන් වෙලා, සහෝදර-සහෝදරියන් වෙලා, අසල්වැසි නෑහිත මිතුරන් වෙලා හෝ ධර්මතාවය විසින් ලංවෙලා පරිසරයක් උදා කරල දෙනවා. දැන් අතීතය මතක නෑ. ඒ වුනත් මනස විසින් සකස් කළ පෙර නාම ගෝත‍්‍ර සටහන අනුව සුදුසු අවස්ථාව ළං වුනාම ආධ්‍යාත්මික භාහිර ආයතන මගින් කර්මබල ක‍්‍රියාත්මක වෙලා සුදුසු සමනන්තරයක් ස්පර්ශ කරල දෙනවා. ඒ ස්පර්ශය නිසා විපාක වශයෙන් වේදනා, සංඥා, සංඛාර හෙවත් චේතනා සකස් කර ඒ සමගම පෙර පසු නොවී විඤ්ඤාණ සකස් කර දෙනවා.

දැන් මොකක්ද වෙන්නේ? පතපු විදිහට වෙලාවක් ලබා දුන්නා. නමුත් සතුරා දැන් තමන්ගෙ වෙලා. දරුවො දෙමව්පියන්ට විරුද්ධව කටයුතු කරනවා. දෙමව්පියෝ දරුවන්ට රිදවනවා. අඹු සැමියන් අතර එකිනෙකාට විරුද්ධ කටයුතු කරගනිමින් රිදවා ගන්නවා. සහෝදර සහෝදරියන් අඬදබර කරගන්නවා. පෑහීමක් නෑ. අසල්වැසියන් ඉතා සුළු කරුණු ලොකු දේවල් කරගෙන නඩුහබ ඇතිකරගන්නවා. “මම  ඕකට වෙලාවක් ආවම දෙන්නම්…” කියල හිතාගෙන සිතිවිල්ල ක‍්‍රියාත්මක වෙනවා. මෙතැනදී අතීතයේ වූ, පූර්ව+අර්ධය=පරාදය දකින්නෙ නෑ. වර්තමානයේ එන අපර+ අර්ධය=අපරාදය දකිනවා. කිසිම සාධාරණයක් නැතුව මේ මේ කරදර දුක් තැවුල් ආදිය ඇතිවුනා කියා දුක් වෙනවා, අඬනවා, වැළපෙනවා, යුක්ති ප‍්‍රකාශ කරනවා. මොනව කරන්නද? පතපු දේමයි ඉටු වුනේ.

ඔන්න ඔය ආකාරයටයි අපට දුක් විපාක ඇදිල එන්නේ. දැන් අතීතය නොදන්නා නිසා අඬා වැළපිලා නතර වෙන්නෙ නෑ. මම කියා සත්ත්වයෙක් පුද්ගලයෙක් ඉන්නවා කියන අවිද්‍යාව නිසා නැවත සංඛාර ගොඩනගනවා. “මට මෙහෙම කළා, මම මේ අසාධාරණයට මෙහෙම කරමි” යි සිතනවා. ද්වේශ සහගත සිතින් පලි ගහනවා. අනාගත දුක් විපාක කන්දක් නැවත ගොඩගසා ගන්නවා. කුමක් නිසාද? පතපු වෙලාවෙ කැමති වුණ විදිහට නෙමෙයි සතුරා ළං වුනේ. අනිච්ච විදිහටයි. මේ නිසා තමයි බුදුපියාණන් වහන්සේලා තමන් වහන්සේලා උපදවාගත් අනන්ත ප‍්‍රඥාවේ ආලෝකයෙන් මේ කර්ම විෂය දැනගෙන ලෝකයාට දස අකුසලයෙන් වෙන්ව වාසය කරන්න අවවාද අනුශාසනා කළේ, ශඞ්ද්වාරයෙන්ම අරමුණු ගන්න කොට ඇලීමට ගැටීමට හසු නොවන පරිදි ඉන්ද්‍රිය සංවර කරගන්න අනුශාසනා කළේ.

යම්  පුණ්‍ය  කර්මයකින් ගොඩනැගුන ශක්තිය ක‍්‍රියාත්මක වෙලා අපි මිනිසත්ව ඉපදුනා නම්, ඒ පුණ්‍ය ශක්තිය ක‍්‍රියාත්මක වෙන්නේ මිනිස් සිරුරක් ආස්වාද විඳීමට සුදුසු පෑහෙන තත්ත්වයට කය සකස් වීමට මෙන්ම ඉෂ්ඨ ප‍්‍රිය වූ අරමුණු වීමට පරිසරය ගොඩනැගීම සඳහායි. ඉන් පසු ඒ කය හරහා ක‍්‍රියාත්මක වෙන්නේ විපාක කය ගොඩනැගුණු පරිසරය තුළ ක‍්‍රියාත්මක විය හැකි, පෙර සසර පැතුම් අනුව හොඳ හෝ නරක සංඛාරයි.  මේ  සංඛාර  චේතනා චෛතසිකය නොව පුණ්‍ය හෝ පාපකර්මවලට අනුව ලොව සැකසුනු සතර මහා භූතයන්ගේ සංඛතයන් අභිසංකරණය (යමක් නිර්මාණය කර එය තවත් වැඩි දියුණු කිරීම) වීමයි. මම යැයි සත්ත්වයෙක් පුද්ගලයෙක් ඉන්නවා කියන අවිද්‍යා අදහස නිසා, ඒ කය උපාදාන කරගැනීම නිසා (අවිද්‍යාවත් තෘෂ්ණාවත් ඇති තාක් එසේ උපාදාන කරනවා.) දුක් විපාක එන විට ගැටෙනවා, ද්වේශ කරනවා. සුඛ විපාක එන විට ඇලෙනවා, රාගයෙන් ලෝභයෙන් බැඳෙනවා. නොදන්නා අරමුණු එන විට ඒ මොකක්ද, වටිනා දෙයක්ද, කෙබඳු දෙයක්ද කියා ඒ පසුපස හඹා යනවා. මෝහයෙන් මුලා වෙනවා. මේ හේතුවෙන් නැවත සංඛාර ගොඩනගමින් තමාගේ මනසින්ම ගොඩනගා ගත් පංචස්කන්ධය උපාදාන කරගෙන අග මුල නොපෙනෙන අනාථ සසර ගමනක අනේක දුක් පීඩා විඳිනවා. සැප විපාක ආවත් ඒවා ගෙවිල වැනසිලා යනකොට දුක් විඳිනවා. සංඛාර ක‍්‍රියාත්මක වන කාලය ගෙවි ගෙවී වැනසිලා යනවා.

කය දිරාපත් වෙලා මරණයෙන් සංඛාර ක‍්‍රියාත්මක වීම නැවතුනත්, ඒ කය පවත්වාගෙන යන කාලය තුළ ආනන්තරීය පාප කර්මයක් කරගෙන හෝ උසස් මාර්ග ඵලයක් හෝ උසස් ධ්‍යානයක් උපදවාගෙන හෝ නොමැති නම්, පෙර කරන ලද ජනක කර්ම ශක්තිය ශේෂ වී ඇත්නම් නැවත අලූත් පරිසරයක මිනිස් කයක් හෝ අනුකූල කයක් ඇතුව උපදිනවා. කය දිරා ගියත් නැවත නැවත උපදිමින් මිය යමින් ඒ ඒ අත්බැව්වලදී නැවත නැවත සංඛාර ගොඩනැගීම නිසා සසර ගමනක සැරිසරනවා. අකුසල කර්මයක් හේතු වුනා නම් (ජනක කර්මය) දුගති අත්බැව් ලබා බොහෝ දීර්ඝ කාලයක් දුගතියේ දුක් විඳින්නත් සිදු වෙනවා. මේ අග මුල නොපෙනෙන සසර ගමනේ කර්ම හා විපාක ක‍්‍රියාත්මක වෙන ආකාරය අවබෝධ වුනොත්, හරයක් නැති ආස්වාද පතා සත්ත්වයා දුකම විඳින හැටි පැහැදිලි වෙනවා. ලෝකය අනිච්චයි, දුක්ඛයි, සසර ගමනේ හරයක් නෑ, අනත්තයි, කියා වැටහෙනවා.

“එක් අඟනක් එක් එළු දෙනක හිස සිඳා – ඇය ඇඟ ලෝම ගණනේ හිස් කැපුම් ලදා…” කියන මේ කවියෙන් කියවෙන්නේ කර්මය කළේ එක වරක් වුනත් එහි විපාකය එක වරකින් අවසන් නොවන බවයි. පහත සඳහන් ධර්ම කොටස බලමු. “දැමුණු සිත් ඇති සමාහිත වූ අපිස් වූ හිරියෙන් යුත් පාත‍්‍රගත පිඬු වාසයෙන් සතුටු වූ සුනෙත් නම් (පසේ බුදු) මහ ඍෂිහු දිටී. ඒ රජ පුත් ඇතු පිටින් බැස වහන්ස, පිණ්ඩපාතය ලද දැයි විචාලේය. ඒ රජ පුත් උන්වහන්සේගේ පාත‍්‍රය ගෙන ඔසවා තද බිම් පෙදෙසක ගටා බිඳ සිනාසෙමින් මඳක් ඉවත් විය. මහණ මම කිතව රජුගේ පුත් වෙමි. මට කුමක් කරන්නෙහිදැයි ඇසීය. දරුණු වූ ඒ පාප කර්මයාගේ විපාකය ඉතා කටුක විය. නිරයෙහි උපන් රාජ පුත‍්‍ර යම් විපාකයක් වින්දේද එය මෙසේය. කළ පව් ඇති හේ සයෙන් ගුණ කළ සූවාසූ දහස් වූ (6×84,000) නහුත ගණන් අවුරුදු මුළුල්ලේ නිරයෙහි බොහෝ දුකට පැමිණියේය.” (පේ‍්‍රතවත්ථු පාලි)

එනම් කර්මයක විපාක විඳින්න සිදුවන කාලයත් අප‍්‍රමාණ විය හැකියි. ඒක සිදුවෙන්නේ කොහොමද? යම් බලාපොරොත්තුවක් හේතුවෙන් ගොඩනැගෙන ශක්තිය, බලාපොරොත්තුව ඉටු වුනාම ගෙවිල අවසන් වෙනවා. නමුත් කර්ම ශක්තිය පිළිබඳව පරිපූර්ණ වූ නිවැරදි විවරණයක් කරන්න පුළුවන් වන්නේ බුදුපියාණන් වහන්සේ නමකට පමණයි.

නිශ්චල ජලාශයකට යම් කැට කැබලිත්තක් දැම්මොත් එහි ජලය රැලි නැගි නැගී ඉවුර අන්තය දක්වා ගමන් කරනවා. ඉවුරේ ගැටී ආපසු ඇදී ඇවිත් ඉදිරියට එන රැලි සමග ගැටි ගැටී බොහෝ වේලාවක් යන තුරු ජලය නිසල නොවී රැලි නැගි නැගී ඈතට ඈතට පැතිරී යාම සිදු වෙනවා. ජලය ඇසට පෙනෙන නිසා මේ සිදුවීම දැක බලාගන්න පුළුවන්. ඒ වගේම ශබ්ද තරංග නින්නාද වෙවී බොහෝ වෙලා ඇසෙන ස්වභාවය හිස් කාමරවලදී අත්දකින්න පුළුවන්. නමුත් වාතයට විසි කරන, හිස් අවකාශයට විසිකරන වචනවල ශබ්ද තරංග පැතිරී යන ආකාරය හෝ සිතිවිලිවල චිත්ත තරංග පැතිරී යන ආකාරය පියවි ඇසින් අපට දකින්න පුළුවන් කමක් නෑ. නමුත් ඇසට නොපෙනුනයි කියා ඒ සිදුවීම නොවී තියෙන්නෙත් නෑ. වස විස බිඳක් පොකුණකට දිය කරන්න යන්නේ සුළු වේලාවක් සහ සුළු ශ‍්‍රමයක්. එයින් වෙච්ච අවැඩ නම් පොකුණේ අප‍්‍රමාණ සතුන් විස වැදී මරණයට හෝ මරණය සමාන දුකකට පත්වීමයි. කරපු පාප කර්මය සුළු ලෙස පෙනුනත් එයින් වෙච්ච සියලූ විනාශයන්ට ඔහු වන්දි ගෙවිය යුතු බව පෙනී යනවා.

ඉතා සියුම් කිරණ ඡායාරූප ගත කළ හැකි ආකාරයට දියුණු කරන ලද කැමරා විශේෂයක් මගින් (කිරිලියන්) ශාක සහ සත්ත්ව ශරීරවලින් එක්තරා වර්ණ ආලෝකයන් නිකුත් වන බව රුසියානු විද්‍යාඥයන් පිරිසක් විසින් සොයාගෙන තියෙනවා. මේ පිළිබඳව ඉතා ගැඹුරින් විමර්ශනය කිරීමේදී විශේෂයෙන් නිපදවන ලද ඉලෙක්ට්‍රෝන අන්වීක්‍ෂ භාවිතා කර මෙම කිරණ කුඩා අංශු විශේෂයකින් හැදිච්ච දුමක් වැනි දෙයක් බවත් සොයාගෙන තියෙනවා. මේ ප‍්‍රතිඵලය වාණිජ (මැණික් ව්‍යාපාර) කටයුතු සඳහා යොදාගන්නා ලද එක්තරා සමාගමක්, පුද්ගලයින්ගේ සිරුරෙන් නිකුත් වන ආලෝක කිරණවල විවිධ පැහැයන් අනුව, ඒ ඒ පැහැයට ගැලපෙන මැණික් වර්ග වෙළඳාම සඳහා භාවිතා කරල තියෙනවා.

මේ  විවිධ  චරිත  ඇති පුද්ගලයන්ගේ ශරීරවලින් විවිධ වර්ණ කිරණ නිකුත්වීම පිළිබඳ විමසා බැලීම වැදගත් වෙනවා. එකම පුද්ගලයාගේ සිතිවිලි වෙනස් වන විට ශරීරයෙන් නිකුත්වන වර්ණ ආලෝකයන්ද වෙනස් වන බව මෙහිදී සොයාගෙන තියෙනවා. ඒවගේම මේ වෙනස් වර්ණ ඇති ආලෝකවල ශක්තියත් වෙනස් වෙනවා. අපි නිතර භාවිතා කරන ගෑස් උඳුනේ දැල්ල පරීක්‍ෂා කළ විට වැඩිම තාප ප‍්‍රමාණයක් ලැබෙන්නේ නිල් පාට දැල්ල ඇති විටයි. කහ පාට දැල්ල ඊට වඩා තාපය අඩුයි. ඊටත් වඩා දැල්ල නරක් වූ විට කළු පැහැයට හුරු රතු පාටයි. එහි තාපය ඊටත් අඩුයි. ආලෝක වර්ණය අනුව නිකුත් කරන ශක්තියත් වෙනස් වෙනවා.

චිත්ත තරංග දකින්න පියවි ඇසින් බැරි බව මුලින් සඳහන් කළා. පියවි ඇසින් දකින්න බැරි වුනත් මේ පරීක්‍ෂණ නිරීක්‍ෂණ අනුව පුද්ගලයෙකුගේ ලෝභ, ද්වේශ, මෝහ ගති සහ අලෝභ, අද්වේශ, අමෝහ ගති ලක්‍ෂණ අනුව ඒ ඒ අවස්ථාවලදී ආලෝක තරංග නිකුත් වන බවත්, ඒ ඒ තරංගවලට වෙනස් වෙනස් ශක්ති ඇති බවත් තහවුරු වෙනවා. නපුරු වචන පිට කළොත්, නපුරු සිතිවිලි ඇතිකර ගත්තොත්, ඒ අනුව ක‍්‍රියා කළොත් ඒ අවස්ථාවන්වලදී නිකුත් වන තරංග බොහෝ වේලා ඈතට ඈතට පැතිරී යනවා. දස දහසක් සක්වලට පැතිරී යන බවයි බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ. (සමන්තා චක්ඛ වාලේසූ…. වශයෙන් ධර්ම දේශනාවකට පෙර භික්‍ෂූන් වහන්සේලා ධර්ම ශ‍්‍රවණයට කැමති පිරිසට ආරාධනා කරන්නේ එතෙක් දුර ශබ්දය පැතිරෙන නිසයි. විතර්ක විෂ්ඵාර නාදය කියන්නෙත් මීට නමක්. සවිතක්ක (යහපත් දේවල් කෙරෙහි තරයේ කාවැදීම) කරන කොට හිතෙන් විහිදෙන නාදය.) ජලයට අතහරින ගල්කැටය හෙමිහිට අතහැරියොත් ජලය නිශ්චල වීමට ගතවන කාලයට වඩා වැඩි කාලයක්, ජලයට තදින් වේගයෙන් විශාල ගල් කැටයක් අතහැරියොත් තරංග නැගි නැගී ගොස් ජලය නිසල වීමට ගතවෙනවා.

මේ වගේ අපේ සිත් තුළ ඇතිවන නපුරු චේතනාවල දැඩි බව වැඩිවෙන්න වැඩිවෙන්න විපාක වශයෙන් විඳින්න වෙන දුක් වේදනාත් වැඩි වෙනවා. මේ ලෝභ, ද්වේශ, මෝහ ආදී අකුසල් මුල් වීමෙන් නිකුත් කරන ශක්ති තරංග දස දහසක් සක්වලින් මෙපිට සිටින එබඳු ලෝභ, ද්වේශ, මෝහ ගති ඇති සත්ත්වයන්ගේ එම ගති වැඩි කිරීමට හේතුවක්, උපනිශ‍්‍රයක් වෙනවා. එක වගේ හැඩ ඇති කුරුල්ලෝ එකට එකතු වෙනවා වගෙයි, ලෝභ ගතිය ලෝභ ගතියට එකතුයි, ද්වේශ ගතිය ද්වේශ ගතියට එකතුයි, රාග ගතිය රාග ගතියට එකතුයි. මෝඩ ගතිය මෝඩ ගතියට එකතුයි. නිවසක් බැලූවත් අම්ම තාත්තා නිවුනු ගති ඇති අය නම් දරුවනුත් බොහෝ විට නිවුනු ගති ඇති අය වෙනවා. ඒ නිසා යම් කෙනෙක් නපුරු පාපී අදහස් ඇතිව හිතන, කියන, කරන විට අනිත් ලෝ සතුන් කෙරෙහිත් ඒ අයගේ ශරීරයෙන් නිකුත් වන තරංග අහිත පිණිස ක‍්‍රියාත්මක වෙනවා. පෘතජ්ජන සත්ත්වයන්ගේ අනුශය වශයෙන් ඇති කෙලෙස් නැගී සිටින්නත් ඒක උපනිශ‍්‍රය වෙනවා. මේ නිසා කර්මය එක වරයි, විපාකය කොපමණද කියා කියන්න අපහසුයි. වැල් පොලී ගෙවන්න කැමති වෙලා ණයක් ගත්තා වගෙයි. “කරන කලට පව් මිහිරිය මී සේ, විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ…” මේ ලෝකය මොන පැත්තෙන් බැලූවත් අනිච්චයි, දුක්ඛයි, හරයක් නම් නෑ, අනත්තයි.

ඉතින් නරක දුෂ්චරිත පාපී දේවල් හිතුවොත්, කිව්වොත්, කෙරුවොත් සිද්ධ වෙන දේ තමයි මේ. එහෙනම් අපි හොඳ දේවල් හිතුවොත්, කිව්වොත්, කෙරුවොත් විපාක වශයෙන් අපට මොනවා ලැබෙයිද? හොඳම හොඳ දේවල් ලැබේවි. හොඳ නිරෝගි සිරුරක්, හොඳ ස්වාමියෙක්, හොඳ භාර්යාවක්, හොඳ රැකියාවක්, හොඳ නිවසක්, හොඳ වාහනයක්, හොඳ ගුණ යහපත් ඥාණවන්ත දරුවෝ…. මෙකී නොකී හොඳ දේවල් ලැබේවි. මේවා හොඳ දේවල් කියන්නේ ලෞකික වශයෙන්. නමුත් සත්‍යය නම් මේ සියලූ අය මෙන්ම සියලූ දෙය අනිච්ඡයි, දුක්ඛයි, අනත්ථයි.

මගේ හොඳම හොඳ ලස්සන ඇස් දෙක. ඇස් දෙක කියන්නේ ඇහි බැමද? ඇහි පිහාටුද? කළු පාට ඇහේ බබාද? සිවියද? ඇහැ ගලවල ඇතුල බැලූවොත් ඒ ලේ නහර, ස්නායු, ඇස් ලොඳ ආදියද? ඇහි බැම ඇහි බැම මිසක් ඇහැ නෙවෙයි. ඇස් පිහාටු ඇස් පිහාටු මිසක් ඇහැ නෙවෙයි. මේ විදිහට ඇසට අයිති එක කොටසක්වත් ඇස නෙවෙයි. ඒ එක කොටසක්වත් ලස්සනත් නෑ, වෙන වෙනම ගත්තම හොඳයි කියන්න පුළුවන් කමකුත් නෑ. ඒ ඒ කොටස් එකතු කරල හැදුන එක හඳුන්වන්නේ ඇස නමින්. එහෙම නම් ඇස කිව්වේ යම් කිසිවක් හඳුන්වන්න සම්මත කරගත්ත නමක් පමණයි. ඇස කොටස්වලට බෙදා ඒ ඒ කොටස්ද නැවත බෙදා බැලූවොත් අන්තිමට ඇස කිව්වේ ජීව ෙසෙල පොදියකට. මම කිව්වේ ඇස, කන, නාසය ආදී කොටස් සමූහයක එකතුවකට. ඒ එක එකක් ඇස වගේම බෙදා බැලූවම අන්තිමට ජීව සෛල පොදියක්. විවිධාකාරයේ හැඩතලවලට නැමිල, තැලිල, ඇමිණිලා, ගැටගැහිල තියෙන මේ පොදිය පිටින් වහල තියෙන නිසා ඇත්ත දැක්කෙ නෑ.

දැන් මේ හොඳයි, මගෙයි කිව්ව ඇසට අයිති එක කොටසක්වත් වෙන් වෙන්ව ගත්තම එකට තියෙන ඇස වගේ ප‍්‍රියමනාප නෑ. ඒ විතරක්ද? උදේ අවදිවෙන කොට මේ ඇස කබ කඳුළු නිසා සෝදා පිරිසිදු කරන්නත්  ඕන. උදේ සේදුවයි කියල හවසට නිකම් ඉන්නත් බෑ. හවස් වෙනකොට ආයිත් අපිරිසිදු වෙනවා. සෝදා පිරිසිදු කරන්න  ඕන. ඒ විතරක්ද? ලෙඩෟ බේත් හේත් කරන්න  ඕන. අවුරුදු 40 වෙනකොට පෙනීමත් දුර්වලයි. කණ්නාඩි දාන්නත්  ඕන. තවත් ටිකක් කල් යනකොට ඇසේ සුද ඇවිල්ලා, ශෙල්‍ය කර්මයකට භාජනය කරන්නත්  ඕන.

ඉතින් මේ හොඳම හොඳ ඇස් දෙක රූප බල බලා එයින් සතුටක් අරන් දෙනවද? ඇසක් තියෙන නිසා කැමති රූප විතරක් නෙමෙයි අකමැති රූපත් පේනවා. ද්වේශය ඇති වෙනවා. මේ හොඳම හොඳ ඇස්දෙක වගේම තමයි කන, නාසය ආදී අනෙක් කොටස් ඔක්කොමත්. ඒවා අපට අණ කරනවා මාව නාවපං, කවපං, පොවපං, හෝදපං, බේත් දාපං, සුවඳ ගාලා සුවඳ කරපං, ඇඳුම් ආයිත්තම්වලින් සරසලා හැඩ වැඩ කරපං ආදිය කියා. මේවා කළේ නැත්නම් ගඳයි පිළිකුලයි, අවලස්සනයි. එහෙනම් මේ හොඳම හොඳ කයත් ලස්සන වුනේ, ප‍්‍රියමනාප වුනේ  බාහිර ඇඳුම් පැළඳුම් සුවඳ විලවුන් නිසා නේද? කොටින්ම මේ හොඳ නිරෝගී ශරීරය මළ, මුත‍්‍ර, කෙළ, සෙම්, සොටු, කබ, කළාඳුරු, දහඩිය, සැරව, ලේ ආදී වශයෙන් දුඟද හමන කුණු නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාරයක් වගෙයි. මේ ශරීරය ඇතුලේ ඉදිරියෙන්ම තියෙන්නේ අඩි තිස් ගණනක් දිග කුඩා බඩවැල් මහ බඩවැල් කියන, අකුලා හොඳින් අසුරා තබා  අසූචියෙන් පිරුණු, ෂොපින් බෑගයක් වැනි තුනී මුත‍්‍රා මල්ලක් ද ඇති, සම නමැති ලස්සන ආවරණයකින් ඇතුලත නොපෙනෙන සේ වසන ලද ගඳ මල්ලක්. මේ මල්ල හැඩ වැඩ ඇඳුමකිනුත් වැහුවම ඇත්ත පේන්නෙම නෑ. මම හරි ලස්සනයි, හොඳයි, වටිනවා කියා මුලා වෙනවා. සුවඳ ජාති ගාලා නාන්නෙ ගඳ යවා ගන්න වුනත් නෑවට පස්සෙ කියන්නෙ මම සුවඳයි කියලයි.

කොච්චර නිරෝගියි කියන අයෙකුගෙන්වත් සිරුරෙන් සුවඳ දෙයක් නම් පිටවෙන්නෙ නෑ. (දිව්‍ය බ‍්‍රහ්ම ආදී නොවන) කොච්චර නිරෝගී වුනත් වයසට යන රෝගය, කළු කෙස් සුදු වීම, හම රැලි වැටීම, අවුරුදු 80 ක් 90 ක් ගතවෙද්දී නැගිට ගන්න බැරිවීම, කට හැඹිලි කට වගේ දත් නැති වීම කියන මේවා කාටවත් නතර කරගන්න බෑ. හොඳයි හොඳයි කිව්ව දේවල් නැතිවෙලා යනකොට සැපද? දුකද? නරක දෙයක් තිබිල නැති වුනාට දුක නෑ. නමුත් හොඳම හොඳ ආසම දේ නැති වෙන කොට දුක වාවගන්න බෑ. “අනේ මම ඉස්සර නම් මෙහෙම හිටියා, මෙහෙම ගමන් ගියා, මෙහෙම විනෝද වුනා. දැන් ඒ මුකුත් නෑ.” මෙහෙම කිය කියා දුක් වෙනවා. හිත ගත දෙකම දැවෙනවා, තැවෙනවා. ජාති දුක! ජරා දුක!

“අපේ පුතා එංගලන්තෙ, දුව ඇමරිකාවෙ. ඒගොල්ලන්ට හරි සරුයි. ඒ වුනාට ඉතින් වැදුවා හැදුවා කියල, විය හියදම් කළා, ඉගැන්නුවා කියල දකින්නවත් නෑනෙ! අවුරුදු ගානකින් දැක්කෙ නෑ….” මනස වැය වෙනවා. කයට ලෙඩක් දුකක් නැත්නම් මනසට හරි ව්‍යාධියක් තියෙනවා. ව්‍යාධි දුක!

“මේ ඊයෙ පෙරේදත් හොඳට හිටිය. අහවලාට හදිසි හෘදයාබාදයක්!… හදිසි අනතුරක්!… මියගියා” දැන් ඉතින් ශෝක වෙනවා. කඳුළු සලනවා. වැලපෙනවා. මරණ දුක!

ලක්‍ෂ ගණනක් වටිනා වාහනය, සියළු පහසුකම් සහිත අංග සම්පූර්ණ ලස්සන එකක්. පොඞ්ඩක් වැරදුනා, හැපිල කුඩු පට්ටම් වුනා. මොන රක්‍ෂණය තිබුණත් තැලිල පොඩිවෙලා යන එක නවත්තන්න බෑ. දිරල අබලන් වෙන එක නවත්තන්න බෑ. ඒ නිසා ටික කලක් පාවිච්චි කරල අලූත් එකකට මාරු වෙනවා. ඉතින් කවදාවත් සත්‍යය දකින්න බෑ. සත්‍යය දකින්න ලෝක සත්ත්වයා කැමති නෑ. කැමති දෙයින් වෙන් වෙන්න සිදුවන දුක! කොටින්ම කිව්වොත් හොඳම හොඳ දේවල් කියල ලැබුන දේවලූත් දෙන්නෙ දුකමයි. දෙවි බඹ වුනත් එලොවින් චුත වෙනකොට සිරුරේ සුවඳ, පැහැය, දිවසළු පැහැය වෙනස් වෙනවා. එතකොට දෙවි බඹ වුනත් දුක් වෙනවා. පින් කරල හොඳම හොඳ දේවල් ලැබුණත්, ඒවා අපි කැමති විදිහට පවත්වා ගන්න බෑ. ඒ නිසා දුකයි. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ කොතනකවත් රඳා පවත්වා ගන්න පුළුවන් සැප සම්පත් නෑ.

එහෙනම් නපුරු වැරදි පාප දුශ්චරිත කටයුතුත් හොඳ නෑ. දුක් විිපාක විඳින්න සිද්ධ වෙනවා. හොඳ සුචරිතවත් පුණ්‍ය කටයුතු හොඳයි සැප විපාක සහිතයි. නමුත් ඒවත් අපි කැමති විදිහට සදාකාලික වෙන්නෙ නෑ. ගෙවිල වැනසිලා යනවා. එහෙනම් අපි කුමක් කළ යුතුද? තුන් ලෝකයම අනිච්චයි, දුක්ඛයි, අනත්තයි, සසර සැරිසැරීමේ හරයක් නෑ කියල දකින්න  ඕන. අපි හොඳයි වටිනවයි සාරයි කියල නිපදවාගත් මේ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කියන පංචස්කන්ධයට ඇති කැමැත්ත අතහරින්න  ඕන. ඒකට ඉතින් අනිච්ච, දුක්ඛ, අනත්ත කියන තිලකුණ අර්ථ පටලවා නොගෙන නිවැරදිව තේරුම් ගත යුතුයි.

මනස   අසහනකාරී ඌනතාවයකින් යුක්ත වන විට ඊට අනුව සැකසෙන කයත් ඌනතාවයන්ගෙන් යුක්තව සැකසෙනවා. ඇසුරු කරන පරිසරයත් ඊට අදාලවම සැකසෙනවා. සුඛය කියන්නේ මේ අසමතුලිතතාවයේ අසහනයට තාවකාලිකව සමතුලිත තාවයක් උපක‍්‍රමයෙන් ඇතිකරන විට දැනෙන ස්වභාවයයි. කයට සීතල වැඩි නම් උෂ්ණය සැපසේ දැනෙනවා. උෂ්ණය වැඩි නම් සීතල සැප සේ දැනෙනවා. අධික පිපාසිත නම් වතුර බොන විට සුව සේ දැනෙනවා. බඩගිනි වැඩි වී රස නහරත් ඇකිලී ගිය විට රස බොජුන් ගැනීම සුව සේ දැනෙනවා. සිත සමතුලිත බව හෙවත් ඇලීමෙන් ගැටීමෙන් තොර උපේක්‍ෂාවට හෙවත් සමාධියට පත්කර පවත්වන විට කයත් ක‍්‍රමයෙන් සමතුලිත බවට හැඩගැසෙනවා. සීත උෂ්ණ සමතුලිත වූ කයට සීතලෙන් හෝ උෂ්ණයෙන් සුවයක් නොදැනෙන ලෙස මේ මස් ලේ කය යම් තරමකට සමතුලිත කරන්න පුළුවන්ද, ඒ පමණට උපේක්‍ෂා ස්වභාවයට පත් වෙනවා. පිපාසය නැතිනම් ජලය පානය කරන්න නොලැබීමෙන් අසහනයක් නැති සේ, කායික වූ ඌනපූර්ණතාවය අසහනයෙන් තොර සුවයක් ලබා දෙනවා. සමාධි සුවය කියන්නේ මේකයි. වඩපු සමාධි ඇති ධ්‍යාන ලාභී පින්වතුන්ට මේ මස් ලේ කය මියගිය පසු බ‍්‍රහ්ම කයක් ලැබෙනවා. ඒ කය සමගින් පහළ වෙන සිත කාම අසහනයන්ගෙන් තොර නිසා කාම ලොව සියළු අසහනකාරී දුකෙන් බඹ ලොව සිටින තුරු නිදහස ලබනවා.

නමුත්  පැවැත්මේ බලාපො-රොත්තු හෙවත් ඉන්ද්‍රිය මගින් දැනගැනීමේ බලාපොරොත්තුවත් අවිද්‍යාව නිසා ගොඩනැගෙන අසහනයක්. අරිහත්වයට පත්වන තුරු සියලූ සත්ත්වයෝම මේ අසහනයෙන් පෙළෙන අතර අරිහත්වයට පත් වුනත් අත්බැවින් චුත වන තුරු කායික දුක්ඛය විඳින්න වෙනවා. ඊට හේතුව මේ කය පෙර භවයේ අවිද්‍යා සහගත කර්මයක ඵලයක් වීමයි. ඉකුත් පිරිනිවන් පෑ බුදුවරයන් වහන්සේලාට මතු පංචස්කන්ධයකින් පනවන්නෙක් පනවා නම් එබඳු පංචස්කන්ධයක් පහළ නොවේ යනු බුද්ධ දේශනාවයි. සියලූ අසහන දුක් ගොඩනැගෙන සතර මහා භූත රූප උපාදාන රූප සහිත සියලූ නාම ධර්ම යම් තැනක නැද්ද සියලූ දුකින් නිදහස එතැනයි. ඒ නිවනයි.

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණ දහම් කරුණු ඇසුරින් සකස් කළේ :
ඩබ්. ඒ. තිළිණවතී – (විශ‍්‍රාමික මහජන බැංකු නිලධාරිනී)
කඩවත

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.

One thought on “අප විසින් ගොඩ නැගූ ශක්තිය අපටම විපාක දෙන හැටි….

  1. Pingback: රාග, ද්වේශ, මෝහයන්ගෙන් නැගෙන මහා ගින්න දැක නිවා ගනිමු… | හෙළ බොදු පියුම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *