මතකය ගැන සැඟව ගිය දහම් විඤ්ඤාණ හා නාම රූප ඇසුරෙන්….

පසුගිය කලාපයෙන්  – විඤ්ඤාණය පිළිබඳ සැඟවුණු දහම්…

“මගේ මතකයෙන් ඔබ කිසිදා ඈත් වන්නේ නෑ. මට  ඕනකමින්ම ඒක මතක් කරගන්න පුළුවන්…” ආදී වශයෙන් අපි මතකය ගැන කතා කරන වාර අනන්තවත් තියෙනවා. අපට සියල්ල අමතක වෙලා ගියොත් ආහාර, වස්ත‍්‍ර, නෑදෑ හිතමිතුරන් හා අන් සියල්ල පිළිබඳව අපේ සම්බන්ධය ගිලිහී යනවා. අප වටපිටාව, දරුවන්, දෙමව්පියන්, යහළුවන් ආදී සියල්ල සමග සම්බන්ධය පවත්වාගෙන යන්නේ අපේ මතකය නමැති මේ පුදුම හැකියාව නිසයි. මතකය අවසන් වුනොත් අපේ ජීවිතය තවදුරටත් පවත්වාගෙන යන්න නොහැකි වෙනවා. එසේනම් එදිනෙදා ජීවිතයේ අපට අවශ්‍ය දෑ අතරින් මතකය මුල් තැන ගන්නා බව කිව්වොත් ඒක අතිශයෝක්තියක් නෙවෙයි. මේ හැකියාව නොවන්නට, මේ ලිපිය කියවන්නවත් තේරුම් ගන්නවත් බැරි බව තේරුම්ගත යුතුයි. එසේනම් සත්ත්ව ජීවය හා ළඟින්ම බැදී ඇති හැකියාවක් ලෙසට මතකය විග‍්‍රහ කළාට වරදක් නෑ.

ජීවයක් ඇති ගස් වැල්වලට මේ හැකියාව නෑ. අපි දන්නා තරමට මතක තබා ගැනීමේ හැකියාවක් ගස් වැල්වලට ඇති බවක් කිසිවෙකු පෙන්වා දීල නෑ. ගස් වැල්වලට බාහිර උත්තේජන සඳහා ප‍්‍රතිචාර දැක්වීමට හැකියාවක් තිබුණත්, ඒක මතකයට සමාන කරන්න බෑ.

මේ විශ්මිත හැකියාව අපේ ශරීරය අභ්‍යන්තරයේ රැඳී තියෙනවද? එහෙනම් කුමන ඉන්ද්‍රියන් ආශ‍්‍රය කරගෙනද? හදවත ඇසුරු කරගෙනද, මොළය ඇසුරු කරගෙනද, එසේ නැත්නම් මුළු ස්නායු පද්ධතිය ඇසුරු කරගෙනද යන්න සලකා බැලීම වටිනවා.

හදවත ඇසුරු කරගත් රුධිරය පතක් පමණ ප‍්‍රමාණයක මතක සටහන් අන්තර්ගත වී ඇති බවට සමහරු අදහස් කරනවා. මතකය රැඳිල තියෙන්නේ හදවතේ කියල හිතනවා. එසේනම් ශෛල්‍ය වෛද්‍ය කර්ම මගින් කෙනෙකුගේ හදවත යම් කාලයකට ඉවත් කර ඔහු හදවත් යන්ත‍්‍රයකට සවි කර සිටින විට ඒ කාලය තුළ මතකය ඔහුගෙන් ඉවත් වෙයිද? වෙන අයෙකුගේ හදවත තව කෙනෙකුට බද්ධ කළොත් දෙවැන්නාගේ මතකය වෙනස් වෙයිද? මේ ප‍්‍රශ්නවලට ඉතාමත්ම පැහැදිලි පිළිතුර නැත යන්නයි.

හදවත ඉවත් කිරීමෙන් හෝ හදවතක් බද්ධ කිරීමෙන් මතකයට හානියක් නොවන්නේ නම් මතකය ඇත්තේ හදවතේ නොවන බවට තීරණය කරන්න සිද්ධ වෙනවා. මතක ශක්තිය රුධිරයේද තැන්පත් වෙලා නැති බව බව ඔප්පු කරන්න පුළුවන්. කෙනෙකුගේ රුධිරය මුළුමනින්ම ඉවත් කර ඔහුට වෙනත් රුධිරය ලබා දී ඔහු ජීවත් කරන විටදී ඔහුගේ මතකයට හානියක් වෙන්නෙ නෑ. මේ බව සැකයෙන් තොරයි, ඉතාම පැහැදිලියි.

ඉහතින් ඉදිරිපත් කරපු අවයව බද්ධ කිරීමේ හැකියාව සලකා බලන කොට එම අවයව ආශ‍්‍රිතව මතකය රැඳී නැති බව නිගමනය කරන්න පුළුවන්. නමුත් මොළය, බද්ධ කරන්න පුළුවන් අවයවයක් නොවන බව වෛද්‍ය විද්‍යාඥයන් විසින් පිළිගෙන ඇති අතර එය කිසි දිනෙක අනාගතයේවත් කරන්න බැරි දෙයක් බවත් පිළිඅරගෙන තියෙනවා. මෙතෙක් මේ ලිපිය කියවීමෙහි ලා මහන්සි ගැන්වූයේ මතකය ඇත්තේ මොළය ආශ‍්‍රිතවයි කියන සංකල්පය ඔබට ඔප්පු කරන්න නෙවෙයි. මොකද ඒ හැකියාව මොළය කේන්ද්‍ර කරගෙන ඇති බව වැඩිදෙනෙක් දන්නා කරුණක් නිසා.

ඇස, කන, දිව…. ආදී පංච ඉන්ද්‍රියන්ගෙන් ලබා දෙන සංඥා පිළිබඳව මොළයේ විවිධ කොටස්වලට වෙන වෙනම කාර්යන් බාරදී ඇති බව වෛද්‍ය විද්‍යාවෙන් පෙන්වා තියෙනවා. මේ හේතුව නිසාම මොළයේ යම් යම් ප‍්‍රදේශවලට හානි සිදුවුනොත් ඊට අදාල ශරීරයේ කොටස් ක‍්‍රියා විරහිත වන බව ඔප්පු කරල තියෙනවා. ඒ වගේම මතකයත් මොළයේ වෙනම කොටසක් හා සම්බන්ධයි. ඒ කොටසට හානි සිදුවුනොත් මතකය නැතිවෙලා යනවා.

මෙච්චර වෙලා අපි කථා කරපු දෙවල් සරලයි. ඒවා විද්‍යාවෙන් හසුකර ගත්තු දේවල්. දැන් මතකය පිළිබඳව මීට වඩා සංකීර්ණ පැත්තකට යොමු වෙමු. අවසාන වශයෙන් මතකය මොළය ආශ‍්‍රිතව ඇති බවට කරුණු පැහැදිලි කළා. නමුත් මතක සටහන් තැන්පත් වෙලා තියෙන්නේ ද්‍රව්‍යමය මොළයේ නම් ද්‍රව්‍යමය හා භෞතිකමය වූ මොළය මරණයේදී විනාශ වෙලා ගියාට අපේ මතකය සදහටම විනාශ වෙලා යනවද? නෑ. අපි නැවත උප්පත්තියක් ලැබූ පසු පෙර අත්භවයේ මතකය අපිට ළඟා කරගන්න පුළුවන් බව බුදු දහම පුරාවටම සාක්‍ෂි තියෙනවා. පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන අභිඤ්ඤා හැකියාව ලබා ඇති අය පිළිබඳව අපි කොතෙකුත් අහල තියෙනවා. මේ හැකියාව බෞද්ධයන්ට පමණක් නොවෙයි, විවිධ අනාර්ය භාවනා ක‍්‍රම මගින් අභිඤ්ඤා ලබාගත් අයටත් තිබුණු බව ඉතිහාසය සාක්‍ෂි දරනවා. බුදුන්වහන්සේ සහ අභිඤ්ඤා ලාබී දස දහස් ගණන් අරිහතුන් වහන්සේලාට මේ පෙර අත්බැව් දැකීමේ හැකියාව තිබිල තියෙනවා.

මරණයේදී ද්‍රව්‍යමය භෞතික මොළය විනාශ වී ගිය නිසා මතකය එම මොළයේ තැන්පත් වී නොතිබුණ බව පැහැදිලියි. එහෙනම් මතක සටහන් ශරීරයෙන් පරිබාහිරව විශ්වයේ කොතැනක හෝ තිබිය යුතුයි. මෙසේ මතක සටහන් තැන්පත් වූ තලය විඤ්ඤාණ තලය හෙවත් නාම ලෝකය ලෙස හැඳින්වෙනවා.

යම් සිතිවිල්ලක් මොළය හරහා යන සෑම අවස්ථාවකදීම මොළය ආශ‍්‍රිතව යම් ශක්ති විශේෂයක් ජනිත වෙනවා. ඒ තමයි විඤ්ඤාණ ශක්තිය. මේ විඤ්ඤාණ ශක්තිය ජනිත වෙන්නේ සංඛාර නමැති ක‍්‍රියාවලිය නිසා බව පසුගිය ලිපියෙන් දීර්ඝ වශයෙන් විස්තර කළා.

විඤ්ඤාණය කියන්නේ චිත්ත නමැති ප‍්‍රභාෂ්වර තත්ත්වය කිලිටි කරන සංඛාර නමැති ක‍්‍රියාවලියෙන් ජනිත කරන ශක්ති විශේෂයක් බවටත් පසුගිය ලිපියෙන් පැහැදිලි කළා. මේ ශක්තිය මගින් ලෝකය විකෘති ලෙස පෙන්වන බවත් සඳහන් කළා. ලෝකයේ තියෙන භාහිර ද්‍රව්‍ය වස්තු හඳුනා ගන්නා විඤ්ඤාණය විපාක විඤ්ඤාණයක් බවත්, ඒ හඳුනා ගැනීමෙන් පසුව එය සමග රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් බැඳීමෙන් අභිවිඤ්ඤාණ ගොඩනැගෙන බවත් තේරුම් ගත යුතුයි. අරිහත් නොවූ අන් සියල්ලන්ම ඒ හඳුනා ගැනීමේ විඤ්ඤාණවලට අමතරව මේ අභිවිඤ්ඤාණ ගොඩනගනවා. අපි නිරෝධ  කරගන්න   ඕන මේ අභිවිඤ්ඤාණයි.

මෙසේ හටගන්නා විඤ්ඤාණ ශක්තිය ප‍්‍රත්‍ය කරගනිමින් නාම රූප ගොඩනැගෙන්නේ කොහොමද කියල බලමු. “තත්ථ කථමා රූපා? චත්තාරෝ මහා භූතා චතුන්නඤ්ච මහාභූතානං උපාදාය රූපං ඉදං වුච්චති රූපං” (විභංගප‍්‍රකරණය 1, 244 පිටුව) රූප දෙයාකාරයි. 1. සතර මහා භූතයින්, එනම් ආපෝ, තේජෝ, වායෝ, පඨවි භූත 2. සතර මහා භූතයින් නිසා උපන් රූප, එනම් මනෝ රූප.

“තත්ථ කථමා නාමා? – වේදනා ස්කන්ධෝ, සඤ්ඤා ස්කන්ධෝ, සංඛාර ස්කන්ධෝ ඉදං වුච්චතා නාමා” – වේදනා ස්කන්ධය, සඤ්ඤා ස්කන්ධය, සංඛාර ස්කන්ධය නාම වශයෙන් හැඳින්වෙනවා. මෙහිදී විඤ්ඤාණස්කන්ධය නාම කොටසට අරගෙන නැති බව පෙනී යනවා. එහෙනම් පංචස්කන්ධය = රූප + නාම + විඤ්ඤාණ වශයෙන් ගන්න පුළුවන්. රූප, නාම හා විඤ්ඤාණ එකට ගත්තාම පංචස්කන්ධය විද්‍යමාන වෙනවා. භාහිර ලෝකයේ රූප පංචද්වාරවල ගැටීමෙන් වේදනා, සංඥා, සංඛාර හරහා විඤ්ඤාණ හටගන්නා බව දැන ගත්තා. මේ විඤ්ඤාණ ශක්තිය ප‍්‍රත්‍ය කරගනිමින් අභ්‍යන්තරයේ රූප (ආපෝ, තේජෝ, වායෝ, පඨවි) සහ නාම හටගන්නවා. මේ රූප සහ නාම එකතුවෙන් අභ්‍යන්තරයේ ශුද්ධාෂ්ඨක නම් වූ ශක්ති පුංජ ගොඩනැගෙනවා. මේ ශක්ති පුංජ ශුද්ධාෂ්ඨක ලෙස නම් කෙරුණු නාම රූපයෝමයි. මෙසේ ගොඩනැගෙන ශුද්ධාෂ්ඨකවලින් කොටසක් ශරීරයේ අභ්‍යන්තර ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා යොදාගැනෙන අතර තවත් කොටසක් ශරීරයෙන් භාහිර ලෝකයට නිකුත් වෙනවා. මේ ශක්ති කදම්බ සත්ත්වයින් වටා ඇති  ඕරා (Aura) නමැති ශක්ති වලල්ලක් විද්‍යමාන කරනවා.

භාහිර ලෝකයට මෙසේ විහිදෙන ශුද්ධාෂ්ඨක තුළ එසේ නිපදවීමට ප‍්‍රත්‍ය වූ විඤ්ඤාණ ශක්තිය ගැබ් වෙලා තියෙනවා. එහෙනම් අදාල විඤ්ඤාණයේ ස්වභාවය, ගති ගුණ හා මතක සටහන් මේ ශුද්ධාෂ්ඨකවල ගැබ් වෙලා තියෙනවා. මෙසේ ශරීරයෙන් ශක්තිය පිටවීම අති මහත් වූ වේගයකින් සිදුවෙනවා. මේ ක‍්‍රියාවලිය බල්බයකින් පිටවන ආලෝක ශක්තිය හා සසඳන්න පුළුවන්. ආලෝකය තරංග වශයෙන් විද්‍යාඥයින් පෙරදී විග‍්‍රහ කරල තිබුණත්, දැන් සොයාගෙන තියෙන්නේ ආලෝකය එක්තරා ශක්ති අඩංගු අංශු වශයෙන් ආලෝක ප‍්‍රභවයන්ගෙන් පිටවන බවයි. මේ චිත්තජ රූප නැගිලා “අනිදස්සනං අප්පටිඝං ධම්මායතන පරියාපන්න රූපං” කියන නාම කායික කොටසක් ලෙස විඤ්ඤාණ ධාතු තලයක පිහිටීම නිසා භවය හා සම්බන්ධ නාම තලයක පිහිටන බව පෙනී යනවා.

මෙසේ පිටවන ශුද්ධාෂ්ඨක විඤ්ඤාණ තලයේ ගැටීමෙන් ඒ තලය ආශ‍්‍රිතව සටහන් ජනිත කරනවා. මේ සටහන් තුළ අදාල ශුද්ධාෂ්්ඨකවල ගති ලක්‍ෂණමයි  තියෙන්නේ.  මේ ශුද්ධාෂ්ඨකවල ආයු ප‍්‍රමාණය අන්තඃකල්ප හතලිහක් (ආරම්භ වන කාලය 20 යි, පවතින කාලය 20 යි.) බව කියවෙනවා. එනම් මේ ශුද්ධාෂ්ඨක වූ ශක්ති පුංජ සදාකාලික වෙන්නෙ නෑ. “නාම ගොත්තං නජීරතී” යනුවෙන් විස්තර වන්නේ ශුද්ධාෂ්ඨක සදාකාලිකව පවතින බව නොවෙයි, ඒවා මගින් විඤ්ඤාණ තලය නමැති ශක්ති තලයේ ඇතිකරන සටහන් හෙවත් නාම ගෝත‍්‍රයන් නොදිරන බවයි. මේ සටහන් නොදිරන නිසාමයි බුදුවරයන් වහන්සේලාට  ඕනෑම කෙනෙකුගේ අතීතය පිළිබඳව  ඕනෑම විස්තරයක් බලාගන්නත් කියන්නත් පුළුවන් වන්නේ. මෙසේ ඇති වූ සටහන් නාම ගෝත‍්‍ර ලෙස විස්තර කර ඇති අතර ඒ සටහන් නොදිරා පවතින බව නාම ගොත්තං නජීරතී යනුවෙන් බුදුපියාණන් වහන්සේ පෙන්වා තියෙනවා. එක් එක් පුද්ගලයාට ආවේණික වූ ඒ පුද්ගලයාටම විශේෂ වූ නාම ගෝත‍්‍රයක් තියෙනවා. බුද්ධාදී අභිඤ්ඤාලාභීන් විසින් යම් යම් පුද්ගලයන්ගේ අතීත අත්බැව් පිළිබඳව පැහැදිලිව විස්තර කරන්නේ මේ නාම ගෝත‍්‍රය කියවීමෙන්. විඤ්ඤාණ තලය හෙවත් නාම ලෝකය පිළිබඳව දීඝ නිකාය (1) 484 පිටුවේ එන කේවට්ට සූත‍්‍රයේ සඳහන් “විඤ්ඤාණං අනිදස්සනං අනත්තං සබ්බතෝ පභං…” ආදී වශයෙන් විස්තර කෙරෙන විඤ්ඤාණ තලය ආශ‍්‍රිතව මේ නාම ගෝත‍්‍ර නමැති සටහන් පවතිනවා. ඉහත විස්තර කරපු ශුද්ධාෂ්ඨකයේ එක් එක් සත්ත්වයාගේ මතක සටහන් අන්තර්ගත වෙලා තියෙනවා.

මේ ශුද්ධාෂ්ඨක ඇසුරු කරම පිහිටි නාම සටහන් ධර්මායතන රූපවලට ඇතුලත් වන අතර ඒ රූපාකාරයන් නාම සටහන් කොටසට අයිති වෙනවා. “සබ්බේ ධම්මා අනත්තා” යනුවෙන් ඒවායේත් අල්ලා ගන්න හරයක් නැති බව පෙන්වා තියෙනවා. කාලයත් සමග අනන්ත අතීතයට මොහොතක් ගානේ ඇදී යන නිසා මේවාත් ස්ථීර ලෙස පිහිටි දහම් නොවෙයි.

දැන් අපි යමක් මතක් කරන්නේ කොහොමද කියල හොයල බලමු. මතකය කියන්නේ අප විසින් විශ්වයට නිකුත් කරන තරංග විශේෂයක්. ඒ තරංග ආපසු තමා වෙතම අරමුණු වශයෙන් ඇවිත් තමාගේ මනේන්ද්‍රියට ගැටෙනවා. ඒ අරමුණු මගින් සත්ත්වයා මෙහෙයවනවා. සත්ත්වයාගේ ගති ලක්‍ෂණ තීරණය වෙන්නේ මෙසේ තමා විසින්ම විශ්වයට එනම්, නාම ලෝකයට එකතු කරන ලද ශක්තිය විසින්මයි. මෙය කර්ම ශක්තිය ලෙසින් තේරුම් ගන්න  ඕන. මේ අනුව බලන කොට අපේ මනේන්ද්‍රියට විශේෂ හැකියාවන් දෙකක් තියෙනවා. 1. තමාගේ සිතිවිලිවලට අනුකූල වන්නා වූ ශක්තියක් විශ්වයට එකතු කිරීම 2. එසේ නිකුත් කළ ශක්තිය අවශ්‍ය විටෙක ආපසු ග‍්‍රහණය කරමින් ඒ සටහන්වල ඇති දෑ මතක් කිරීම.

ඒ වගේම මනසට සියල්ල අරමුණු කරන්න පුළුවන් බලයක්ද තියෙනවා. ප‍්‍රගුණ කරගත් තරමට මේවා බලන්න පුළුවන්. උපරිම ප‍්‍රගුණත්වය තියෙන බුදුපියාණන් වහන්සේගේ ඥානය සියල්ල අරමුණු කරනවා.

පරිගණකයක් භාවිතා කරමින් අන්තර් ජාලයේ ඇති යම් තොරතුරක් අපි ලබා ගන්නා ආකාරය ගැන හිතන්න. අපි මතක සටහන් ආවර්ජනය කරන්නෙත් ආසන්න වශයෙන් මේ ආකාරයටයි. සරලව කිව්වොත් අපේ මනස විශ්වයට මතක සටහන් එකතු කරන ට‍්‍රාන්ස්මීටරයක් ලෙස ක‍්‍රියා කරනවා. ඒ වගේම විශ්වයේ ඇති තමාට අදාල වූ සටහන් ආපසු අවශ්‍ය විටෙක ලබා ගන්නා රිසීවරයක් වශයෙනුත් ක‍්‍රියා කරනවා. විඤ්ඤාණ ශක්තිය ප‍්‍රත්‍ය කරගනිමින් රූප හා නාම ජනිත වන ආකාරය ඉහත විස්තර කළා. මේ ශක්තිය විසින් ඉන්ද්‍රියන් හය ආයතන බවට පත්කරන ආකාරය මීළඟ කලාපයෙන් සාකච්ඡා කරමු.

නුගේගොඩ වින්සර් රෝහලේ සභාපති
වෛද්‍ය ආර්. පී. වීරසිංහ (MBBS/DFM/MCGP/MPFAM)

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *