මනුෂ්‍යයාට මහා ගැඹුරින් ලෝකය ගැන හාරා අවුස්සා බලන්න හිතෙන්නේ ඇයි?

අපි මෙහෙම හිතමු. කැලෑවේ වල් ගස්වැල් තියෙනවා. ඒ ගස්වැල්වල මුල් කොච්චර තියෙනවද? ඒවා කොච්චර යටට ඇද්ද? ඒ ගස්වැල් හටගත් ඇට එතැනට ගෙනාවේ කවුද? ඒ ගස්වැල්වල කොල කොච්චර තියෙනවද? ඒවායේ ගෙඩිවල ඇතුලෙ තියෙන්නේ මොනවාද? … මේ ආදී ප‍්‍රශ්න කුඩා ළමයි අහනවා. ඒ වුනාට ඒ ගස්කොලන් පිළිබඳව කියවෙන මේ වගේ නොයෙක් ප‍්‍රශ්න ගැන හොයල බැලීමෙන් ගන්න හරයක් නැති බව වැටහෙනව නම් අපිත් කාලය නාස්ති කරමින් ඒවට වෙහෙසෙනවද? එතකොට අපි ඒවා නොසොයන්නේ සූක්‍ෂම වශයෙන් ඒ ප‍්‍රශ්නවලට උත්තර දැනගෙන ඉන්න නිසාද? නැත්නම් ඒවා වැඩකට නැති නිසාද? අපට ඒවායෙන් ප‍්‍රයෝජනයක් නැති බව පේනව නම් අපි ඒව හොයන්න යන්නෙ නෑ. මේ වෙලාවෙදි යමෙක් කියනව නම්, ඒ වල් ගස්වැල්වල විස්තර අපි නොසොයන්නේ, ඒ තරම් හොයන්න මොළයක් නැති නිසාත්, පුළුවන් කමක් නැති නිසාත් කියල අපි එහෙම කියන අය ගැන නිගමනය කරන්නේ මොන විදිහටද?

එහෙම හොයන්නේ, මේව අපි දැනගන්න  ඕන වටින දේවල් නිසා කියල යම් පිරිසක් කියනවා නම් සහ ඒ අයට තවත් එවැනි දේවල් හොයන්න හිතිලා පාර අයිනෙ තියෙන කොල කැබලි අවුස්සල බලනව නම්, සතුන් පහරපු තැන්වල වසුරු පිඬවල් අවුස්සල පනුවො එහෙම ඉන්නවද, කී දෙනෙක් ඉන්නවද… ආදී දේවල් හොයල බලමින්, යන එන අයගෙන් ඒවගේ දේවල් ගැන ප‍්‍රශ්න කරමින්, ඒ ගැන නොසොයන අයට, තේරුම් ගන්න බැරි මෝඩයො කියල අපහාසාත්මකව බලමින්, අපි වගේ උගත් නොවන සාමාන්‍ය අය තමයි මේ විස්තර නොසොයන්නේ කියමින් යම් පිරිසක් මෙහෙම හැසිරෙනව නම් එබඳු අය ගැන අපි මොනවද හිතන්නෙ?

ඒ අය බුද්ධිවන්ත නැණවත් අය කියල කියනවද? නැත්නම් පිස්සො කියල කියනවද? නිශ්ඵල දේවල්, නිශ්ප‍්‍රයෝජන දේවල් කොච්චර හෙව්වත් ලබන ප‍්‍රතිඵලයකින් සසර දුක් නිවන්න යහපතක් නොලැබෙන නිසා, එවැනි දේවල් වන සත්ත්ව විෂය, ලෝක විෂය, කර්ම විෂය, ධර්ම විෂය, චිත්ත විෂය පිළිබඳව දුක වටහාගෙන, ඒ දුකට හේතුව දැනගෙන, දුක නිවීම වටහා ගෙන, නිවෙමින් ඒ දුක් නිවන මාර්ගය වටහා ගන්න උත්සාහ කරනවාට වඩා වැඩි භාහිර සෙවීම් කරන, පර්යේෂණ සිතින් ඇලී ගැලී එයින් ලබන ආස්වාදයම මහා සුවයක් යැයි සිතන අය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙන්නේ උන්මත්තකයො හැටියටයි. “සබ්බේ පොතුජ්ජනා උන්මත්තකා” යනුවෙන්  සියළු  පෘතජ්ජනයෝ උන්මත්තකයො ලෙස දේශනා කරල තියෙන්නෙ ඒ නිසයි.

ඉතින්  ඔය  ලෞකික පර්යේෂණවල දත්තයන්ට බහින්නේ, මෙහෙම වුනොත් මෙහෙම වෙනවා කියන මූල සිද්ධාන්තවල ක‍්‍රියාවලිය දකින නුවණකින් නොවන බවත් පෙනී යනවා. එම සෙවීම්වල බොහෝ ප‍්‍රතිඵල අහම්බෙන් හමු වූ, අහම්බෙන් සිදු වූ (පෙර සැලසුමකින් තොරව) දේවල් නිසා බැස ගත්ත නිගමන බව පෙනී යනවා. ඒ ගැන සොයන්න සොයන්න තව තවත් පර්යේෂණවලටම ඇලීම බැඳීම වෙනවා. එකම විද්‍යාධරයෙක්වත් ජීවිත කාලයම විද්‍යාගාරවල හිරවෙලා පර්යේෂණ කළත් පර්යේෂණ නම් ඉවර වෙන්නෙ නෑ. දහසක් පර්යේෂණ ඉතිරිව නොවිසඳී තිබියදීම මිය යනවා. ලෝකයේ කොච්චර නම් අනාදිමත් කාලයක පටන් පර්යේෂකයෝ, ගවේෂකයෝ හිටියත් මේ ලෞකිකත්වය සඳහා කරන පරීක්‍ෂණවලින් හරි තීරණයකට බැහැල සම්මතයක් නිගමනයක් දුන්නෙ කවුද? බැසගත් සිද්ධාන්ත, නිගමනයන් කලින් කලට වෙනස් වෙනවා. මම හොයා ගත්ත කියල කියන සම්මතයට බැහැල ඔහුගේ නමින් සම්මතයක් ප‍්‍රසිද්ධ කරනවා. වසර ගණනක් ඒ සම්මතය තිබිල තවත් කෙනෙක් ඇවිත් ඒක බිඳ හරිනවා. ඊළඟට තවත් එකක් පිළිගන්නවා.

මේ විදිහට බිඳී ගිය සෑම සම්මතයක් තුළම හිටපු ලෝක සත්ත්වයෝ රැවටීමෙන් කල් ගතකරපු බවත් වැටහෙනවා. මේක හරි මගක්ද, යහපත ළඟා කරල දෙන මගක්ද කියල කල්පනා කරල බැලූව නම්, මුලා සහගත මගක් බව තේරුම් යනවා. ඒ වුනාට පර්යේෂණයට, ගවේෂණයට තියෙන ආසාව නිසා මේ මුලාව පේන්නෙ නෑ. පර්යේෂණ මනස කියන්නෙ සත්ත්ව ගතියයි. සසර සැරිසරන්නේ මේ නිසයි. තතු නොදත් අය බුදුන් වහන්සේත් පර්යේෂකයෙක් කරන්න උත්සාහ කරනවා. උන්වහන්සේ සසර සැරිසරපු බෝසත් කාලවල පර්යේෂණ කළා තමයි. නමුත් ඒවා නිශ්ඵල බව දැනගන්න දැනගන්න තමයි සත්‍යය මොකක්ද කියල සොයා ගත්තේ. එහෙම දැනගෙන පර්යේෂණ පසුපස යන සියළු තණ්හා බන්ධන සිඳ දැමුවාම එතෙක් වැහිල තිබුණ ඥාණය මතු වුනා. ඒ තමයි සර්වඥතා ඥානය. මේ ඥානය පර්යේෂණ කරල එකතු කරගත්, කෑලි මතක තියාගෙන පුරවගත් මතකයක් නෙමෙයි. තණ්හා බැඳීම්වලින් වෙන් වෙලා සිතක අත්හැරීම, නොඇල්ම, මිදීම, හටනොගැන්ම කියන මේ තත්වය ඇති වුනාම පහළ වන චිත්ත ස්වභාවයක්. ලොව නියම තතු වටහාගෙන දේශනා කළේ මේ මහා ඥානයෙන්. ලොව්තුරා බුදු බවට පාරමිතා පිරූ උතුමන්ට ඒ ධර්මතා පරිදි බුද්ධත්වයත් සමග මේ ෂඞ් අසාධාරණ බුද්ධ ඥාණය මතු වෙනවා.

ඉතින් සත්‍යය වටහා ගන්න නම් ඔය ලෞකික දේවල් සොයන මාර්ගයෙන් මොහොතකට හරි ඉවත් වෙලා යම් කෙබඳු වූ හෝ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණයන් පිළිබඳව ඒවායේ නිච්ච තාවයක් නැති බව, දුකක් දාහයක් ඇතිවුනා නම් ඒවා ඇසුර නිසාම සිදුවන බව, ඒ කිසිවක් කැමති සේ තබාගන්න උත්සාහ කළත් එසේ නොවන බව, ඉතිරි කරන සාරත්වයක් නැති බව, මේ සියල්ල එකාකාරව ඇති දේවල් ලෙස පෙනී සිටින මායා ස්වභාවයන් බව වටහා ගෙන, නිශ්ඵල නිස්සාර බව වටහා ගෙන සත්‍යයටම අනුව දැනගන්න හරිමග ගත්ත නම් ලෞකික පර්යේෂණ කෙළවර වෙනවා. ඒ පර්යේෂණ කරල ලබා ගන්න දැන ගන්න දෙයක් නැති බව වැටහෙනවා. ඒ මොහොතේ නැගෙන නුවණ මහත් සේ බලවත් වෙලා, පර්යේෂණ මනසක් ඇති විද්‍යාධරයෙක් දැන ගන්නා, වටහා ගන්නා ශක්තිය අභිබවා අප‍්‍රමාණ බලවත් දැනීම් වැටහීම් සහිතව ශක්තිය පහළ වෙනවා. නමුත් එදිනට ලෞකික පර්යේෂණ හිස් බව දකිනවා. මුලාව නිසා කරපු පර්යේෂණවල වෙහෙස දකිනවා. අන් අයටත් සත්‍ය මග පෙන්වනවා.

රූප කියා කවදා හෝ පටන් තමා පිළිබඳව හෝ බාහිර කෙනෙක් පිළිබඳව හෝ ද්‍රව්‍ය වස්තුවක් පිළිබඳව හෝ කෙබඳු ආකාර වූ හෝ ලොකු කුඩා, තද මොළොක්, පෙනෙන නොපෙනෙන යමක් දකින්නේ නම් ඒ එකක්වත් කැමති සේ, රිසි සේ නොවන බව, කැමැත්තට පටහැනිව වෙනස් වන බව, කොච්චර ප‍්‍රිය මධුර ස්වභාව තිබුණත් ඒවායේ පිහිටා සදාතනික ආස්වාද ලබන්න බැරි බව, තමා ජීවත්වන වර්තමාන මොහොත දක්වාම කවදා පටන් හෝ එබන්දක් ලැබී නැති බව නුවණින් වටහා ගන්නවා. කෙබඳු ආකාරයකින්ද යත්, යම් කලෙක අපට ප‍්‍රිය මධුර බව ගෙනදෙන රූප පරිහරණයක් තිබුණ නම් කෙසේවත් ඒවා අතහරින කැමැත්තක් ඇති නොවන බවත්, ඒවා එසේ පවතිනවා නම් ඉතාමත් කැමති බවත් අපි දන්නවා. නමුත් අද මේ මොහොත වන විටත් අතීතයේ පටන් එබඳු කැමති සේ පැවති කිසිම දෙයක් අපි ළඟ තිබිල නැති බවත් වැටහෙනවා.

එසේම අපි ප‍්‍රිය කරන, ප‍්‍රිය මධුර වූ කිසිම රූපයක් එකවරම පහළ වූවක් නොවෙයි, තිබූ ආකාර වෙනස් වීමේ රටාවේ ක‍්‍රියාවලිය නිසාම, හේතු ඵල කි‍්‍රයාවලියක් නිසාම විද්‍යමාන වන බව නුවණ ඇත්නම් වටහා ගන්න පුළුවන්. මෙහිදී දැනගත යුත්තක් තියෙනවා. ඔබට මෙය හොඳින් වැටහෙනවා නම් එය ඥානයකින්ම වටහා ගන්නා බව තේරුම් ගන්න  ඕන. මේ ඥානය කිසි විටෙකත් අකුසල සිතිවිල්ලකින් පහළ වෙන්නෙ නෑ. ඒ නුවණ කුසල සිතක් නිසාම, හරි දැනීමක් නිසාම, හරි කල්පනාවක් නිසාම, හරියට ක‍්‍රියා කළ නිසාම, හරි කතාවක් නිසාම, හරි පැවැත්මක සිටි නිසාම, හරි උත්සාහය නිසාම, හරි සිහි කිරීම නිසාම, හරි සමයක සිටම ලැබූවක් නිසාම, බුද්ධිවන්තව මේ අට මග පිහිටි මොහොතකම වටහා ගත්තක් බවත් තේරුම් ගන්න  ඕන.

වේදනාව යනුවෙන් යමක් ඇද්ද සැප වේවා, දුක් වේවා, මධ්‍යස්ථ වේවා ඒ සියළු වේදනාවන් අතුරින් කිසිවක් ස්පර්ශයකින් තොරව නොවැටහෙන බවත්, ස්පර්ශයක් නැත්නම් එබඳු කිසිම වේදනාවක් හට ගන්න හේතු නැති බවත්, මෙතෙක් කලක් හටගත් වේදනාවක් කොතෙක් කැමති වුනත් නැතත් ඒ අයුරින් පවත්වා ගන්න නොහැකි වී ඇති බවත්, අතීතයේ කවර දාක පටන්වත් සැප වේදනා ලැබුනත් ඒ ස්පර්ශ මොහොත තියෙන තුරු පමණක් තිබී, ඒ ස්පර්ශ හේතුව නැති වුනාම ඒ වේදනාව නැති වෙලා යන බවත්, දැනුත් යම් වේදනාවක් ඇත්ද එය ස්පර්ශය මුල් වෙලාම, ඒ ස්පර්ශ රටාවකට අනුරූපවම වැටහෙනවා මිසක් එයින් තොරව පවත්නා දෙයක් නොවන බවත්, කිසිම ස්පර්ශයක් ක්‍ෂණයක්ම පවත්වනවා මිසක් ඒකීය වූ ස්පර්ශයක්වත්, ඒකීය වූ වේදනාවක්වත් කිසි විට නොලැබෙන බවත් මනා සේ මෙනෙහි කරමින් බලන විට දහම වැටහෙන්න පටන් ගන්නවා.

මේ කාරණය උපමාවකිනුත් වටහා ගන්න පුළුවන්. විනාඩියක නලා හඬක් අහන්න නම් මොහොතින් මොහොත ගෙවෙන හඬේ ස්පර්ශ කම්පන රටාවක් ඇසිය යුතුයි. තත්පරයකදී කම්පන වාර 20 කට වඩා කම්පනය වන කම්පන රටාවන් පමණක් මිනිස් කනකට හඬක් ලෙස දැනෙන බවත් විද්‍යාවෙන් කියවෙනවා. කෙසේ හෝ වේවා මේ සෑම කම්පන වාරයකදීම කන ස්පර්ශ මාත‍්‍රයක් ලබනවා. එබඳු මාත‍්‍ර කෝටි ගණනක් රටාවකට කම්පනය වීමේදී ස්පර්ශ මාත‍්‍ර රටාත් කෝටි ගණන් ඇති වෙනවා. ඒ අනුව වේදනා මාත‍්‍රත් කෝටි ගණනක් රටාවකට දැනෙනවා. එවිට නලා හඬ ඇසෙන බව අපි කියනවා. මේ දැනීම් මාත‍්‍රයක් හෝ නිත්‍යව දැනෙමින් තිබුණ නම් ඊළඟ දැනීම් මාත‍්‍රය දැන ගන්න බෑ. එමනිසා මේ මාත‍්‍රයන් හටගෙන පැවතිලා දුර්වල වෙලා විනාශ වන රටාව නිසාම එම හඬ ඇසුන බව පැහැදිලියි. අනෙක් සියළු දැනීම්ද (රූප, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම) මේ අයුරින්ම තේරුම් ගත යුතුයි.

එබැවින්  සියළු  වේදනා මොහොතින් මොහොත ගෙවි ගෙවී ගොස් විනාශ වන දේ බවත්, එකාකාරව නොපවතින නිසාම, ස්පර්ශ මාත‍්‍ර නිසාම පහළ වන බවත් ඒවා කැමති සේ පවත්වන්න පුළුවන් ක‍්‍රම රටාවක නිපැයුමක් නොවන බවත් පැහැදිලි වෙනවා. ස්පර්ශ මාත‍්‍රයෙන් වේදනා මාත‍්‍රයක් දැනෙනවා මිසක් හේතුවක් ක්‍ෂණයක්ව, ඵලයක් ක්‍ෂණයක්ව යම් ක‍්‍රියාවලියක් විද්‍යමාන කරනවා මිසක් අනාගතය කරා යන හෝ අතීතයට යන වේදනා කියා  හෝ දෙයක් සිදු නොවන බව මනා සේ නුවණින් බලන විට පෙනී යනවා.

මේ වේදනා කියන්නේ වේදනා මාත‍්‍රයක් පමණයි. ඒක පහළ වෙන්නේ ස්පර්ශ මාත‍්‍රයක් නිසා. රටාවකට පහළ වන ඒ ස්පර්ශ මාත‍්‍ර අනුව වේදනා මාත‍්‍ර රටාවන් ඇතිවෙනවා. මනෝ ධාතුවේ දැනීම් දනවන ශක්ති බලය සම්බන්ධ නිසා මේ වේදනා මාත‍්‍ර රටාව අපට වැටහෙනවා. ඒ මාත‍්‍රයන් එක් ක්‍ෂණයක් පමණක් මෙනෙහි කරලා කිසිම ආස්වාද ජනක ආකාරයක් දනවගන්න අපට බෑ. එබඳු මාත‍්‍ර කෝටි ගණනක් රටාවකට සිදුවන විට ඒ රටාව ඒකීය ලෙස අපට දැනෙනවා. ඒක සංඥා කියල හඳුන්වනවා. ස්ථීර නැති එකකින් ස්ථීර වූ දෙයක් හේතු ඵල වශයෙන් බිහි කරන්න බෑ. වේදනා රටාව පවතින්නේ රූප මාත‍්‍ර රටා ස්පර්ශ කිරීමේදී ඇතිවන ස්පර්ශ රටාවට අනුකූලව, ඒ ස්පර්ශ රටාව පවතින තුරු එහි ප‍්‍රතිඵලයක් ලෙස නිසා ඒකත් වේදනා රටාවක් මිසක් ඒකකයක් නෙවෙයි. සංඥා රටාවත් මේ වේදනා මාත‍්‍ර රටා අනුව ඒ හේතුවෙන් පහළ කර, ඒ හේතු නැති වෙනකොට නැතිවන නිසා එබඳු වේදනා රටාවේ පැවැත්ම පරිදිම සංඥා රටාවත් පවතිනවා මිසක් කිසිම මොහොතක් අතීතයට හෝ අනාගතයට යන්න හේතුවක් නැති බව වැටහෙනවා. මේකත් විදර්ශනා නුවණක්.

මේ සංඥා මාත‍්‍ර රටාව නිසා ඒ කෙරෙහි ඇලීම් වශයෙන් හෝ ගැටීම් වශයෙන් හෝ මධ්‍යස්ථ ලෙස හෝ යම් ගති රැස් කිරීමක් ඇත්නම් ඒ සංඥා රටාව තිබෙන කල් පමණයි. ඒ සංඛාරයෝත් අතීතයට යන්න හෝ අනාගතයේ පවතින්න හෝ හේතු නෑ. එහෙම වැටහෙන්නේ මනෝ ධාතුවේ නාම ගෝත‍්‍ර ඒ මොහොතේ ඇතිකරන නිසා අතීතය අරමුණු කරන, අනාගත හේතුඵල අරමුණු කරන විඤ්ඤාණ ක්‍ෂණයේ ඇති ශක්තියෙන් අරමුණු කර ස්පර්ශ මාත‍්‍ර රටා මනෝ ද්වාර ඇසුරෙන් පහළ කරන නිසයි. විඤ්ඤාණ කියන්නේ ඉහත කී රූප ස්පර්ශයේදී පහළ වන වේදනා, සංඥා, සංඛාර කියන මේවා දැනගන්නා මනෝ විඤ්ඤාණ හෙවත් දැනගැනීම් ලක්‍ෂණයයි. මේ දැනගැනීම්ද මාත‍්‍රයන්ම මිසක් ඒකක නෙමෙයි. ඒ විඤ්ඤාණ මාත‍්‍රයත් හේතු කාරක වූ ස්පර්ශ, වේදනා, සංඥා, සංඛාර මාත‍්‍රයන්ගේ ඒ ඒ මොහොතේ හටගන්නා දැනීම් මාත‍්‍රයක් පමණයි. ඉදිරියේ පැවත්මක් හෝ අතීතයට ගිහින් පවතින්නට හෝ හේතුකාරක නෙවෙයි. එබඳු මාත‍්‍ර කෝටි ප‍්‍රකෝටි ගණන් රටාවකට ක‍්‍රියාත්මක වන නිසා, විඤ්ඤාණ කියන්නේ බොහෝ වේලා පවතින ඒකක ලෙස මුලා වීමක් සිද්ධ වෙනවා. ප‍්‍රිය මනාප මධුර ලෙස ආසාවෙන් මතුවටත් ලැබීම් බලාපොරොත්තුවීම නිසාත්, ඒ නිසා එන පරීක්‍ෂණ අදහසත්, එයින් සොයන විට ලැබෙන්න මග සාදන නාම ශක්තියේ නැම්මේත්, නැවත නැවතත් රුප්පනයට හේතු වන නාම රූපයන් හටගන්වා මුණගස්වනවා. ප‍්‍රිය කළ නිසාම, මධුර බවින් ගත් නිසාම අල්ල ගන්නවා, බදා ගන්නවා. ඒ හේතුවෙන් පැවැත්මේ ක‍්‍රියා රටාව සිද්ධ වෙනවා.

මේ ක‍්‍රියා රටාව වැටහෙන නුවණ යමෙකුට ඇති වුනා නම්, ඒ වැටහීම වුනේ කුසල් සිතක හටගත් ඥානය පහළ කරන ප‍්‍රඥා චෛතසිකය නිසාමයි. කුසල් සිතකින් හිටපු මොහොතකම මේ රටාව වැටහුණ නිසා ඒ මොහොතේ කිසිම පාප ක‍්‍රියාවක් හෝ පාප වචනයක් හෝ පාප සිතක් හෝ තියෙන්න විදිහක් නෑ. ඒ වගේම කුසල් සිත පවතින මොහොතක පංච නීවරණ පවතින්න බෑ. දහම් අරමුණට නැංවූ හිත විතර්කය වෙනවා. එහි දිගටම තේරුම් යනකල් හැසිරවීම විචාරයයි. සත්‍යාවබෝධයේදී ඇතිවන ප‍්‍රීතිය ඇතිවෙනවා. කායික මානසික සුවය නිරාමිසව ඇති වෙනවා. එකඟ බව පිහිටනවා. මේ ලැබෙන ප‍්‍රථමධ්‍යානය ලෝකෝත්තරයි. කෙලෙස් අනුශයෙන් තොරයි. යථාවබෝධයට නැමී සිටිය නිසා සත්‍යාවබෝධය සිද්ධ වෙලා තියෙනවා. මේ කාරණාවන් හොඳින් වටහාගෙන සත්‍යාවබෝධය ලබත්වා.

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණ දහම් කරුණු ඇසුරින් සකස් කළේ :
නීතිඥ චන්දන සිරිවර්ධන

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *