ආනාපාන සති භාවනාව සඳහා අධ්‍යාත්මික පරිසරය සකස් කරගැනීම

පසුගිය කලාපයෙන්  – ලෝකෝත්තර වූ ආනාපාන සති භාවනාව තුළින් ත‍්‍රි ශික්ෂා පූර්ණය කරගැනීම

ආනාපාන සති භාවනාව වැඞීමේදී, ඒ සඳහා භෞතික පරිසරය සකස් කරගන්නා ආකාරයත්, කය සකස් කරගන්නා ආකාරයත් පමණයි දැනට බොහෝ දෙනෙක් අහල තියෙන්නේ. මේ සඳහා අධ්‍යාත්මික පසුතලයක් හදාගන්න තියෙන බව දන්නෙ නෑ. මේ භාවනාව තුලින් නිවන් මග නොවැඩෙන්න හේතුව ඒකයි. සතර සතිපට්ඨානයට අයත් කායානුපස්සනාව තුළ ආනාපාන සති භාවනාව වැඞීමේදී අධ්‍යාත්මික පරිසරය සකස් කර ගත යුතු ආකාරය දක්වලා තියෙන්නෙ මෙහෙමයි.

“කථඤ්ච භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති. ඉධ භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝවා රුක්ඛ මූල ගතෝවා සුඤ්ඤාගාර ගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා, උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨ පෙත්වා.” මේ පාලි පාඨයේ සිංහල අර්ථය දක්වල තියෙන්නේ මේ ආකාරයෙන්. “මහණෙනි, භික්ෂුව කායානුපස්සනාවෙන් වාසය කරන්නේ කෙසේද? භික්ෂුව ආරණ්‍යයකට හෝ රුක් මුලකට හෝ ශුන්‍යාගාරයකට හෝ ගොස් පලක් බැඳගෙන (එරමිණියා ගොතා ගෙන) කය කෙලින් තබාගෙන උඩු තොල මත සිහිය පිහිටුවාගෙන වාඩි වී” යනුවෙන් භාහිර පරිසරය හා කය සකස් කරගන්නා ආකාරය පමණයි මෙහි කියවෙන්නේ.

රාග, ද්වේශ, මෝහ ක්‍ෂය කරල නිදහස් මනසක් ඇති කර ගන්න භෞතික පරිසරය වගේම අධ්‍යාත්මික පරිසරයත් සකස් කරගත යුතු වෙනවා. භාවනාව වැඞීම සඳහා මිනිස් වාසයෙන් තොර තැනකට ගොස් භෞතික පරිසරය හා කය පමණක් සකස් කර ගත්තට මදි. භාවනාවේදී මීට වඩා වැදගත් වෙන්නෙ මේ වචනවලින් පෙන්වා තියෙන අධ්‍යාත්මික පැත්තයි. “අරඤ්ඤගතෝවා” කියන කොට කය පමණක් ආරණ්‍යයකට ගෙන ගියාට මදි. මනසත් ආරණ්‍යයක් කරගන්න  ඕන. “රණ” කියන්නෙ සටනයි. “අරණ” කියන්නෙ සටන් නැති තැනයි. රාග, ද්වේශ, මෝහවලින් පෙළෙන ලෝක සත්ත්වයා, පංචකාම සම්පත්ති ගන්න මහා පොර පිටියක සටන් වැදිලයි ඉන්නෙ. නමුත් ඒක සටනක් බව ඔවුන්ට හැඟෙන්නෙ නෑ. ආස්වාදයෙන් වැහිලයි ඉන්නෙ. මේ සටන් වදින ලෝකය අනිච්ච, දුක්ඛ, අනත්ත වශයෙන් දැක්ක තැනැත්තාට පමණයි සටන් නොකරන මානසිකත්වයක් තුළ භාවනාව වඩන්න පුළුවන් වෙන්නෙ.

“රුක්ඛ මූල ගතෝවා” කියන එකත් අද පෙන්වල තියෙන්නෙ ගහක් මුලකට ගිහින් නිිසංසල පරිසරයක භාවනාවට සකස් වෙන්න කියලයි. නමුත්් මේ භෞතික ශරීරය, ගහ මුල නිහඬ පරිසරයකට ගෙන ගියාට මදි. රුක් මුලක තවත් ස්වභාවයක් තියෙනවා. දස අතින් හමන සුළඟින් ගහේ කොළ කම්පනයට පත්වෙනවා (සෙලවෙනවා), ගහේ අතු කම්පනයට පත් වෙනවා. නමුත් ගහේ මුල කම්පනයට පත් වෙන්නෙ නෑ. මේ ආකාරයෙන් භාවනා කරන ආර්ය ශ‍්‍රාවකයා මොන විධියේ ඇලීමක් ගැටීමක් ආවත්, අකම්ප්‍ය මානසිකත්වයකින් කටයුතු කළ යුතුයි. ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප‍්‍රශංසා, දුක, සැප කියන අටලෝ දහම හමුවේ කම්පා නොවිය යුතුයි. කය රුක් මුලකට ගෙන ගියා වගේ, මනසත් රුක් මුලක් වගේ නොසැලෙන විදියට සකස් කරගන්න  ඕන.

“ශුන්‍යාගාර ගතෝවා” කියන කොට භාවනා කරන තැනැත්තා, මිනිසුන්ගෙන් තොර හිස් ගෙයකට ගිහින් භාවනාවට භෞතික පරිසරය සකස් කර ගත යුතු බවයි අද පෙන්වලා තියෙන්නේ. රාග, ද්වේශ, මෝහ සහගත අරමුණුවලින් පුරවා ගත්තම හිත බහු භාණ්ඩවලින් පිරුණු ගෙයක් වගෙයි. එතකොට හිත ශුන්‍යාගාරයක් වෙන්නෙ නෑ. මෙසේ රාග, ද්වේශ, මෝහ අරමුණුවලින් යුක්තව ශුන්‍යාගාරයකට ගියාට ඔහුට භාවනා කරන්න බෑ. රාග, ද්වේශ, මෝහ සිතිවිලිවලින් මනස කිළිටි කරගෙන කය පමණක් මිනිසුන්ගෙන් තොර හිස් පරිසරයකට ගෙන ගියාට අධ්‍යාත්මික ප‍්‍රතිඵලයක් ලැබෙන්නෙ නෑ. කය ශුන්‍යාගාරයකට ගෙන ගියා වගේ මනසත් ශුන්‍යාගාරයක් කරගන්න  ඕන. නියම අරණ්‍ය ගතවීම, නියම රුක්ඛ මූල ගතවීම, නියම ශුන්‍යාගාර ගතවීම සිදුවිය යුත්තේ මේ ආකාරයෙන්.

මීළඟට “නිසීදති පල්ලංකං ආභුජිත්වා” කියන එකෙන් අද පෙන්වන්නේ  පලක්  බැඳගෙන නැත්නම් එරමිණියා ගොතාගෙන වාඩි වෙලා භාවනාව සඳහා භෞතික ශරීරය සකස් කර ගන්නා ආකාරයයි. මෙසේ කය පමණක් සකස් කරගත්තට මදි. පල්ලංකං යන වචනයේ ලෝකෝත්තර අදහසක් ගැබ්වෙලා තියෙනවා. අංකයෙන් මනින්නේ මානයයි. කෙනෙක් අතිමානයට පත්වුනාම ඉන්නෙ ඉහලම අංකයේ. පහලම අංකය අනතිමානයයි. කරණීය මත්ථ සූත‍්‍රයේ පෙන්වල තියෙන්නෙත් නිවනට පත්වෙන්න අනතිමානීව කටයුතු කරන පිලිවෙලයි. කෙනෙක් අතිමානයට පත්වෙන්නෙ ලෝකය තුලයි. ඒ අනුව භාවනාව සඳහා පල්ලංකයෙන් වාඩිවෙනවයි කියල බද්ධ පර්යංකයෙන් හෝ අර්ධ පර්යංකයෙන් හෝ වාඩිවුනාට මදි. මනසත් පල්ලංකයටම ගන්න  ඕන. අතිමානයෙන් කටයුතු නොකර අනතිමානීව මානයෙන් පහතටම එන්න  ඕන. “පාපිස්නා බිස්සක් සේ මන් නැතිව” පාපිස්නාවක් සේ මානයෙන් තොර විය යුතුයි. උඩඟුකම් මහන්තත්තකම් අතහැරලා  චාම්  නිහතමානී මානසිකත්වයක් ඇතිකර ගන්න  ඕන. මේ ආකාරයෙන් භාවනා වඩන තැනැත්තා දෙපැත්තකින් සකස් විය යුතුයි. භාවනාවට අවශ්‍ය භෞතික පරිසරය එක් පැත්තකිනුත්, මානසික පරිසරය තවත් පැත්තකිනුත් හදාගත යුතුයි.

“උජුංකායං පනිදාය” කියන එකට අද අර්ථ දීල තියෙන්නේ කය ඍජු කරගන්න  ඕන කියලයි. හිඳගන්නා විට කොඳුඇට පෙළ කෙළින් තියාගෙන කය පිහිටුවා ගත යුතුයි. නියම විදිහට නම් උජුං උද්ද කායං විය යුතුයි. මුළු කයම ඍජුව තියාගෙන කෙනෙකුට වාඩි වෙන්න බෑ. වාඩිවුනාම කෙළින් තියාගන්න පුළුවන් වෙන්නෙ ශරීරයෙන් උඩ කොටස පමණයි. උජුං කායං කියන වචනයේ ගැබ් වෙලා තියෙන අධ්‍යාත්මික අදහසක් තියෙනවා. කාය ඍජුකා කියල වචනයක් තියෙනවා. කාය ඍජු කරනවා කියන අදහසයි මෙතන තියෙන්නෙ. අවංකත්වය ඍජුයි. වංකත්වය ඇදයි. මෙච්චර කලක් පංච කාම ආස්වාද කියල ඇදගත්ත ඒව තමයි ගොඩගහගෙන තියෙන්නෙ. පංච කාමයට වහල් වෙලා ඒ ආස්වාද අරමුණු ඇදගන්න ගියාම ඍජු වෙන්න බෑ. එසේ ඍජු කායං වෙන්න නම් කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන්ව සිටින්න  ඕන. භාවනාව කරන තැනැත්තා “මම කාමයන්ගෙන් මිදිලයි ඉන්නෙ. මගේ මුඛ්‍ය අරමුණ විමුක්ති සුවය හෙවත් නිවනයි” කියා ඍජුං කායං වෙන්න  ඕන.

මීළඟට තියෙන්නේ “පරිමුඛං සතිං උපට්ඨ පෙත්වා” කියන සතිය පිහිටුවා ගන්නා ආකාරයයි. පරිමුඛං කියන්නෙ මුඛ පරිමණ්ඩලය හෙවත් උඩු තොල් මත ආස්වාස ප‍්‍රාස්වාස වාතය ගෑවෙන තැන කියලයි ඇතැම් අය පෙන්වා දීල තියෙන්නේ. නමුත් පරිමුඛං යන වචනය අටුවාවල විස්තර කරල තියෙන්නෙ නිවන කියලයි. ඒ අනුව භාවනාව වඩන තැනැත්තා හිත පිහිටුවා ගන්න  ඕන නිවනටයි. භෞතික වශයෙන් ශරීරයේ උඩු තොල මත හුස්ම වදින තැන හිත පිහිටුවා ගැනීමයි, අධ්‍යාත්මික වශයෙන් නිවනට හිත පිහිටුවා ගැනීමයි කියන්නෙ කාරණා දෙකක්.
අනිච්ච වූ, දුක්ඛ වූ, අනත්ථ වූ ලෝකයේ මට හිත පිහිටුවා ගන්න තැනක් නෑ කියල දැක්කම, ශාන්ත වූ ප‍්‍රනීත වූ නිවනට හිත පිහිටනවා. නිවන අරමුණු කරගෙන ලබන්නා වූ සමාධිය ආර්ය සමාධියක් කියලයි බුදුපියාණන් වහන්සේ දේශනා කරල තියෙන්නේ. මේ ආර්ය සමාධිය ලැබූ ආර්ය උත්තමයන් දකින ඉන්දා, වරුණ, ප‍්‍රජාපතී ආදී දෙවිවරු මෙසේ පවසනවයි කියල දහමේ සඳහන් වෙනවා. “උතුම් අජානීය ධ්‍යායිතය ඔබට ධ්‍යාන ඇති බව අපට පෙනේ. එහෙත් ඔබගේ අරමුණ අපට නොපෙනේ. ඔබට දුර සිට කරන අපගේ නමස්කාරය වේවා.” නිවන මුල් කරගෙන ආර්ය භාවනාව වඩන කෙනෙකුගේ අරමුණ කිසිම මාර පාක්‍ෂිකයෙකුට දකින්න බැරි වීම මේ භාවනාවේ තියෙන වැදගත්ම දෙයක්. භාහිර ලෝකයේ යම් තැනක හෝ ශරීරයේම වෙනත් තැනක හෝ හිත තියල භාවනාව වැඞීම ලෝක පැවැත්ම තුළම හිත තැබීමක් වෙනවා. නමුත් මේ කියන අධ්‍යාත්මික තත්ත්වයට ආවම ආනාපාන සති භාවනාවෙන් සැනසීම ලබන අවස්ථාව උදා වෙනවා.

ආනාපාන සති භාවනාව වඩන කෙනෙක් විවේක නිශ‍්‍රිත, විරාග නිශ‍්‍රිත, නිරෝධ නිශ‍්‍රිත, වොස්සග්ග පරිනාමී කියන කරුණුවලට අනුකූලවයි භාවනාව පටන් ගන්න  ඕන. භාවනාව වඩන තැනැත්තා නිවනට හිත නොතබා ලෝකය තුළම යම් දෙයකට හිත තියා ගත්ත නම් විවේක නිශ‍්‍රිත  වෙන්නෙ  නෑ.  අවිවේකී ස්වභාවයකුයි උදාවෙන්නෙ. විරාග නිශ‍්‍රිත නෑ. කාම රාගික, රූප රාගික, අරූප රාගික අරමුණුවලින් යුක්තයි. නිරෝධ නිශ‍්‍රිත නෑ. ලෝකය තුළ සැරිසැරීමටයි කැමති වෙන්නෙ. වොස්සග්ග පරිනාමී කියන්නෙ සංසර්ගය යන වචනයෙන් පෙන්වන අදහසට විරුද්ධ පැත්තයි. සංසර්ගය තියෙන්නේ ලෝකය තුළයි. එයින් වෙන්වීම නිවනයි. මේ අනුව නිවනට හිත නොතියා ආර්ය භාවනාවක් වඩන්න බෑ.

ලෝකය වටිනවා කියන මුලා දෘෂ්ඨිය නිසා හටගත්තා වූ කර්ම විපාක ඵලයක් ලෙස මේ කය ලබාගෙන ඉන්න මම, තවදුරටත් ඒ පස්සෙ ගියොත් ඊට අනුකූල කර්මයක් ගොඩනගාගෙන සසර ගමනක් හදා ගන්නවා. අසාර වූ මේ කයෙන් නිදහස් වුනා නම් සසර ගමන නවතන්න පුළුවන් කියන අදහස ඇවිත් ඒ අනුව කටයුතු කරන කොට ඒ තැනැත්තා තුළ කාම වස්තු කෙරෙහි යම් බැඳීමක් තිබුණ නම් කාමච්ඡුන්ද නීවරණය දුරු වෙනවා. ලෝකෙට බැඳිල කටයුතු කරන කොට, තමන් කැමති දේවල් නොලැබීම නිසා ඒවායේ ගැටෙන ස්වභාවයක් තිබුණ නම් බැඳීමේ අසාරත්වය දැකල ඒවා අත්හරින කොට ඔහු තුළ තිබූ ව්‍යාපාද නීවරණයත් දුරු වෙනවා. කාමච්ඡුන්දය සහ ව්‍යාපාදය නිසා ලෝකය හා තිබුණු සම්බන්ධතා දුරු වුනාම ආර්ය මග ප‍්‍රගුණ කිරීමේදී ප‍්‍රියයි මනාපයි කියල අල්ල ගත් ලෝකයෙන් අත්හැරී, නොඇලී, මිදී යන්න බැරුව එතැන නවතින මිදෙන ස්වභාවය හෙවත් ථීනමිද්ධය හෙවත් ඇතිවන කම්මැලිකම දුරු වෙනවා. එසේම ලෝකය තුළ ඇලීම ගැටීම දෙකෙන් ඉවත් වෙලා කටයුතු කරන කොට යම් උදහස් භාවයක් නිසා හටගත් උද්දච්ච කුක්කුච්ච යන නීවරණයත් දුරු වෙනවා. එසේම අත්හැරී, නොඇලී, මිදීම හැර වෙනත් සැනසුමක් නෑ කියල නිවනට උපනිශ‍්‍රය වන දේවල් ඇසුරු කරමින්, නිවනට බාධක වන දේ පහ කරමින් ඒ මාර්ගය ගැනත් නිවන ගැනත් සැකයක් නෑ කියල ආර්ය මග වඩන කොට විචිකිච්චා නීවරණයත් දුරු වෙලා යනවා.

මේ නීවරණ දුරු වෙලා කාම, ව්‍යාපාද, විහිංසා (විවිධ හිංසා) කියන සංකල්පනා දුරු වෙලා චිත්ත ප‍්‍රබෝධයක් ඇති වෙන කොට ඒ භාවනාව වඩන ආර්ය පුද්ගලයාට නිරාමිස ප‍්‍රීතියත්, නිරාමිස සුඛයත් දැනෙන්න පටන් ගන්නවා. මේ නිරාමිස ප‍්‍රීතිය නිසා “පී‍්‍රති මනස්ස කායෝ පස්සද්ධති” යනුවෙන් මේ ප‍්‍රීතිය ඇසුරු කිරීමෙන් කය සැහැල්ලූ බවට පත්වෙනවා. මේ නිරාමිස ප‍්‍රීතියත් සුඛයත් තුළින් ඇතිවන ධ්‍යාන ලක්‍ෂණ පිළිබඳව ඉදිරි ලිපිවලින් බලාපොරොත්තු වන්න.

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණ දහම් කරුණු ඇසුරින් සකස් කළේ :
ඇල්. අමරසිංහ (විශ‍්‍රාමික ලංකා බැංකු ජ්‍යෙෂ්ඨ කළමනාකරු)
පිළියන්දල.

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.

3 thoughts on “ආනාපාන සති භාවනාව සඳහා අධ්‍යාත්මික පරිසරය සකස් කරගැනීම

  1. Pingback: ආනාපාන සති භාවනාව තුළින් කාය සංඛාර සංසිඳවීම හා දැහැන් සුවයට පත්වීම | හෙළ බොදු පියුම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *