ලෞකික හා ලෝකෝත්තර දැහැන්වල වෙනස

පසුගිය කලාපයෙන් – (ලෞකික හා ලෝකෝත්තර දහම් මාර්ගවල වෙනස වටහා ගනිමු.)

දැහැන් හෙවත් ධ්‍යාන කියන්නේ දවා හරිනවා කියන එකයි. දවා හරිනවා කිව්වම මානසිකව ඇතිවන ක්ලේෂයන් දවා හැරීමත්, කයේ ඇතිවන වෙහෙස දවා හැරීමත් කියන මේ දෙකම අයිතියි. රහතන් වහන්සේට දවා හරින්න ක්ලේෂයන් නැති නිසා උන්වහන්සේ ධ්‍යාන කරන්නේ කයේ දාහ ගතිය නැතිකරගෙන ඉහාත්ම සුඛ විහරණය සඳහායි.

ලෞකික ධ්‍යාන ලැබීමේදී හිත පිහිටවන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, නීල, පීත, ලෝහිත ආදී රූප අරමුණකටයි. ඒවායේ සුවය ලැබෙන්නේ කොහොමද? මේවා රූප අරමුණු වුවත් කාමච්ඡන්දයට (කාමයන් නිසා සිතේ අන්ධ භාවය ඇතිකරන) බැඳෙන රූපාකාර නොවන නිසා ප‍්‍රභල වූ ඇලීම් ගැටීම් ඇතිවෙන්නෙ නෑ. විතර්ක (විවිධ අරමුණුවල තරයේ කාවැදීම) හෙවත් අරමුණකට නැංවීමේදී එම උද්ගහ (ඊට අනුව මනසින් ඔසවා ගන්නවා, දරා ගන්නවා) නිමිත්තෙන් ලැබෙන පටිභාග (ඊට අනුකූලව ප‍්‍රබෝධය නැගී එන) අරමුණකට යොමු වෙනවා. එම අරමුණේ හෙවත් පටිභාග නිමිත්තේ හිත හැසිරවීම් වශයෙන් විචාර (එහි විවිධාකාරයෙන් හැසිරීම) කරනවා. ඇලීම් ගැටීම් තදින් නැති නිසා ශාන්ත බවක් දැනෙනවා. එතැනත් එක්තරා ප‍්‍රීතිමත් (පිරී ඉතිරී යන බව – ප‍්‍රීති) සැනසීමක් තියෙනවා. එක්තරා ශාන්ත භාවයක් නිසා ඇතිවන සුඛයක් (කයට සුවය දැනෙන බව – සුඛ) තියෙනවා. එහි ඇලෙන බැඳෙන සිත ඒ අරමුණම ගනිමින් ඒකාග‍්‍රතාවයක් (ඒකීය භාවය අග‍්‍ර කිරීම) දරනවා. නමුත් කෙලෙස් අනුශය පහ වෙන්නෙ නෑ. සිද්ධ වෙන්නේ ඇලීම් ගැටීම් විද්‍යමාන නොවීම පමණයි.

පඨවි සංඥා, ජල සංඥා, වායු සංඥා, ගිනි සංඥා, නොයෙක් වර්ණ සංඥා ආදිය කාම සටහන් නොවන නිසා ඒවා අරමුණු කරගෙන ගොඩනැගෙන සිත රූපාවචර සිතක ස්වභාවයට පහළ වෙනවා. කාමච්ඡන්දය මුල්කර ගත් පංචනීවරණ තදංග වශයෙන් එම හිතේ යටපත් වීමයි මෙහි ස්වභාවය වන්නේ.

චතුර්ථධ්‍යානයත් එහෙමයි. අරමුණේ නිරායාසයෙන් හිත පිහිටනවා. උත්සාහයෙන් හසුරවන්න උවමනා නෑ. ප‍්‍රීතිය, සුඛය ගැන බලාපොරොත්තුවක් නෑ. උපේක්‍ෂාවේ සිටිනවා. අරමුණක ඇලීමක් නිසා ඇතිවන සමාධියකුයි තියෙන්නේ. නමුත් කෙලෙස් අනුශය පහ වෙන්නෙ නෑ. වෙනස නම් සමවතේදී කාමාවචර (කාමයන්ගේ හැසිරීම) කෙලෙස් මතු නොවීම පමණයි.

නමුත් ශාසනික වූ ප‍්‍රථමධ්‍යානය තුළ කාම රාග (කාමය අග‍්‍ර කරගෙන සැරිසැරීම) අනුශයවත් නෑ. චතුර්ථධ්‍යානය තුළ අවිද්‍යා අනුශයවත් නෑ. සර්ව පවිත‍්‍රයි. කෙලෙස් අනුශය සමග දැහැනක් තියේ නම් ඒ දැහැන විෂභාග (විරුද්ධ අරමුණක්. උදා: වීතරාගයට රාගය විරුද්ධයි. වීත දෝශයට ද්වේශය විරුද්ධයි) අරමුණක් නැගුනු විට බිඳ වැටෙනවා. කෙලෙස් අනුශය නැගී සිටියොත් එහෙම වෙනවා. හුස්මට හිත පිහිටුවා හෝ ආලෝක නිමිත්තට හිත තබා හෝ වඩන ධ්‍යානයට සංඛාර සම්බන්ධයක් තියෙනවා. ලෞකික අරමුණු අයත් වන්නේ සංඛාරවලටයි. බෝසතාණන් වහන්සේ ආලාර කාලාම, උද්දකාරාම පුත්ත යන දෙදෙනා ළඟම වැඩුවේ මේ ලෞකික ධ්‍යානයි. බුද්ධත්වයට පත් වූ පසු ඒවායේ තතු දැනගෙන (ඊට පෙරද අනුමානයෙන් දැන) ඒ මාර්ගය දුකයි, අනාර්යයි, අනර්ථ සහිතයි, අත්තකිලමතානු යෝගයයි කියා අත්හැරිය යුතු බව ධම්මචක්කප්පවත්තන සූත‍්‍රයේදී දේශනා කළා.

ආනාපාන සති භාවනාව වඩා පවිත‍්‍ර වූ පිරිසිදු වූ, ප‍්‍රභාෂ්වර සිතින් යුක්ත වූ චතුර්ථධ්‍යානය වැඩූ බවත්, ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් බවත් පෙන්වා තියෙනවා. මෙහිදී ආනාපාන සතිය ලෙස හුස්ම අරමුණු කළා නම් සංඛාරයක්ම අරමුණු කළා වෙනවා. එහෙම වුනා නම් ඒක ලෞකිකයි. මේ නිසා ආනාපාන සතිය කියා අද කරන භාවනාව ගැන සිතා බැලිය යුතුයි.

උපතක්, මරණයක් සහ අතර වෙනස්වීමක් ඇති කෙබඳු ආකාර වූ හෝ නාමයක් හෝ රූපයක් වේ නම් ඒක සංඛතයක්. සංඛතයකින් යම් ස්වභාවයක් ගොඩනගන්න කරන අභිසංකරණයට සංඛාර කියල කියනවා. හුස්ම උඩට ගන්න හෝ පහත හරින්න හිත තිබ්බොත් ඒ යොමු වුනේ සංඛතයකට යි. එයින් යම් සුවයක් ගොඩනගන්න කරන වැඩ පිළිවෙල සංඛාරවලට අයිතියි.

සමාධි (සමයට ඇදී සිටීම) යන වචනය කියන විට සියළු සමාධි එකාකාර නොවන බවත් දැනගත යුතුයි. මිත්‍යා සමාධි කොටසක් ඇති බවත් දේශනා කරල තියෙනවා. යමෙකුට මිත්‍යා දෘෂ්ඨියක් ඇත්නම් එයින් මිත්‍යා සංකල්පනාත්, මිත්‍යා වචනත්, මිත්‍යා කටයුතුත්, මිත්‍යා ආජීවයත්, මිත්‍යා ව්‍යායාමයත්, මිත්‍යා සතියත්, මිත්‍යා සමාධියත් ලැබෙන බවද, ඔහුට අසත් පුරුෂයා කියා කියන බවත් බුදු දහමේ සඳහන් වෙනවා. තවද මිත්‍යා ඥාණ හා මිත්‍යා විමුක්ති කියා අංග දෙකක් ඇති බවත්, ඒවා පූර්ණ වූ විට පරම අසත් පුරුෂයා කියා කියන බවත් සඳහන් වෙනවා. (මිත්‍යා ඥානයක් කියන්නේ මිත්‍යා සහගත දැනීමක්. උදා: කවුරු හරි රොකට්ටුවක් හඳට යවන්න, ඒ සඳහා අවශ්‍ය යාන වාහන නිෂ්පාදනය කරලා, ඒකම තමයි මේ ලෝකයේ සැනසුම, විමුක්තිය කියා, ගුණ ධර්ම කියන  ඒවායින් වැඩක් නෑ කියා, මෙවැනි මතයක ඉඳගෙන කටයුතු කරනවා නම් ඒකෙන් ලැබෙන්නෙ මිත්‍යා විමුක්තියක්. ඒක හදන්නෙත් එක්තරා ඥානයකින්. නමුත් ඒක වර්ණනා කරන්නේ මිත්‍යා ඥානයක පිහිටලයි.)

ඒ නිසා මිත්‍යා සමාධි කියන්නේ ආලාර කාලාම වැනි අයගේ සමාධිය නෙමෙයි, මොනම ගුණ ධර්මයක්වත් නැති පාපතර දෘෂ්ඨියෙන් නැගෙන, එම ගතියේ පිහිටීමකින් ලැබෙන තත්ත්වයක් බවත් තේරුම් ගත යුතුයි. ඒක අපායට අයිතියි. ආලාර කාලාම, උද්දකාරාම පුත්ත වැනි අය ලබා තිබූ සමාධිය කර්ම ඵල ඇදහීම් සහිත නිසා ඒක කම්මස්සකථ (කර්මයන්ට අනුකූලව විපාක ලැබීම) සම්මා දිට්ඨියෙන් ලැබෙන සමාධියක්. එහි හිමිකම බඹ ලොවටයි. ධ්‍යාන සම්මා දිට්ඨියත් මීට ඇතුලත්.

බුද්ධ ශාසනයේ සමාධි පහළ වෙන්නේ ඥාන සම්මා දිට්ඨිය මුල්කර කටයුතු කරන අයට පෙර සසර වඩා ඇත්නම් ඒ ගතිය මතු වීමෙන් නිරායාසයෙන්මයි. ඊට හේතුව වැඩූ සමාධියක් ඇති අයගේ එම බලය නැති වන්නේ නැවත කාමච්ඡුන්ද ආදී නීවරණ මතු වූ විට නිසයි. ලෝකයේ කාමයෝ නිස්සාර ලෙස වැටහෙන මාර්ග ප‍්‍රඥාව වඩන විට මේ කාම අරමුණු ප‍්‍රහීන වෙනවා. නීවරණ පහ වෙනවා. එවිට පෙර සසරේ වැඩූ දැහැන් ශක්තියත් මතු වෙනවා. එයින් එවැනි උතුමන්ට නිරායාසයෙන් එම දැහැන්වලටත් සමවදින්න පුළුවන් වෙනවා. නමුත් ඒක උත්සාහයෙන් ලබන්නක් නෙවෙයි. ඒ දැහැන් නොලැබුනත් මගඵල ලබන්න බාධාවක් නෑ. ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේලාට (ප‍්‍රඥා විමුක්ත) එබඳු දැහැන් බල නෑ. නමුත් දුක් නැසීමට තවත් කළ යුත්තක් ද නැති උන්වහන්සේලාට ලෞකික දැහැන් වැඞීමට උවමනාවකුත් නෑ. නිවන ශාන්ත ප‍්‍රනීත ලෙස දකින ලෝකෝත්තර ඵල සමාධි තලවලින් පසු කලෙක නිරායාසයෙන් ඉහාත්ම සුඛ විහරණය දෙන ලෙස ධ්‍යාන ලැබීමට පුළුවන්.

බුදු වෙන්න පෙර බෝසත් අවධියේදී ලැබිය යුතු ලෞකික දැහැන් සියල්ලත්, දිවැස දිවකන ආදී ඥාන සියල්ලත් අඩු නැතිව ලබාගෙන තිබියදීත් “මම මතු බුදු වේ නම් මේ රන් තලිය උඩුගම් බලා යාවා” යි කි‍්‍රයාවක් සිදු කළේ ඇයි? මේ මහා භද්‍රකල්පයේම බුදු වුණු බුදුවරයන් වහන්සේලා වන කකුසඳ, කෝණාගම, කාශ්‍යප යන තුන් බුදුවරයන් වහන්සේලාගෙන් නියත වශයෙන්ම මතු ගෞතම නමින් බුදුවන බවට නියත විවරණ අරගෙන, එකල තමාට මව වන, පියා වන, බෝසත් කුමාර අවධියේ භාර්යාව වන, දරුවා වන අයගේ නම් ගොත් ද, බුදුවන විට පිටදෙන බෝධීන් වහන්සේද ආදී සියළු විස්තරත් අසා දැනගෙන සිටියදීත්, අඩු ගණනේ අතීතයෙන් අන්තඃකල්ප හතලිහක් බලන්න පුළුවන්  දිවැසකින් මෙම කල්පයේ සිදු වූ අති විශේෂ සිද්ධීන් වන විවරණ ගැනීම දැක්කෙ නැද්ද?

මීට හේතුව නම් කෙලෙස් අනුශය සහිත ලෞකික දැහැනකින් එතරම්ම සුපිරිසිදු ලෙස දකින්නට නොහැකි වීමයි. (උදා :- ඇස් පෙනීම දුර්වල අයෙකුට ඈතින් තියෙන ගස්, ගල් ආදිය දැක ගන්න පුළුවන් වුනත් තමා ළඟ තියෙන පුවත්පතක අකුරු කියවන්න බෑ වගේ.) ලෞකික දැහැනකින් ලබන නුවණින්, පෙර විසූ කඳ පිළිවෙල බැලූවත් අවම වශයෙන් දකින්නේ අන්තඃකල්ප හතලිහක් පමණක් බවත්, ශාසනික නුවණකින් අසංඛ්‍ය කල්ප ගණන්ද බැලිය හැකි බවත් දහමේ සඳහන් වෙනවා. ලෞකික දැහැන්වලින් ලබන නුවණේ දුර්වල බව මෙයිනුත් වැටහෙනවා. සිදුහත් බෝසතානන් වහන්සේ තනිවම නිවන් මග සොයා බුදු වෙන්න පළමුවත් ගමන් කළේ ලෞකික දෘෂ්ඨියට නොබැඳෙන මගමයි. පර්යේෂණ මට්ටමින් ආලාර කාලාම ආදී අය ළඟ සිටින විට ඒ මාර්ගය අනුගමනය කළේ, ඒ ඒ කරුණු ගැන අත්දැකීම් ප‍්‍රායෝගිකවම දැන ඇති බව ලෝකයා දන්නා විට, මුලා නොවීම නියම දහම් මග ගැනීමට ලෝක සත්ත්වයන්ට ඒක රුකුලක් වන නිසයි. මොකද යමක් වැරදියි කියන කොට ඒක හදාරා බලපු කෙනෙක් හේතු ඇතිව කියන ප‍්‍රකාශය ලෝකයා විශේෂයෙන් පිළිගන්න නිසයි.

උන්වහන්සේ කුඩා කළ දඹරුක් සෙවනේදී ප‍්‍රථමධ්‍යානයට සමවැදිල හිටපු බව මූලික පෙළ පොත්වල සඳහන් වෙනවා. පසුව ලියපු පොත්වල ආනාපාන සතියෙන් ප‍්‍රථමධ්‍යානයට පත්ව සිටි බව හා අභ්‍යවකාශ ගතව සිටි බවත් පෙන්වා තියෙනවා. උන්වහන්සේම මාර්ගය සොයා යන්නට පටන්ගෙන ඒ සඳහා ආනාපාන සතිය අනුව අරි අටඟි මග වැඩූ බවත්, පටිච්ච සමුප්පාද දහම් මාර්ගය අනුව නිවන් මග දැකපු හැටිත් පෙන්වීමට පෙළ දහම් පොත් සාක්‍ෂි දරණවා. (මේ ආනාපාන සතිය ආර්ය වූ ආනාපාන සතියයි)

එහෙනම් කෙලෙස් අනුශය නැති ලෝකෝත්තර දැහැන් ලබන්නේ කොහොමද? ලෝකයේ නිසරු බව දකිමින් මේ හේතුවෙන් මෙබඳු ඵලයක් වේ, මේ හේතු නිරෝධයෙන් මෙබඳු ඵලය නිරෝධ වේ යන්න දනිමින් දකිමින් තමන් දැනගන්නා වූත්, විඳින්නා වූත්, රැුස්කරන්නා වූත්, පතන්නා වූත් දේවල් පිළිබඳව අනිච්ච බව, දුක් දාහ බව, අනාථ බව, විපරිනාම බව (කැමැත්තට විරුද්ධ පරිනාමය) නිසා සාරත්වයක් නැති බව දකින කොට, ලෝක සත්ත්වයා විශාල වටිනාකමක් ඇති විදිහට සිතන ලෞකික සම්පත්වල (කාම, රූප, අරූප) එබඳු වටිනාකමක් නැති බව වැටහෙනවා.

සත්‍යයට අනුව මෙසේ දකින විට ක‍්‍රමයෙන් මෙහෙම හිතෙනවා. වටිනාකම වැඩියි කියා සිතන තරමට සත්ත්වයෝ සම්පත් සමග පොර බදනවා. මෙහිදී සම්පත් කියන කොට රන්, රිදී වැනි දේවල් පමණක් නෙවෙයි කෙනෙකුට කිසිත් නොවටිනා දෙයක් තවත් කෙනෙකුට සම්පතක් විදිහට පේන්න පුළුවන්. ගහක ගෙඩියක්, රෙදි කැබැල්ලක් මුල්කරගෙන වුවත් එහි අයිතිය සඳහා මිනී මරාගන්න තරම් සමහරුන්ට ඒවා වටිනවා. එහෙම වෙන්නේ යථාර්ථය නොවැටහෙන තරමටයි. සම්පත් කියන ලෞකික වස්තුවල නිසරු බව දකින කොට ලෝකයා මේ ලෞකික වස්තුවලට ප‍්‍රාණඝාත කරන, මහත් හිංසා කරන, හොර මැර වංචා කරන, සුරා සූදු දුරාචාර කරන, බොරු කේලාම් පරුෂ වචන ප‍්‍රලාප කියන, දැඩි ලෝභයෙන් මසුරුකම් කරන, මානයෙන් උදම් වන, දාහයෙන් ගැටෙන මුලාව නිසා කිසිම ගුණ දහමක් තේරුම් ගන්න බැරිව, ඒ වස්තූන්වලටම ඇලී ගැලී ප‍්‍රමාදීව වාසය කරමින් අනේක විධ දුක් දාහයන් විඳින හැටි පේන්න පටන් ගන්නවා. මේවායේ නිසරු බව දකින බෞද්ධයාට නිසරු බව දිනෙන් දින මනා සේ වැටහෙනවා.

උපමාවක් ගත්තොත් මැණිකක් යයි වීදුරු ගලක් අරගෙන ඊට පොරකන, එකිනෙකා කුලල් කාගන්නා පිරිසක් දැක්කොත් මැණික් හඳුනන කෙනෙකුත් ඊට සහභාගි වෙලා පොරකයිද? නැත්නම් පොරකන පුද්ගලයන්ගේ මුලාව දකීද? මුලාව වැඩි තරමට ගිනි ගත් හදවතින් යුතුව ලෝකයා කරන විනාශයන් දකින කොට නිසි තතු දැනගත් කෙනාට එබඳු දාහයක් කිසි විටෙකත් එන්නෙ නෑ. එසේම අනිච්ච වූ, දුක්ඛ වූ, විපරිනාම වූ, අනත්ථ වූ කාම, රූප, අරූප යන භවයන්වල නිසි තතු වැටහෙන බෞද්ධයාට මේ ලෞකික වස්තුවල වටිනාකම් සොයමින්, ඇලෙන ගැටෙන මුලාවෙන් වෙලෙන ලෝක සත්ත්වයා මනා සේ පේන්න පටන් ගන්නවා. ඒ බෞද්ධයාට එබඳු නිසරු දේවල් පිළිබඳව හාරා අවුස්සන හෝ පහළ වෙන හැටි හොයන්නට, පවතින හැටි පර්යේෂණ කරන්නට හෝ උවමනාවක් හෝ එහි තේරුමක් නැති බව වැටහෙනවා. ඒ කොහොමද කියනවා නම්,

මැණික් හඳුනන්නාට, “වීදුරු ගල කොහෙන්ද ගෙනාවේ? හැදිල තියෙන්නෙ කොහොමද? ඒකෙ බර කොච්චරද? ඒක කාගෙද?….” කියන මේ ආදී කිසිවක් පිළිබඳව දැනගන්න උවමනාවක් නෑ. මැණිකක් කියල රැවටුන කෙනෙක් මැණික් හඳුනන්නා ළඟට ඇවිත් ඒක ලබාගත්තු හැටි, ඒ සඳහා කරපු උත්සාහය ආදිය කියනවා නම් සහ තමාට වටිනා දෙයක් ලැබුණ හැටි පවසත්දීත් මැණික් හඳුනන අය ඒක ගණන් නොගෙන යයි නම්, “ඔය යන්නෙ ඉරිසියාවට! දැක්කද මට හොඳක් වෙච්ච බව කියන කොට මූණෙ සතුටක් වත් නෑ” කියල මේ වගේ කතා කියනව ඔහුට ඇහුනොත් ඒ මැණික් හඳුනන්නා මොකක් හිතයිද? “මුලා වූවන්ගේ මුලාවක තරම! මොනව කරන්නද?” ඔහු මෙහෙම හිතාවි.

මැණික් ගැන දන්න කෙනාට ඒ ගැන කම්පා නැතත් මුලා පුද්ගලයෝ ඒ වීදුරු ගල නිසා පිස්සු බල්ලන් වගෙයි ඒ මේ අත දුවමින් කරන ක‍්‍රියා කතා කෙළවරක් නැති වෙනවා. මේ මුලාව තියෙන තාක් කල් ඔවුන් කෙසේ නම් කායික මානසික විවේකයක් සහනයක් ලබන්නද? මේ අසහනය, මානසික කැළඹීම මැණික් කියා එක වීදුරු ගලකට රැවටුන උදවියටයි. එහෙනම් ලෝකයේ මේ තියෙන තරම් ලෞකික වස්තුවල වටිනාකමට හිත තබාගෙන සිටින, යථාර්ථය නොවැටහෙන ලෝක සත්ත්වයින්ට මොන තරම් චිත්ත දාහයක්, කම්පාවක් ඇත්දැයි මේ උපමාව අනුව හිතා බලන්න  ඕන. ආර්යන්ගේ අකම්ප්‍ය වූ දැහැන් තත්ත්වය පෙන්වන්නයි, වඩාත් පැහැදිලි කරන්නයි මේ උපමාව මේ විදිහට පෙන්නුවේ.

මේ කාරණය වටහාගන්න තවත් උපමාවක් මෙසේය. දෙන්නෙක් නිධන් වස්තු ඇති ප‍්‍රදේශයක කැනීම් කටයුතු සිදු කළා කියල හිතමු. ඔවුන්ට නිධන් වස්තුවක තිබී පාත‍්‍ර දෙකක් හමුවුණා කියලත් හිතමු. නිධානයකින් මතු වෙච්ච නිසා රන් පාත‍්‍ර යැයි, ඉතා වටිනවා යැයි සිතා ඉන්නා මේ දෙන්නා ඒ දෙක බෙදාගෙන තම ගම්බිම්වලට ගෙනියනවා. මේ දෙන්නාට දැන් තියෙන්නේ පෙරදී නොතිබිච්ච මහත් චකිතයක්. දැන් වස්තුව මංකොල්ල කන හොරු ගැන හැම තිස්සෙම මැවිල පේනවා. අතරමගදී ගහක කොල කෑල්ලක් වැටුනත් මහත් කැළඹීමට පත් වෙනවා. මෙහෙම අරගෙන ගිහින් දෙන්නාම පාත‍්‍ර දෙක ඉතා සුරක්‍ෂිතව සඟවා තබා ගන්නවා. තම දරුවන්ටත් ඉතා රහසිගතව මේ ගැන පවසනවා. මේ දෙන්නටත් ඒ අයගේ දරුවන්ටත් දැන් තියෙන්නේ මහත් භයක්, පෙර නොවූ විරූ තැති ගැන්මක්. නමුත් ඒ සියළු භය තැතිගැනුම් යටපත් කරගෙන ඒකෙ වටිනාකම ගැන හිතන කොට සතුටක් මතුවෙනවා.

මේ දෙන්නාම පසුව මිය ගියා කියල හිතමු. දැන් පාත‍්‍ර දෙක බෙදාගන්න මහත් පරිශ‍්‍රමයක් දරන්න එම දෙපිරිසේ අයටම සිද්ධ වෙනවා. සමහර අය අයිතිවාසිකම් කියනවා. ඒක බාර දුන්නේ මටයි, කිසිවෙකුටත් අයිති නැතැයි කියල කෙනෙක්  තමන්ගේ  වාසියට අයිතිවාසිකමක් හදා ගන්නවා. අනිත් අය දාහයෙන් දැවෙනවා. කෙනෙක් ගහමරා ගන්න හිංසා කරන්න පෙළඹෙනවා. තවත් කෙනෙක් කොහොම හරි සොරකම් කරන්න හිතනවා. තව කෙනෙක් එයින් කොටසක් හෝ ලබාගන්න බොරු ඇලූම්කමක් පෙන්වනවා. හිත ගන්න, රවටන්න බොරු කියනවා. බිඳවන්න කේලාම් කියනවා. තව කෙනෙක් පරුෂ බවට පත්වෙලා බැණ වදිනවා. තවත් කෙනෙක් කරකියා ගන්න දෙයක් නැතිව ලතැවෙනවා. තවත් කෙනෙක් වාසියට හෝයියා කියමින් ප‍්‍රලාප දොඩවනවා. දැන් මේ කාටවත් සතුටක් නම් නෑ. සමගිය අහලකවත් නෑ. මොන යුක්තියක්ද? තමන්ගේ බඩ වඩාගන්න අදහසින් නොයෙක් විපරීතයන්ට බහිනවා. පාත‍්‍රයේ වටිනාකම ගැන මතක් වෙන කොටත් නොලැබුණ අයට මහත් දාහයක් එනවා.  ඕක අතහැරල දාල නිහඬ වෙන්න කියල කවුරු හරි කිව්වොත් ඔහුටත් බැණ වදිනවා.

මේ ගෙවල් දෙකේම මෙබඳු අවස්ථා බලවත් වෙනවා. මෙයින් එක් කෙනෙක් රහසිගතව පාත‍්‍රය විකුණ ගන්න වෙළෙන්දෙක් ගෙන්වා හෝ පාත‍්‍රය ගෙන ගොස් පෙන්වා හෝ වටිනාකම බලවනවා. රන්කරුවා ඒක උරගා බලා පිත්තල බව සනාථ කරනවා. දැන් ඇති වෙන්නෙ මහත් ශෝකයක්,  කළකිරීමක්.  සියළු බලාපොරොත්තු සුන් වෙලා ගිය බව දැන් වැටහෙනවා. නැවත නැවතත් සැක හැරෙන තුරුම පරීක්‍ෂා කර බලා එහි කිසි තැනක රන් වටිනාකමක් නැති බව වටහා ගන්නවා. බලාපොරොත්තු සුන් වීමෙන් තිබිච්ච කණගාටුව දැන් ක‍්‍රමයෙන් ගිලිහිලා යනවා. ඒක පරිහරණය කළා නම් වෙන්න තිබිච්ච මහා රැවටීම දැන් පේනවා. මේ නිසා දැන් සැඟවීම් නෑ.

දැන් ඒ පාත‍්‍රය එළියට අරගෙන හැමෝටම පෙන්වා කැමති කෙනෙකුට ගන්න පසෙකට දානවා. කවුරුත් විඳපු දාහය, ඒ නිසා වූ කම්පා වීම, වැටී හිටපු මුලාව, වටිනා වස්තුවක් බෙදාගන්න බැරිව තිබූ දාහය කියන මේ සියල්ල දැන් මනාව වැටහෙනවා. පාත‍්‍රයේ වටිනාකම සිතා සිටින තුරු කිසි දිනක බහින්න බැරිව හිටපු දැහැමි බවට දැන් බහින්න පුළුවන්. පාත‍්‍රය නිසා තිබිච්ච වික්‍ෂිප්ත භාවය දැන් අහලකවත් නෑ. මේ තමයි එක ගෙදරක තත්ත්වය.

අනිත් පාත‍්‍රය තිබිච්ච ගෙදරත් මහත් අරගලයක් වෙලා පාත‍්‍රය එකෙකු විසින් ගෙන ගිහින් කිසිවෙකුටත් ගන්න බැරිවෙන්න   පුරා   විද්‍යා දෙපාර්තමේන්තුවට බාර කරනවා. දැන් ඒ ගෙදර අයත් සන්සුන්. ඒ අයටත් පාත‍්‍රයේ වටිනාකම හිමි කරගන්නා අදහස සහමුලින්ම අත්හරින්න සිදුවීම නිසා ඒ ගෙදරත් කලබලය දැන් සංසිඳිලා. නමුත් මේ අවස්ථා දෙකේ වෙනසක් දකින්න පුළුවන්. මේ දෙවනියට සඳහන් කළ අයට සන්සුන් බව ලැබුණු ක‍්‍රමය එකක්. උරගා බලා පිත්තල බව දැනගත් පළමුව සඳහන් කරපු අයට සන්සුන් බව ලැබුණේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකින්.

දැන්  මේ දෙවන අවස්ථාව ගත්තොත් මෙතනදී පාත‍්‍රය ලෞකික වූ කාම, රූප, අරූප සම්පත් ලෙසත්, එය ඇසුරු නොකර සිටීමෙන් ලබන සමවත පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට පාත‍්‍රය භාරදුන් අයගේ නිහැඬියාව ලෙසත් උපමාවක් විදියට දැනගත යුතුයි. නමුත් මේ අයට නැවතත් පාත‍්‍රය ඇසුරු කරන්න ලැබුණොත් පෙර සේම ඇලීම බැඳීම ඇති වෙනවා, කම්පාව, බිය ඇතිවෙනවා. පාත‍්‍රය නොතිබුණත්, කම්පාව නැතිව හිටියත් ඒක වටිනවා කියන හැඟීම එසේම තිබිච්ච නිසයි එහෙම වෙන්නේ. මොකද ඒ අය ඒක පිත්තල පාත‍්‍රයක් බව දැනගෙන නෙමෙයි බාරදුන්නේ, රන් පාත‍්‍රයක් කියන නිගමනයේම ඉඳගෙනයි බාර දුන්නේ.

පළමුව කියපු පාත‍්‍රය හිමි වෙච්ච නිවැසියන් ඒක උරගා බලා වටිනාකමක් නැති බව දැනගෙන අත්හැරීම කාම, රූප, අරූප කියන තුන් භවයම පිළිබඳ වූ සියල්ල විදර්ශනා නුවණින්, ප‍්‍රඥාව නමැති උරගලේ ගා බලා වටිනාකම හිස් බව දැනගෙන අත්හැරීම හා සමානයි. මේ අයට පාත‍්‍රය කොතැන තිබුණත්, හිස මත මුණින් නවා තැබුවත් ඒ පිළිබඳ ඇලීමක් හෝ බැඳීමක් හෝ ඇති නොවන්නා මෙන්, තුන් භවයේ සම්පත් නමින් හඳුන්වන සංඛාරයන් ඇසුරේ තිබුණත් නැතත්, ඇලීමක් බැඳීමක් ලෝකෝත්තර සමාධියෙන් සහ ප‍්‍රඥාවෙන් ඇතිවෙන්නෙ නෑ.

මේ විදිහට බුදු මග තුළින් ලෝකය දකින අයගේ අකම්ප්‍ය භාවය මහා බලවත්. විදසුන් නුවණින් ප‍්‍රඥාව නම් උරගලේ ගා සංඛාර ගැන බලා වටිනාකම නැති බව දැන ගැනීම, හිත නිදහස් වන ඉතා පහසු මගක් බව මෙතනින් තේරුම් ගන්න  ඕන. යම් ධ්‍යාන ඵල ලැබුවත්, අෂ්ඨ සමාපත්ති ලැබූවත් ඒවා පිත්තල පාත‍්‍ර ලැබුන වගෙයි ආර්යන්ට අමුතු අගයක් ගන්න හිතක් පහළ වෙන්නෙ නෑ. ඒ අනුෂය සමග කෙලෙස් බිඳී ඇති නිසයි. මේ තමයි ලෞකික සහ ලෝකෝත්තර ධ්‍යානවල වෙනස.

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණ දහම් කරුණු ඇසුරින් සකස් කළේ :
නීතීඥ චන්දන සිරිවර්ධන

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.

One thought on “ලෞකික හා ලෝකෝත්තර දැහැන්වල වෙනස

  1. Pingback: ලෞකික හා ලෝකෝත්තර දහම් මාර්ගවල වෙනස වටහා ගනිමු. | හෙළ බොදු පියුම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *