මාගධී ප‍්‍රාකෘත සහ උමතු ප‍්‍රාකෘත කියන මාතෘකා දෙකක් පිළිබඳව මේ කාලයේ ලිඛිත භාෂා විශාරද පිරිසකගෙන් අහන්න ලැබෙනවා. මේ පිළිබඳ විමර්ශනයෙන් නිසි තතු එළි දකින්නේ නම් එය ඉතාමත් වටිනවා. මේ කාලයේ ඉංග‍්‍රීසි භාෂාව ලෝක ව්‍යාප්ත වූ ලිඛිත සහ ව්‍යවහාර භාෂාවක් ලෙස භාවිතා කරනවාටත් වඩා, දැනට වසර 2550 කට පමණ පෙර ලෝක සම්මත භාෂාවක් ලෙස ලිවීමට සහ ව්‍යවහාරයට භාවිතා වී තිබුණේ සංස්කෘත භාෂාවයි. අද සිටින භාෂා විශාරද පින්වතුන්ට වඩා අති විශාල දැනුම් සම්භාරයක් ඒ කාලයේ සිටි භාෂා විශාරදයන්ට තිබුණු බව පැරණි කරුණු පිළිබඳව ලිය වී ඇති පොත්පත් ආදියෙන් පෙනී යනවා. එදා සිටි ඒ පිරිසට කිව්වේ ත‍්‍රීවේද පරප‍්‍රාප්ත බමුණන් කියලයි.

එනම් ඒ අය, නිඝණ්ඩු කෙටුභ (අදහස් කැටිකර සම්පිණ්ඩනය කළ) ශාස්ත‍්‍ර ශික්‍ෂා නිරුක්ති සහිත අක්‍ෂර ප‍්‍රභේද, ඉතිහාසය සහිත තී‍්‍රවේදය පරතෙරට උගත්, පද පාඨ සහ අන්‍ය වූ ව්‍යාකරණ විධි, ලෝකායතන ශාස්ත‍්‍ර, මහා පුරිස ලක්‍ෂණ ශාස්ත‍්‍ර ආදී ශාස්ත‍්‍ර විධි දැනගත් පිරිසක් බව දීඝ නිකායේ සෝත දණ්ඩ සුත‍්‍රාදී නොයෙක් සූත‍්‍රවල විග‍්‍රහ කර පෙන්වා තියෙනවා. උගත් මානයෙන් මත්ව සිටි මේ බමුණන්ගේ ති‍්‍රවිද්‍යාව ඉතා සුලුකොට තැකූ බුදුපියාණන් වහන්සේ රාග, ද්වේශ, මෝහ සහිත ඔවුන්ට මෙලොව දාහයන්ගෙන් දැවීමත්, පරලොව අපා භයත් ඇති නිසා ඔවුන්ගේ දත්තයන් කුමන ආස්වාදයක් අත්කර දෙන්නේදැයි විමසා අසාර කොට පෙන්වා තියෙනවා. එසේම නියම ති‍්‍රවිද්‍යාව නම් පූර්වේනිවාසානුස්සති, චුතූපපාත හා ආසවක්ඛය යන ඤාණයන් බවත්, ඒවා බුදු සව්වන්ගේ ත‍්‍රිවිද්‍යා බවත්, මොලොවත් පරලොවත් සියලූ සැනසීම ලබා දෙන බවත් මනාව පෙන්වා තියෙනවා.

මෙකී බ‍්‍රාහ්මණ වංශයේ ආරම්භයත් දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත‍්‍රයේ මනා සේ පෙන්වා තියෙනවා. දස අකුසලයෙහි ආදීනව දැක, අකුසල් බැහැර කර ආරණ්‍ය ආදියට වී භෝජන පිණිස පිඬුසිඟා යමින් ධ්‍යාන කළ නිසා ධ්‍යායකයෝ යන නම් වහර ලැබුණ හැටිත්, එසේ ධ්‍යාන කරන්නට  අපොහොසත්  අය ගම්නියම්ගම්වල වෙසෙමින් ග‍්‍රන්ථකරණය කරන්න පටන් ගත් නිසා මිනිසුන් ඔවුන් දැක, ධ්‍යාන නොකරන්නෙයි යන අරුතින් අධ්‍යායකයෝ යන නම් වහරක් ඇති කරගත් හැටිත් එහි පෙන්වා තියෙනවා. ඍෂිවරු කීවේ ධ්‍යානලාභීව අභිඤ්ඤා ශක්ති මතුකර ගත් පිරිසයි. ආධ්‍යාත්මික වූ ලෞකික නුවණට ගෝචර වන ලෝක විද්‍යාවන් එම ඍෂිවරුන්ගෙන් අතවැසිව සිට ලබාගත් පිරිසක් තමයි අධ්‍යායී පිරිස කියන්නේ. ඒ කාලයේ මේ කියන අධ්‍යායිකයන් පහත් කොට සැලකුවත් අද එම පිරිස ලෝකයා විසින් උසස් කොට සලකන බවත්, එම සූත‍්‍රයේ පෙන්වා තියෙනවා. අද ඒ කියන ධ්‍යායිකයෝ හිඟ නිසයි අධ්‍යායිකයන්ට මේ විදියට උසස් තැනක් ලැබිල තියෙන්නේ.

අධ්‍යාත්මික ඤාණයක් නොවුවත් පංචේන්‍ද්‍රිය ගෝචර මනසින් ලෞකික විෂයන් ප‍්‍රගුණ කරමින් පරපුරෙන් පරපුරට ආභාෂය ලබමින් ගෙනා ප‍්‍රගුණතාවයේ ප‍්‍රතිඵලයක් තමයි සංස්කෘත ලිඛිත භාෂා ශාස්ත‍්‍රය, භාෂා රීති, පද බෙදීමේ හා පද ගොඩනැගීමේ ක‍්‍රමවේදය කියන්නේ. ඔවුන්ගේ ශික්‍ෂා නිරුක්ති අක්‍ෂර ප‍්‍රභේද ආදිය ගොඩනැගුනේ මේ විදියටයි. අනාදිමත් කාලයක පටන් පැවත  එන මේ ක‍්‍රමවේදය නිසා බුද්ධ කාලය වන විට  ඕනෑම ලෞකික වූ සම්මත ව්‍යවහාර පද සාදාගත් නිරුක්ති රටාවන්ට අනුව සංස්කෘත  ලිඛිත  භාෂාවකට ගොඩනැගීමත්, අක්‍ෂර සහ සංඛ්‍යාත්මක ක‍්‍රම රටාවකට අනුව ගොඩනැගුනු ශ්ලෝක ආදිය ඇති චන්‍දස් නම් ශාස්ත‍්‍ර විධි ගොඩනැගීමත් සිදුවී තිබුණා.
සා මාගධී (මාර්ගයේ ආදීතම ශුද්ධ භාෂාව) මූල භාෂා යන බුද්ධ දේශනාව අනුව සියලූම ලෝක භාෂා විධි ගොඩනැගීමට පළමුව, බ‍්‍රහ්මකල්පීය මනුෂ්‍යයන් භාවිතා කර ඇත්තේ මාගධී භාෂාවයි. මේ භාෂාව කෙනෙකුගේ  ඕනෑ එපාකම් පිරිදි විවිධ දෘෂ්ඨීන්ට අනුව සැකසුන භාෂාවක් නොව මූලික හැඟීම් ප‍්‍රකාශ කරන භාෂා රටාවක්. මෙය ශුද්ධ මනසට ගෝචර වන හැඟීම් ප‍්‍රකාශ කරන, කථා කරන භාෂාවක් මිසක් ලිඛිත භාෂාවක් නොවෙයි. ලිඛිත භාෂාවන් කියන්නේ විවිධ උපක‍්‍රම මත ගොඩනගාගත් ක‍්‍රම වේදයන්. ඒ ඒ භාෂා විශාරදයෝ තම පරපුරේ ක‍්‍රම රටාවන් බිඳ හැරෙන්න නොදී රැුක ගැනීමට මහත් උත්සාහයක් දරමින්, වාද විවාද තර්ක විතර්ක ගොඩ නගමින් අද දක්වාම උත්සාහ   කරමින්   ඉන්නවා. “අත්තුක්කංසන පරවම්භන” කියන තමා සහ තමන් දත් දෙය උසස් කර ගනිමින් අනිකා පහත් කරන්න උත්සාහ කරමින් ආස්වාදයක් ලැබීම පෘථජ්ජන මනසක බලපවත්වන බලවත් මාර සේනාවක්. උගත් මානය කියන්නෙත් මේ හේතුවෙන් ඇතිවන දෙයක්. ලෞකික සම්මතයන්   හැඳීන්වීමට ගොඩනගාගෙන ඇති මේ ක‍්‍රමවේද තුළින් එම රාමුවෙන් ඉවතට යන්න බැරි ලෙස කොටුවෙලයි ඉන්නේ.

මෙසේ ගොඩනැගුණු සංස්කෘත ලිඛිත භාෂාව, ශික්‍ෂා නිරුක්ති සහිත අක්‍ෂර ප‍්‍රභේද පද පාඨ ආදිය බුදුපියාණන් වහන්සේ පෙන්වා වදාළ මාගධී නිරුක්ති හෝ මාගධී ප‍්‍රාකෘත නොව වේද නිරුක්තින්ය, වේද ප‍්‍රාකෘතයන්ය. මේවා ගොඩ නගා ඇත්තේ මහා බුද්ධ ඤාණයකින් හෝ ආර්ය ශ‍්‍රාවක ඤාණයකින් නොව පෘථජ්ජන බමුණන්ගේ (තී‍්‍රවේද පරප‍්‍රාප්ත යැයි උදම් වී සිටින) ක‍්‍රමවේද තුළින්ය. “සබ්බේ පුතජ්ජනා උම්මත්තකා”  යනුවෙන්  සියලූ පෘථජ්ජනයෝ උමතු වූවෝ යයි (මුලා මනසක් ඇති නිසා) දේශනා කර වදාළේ බුදුපියාණන් වහන්සේයි. එබැවින් උමතු ප‍්‍රාකෘත හෝ උමතු නිරුක්ති මොනවාදැයි විමසා බැලිය යුතුය.

චුල්ල වග්ගපාලි (2), 101 පිටුවේ අංක 140 කොටසේ මෙසේ සඳහන් වෙනවා. “මිහිරි වචන ඇති මිහිරි කට හඬ ඇති බ‍්‍රාහ්මණ ජාතික වූ යමෙළු, තෙකුල යන දෙබෑ මහණුන් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ, වැඳ පසෙක සිට මෙසේ කීය. වහන්ස, දැන් භික්‍ෂුහු නානාවිධ නම් ඇත්තා හු නානා ගෝත‍්‍රයෙන්, නානා ජාතියෙන්, නානා කුලයෙන් නික්ම පැවිදි වුවාහු වෙත්. ඔවුහු ස්වකීය නිරුක්තියෙන් බුද්ධ වචනය දූෂිත කරත්. වහන්ස, එබැවින් අපි බුද්ධ වචනය වෛදික භාෂාමය වාචනා මාර්ගයට නගම්හ.
මීට බුදුපියාණන් වහන්සේ දුන් පිළිතුරයි මේ. “හිස් පුරුෂයනි, තෙපි, වහන්ස, අපි බුද්ධ වචනය වෛදික භාෂාමය වාචනා මාර්ගයට නගම්හයි කෙසේ නම් මෙබන්දක් කියව්ද? හිස් පුරුෂයනි, මෙය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිසද, පැහැදුන වුන්ගේ වැඞීම පිණිසද නොවේ. වැලිදු මහණෙනි, මෙය නොපැහැදුනවුන්ගේ නොපැහැදීම පිණිසද, පැහැදුන ඇතැම් කෙනෙකුගේ වෙනස්වීම පිණිසද වේ. මහණෙනි, බුදු වදන චන්‍දසට (වෛදික භාෂාවට හෙවත් සංස්කෘත භාෂාවට) නොනැගිය යුතුය. යමෙක් නගන්නේ නම් ඔහුට දුකුලා ඇවැත්වේ. මහණෙනි, සකාය නිරුක්තියෙන් බුද්ධ වචනය පිරිවහන්න අනුදනිමි.”

මේ බුද්ධ දේශනාවෙන් පැහැදිලි වන්නේ බමුණන්ගේ ලිඛිත භාෂා, නිරුක්ති පද බෙදීම් ආදියට බුදුන් වහන්සේ කර ඇති නිග‍්‍රහයයි. තවද ලෝකායතන ශාස්ත‍්‍ර, තිරස්චීන විද්‍යා ආදියටද එසේම නිග‍්‍රහ කර  ඒවා හැදෑරීම නොකරන ලෙසත්, ඒවායින් මේ සසුනෙහි සාරයක් නොලබන බවත් පෙන්වා එසේ  කරන අයට (උපසම්පදා භික්‍ෂූන් මුල්කොට) දුකුලා (දුක් කටයුතු) ඇවැත් පනවා තියෙනවා. උපසම්පදා නොවුවත් අනෙක් ශ‍්‍රාවකයන්ටත් එ්වායින් සාරත්වයක් නොලැබෙන බව තේරුම් ගත යුතුයි.
දැන් සොයා බැලිය යුත්තේ මාගධී භාෂාවට ලිඛිත අක්‍ෂර ක‍්‍රමවේදයක් හෝ භාෂා නිරුක්ති සහිත අක්‍ෂර ප‍්‍රභේදයක් තිබුණාද යන්නයි. මාගධී කියන්නේ ව්‍යවහාර භාෂාවක් මිසක් ලිඛිත භාෂාවක් නොවෙයි. මාගධී භාෂාවට එබඳු ලිඛිත භාෂා ක‍්‍රමවේදයක් තිබුණු බවට සනාථ වන කිසිදු සාක්ෂියක්ද නෑ. එසේනම් පාලි හෝ සිංහල භාෂාවට වට අකුරු සහිත ලිඛිත භාෂා ක‍්‍රම වේදයක් ලැබුණේ කෙසේ දැයි සොයා බැලිය යුතුයි.

මෙම වට අකුරු ශාස්ත‍්‍රය බිහිකළ පුරෝගාමීන් කවුදැයි හරියටම නිශ්චය සාධක දැකීම උගහට වුවත්, ශ‍්‍රී ලංකා ප‍්‍රාචීන භාෂෝපකාර සමාගමට සියවසක් පිරීම නිමිත්තෙන් එම ශාස්ත‍්‍රීය සංග‍්‍රහයට “බෞද්ධ අධ්‍යාපනයේ ඉතිහාසය” නමින් ලිපියක් ඉදිරිපත් කරමින් 1955.09.10 දින පැවැත්වූ රැස්වීමකදී පණ්ඩිත ගුණපාල සේනාධීර මහතාගෙන් ලියැවුණු ලිපියක මීට ආධාරවන කරුණු රැසක් ගැබ්වී තියෙනවා. බු.ව. 900 ගණන්වල පටන් බු.ව. 1500 දක්වා කාලය තුළ ඉන්දියාවේ නාලන්දා සහ වික‍්‍රමශිලා යන විශ්ව විද්‍යාල ඉතා ජනප‍්‍රියව තිබුණු බවත්, විවිධ රටවලින් මෙන්ම ලංකාවෙන්ද භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිස් එහි ඉගෙනුම ලැබු බවත්, පාහියන් – හියුං එං සියෑං යන භික්ෂූන් වහන්සේලාගේ වාර්තාවල සටහන්වී ඇති බව එයින් පවසා තියෙනවා. එසේම සිංහල සාහිත්‍ය පොත් වන අමා වතුර, ධර්ම ප‍්‍රදීපිකාව ආදියේ කතෘ වන ගුරුළුගෝමී පඬිවරයාද නාලන්දා විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබු කෙනෙක් බවත් සඳහන්ව තියෙනවා. ලංකාවේ ථෙරවාදී භික්‍ෂු අධ්‍යාපනයට ලිඛිත භාෂා ක‍්‍රමවේදය මේ අයුරින් ලැබී ඇති බවට මෙය හොඳ සාක්‍ෂියක්.

මීළඟට පෙනී යන තවත් කරුණක් නම් මුල් කාලයේ සංස්කෘත භාෂාව බ‍්‍රාහ්මී අක්‍ෂර වැනි ක‍්‍රමයකින් තිබුණත් ලංකාවේ ඒවා දකින්නට ලැබෙන්නේ වට අකුරු ක‍්‍රමවේදයක් තුළින් වීමයි. අද අපි, පාලි ලිඛිත භාෂාව කියන්නෙත් සිංහල ලිඛිත භාෂාව කියන්නෙත් බුද්ධ වර්ෂ නවසිය ගණන්වලින් පසුව සංස්කෘත ලියන ශාස්ත‍්‍රය තුළින්ම නිපදවුනු ක‍්‍රම වේදයකටයි. පාලි සිංහල ලිඛිත භාෂාවල නිරුක්ති සහිත අක්‍ෂර ප‍්‍රභේද, ව්‍යාකරණ විධි වෙස්වලාගෙන පැමිණි සංස්කෘත භාෂා ක‍්‍රමවේදයක්ම බව පැහැදිලි වෙනවා. හරියට කොටියා කැලේ මාරු කළත් පුල්ලි මාරුවී නැතිවා වගෙයි. පාලි භාෂා ලිඛිත ක‍්‍රමවේදයේ නිරුක්ති සහිත අක්‍ෂර ප‍්‍රභේද ව්‍යාකරණ විධි සකස්වුණු බව පෙනි පෙනී තිබියදීත් ඒවාට මාගධී නිරුක්ති යැයි හැඳින්වීමක් මේ කාලයේ සිදුවී ඇත්දැයි විමසා බැලිය යුතුය.

ව්‍යවහාර භාෂාවෙන් ගෙනා මාගධී බුදු බස්වහර ග‍්‍රන්ථාරූඩ ගත කරන්නට ලිඛිත භාෂා ක‍්‍රමවේදයක් එදා නොතිබුණු නිසා මුඛ පරම්පරාවෙන් ගෙනා මාගධී ව්‍යවහාරය ඉහත කී භාෂා විශාරදයන් විසින් හැකි තරම් දුරට පෙළගස්වා පාලි ලිඛිත භාෂාවක් යැයි වට අකුරු ක‍්‍රමවේදයෙන් ගොඩනගා ඇති බවයි පෙනී යන්නේ.  ඔවුන්ගේ  පෘථජ්ජන මානසිකත්වයෙන් සකස් වුණු නිරුක්ති සහිත අක්‍ෂර ප‍්‍රභේද, ව්‍යාකරණ විධි රාමුවට කොටුකර තැබීමෙන් සිද්ධ වුණේ ධර්මාවබෝධයට ඉවහල් වන බුද්ධ දේශනාවේ එන නියම මාගධී ප‍්‍රාකෘතිය යටපත් වීමයි. මන්ද නියම මාගධී ප‍්‍රාකෘතයෙන් ලබන යථාවබෝධය, කෘතිමව සාදාගත් නිරුක්ති සහිත ප‍්‍රාකෘතයකින් ලබන්න බෑ, නියම දහම් අර්ථය ලබන්න බෑ. මීට උදාහරණයක් ලෙස මජ්:නි (2) 299 පිටුවේ එන මාගන්දිය සූත‍්‍රයෙන් වැදගත් දහම් කොටසක් පෙන්වා තියෙනවා.

“ආරෝග්‍යා පරමා ලාභා – නිබ්බානං පරමං සුඛං” මේ තියෙන්නේ බුදුපියාණන් වහන්සේ ප‍්‍රකාශ කළ උදාන වාක්‍යයක්. මෙය ඇසූ මාගන්දිය නම් බමුණා “භවත් ගෞතමයන් වහන්ස, මා විසින්ද ආචාර්ය ප‍්‍රාචාර්ය වූ පූර්ව පරිබ‍්‍රාජකයන් කියන මේ බස අසා ඇත්තේය. ඒ බසත් මේ බසත් දෙබසම සමානය” යනුවෙන් උත්තර දුන්නා. ත‍්‍රීවේදය දැනගෙන හිටි, භාෂා නිරුක්ති සහිත අක්‍ෂර ප‍්‍රභේද පද පාඨ හා ව්‍යාකරණ විධිවලින් දැනීම තිබුණු මාගන්දිය බමුණාට මේ ගාථාවේ නියම ශාසනික අර්ථය ලබන්නට ඒ භාෂා විධික‍්‍රමවලින් පිටිවහලක් ලැබී තිබුණේද යන්න ඔහු ඊළඟට බුදුපියාණන් වහන්සේ ඇසූ ප‍්‍රශ්නයට දුන් පිළිතුරෙන් පැහැදිලි වෙනවා.

“ආරෝග්‍යා පරමා ලාභා – නිබ්බානං පරමං සුඛං” ලාභයෝ ආරෝග්‍යය පරමකොට ඇත්තාහ. සුවය නිවන පරම කොට ඇත්තාහ. මාගන්දිය බමුණා දැනගෙන සිටි භාෂා නිරුක්ති සහිත අක්‍ෂර ප‍්‍රභේද හා පද පාඨ සහිත ව්‍යාකරණ විධිවලින් තේරුම් ගත්තේ මෙපමණයි. දැන් බුදු පියාණන් වහන්සේ බමුණාගෙන් මෙහෙම අහනවා.

“බමුණ ඒ ආරෝග්‍යය කවරේද? ඒ නිවන කවරේද?” මාගන්දිය බමුණා තම සිරුරු අවයව අත්ලෙන් පිරිමදිමින් ‘‘භවත් ගෞතමයෙනි, මේ ආරෝග්‍යයයි, මේ නිවනයි, මම ආරෝග්‍ය වෙමි, සුවපත් වෙමි’’ යි තම ශරීරය පෙන්වා ලෙඩ නැති බව කියමින් සතුටු වුනා. ඔහුගේ භාෂා දැනුමෙන් මේ සම්මතය ඉක්මවා ඉන් වැඩි යමක් දැනගන්න නොහැකි වුනා.

දැන් ඉතින් මේ කාලයේත් ආරෝග්‍ය ශාලාවල, ලේ දන්දීමේ ස්ථානවල, නොයෙකුත් ඖෂධ වර්ග විකුණන ස්ථානවල “ආරෝග්‍යා පරමා ලාභා” කියා දැන්වීම් පුවරු සටහන් කර ඇති ආකාරය දකින්න පුළුවන්. බුදු පියාණන් වහන්සේ මාගන්දි බමුණාට දුන් ඊළඟ පිළිතුර දැනගන්න පෙර මේ ගැන විමර්ශනය කර බැලිය යුතුයි.

පද ටික දැනගත්තට, ගලපන්න හැකි වුනාට, අක්‍ෂර ප‍්‍රභේද භාෂා නිරුක්තිවලට අනුව ලියාගෙන විමසුවාට, අදහස වැරදි නම් බුද්ධ දේශනාවට අනුකූල නැති බව තේරුම් ගත යුතුයි. බුද්ධ දේශනාවට ගැලපීම බලන්න ඉහත කී වේදක‍්‍රමවලින් බෑ. සතර මහාපදේශ ක‍්‍රමය අනුව ධර්මයට බහා බැලිය යුතුයි, විනයට සසඳා බැලිය යුතුයි, සූත‍්‍රයට බහා බැලිය යුතුයි. මෙතනදී සමහර සූත‍්‍ර, ත‍්‍රිපිටක ග‍්‍රන්ථවල ඇතුලත් වී නැති බවත්, ඒ ඒ කාණ්ඩවල ගැබ් වී ඇති සූත‍්‍ර ගණන කියා තිබුණත් ඒ සියල්ලම එසේ නැති බවත් ත‍්‍රිපිටක සංස්කාරක මණ්ඩලයේ ස්වාමීන් වහන්සේලා එම ත‍්‍රිපිටක පොත්වල සංඥාපනයේම පෙන්වා තියෙනවා. යම් හෙයකින් මේ සූත‍්‍ර කොටසත් එසේ ප‍්‍රමාද දෝෂයකින් හෝ සටහන් කරන්න නොහැකි වී පාරම්පරිකව ගෙනා කොටසක තිබී හමුවුනා නම් ඒක විනිශ්චය කරගන්නේ කොහොමද?

මොකද අද බොහෝ කොටම හිතන් ඉන්නේ යමක් සූත‍්‍ර පිටකයේ තිබේද, විනය පිටකයේ තිබේද, ඊට සමාන දේශනාවක්ද කියා සසඳා බැලිය යුතුය යන්නයි, බහා බැලිය යුතුය යන්නයි. නමුත් බහා බැලිය යුතු සූත‍්‍රයත්, ධර්මයත්, සසඳා බැලිය යුතු විනයත්, නෙත්ති ප‍්‍රකරණයේ පැහැදිලිව තේරුම්ගන්න පුළුවන් විදියට පෙන්වා තියෙනවා.
‘‘බහා බැලිය යුතු සූත‍්‍රය නම් චතුරාර්ය සත්‍යයයි, ධර්මය නම් පටිච්ච සමුප්පාදයයි, සැසඳිය යුතු විනය නම් රාග විනය – ද්වේශ විනය – මෝහ විනයයි. (නෙත්තිප්ප‍්‍රකරණය – 39 පිටුව – යුක්ති හාර විභංගය)

කයේ ලෙඩ නැතිකම සිහිකර යමෙක් ලාභයක් ලැබී ඇතැයි සතුටු වන්නේ නම් ඒ සතුට තියෙන්නේ ලෙඩ උරුමයක් වූ කයට ලොකු අසනීපයක්, රෝගයක් නොවනතුරු පමණයි. නමුත් කය කියන්නේ නොයෙක් දුක් දාහයන්ට නිරන්තරයෙන්ම ගොදුරු වෙමින් ගොස් වැහැරී මැරී යන කුණු ගොඩක්. එබඳු කයක පංචකාම ආස්වාද මාත‍්‍රයන්ට වහල්වෙලා ලබන්නේ මුලා සහගත සතුටක්. දුක් කඳක් මහා ලාභයක් ලැබුණු ලෙස ගත්, දුකෙහි සැප යැයි ගත්, එසේම අසුබයෙහි සුභ යයි ගත් විපරීත දෘෂ්ඨියක්. එම මුලාවෙන් නැගෙන ඡන්ද රාගය උපාදානයයි. උපාදානයෙන් භවය වෙනවා. භව තියෙන කල් ජාති වෙනවා. එවිට ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ආදී මහා දුක් කඳම උදා වෙනවා. ඡන්ද රාගයෙන් හිතන විට, කියන විට, කරන විට රාග වර්ධනය වෙනවා මිසක් විනය වෙන්නෙ නෑ. ඇලූම් කළ තරමටම විරුද්ධ දේවල් එන විට ගැටීම වෙනවා මිසක් ද්වේශ විනය වෙන්නෙ නෑ. මුලා අදහසක් නිසා මෝහය වෙනවා මිසක් මෝහ විනය වෙන්නෙ නෑ. එබැවින් කයේ නිරෝගී බව කෙරෙහි මුලා ආස්වාදය චතුරාර්ය සත්‍යාවබෝධයට බහා හිටින්නේ නෑ. පටිච්ච සමුප්පාද නිරෝධ ධර්මයට බහා හිටින්නෙ නෑ. රාග විනයට, ද්වේශ විනයට, මෝහ විනයට සැසඳෙන්නෙ නෑ. එසේනම් මේ අදහස බුද්ධ භාසිතයට අනුකූල නෑ.

දැන් මේ පද පෙළම බුද්ධ භාසිතයක් වන්නේ කොහොමද කියන කාරණය බුදුපියාණන් වහන්සේ විසින් මාගන්දිය බමුණාට කරුණු කාරණා සහිතව පහදා දුන්නා. “මාගන්දිය, මේ ගාථාව පෙර විසූ කාශ්‍යප නම් සම්මා සම්බුදුවරයන් වහන්සේ දේශනා කළ ගාථාවක්. කාලයාගේ ඇවෑමෙන් එහි යථාර්ථය යටපත් වී අනුක‍්‍රමයෙන් පෘථජ්ජන ගත වී ඇත. මාගන්දිය, මේ කය වූ කලී රෝගයක් වැනි වූයේ, ගන්ඩයක් වැනි වූයේ, ශල්‍යයක් වැනි වූයේ, දුක්ඛයක් වැනි වූයේ, ආබාධයක් වැනි වූයේ වෙයි. එබඳු වූ මේ කය ගෙන තෙපි, මේ ඒ ආරෝග්‍යයයි, මේ ඒ නිර්වානයයි කියති. මාගන්දිය, තෙපි යම් ආර්ය වූ ඇසකින් ආරෝග්‍යය දන්නෙහි නම්, නිර්වානය දන්නෙහි නම් තොපට ඒ ආර්ය වූ ඇස නැතැ” යි වදාළා.

මෙතනදී  වටිනා  දහමක් හෙලිවෙනවා. ආර්ය ඇසකින් දැකිය යුතු දහම් අර්ථ ලෞකික ක‍්‍රමවේදවල පිහිටා දකින්න බැරි බව වටහා ගත යුතුයි. ආරෝග්‍යය – නිරෝගී බව යන වචන කුමන භාෂා නිරුක්තියකින්, පද පෙළකින් කීවත් ආර්ය වූ දහම් ඇසින් දකින අදහස එම දහම් ඇස පහළවූවන්ටම මිසක් පෘථජ්ජන මනසකින් දකින්න නොහැකිම ය.
මෙය ඇසූ මාගන්දි බමුණා බුදුපියාණන් වහන්සේගෙන් ආරෝග්‍යය සහ නිවන දේශනා කරන ලෙස ඉල්ලා සිටියා. මෙහිදී උන්වහන්සේ නැවත උපමාවක් දේශනා කළා. ඇස් අන්ධ පුද්ගලයෙකුට තම නෑසියන් අක්‍ෂි ශෛල්‍ය වෛද්‍යවරයෙක් ගෙන්වා බෙහෙත් කරද්දී ඒ ඇස් පෙනීම නොඒ නම්, විශුද්ධ නොවේ නම් ඒ වෛද්‍යවරයා ඒ තාක් පීඩාවට වෙහෙසට පත්වන්නා සේ, දහම් ඇස් නැති මාගන්දියට ආරෝග්‍යයත් නිවනත් දේශනා කරන  විට  නොවැටහේ  නම්, උන්වහන්සේට පීඩාවක්ම වෙහෙසක්ම වන බවයි ඒ දේශනාව. මෙසේ අදත් දහම් දකින හැටි, දහම් ඇස ලැබූ අය ප‍්‍රකාශ කළත්, තේරුම් ගත නොහැකි පිරිස් ඒවා හාස්‍යයට, විහිලූවට ලක් කරනවා.

බුදුපියාණන් වහන්සේ මාගන්දිය බමුණාට තවත් උපමාවක් ගෙන මෙසේ දහම් දේශනා කළා. ඇස් අන්ධ මිනිසෙකුට, සුදු වස්ත‍්‍රය පහන්ය, අභිරූපය (කැපී පෙනෙන රූප ලක්‍ෂණ) නිර්මලය, ශුද්ධ යැයි ඔහුගේ හිතවතෙකු කියනු ඇසෙන්නේ ය. එක්තරා පුරුෂයෙක් එම අන්ධයාට, හිතවත මේ සුදු පිරිසිදු අභිරූප නිර්මල වස්ත‍්‍රය පොරවා ගන්නැයි තෙල් දැලි වැකුණු කලූ ගොමස්කඩ රෙද්දක් දෙන්නේය. නොපෙනීම නිසා ඒ සුදු පිරිසිදු නිර්මල රෙද්දකැයි සිතා ඔහු එය පොරවා ගන්නේය. අන්ධ මිනිසාගේ නෑදෑයෝ ශල්‍ය වෛද්‍යවරයකු ගෙන්වා ඔහුට බෙහෙත් කර  ඇස් පෙනීම ලබා දුන්නොත් ඒ පෙනීමත් සමගම ඔහුගේ වස්ත‍්‍රයේ නියම තතු පෙනෙන්නට වන්නේය. එවිට එම වස්ත‍්‍රය කෙරෙහිත් එය දුන් පුරුෂයා කෙරෙහිත් තිබූ ඡුන්ද රාගය පහවන්නේය. වස්ත‍්‍රය දුන් පුද්ගලයා සතුරෙකු ලෙසත් පෙනෙන්නේය. තමා මෙතෙක්  කල්  රවටන  ලදැයි වැටහෙන්නේය.

මෙසේ මේ කය ලෙඩක් ලෙස, ගඩක් ලෙස, හුලක් ලෙස, දුකක් ලෙස යථා නුවණට   වැටහුණුදාට   පංච උපාදානස්කන්ධයෙහි යම් ඡන්ද රාගයක් වී නම් එය පහ වන්නේය. වේදනාවෙහි, සංඥාවෙහි, සංඛාරයෙහි, විඤ්ඤාණයෙහි යම් ඡන්ද රාගයක් වී නම් එය පහවන්නේය. ඒ ඡන්ද රාග නිරෝධය නිසා උපාදාන නිරෝධ වන්නේය. එවිට භව නිරෝධ වන්නේය. එවිට ජාති නිරෝධ වන්නේය. එයින් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස නිරෝධ වන්නේය. මෙයයි ආරෝග්‍යය, මෙයයි නිවන කියා තමාම දැන ගන්නේය.

මේ ඇසු මාගන්දි බමුණාට දහම් ඇස පහළ වුනා. සාසනයෙහි පැවිදි වී බ‍්‍රහ්ම චර්යාව පූර්ණ කර අරිහත්වයටත් පත්වුනා. අද ඉන්න පින්වතුන් ද මේ දහම ආදර්ශයට ගනිත්වාෟ මාගධී ප‍්‍රාකෘතය හා උමතු ප‍්‍රාකෘතය වෙන් කර හඳුනා ගනිත්වා!

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණු දහම් කරුණු ඇසුරින් සකස් කළේ:
නීතිඥ චන්දන සිරිවර්ධන