බණ දේශණාවක් කළ යුත්තේ කාහටද? කෙසේද? කුමක් සඳහාද?

“බණ නම් නිබොරුය මුනිවරයන්නේ…” මොකක්ද මේ බණ කියන එකෙන් අදහස් කරන්නේ? මේ වචනය අපේ කනට අනන්තවත් ඇහිල ඇති. අපි  ඕන තරම් බණ අහලත් ඇති. අනුන්ට බණ කියන්න එපයි කියලත් සමහර වෙලාවට ව්‍යවහාරයේ කියනවා. හැබැයි ඒ අනුන්ට උපදෙස් දෙන්න යන්න එපා කියන අර්ථයෙන් තමයි එහෙම කියන්නේ. නමුත් ඉහත කවි පදයෙන් එන අර්ථය ගත්තොත්, මේ වචනයේ මීට වඩා එහාට ගිය ගැඹුරු අර්ථයක් තියෙන්න  ඕන. මොකද, මේ කියන බණ මුනිවරයන් වහන්සේලා විසින් සාරා සංඛ්‍ය, අටා සංඛ්‍ය, සොළොසා සංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනින් පෙරුම් පුරල, තුන් ලෝකයේ කිසිම කෙනෙකුට හොයාගන්න බැරි දෙයක් තනිවම හොයාගෙන දේශනා කරන නිසයි. එහෙනම් ඒකට ලොකු වටිනාකමක් තියෙන්න  ඕන. ඒ තමයි බවය නසන වැඩපිළිවෙල (බ =බවය ණ =නැසීම, වැනසීම) මේ තමයි බණ කියන වචනයේ පද අර්ථයෙන් එන දහම් අදහස දෙන පද නිරුක්තිය.

එහෙනම් බණ කියන්න  ඕන කාටද? වැටහීමට සුදුසු තත්ත්වයට පත් වූ අයට. එසේ සුදුසු තත්ත්වයට පත් නොවෙච්ච අය කවුද? විනිපාතික අසුර, පේ‍්‍රත, නිරය, තිරිසන් ගති ඇති අයට (මනුෂ්‍ය අත්බවයේ ඉඳගෙනත් මේ ගති ඇති අය) ඒ ගතියේ සිටින තාක් දහම් වැටහෙන්නෙ නෑ. ඒ නිසා කියල වැඩකුත් නෑ. එහෙනම් ඒ අයට කුමක් කළ යුතුද? ආදර්ශවන්ත ගති පැවතුම් ඇතිව තමන් කටයුතු කළ යුතුයි.

දේව, බ‍්‍රහ්ම, මනුෂ්‍ය ගති ඇති අයට දහම් වටහා ගන්නා නුවණ පහළ වෙන්න හේතු බොහෝ විට තියෙනවා. මේ නිසා ඒ අයට කරන දේශනාවලින් වැඩ සිද්ධ වෙනවා. එහෙම අයට ලෝකයේ අනිච්ච, දුක්ඛ, අනත්ථ බව වැටහෙන්න දහම් දෙසන්න  ඕන. නිකම්ම අනිච්චයි කිව්වට හරියන්නෙ නෑ. අනිච්ච වෙන හැටි විස්තර කරනකොට තමයි අනිච්ච ස්වභාවය වැටහෙන්නේ. සංඛාර දුකයි කිව්වට වැටහෙන්නෙ නෑ. ඒක දුක් වෙන හැටි විස්තර කරල දෙන්න  ඕන. අනත්තයි කිව්වට තේරෙන්නෙ නෑ. අනත්ත වෙන හැටි විස්තර කරන්න  ඕන. එහෙම බණ කියනකොට තමයි වැටහෙන්නේ. ඒකට තමයි දේශනා ප‍්‍රාතිහාර්ය කියන්නේ. බණ කියන වචනයේ නිරුක්ති අර්ථයටත් මේ විස්තරය ගැලපෙනවා. කොටින්ම කිව්වොත් මේ ආපු සංසාර ගමන හෙවත් භව ගමන නසන හැටි විස්තර කරල දෙන්න  ඕන. එතකොට තමයි බණක් කිව්ව වෙන්නේ. බණ පද ඇහෙනකොට එහි ස්වභාවය වීතරාගී නිසා ගොඩනැගෙන හිතත් වීතරාගී වෙනවා. ඇලීම නැති වෙනකොට ගැටීමකුත් නෑ. ඒ නිසා වීත දෝශී වෙනවා. ද්වේශය නසනකොට දේශනා වෙනවා.

අනන්ත සංසාරයේ පටන් කාමයන් ඇසුරු කරල තණ්හා උපාදාන කියන ඇලීම බැඳීම පුරුදු කරපු අයට හෙවත් ලෝකයට ඇලූම් කරන, ලෝකෝත්තර නිවන ගැන නොවැටහුණු අයට එකපාරටම මේ ත‍්‍රිලක්‍ෂණ දහම් ගැඹුරට වැටහෙන්නෙ නෑ. ඒ නිසා පළමුවෙන්ම දාන කතාවලින් පටන් අරගෙන ධර්ම දේශනාව ආරම්භ කරන්න  ඕන. අල්ල ගත්ත දේවල් දාන (අතහරින) එක තමයි දාන කිව්වේ. මේ දානයේ ආනිසංස (නිශ‍්‍රය නොකරන්නා වූ අංසය ආනිසංසයයි. එනම් නිවනයි) විස්තර කරනකොට ලෝභයෙන් (ලෝකයේ එල්බගෙන සිටීම), කාමච්ඡුන්දයෙන් (කාමයෙන් චිත්තය අන්ධ වීම) ක‍්‍රමයෙන් සිත ගිලිහෙනවා.

ඊළඟට සීලයේ ආනිසංස දේශනා කරන්න  ඕන. ඒක තමයි සීල කථාවෙන් කරන්නේ. සිහි ලය හෙවත් සීලය කිව්වේ ලය සිසිල් වෙන එකයි. ලය සිසිල් වෙනකොට හික්මීමේ ගතියට එන හිත ව්‍යාපාදයෙන් (වැය වන පැත්ත බදාගෙන සිටීමේ ලක්‍ෂණයෙන්) මිදෙනවා. සතර සතිපට්ඨානයෙන් ඇතිවන සිහිය ලයේ පිහිටනකොට සිහි ලයක් හැදෙනවා. එතැන ගිනි නැති නිසා නොදැවෙන සුවය සිසිල් ලක්‍ෂණයෙන් යුක්තයි. සීලය ගොඩනැගෙන්නේ මෙහෙමයි. මේ සීලය බුදු සසුනෙන් පිටත නෑ. ඉන් පිටත තියෙන්නෙ බාහිර සීලයි.

මීළඟට සග්ග කථා විස්තර කරල දේශනා කරන්න  ඕන. සග්ග කිව්වේ සුගතියයි, ස්වර්ගයයි, හිත සුගතියේ පිහිටීමයි. සුගතියේ වටිනාකම, එහි ස්වභාවය විස්තර කරන්න  ඕන. ඒ සුගතිය නිසා දේව, මනුස්ස ගති ඉස්මතු වෙනවා. දැන් සත්ථා දේව මනුස්සානං කියන ගුණය අනුව දෙවි මිනිසුන්ට සාස්තෘ කෘත්‍යය සිදුවන දහම් වැටහීමට සුදුසු තත්ත්වයට පත්වෙනවා. සු + ගති – සුව දෙනවා. එනම් යහපත් ගතිවලටයි සුගති කියන්නෙ. ඒ සුවය අග‍්‍ර කරනකොට සු + අග්ග =සග්ග වෙනවා.
දැන් සසර ආදීනව පෙන්වන අනිච්ච, දුක්ඛ, අනත්ථ කියන ආදීනව කථා විස්තර කරන දේශනාව කරන්න  ඕන. එතකොට නුවණින් වැටහෙන්න පටන් ගන්නවා, අනේ මේ සංසාරය කියන්නේ මොන තරම් භයානක දෙයක්ද, මොන තරම් අනාථ ගමනක්ද මෙච්චර කල් අපි ආවෙ කියල. මේ ආදීනව දැකීම තියෙන්නෙ බුද්ධ ශාසනයේ විතරයි. එනම් දුක් දාහ වේදනා අනිත් අයත් දකින නමුත්, ඒ අය ඒවාට මුල් වූ ආදියේ ගොඩනැගුණු නව ආකාරය පටිච්ච සමුප්පන්නව දකින්නෙ නෑ. ඒක දකින්න පුළුවන් බුද්ධ ශාසනයේ විතරයි. එනම් සෑම දුකකටම මුල් වන මුලින් ගොඩනැගෙන නව ආකාරය දකින්න  ඕන. ඒවා අවිද්‍යා, සංඛාර, විඤ්ඤාණ, නාමරූප, සලායතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන කියන මේ නවයයි. මේ නිසයි දැන් දුක් වේදනා දෙන භව ජාති හැදුනෙ කියල දැකීම නියම ආදීනව දැකීමයි. මේක අද වැහිල තියෙන දහම් කොටසක්.

මීළඟට අත්හැරීමෙන්, මිදීමෙන්, නොඇල්මෙන් ලබන අනුහස් දේශනාව හෙවත් නිවනේ ආනිසංස ගැන දේශනා කරන්න  ඕන. ඒකට තමයි නෙක්ඛම්ම කථා කියන්නේ. ඒක අහනකොට ප‍්‍රඥාව මෝරල ඇති පින්වතුන් නිවන් අවබෝධ කරගෙන ප‍්‍රත්‍යක්‍ෂයට ඇවිත් මගඵල ලබනවා. ලෝකයට ඇලීම බැඳීම මුල් කරගෙන කරන කාය, වචී, මනෝ කර්මවලින් නික්මීම නෙක්ඛම්මයයි. ඊට අවශ්‍ය කතාවයි නෙක්ඛම්ම කතාව කිව්වෙ. මේ විදිහට දාන කතාවෙන් පටන් අරගෙන සීල කතා, සග්ග කතා, ආදීනව කතා හරහා නෙක්ඛම්ම කතාවෙන් අවසන් කරන්න  ඕන.

මෙතනදී වටහා ගත යුතු කරුණක් තමයි, අධිචිත්තයෙන් හෙවත් ශාසනික ප‍්‍රථමධ්‍යානයෙන් පංච නීවරණ දුරු වූ පින්වතුන්ගේ සිතින් නාම රූප වශයෙන් එලි බසින දහම් දේශනාව අන්‍යයන්ට අනුකූල වූ විඤ්ඤාණ පහළ කරන්න හේතු ඇති කරන බව (අනිච්ච  වූ විඤ්ඤාණය, අනිච්ච බව දැනගැනීම ඥානයයි). මගඵල ලාභී සිත් ඇති අයගේ සිතින් නැගෙන දේශනා හෙවත් අනුකූල නාම රූප ඇසුරු කරන ශ‍්‍රාවකයාට ඒ අනුව විඤ්ඤාණ පහළ වෙනවා. එයින් ඒ අයටත් මගඵල ලැබීම සිද්ධ වෙනවා. සෝතාපන්න වීමෙන් පසු පරප‍්‍රත්‍ය රහිතව (අන්‍යයෙකුගේ හඬක් නොඅසා) ඉතිරි මගඵල ප‍්‍රත්‍යක්‍ෂ කරන්න පුළුවන් නිසා බලවත් ප‍්‍රඥා ඇති පින්වතුන් ඉහළ මගඵලත් ප‍්‍රත්‍යක්‍ෂ කරනවා.

දැන් හිතෙන්න පුළුවන් මේ කාලෙ මගඵල ලාභීන් කොයින්ද කියල. කොහොමද පෘතජ්ජන හිතකින් මගඵල ලාභීන් නැහැයි කියල නිගමනයකට බහින්නේ? කුක්කුටමිත්ත වැද්දගෙ බිරිඳ මේ කාලෙ එහෙම හිටිය නම් කවුද කියන්නෙ ඇගේ ක‍්‍රියා කලාපය දිහා බලල සෝවාන් කියල? සිටු කුමරියක් වෙලත්, ගෙදරටත් හොරෙන් මුර භටයන්ගේ ඇස් වහල මස් වැද්දෙක් එක්ක පැනල ගියා නම්, ඒකිට මොන මගඵලද කියල කී දෙනෙක් නම් කියයිද? පන්සලකට යනව දැකලත් නෑ, මලක් පහනක් පූජ කරනව දැකලත් නෑ, සිල් ගන්න ගියපු දිනයක් දැකලත් නෑ, ඒකිට මගඵල තියෙනවයි කියන්න පිස්සු ඇති කෙනෙක් වෙන්න  ඕන කියල අද නම් බොහෝ දෙනෙක් කියාවි.

නමුත් කෙනෙක් මගඵල ලාභී බව තේරුම් ගන්න සාමාන්‍ය ලෝකයාට අද කාලයේ පමණක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේගේ කාලෙ යමක මහා ප‍්‍රාතිහාර්ය දැකලත් බැරිවුණා. දෙයාකාරයක් එකම මොහොතේ පෙනෙන්න සැලැස්වීම යමක මහා ප‍්‍රාතිහාර්යයි. මේක සම්මතය හා පරමාර්ථය ලෙස අවස්ථා දෙකයි. සම්මතය තමයි ගිනි හා ජලය. පරමාර්ථය නම් දුක්ඛ හා දුක්ඛ සමුදයත් (ගිනි), දුක්ඛ නිරෝධය හා දුක්ඛ නිරෝධ මාර්ගයත් (ජල). මේක තමයි තුන් ලෝකයේම කිසිම ශ‍්‍රමණයෙකුටවත්, බ‍්‍රාහ්මණයෙකුටවත්, මාරයෙකුටවත් පවත්වන්න බැරිවෙච්ච දේශනාව.   උන්වහන්සේගේ දේශනාවලටත්  සාක්‍ය  වංශිකයෝ හිනාවෙලා තියෙනවා. අසූ අවුරුද්දක් වයස යනකල් රා බීපු නිසාම, කිසිම සුචරිතයක් නොතිබුණු නිසාම, ඒ කාලයේ හිටපු එක් සාක්‍යයෙකුට අනිත් අය පරසාක්‍ය කියල නිගරු කළා. නෑදෑ කමක් කිව්වෙත් නෑ. ඒ අයගේ සාක්‍ය පරපුරෙන් ඉවත් කරලා කොන් කළා. ඒ සාක්‍යයා බුදුන් වහන්සේ හමුවෙලා තමාට කිසිවෙක් නොසලකන බවත්, නෑදෑ කමකටවත් නොගන්නා බවත් ප‍්‍රකාශ කළා. ආශය අනුශය ඥාණය (යම්කිසි කෙනෙකුගේ මතු වූ කෙලෙස්, යටපත් වූ කෙලෙස් හා එහි ප‍්‍රමාණය දැනගැනීමේ ඥානය) තිබිච්ච බුදුපියාණන් වහන්සේ මේ සාක්‍යයාගේ දහම් අවබෝධයට ඇති හේතු වාසනාව දැකල ධර්ම දේශනා කළා. ඔහු සෝතාපන්න වුණා. බුද්ධ ගුණ ගරුත්වයෙන් ප‍්‍රසන්න හිත් ඇතිව තමන්ගේ සාක්‍ය දේශයටම ඇවිත් දින හතක් ගිය තැන මැරිල ගිහින් තව්තිසා දෙව් ලොව උපන්නා. (සං:නි:(5-2) 190 පිටුව, සරකානි සූත‍්‍රය)

මහානාම සාක්‍ය කුමාරයා මේ පර සාක්‍යයාගේ ගතිය කෙසේද, උපත කෙසේද  කියල  බුදුරජාණන් වහන්සේගෙන් අසා සිටියා. උන්වහන්සේ ඔහු තව්තිසා දෙව් ලොව උපන් බව ප‍්‍රකාශ කළා. මහානාම සාක්‍ය කුමාරයා තමන්ගේ පිරිසට මේ බව පැවසුවාම, ඒ සාක්‍ය වංශිකයෝ බොහෝ දෙනෙක් අපහාස උපහාස කරමින්, ගෞතමගෙ සාසනේ නම් තපස් රකින්නෙත් නැතිව අවුරුදු අසූවක් රා බිව්වත් ස්වර්ගයට යන්න පුළුවන්ලූ කියමින් කොක් හඬලා හිනා වුණා. නමුත් බුද්ධ වචනය ගැන  සැක නොසිතන මහානාම සාක්‍ය කුමාරයා සංවේගයෙන් යුතුව ඒ බව බුදුන් වහන්සේට සැල කළා. අන්ධ වූ පෘතජ්ජනයින් කෙසේ නම් සත්‍යය වටහා ගනීදැයි දේශනා කරමින්, කවුරු කොහොම කිව්වත් පරසාක්‍යගේ භවය, ගතිය දෙව්ලොවටම මිසක් වෙනසක් නැති බව උන්වහන්සේ දේශනා කළා. ඔහු මරණාසන්න මොහොතේදී ශික්‍ෂාව සම්පූර්ණ කළා කියල පෙන්නුවා. ඒ කියන්නෙ මරණාසන්න මොහොතේදී සෝවාන් වුනා නෙවෙයි. කලින් බණ අහල සෝවාන්  වෙලා  මරණාසන්න මොහොතේදී බීමේ අදහස අත්හැරල ආයති සංවරයේ පිහිටියා.

මේ දේශනා ගැන හිතල බලල වටහාගන්න බැරිනම් නිහඬ වීම වැදගත් බවත්, එසේ නිහඬ වීම අවැඩක් නොවන බවත් දැනගන්න  ඕන. නොදත්, නොවැටහෙන දේවල් ගැන තමන් අනුමිතියන්ට බැහැල අපහාස කළොත්, මුලාව නිසා ඒකෙ බරපතලකම නොදැනුනාට (කමා නොකළොත්) එයින් නැගෙන ආර්ය උපවාද පාපය ආනන්තරික වූ මාතෘ ඝාතක, පීතෘ ඝාතක පාපවලට ආසන්න වූ පාපයක් බවත්, එම අත්බවයේදී තමා කොච්චර උත්සාහ කළත් ආර්ය ගුණ මාත‍්‍රයක් වත් වඩන්න අසමත් වන බවත් දැනගන්න  ඕන. මේ පාපය නිසා සිද්ධ වෙන විපාකය මෙළොවදීම කුමන මොහොතක හෝ තමා කරා එන්න පුළුවන්.  එතකොටත් ඔහු බුදු දහම ගැන අධ්‍යාපනික වශයෙන් බොහෝ ඉගෙන ගෙන හිටියත්, මහණ වෙලා හෝ උපාසක වෙලා හිටියත්, තමා ප‍්‍රාණඝාත නොකළ බවත් සිහි කරන්න පුළුවන්. ඒ වගේම හොර මැර වංචා නොකළ බව, කාම මිච්ඡුාචාර හෝ අබ‍්‍රහ්ම චරියාව නොකළ බවත් හිතන්න පුළුවන්. ඒ වගේම බොරු නොකිව් බව, මත්පැන් නොබිව් බව හිතන්න පුළුවන්. ආපු විපාකය පෙර පාපයක් නිසා විය යුතුය කියන නිගමනයට බහින්න පුළුවන්. යමෙක් ඔහුගෙන් නිගරුවට පත් ආර්ය උතුමා ගැන යමක් කියා ඇත්දැයි ඇහුවත්, “ඔය මෝඩයට වෙන මොනව කියන්නද? උඹලටත් පිස්සුද?” කියල මෙහෙමත් කියන්න පුළුවන්. ඒකෙන් තව තවත් විනාශයට පත් වෙනවා. මේවගේ අවස්ථා බොහෝ කොට මේ කාලයේ ඇති වෙන්න පුළුවන්. එහෙම කියන්නේ ඇයි?

අද වුනත් සමහර අය ඉන්නවා පව් කරන්න කැමති නෑ, ගුණ ධර්ම ගරු කරනවා. ගැහුවට නොගහන, බැන්නට නොබනින, වෛර නොකරන අය ඉන්නවා. ඒ අය නිතරම දහම් අහන්න කැමතියි. ආශ‍්‍රය කරන්නෙත් ගුණවතුන්. අනතිමානී (අධි මානයෙන් තොර) ගති පවතිනවා. මෙයින් සමහර අය කුඩා කාලයේ ඉඳන්ම ඒ වගේ ගති ඇති අය. සමහර විට තම සහෝදර සහෝදරියන්, නෑදැයන් හා අවට පරිසරය ඇසුරු කරන ඔවුන්ට ලැබෙන ඇතැම් අවස්ථා අනුව නිරායාසයෙන්ම දුෂ්චරිතවලට යොමු වෙන්නත් ඉඩ ලැබෙනවා. නමුත් ඒ අය ඒ ගතිවලට ඇදෙන්නෙ නෑ. ඒ කියන්නේ සතර අගතියට යන්නෙ නෑ. පාසල් වියේ ඉගෙන ගන්නකොට, රැුකියාවලට යනකොට, නොයෙක් මාදිලියේ සමාජ දුෂ්චරිත නිරායාසයෙන්ම ඇසුරට ලැබෙනවා. නමුත් ඔවුන් ඒවා ගණනකටවත් නොගෙන තමන්ගේ යහපත් ගතියේම පිහිටමින් නිරාමිස (ලෞකික වශයෙන් ගන්නා පංච කාම සම්පත්තියෙන් වෙන් වීමේ) ප‍්‍රීතියම අගය කරනවා.

මේ අය ගැන සමාජය සුළුවෙන් හිතුවට හේතු ඇතිව වටිනාකම ගැන කල්පනා කරල බැලූවොත්, ලෝක සත්ත්වයන් අතරේ අති දුර්ලභ රත්නයක් වැනි බව විමසා බලනකොට පෙනී යනවා. ලෝකයේ අසංඛ්‍ය සංඛ්‍යාත සත්ත්වයන් අතරේ සතර අපායේ නොවන, මිනිස් බවට හිමි භවයකට තේරීමත්, ඒ අතරින් ගුණවතෙකු ලෙස තේරීමත්, එසේම සත්‍ය වූ බුද්ධ ගුණගරුක කෙනෙක් වීමත්, කුමන බාධක ආවත් බුද්ධ ගෞරවය මඳකුත් අඩු නොවීමත් කියන මේ ආදී කරුණුවලින් ඔවුන්ට සත්ත්වයන් අතරේ ලැබිල තියෙන ගුණය උත්තරීතරයි.

දැනට වසර දහසකට පමණ පෙර බුදු සසුන හොඳින් බැබලූණු, රහතන්වහන්සේලා විද්‍යමාන වුණු කාලයේ, අත්බැව් හතක් හෝ ඊට වැඩි ගණනක් හෝ මිනිස් ලෝකයේ ඉපදිය හැකි සෝතාපන්න අය කොච්චර නම් ඉන්න ඇද්ද? එබඳු අය මේ කාලයේත් සසර සැරි සරමින් පෙර කියපු ගුණවතුන් අතරේ ඉන්න බොහෝ අනුමාන හේතු තියෙනවා. එමනිසා අනුන් ගැන සොයනවාට වඩා තමන් ගැන සෙවීම උතුම් යැයි දේශනා කළ බුද්ධ වචනය අනුව යහමග යමින් ආදර්ශවන්තව ජීවත් වීම හැම අතින්ම නුවණට හුරුයි.

අනුන් හදන්න යන එක පොඩි පහේ ලේසි වැඩක් නෙමෙයි. ඊට සුදුසුකම් තියෙන්නේ උතුම් අධිචිත්ත ඇති මගඵල ලාභී වැනි අයටයි. පොත් පත් කියවල ඉගෙන ගත්තු පලියට අනුන් විවේචනය නොකර, එසේ කරන්න උවමනා නම් එය පරෝපකාරී මහෝත්තම ගුණයකැයි සිතා, ඒ සඳහා බහින්න හිතනවා නම්, පර සිත් දැකීම් වැනි ති‍්‍රවිද්‍යා ගුණ, ආර්ය දැහැන් ගුණ පළමුවෙන්ම ලබාගෙන දෙවනුව ඊට බහින්නට සිතීම නියම ඥානවන්ත බවයි. එහෙම නැත්නම් තමන්, දන්න කෙනෙක් ලෙස හුවා දක්වන්නෙ නැතිව ලබා ඇති අධ්‍යාපන දැනුම නිතර විමර්ශණය කරමින්, අත්දැකීම් ඇතැයි කියන කෙනෙක් ඇත්නම් ඒ අයගේ කියමන්වලට එරෙහිද නොවී හේතු ඵල න්‍යායන්ට අනුව විමසමින් අධ්‍යාත්මික අවබෝධය ලබාගන්න උත්සාහ කරන්න  ඕන.

මහා නියං කාලයක බොන්න වතුර ටිකක් හොයාගන්න අමාරු වුනාම, පෙර වතුර තිබූ පොකුණක මඬේ එරුන හරක් කුරයක් නිසා ඇති වූ කුඩා වලක දිය ටිකක් තිබෙනව දැක්කොත්, කලත්තා බොර නොකර අත් පා බිම තබා මුව තොල් හෙමින් එහි තබමින් එයින් වතුර ටිකක් බී පිපාසය සංසිඳුවා ගන්නා සේ, සත්‍යාවබෝධය ලබාදෙන දහම සුලභ නොවන කාලවලත්, ටිකක් හෝ අවබෝධයක් ඇති දේශකයානන් වහන්සේලා විවේචනය කරමින් දොස් නොකියා ගතයුතු හරය මාත‍්‍රයක් හෝ ඇත්නම් ඒක ගත යුතු බව බුද්ධ දේශනාවයි.

කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ භික්‍ෂූන් අතර සුළු විනය පිළිබඳ ප‍්‍රශ්නයක් නිරාකරණය කරගන්න බැරිව කළහ විවාද කරගත් භික්‍ෂූන් එදා බුදුපියාණන් වහන්සේගේ අනුශාසනාත් ප‍්‍රතික්‍ෂේප කරන මට්ටමට දැඩි වුණා. පසු කාලයක සිව්පසය  ලබාදෙන  උපාසක උපාසිකාවන්ගේ විවේචනයට පවා ලක්වෙලා සිව්පසයත් පිරිහෙන්න පටන් ගත්තම හැමෝම සමගි වුණා. බුදුරජුන්ගෙන් කමා කරගන්නට සැවැත් නුවර දෙව්රම් වෙහෙර වෙත හැමෝම එක්වෙලා ගියා. භික්‍ෂූන් දුසිල් ගති ඇති බවත්, ධර්ම විනය විරෝධීව කටයුතු කළ පිරිසක් බවත් දැනගෙන හිටපු අනේපිඬු සිටුතුමාත්, විශාඛා උපාසිකාවත් ඒ භික්‍ෂූන් කෙරෙහි කෙසේ පිළිපැදිය යුතු දැයි බුදුපියාණන් ගෙන් ඇහුවම, උන්වහන්සේ දේශනා කළේ, “පිළිගන්න, දානයද දෙන්න, කියන දෙයද අසන්න, මනා සිහි නුවණින් හරවත් දෙයක් ඇත්නම් පිළිගන්න” කියලයි.

ප‍්‍රජාපතී ගෝතමීන් වහන්සේත් ඒ භික්‍ෂූන් ගැන කෙසේ පිළිපැදිය යුතු දැයි ඇහුවම උන්වහන්සේ දේශනා කළේ, “කියන දේ අසන්න, සිහි නුවණින් මෙනෙහි කර අනිත් භික්‍ෂූන් කියන දේද අසා සාරවත් වූ අර්ථවත් වූ නිවනට හේතුවන රාග, ද්වේශ, මෝහ ප‍්‍රහානයට හේතුවන අවවාද අනුශාසනා කරන භික්‍ෂූන් ඇත්නම් ඒ අය සමග සංඝකම් ආදී කටයුතු කරන්න කියලයි. මේ තමයි බුද්ධ අවවාදය. මහාවග්ග පාළියේ කෝසම්භ වත්තක්ඛන්ධකයේ මෙහෙම සඳහන් වෙනවා.

මේ කාලයේ ධර්මය පිළිබඳ විවිධ මත අදහස් පලකරන ගිහි පැවිදි දේශකයන් දකින්න ලැබෙන නිසා අප විසින්ද කළ යුත්තේ භේද, ගැටුම් ඇතිකර නොගෙන ඒ ඒ කරුණු කාරණා කොච්චර දුරට ධර්මයට විනයට ගැලපේදැයි සතර මහා ප‍්‍රදේශ ආදී න්‍යායන්ට අනුව විමසමින්, එක විටම තීරණ සම්මත නොකර සාමයෙන් දහම් සාකච්ඡුා කර හරිමග තෝරාගැනීමයි. ඒ වගේම සියලූ බෞද්ධයන් මෙතෙක් කල් බුදු දහම ගැන යම් දැනුමක් අවබෝධයක් ලබා ඇති ත‍්‍රිපිටක ධර්මය මුල් කර, සාක්‍ෂි කර ඒ දහම් කරුණු අතරෙත් නුවණට ගෝචර නොවන ලෙස හැෙඟන කරුණු ඇත්නම් හදිසියේම ප‍්‍රතික්‍ෂේපත් නොකර, සමගියෙන් සමාදානයෙන් සාකච්ඡුා කරමින් විමසමින්, අර්ථයට අර්ථය, ව්‍යංජනයට ව්‍යංජනය කොතෙක් දුරට ධර්මානුකූලව ගැලපේ දැයි හැම දෙනාම ධර්මානුකූලව දැනගන්න  ඕන. මජ්:නි: (3) අරණ විභංග සූත‍්‍රයේ මේ ආකාරයට සාමයෙන් බුද්ධ දේශනාව තෝරාගන්නා හැටි පෙන්වා තියෙනවා. වාද භේද දුරු කර සත්‍ය ධර්ම මාර්ගය වටහාගෙන අවබෝධයෙන් උතුම් නිවන් සුව ලබන්න හැමදෙනාම අදිටන් කරගනිත්වා!

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණ දහම් කරුණු ඇසුරින් සකස් කළේ :
නීතීඥ චන්දන සිරිවර්ධන

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.

One thought on “බණ දේශණාවක් කළ යුත්තේ කාහටද? කෙසේද? කුමක් සඳහාද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *