සියල්ල සිදුවන්නේ කර්මයෙන්ද? නියාම ධර්මවලට අනුකූලවද?

බුදුපියාණන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් අවබෝධ කරගෙන දේශනා කළ දහම් කරුණු, ආචාර්යවාදීන් විසින් පංචේන්ද්‍රියන්ට ගෝචර වන කරුණුවලින් ගොඩනගා ගත් මානසිකත්වයක් තුළින් විග‍්‍රහ කරන්න උත්සාහ කළත් ඒක ධර්මයට එකඟ වෙන්නෙ නෑ. සියල්ල කර්මයෙන්ම සිදුවන්නේ නැති බවත්, ඒ සඳහා බලපාන නියාම ධර්ම පහක් ඇති බවත් ආචාර්යවාදීන් කරන ලද විග‍්‍රහයක  සඳහන් වෙනවා.   නමුත් බුදුපියාණන් වහන්සේ කර්මය ක‍්‍රියාත්මක වන ආකාරය දේශනා කරල තියෙන්නෙ මෙහෙමයි

“කම්මස්සකොම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමිති කල්්‍යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං” (අං:නි: (6), 158 පිටුව, දස ධම්ම සූත‍්‍රය)

කර්මය මුල්කරගෙන, කර්මය දායාද කරගෙන, කර්මය උප්පත්ති ස්ථානය කරගෙන, කර්මය සමග බැඳිල, කර්මය පිළිසරණ කරගෙන, කිසියම් යහපත් හෝ අයහපත් කර්මයක් සිදුකරනවා නම්, ඒවා දායාද කරගෙන පැවැත්ම සිදුවෙනවා.

නමුත් සෘතු නියාමය, බීජ නියාමය, කම්ම නියාමය, ධම්ම නියාමය, චිත්ත නියාමය කියන නියාම ධර්ම පහකට අනුකූලව ලෝකයේ කටයුතු සිද්ධ වෙන ආකාරයක් ආචාර්යවාදීන් පෙන්වල තියෙනවා. උපමාවකින් මේක විග‍්‍රහ කරල බලන්න පුළුවන්. ගහක් කපන්න  ඕන වුනාම කෙනෙක් ඒකට පොරවක් යොදා ගන්නවා. මේ පොරවෙන්  ඕනෑම ගහක් කපන්න පුළුවන්.  ඕනෑම ගහක් කැපීමට පොරව මූලික වුනත්, ගහ කපන පුද්ගලයාගේ දක්‍ෂතාවය හෝ අදක්‍ෂතාවය මත තමයි සාර්ථකව ගහක් කපා දැමිය හැක්කේ. කොස් ගහක් කැපුවත්, දෙල් ගහක් කැපුවත් මූලික වන්නේ පොරවයි. කිසියම් පුද්ගලයෙක් ගෙයක් ආසන්නයේ තිබුණ කොස් ගහක් කපන්න ගිහින්, ඒ පුද්ගලයාගේ අදක්‍ෂතාවය නිසා ඒ ගහ ගේ උඩට වැටිල අනතුරක් වුනාම ඒකට පොරව වගකිව යුතුද? ඒක සිද්ධ වුනේ පොරවෙ වරදකින්ද? නැත්නම් ගහ කපපු පුද්ගලයාගේ අදක්‍ෂතාවය නිසාද? ඒ වගේම කොච්චර දක්‍ෂ ගස් කපන මනුස්සයෙක් වුනත් හරියට පොරව තිබුනෙ නැත්නම් ගහ කපන්න බැරිවෙනවා. දක්‍ෂ පුද්ගලයෙක් ඉඳලා, පොරව නැතුව ගහ කපන්න පුළුවන් නම්, කර්මය මුල් වෙන්නෙ නැතුව යමක් සාර්ථකව සිද්ධ කරගන්නත් පුළුවන් වෙන්න  ඕන. එහෙනම් කර්මය මූලික වෙලා යමක් ආරම්භ කරල දුන්නෙ නැත්නම් කෙනෙකුට ඒ දෙය කරන්න බෑ. හැබැයි යමක් කරන්න ගිහින් පුද්ගලයාගේ අදක්‍ෂතාවය නිසා ඒක වරද්දා ගත්තම ඒක කර්මයේ වරදක් නෙවෙයි. සියල්ල කර්මයට භාර දෙන්න බෑ කිව්වෙ ඒකයි.

සැරියුත් මහ රහතන් වහන්සේ එක් අවස්ථාවක   බුදු පියාණන් වහන්සේගෙන් මෙහෙම අහනවා, “ස්වාමීනි, මේ ව්‍යාපාර ගොවිතැන්   ආදිය කරගෙන යන අය අතර කෙනෙක් බොහෝ දියුණුවට පත්වෙනවා. තව කෙනෙක් මහත් උනන්දුවෙන් වැඩ කරගෙන යනවා. ඔහුට තරමක  දියුණුවක් තියෙනවා.  තවත් අය බොහෝ වෙහෙසෙනවා. එහෙත් එතරම් දුරට ප‍්‍රතිඵල නෑ. තවත් කෙනෙක් මොන දෙය කළත් අසාර්ථක වෙනවා. ස්වාමීනි, මේකට හේතුව කුමක්ද?” බුදුපියාණන් වහන්සේ මේ ආකාරයෙන් දේශනා කරනවා. මේ සංසාර ගමනේදී මිනිසුන් ශ‍්‍රමණ බ‍්‍රාහ්මණාදීන්ට දානයට ඇප උපස්ථාන ආදියට ආරාධනා කරලා පසුව මගහරිනවා. තව කෙනෙක් හිතනවා ආරාධනා කළ නිසා නොකරත් බැහැ, මොනව හරි ටිකක් හදල දානය දෙනව කියල. තවත් කෙනෙක් පොරොන්දු වුන මට්ටමට කරල දෙනවා. තවත් පිරිසක් ආරාධනා කරලා, චිත්ත ප‍්‍රසාදය වැඩි නිසා, වැඩි වැඩියෙන් දානය සකස් කරල දෙනවා. මේ ආකාරයට දාන ඇප උපස්ථාන කරන හතර ආකාරයක පුද්ගලයො ඉන්නවා.

මේ අනුව කෙනෙක් ව්‍යාපාර, ගොවිතැන්, කර්මාන්ත ආදිය කරන්න ගියාම, හේතු ඵලයට අනුව කර්ම විපාකයක් බලපාල ඒ අනුව ප‍්‍රතිඵල ලබා දෙනවා. ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයින්ට ඇප උපස්ථාන කරන්න ආරාධනා කරල මග ඇරපු අයට ඒකෙ හේතු ඵලයක් ලෙස, ලොකු ව්‍යාපාර ආදිය කරන්න ගියත්, අතේ තිබුණ මුදලත් වියදම් වෙලා අසාර්ථක වෙනවා. බුදුපියාණන් වහන්සේ සර්වඥතාඥානයෙන් දැකලයි මෙහෙම දේශනා කරල තියෙන්නේ.

උත්සාහය වීර්ය තියෙනව නම් උපක‍්‍රමශීලිව  ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියල ඇතැම් කෙනෙක් තර්ක කරන්නේ, මේ හේතු ඵල න්‍යාය හරියට නොදැනයි. යමක් කරන වෙලාවෙ යහපත් පැත්තට හරවන්න සම්‍යක්ප‍්‍රයෝගයක් යෙදුව නම්, හේතු ඵලයක් ලෙස ඒකෙන් ප‍්‍රයෝජනය ගත හැකි කර්ම ශක්තියක් ඔහුට ගොඩ නැගෙනවා. පංචේන්ද්‍රිය මානසිකත්වයෙන් බලන තැනැත්තා මේ ගැන හිතන්නේ, ප‍්‍රයෝග සම්පත්තිය උපයෝගී කරගෙන ප‍්‍රතිඵල ලැබුවා මිසක් කර්ම ශක්තියෙන් යමක් ලැබුණා නෙවෙයි කියලයි. මෙහිදී කර්ම ශක්තියත් ප‍්‍රයෝග සම්පත්තියත් යන දෙකම උපකාරී වෙලා, යමක් සිදු කළා නම් උපරිම ප‍්‍රතිඵල ලබන්න පුළුවන් වෙනවා. සියතින්ම දන් දුන්නම උත්සාහයයි කර්මයයි දෙකම නැගිල එන්නෙ මේ ආකාරයෙනුයි. නමුත් මූලික වෙන්නෙ කර්මයයි. කෙනෙක් කරන ලද කර්ම ශක්තිය වටා එයින් ප‍්‍රතිඵල ලැබිය හැකි හැම ශක්තියක්ම මේ ආකාරයෙන් ගොනුවෙනවා. කර්මයෙන් හිමි වන දේ උත්සාහයෙන් වීර්යෙන් කටයුතු කරලයි ලබාගන්න  ඕන. නැත්නම් ඒ කර්ම ශක්තිය අපතෙ යනවා. බුදු දහමේ හේතු ඵල න්‍යාය ක‍්‍රියාත්මක වන ආකාරයයි මේ.

යම් පුණ්‍ය කටයුත්තක් සිදු කරනකොට තමා වටා ඉන්න සෙසු අයටත් ඒ තුළින් යහපතක් කරල දෙන්න  ඕන කියන මෛත‍්‍රී  සහගත සිතකින් ඒක කරල තිබුණ නම්, හේතු ඵලයක් වශයෙන් මහා පිරිස් සම්පත්තියක් ලැබෙනවා. දන් දීම ආදී පුණ්‍ය කටයුතු සිදු කිරීමේදී, ක‍්‍රමානුකූල වැඩපිළිවෙලක් යටතේ ඒව සිදු නොකළ නම්, ඒ කර්ම බලවේගයට අනුව තමන්ගේ ජීවන කටයුතුත් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. සකසා දන් දිය යුත්තේ ඒ නිසයි. එවැනි පුණ්‍ය කටයුතු සිදු කිරීමේදී සිහි බුද්ධිය නොමැති ආකාරයෙන් අවිධිමත්ව කරල තිබුණ නම්, තමන් කරන ව්‍යාපාර කටයුතුවලදී තමනුත් සිහි බුද්ධියෙන් තොරව අක‍්‍රමවත්ව කටයුතු කරනවා වගේම, තමන්ට ලැබෙන්නෙත් ඒ ආකාරයෙන්ම කටයුතු කරන සේවක පිරිස්. තම කැමැත්්තට සියල්ල ඉටු කරන්න බැරි බවයි මෙයින් පේන්නේ. කෙනෙකුගේ නොසැලකිලිමත් කමින් එහෙම වෙනව කිව්වත්, හේතු ඵල වශයෙන් කර්මය ක‍්‍රියාත්මක වූ ආකාරයයි ඒ.

එක්තරා බ‍්‍රාහ්මණයෙක් බුදුපියාණන් වහන්සේ හමුවීමට ඇවිත් මෙහෙම අහනවා “ස්වාමීනි, කෙනෙක් පොහොසත්, කෙනෙක් දුප්පත්, කෙනෙක් නිරෝගීයි, තව කෙනෙක් රෝගීයි, කෙනෙක් ලස්සනයි, තව කෙනෙක් කැතයි, කෙනෙකුට නින්දා අපහාස විඳින්න වෙනවා, තව කෙනෙකුට කීර්ති ප‍්‍රශංසා ලැබෙනවා. ස්වාමීනි, මේ සමාජ විෂමතාවයට හේතුව කුමක්ද?” “කම්මං විභජති සත්ථානං හීනප්පණීතාය – කර්මය විසින් සත්ත්වයා හීන ප‍්‍රණීත ලෙස බෙදනව” කියල බුදුපියාණන් වහන්සේ ඒ අවස්ථාවේ දේශනා කරල තියෙනවා. හේතු ඵල රටාවට බැහැරව යමක් සිද්ධ කරන්න බෑ. මේ තමයි නියාමය. නියාමය කියන්නෙ නියමයයි. නියමය කිසි කෙනෙකුට කිසිම ආකාරයකින් වෙනස් කරන්න බෑ. අතීතයේත්, වර්තමානයේත්, අනාගතයේත් මෙහෙමමයි. නියමය කියන්නෙ ලෝක පැවැත්ම ගෙනියන ක‍්‍රම රටාව. ඒක කවුරුවත් ගොඩ නගන දෙයක් නෙමෙයි. නියමය කියන වචනය තේරුම් ගන්න බුදු දහමට අනුව ධර්මයට විනයට බහා බලන්න  ඕන. ධර්ම නියාමතා කියලත් පටිච්ච සමුප්පාද දහම හඳුන්වනවා.

වර්තමානයේ කරනු ලබන ධර්ම දේශනාවන් තුළ පෙළ දහම්, අටුවා, ආචාර්ය වාද, අත්තනෝමතික කියල ක‍්‍රම හතරක දේශනා රටාවන් ක‍්‍රියාත්මක වෙනවා. බුදුපියාණන් වහන්සේ දේශනා කළේ සර්වඥගෝචර දහමක්. එදා හිටපු මහරහතන්  වහන්සේලා  මුඛ පරම්පරාගතවයි මේ දහම පවත්වාගෙන ආවෙ. භාවිතාවේ පහසුව සඳහා වාක්‍ය මාලාවක් ක‍්‍රම රටාවකට ගොඩනගලා අර්ථය වෙනස් නොවන ආකාරයට සූත‍්‍ර දේශනා වශයෙන් සකස් කරල තිබුණා. මුඛ පරම්පරාගතව පවත්වාගෙන ආවෙ මේ පෙළ දහමයි. පෙළ දහම අවබෝධ කරගත් රහතන් වහන්සේලා උදාහරණ සහිතව අර්ථවත්ව ඒ දහම ශ‍්‍රාවකයින්ට විස්තර කරල දුන්නෙ අටුවා මගිනුයි. කාලයාගේ ඇවෑමෙන් බුද්ධ දේශනාවල අර්ථය සැඟවිලා යනකොට, ඒ කාලයේ හිටපු තෙරුන් වහන්සේලා ධර්මයේ අර්ථ පිළිබඳව විවිධ වාද මතු කරන්න පටන් ගත්තා. එසේම තම අදහස් තම පිරිසටත් ඉගැන්නුවා. ආචාර්ය වාදයන් ලෙස පැවත එන්නෙ ඒ ඒ ආචාර්යවරුන්ගේ අදහස්. ඒ ආචාර්ය වාදයන් නොගැළපෙන අවස්ථාවල ඇතැම් තෙරුන් වහන්සේලා තම අදහස් හුවා දක්වමින් අත්තනෝමතික ලෙස තම මත ඉදිරිපත් කරන්න පටන් ගත්තා. ඒ අත්තනෝමතික අදහසුත් අද ධර්ම දේශනා තුල අඩංගු වෙනවා. ආචාර්ය වාද සහ අත්තනෝමතික ක‍්‍රම පිළිගැනීමට නම්, ඒවා පෙළ දහමට හා අටුවාවලට ගැලපෙනවද කියල මුලින්ම බලන්න  ඕන. පෙළ දහමත් අටුවාත් නියමාකාරයෙන් විග‍්‍රහ කරන්න බැරි වුනාම ආචාර්ය වාදත්, අත්තනෝමතික අදහසුත් ඉස්මතු වෙන්න පටන් ගත්තා.

බුද්ධ දේශනාවට අනුකූලද නැද්ද කියල දැනගන්න ක‍්‍රමයක් බුදුපියාණන් වහන්සේ දේශනා කරල තියෙනවා. යම් මගක් ඇසුරු කරනකොට රාගක්‍ෂය වන බව, ද්වේශක්‍ෂය වන බව, මෝහක්‍ෂය වන බව මනාව පේනවා නම්, ඒ බුද්ධ දේශනාවයි කියල පෙළ දහම තේරුම් ගන්න  ඕන. (අං:නි: (5) 232 පිටුව ගෝතමියෝවාද සූත‍්‍රය) සියල්ලන්ටම මේක තේරුම් ගන්න බෑ. ඥානවන්තයින්ගේ නුවණටයි මේ දහම ගෝචර වෙන්නේ. නිසැකවම ධර්මාවබෝධය ලබා ගත් ආර්යන් වහන්සේලා මේවා පිළිගැනීමට හෝ නොපිළිගැනීමට හේතු පෙන්වා දෙනවා මිසක්, තමන් පවසන දේ පමණක් භාර ගන්න කියල දේශනා කරන්නෙ නෑ.

මේ අනුව නියාම ධර්ම විස්තර කරන සමහර දේශකයන් වහන්සේලා පෙළ දහමට අනුව ඒ පිළිබඳව විස්තර කරල දෙන්න බැරි නිසා සෘතු නියාමය කියන්නෙ සීත සෘතුව, උෂ්ණ සෘතුව… ආදී වශයෙන් සෘතු වෙනස්වන ආකාරය වේද ග‍්‍රන්ථවල පැහැදිලි කරදී ඇති ක‍්‍රමයට අනුව විස්තර කරනවා. නමුත් මේ කරුණ ධර්මයට බහා බලනකොට තේරුම් ගන්න අපහසුයි. සීත කාලයට උෂ්ණය ඇතිකර ගන්නත්, උෂ්ණ කාලයට සීතල ඇතිකර ගන්නත් පුළුවන් වන විදියට අද සෘතු ස්වභාවය යම් ප‍්‍රමාණයකට වෙනස් කරගන්න නවීන විද්‍යාවට පුළුවන් වෙලා තියෙනවා. නමුත් නියමයක් නම් මේ ආකාරයෙන් වෙනස් කරගන්න බෑ.

“අවිද්‍යා පච්චයා සංඛාරා, අවිද්‍යා නිරෝධෝ සංඛාර නිරෝධා” වශයෙන් පෙන්වල තියෙන්නෙ නියමයක්. මෙතැන අවිද්‍යා පච්චයා සංඛාරා යන්න විද්‍යා පච්චයා සංඛාරා කියල කියන්න බෑ. මේ තමයි ධර්ම නියමය.

එහෙනම් කාටවත් වෙනස් කරන්න බැරි සෘතු නියමය මොකක්ද? ලෝකය තුළ යමක් ගොඩනැගුන නම් ඒක සංඛතයක් (එකතුවීමක් සිදු වූ). සංඛතයක් හටගත් මොහොතේ පටන් සෘතු විපර්යාසයට භාජනය වෙලා වෙනස් වෙවී ගොස් විනාශයට පත් වෙනවා. මේ නියාමය වෙනස් කරන්න අද දියුණුයි කියන ලෝකෙ කිසිම විද්‍යාඥයෙකුට බෑ. ඇසිපිය ගහන හැම මොහොතකම මේක සිද්ධ වෙනවා. මේ අනුව සෘතු විපර්යාසය කිව්වෙ සීතල උණුසුම් වශයෙන් සිදුවන කාලගුණික වෙනස නෙමෙයි. ඇසිපිය ගහන මොහොතක් මොහොතක් පාසා කිව්වත්, අවුරුදු කෝටි ප‍්‍රකෝටි ගානක් කිව්වත්, ඒ සම්මතය තුළ හටගැනීමත් විනාශයත් අතර කාලය තුළ සිදුවන විපරිනාමය සෘතු විපර්යාසයයි. මේකට කියන්නෙ සෘතු නියමයක් කියල. මොන කර්මයකින් හටගත්තත් මේ සෘතු නියාම ක‍්‍රියාවලිය වෙනස් කරන්න කිසිවෙකුටත් බෑ. ඒක කර්මයෙන් සිදුවන දෙයක් නෙමෙයි (ගොඩනගල දෙන්නෙ කර්මයෙන්, නමුත් වෙනස් වීමට කර්මය අදාල නෑ). කර්මය මුල් කරගෙන හටගත්තට මේ සෘතු නියාමය වෙනස් කරන්න බෑ. වැහි වලාකුළු හටගැනීම, හිරු පෑයීම මේ නියාමයට දාන්න බැහැ කියල බුදුපියාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරල තියෙනවා.

රටක රජවරු පාලකයො දූෂිත වුනාම, ඇමති මණ්ඩල දූෂිත වෙනවා. ඇමති මණ්ඩල දූෂිත වුනාම රටේ නිලධාරීන් දූෂිත වෙනවා. නිලධාරීන් දූෂිත වුනාම, රටවැසියා දූෂිත වෙනවා. සියල්ලන්ගේම දූෂිතභාවය මේ ආකාරයෙන් මතු වුනොත් ඒ හේතුවෙන් ඉර හඳ පවා කක්ෂයෙන් පිට පනිනවා. ඒ අනුව වායු සංසරණය වෙනස් වෙනවා. මේ නිසා විමන් හදාගෙන හිටපු දේවතාවුන්ගේ විමන් කැළඹීමට පත් වෙලා ඒ දේවතාවුන් කලකිරීමට පත්වෙනවා. මිනිසුන් කරන අපරාධ නිසා ඒ විමන්වල ඉන්න බැරි වෙන දේවතාවුන් මිනිසුන්ට ආශිර්වාද ආරක්ෂාව සලසන්නෙ මොකටද කියල ඒ කටයුතුවලින් ඉවත් වෙනවා. සීත වලාහක දේවතාවුන්ට තමන්ගේ පුණ්‍ය ඍද්ධි බලයෙන් සීතල ඇති කරන්නත්, උෂ්ණ වලාහක දේවතාවුන්ට උෂ්ණය ඇති කරන්නත්, මේඝ වලාහක දේවතාවුන්ට මුහුදු ජලාශවල ජලය ඇදගෙන මේඝ වලාකුළු ඇති කරන්නත්, වැස්ස වලාහක දේවතාවුන්ට ඒ මේඝ වලාකුළුවලට අවශ්‍ය පරිවර්තන සිදුකරලා වර්ෂාවක් ඇති කරන්නත් පුළුවන්. මේ ආකාරයට ලෝක පාලක දෙවිදේවතාවුන් තම පුණ්‍ය ඍද්ධි ශක්තියෙන් ලෝක සත්ත්වයාට යහපතක් සිදුවන ආකාරයට සෙත් ශාන්ති සලසන බව බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා.

නමුත් මිනිසුන්ගේ අයුතු අසාධාරණකම් නිසා කැළඹෙන ඒ දේවතාවුන් තවදුරටත් එසේ සෙත් ශාන්ති කිරීමෙන් ඉවත් වීම නිසා ලෝක සත්ත්වයාට මහා අයහපතක් සිදු වෙනවා. කලට වැසි නොවැසීමත්, අකලට වැසි වැසීමත් නිසා පොළවේ සශ‍්‍රීකත්වය නැති වෙලා මහා විපර්යාසයන් සිද්ධ වෙනවා. මේ නිසා රසයෙන් ගුණයෙන් හීන ධාන්‍ය පලතුරු හටගැනීමට පටන් ගන්නවා. ඒවා පරිභෝජනය   කරන මිනිසුන්ගේ ශරීර දුර්වල වෙන්න පටන් ගන්නවා. ශරීරවල පවතින ප‍්‍රතිශක්තිය නැතිවෙලා විවිධාකාර රෝග වසංගත ආදියට ගෝචර වෙලා විනාශයට පත්වෙන පිරිසක් ලෝකයේ බිහිවෙන්න පටන් ගන්නවා. මේ අනුව ලෝකයේ සීත උෂ්ණ විපර්යාස හටගැනීමට හේතුවන එක් කරුණක් වන්නේ මිනිස්සුන්ගේ දූෂ්‍යතාවය හෙවත් ගති විපත්තියයි කියල ධර්මයේ පෙන්වල තියෙනවා. ලෝක පරිවර්තනය මිනිසාගේම විනාශයට හේතුවන ආකාරයෙන් ප‍්‍රතිඵල ගෙනදෙන්නක් බව බුදුපියාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරල තියෙනවා. මිනිස්සුන්ගේ හිත් දූෂ්‍ය වුනා කියල නියමයක් වෙනස් කරන්න බෑ. දස මාර සේනාවටවත් නියමයක් වෙනස් කරන්න බෑ. ලොව්තුරා බුදුපියාණන් වහන්සේටවත් ඒක වෙනස් කරන්න බෑ.

ලොව්තුරා බුදුවරයන් වහන්සේ නමක් පහළවීමට හේතු වන්නේ යම් ක‍්‍රමයක්ද, ඒ හේතුව ක‍්‍රියාත්මක වුනා නම් ඵලය ලැබෙනවා. දස මාර සේනාව කොච්චර උත්සාහ කළත් උන්වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත්වීම වළක්වන්න බැරි වුනා. මෙතනදී ක‍්‍රියාත්මක වන්නේ කර්ම නියාමයක්. දස පාරමිතා පූර්ණ කරලා බුද්ධත්වය අවබෝධ කරගන්න තවත් බුදුවරයන් වහන්සේලා ඉදිරියේ විවරණ ලැබීමෙන් සිදු කරගත් පුණ්‍ය කර්මය වෙනස් කරන්න කිසිවෙකුටත් බෑ.

කොස් ඇටයකින් කොස් ගහක් හටගැනීමත්, පොල් ගෙඩියකින් පොල් ගහක් හටගැනීමත්… ආදී වශයෙන් කිසියම් බීජයකින් ඒ වර්ගයේ ගහක් හටගැනීම බීජ නියාමය වශයෙන් අද වෙනකොට විස්තර කරල තියෙනවා. නමුත් අද ගහක පොත්තක් හෝ කොටසක් අරගෙන ජාන තාක්‍ෂණික ක‍්‍රියාවලියකින් පවා ගහක් හදා ගන්නත් පුළුවන්. එසේම නොයෙක් පරිවර්තනයන්ට භාජනය කරලා විවිධ ගස් ජාති නිපදවන්නත් පුළුවන් බව නවීන විද්‍යාවෙන් හොයාගෙන තියෙනවා. එසේම ඇතැම් අවස්ථාවල දෙහි හෝ දොඩම් ඇටවලින් ජම්බෝල, නාරං… ආදී වෙනත් ජාති හටගන්නවා. මේ අනුව බීජ නියාමය අද විස්තර කරල තියෙන ආකාරයෙන්ම සිද්ධ නොවන බව පේනවා. බුදුපියාණන් වහන්සේ දේශනා කරපු බීජ නියාමය අද සැඟවිලයි තියෙන්නේ.

බීජ නියාමය ලෙස උන්වහන්සේ පෙන්වල තියෙන්නේ කර්ම බීජය පිළිබඳවයි. පාප කර්ම කළොත් පාප  බීජත්, පුණ්‍ය කර්ම කළොත් පුණ්‍ය බීජත් නිපදවෙනවා. හේතුව අනුවයි ඵලය ලැබෙන්නේ. මව් හෝ පියා මරලා හෝ ආනන්තරික පාප කර්මයක් සිද්ධ කළා නම් ඒකාන්තයෙන්ම මරණින් මතු ඔහු සතර අපාගත වෙනවා. මේක වෙනස් කරන්න සමතෙක් ලෝකෙ නෑ. කෙනෙක් සෝතාපන්න ඵලයට පත්වෙලා කිසියම් කර්ම බීජයක් අක‍්‍රීය කළා නම්, එතැන් පටන් ඔහු කරන ලද සතර අපාගත වන කර්ම බීජ අක‍්‍රීය වෙනවා. මේ තමයි බීජ නියාමය.

අවිජ්ජා පච්චයා සංඛාරා, අවිජ්ජා නිරෝධෝ සංඛාර නිරෝධා… ආදී වශයෙන් විස්තර කරල තියෙන්නෙ ධර්ම නියාමයයි. මේ පටිච්ච සමුප්පාද ධර්ම නියමයන් කාටවත් වෙනස් කරන්න බෑ. ආචාර්යවාදීන් පෙන්වල තියෙන්නේ ගඟක් පහළට ගැලීම ධර්ම නියාමයක් කියලයි. නමුත් බුදු පියාණන් වහන්සේ ඒක ධර්ම නියාමයක් කියල පෙන්වල නෑ. ඒ කාලෙ හිටපු වෙසඟනක් සත්‍යක‍්‍රියා කරල ගංගා නදිය උඩට ගැලූව කියල ධර්මයේ සඳහන් වෙනවා. යම් දවසක යම් පුරුෂයෙක් තමාව මිලකට ගත්තනම්, ඒ කාලය තුළ ඔහු මගේ ස්වාමිපුරුෂයා කියල අවංකව පිළිගෙන වෙනත් පුරුෂයෙකුගේ පහසක් ලබන්න හීන මාත‍්‍රයකින්වත් හිත තිබ්බෙ නෑ, මම වෙසඟනක් වුනත් මේ සත්‍ය බලය මට තියෙනවා, ඒ සත්‍ය බලයෙන් මේ ගඟ උඩට ගලාවායි කියල ඇය අධිෂ්ඨාන කළාම ඒ ගඟ උඩු අතට ගලා ගියා කියල ධර්මයේ සඳහන් වෙනවා. ගඟක් පහළට ගැලීම ධර්ම නියාමයක් නම් ඒක වෙසඟනකට වෙනස් කරන්න පුළුවන්ද?

කෙනෙකුගේ හිත ක‍්‍රියාත්මක වන්නේ එක්තරා සූක්‍ෂම ක‍්‍රම රටාවකට අනුවයි. හිත පිළිබඳවත්, හිත් හටගැනීම පිළිබඳවත් බුදුපියාණන් වහන්සේ පෙන්වල තියෙන ක‍්‍රම රටාව කාටවත් වෙනස් කරන්න බෑ. මේ තමයි චිත්ත නියාමය. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් කර්ම රැස්කරගෙන හදාගත් වැඩපිළිවෙල නැත්නම්, ඉතුරු නියාම ධර්ම එකක්වත් ක‍්‍රියාත්මක වෙන්නෙ නෑ. කර්මය මූලිකවයි සියල්ල ක‍්‍රියාත්මක වෙන්නේ.

ආචාර්ය වාදීන්ගේ අදහස් ධර්මයට විනයට අනුව බලල තේරුම් ගත යුත්තේ මෙවැනි කරුණු කාරණා සැඟවිලා තියෙන නිසයි. ආචාර්ය වාදීන්ගේ අදහස් පරපුරෙන් පරපුරට ආව කියල බලෙන් පිළිගත යුතු නෑ. යමක් ධර්මයට ගැලපෙනවද කියල තෝරගන්න සතර මහා ප‍්‍රදේශ ක‍්‍රමයක් බුදුපියාණන් වහන්සේ දේශනා කරල තියෙනවා. එනම්, 1. බුදුපියාණන් වහන්සේම දේශනා කළා කිව්වත් අරගන්නත් එපා, අහක දාන්නත් එපා, නුවණින් විමසා තේරුම් ගත යුතුයි. 2. බුදුපියාණන් වහන්සේගෙන් අහගත්තා කිව්වත් අරගන්නත් එපා, අහක දාන්නත් එපා, නුවණින් විමසා තේරුම් ගත යුතුයි. 3. එබඳු පරපුරකින් ගෙනාවයි කිව්වත් අරගන්නත් එපා, අහක දාන්නත් එපා, නුවණින් විමසා තේරුම් ගත යුතුයි. 4. එබඳු පරපුරකිනුයි අපි අහගත්තෙ කියල කිව්වත් අරගන්නත් එපා, අහක දාන්නත් එපා, නුවණින් විමසා තේරුම් ගත යුතුයි.

කර්මය තුළින් ගොඩනගා ගත් දේ තුළ කෙනෙකුට වෙනස් කරන්න බැරි නියාම ධර්ම පහක් මේ ආකාරයෙන් ක‍්‍රියාත්මක වෙනවා. උත්සාහයෙන් වීර්යෙන් උපක‍්‍රමශීලීව යමක් ක‍්‍රියාත්මක කරන්න පුළුවන් කියල හිතුවට නියාම වෙනස් වෙන්නෙ නෑ. ප‍්‍රයෝග සම්පත්තිය පුණ්‍යකර්ම විපාකයට උපස්ථම්භක (උදව් දෙන්න) වෙන්න පුළුවන්. ඒ වගේම ප‍්‍රයෝග විපත්තියක් කරගත්තොත් ඒ පුණ්‍ය ඵලයට බාධා වෙන්නත් පුළුවන්. ඒක නියමයක් වෙනස් කිරීමක් නෙමෙයි.

මේ ආකාරයෙන්ම කෙනෙක් සත්පුරුෂ ගුණයට පත්වීමත් කළ්‍යාණ මිත‍්‍ර සේවනය තුළින්ම සිද්ධ වෙනවා මිසක් තනිවම කරගන්න පුළුවන් කියල බුදුපියාණන් වහන්සේ කොතනකවත් දේශනා කරල නෑ. මේ බුද්ධ සාසනය මුළුමනින්ම කළ්‍යාණ මිත‍්‍රයන් මත පවතිනවා කියල දේශනා කරල තියෙන්නේ ඒ නිසයි. කෙනෙකුගේ කර්ම බලය ක‍්‍රියාත්මක වන නිසා ඔහුට තනිවම එතැනට පත්වෙන්න බෑ. කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය තුළින් පුද්ගලයා එතැනට ගත යුතුයි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ගුණයන්ගෙන් යුක්ත වෙලා ආර්ය පුද්ගලයෙකු පතුරවන කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම තුළින් පමණයි කෙනෙකුට සත්පුරුෂ ගුණයට පත්වෙලා නිවන් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ, සෝතාපන්න වෙලා පර ප‍්‍රත්‍ය රහිත වීමට පුළුවන් වෙන්නේ.

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණ දහම් කරුණු ඇසුරින් සකස් කළේ :
ඇල්. අමරසිංහ (විශ‍්‍රාමික ලංකා බැංකු ජ්‍යෙෂ්ඨ කළමනාකරු)
පිළියන්දල.

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *