සත් පුරුෂ ගුණ හා උපකාරයට කෘතෝපකාර කිරීමේ ගුණය ගිලිහී යෑම නිසා සිදු වූ සමාජ පරිහානිය

යමෙක් ප්‍රථමධ්‍යානයවත් ලබල නැතුව නිවන් දකින දහමක් දේශනා කරන්න යෑම, අපවාදයට ලක්වන කරුණක් බව බුදුන්වහන්සේ දේශනා කරල තියෙනවා. එසේම ප්‍රත්‍යක‍ෂ කර නොගෙන දහම් දෙසන්න යාමත් අවැඩ බව දේශනා කරල තියෙනවා. (දීඝ නිකාය (1) 540 පිටුව ලෝහිච්ච සූත්‍රය.)

මේ ආකාරයෙන් තොරව දේශනා කරන්න යෑම නුසුදුසු බව පවසන්නේ ඇයි? මේ විදිහට හිතල බලන්න. මව්වරු දෙන්නෙක් ඉන්න ගෙවල් දෙකක සිටින කුඩා දරුවන් දෙන්නෙක් දබර වෙලා තුවාල කරගත්ත කියල හිතමු. දැන් ඉතින් මේ මව්වරු දෙන්නා ළමයි දෙන්නගෙ නඩුව සියුම්ව විසඳල, හරි තීන්දුවකට බහින්න සමත් වෙයිද? පේන්න තියෙන  ආකාරයටනම්, දෙන්නම කොහොම හරි තමන්ගෙ දරුවගෙ පැත්තට පාක‍ෂික බවක් පෙන්වන බවයි. මේ විදිහටම විනිශ්චයකාර වරයෙකුගේ නඩු විසඳීම් ගැන සියුම් පරීක‍ෂණයක් සිදු කළ විදේශීය   පර්යේෂක මණ්ඩලයකට, ඒ විනිශ්චයකාර වරයාට තරුණ ස්ත්‍රීන් පිළිබඳව නොදැනුවත්වම මෙන් සියුම් පාක‍ෂික බවක් රැඳී තිඛෙනු පෙනුන බව විද්‍යා සඟරාවක දකින්න තිබුණා. එයින් සිදු වුණේ හැඩ වැඩ කාන්තාවන්ට නඩු තීන්දුවලින් යම් වාසි සහගත බවක් ලැබීමයි.

මේ කාරණාවන් පෙන්නුවේ සලකා බලන්නයි. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළේ, ප්‍රථමධ්‍යානයවත් නොලැබූ අයගේ නීවරණ පවතින නිසා ඔවුන් සියුම්ව දහම් විසඳන්න යෑමේදී කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්චා කියන නීවරණ ධර්මයන් හේතුවෙන් සාධාරණ දහම් මග වටහාගන්න අපහසු වන නිසයි. බොහෝ විට මධ්‍යස්ථව බලා තීරණයක් ගැනීම වෙනුවට සිදුවෙන්නේ “ඉදං සච්චා භි නිවේෂ කාය ග්‍රන්ථ” නම් වූ, මෙයම සත්‍යය අනෙක්වා අසත්‍යය යන දෘෂ්ටියට වැටීමයි. හරි මග හරි ක්‍රමය නම්, අපවාද එල්ලකොට දේශනා නොකිරීමත්, මම මෙබඳුය අන්‍යයෝ වැරදිය යන මතයන් අත්හැර, හේතුවත් ඵලයත් ලැඛෙන හැටි පටිච්ච සමුප්පාද දහම් න්‍යායෙන් පෙන්වීමත් බව බුද්ධ දේශනාව අනුව දැන ගැනීමයි. එතකොට නුවණැත්තන්ට ගෝචර වූ ධර්ම මාර්ගය නුවණැති පින්වතුන්ට තෝරගන්න පුළුවන්. අන්‍යයන් සම්බන්ධයෙන් සංසාරෙන් එතෙර කිරීම පිණිස ලොව්තුරා බුදු වූ තථාගතයන් වහන්සේටත් කළ යුත්තක් නැති බව දේශනාවේ පෙන්වා තියෙනවා. “තුම්හේහි කිච්චං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා” යන දහම් වැකියෙනුත් ඒ බව කියවෙනවා. (නුඹලාට කුමක් කරන්නද? තථාගතයන් වහන්සේ එතෙර කරන්නෙ නෑ. මග පෙන්වනව විතරයි. කෙලෙස් තවාගැනීමේ කටයුත්ත සිදුකර ගත යුත්තේ තමා විසින්මයි.)

යම් භාෂාවක පදයකට අර්ථයක් සම්මත කරගෙන තිබියදී අන්‍යයෙක් අදහසක් දැක්වීමට ඒ පදය වෙනස් අර්ථයකින් භාවිතා කළොත්, ඒ පින්වතා හැඟවූ අදහස අනුව දහම් අර්ථය හරි වැරදි බලා තීරණයකට බැසීම සුදුසු බවත්, මුලින් සම්මත කරගත් අර්ථය ගෙන හරි වැරදි විවේචනය කිරීම නොකරන ලෙසත් අරණ විභංග සූත්‍රයෙන් දේශනා කර තියෙනවා.
යම් කෙනෙකුගේ සියයක් අගුණ අමතක කර, විද්‍යමාන එක ගුණයක් හෝ වර්ණනා කර ඒ ගුණය වන්දනාමානයට සුදුසු නම්, ඒ ගුණය සිහිකර වැඳීමත්, ප්‍රති උපකාරයට සුදුසු නම්, ප්‍රතිඋපකාර කිරීමත් සත් පුරුෂ ගුණයක්. එතකොට නුවණැති පුද්ගලයා, ගුණය පැසසුම් ලබන්න සුදුසු යහපත් මගක් බවත් දැන ගන්නවා. අගුණයක් ඇත්නම් එතැන උපේක‍ෂා වීමෙන් ගැටීම් ඇතිකර ගන්නෙ නෑ. කරුණු වැටහෙනකොට හරි මගට පැමිණෙනවා.

බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලයේ එක් අනාගාමී උපාසක කෙනෙක් උන්වහන්සේ ළඟ එකත්  පස්ව  හිඳගෙන ඉන්නකොට  කොසොල් රජතුමාත්  උන්වහන්සේ බැහැදකින්න  පැමිණියා. රජතුමා පැමිණි බව දැන දැනත් උපාසකතුමා නිහඬව ඉඳගෙන හිටියා. ඒක දැකපු කොසොල් රජතුමාට දූෂ්‍ය  බවක් ඇතිවුණා.  ගරු  සරු නොකළාට පසුව දඬුවම් දෙන්න හිතාගෙන රජතුමා බුදුන් වැඳල පිටවී ගියා. පසුව රාජ  පුරුෂයන්  ලවා උපාසකතුමා  රජවාසලට ගෙන්නුවා.  දුර  පටන්ම වැඳගෙන රාජ ගෞරව දක්වමින් රජු ඉදිරියට පැමිණුන උපාසකතුමාගෙන් කොසොල් රජතුමා අසා සිටියේ “මම කොසොල් රාජාධිපති බව නුඹට වැටහුණේ දැන්ද? බුදුරජාණන් වහන්සේ ළඟදී එය නුඹට අමතක වුණාද?” කියලයි. එතකොට උපාසකතුමා, “ස්වාමීනි, බුදුරජාණන් වහන්සේ අබියස ඊට වඩා ගරු කටයුතු උතුමෙක් මම නොදකිමි” යි කියා පිළිතුරු දුන්නා. බුද්ධ ගරුත්වයට පැහැදුණු රජතුමා උපාසකතුමාව නිදහස් කර හැරියා.

මේකෙන් පේන වැදගත් කාරණා දෙකක් තියෙනවා. රජතුමාගේ තිබිච්ච අඩුපාඩුවක් රජතුමාට සකසා ගන්න හැකිවීම එකක්. අනිත් කාරණය නම් සමාජ චාරිත්‍රයක් අනුව වැඳීමක් සිදුකිරීමෙන් ආර්ය ගුණයට බාධාවක් නොවන බවයි. අනාගාමී උතුමෙක් සම්ප්‍රදාය අනුව රජවාසලේදී රජතුමාට වැඳීම, ආචාර කිරීමෙන් කර ඇති බව ඉහත කරුණින් පෙනී යනවා. ගුණයකට ගරු කිරීම, තෙරුවන් ගුණයට පසඟ පිහිටුවා වැඳීම, මේ සා වටිනා දහම් මගක් අද වන තුරු විද්‍යමාන වන ලෙස ගෙන ඒම නිසා එබඳු අයගේ ඒ උතුම් ගුණයට ප්‍රසංසා කිරීම කියන මේවා කොහොමත් යහපතට මිසක් අයහපතට හේතු වෙන්නෙ නෑ. භික‍ෂූන් වහන්සේ නමකගේ අඩුපාඩුවක් දැකලා, සිවුරු හැරවා පන්නා දමන්න හෝ තාපස වත් ඇති කෙනෙකු ගිහි වතට ඇද දමන්න හෝ යම් කිසි ගිහියෙක් හෝ භික‍ෂුවක් උත්සාහ දරනවා නම්, ඊට පෙර තමා කවුද කියල තමා දෙස බලා, ළඟ සිටින පංච නීවරණ නමැති තමාටම මහා වින කරන හොරු ටික පළමුවෙන්ම පන්නා දැමිය යුතුයි. ඉන් පසු ඉන් පහළ අයට අනුශාසනා කරන්න තමාට සුදුසුකම් ඇතැයි කියා සිතීම යහපත්. ඊටත් වඩා ශාසන ශුද්ධියක් ගැන බලාපොරොත්තු වෙනව නම්, තමා බ්‍රහ්මචාරී වූ ආර්ය ගෝත්‍රයට පත්වෙලා යම් ඵලයක් සඳහා බ්‍රහ්මචාරී ගුණය රකින්නේද, එය පූර්ණ කර උතුම් ඵලයට පත්වෙලා ඉන්පසු ශාසන ශුද්ධියක් ගැන සිතිය යුතුයි. ඒ කාරණය නොකර ඊට ගියොත්, වෘෂභයාට හිමි තැන කොටළුවා ගැනීම වගේ දෙයක්ද කියලත් සිතා බැලිය යුතුයි.

ගුණවතුන්ට හරි මග පෙන්වපු  ගුරුවරුන්ට, තෙරුවන් ගුණයට පසඟ පිහිටුවා වැන්දට කිසි විටෙකත් අඩුපාඩුවක් වෙන්නෙ නෑ. මිනී මරපු, මංකොල්ල කාපු, වනචර සල්ලාලකම් කරමින් ස්ත්‍රී පුරුෂයන් අමාරුවේ දාපු, හොර මගඩි වැඩ රහසින් කරපු අයට ඒ බව දැන හෝ නොදැන උපහාර දක්වන්න පෙරහැර පවත්වන, රූප ඇඳ මල්මාලා දමා ගරු උපහාර කරන, මැරුනම මහත් සේ ගුණ වර්ණනා කරමින් නැති ගුණ කියන… මේ ආදී කාරණාවන් ගැන කම්පා නොවන සමහර උදවිය, නිර්මල වූ නිරාමිස සුවයට මාර්ගය පෙන්වන, සංසාරයේ කිසි දිනෙක නොලබපු නිවන් සුවය ලබන්න මග පෙන්වපු, ඒ මග අතරමග විනාශ නොවී රැකගෙන මේ දක්වා ගෙනාපු උතුමන්ට දෙන ගරු වචන මාත්‍රයක්වත් දකින්න නෑ. නමුත් ඒ අයගෙන් ලැඛෙන යහපත, මව් කෙනෙක් තම දරුවට පෙවූ කිරිවලටත් අහලකටවත් සම කරන්න බෑ. දහම් කිරි ගෙනදෙන මග යමෙක් ලබා දුන්න නම්, එක අත්බවක් රකින්න දුන් මව්කිරට වඩා ඒ දහම් කිරි බිඳක් බිව් කෙනෙකුට අනන්ත යහපත උදා වෙනවා. මේ බව ඒ දහම් කිරි නොපෙවුණු අයට නොවැටහීම පුදුමයක්ද නොවෙන්න පුළුවන්.

මෙබඳු දහම් කිරි බිව් අයට පමණයි ඒ උතුම් මග ගෙන ඒමේ වටිනාකම වැටහෙන්නේ. ඒ ගුණය ගැන හිතනකොට නිකම්ම වැඳීම නෙවෙයි, පෙරලි පෙරලි වැන්දත්, ඒ දහම් මග ගෙනා පරපුරේ සැමටම ඒ වැඳුම හිමි වේවා කියා වැන්දත් වැඩක් මිස අවැඩක් වෙන්නෙ නෑ. එබඳු ගුණ පෙනෙන කාට වැන්දත් ගුණය හරි හැටි අරමුණු වෙලා තියේ නම්, ඒ වැඳුම ඒ පුද්ගලයාගේ කෙස්, ලොම්, නිය, දත්, සම්…. ආදී දෙතිස් කොටසට හිමි වෙන්නෙත් නෑ. ඔහුගෙන් හෝ ඇයගෙන් පහළ වන පාපයකට, දුෂ්චරිතයකට හිමි වෙන්නෙත් නෑ. ඔහු හෝ ඇය දරන මිත්‍යා ලබ්දියකටත් හිමි නෑ. අරමුණු කළේ යම් ගුණයක් නම්, ඒ ගුණයටම ඒ වැඳුම හිමි වෙනවා. පළමුව ගුණය වටහා ගත්තම ඒක ලැඛෙන ලාභයක්. ගුණය වටහා නොගත් කෙනෙකුගේ වැඳුම නම්, කොහේ හෝ තැනක හිත පිහිටුවා ගත් ගති ලක‍ෂණයකට අදාල වෙන්න පුළුවන්.

අපි අම්මට වඳිනවා. “මව බුදුන් වැනිය, පියා බ්‍රහ්ම වැනිය. එබැවින් දෙමව්පියෝ දරුවෙකුගේ වැඳීම ලැබීමට සුදුසුය” මේ බුද්ධ වචනයක්. දරුවෙක් විසින් තම මව හෝ පියා වෙතට තමන්ට කරපු ගුණය සලකා වඳිනවා. නමුත් මේ මව හෝ පියා රහත් ඵලයට පත්වෙලත් නෑ. ඊට මෙහා මග ඵලයකත් නැති වෙන්න පුළුවන්. බොහෝ විට සුචරිතයකත් නොපිහිටා ඉන්න පුළුවන්. පියා බේබද්දෙක් වෙලා මව අභිසාරිකාවක් වෙන්නත් පුළුවන්. නැත්නම් මීනිමරුවෙක්, මිනී මරවන්නියක් වෙන්නත් පුළුවන්. එහෙනම් ඇයි වඳින්නේ? ලෞකික වශයෙන් අපිට ලොකුම උදව්ව කරල තියෙන්නෙ කවුද කියල පළමුවෙන්ම හිතන්න ඕන. ලෝකය අපට නොතේරී තිබුණට අපට උදව් කළ අය බොහෝ ඉන්නවා. මේ ගැන ටිකක් විපරම් කරල බලන එක ඉතා හොඳයි.

කවුද අපට උදව් කරපු අය? පුංචි කාලෙ කරපු උදව් තුට්ටුවකටවත් නොසැලකුවට, කාමච්ඡන්දයෙන් බැඳුනට පස්සෙ තරුණයෙක් තරුණියක් කරපු උදව්ව, රස්සාවක් ලබා ගන්න කරපු උදව්ව, අසනීප වෙලාවක කන්න දෙයක් දීපු, සාත්තුවක් කරපු උදව්ව නම් කැපිල පේනවා. නමුත් අපට අමතක වෙච්ච උදව් ඊට වඩා මහා බලවත්. ඒව පේන්නෙ නෑ. පෙම්වතා හෝ පෙම්වතිය සෙරෙප්පුවෙන් කම්මුලට ගහපු වරදට සමාව දෙන්න කැමතියි. ඒක ක‍ෂණික කෝපය. ඒ වුනාට (එහෙම සෙරෙප්පුවෙන් ගැහුවත්) මට මතකයි එයා මට කරල තියෙන උදව් කියල, මෙහෙමත් කියනවා. නමුත් වයසට ගිය මව, පියා රවල බැලූව නම්, බැන්න නම්, ඒක ලේසියෙන් සමාව දිය නොහැකි වරදක් ලෙසත් පේන අවස්ථාත් තියෙනවා. පෙම්වතා හෝ පෙම්වතිය දුන් සෙරෙප්පු පහර කාගෙන දෙකට නැමෙන්නත් පුළුවන්. නමුත් මව් පියන් වැඩිහිටි අය දීපු හරියට හැදෙන්න හේතුවන අවවාදයකට ප්‍රතිචාර වශයෙන් පා පහරක් හෝ පොලූ පහරක් දෙන අවස්ථාත් දකින්න පුළුවන්. කාමච්ඡන්දය (කාමයට ඇති කැමැත්තෙන් අන්ධ වීම), ව්‍යාපාදය (වැය වෙන හෙවත් ක‍ෂය වෙන පහත් දේවල් කරා පිහිටීම) බලවත් වෙනකොට මේවගේ අවස්ථා සිද්ධ වීම පුදුමයක් නෙමෙයි.

අපිට උදව් කරපු අය ලෙස අපි සලකන්නේ ලෞකික වශයෙන් අපිට මොනව ලබා දුන් අයද? දේපළ, ඉඩකඩම්, කනබොන ආහාර, නොයෙක් බඩු බාහිරාදිය, නැති බැරි වෙලාවට කරන මිල මුදල් ආදී උපකාර අපි සලකන එක් උදව් කොටසක්. මේ උදව් ලබාගෙන ඒවාත් සමග අපි හම්බකරගත්ත සියලූ දේම ජීවිතේ බේරගන්න විකුණනවා. පුළුවන්නම් තව තවත් බැගෑපත් වෙලත් ඉල්ලනවා. ණයත් වෙනවා. ඒ මොකක් රැක ගන්නද? මේ ශරීරය රැක ගන්න.

දැන් බලන්න ඕන අපි අමතක කරල දාපු පැත්ත. මේ හැම ශරීරයකටම කුඩා කාලයක් තිබිල තියෙනවා. අඩු ගානේ වසර හතේ පටන් ඉන් කුඩා කාලය තුළ තනි වුනා නම්, ශරීරය පවත්ව ගන්නේ කොහොමද? වසර හය, පහ, හතර, තුන, දෙක, එක, මාස හය, තුන, මාසය, උපන් මොහොත…. බලා සිටියදී අතීතයට යන්න යන්න ශරීරය රැක දෙන්න කරපු උදව් ප්‍රමාණය අපට අමතක වුනත්, ඒ සියලූ උපකාර දැන් තියෙන වැඩිච්ච ශරීරයට කරන උපකාරයන්ට වඩා අති මහත් බව පෙනී යන්න ඕන. අපට නොපෙනෙන පැත්ත තවත් ඈත අතීතයට දිව යනවා. අත්බවයකින් චුත වුනාම අපට පහළ වන ගතියක් තියෙනවා. ඒ ගතිය ඊට අනුරූප ස්ථානයක් හා සම්බන්ධ විය යුතුයි. ඒ වෙලාවට පුද්ගලයා මහා අනාතයෙක්. ගෙඟ් ගහගෙන යන මිනිහට එයින් බේරෙන්න, නැවත ජීවිතය පවත්වන්න ගොඩබිම රත්තරන් කන්දක් තිබුණත් වැඩක් නෑ. මාලිගා තිබුණත්, කොච්චර පරිවාර සෙනග හිටියත් ඒවායින් වැඩක් නෑ. වතුරේ ගහගෙන යන මළ මිනියක් වේවා තමා අසලින් ගසාගෙන යනව නම්, ඔහු මොකක් කරයිද? කල්පනා කරල බලන්න. ඔහුට යමෙක් මෙහෙම කියනව කියල හිතන්න.

පින්වත, ගොඩබිමේ රන් කන්දක් තියෙනවා. මහා මාලිගාවක් තියෙනවා. දිව්‍ය අප්සරාවන් වැනි තරුණියන් ඉන්න අන්තඃපුරයකුත් තියෙනවා. රජ බවට පත්කරවගන්න සිංහාසනයක්ද හිස්ව තියෙනවා. මුළු රටේ රාජ්‍යයත් හිස්ව තියෙනවා. ඔබේ අත ළඟ ගසාගෙන යන මළ මිනියකුත් තියෙනවා. පින්වත, ඔබට පිළිසරණ වෙන්න නම් දැනට කිසිවෙකුත් නෑ. ඔබට ලෝකයේ මේ කියපු දේවල්වලින් දැන් වටිනාම දේට හිත තබා බලාපොරොත්තු වන දේ මට කියන්න. හැබැයි මේ කරුණත් මතක තියාගන්න. ඔබේ ජීවිත කාලයම දැන් ඔබ කැමති (වටිනාම) දේ ආරක‍ෂා කරන්නත් බැඳී සිටිය යුතුයි. දැන් මළ මිනියත් අත ලඟටම ඇවිල්ලයි තියෙන්නේ. තීරණය මට කියන්න.

මේ විදිහට කිව්ව නම් ඔබ දෙන තීරණය අපක‍ෂපාතීව සත්‍ය ගරුකව ඔබම තීරණය කරගන්න. එදාට ඔබට තේරෙන කාරණයක් තියෙනවා. අද ඔබ ආත්මාර්ථකාමීද නැත්ද? දියේ ගිලී මරනයට පත්වීමෙන් බේරෙන්න අවස්ථාව උදා වී ඇති ඔබට දැන් වටින්නේ මළ මිනියද, රාජ්‍යයද? මළ මිනියේ එල්ලී ගොඩට ආවට පසු ඔබ ගන්නා තීරණය කොතෙක් දුරට ආත්මාර්ථකාමී වී ඇත්දැයි සිතා බලන්න. ඔබ හරිනම් රාජ්‍යය පසෙක තබා මළ මිනියට සත්කාර කළ යුතුයි නේද?

ඔබ මෙළොවට බිහි වෙලා තියෙන ඔය කරජ කායට (ශරීරයට) හිමිකම ලැබිල තියෙන්නෙත් මේ විදිහටයි කියල හිතාගෙන තීරණය ගන්න. ඔබ හිටියේ අනාථයෙක්වද නැත්ද? එදා පිළිසරණ වුනේ කවුද? එදා පටන් වැඩුනේ කොහේද? වැඩී මෙළොවට බිහි කළේ කවුද? බිහි කර මාසය, දෙක, තුන, හය, අවුරුද්ද, දෙක, තුන, හතර, පහ, හය, හත… ඉන් පසු කාලය ගෙවුනේ කොහේද? ඔබේ ඇප උපස්ථාන කළේ කවුද? උදව් කළේ කවුද? ඒ අය ඒ කටයුතු සිද්ධ කළේ තරහකින්ද? ආදරයෙන්ද? මේ ටික හොඳට හිතල බලන්න ඔබ දක්ෂ නම්, ඒ තමන්ට කළ උපකාරයට ප්‍රතිඋපකාර කරන්න ඔබ ගත්ත ක්‍රියා මාර්ගය මොකක්ද? මේ ගැන හිතල බලනව නම්, තමන්ටම නිසි තතු වැටහෙන්න ඕන. මේ කාරණාව තේරුණොත් අපි අම්මට තාත්තට වඳින්නෙ ඇයි කියල වටහා ගන්න පුළුවන්. අපේ මේ කයට මේ අත්බවයේදී ලෞකික වශයෙන් කවුරුන් හෝ යම් උදව්වක් කළා නම්, ඒ අතරින් සැමටම වඩා මූලික වූත් බැරෑරුම් වූත් උදව්ව කරල තියෙන්නෙ කවුද කියල හිතල බලනකොට වඳින්න සුදුසු වූ ගුණය වැටහෙන්න ඕන.

එහෙම වැඳල අපි කියන්න ඕන මොකක්ද? පියාණෙනි, බේබද්දෙක් නොවන්න. ඔබේ මතු අනාගතයට යහපත වන, සසර දුක නිවන්න හේතු වන බුදුපියාණන් වහන්සේගේ දරුවෙක් වී උතුම් ගුණයට පත්වන්න. එදාට මාගේ වැඳුම ඔබ කෙරෙහි අනන්ත ගුණ සිහි කරමින් සිදු කරමි. අද මාගේ මේ වැඳුම ඔබ මට කළ මේ ලෞකික උපකාරයටයි.

මෑණියනි, දුෂ්චරිත වළකා ගන්න. සුචරිත උත්තමාවක් වන්න. මට කළ උපකාරය සිහි කර ඔබට මා කරන මහෝපකාරයයි මේ. අනාගත යහපත වන සසර දුක නිවන මග කියා දුන්   බුදුපියාණන් වහන්සේගේ දැරිවියක් බවට පත්වන්න. එදිනට මාගේ මේ වැඳුම ඔබ කෙරෙහි අනන්ත ගුණ අරමුණු කරමින් සිදු කරමි. අද මාගේ මේ වැඳුම මෙළොවට මා බිහිකර හදා වඩා ගත්තා වූ ඒ ලෞකික උපකාරයටයි.

“වැරදි කරන අම්මට තාත්තට ඒ වැරැද්දට දොස් කිව්වට බැන්නට පව් කොයින්ද? මම සාධාරණය ගරු කරන කෙනෙක්. මට ඔය වැරදි පේන්න බෑ. අම්මට තාත්තට වුනත් මම කියන්නෙ මූණටමයි. හැංගිලා කරන කථා මගේ ලඟ නෑ.” මහත් පුරසාරමින් මෙහෙම නොකියා, දහම අනුව සිතන ආර්ය වූ බෞද්ධ දරුවෙක් ලෙස කියනකොට, ඒ දරුවෙක් ලෙස සම්මතේ හිටියත්, සම්මත මව පියා ඒ කියමන පිට ආර්ය ගුණය ලැබුව නම්, ඒ දරුවාට දෙපා සිඹ වැද වැටෙන්න වටිනා ආර්ය ගුණයක් තිබූ බව දෙමාපියන්ද වටහා ගන්නවා ඇති.

යම් දරුවෙක් තම දෙමව්පියන් කර දෙපැත්තේ තබාගෙන සියක් අවුරුද්දක් ඇප උපස්ථාන කළත්, එයින් බිව්ව කිරි උගුරකවත් ණය නොගෙවෙන බවත්, නමුත් ඒ දරුවා විසින් මෙහෙයවන මව් පියන් බුද්ධ ශාසනගත ආර්ය ගුණයක මොහොතක් හෝ පැහැදවීමෙන්, ඒ අත්බැවේ බිව් කිරි පමණක් නොව අනන්ත සංසාරයේ දරුවෙකුව මවගෙන් බොන ලද කිරි ණයත් (කිරි ණය මුල් කරගෙන දරුවා වෙනුවෙන් කරපු සියළු ඇප උපස්ථාන හා සියළු වෙහෙස සඳහා වූ ණය) ගෙවා, ඒ මව් පියන්ට දරුවා විසින් වැඩිපුරත් දුන්නා වන බවත් බුද්ධ දේශනාවයි. මෙහෙම කියන කොට පැරණි යහපත් කවියකුත් සිහියට නැගෙනවා.

පින් මඳ පුතුන් සියයක් ලදුවත්     නිසරු
ගුණ නැණ ඛෙලෙන් යුතු පුතුමය ඉතා      ගරු
එක පුන් සඳින් දුරු වෙයි ලොව ගණ     අඳුරු
නෙක තරු රැසින් එලෙසට නොම වේය     දුරු

ශාසන දහමින් කටයුතු කරන මෙබඳු දරුවන් ලෝකයට බිහිවුනොත්, ඒ උතුම් වචන අහන මවට පියාට සත්‍ය දහම් බලය ඉදිරියේ කෙසේවත් විරසකව නැගී සිටින්න බැරි වෙනවා. හඟවන්න ලැජ්ජා වුනත් ඒ වචන හිතේ රැව් පිලිරැව් දෙමින් දෝංකාර දෙන්න වෙනවා. පුතා කියන මග නියම මග බව මව පියා තේරුම් ගන්නවා. එහෙම ඉන්න දුවල පුතාල ලෝකෙට මැණික් වගෙයි. සීලයට උපමා  කරපු මේ මහ පොළොවට මැණික් සඟවන්න බැරිව යනවා. (මාන්නය ක‍ෂය කිරීමයි මාණික්‍ය හෙවත් මැණික් කියන වචනයේ පරමාර්ථ අර්ථය) සම්පත් සඟවන්න, වනසන්න හේතු  වන  ලෙස  සොබාදහම හැඩගස්වන්න බැරි වෙනවා. තමා තුළ සටනක් නැති ගුණය හෙවත් ස්ව ¬ අරණ }ස්වර්ණ පොළොවෙන් මතු වෙනවා. මහ පොළොව සශ්‍රීක කරන්න පොහොර තියෙන තැනයි මේ පෙන්වා දුන්නේ. අවුරුදු ලක‍ෂ කෝටි ගණන් ඈත අතීතයේ පටන් ගස්කොලන් වැවුණ මේ පොළොවට, අදින් අවුරුදු පනහක හැටක ඉඳල පොහොර හේදිලා ගිහින් කියල කවුරුහරි කිව්වොත්, ඒක පිලිගන්න බැරි කතාවක්. සිද්ධ වෙලා තියෙන්නෙ මොකක්ද කියල බුදු දහම තුළින් පෙන්වල තියෙනවා. “විඤ්ඤාණ පච්චයා නාම රූපං – නාම රූප පච්චයා සලායතනං” මේ තමයි අනාගත දූෂ්‍ය පරිසරයට හේතුව.

හිත දූෂ්‍ය වුනාම මොකද වෙන්නේ, අනන්ත විශ්වයේ විහිදිලා පවතින මනෝ ධාතුව, ඒ දූෂ්‍ය මනෝ විඤ්ඤාණ ධාතුව ඇසුරු කරමින් දූෂ්‍ය වූ නම්‍යතාවයක් විශ්වගත රූප වස්තූන් සමග සම්බන්ධ වෙලා ක්‍රියා ශක්තියක් පහළ කරනවා. එතකොට ඇස, කන, දිව, නාසය, ශරීරය කියන අභ්‍යන්තර ආයතනත්, මේ ශරීරය හා සම්බන්ධ සෑම ඉන්ද්‍රියක්මත්, ඒ ඉන්ද්‍රියන්ට ගෝචර වූ බාහිර ලෝකය යැයි කියන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලබාදෙන ද්‍රව්‍ය වස්තුත් අනුරූපව දූෂ්‍ය ගතියට හැඩ ගැහෙනවා. මේ නිසා සිද්ධ වෙන විනාශය හේතු ඵල වශයෙන්, පටිච්ච සමුප්පාද ධර්ම වශයෙන් දැනගෙන හරි මග පිහිටියොත් ලෞකික ප්‍රශ්නත් විසෙඳනවා. එතකොට පරීක‍ෂණ ආදිය කරල මුකුත් හොයන්න අවශ්‍ය නැති වෙනවා. නමුත් විඤ්ඤාණයේ දූෂ්‍ය බව වැඩි කළොත් නම්, පෙරලෙන ලෝකෙට මුක්කු ගහන්න, මුක්කුවේ මුල තබන්න බිමක් නැති වෙනවා. එතකොට අනාථ බවටමයි වැටෙන්න වෙන්නේ.

අපි දැනට මේ පොහොර බේත් ආදිය පරිහරණය කළාට, ඒවා පාවිච්චි නොකළ පෙර රජ කාලයේ අලි පැටව් වගේ හිටපු ජාතියක් තමයි සිහල ජාතිය කිව්වේ. ඒ කාලේ පිටරටට සහල් යවන්නත් අස්වැන්න ලබා දුන්නා. එක හාල් කුල්ලක් තවත් දේකට මාරු කරන්න ලංකාවේ කෙළවරක පටන් අනිත් කෙළවරට ගියත් බැරිවුනයි කියනවා. ඒ වගේම ස්වර්ණාභරණයෙන් සැරසිච්ච රූමත් කාන්තාවකට රෑ දවල් දෙකේ ලංකාවේ එක කෙළවරකින් පටන් ගෙන අනිත් කෙළවරට නිරුපද්‍රිතව යන්න පුළුවන් වුනා කියලත් කියනවා. ඒ මොකද? කෙනෙකුට කියන්න පුළුවන් දඬුවම් බලවත් නිසා කියල. නමුත් එදා තිබුණෙ දෙතිස් වදය විතරයි. අද ඊටත් වඩා දරුණු උපක්‍රමවලින් වද දෙන කාලයක්. ප්‍රසිද්ධියට සාමය කියල කිව්වත්, දාමරික ලෝකයේ ගිනි අවි, බෝම්බවලින් වගේම ගිනි ගෙන දැවෙන ටයර් සෑයවල්වල පවා විඳින දුක් දාහ ඇත්නම් ඒවාත් දූෂ්‍ය ගති සිත්වලට, දූෂ්‍ය බවින් හොයන ප්‍රතිකර්ම නිසාම බිහිවෙච්ච දේවල්.

එහෙනම් මේකට හේතුව එදා බලවත් දඬුවම් තිබිච්ච නිසා නෙමෙයි. නිර්මල බුදු සසුන බැබලූන නිසා, මගඵල ලැබූ උතුමන් වහන්සේලා අනුත්තර පිං කෙත් වෙලා ප්‍රසන්න වූ මනසවල් ලක් වැසියන්ට පහළ වූ කාලයක් තිබුණ නිසා ඒ සියලූ සශ්‍රීක බව නැගුණා. එදා තිබිච්ච ඒ ගුණ ධර්ම උපක්‍රමශීලී විදියට විනාශ කිරීමේ ප්‍රතිඵලය නිසා අද මේවගේ විනාශයක් පහළ වෙලා තියෙනවා. සත්‍ය වූ අවිහිංසා සහගත නියම මග නැවතත් මතු වුනොත්, මේ දහමේ සත්‍යතාවය ඉර හඳ වගේ පේන්න පටන් ගන්නවා. යම් කාලයක ඒ බණ දහම් අහන දරුවන්ද, දෙමව්පියන් වන දිනයක් උදා වෙනවා. එදාට ලෝකයේ ඒ ප්‍රදේශය තුළ උතුම් ශිෂ්ටාචාරයක් ඇති, කළ ගුණ හඳුනන දැහැමි සමාජයක් බිහිවනු ඒකාන්තයි.

ඒ බිහිවන ශිෂ්ට වූ සමාජයේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිච්ඡාචාර ආදී දුෂ්චරිත බොහොම දුලභ වෙනවා. බොරු, කේලාම්, පරුෂ වචන, ප්‍රලාප දුලභ වෙනවා. ලෝබ ගති නැති ත්‍යාගවන්න භාවයත්, ද්වේශ ගති නැති අන්‍යෝන්‍ය සුහදතාවයත්, මෝහ ගති නැති ගුණවත් උතුමන්ට ගරු කරන සත්‍ය දකින නුවණ ඇති පිරිසකුත් බිහි වෙනවා. ඒ අයගේ දරුවනුත් පිළිසිඳගැනීමේදීම වාසනාවන්ත උතුම් පින්වතුන් වෙනවා. බිහිවෙලා වැඩෙන්නෙත් ශිෂ්ට වූ සමාජයක. වැපිරූ දෙයට අනුව ප්‍රතිඵලය ලැබේ යන කියමන මේ ආකාරයෙන් සැබෑවක් බවට පත්වෙනවා. එබඳු සමාජයක් පරාජය කරන්න බාහිර පිරිසකට බැරි වෙනවා. ජාතියක් ලෙස නැගී සිටිනවයි කියන්නේ සමාජ සම්මත ජාති, කුල බේද නැති, ශ්‍රේෂ්ඨ නිසා සීහ නම් වූ පිරිසිදු හිත හෙවත් ලය නම් වූ බැවින් සීහලය (ශ්‍රේෂ්ඨ වූ ලය) හෙවත් සිහල ජාතියක් ලෙස නැගී සිටීමයි. එතකොට ඇණ කොටා ගනිමින් මානයෙන් උදම් වන තිරිසන් ගතියක් වන සිංහ අර්ථය නිසා ඇතිවන සිංහල දුරුවෙලා, නියම සිහල ජාතිය නැවත විද්‍යමාන වෙනවා.

සිහල ජාතිය ආර්ය ජාතියක්. මේක සිංහ කරගත්තම තිරිසන් වූ මානයෙන් උඬඟු ජාතියක් වෙනවා. බුදුරජාණන් වහන්සේත් සීහ කියන ශ්‍රේෂ්ඨ නාදය කළා මිසක්, සිංහ නම් වූ තිරිසන් නාදය කළා දැයි විමසා බැලීම වටිනවා. බුදුපියාණන් වහන්සේ නායකත්වයෙන් අග්‍ර වූ නිසා නාග නම් වෙනවා මිසක්, විසකුරු සර්ප ගතියෙන් යුත් නිසා නාග කිව්වා නෙමෙයි. මේ ගැන හිතල බලන්න. අපක‍ෂපාතීව පංච නීවරණයන්ට ගැති නොවී හිතුවොත් දහම් රටාව වැටහෙනවා. බුද්ධ වචනය දැනගෙන අනුකූලව දහම් මගත් ප්‍රකාශ කරන්න පුළුවන් වෙනවා.

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණ දහම් කරුණු ඇසුරින් සකස් කළේ :
නීතිඥ චන්දන සිරිවර්ධන

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *